Pages

Sunday, December 3, 2017

ගුරුත්වාකර්ෂණයට හසු නොවී වැඩ සිටින මියන්මාරයේ අසිරිමත් රන්ගිරි සෑය!


















මියන්මාරයේ පිහිටා ඇති මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේ කයිතියෝ වෙහෙර නැතහොත් Kyaiktiyo Pagoda එසේත් නැතිනම් Golden Rock ලෙස හැදින් වේ. ආශ්චෛර්යමත් මේ චෛත්‍යරාජයාණන් වහන්සේ පිළිබද ඇති අති පූජනීයත්වය නිසාම මා එය රන්ගිරි වෙහෙර ලෙස හදුන්වන්නම්. මෙතැන් සිට දිගහැරෙන්නේ මේ රන්ගිරිවෙහෙර චෛත්‍යරාජයාණන් වහන්සේ පිළිබඳකථාවයි.මේ චෛත්‍යරාජයාණන් වහන්සේ වැඩසිටින්නේ වන්දනීය ප්‍රදේශයක් ලෙස සැලකෙන මියන්මාරයේ මොන් ප්‍රදේශයේ කයිතියෝ කන්ද මතයි. ස්වේසගොන් චෛත්‍ය රාජයාණන් මෙන්ම මහමුනි චෛත්‍යරාජයන් වහන්සේද පිහිටා ඇත්තේ මේ ප්‍රදේශයේ යි. රන්ගිරි වෙහෙර මීටර 7.3ක් නැතිනම් අඩි 24ක් පමණ වන කුඩා ස්ථූපයක් වන අතර එය ඉදිකර ඇත්තේ දැවැන්ත කලූගලක් මත පිහිටි කුඩා ගල් කුට්ටියක් මතයි. මේ ගල් කුට්ටිය සහිත සම්පූර්ණ වෙහෙර බැතිමතුන් විසින් රන්පත් මඟින් ආවරණය කර ඇත. ඒ නිසා Golden Rock යන නම ලැබී ඇත. පුරාවෘත අනුව මෙහි ගෝතම බුදු සමිදුන්ගේ කේෂධාතූන් වහන්සේලා තැන්පත්ව ඇති හෙයින් මේ අයුරින් පුදුම සහගත අයුරින් පිහිටා ඇති බව දක්වා ඇත. මෙම රන්ගිරි චෛත්‍ය රාජයාණන් වහන්සේ ගුරුත්වාකර්ෂණ බලපෑමට හසු නොවී සිටීම පුදුමයට කරුණකි. මේ රන්ගිරි වෙහෙර දකින ඕනෑම පුද්ගලයෙක් නැවත බුදුදහම පිළිබද හිතන්නට අවස්ථාව සලසා දෙයි.මේ චෛත්‍යරාජයාණන් වහන්සේට කයිතියෝ Kyaiktiyo යන නම ලැබුණේ කොහෙන්ද? මොන් භාෂාව අනුව Kyaik යනු චෛත්‍යය නැත්නම් වෙහෙර යන්නයි. හද යනු තාපසයාගේ හිස මත තබාගෙන සිටින ලෙස හැදින්වෙයි. ithi යනු තාපසයා යන්නයි. ඒ අනුව Kyaik-htiyo යනු තාපසයාගේ හිසමත ඇති වෙහෙර˜ යනුවෙන් හැදිනවේ.

පුරාවෘතයන්ට අනුව බුදුහිමියන් චාරිකාවේ යෙදෙන අවස්ථාවක හමුවූ තයික් තා (Taik Tha) නම් තාපසයාණන්ට උන්වහන්සේ විසින් කේෂ ධාතු මිටක් ලබාදී ඇත. තාපසයාණන් ඉතා ගරුසරුව ලබාගත් ඒ කේෂ ධාතූන් වහන්සේ තාපසයකුගේ හිසක් හැඩැති කලූගල් කුට්ටියක් මත නිදන්කරන ලෙස දන්වා රජතුමාට ලබාදී ඇත. ඔහු අධි මානසික බලයකින් යුත් අයෙකි. ඔහුගේ පියා මෙන්ම මවද එවැනිම බලයන්ගෙන් යුක්ත වූවෝ වෙති. ඔවුන් විසින් පහල මුහුද ඇති කයිතියෝ (පසුව නම ලැබුනි) කන්ද සොයාගත්හ. ඔවුන් සක්‍ර දෙවියන් ආදී නොපෙනෙන බලවේගයන්ගේ සහය ඇතිව කයිතියෝ කදුමුදුනේ රන් කන්ද පිහිටුවීමටත් රන් වෙහෙර පිහිටුවීමටත් ස්ථානය තෝරාගත්හ. එතැන් සිට චෛත්‍යරාජයන් වහන්සේ අපට අද දක්වා විරාජමාන වෙයි.චෙත්‍යරාජයන් වහන්සේ Mon ජනපදයේ කයිතියෝ ප්‍රදේශයට ආසන්නයෙන් Tenasserim වෙරළට ආසන්නයෙනි පිහිටා ඇත. මේ රන්ගිරි වෙහෙර චෛත්‍යය මුහුදු මට්ටමින් මීටර 1100ක්ද අඩිනම් 3600ක්ද ඉහළින් පිහිටා ඇත. එය පිහිටා ඇත්තේ Paung-laung කදු වැටියේ Eastern Yoma කන්දේය. එතනම Yangon සිට කිලෝ මීටර 210ක් පමණ ඇත. Kinpun ගමෙහි සිට Kyaiktiyo කදු මුදුන දක්වා කිලෝමීටර 16ක් පමණ ඇත. රන්ගිරි වෙහෙරට අඩිපාරවල් හෝ මාර්ගයන් ආරම්භ වන්නේ මෙතැන් සිටය. මේ ගමනේදී අනන්තවත් අඩමානව පිහිටා ඇති කලූගල් කුටිටි ඔබට දක්නට ලැඛෙනු ඇත. චෛත්‍ය රාජයාණන් වහන්සේට පිවිසෙන දොරටුවේ ආරක්ෂකයින් ලෙස සිටින සිංහරූප දෙකක් දක්නට ලැබේ. වාහන යා හැකි අවසන් ස්ථානය මෙයයි. මෙතැන් සිට පාවහන් ගලවා ඉදිරියට යාමට සිදුවෙයි. 1999 වසරේ ගල් අතුරා මෙම මාර්ගය පිලිසකර කිරීමට පෙර කිලෝමීටර 1.2ක දුර යාමට පැයක පමණ කාලයක් ගත කිරීමට සිදුවිය. Kinpun නැමැති ස්ථානයේ සිට රන්ගිරි වෙහෙර දක්වා සැතපුම් 6.8ක් නැතහොත් කිලෝමීටර 11ක් දක්වා දුර සිය වන්දනා ගමනේ චාරිත්‍රයක් වශයෙන් සලකා බොහෝ බැතිමත්හු පයින්ම ගමන් කරති. රන්ගිරි වෙහෙර අවට ඇති කදු ගැටයන්හි අද වන විට බොහෝ පන්සල් ඉදිකර ඇති බැවින් මෙලෙස පයින් ගමනේදී දැක බලාගන්නට බොහෝදෑ තිබේ.දැන් අපි හොදින් දන්නා මේ රන්ගිරි වෙහෙර පිහිටා ඇති ගල්කුට්ටිය පුරා රන් ආලේපකර ඇති නිසා ඉතා දීප්තිමත්ව ඈතට පෙනේ. මේ පූජනීය ගලෙහි වටරවුම මීටර 15ක් පමණ වන අතර උස මීටර 7.3ක් පමණ වේ. මේ ගල් කුට්ටිය පිහිටා ඇත්තේ ස්වාභාවිකවම සකස් වූ ගල් වේදිකාවක් මතය. මේ ගල් කුට්ටිය ප්‍රධාන ගලට සම්බන්ධ වී ඇලවී ඇති අතර ඒ කොටසේ ඇත්තේ ඉතාම කුඩා වර්ගඵලයකි. ගල් කුට්ටිය ප්‍රධාන ගල මත එල්ලී සිටින අතර එය බෑවුමෙහි අවසන් කොටසෙහි තැන්පත්ව ඇත. එහි පහත ඇත්තේ නිම්නයයි.

නෙලූම් මලක හැඩැති රන් පත්වලින් සෑදූ ආවරණයක් මේ ගල් දෙක සම්බන්ධ වන ස්ථානයේ තබා තියෙනවා. මේ ගල් කුට්ටිය පෙනෙන්නේ ඊලග මොහොතේ බිමට වැටේදෝ යන ආකාරයටයි. කලකට ඉහතදී මේ ගල් දෙක අතර අගල් 06ක පමණ පරතරයක් තිබූ බව මෙහි ඇද ඇති බිතුසිතුවම් වලින් පැහැදිලි කරයි. රන්ගිරි වෙහෙර පිහිටි ගලත් ප්‍රධාන ගලත් අතරින් සියුම් නූලක් දෙපසට රැගෙන යා හැකි බව එහි සිටින පුද්ගලයන් පෙන්වා දෙයි. ඒ අනුව වෙහෙර පිහිටි ගලත්, ප්‍රධාන ගලත් අතර සම්බන්ධයක් නැතිබව හොදින්ම පැහැදිලි වේ. මේ ගල සොලවා පෙන්වීමටද එහි සිටිනා පුද්ගලයන්ට පුලූවන්ය. එසේනම් ගුරුත්වාකර්ෂණයට අභියෝග කල මේ චෛත්‍යරාජයන් වහන්සේගේ ආශ්චර්යය කුමක්දැයි අදටත් අභිරහසක්ව පවතී.රන්ගිරි වෙහෙර වෙත නැගීමේදී ඒ අවට තවත් බොහෝ විහාරාරාම ඇති බව මා කලිනුත් කීවා. එහෙත් ඒ සියල්ල අතරින් රන්ගිරි වෙහෙර සියලූ බැතිමතුන් අතින් වන්දනාවන පූජනීයතම ස්ථානයක් වේ. විශේෂයෙන්ම රත්රන් කොළ ඇලවීම බුරුමයේ විශේෂ චාරිත්‍රයක් වන අතර ඒ නිසා රන්ගිරි වෙහෙර වහන්සේ සහිත ගල් පව්ව දිවා රෑ කාන්තිමත්ව බැබලේ. රන්ගිරි වෙහෙර අසල වන්දනාමාන කිරීමට තවත් නොයෙක් දෑ ඉදිකර පවතී.දෑසන හිරු නැගෙන විටත් සවසට හිරු බසින විටත් රන් ආලේපිත මේ රන්ගිරි වෙහෙර නොයෙක් අයුරින් රශ්මි දහරාවල් විහිදුවන්නේ බුදුගුණ කියාපාන්නාක් මෙනි. ඒ අතරවාරයේ බැතිමතුන්ගේ බැතිගී ගායනා වලින් මුලූ ගගන තලයම ගිගුම්දෙයි. බැතිමත්හු දිවා රෑ නොබලා මෙහි බුදුපියාණන් වෙනුවෙන් පහන්,සුවද පූජා මෙන්ම, මෙන්ම නොයෙක් පූජාවෝ පවත්වති. පුරුෂ පාර්ශවය මහා විවරයක් මතින් ඇති පාලම උඩින් ගොස් රන්ගිරි වෙහෙර පිහිටි ගලමත රන්පත් අලවන්නේ ඉමහත් බැතිසිතිනි. එහෙත් කාන්තාවන්ට ඒස`දහා අවස්ථාව නොලැබේ. සෑම ආගමකටම අයත් ජනතාව කිසිදු භේදයක් නොසලකා මේ රන්කොත් වෙහෙර වන්දනා කරති. ආබාධිත පුද්ගලයන් පමණක් නොව මහලූ වූ ඇවිදීමට නොහැකි අය පවා අන් අයගේ උදව්වෙන් හෝ මේ වෙහෙර වැදීමට උත්සාහ කරති. සෑම වසරකම මාර්තු මාසයේ පුර පෝදින බැතිමතුන්ට විශේෂ අවස්ථාවක් උදාවෙයි. ඒ ඉටිපන්දම් අනූදහසක ආලෝක පූජාවක් පැවැත්වෙන බැවිනි. ඒත් සමග පලතුරු, සුවද වර්ග, ආදි පූජාභාණ්ඩ ඒ අසහාය ශ්‍රාස්තෘන් වහන්සේ වෙනුවෙන් පූජා කරති.

ශතවර්ෂ ගණනාවක් තිස්සේ ලෝවැසි දනන් නෙත්සිත් සනහා වදාළ ඒ රන්ගිරි වෙහෙර ‍චෛත්‍ය රාජයන්වහන්සේ තවත් වසර දහස් ගණනක් මුලූල්ලේ ජීවමාන බුදුහිමියන් මෙන් අප වෙනුවෙන් වැඩසිටිනු ඇත. ඒ රන්ගිරි වෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

රංජිත් පරණවිතාන - karma.lk

0 comments: