Pages

Sunday, December 3, 2017

ශ්‍රී ලංකාවේ ශ්‍රී පා සටහන් හතරක්‌ තිබේද?

2008 දෙසැම්බර් දොළහට යෙදුණු උඳුවප් පුර පසළොස්‌වක පෝයෙන් මෙවර ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ විය. අවාරය හය මාසයක්‌ ගෙවී රත්නපුර ගල්පොත්තාවල රජමහා විහාරයෙන් රිය පෙරහරින් නල්ලතන්නියට වැඩම වූ සමන් දේව රූපය සුමන කූඨ හෙවත් ශ්‍රීපාද කඳුවැටියට වැඩමවීමෙන් ශ්‍රී පාද වන්දනා සමය ඇරඹෙයි. එදා පාරිසරික හේතු මත අවාරය දෙවියන්ට ශ්‍රී පාදය වෙන් වූ කාලය ලෙස බැතිමත්හු සැලකූහ. තද වර්ෂාව, දැඩි සුළඟ ඝන මීදුම සැර අකුණු, ගස්‌ කඩා වැටීම්, ගල් ගැල වී පෙරළීම් පියගැට මාර්ග වසා ගෙන එන බොර වතුර කඳන්, තද පාළුව, දිවියන් ඇතුන් එළියට බැසීම වැනි හේතු මත අවාරය එදා උදා විය.

 බුදුහිමි මහියංගණයට වැඩි විට බණ අසා සෝවාන් වූ යක්‍ෂ ගෝත්‍රික ලාංකික ප්‍රාදේශීය අධිපතියෙකු වූ සමන් දෙවියන්ගේ ආරාධනාවෙන් බුදුහිමි තුන්වැනිවර ලංකාවට වැඩි විට සමනල කඳු මත ශ්‍රී පාද ලකුණ පිහිටුවා ඇත. ලංකාවේ උස අතින් පස්‌වැනි ස්‌ථානය දරන සමනල කඳු ගැටය අඩි 7360 උසය. මෙය නම් රැසකින් හැඳින්වෙයි. ශ්‍රී පාදය සමන්ත කූඨ, සුමනගිරි සුමන කූඨ, ලංකා පබ්බත, රෝහණ පබ්බත, ශිවන් ඔලි පාදම්, බබාද මලෙයි, පීකෝද ඇඩම්, ඇඩම්ස්‌ පීක්‌ ඉන් කීපයකි. සමන් දෙවියන්ගේ බිසව හා පුතෙකු ගැන සීතාවක කල ලියවුණු සැවුල් සංදේශය කියන අතර "ප්‍රපංච සුදනී" "පාලි ග්‍රන්ථයේ සුමන දෙවිඳුගේ "කාලි" නමැති දුව ගැන කියයි. එතුමා ශ්‍රී පාද අඩවියට අධිගෘහීත අතර වාහනය සුදු ඇතෙකි. සමන් දෙවියන් යනු ආටානාටිය සූත්‍රයේ එන අටවිසි යක්‍ෂ සේනාධිපතියෙකු වූ සුමන විය හැක. එතුමාගේ වැඩිමහල් සහෝදරිය වූ "මහලොකු" තවමත් යක්‌ෂ පිරිවර ඇතිව යක්‍ෂ නායිකාවක්‌ ලෙස මහියංගණ අඩවියේ පුද ලබයි. සමන් දෙවියන් කවුද? යනු අදහස්‌ කීපයකි.

 මහියංගණය අඩවියේ විසූ යක්‍ෂ ගෝත්‍රික ප්‍රදේශ අධිපතියෙකි. මහලොකු යක්‍ෂ නායිකාව තාම මහියංගණය පුදයි.

 දඹදිව රජගහනුවර සිට බුදුහිමි සමඟ දෙවැනි වර කිරිපලු රුකක්‌ රැගෙන වැඩි සමිද්ධි සුමනයි.

 "රාමායණය" කතාවේ එන රාමාගේ සොහොයුරු ලක්‌ෂ්මණයි. පසුකල ඇති වූ මේ අදහස වැරදිය.

 මහායාන බෝධිසත්වයකු වූ සමන්තභද්‍රය. පොතාල කඳුමුදුනේ වසන සමන්ත භද්‍ර කහපාටය. සුදු ඇතා වාහනයයි. නළලේ ධ්‍යානි බුදුරුවක්‌ දරයි. සමන් යනු වේද ග්‍රන්ථවල එන යම දෙවි බව "ද ගෝඩ් ඔෆ් ඇඩම්ස්‌ පීක්‌" ඉංග්‍රීසි ග්‍රන්ථයේදී මහාචාර්ය පරණවිතාන කියයි. යම කරුණාවට අධිපතිය. (පිතුරාජ නමින් හැඳින්වූ වළගම්බා රජු යම රජු මෙන් දේවත්වය ආරූඪ කර ගත් බව පරණවිතාන මහතා කියයි.)

 සමනල කඳු මත සිව් බුදුවරුන්ගේ පා සටහන්

 පොළොන්නරුවේ පළමු විජයබාහු රජුගේ (ක්‍රි. ව. 1055-1111) අඹගමුව ශිලා ලිපිය අනුව මේ මහාභද්‍රකල්පයේ පහළ වූ කකුසඳ, කෝනාගම, කාශ්‍යප හා ගෞතම යන සිව් බුදුවරුන්ගේ පා සටහන් ශ්‍රී පාද කඳු මුදුන මත ඇත.

 වෙනත් සිරිපතුල්

 යන්නම්මදාය නදියා පුලිනේචතීරේ...." ප්‍රකට ගාථාවෙන් බෞද්ධ ලෝකයේ ශ්‍රී පාද සටහන් ඇති ස්‌ථාන ගැන කියවෙයි. එහි යෝනකපුර යනු සියමේ සච්චබද්ධ පර්වතය බව සෙනරත් පරණවිතාන මහතා කියයි. ඒ මක්‌කම නොවේ. දඹදිව නර්මදා නදී තීරයේ එක්‌ සිරිපතුලක්‌ ඇත.

 ශ්‍රී පාදයේ සිරි පතුල මුල්කල මුල්හීනයානයේ නොසලකා හැර ඇත

 මහාවිහාරය මුල්කර ගත් ථෙරවාදීන් ශ්‍රී පාදය පිහිටුවීම දළදා වැඩමවීම වැනි ආමිෂ පූජා ගැන වැඩි සැලකිල්ලක්‌ දක්‌වා නැත. පාලි සමන්ත පාසාදිකාව අන් සියලු ආගමික තොරතුරු වාර්තා කළත් සමනල මත ශ්‍රී පාද පිහිටුවීම ගැන නොකියයි. මහාචාර්ය මලලසේකරගේ "ඩික්‌ෂනරි ඔෆ් පාලි ප්‍රෝපනවුන්ස්‌" ග්‍රන්ථය අනුව ශ්‍රී පාදය මත සමනල පිහිටුවීම සැක කරයි. හීනයාන හෙවත් ථෙරවාදී මූලාශ්‍රවල සමනල මත ශ්‍රී පාද පිහිටුවීම හා ඒ ගැන විස්‌තර ඉතා අඩු ලෙස සටහන් වෙයි. ඒ ගැන වැඩි උනන්දුවක්‌ දක්‌වා ඇත්තේ මහායාන බෞද්ධයන්ය. හේතුව ඔවුන් ආමිෂ පූජා හා භක්‌ති වාදය ගැන වැඩි සැලකිල්ලක්‌ දැක්‌වීමයි.

 ශ්‍රී පාද අඩවිය අවට පැරැණිම තොරතුරු

 මහාචාර්ය දැරණියගල අනුව ලංකාවේ ශිලා යුගය රත්නපුර හා බලංගොඩ යනුවෙන් යුග දෙකකට බෙදෙයි. ඉන් වඩා පැරණි රත්නපුර සංස්‌කෘතියයි. ඉන්පසු බලංගොඩ සංස්‌කෘතියට අයත් "හෝමෝසෙපියන් බලංගොඩෙන් සිස්‌" මානවයා ජීවත් විය. එකල ඉන්දියාව හා ලංකාව එකම බිමක්‌ විය. මේ මානවයන්ගේ ඇටසැකිලි 55 පමණ දැනට ලැබී ඇත. අවුරුදු 125,000 තරම් ඈතට අපේ ශිලා යුගය විහිද යයි. අද සිටින වැද්දන් පැවත එන්නේ මේ බලංගොඩ මානවයාගෙනි. ශ්‍රී පාද අඩවිය අවට රත්නපුර හා බලංගොඩ ශිලා යුග පැතිර තිබුණි. මහාවංශය අනුව කුවේණි මැරුම් කෑ පසු ඇගේ දරු දෙදෙනා වූ ජීවහත්ථ හා දිසාල පලා ගියේ සමනල අඩවියටයි. ඔවුන් දෙදෙනාගෙන් පුලින්ද හෙවත් වැද්දන් පැතිර එන බව මහාවංශය කියයි. (එහෙත් වැද්දන් ඊට වඩා පැරණිය) මුහුදේ ඈතට සමනල කන්ද දිස්‌වන බැවින් ලංකාවට ආ මුල්ම ආර්ය කණ්‌ඩායම් ශ්‍රී පාදය දැන සිටි බව පෙනෙයි. මහායාන මූලාශ්‍ර අනුව ලංකා හෙවත් ශ්‍රී පාද කඳු මුදුනේදී බුදුහිමි ලංකාවතාර සූත්‍රය දේශනා කර ඇත. ශ්‍රී පාදය අවට විහිදී ඇති ගල් ගුහා මුල් කාලීන වැද්දන් ජීවත් වූ අතර පසුව ඒවා මුල්ම ලාංකික බෞද්ධ භික්‌ෂූන්ගේ වාසස්‌ථාන විය. අනුරාධපුර යුගයේ ථෙරවාදීන් ශ්‍රී පාදය ගැන දක්‌වා ඇති සැලකිල්ල ඉතා අඩුය.

 අනුරාධපුර ශ්‍රී පාදය

 චූලවංශය හා මහාබෝධිවංශ ගැටපදය අනුරාධපුර තිබූ ශ්‍රී පාදයක්‌ ගැන තොරතුරු කියයි. 1961 විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ "චින්තන" සඟරාවට ලිපියක්‌ සපයන මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා අනුරාධපුර ථූපාරාමය අසල අනුරාධපුර ශ්‍රී පාද ලාංඡනය පිහිටි බව කියයි. එය ආගමික ගොඩනැඟිල්ලකට යට වීමෙන් පසුව අප්‍රකට විය.

 අභයගිරිය ශ්‍රී පාදය

 අභයගිරිය විහාරය ගොඩනඟා ඇත්තේ බුදු සිරි පතුලක්‌ මත යෑයි මහායානයට බර අභයගිරියේ විශ්වාසය විය. ථෙරවාදී භික්‌ෂූණී වංශකතාවක්‌ වූ දීපවංශයද අභයගිරි සිරි පතුලක්‌ ගැන කියයි. ලංකාවට පැමිණි චීන ජාතික පාහියන් හිමි කියන පරිදි සිරිපතුල පිහිටා ඇති අභයගිරිය විහාරය අසල භික්‌ෂූන් පන්දාහක්‌ වාසය කරන බව චීන ජාතික පාහියන් හිමි තම ගමන් වාර්තාවේ කියයි.

 කැලණිය සිරිපතුල

 තුන්වැනි වර මණිඅක්‌ත නා රජුගේ ආරාධනාවෙන් බුදුහිමි ලංකාවට වැඩිවිට මණිඅක්‌ත නා රජුට වැඳ පුදා ගැනීමට බුදුහිමි කැලණි ගඟ යට සිරිපතුලක්‌ පිහිටු වූ බව පොළොන්නරු කල ගුරුළුගෝමීන් ලියූ අමාවතුර හා කෝට්‌ටේ කල ධම්මදින්නාචාර්ය විමලකිත්ති හිමි ලියූ " සධර්ම රත්නාකරය" කියයි "අමාවතුර" හා "සධර්මරත්නාකරය " අනුව තුන්වැනි වර ලංකාවට වැඩි බුදුහිමි නාගයින් සඳහා කැලණි ගඟ යට සිරිපතුල පිහිටුවා ඇත.

වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ එස්‌. කේ. ජයවර්ධන 
http://divaina.com/sunday/index.php/visheshanga2/1203-2017-12-01-09-49-60

0 comments: