එක්තරා සංගමයක් මගින් සැප්තැම්බර් මස 25 වැනි ඉරිදා පුවත්පත්හි දැනට තහනමට ලක් කර ඇති පූර්ණ වල්නාශකයක් වන ග්ලයිෆොසේට් නොහොත් රවුන්ඩ්අප් පිළිබඳ පක්‍ෂග්‍රාහි දැන්වීමක් පළ කර තිබිණි. එමගින් බලවත් උත්සාහයක් දරා ඇත්තේ ග්ලයිෆොසේට්‌සහ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ප්‍රදේශවල ව්‍යාප්තව ඇති මාරාන්තික වකුගඩු රෝගය අතර සම්බන්ධයක් ඇති බවට විද්‍යාත්මක සාක්‌ෂි ප්‍රමාණවත් නොමැති බවත් අප රටේ මෙම කෘෂි රසායනිකය තහනමට ලක්‌වීමට හේතු වූයේ වකුගඩු රෝගයට මූලික හේතුව ග්ලයිෆොසේට් භාවිතය යන වැරදි මතය සමහර පුද්ගලයන් විසින් දරුණු ලෙස පාලකයින්ගේ සිත් තුළ කාවැද්දීම බවයි. නමුත් අදාළ දැන්වීම දැමූ සංගමය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාල වාර්තාවක් උපුටා දක්‌වමින් (16 පිටුව) පෙන්වා දෙන්නේ එය සම්පූර්ණයෙන්ම අවිද්‍යාත්මක හා අසත්‍ය ප්‍රකාශයක් බව හා එකී වාර්තාවේ කිසිම විටෙකත් ග්ලයිෆොසේට් වකුගඩු රෝගය හා කිසිදු සම්බන්ධයක් දක්‌වා නොමැත යන්නය. නමුත් සැබෑව නම් දැනට කරන ලද පරීක්‌ෂණ කිහිපයක ප්‍රතිඵල උපුටා දක්‌වමින් වාර්තාව දක්‌වා ඇත්තේ, ග්ලයිෆොසේට් වකුගඩු රෝගයට වන දායකත්වය සියයට සියයක් නිවැරදිව තහවුරු කිරීමට එම දත්ත පමණක් ප්‍රමාණවත් නොවන බවත් එමනිසා පැහැදිලි නිගමනයකට පැමිණීමට නොහැකි බව මිස මතය සම්පූර්ණයෙන්ම අවිද්‍යාත්මක සහ සාවද්‍ය බව කිසිවිටෙකත් එහි දක්‌වා නොමැති වීමය.
ග්ලයිෆොසේට් තහනම අවිද්‍යාත්මක තොරතුරු මත පදනම්ව ආවේගශීලීව සමහරෙකු දේශපාලන වාසි ලබා ගැනීමට කරන ලද තකතීරු වැඩක් යන මතයේ දිගින් දිගටම එල්බගෙන සිටින විද්‍යාඥයින්ට, ව්‍යාපාරිකයින්ට, ආදී සියල්ලට කරන සරල අභියෝගය නම් ලොව පිළිගත් අන්තර් ජාතික සඟරාවක පළවූ ලෝක මට්‌ටමේ කරන ලද පර්යේෂණ ප්‍රතිඵල වලින් මෙම රසායනිකය මානව සෞඛ්‍යයට කිසි ලෙසකින්වත් හානිකර නොවන බව ඔප්පු වූ තොරතුරක් හැකිනම් සපයන ලෙසයි. ඇමරිකානු පරිසර ආරක්‌ෂණ ආයතනය (Eඡ්) දක්‌වන පරිදි ග්ලයිෆොසේට්‌වල පිළිකාකාරක ගුණ තිබිය හැකි බව එහි නිෂ්පාදකයා වූ එරටේම දැවැන්ත කෘෂිරසායන සමාගමක් වූ මොන්සැන්ටෝ විද්‍යාඥයින් මීට අවුරදු 35 කට පෙර සිට දැනසිටි බවයි. 1978 - 1986 ක්‌ෂීරපායි සතුන් යොදා කරන ලද පර්යේෂණ ප්‍රතිඵල වලින් ඒ බව තහවුරු වී ඇති නමුත් මොන්සැන්ටෝ සමාගම සහ Eඡ් ආයතනය අතර ඇති සහයෝගීතාව මෙම පරීක්‌ෂණ ප්‍රතිඵල පිටතට යාම හැකිතාක් දුරට වළක්‌වා ඇත. මීයන්ගේ වකුගඩු විනාශවීමට ග්ලයිෙµdසේට් හේතු වී ඇති බව ද මේවායින් තහවුරු විය. පිළිකා වලට හේතුවිය හැකි ගැටිති මීයන් පරම්පරා තුනක් ආශ්‍රයෙන් කරන ලද පර්යේෂණ වලදී තහවුරු විය. ග්ලයිෆොසේට් වල් නාශකය වෙළඳපොළෙහි ඇත්තේ රවුන්ඩ්අප් ලෙසින් වන අතර එහි ග්ලයිෆොසේට් රසායනිකයට අමතරව තවත් රසායනික අපද්‍රව්‍ය මුසු කර ඇත. මෙසේ මුසු කරනුයේ ග්ලයිෆොසේට් රසායනිකයේ වල් මැරීමේ ක්‍රියාකාරීත්වය තවදුරටත් වැඩි කිරීමටයි. උදාහරණයක් ලෙස පොලි එතොක්‌සිලේටඩ් ටැලොව මඟින් හෙවත් POEA මිනිස් කළල, වැදෑමහ සහ පෙකෙනි වැලෙහි සෛල වලට අධික විෂ සහිත බව ඔප්පු වී ඇත. කාන්තා ශරීරයේ හෝමෝන සමතුලිතතාව බිඳ දැමීම මඟින් දරුවන් පිළිසිඳ ගැනීමට විශාල බාධා ඇති වීමත්, විකෘති කළල වර්ධනය සහ ගබ්සාවීම් විශාල වශයෙන් වැඩි වීමට ග්ලයිෆොසේට් භාවිතය හේතු වී ඇති බව සොයා ගෙන ඇත. ස්‌නායු දුර්වල වීම හේතුවෙන් වන අංශභාගය, පාකින්සන් රෝගය, ආහාර මාර්ගයේ ආබාධ ආදී තවත් රෝගී තත්ත්වයන්ට ග්ලයිෆොසේට් සම්බන්ධ බව තහවුරු වී ඇත.
අප රටට අමතරව නෙදර්ලන්තය, ප්‍රංශය, බ්‍රසීලය, ජර්මනිය, ආජන්ටිනාව, බර්මුඩා වැනි රටවල් ද මෙම හානිකර කෘෂිරසායනය එම රටවල තහනම් කිරීමට වහා කටයුතු යොදා ඇත. නැතිනම් යොදමින් පවතී. ශරීරගත විෂ උදාසීන කරනු ලබන එන්සයිම ග්ලයිෆොසේට් මඟින් විනාශ කරන බවත් එමනිසා මෙම රසායනිකය අනෙකුත් විෂ ද්‍රව්‍ය සඳහා මිනිස් ශරීරය විවෘත කිරීමද කරනු ලබයි. මේ අනුව පැහැදිලි වන කරුණක් නම් විෂයයි සැක සිතූ මෙවැනි කෘෂිරසායනවල විෂ විද්‍යාත්මක පර්යේෂණ වල දියුණුවත් සමඟ තව තවත් තහවුරු වන බව විනා ඒවායෙහි ආරක්‌ෂිත බව තහවුරු නොවන බවයි. වගාවන්හි වල් මර්දනය කිරීම කිසිසේත් ග්ලයිෆොසේට් නොමැතිව මහා පරිමානයෙන් කළ නොහැකි බවත් ඒනිසා තේ, ඉරිගු ඇතුළු අප රටේ වගාවන් සියල්ල විනාශයේ අභිමුවට පනවා ඇති තහනම නිසා පැමිණ ඇති බව හඬ නගා කියන කෘෂි විද්‍යාඥයින්ගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් ඇත. - එනම් මහා පරිමානයෙන් වල් මර්දනයට ඇති එකම ක්‍රමවේදය මේ ග්ලයිෆොසේට්‌ද? යන්නයි.
අවුරුදු 2500 ඈතට දිවයන කෘෂි ඉතිහාසයකට හිමිකම් කියන සහ විශ්වවිද්‍යාල හතකින් කෘෂි විද්‍යාඥයින් බිහි කරන කෘෂිකාර්මික රටක් වන අප රටේ කෘෂි තාක්‌ෂණය මෙතරම් නොදියුණු වීම ගැන අපි මවිත වෙමු. විෂ රසායනික වලින් තොර මහා පරිමාණ භාවිතයට ගැලපෙන ක්‌ෂණික වල් නාශක ක්‍රමවේද වන අධෝරක්‌ත, ක්‌ෂුද්‍ර තරංග, තාප වල් නාශක යන්ත්‍ර පළමුව මෙරටට හඳුන්වා දීමත් පසුව ඒවා මෙහිම නිෂ්පාදනය සඳහා කරන වැඩ පිළිවෙලක් ගැන කිසිදු පර්යේෂණ ආයතනයකින් හෝ විද්‍යාඥයෙකුගෙන් අසන්නට නොලැබේ. අසන්නට ලැබෙන්නේ යෝජනා දෙකකි. එනම් ග්ලයිෙµdසේට් තහනම වහා ඉවත් කිරීමට පියවර ගැනීම සහ ග්ලයිෆොසේට් වෙනුවට වෙනත් ක්‍රියාකාරී රසායනයන් ආනයනය කර බෙදා හැරීමක් ගැන පමණි. ශ්‍රී ලාංකීය කෘෂි විද්‍යාඥයින් එම ක්‌ෂේත්‍රයට සම්බන්ධ ගැටලුවක් විසඳීම සඳහා ඉදිරිපත් වන ආකාරය මෙය යි. මෙවැනි යෝජනා බලාපොරොත්තු විය හැක්‌කේ කෘෂි අමු ද්‍රව්‍ය ආනයනය කරවන්නෝ දේශපාලනඥයන්ගෙන් මිස විද්‍යාඥයන්ගෙන් නම් නොවේ. මේ තත්ත්වය සළකා බැලූ කල අප දේශයේ ආහාර සුරක්‌ෂිතභාවය පවත්වා ගැනීම සඳහා දැවැන්ත වැඩපිළිවෙලක් කඩිනමින් අවශ්‍යව ඇත. අවුරුදු දහස් ගණනකට කලින් සියයට සියයක් දේශීය තාක්‌ෂණය සහ අමුද්‍රව්‍ය භාවිතා කර විදේශ රට වලට පවා අපනයනය කිරීමට තරම් ආහාර අතිරික්‌තයක් නිෂ්පාදනය කිරීමට හැකියාව තිබූ සහ මායා, මෙසපොටේමියා, නයිල්, ඉන්දු නිම්න වැනි දැවැන්ත කෘෂි ශිෂ්ටාචාර වලට නොදෙවෙනි කෘෂි තාක්‌ෂණයකට උරුමකම් කියූ ශ්‍රී ලංකාව මේ වන විට අවාසනාවන්ත ලෙස විදේශ තාක්‌ෂණය සහ අමුද්‍රව්‍ය මත යෑපෙමින් තම ශ්‍රමය පමණක් සපයමින් කරනු ලබන ආහාර නිෂ්පාදන රටාවකට තල්ලු වී ඇති ආකාරය මනාව පිළිබිඹු වේ. තම පුරවැසියන්ගේ ආහාර අවශ්‍යතා සඳහා පරාදීන වීම තරම් අවාසනාවක් රටකට තිබිය හැකිද? මෙයින් වහා ගොඩ ඒම සඳහා පාලකයින්, විද්‍යාඥයින් සහ සමස්‌ත පුරවැසියන් පක්‌ෂ, ජාති, ආගම් භේද වලින් තොරව කැපවීම අත්‍යාවශ්‍ය වේ.
මහාචාර්ය ජී. අයි යාපා, කෘෂිවිද්‍යා පීඨය, සබරගමු විශ්වවිද්‍යාලය.
http://www.divaina.com/2016/11/13/feature33.html
ප්‍රථම ධර්ම දූත මෙහෙවර
අඤ්ඤා කොණ්‌ඩඤ්ඤ මහ රහතන් වහන්සේ ඇතුළු පස්‌වග ශ්‍රාවකයන් වහන්සේලා ඇතුළු ප්‍රථම ධර්මදූත සැට නම ධර්ම ප්‍රචාරයේ යෙදෙන ලද්දේ මෙවන් දිනකය. "චරථ භික්‌ඛවේ චාරිකං..." යනාදී උපදේශයෙන් බුදුරජාණන් වහන්සේ මඟ කියාදෙමින් බුද්ධ ශාසනය ඇරඹුණේ අද වැනි දිනකය.
ජටිල දමනය
උරුවෙල් දනව්වේ නේරංජනා නදිය අසබඩ ආරාම තුනක විසූ උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප හා ගයා කාශ්‍යප යන ජටිල සොහොයුරන් ඇතුළු දහසක් අනුගාමිකයන්ට බුදුදහමේ සත්‍යය වටහා දීමෙන් අනතුරුව බුදුදහම වැළඳගෙන සසුන්ගත වූයේ ද ඉල් පෝ දිනකදී ය. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ආදිත්ත පරියාය සූත්‍රය අසා සියලු දෙනා රහත් වූහ.
මෛත්‍රී බෝධිසත්ත්වයන් වහන්සේ විවරණ ලැබීම
මෛත්‍රී බෝධිසත්ත්වයන් වහන්සේ සැවැත්නුවරට නුදුරු සංකස්‌ස නුවර මහාසාල කුලයක සිරිවඩ්ඩන නම් වූ මහ සිටුවරයාගේ පුත්ව ඉපිද සිටියහ. බුදුන් වහන්සේගේ දේවාරෝහණ පූජාව සම්බන්ධයෙන් සැරියුත් මහ රහතන්වහන්සේ සමඟ පැවැති ප්‍රශ්න විසඳුම් සාකච්ඡාවට සවන් දුන් මෛත්‍රී බෝසතුන් දහසක් පමණ වූ තම පරිවාර සමඟ බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ ආර්ය මෛත්‍රී නමින් පැවිදි විය.
ඉන්පසු එළඹි වස් කාලයක තම දායකයන් විසින් පූජා කළ උසස් තත්ත්වයෙන් යුත් වස්‌ත්‍ර යුගලක් ලද බෝධිසත්ව තෙරුන්වහන්සේ ඉන් එක් සිවුරක් බුදුන්වහන්සේ වැඩ සිටින ගඳකිළියෙහි වියනක් කොට පූජාකළ අතර, අනිත් සිවුර තීරු වශයෙන් ඉරා මහ වියන් වටකොට එයද බුදුරජාණන් වන්සේට පූජා කළ සේක. මෙම පූජාවෙන් අනතුරුව මහා සංඝයා වහන්සේ මැද සිට බුදුරජාණන්වහන්සේ මහ තෙරුන් අමතා ස්‌ථවිරයෙනි, නුඹ මේ මහා භද්‍රකල්පයෙහි මෛත්‍රී නමින් සම්භවයක් ලැබ සම්බුද්ධ වන්නෙහි. යෑයි විවරණ දී වදාළ සේක.
අගසව් සැරියුත් මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑම
අගසව් සැරියුත් මහ රහතන් වහන්සේ අන්තිම වරට බුදුරජාණන් වහන්සේ දැක ස්‌වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මම දැන් ජරාජීර්ණ වෙමි. මෙයින් සත් දිනක් ගිය තැන මම මේ ශරීරයේ බහන්නෙමි'යි පවසා වැඩම කොට සත්වැනි දිනයේදී නාලක ගමේ තමන් උපන් ගෙදරදී ඉල් පුර පසළොස්‌වක පොහෝදා පිරිවන් පෑහ.
ථූපාරාමයෙහි නිධන් කිරීම සඳහා ධාතු වැඩමවීම
සිරිලක බුද්ධ ශාසනය පිහිටුවීමෙන් පසුව ගොඩනංවන ලද මුල්ම සෑය වූ ථූපාරාමයෙහි නිධන් කිරීම පිණිස සුමන සාමණේරයන් වහන්සේ දඹදිවට වැඩම කොට බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව සමඟ ධර්මාශෝක නිරිඳුන් පරිත්‍යාග කරන ලද පාත්‍රයක් පමණ වූ සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රථමවරට ලංකාවට වැඩම කරවන ලද්දේ ඉල් පුර පසළොස්‌වක පොහෝදාය.
කඨින චීවරය පූජා කළ හැකි අවසන් දිනය
http://www.divaina.com/2016/11/13/feature21.html
පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස් කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්.
පංචඋපාදානස්‌කන්ධ ක්‍රියාවලියට අදාළව මීළඟ ධර්මතාව තමයි ඵස්‌සය. ඵස්‌සය කියලා කියන්නේ කාරණා තුනක එකතුවට. එම කාරණා තුන තමයි, ආධ්‍යාත්මික රූපය, බාහිර රූපය සහ විඤ්ඤාණය ඉහත කාරණා තුනේ එකතුවෙනුයි ඵස්‌සය කියන ධර්මතාව සකස් වෙන්නේ.
ඵස්‌සය කියලා කියන්නේ දැක්‌කා, ඇසුණා, දැනුණා... කියන අර්ථයයි. බුදුරජාණන්වහන්සේ භාහියදාරුචීරියට දේශනා කරනවා 'ඇසෙන් දැක්‌ක දේ දැක්‌කාය කියන තැන නවතින්න. කනට ඇසුණ තැන 'ඇසුණා'ය කියන තැන නවතින්න. සිතට දැනුණු දෙය 'දැනුණා'ය කියලා නවතින්න. දකින දෙය, ඇසුණු දෙය, දැනෙන දෙය නිරතුරුවම අනිත්‍යභාවයට පත්වෙනවා නම්, මේ ධර්මතාවන්ට බැඳෙන්න එපා කියලා බුදුරජාණන්වහන්සේ භාහියට කෙටි කමටහනක් වශයෙන් දේශනා කරන්නේ.
පිංවත් ඔබ, ඇස, කන, නාසය, දිව, ශරීරය යන ඔබේ ආධ්‍යාත්මික රූපයන්ට බාහිර රූපයන් ඵස්‌සය වන මොහොතේම, එම ඵස්‌සය අනිත්‍ය වශයෙන් දකින්න. මේ ඵස්‌සය කියන ධර්මතාවන් අතීත, වර්තමාන, අනාගත වශයෙන් ඔබ අනිත්‍යය දකින්න දක්‍ෂවෙන්න ඕනේ.
ඔබ වර්තමානයේ ඇසෙන් යම් රූපයක් දැක්‌කා නම්, එම රූපය නිත්‍යද? අනිත්‍යද?
පිංවත් ඔබ වර්තමානයේ, කනෙන් යම් ශබ්දයක් ඇසුවා නම්, නාසයට යම් ගඳ සුවඳක් දැනුණා නම්, එම දැනීම නිත්‍යද? අනිත්‍යද? වර්තමානයේ පිංවත් ඔබ මේ කුමක්‌ද කරමින් ඉන්නේ. අනිත්‍ය වන, වෙනස් වන, ඵස්‌සය නිත්‍ය වශයෙන් ගන්නා. වර්තමාන ඵස්‌සය නිත්‍ය වශයෙන් ගැනීම නිසාම, සෑම නිමේෂයකදීම වර්තමානය අතීතය වෙත ගලාගෙන යන්නේ, අනාගතයට සංස්‌කාරයන් රැස්‌කරදීලා. ඒ අනාගතයත්, යම් දවසක වර්තමානයක් බවට පත්වෙලා, නැවත අනාගතයට සංස්‌කාරයන් රැස්‌කොටදී අතීතයට එකතුවෙනවා. වර්තමාන ඵස්‌සය අනිත්‍ය වශයෙන් නොදකින පිංවතා නිරතුරුවම අනාගතය රැස්‌කරගන්නා අදක්‍ෂයෙක් වෙනවා. පිංවත් ඔබ වර්තමානයේ ඇසෙන් රූපයක් දැක්‌කොත්, ක්‍ෂණයෙන්ම රූපය අනිත්‍යයි කියලා දකින්න දක්‍ෂවෙන්න. රූපය ගැන හැඩතල මවන්න යන්න එපා. ඔබ කැමැති, අකැමැති ශබ්දයක් ඇසෙනකොට, අනිත්‍යයි කියලා දකින්න. පංචඋපාදානස්‌කන්ධ ධර්මයේ ඵස්‌සය කියන ධර්මතාව අනිත්‍ය වශයෙන් දකින සෑම මොහොතකම පිංවත් ඔබ අනාගත භවයට රැස්‌කරගන්නෙක් වෙනවා.
පිංවත් ඔබ වර්තමානයේ දකින දෙය, ඇසෙන දෙය, දැනෙන දෙය, සිතෙන දෙය අනිත්‍ය වශයෙන් දකින මොහොතක් පාසා, ඔබ වර්තමාන ඵස්‌සයේ අනිත්‍යභාවය දකින පිංවතෙක් වෙනවා. පිංවත් ඔබ දෑස් පියාගෙන ඵස්‌සයේ අනිත්‍යභාවය දකිමින් ජීවත්වෙන්න. වර්තමාන ඵස්‌සය කෙරෙහි කලකිරීම් ඇතිකොටගන්න.
භික්‍ෂුව වරක් පෞද්ගලික බස් රථයකින් දුර බැහැර පළාතකට වැඩමකරනකොට අතරමගදී අතරමගදී තවත් පිංවත් ස්‌වාමීන්වහන්සේනමක් බස් රථයට ගොඩවී භික්‍ෂුව අසලින්ම වැඩසිටියා. උන්වහන්සේත් ආරණ්‍යයකට වඩින ස්‌වාමීන්වහන්සේ නමක්. බස් රථයේ සිටි තරුණ කොන්දොස්‌තර මහත්මයා කැසට් රේඩියෝව ටිකක් ශබ්දයෙනුයි දමා තිබුණේ. ඒ වෙලාවේ වාදනය වෙමින් පැවතියේ වේගරිද්ම සිංදුවක්. භික්‍ෂුව ගිහි කාලයේ එම සිංදුවට ගොඩාක් ආසයි. මඟුල්ගෙවල්වලදී මම ඒ සිංදුවට ගොඩක් නටලා තිබෙනවා. භික්‍ෂුව පෞද්ගලික බස් රථයේ මේ වේගරිද්ම සිංදුව ඇසෙනකොට, භික්‍ෂුවට අතීත පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවයයි සිහිපත් වුණේ. සිංදුවට කන් යොමාගෙන නිහඬව අතීතයේ නැටුම්, ගැයුම්, වැයුම් අනිත්‍ය වී ගිය හැටි නුවණින් දකිමින් සිටියදී එක පාරටම භික්‍ෂුව අසල වැඩසිටි අනෙක් ස්‌වාමීන්වහන්සේ ආසනයෙන් නැගිට කේන්තිගිය ස්‌වභාවයෙන් කොන්දොස්‌තර මහත්තයාටත්, රියෑදුරු මහත්මයාටත් බැණවැදුණා, වහාම කැසට් රේඩියෝව වසාදමන්නයි කියලා. එම ස්‌වාමීන්වහන්සේගේ ආවේගශීලී ක්‍රියාව දැක භික්‍ෂුව දැක්‌ක දෙය, ඇසුණ දෙය, අනිත්‍ය වශයෙන්මයි දකිමින් සිටියේ. මේ මොහොතේත් භික්‍ෂුවට එම සිද්ධිය අනිත්‍ය වූ ඵස්‌සයක් පමණක්‌මයි. එම සිද්ධිය සිද්ධවෙන අවස්‌ථාවේදී එම ස්‌වාමීන්වහන්සේ ඒ ආවේගශීලී සිද්ධියට භික්‍ෂුවවත් හවුල්කරගන්න උත්සාහ කළා. භික්‍ෂුව උන්වහන්සේට ප්‍රකාශ කළේ 'ස්‌වාමීන්වහන්ස, අපට ලෝකය හදන්නට බැහැ. අකීකරු ලෝකය දෙස බලලා, ඔබ වහන්සේ හැදෙන්න'ය කියන කාරණයි. අකීකරු ලෝකය දෙස බලලා, ඔබ හැදෙන්නයි කියලා කියන්නේ ඵස්‌සය අනිත්‍ය වශයෙන් දකින්න කියන කාරණයයි.
පිංවත් ඔබ වර්තමාන ඵස්‌සය අනිත්‍ය වශයෙන් නොදකින තාත්කල්, ඔබට වර්තමාන අකීකරු ලෝකයෙන් ගැලවීමක් නම් ලැබෙන්නේ නැහැ.
ඉදිරිපත් කිරීම, ඉන්ද්‍රජිත් සුබසිංහ, indrajith.media@gmail.com
http://www.divaina.com/2016/11/13/feature15.html
නව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවක් සම්පාදනය කිරීම සඳහා මේ දිනවල විවිධ යෝජනා හා අදහස් ඉදිරිපත් වෙමින් තිබේ. එම යෝජනා අතර ඉඩම්, පොලිස් සහ මුදල් බලතල සම්පූර්ණයෙන්ම පළාත් සභාවලට ලබාදීමටත් පළාත් සභා විසුරුවා හැරීමට ජනාධිපතිවරයා සතු බලතළ කපා හැරීමටත් යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව පසුගිය සතියේ වාර්තා විය. මෙවැනි යෝජනා ක්‍රියාත්මක වුවහොත් රටේ ඒකීයභාවය සහ ආරක්‌ෂාව පිළිබඳ ඉන් ඇතිවිය හැකි බලපෑම ගැනත් අපේ රටේ පවතින වර්තමාන තත්ත්වය අනුව නව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවකට ඇතුළත් විය යුතු කරුණු පිළිබඳවත් ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි සමග දිවයින ඉරිදා සංග්‍රහය පැවැත්වූ සාකච්ඡාවකි මේ.
යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්පාදනය කිරීමේදී දෙමළ ජනතාව කෙරෙහි වැඩි අවධානයක් යොමුව ඇති බවට නැඟෙන චෝදනා පිළිබඳ ඔබේ අදහස කුමක්‌ද?
අද ආණ්‌ඩු පක්‌ෂයත් විපක්‌ෂයත් දෙකම උතුර නැගෙනහිර සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශ තුළ පෙනෙන්නට තිබෙන්නේ මේ දෙපිරිසම කටයුතු කරන්නේ ඒ ප්‍රදේශ දෙකේ ඇති ඡන්ද තමන් වෙත ලබාගැනීමේ අපේක්‌ෂාවෙන් බවයි. පසුගිය ජනාධිපතිවරණයේදීත් මහ මැතිවරණයේදීත් උතුර නැගෙනහිර ජනතාවගේ ඡන්ද වැඩි ප්‍රමාණයක් එක්‌සත් ජාතික පක්‌ෂයත් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ ඔහුගේ කණ්‌ඩායමට ලබාගැනීමට හැකිවුණා. විශේෂයෙන්ම ආණ්‌ඩු පක්‌ෂයේ දැන් ඉලක්‌කය ඊළඟ මැතිවරණයේදීත් කෙසේ හෝ මේ තත්ත්වය ආරක්‌ෂා කරගැනීමට බව පෙනේ. එක්‌සත් ජාතික පක්‌ෂය යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදනයේදී දෙමළ ජනතාවගේ අපේක්‌ෂා වෙනුවෙන් වැඩි සැලකිල්ලක් දක්‌වන බව බැලු බැල්මට පෙනෙන්නට තිබේ. ක්‍රම ක්‍රමයෙන් දැඩිවන ආර්ථික අර්බුදයත්, බටහිර රටවල වුවමනා එපාකම් ඉටුකිරීමට යැම නිසා දකුණේ දී ආණ්‌ඩුවට මුහුණදීමට වන යම් යම් පසුබෑම් නිසාත් උතුර නැගෙනහිර ඡන්ද රැකගැනීම ආණ්‌ඩුවට අවශ්‍ය වෙයි. මේ නිසා සිංහල ජනතාවගේ අයිතිවාසිකම්වලට වඩා දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ගැන ආණ්‌ඩුව වැඩි අවධානයක් යොමු කර තිබෙන බව පෙනෙන්නට තිබෙනවා.
මේ තත්ත්වය ඉදිරියේදී ආණ්‌ඩුවට සම්බන්ධ ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂ මැති ඇමතිවරුන්ගේ විරුද්ධත්වයක් දක්‌වා වර්ධනය වීමටත් ඉඩ තිබෙනවා. එවැනි විරෝධතාවක් නොදක්‌වන ආණ්‌ඩුවට සම්බන්ධ ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් දකුණේ ජනතාවගේ දෝෂදර්ශනයට ලක්‌වන්නටත් ඉඩ තිබෙනවා.
අපේ රටේ පවතින වර්තමාන තත්ත්වය අනුව නව ව්‍යවස්‌ථාවක් සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හිමි විය යුත්තේ කවර කරුණුවලටද?
රට සංවර්ධනය කිරීම, ඒ තුළින් ආර්ථිකය ශක්‌තිමත් කිරීම සහ ජාතීන් අතර සමගිය වර්ධනය කර ගැනීම අද අපේ රටට අත්‍යවශ්‍ය ප්‍රධාන කාරණා තුනයි. නමුත් මේ ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලය කටයුතු කරන ආකාරය අනුව ඔවුන් සමසමාජ කොන්ත්‍රාත්කරුවන් ද යන සැකයක් අප තුළ මතුවෙනවා. නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක් සම්පාදනය කිරීමට හැකියාවක් ඇති අය මේ පිරිස අතර සිටිනවාද යන සැකයත් මා තුළ තිබෙනවා. අද අපේ රටේ වාමාංශික පක්‌ෂත් දෙපිලකට බෙදී එක් කොටසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ශවයේත් අනෙක් කොටස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ පාර්ශවයේත් කටයුතු කරන බැවින් මේවා වාමාංශික පක්‌ෂ ලෙස හැඳින්වීමටත් හැකියාවක් නැති තත්ත්වයකට පත්ව තිබෙනවා. මේ අය අද කටයුතු කරන්නේ දක්‌ෂිණාංශික අවශ්‍යතා සපුරාදීමටයි. එමනිසා එක්‌සත් ජාතික පක්‌ෂයේ ජාතිහිතෛෂී කණ්‌ඩායම් පවා මේ නව ව්‍යවස්‌ථාවට සිය විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට ඉඩ තිබේ. ඒ අනුව යෝජිත මේ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්මත කර ගැනීමත් විශාල අභියෝගයක් බවට පත්වීමටත් ඉඩ තිබේ.
නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව කෙසේ සම්පාදනය විය යුතුද යන්න පිළිබඳ ඉදිරිපත් වන යෝජනා අතර පළාත් සභාවලට ඉඩම්, පොලිස් සහ මුදල් බලතල මුළුමනින්ම ලබාදිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි පසුගිය සතියේ ප්‍රකාශ වුණා. එවැන්නක් සිදුවුවහොත් රටේ ජාතික ආරක්‌ෂාවට සහ ඒකීය භාවයට එහි බලපෑම කෙබඳුද?
සියලුම ඉඩම් බලතල මධ්‍යම ආණ්‌ඩුව සතු විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් තීරණය කර ඇති බැවින් මේ ප්‍රශ්නය දැනටමත් විසඳී හමාරයි. එසේම විවිධ අවස්‌ථාවලදී විනිශ්චයකරුවන් අටදෙනෙකු මේ පිළිබඳ ලබා දී ඇති නඩු තීන්දුවලට අනුව ද පෙනී යන්නේ රජයේ ඉඩම් මධ්‍යම රජය සතු විය යුතුය යන තීරණය වෙනස් නොවන බවයි. එම තීරණය වෙනස් කළ හැක්‌කේ නව ව්‍යවස්‌ථාවක් සම්පාදනය කිරීමෙන් පමණයි.
යම් හෙයකින් ආණ්‌ඩුව එබඳු ක්‍රියාමාර්ගයකට එළඹුණහොත් එය දේශපාලන වශයෙන් ආණ්‌ඩුව ගන්නා ඉතාමත් අනුවණ තීරණයක් වනු නිසැකයි.
අපේ රටේ ජනවර්ග අතර සමගිය ඇතිකිරීම සඳහා වර්තමාන ව්‍යවස්‌ථාවේ ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් බව ඇතැමුන් දරන මතයක්.
අපේ රටේ ජනවර්ග අතර සමගිය වර්ධනය වීමට ඇති බාධාව ඒ පිළිබඳ ක්‍රියාත්මක වීමේ ඇති අඩුපාඩුයි. අද ජනවර්ග අතර සමගිය ඇති කිරීමට යෑයි ගෙනෙන ඇතැම් යෝජනාවලින් සිදුවන්නේ සමගිය ඇති වීම නොව තිබෙන සමගියත් නැතිවීමයි. ඉඩම් හා පොලිස් බලතල මුළුමනින්ම පළාත් සභාවලට ලබාදිය යුතු යෑයි කරන යෝජනාවත් එවැනි යෝජනාවක්. මෙවැනි යෝජනා ගෙන ඒම ත්‍රිවිධ හමුදාව ජීවිත පරිත්‍යාගයෙන් ලබා දුන් යුද ජයග්‍රහණයටත් නිග්‍රහයක්. සිංහල ජනතාව කිසිවිටෙක මෙවැනි යෝජනාවන්ට එකඟ වෙතැයි සිතන්නට බැහැ. එක් ජාතියක් පමණක් සතුටු කිරීමට කටයුතු කිරීමෙන් කිසිදිනක ජාතීන් අතර සමගිය වර්ධනය වේ යෑයි සිතන්නටත් බැහැ. මේ නව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවක් සම්පාදනය කිරීම සම්පූර්ණයෙන්ම දේශපාලන අරමුණු සහිත ක්‍රියාවක් බවයි මගේ අදහස. රටේ සෑම පළාතකම සංවර්ධනය වේගවත් කිරීමට අවශ්‍ය සහ ඒ තුළින් ආර්ථිකය ශක්‌තිමත් කර ගැනීමට හැකි පසුබිමක් සහිත ව්‍යවස්‌ථාවක්. දැනට ඉදිරිපත් වන මෙවැනි යෝජනා තුළින් නම් යෝජිත නව ව්‍යවස්‌ථාවෙන් එබඳු අරමුණක් සාක්‌ෂාත් කරගත හැකි බවක් පෙනෙන්නට නැහැ.
සාකච්ඡා කළේ - පාලිත සේනානායක
http://www.divaina.com/2016/11/13/politics01.html
Pic
Source
කළගුණ සැලකීම යනු යමෙක් තමන්ට උපකාරයක් කළ විට ඊට ප්‍රත්‍යqපකාරයක් කිරීම හෝ ඔහුට ගෞරවයෙන් යුතුව සැලකීමයි. තිලෝගුරු බුදුපියාණන් වහන්සේ තමන් බුදු වන විට පිටදුන් ශ්‍රී මහා බෝධියට පවා කෘතගුණ දක්‌වමින් (අනිමිසලෝචනයෙන්) එහි වටිනාකම සහ වැදගත්කම ලෝකයාට පෙන් වූ සේක. කෙනෙක්‌ව මරණයෙන් බේරා ගැනීම තරම් උපකාරයක් තවත් ඇත්දැයි සිතා ගැනීමට නුපුළුවන. මන්ද අප සියලු දෙයක්‌ම කරන්නේ ජීවත්වීම උදෙසා බැවිනි. එම ජීවිතය කවුරුන් හෝ වනසා දමන්ට තැත් කරයිද ඒ අනතුරින් ජීවිත බේරා ගැනීම තරම් " උපකාරයක්" වෙන තිබිය නොහැක. නමුත් සමස්‌ත ජනතාවම මරණයෙන් බේරාගෙන කරන ලද උපකාරයක් සමස්‌ත ජනතාවම අද මුළුමනින්ම අමතක කර ඇති සෙයක් පෙනේ නම් එය කෙතරම් ඛේදජනකද?
ත්‍රස්‌තවාදය උත්සන්නව පැවැති සමයේ, දරුවන් පාසල් යෑවූ දෙමාපියන් නැවත දරුවා ගෙදර එනතුරු සිටියේ මහත් වූ භීතියෙනි. සැමියා වැඩට ගිය පසු ඔහු නැවත නිවස කරා එනතුරු බිරිඳ සිටියේ දෙලොවක් අතරය. සැමියා සහ බිරිඳ දෙදෙනාම රැකියා කරන විට ඔවුන් දෙදෙනාම ගියේ වෙන වෙනමය. මන්ද එක වාහනයක යන විට එය බෝම්බයකට අසුවුවහොත් තම දරුවනට මවුපිය දෙදෙනාම අහිමි වන බැවිනි. ත්‍රස්‌තවාදයේ තරම එයයි. එදා රටේ සියලුම ජනතාව සිටියේ මරබියෙනි. ත්‍රස්‌තවාදය ඇතිවීමට පාදක වූ කරුණු සාධාරණද අසාධාරණද යන්න එදා ජනතාව විමසුවේ නැත. ඔවුනට අවශ්‍ය වූයේ ත්‍රස්‌තවාදය නැති කර දමා තමන්ට බියෙන් සැකෙන් තොරව ජීවත්වීමට ඇවැසි නිදහස ලැබා ගැනීමය.
ඒ නිදහස ලබාදුන්නේ කවුද? රණවිරුවාය. ඒ සඳහා රණවිරුවන් 29000 ක් දිවි පිදූහ. 14000 ක් පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වූහ. සෙසු රණවිරුවෝ තම පවුලේ නිදහස වසර ගණනාවක් කැප කරමින් සටන්කොට ජීවත්වීමට වාසනාව ලැබූහ. එසේ නම් රණවිරුවෝ මෙවන් වූ උත්තරීතර කැපවීමක් කළේ තමාට නිදහසේ ජීවත් වීමට නොව තම සහෝදර ජනතාවට නිදහසේ ජීවත් වීමටය. ඒ අනුව බලන කල එම "උපකාරය" තරම් වෙනත් උපකාරයක් තවත් ඇත්ද? එවන් සුවිශේෂී වූ උපකාරයකට. ජනතාව කෘතගුණ සලකන ආකාරය ගැන අපට සෑහීමකට පත් විය හැකිද? තමන් වෙනුවෙන් අත පය, ඇස් කන් අහිමි කරගත් ආබාධිත රණවිරුවන්ට එළවා එළවා රජය විසින් පහර දෙන විට එම කඳුළු ගෑස්, ජල ප්‍රහාර හමුවේ තම කෘත්‍රිම කකුල්ද ගලවා එහේ මෙහේ දුවන විට, ලේ ගලන තුවාල සහිතව වැටී සිටින විට, අප ඒ දෙස බලමින් නිකම්ම සිටියෙමු. ඊට පසුවදාවත් ජනතාවගෙන් ඊට විරුද්ධව කිසිදු බරපතළ චෝදනාවක් නැඟෙනු අපට ඇසුණේ නැත දුටුවේ නැත.
මීට මාස කිහිපයකට පෙර නිදහස් චතුරශ්‍රයේ ආරක්‍ෂක නියාමකවරුන් දෙදෙනෙක් (සෙකියුරිටි ගාඩ්) තරුණ ජෝඩුවකට අත් අල්ලාගෙන එම ශාලාව තුළ යන්න එපා යෑයි කී විට මුළු ලංකාවේම යෞවන යෞවනියන් ඒ අසරණ ආරක්‍ෂක නියාමකවරුන් දෙදෙනාට එරෙහිව නැඟසිටිය හැටි අපට මතකය. එක්‌තරා තරුණ ඇමතිවරයෙක්‌ද පැමිණ එම දෙදෙනාට තරයේ අවවාද කරනු රූපවාහිනිය තුළින් ජනතාවට දැක බලා ගත හැකි විය. එවන් වූ තරුණ පරම්පරාවක් සිටින අපේ රටේ ආබාධිත රණවිරුවන්ට මෙලෙස ම්ලේච්ඡ අන්දමින් පහරදුන් විට එයට විරුද්ධව මුහුණු පොතේ පවා කිසිදු බැරෑරුම් ප්‍රකාශන හෝ රණවිරුවන්ට ලබා දිය යුතු සහයෝගය" අප දුටුවේ නැත. එය අප දකින්නේ ජාතියේම අවාසනාවක් ලෙසිනි.
යුද හමුදාවට යුද සමයේ ස්‌වේච්ඡාවෙන් බැඳී වසර 12 ක් ගෙවෙන්ට මත්තෙන් යුද බිමේදී බරපතළ තුවාල ලැබ අත පය අහිමි වු රණවිරුවන් යුද හමුදාවෙන් වෛද්‍ය හේතූන් මත ඉවත් වූ විට ඔවුනට මාසික වැටුප සහ දුබලතා දීමනාව ඔවුනට අවුරුදු 55 වනතුරු ලැබේ. නමුත් ඔවුන් සේවා විශ්‍රාම වැටුපට හිමිකම් කියන්නේ නැත. මන්ද ඔවුන් වසර 12 ක් සම්පූර්ණ කර නොමැති හෙයිනි. සේවා විශ්‍රාම වැටුපට හිමිකම් නොලබන උක්‌ත රණවිරුවෙක් හදිසියේ මිය ගියොත් එම බිරිඳට එතෙක් රණවිරුවා ලැබූ වැටුප හෝ දුබලතා හෝ නොලැබේ. ලැබෙන්නේ සුළු වැන්දඹු සහ අනත්දරු වැටුපක් පමණි. එම ආබාධිත රණවිරුවන්ගේ ඉල්ලීම වනුයේ තමාට වසර 12 ක සේවා කාලයක් නැතත් තමන්ව සේවා විශ්‍රාම වැටුපට අනුයුක්‌ත කරන ලෙසයි. මන්ද ඔවුන් තුවාල වී ආබාධිත වූයේ නැතිනම් ඔවුන් දිගටම සේවයේ යෙදෙන නිසයි. ඔවුන් තුවාල ලැබුවේ රට වෙනුවෙන් සටන් බිමට ගිය නිසයි. ඔවුන් උදාහරණයක් ලෙසින් දක්‌වා සිටින්නේ ආබාධිත වූ වසර 12 කට අඩු එවන් රණවිරුවෙක් දියේ ගිලී මිය ගිය බවත් අද එම බිරිඳට හිමිව ඇත්තේ මසකට රු 3000/ක පමණ මුදලක් බවත්ය. මන්ද සියලුම සෙබළුන් පාහේ නිවාස සෑදීමට සහ වෙනත් අවශ්‍යතාවන්ට ණය ලබාගෙන ඇති බැවින් රුපියල් 15,000 ක පමණ මුදලින් ණයවාරික කපා ගත් පසු ලැබෙන්නේ එවන් සුළු මුදලක් බැවිනි. දරුවන් සිටින බිරිඳක් එවන් තත්ත්වයකට පත් වුවහොත් ඇය මුහුණපාන තත්ත්වය එයයි. මෙම ආබාධිත සෙබළුන් එදින ඉල්ලා සිටියේ තමන්ගෙන් පසු තම පවුලට මුහුණ පෑමට වන එම අවාසනාවන්ත තත්ත්වයෙන් මුදවීමට තමන්වද සෙසු නිලයන්ට මෙන් සේවා විශ්‍රාම තලයේ තබන ලෙසයි.
අද වන විට මෙලෙස වසර 12 ක සේවා කාලය නැති ආබාධිත වූ ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් සිටිනුයේ තුන්දහසකට අඩු සංඛ්‍යාවකි. එබැවින් පසු ගිය රජය විසින් මොවුන්ට, පූර්වාදර්ශයක් නොවන පරිද්දෙන්, එම සේවා විශ්‍රාම වැටුප කැබිනට් මණ්‌ඩලය මගින් අනුමත කර ඇත්තේ 2014 වර්ෂයේ දෙසැම්බර් මස 11 වන දිනය. රජය වෙනස් වීමත් සමඟ එය ක්‍රියාත්මක වීම අතපසු වූ බැවින් මෙම ආබාධිත රණවිරුවන් පසුගිය ජුලි මස කොටුව දුම්රිය පළට පැමිණ එම සහනය තමන්ට ලබාදෙන ලෙස ඉල්ලා සිටි විට දුමින්ද දිසානායක අමාත්‍යවරයා එතැනට පැමිණ මාස 3 ක කාලයකින් ප්‍රශ්නය විසඳන බවට දුන් පොරොන්දුව අනුව ඔවුන් එතැනින් විසිර ගියහ. තුන් මසක් ඉකුත් වූ පසුත් මේ සම්බන්ධයෙන් පිළිතුරක් තබා කිසිදු ප්‍රතිචාරයක් හෝ නොලැබුණු බැවින් ඔවුනට නැවත එම උද්ඝෝෂණය ආරම්භ කිරීමට සිදු විය. උද්ඝෝෂණය ආරම්භ වූ පසු රජයෙන් කිසිදු නියෝජිතයෙක් එතැනට පැමිණ ඒ පිළිබඳව සාකච්ඡා නොකරන ලදී. දින කිහිපයකට පසුව රණවිරුවන් කිහිප දෙනෙක් මාරාන්තික උපවාසයක් ආරම්භ කරන ලදී. ඊට දින කිහිපයකට පසුව ඉතිරි ආබාධිත රණවිරුවන් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කරන විට ඊට සූදානම්ව සිටි පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කොට ඔවුන්ව පලවා හරින ලදී. ඉන් පසුව එම ප්‍රශ්නයට 2017 පෙබරවාරි මස විසඳුම දෙන බවට ලිතව ඔවුනට රජය මගින් දන්වා තිබිණ. ඒ වන විට ත්‍රස්‌තවාදීන් හා සටනින් ආබාධිත තත්ත්වයට පත්ව සිටි එම රණවිරුවන්ගෙන් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා රෝහලට ඇතුළත් කර තිබිණ. ඒ ප්‍රභාකරන්ගෙන් නොව තමන්ගේම අයගෙන් එල්ල වුණු ප්‍රහාරයෙනි. ඒ ප්‍රශ්නය, එසේ නම් එසේ ඉතා ලෙහෙසියෙන් විසඳීමට තිබියදී දින ගණනාවක් මෙම රණවිරුවන් මහ පාරේ කිසිදු පහසුකමක් නැතිව රස්‌තියාදු කළේ ඇයි? ඒ ඔවුන්ට "පාඩමක්" ඉගැන්වීමටද?
මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා පවසන්නේ තමා ඒ පිළිබඳව කිසිත් නොදන්නා බවත් තමාට දුරකථනයෙන් හෝ දැන් වූයේ නම් එසේ පහරදීම කෙසේ හෝ වළක්‌වන බවත්ය. රටේ සේනාවිධායකට නොදන්වා එලෙස ආබාධිත රණවිරුවන්ට හිංසාකාරී ලෙස යමෙක් සලකා ඇත්නම් එය රණවිරුවන්ට සේම ජනාධිපතිවරයාටද කරන ලද නිගරුවකි. මන්ද රණවිරුවන් සියල්ලන්ම සේනාවිධායක යටතේ සිටින සාමාජිකයන් බැවිනි. එබැවින් එම අදාළ පුද්ගලයන්ට විරුද්ධව ක්‍රියා මාර්ග ගනු ඇතැයි අපි අපේක්‍ෂා කරමු.
එම රජය බලයට පැමිණිදා පටන් රණවිරුවාට සැලකූ ඉතා පහත් ආකාරය ජනතාව හොඳින් දනී. එසේ කරනුයේ දෙමළ ඩයස්‌පෝරාවේ සිත් පිනවීමට බවද ඔවුන් දනී. මන්ද මෙම රජය බලයට පැමිණියේ දෙමළ බෙදුම්වාදී ඩයස්‌පෝරාවේ සහ දෙමළ බෙදුම්වාදී දේශපාලනඥයන්ගේ පූර්ණ සහයෝගය තුළින් නිසාය. බලයට පැමිණි වහාම රණවිරුවා අභූත චෝදනා ඉදිරිපත් කරමින් සිරගෙට යවන්නේද බරපතල අපරාධ සිදු කළ ත්‍රස්‌තයන් නිදහස් කොට යවන්නේද එබැවිනි. අද රජය බටහිරේ සහ දෙමළ ඩයස්‌පෝරාවේ දේශපාලනඥයන්ගේ නූල්වලින් නැටවෙන රූකඩ බවට පත් වී හමාරය. එසේ කරනුයේ ජාතියේ සේම රණවිරුවාගේද අභිමානය පාවා දෙමිනි. පාර්ලිමේන්තුවේ බහුතරයක් පවා නොමැති රනිල් වික්‍රමසිංහගේ ආණ්‌ඩුවට මෙසේ තමන් හිතුමතේ රට පාවා දීමට ක්‍රියා කිරීමට ජනතාව බලය දී නැත. එබැවින් ඊට විරුද්ධ වීමට අපට බලය තිබේ.
පසුගිය දින සියය තුළ රනිල් වික්‍රමසිංහ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය පිහිටු වූයේද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට නොදන්වාය. ඒ බැව් ජනාධිපතිතුමා එදා පාර්ලිමේන්තුවේ කණ්‌ඩායම් රැස්‌වීමේදී ප්‍රකාශ කරන ලදී. ජනාධිපති එසේ තමාට නොදන්වා, මෙවන් වූ ඉතා බරපතළ සංවේදී දෙයක් කළත්, එය අවලංගු කිරීමට කිසිත් පියවරක් ගත්තේ නැත. වර්ෂ 2002 දී අගමැති රනිල් වික්‍රමසිංහ කොටි සංවිධානය ඉතා විශාල ලෙසින් ශක්‌තිමත් වීමට ඉඩදුන් ඊනියා සාම ගිවිසුම කොටින් සමඟ අත්සන් කළේද එවකට සිටි ජනපතිනිය චන්ද්‍රිකා බණ්‌ඩාරනායකට නොදන්වාය. රනිල් වික්‍රමසිංහ රට පාවාදීම සඳහා සියලුම දේ කරනුයේ ඒ ආකාරයටය.
මෙවරද ජිනීවා හිදී අපේ රණවිරුවන්ට විරුද්ධව සකස් කරන ලද යුද අපරාධ චෝදනා අඩංගු වාර්තාව මංගල සමරවීර අමෙරිකාව සමඟ අගය කරමින් පිළිගත්තේ රනිල්ගේ උපදෙස් මත ජනාධිපතිතුමාට නොදන්වා විය යුතුය. එම වාර්තාවේ අඩංගු රණවිරුවන්ට විරුද්ධව ඇති චෝදනා විභාග කිරීමට විදෙස් විනිසුරුකරුවන්ගෙන් සමන්විත විශේෂ අධිකරණයටද මංගල සමරවීර එකඟ වී ඇත්තේ ජනාධිපතිට නොකියාය. මන්ද ඊට පසුව තමා කිසිසේත් විදෙස් විනිසුරුකරුවන්ට ඉඩ දෙන්නේ නැතැයි ජනාධිපතිතුමා ප්‍රකාශ කළ බැවිනි. කරුණු එසේ වෙතත් ද්‍රවිඩ සන්ධානයේ සුමන්දිරන් ඊට පසුවදාම පුවත්පතට නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ විශේෂ අධිකරණයේ විදෙස් විනිසුරුවන් සිටීම සම්බන්ධව ඔහු (එනම් සුමන්දිරන්) ඇමෙරිකාව සහ රජය එක් වී තීරණය කළේ දීර්ඝ සාකච්ඡාවකින් පසුව බවත් එබැවින් ජනාධිපතිවරයාට එය දැන් වෙනස් කළ නොහැකි බවත්ය. එසේ නම් රනිල් වික්‍රමසිංහ රජය ත්‍රස්‌තවාදය විනාශ කළ රණවිරුවන් අනාගතය පිළිබඳ තීරණ ගැනීමට ඉඩදී ඇත්තේ ත්‍රස්‌තවාදයේම කොටි දේශපාලනඥයන්ටය. එයද ජනාධිපතිවරයාට නොදන්වාය.
ජනාධිපතිතුමන් විසින් එසේ නම් මේ පිළිබඳව බරපතළ ලෙස සිතිය යුතු කාලය එළඹ තිබේ. එතුමාගේම වදන් වලින් කියන ලෙස රටේ සිදු වන බොහෝ වැදගත් සිද්ධීන් සහ ගනු ලබන තීරණ පිළිබඳව එතුමා දැනගත්තේ පසුවදා පුවත්පත් වලිනි. එය දැන් විහිළුවක් බවට පත් වී ඇති නිසා රටේ ජනාධිපති එසේ විහිළුකාරයෙක්‌ගේ තත්ත්වයට ඇද දැමූ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා එයට වගකිවයුතු බැව් ජනපතිට අවබෝධ විය යුතු වේ. රණවිරුවන් සම්බන්ධයෙන් රජය විසින් ගත් සියලුම නින්දිත ක්‍රියාවන්හි වගකීම ලැබෙන්නේ ජනපතිටය. හිටපු ආරක්‍ෂක ලේකම් සහ හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනා පදක්‌කම් පැළඳ සිටියදී පවා කුඩුකාරයන් ලගින කූඩුවේ ඇප ලැබෙන තුරු රඳවා සිටියේද ජනාධිපතිගේ දැනුමින් තොරවය. මම මේ බව දන්නවා නම් ආරක්‍ෂක ලේකම් සහ නාවික හමුදාපතිවරුන් උසාවියට දක්‌කාගෙන යන්න ඉඩ තියන්නේ නැහැ." යෑයි ජනපති පැවසුවේ එබැවිනි. එසේ නම් රනිල් වික්‍රමසිංහ රජය රණවිරුවා සම්බන්ධයෙන් ගෙනයන මේ නින්දිත ක්‍රියා කලාපය නිසා ජනතාවගේ අප්‍රසාදය යොමු වන්නේ රනිල්ට නොව ජනාධිපතිටය. මෙය ජනපතිට විරුද්ධව කූට ලෙස ක්‍රියාත්මක වන කුමන්ත්‍රණයක් බවද ජනපති අවබෝධ කර ගත යුතුවේ. මෙසේ රණවිරුවාද පාවාදෙමින් ජනපතිගේද ආවරණය ලබමින් ලක් ඉතිහාසයේ සිදු වූ විශාලතම මුදල් වංචාවට වගකිව යුතු අගමැතිවරයා තනතුරින් නෙරපා හැරියහොත් ජනපතිගේ නමට ඉදිරියේදී සිදුවන මහා කැළලකින් යම්තාක් දුරට හෝ මිදිය හැකි බැව් අපගේ විශ්වාසයයි.
අපේ රටේ, තම ජීවිතය පරදුවට තබා සටන් කළ රණවිරුවාට වර්තමාන රජය සලකන ආකාරයත් එයට ජනතාවගේ ප්‍රතිචාරයත් ඉතාම ශෝචනීය බැව් කිව යුතුය. අද එදා ප්‍රහාරයට ලක් වූ එක් ආබාධිත සෙබළෙක්‌ගේ එක් ඇසක් සම්පූර්ණයෙන්ම අන්ධ වී තිබේ. වර්ෂ 1996 දී මෝටාර් ප්‍රහාරයකට ගොදුරුව ඔහුගේ අනෙක් ඇසෙහිද පෙනුම ඉතාම දුර්වල වී තිබිණ. මෙවන් තත්ත්වයක් අද රණවිරුවාට අත්වීම සම්බන්ධයෙන් සමස්‌ත ජනතාවම ල-ජාවට පත්විය යුතුය.
අන් සියලුම රටවල් රණවිරුවන්ට සලකන්නේ මහත් වූ ගෞරවයෙනි. "කොමිසරි" නමින් ඔවුන් සඳහා වූ වෙනම සහන මිලට භාණ්‌ඩ අලෙවි වන වෙළෙඳසල් පවා තිබේ. ඕනෑම තැනක, කාර්යාලයක ඔවුනට ලැබෙනුයේ විශේෂ ස්‌ථානයකි. ගුවන් යානයක රණවිරු මගියෙක් සිටී නම් ගමන ආරම්භ වීමට ප්‍රථම ගුවන් නියමුවා විසින් " අද අපට සතුටු දිනයක්. අපේ යානයේ යුද විරුවෙක් සිටිනවා." යෑයි කියන විට අනෙකුත් සියලුම මගීන් අත්පොළසන් දී ඔහුට සිය ප්‍රණාමය පුද කරති. බොහෝ විට මේ සියලු "රණවිරුවන්" යුද්ධ කර ඇත්තේ තම රටේ නොව වෙනත් රටකය. තමාගේ රටේ ජනතාව බේරා ගැනීමට නොව වෙන රටක් ආක්‍රමණය කිරීමටය. අපේ රටේ රණවිරුවා අත්පා අහිමි කරගත්තේ අපේ ජනතාව ත්‍රස්‌තයාගෙන් බේරා ගැනීමටය. දිවි පිදුවේ තමාගේ ජනතාවගේ දිවි ආරක්‍ෂා කිරීමටය. එවන් වූ රණවිරුවාට අද රටේ ලැබෙන තත්ත්වය මෙය නම් ඒ පිළිබඳව දේශප්‍රේමී ජනතාව දැන්වත් ඉදිරියට පැමිණිය යුතු කාලය එළඹ තිබේ. අපේ ජාතියේ අභිමානය සහ කළගුණ දත් ජාතියක් ලෙස අප ලබා ඇති නාමය රැක ගත හැක්‌කේ ඒ අයුරිනි. එයට අප සැම එක්‌වෙමු.
රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර
http://www.divaina.com/2016/11/13/feature38.html
ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම් විසින් හානි කරනු ලැබූ පාකිස්තානයේ පිහිටි ගල් බිත්තියක නෙලන ලද පෞරාණික බුද්ධ ප්‍රතිමාවක් සාර්ථකව ප්‍රතිස්ථාපනය කළ බව පුරා විද්‍යාඥයෝ පවසති.
මීට වසර නවයකට ඉහතදී සන්නද්ධ කණ්ඩායමක් විසින් වයඹ දිග පාකිස්තානයේ පිහිටි බුදු රුව සහිත ශෛලමය මූර්තියේ හිස කොටසට හානි සිදු කොට තිබිණි.
ස්වාත් නිම්නයේ පිහිටි මූර්තියේ ප්‍රතිස්ථාපන කටයුතු සඳහා ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමට වසර පහක්ගත වූ බව ව්‍යාපෘතියේ ප්‍රධානී ඉතාලි ජාතික ආචාර්ය ලූකා මරියා ඔලිවියෙරි සඳහන් කළේය.
කෙටි කාලයක් එම කලාපය තාලිබාන් කැරලිකරුවන් අත පැවති අතර 2009 වසරේදී කැරලිකරුවන් පළවා හැරීමට පාකිස්තාන හමුදා සමත් වූහ. හත් වන ශතවර්ෂයට අයත් ධ්‍යාන මුද්‍රාවෙන් නිර්මිත බුදු රුව සහිත මූර්තිය දකුණු ආසියාවේ තිබෙන විශාලතම ශෛලමය මූර්තිවලින් එකකි.
පෞරාණික නිර්මාණයට හානි සිදු කිරීම සම්බන්ධයෙන් ලොව පුරා කෝපය පළ විය.
BBC
http://www.colombotoday.com/24716-252/
නැගෙනහිර ගම්බිම් වලින් සිංහල ජනතාව පන්නා දැමීමට එරෙහිව මඩකලපුවේ විරෝධතා!
මඩකලපුව දිස්ත්‍රික්කයේ මංගලගම කෙවිලියාමඩු පුළුකුනාව යන ගම්මානවල වාසය කරන සිංහල ජනතාවට එම ගම්මාන අත්හැර යන ලෙසට TNA විසින් බලපෑම් කරන බව පවසමින් ඊයේ (11) පෙරවරුවේදී එම ගම්මානවල සිංහල ජනතාව දැවැන්ත විරෝධතාවයක් පැවැත්විණි.
රජයේ ඉඩම් අල්ලාගෙන සිංහල ජනතාව එම භූමිවල වගාබිම් සිදු කර ගෙන යන බවට, මඩකලපුවේ දිසාපතිවරයා විසින් චෝදනා කර එලෙස වගා කටයුතු වල නිරතවී සිටී සිංහලයන් 7 දෙනෙකුට නඩු පැවරීමටද දිසාපතිවරයා කටයුතු කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විරෝධතාවයේ නියැලුණු සිංහල වැසියන් පැවසුවේ, ඒ ඉඩම් වල සිංහල ජනතාව පමණක් නොව ද්‍රවිඩ ජනතාවද තම වගා කටයුතු සිදු කරමින් පවතින බවයි. නමුත් සිංහල ජනතාවට පමණක් මෙලෙස කෙණෙහිලිකම් සිදු කිරීම තවදුරටත් ඉවසා සිටිය නොහැකි බව ඔවුන් සදහන් කරනවා.
විරෝධතා කරුවන් මෙහිදි පැය ගණනක් ප්‍රධාන මාර්ග අවහිර කරමින් විරෝධතාවයේ නියැළුණු අතරම , දින 15 ක් ඇතුලත මේ පිලිබදව විසදුමක් ලබාදෙන බවට ප්‍රාදේශිය ලේකම්වරයා එහිදි පොරොන්දු වීමත් සමගින් විරෝධතාවය නවතා දැමීමට, එම විරෝධතාකරුවන් තීරණය කලහ. සංහිදියාව යන වචනයට මුවාවී උතුරු – නැගෙනහිරින් සිංහල ජනතාව පන්නා දැමීම තවදුරටත් ඉවසා සිටිය නොහැකි බවයි විරෝධතාකරුවන් දිගින් දිගටම කියා සිටියේ.
මෙහිදී අම්පාර මංගලාරාම විහාරාධිපති සහ ප්‍රාදේශීය ලේකම් හා ග්‍රාමසේවක අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවිය.
අම්පාර මංගලාරාම විහාරාධිපති හිමියෝ චෝදනා කරන්නේ , විවිධ අභූත චෝදනා නගමින් මේ ප්‍රදේශවලින් සිංහල ජනතාව පන්නා දැමීමේ කුමන්ත්‍රණයක් දෙමළ ජාතික සන්ධානය විසින් ක්‍රියාත්මක කර ඇති බවයි.
http://www.colombotoday.com/24932-25852565/
මන්නාරම, සිලාවතුර නාවික හමුදා කඳවුරේ සෙබළුන් පිරිසකට පෙරේදා (18) රාත්‍රියේ සිලාවතුර අරිප්පු ගම්වාසීන් පිරිසක් පහරදී ඇති බවත් එයින් තුවාල ලැබූ සෙබළුන් 03 දෙනෙකු ප්‍රතිකාර සඳහා මන්නාරම රෝහලට ඇතුළත් කර ඇති බවත් සිලාවතුර පොලීසිය පවසයි.
සිලාවතුර මුහුදු තීරයෙන් අරිප්පු ප්‍රදේශයට කේරල ගංජා රැගෙන එන බවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව නාවික හමුදා බුද්ධි නිලධාරීන් කිහිපදෙනෙකු අරිප්පු ප්‍රදේශයට ගොස් රැකවල් යොදා සිටි අවස්ථාවේදී ප්‍රදේශවාසීන් විසින් මෙලෙස නාවික හමුදා සෙබළුන් තිදෙනෙකුට පහරදී තිබේ.
ප්‍රදේශවාසීන් 300කට ආසන්න පිරිසක් එක්වී සෙබළුන් තිදෙනා අරිප්පු නාවික හමුදා කඳවුර ඉදිරිපිටට පහරදෙමින් රැගෙන ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.
ඔවුන් ගෙවල් මංකොල්ල කෑමට පැමිණි බව පවසමින් ඉතා උණුසුම් අයුරින් කෑගසමින් එම පිරිස කඳවුරේ දොරටුවට ද පහරදී ඇත.
එම අවස්ථාවේදී තත්ත්වය සමථයකට පත්කිරීම සඳහා නාවික හමුදා කඳවුරෙන් උඩට වෙඩි තබා තිබේ.
වෙඩි තැබීමෙන් අනතුරුව අල්ලාගෙන සිටි නාවික හමුදා සෙබළුන් තිදෙනාගෙන් දෙදෙනෙකු ග්‍රහනයෙන් මිදී පලාගොස් රෝහල් ගතව ඇති අතර අනෙක් සෙබළා ප්‍රදේශවාසීන් විසින් අරිප්පු කතෝලික පල්ලිය වෙත ගෙන ගොස් තිබේ.
එසේ රැගෙන ගිය සෙබළා නිදහස් කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර අද (19) උදෑසන මන්නාරම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගේ මැදිහත්වීම මත ඔහුව නිදහස් කරගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සිලාවතුර පොලීසිය හා මන්නාරම් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.
http://www.colombotoday.com/23766-28585/
කලක් කොටි ත්‍රස්තවාදීන්ගේ “කොටි හඩ“ ගුවන්විදුලි සම්ප්‍රේෂණාගාරය පවත්වාගෙන ගිය ඓතිහාසික පාෂාණ පබ්බත විහාර භූමියේ අයිතිය ඉල්ලමින් නැගෙනහිර පළාත් ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුකාර ඔස්ටීන් ප්‍රනාන්දු මහතා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
පළාත් සභා මන්ත්‍රී ඡේ. ජනාර්නන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ අතර ඔහු පවසා ඇත්තේ 1835 සිට මෙම ස්‌ථානයේ හින්දු කෝවිලක් තිබූ බවයි.
ආණ්ඩුකාරවරයා සමග ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරුන් පැමිණ විහාර භූමිය පරීක්ෂා කරමින්
නැගෙනහිර පළාත් ආණ්‌ඩුකාරවරයා මෙම ස්‌ථානය දෙමළ මන්ත්‍රීවරුන් සමඟ පැමිණ නිරීක්‌ෂණය කළ අතර කෝවිලක සාධක එහි දක්‌නට නොමැති බැවින් ඉක්‌මණින් පුරාවිද්‍යා වාර්තාවක් ලබා ගන්නා බවත් දන්වා ඇත.
දළදා වහන්සේ රැගෙන දන්ත, හේමමාලා කුමර කුමරියෝ ශ්‍රී ලංකාවට ගොඩ බැස්සේ පාෂාණ පබ්බත නමින් හැදින්වෙන මේ වෙහෙර පිහිටි තැනටය. ක්‍රි.ව. 09 සිට 21 දක්වා අනුරාධපුර රජකම් කළ මහා දාඨක මහා නාග (මහදැළියාමානා) පාෂාන පබ්බත විහාරය කැරැවූ බවත් කිසියම් ඇළක දිය බද්ද මේ විහාරයේ භික්‍ෂූන්ට සිව්පසය සැපයීම සඳහා යෙදවිය යුතු බවත් රජු ඉඩමක් මිලට ගෙන මෙම විහාරයට පූජා කළ බවක් එක් ගිරි ලිපියකින් කියැවිණ. රභය නමැති ඇමති මෙම විහාරයට සිදුකළ ප්‍රදානයන් පිළිබඳව සහ එක්තරා වෙළෙඳ ආයතනයක මුදලක් තැන්පත් කොට එහි පොලිය මෙම විහාරයට පූජා කිරීමක් පිළිබඳව තවත් ගිරි ලිපියකින් කියැවේ.
<--- දළදා වහන්සේ වැඩමවාගෙන හේමමාල කුමරිය – දන්ත කුමරුන් ගොඩබට ස්ථානය – ලංකාපුටන පාෂාණ පබ්බත විහාරය
මෙම සිද්ධස්ථානයේ වූ චෛත්‍යය කොටි ත්‍රස්තයන් විසින් බිඳ දමා ඒ මත කාල තුවක්කු සහ මෝටාර් විදින සවි කරනු ලැබූහ. චෛත්‍යයට මඳක් ඉහළින් ගල් පර්වතය මුදුනේ කොටිහඬ ගුවන් විදුලි සම්පේ‍්‍රෂණ කුලුන සවිකර තිබිණි. පසුකාලීනව එම ස්ථානයේ කෝවිලක් ඉදිකරනු ලැබු අතර එය විවෘත කර තිබුණේ කොටි ත්‍රස්තවාදීන්ට සහාය දුන් රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රධානියෙක් විසිනි.
2002 වසරේ තමන් පදිංචියට එත්දීද මෙම විහාරය පැවති බවත් ඒ වන විට එහි කෝවිලක් නොතිබූ බවත් එම ප්‍රදේශයේ පදිංචි ද්‍රවිඩ ජනතාවද පවසති. නමුත් පසුකාලීනව හින්දු කෝවිලක් විහාරය ආසන්නයේ ඉදිකර වන්දනා කළ බවත් ඔවුහු පවසති.
http://www.colombotoday.com/23819-58522/
පුත්තලම, නල්ලන්දළුව ප්‍රදේශයේ නිවෙසකට බලහත්කාරයෙන් ඇතුළු වී කාන්තාවකට ලිංගික අතරවර කිරීමේ සිද්ධියකට අදාල අපරාධකරුවෙ දඩුවම් දෙනවා වෙනුවට දූෂණයට ලක්වූ කාන්තාවට අමානුෂික දඩුවමක් ලබාදීමේ පුවතක් වාර්තා වනවා.
දූෂණයට ලක්වූ ජෙස්මීර් සිත්ති ජෙරසීමා නමැති කාන්තාව නල්ලන්දළුව ජුම්මා මුස්ලිම් පල්ලියට කැදවා ඉස්ලාම් ආගමික ශරියා නීතිය අනුව පොල්පිති පහරවල් 100ක් ගැසීමට පල්ලියේ පරිපාලක මණ්ඩලය අණ කර ඇති අතර පහරදීමෙන් පසු එම කාන්තාව හදිසියේ මියගොස් ඇත.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නල්ලන්දළුව ජුම්මා පල්ලියේ පරිපාලනයට සම්බන්ධ තාජුර් මුනීර්, අබ්දුල් කාදර් අබ්දුල් සතාර්, ආදම්පුල්ලේ මොහමදුරාපි, සෙයිනුල් ආබ්දීන් තවුෆිකා යන සැකකරුවන් සිවුදෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා නියෝග කර ඇත.
http://www.colombotoday.com/23899-2528858/
ස්‌වාභාවික සම්පත් සුරක්‌ෂිත කරමින් මානව පැවැත්ම සඳහා යෝග්‍ය පරිසරයක් නිර්මාණය අරමුණින් හරිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනු ලබන විශ්වවිද්‍යාලයක් ලෙස කැලණිය විශ්වවිද්‍යාලය පසුගිය 2014 වර්ෂයේ දෙසැම්බර් හඳුන්වා දෙනු ලැබිණි. මෙම සංකල්පය ක්‍රියාත්මක කිරීමේදී විශ්වවිද්‍යාලයීය මට්‌ටමින් පමණක් නොව ජාතික වැදගත්කමක් සහිත පරිසර හිතකාමී පියවර රැසක් කැලණිය විශ්වවිද්‍යාලය මගින් හඳුන්වා දී තිබේ. මෙම හරිත සංකල්පය ක්‍රියාත්මක වීමත් සමග විශ්වවිද්‍යාලය මගින් ක්‍රියාත්මක ව්‍යාපෘති අතර වැදගත් එකක් වන්නේ විශ්වවිද්‍යාලයේ පොලිතින් භාවිතයෙන් සම්පූර්ණයෙන් ඉවත් වීමයි. මේ පිළිබඳ විද්‍යා පීඨයේ සත්ත්ව විද්‍යා හා පරිසර කළමනාකරණ අධ්‍යයන අංශයේ හා හරිත ක්‍රියාකාරී කමිටුවේ සභාපති ආචාර්ය යූ.පී.කේ. ඈපා මහතා සමග සිදුකළ සාකච්ඡාවේ සටහන මෙසේ දක්‌වමු.
පොලිතින් භාවිතය නිසා ඇති වී ඇති පාරිසරික ගැටලුවේ ස්‌වභාවය කෙබඳු ද?
ආචාර්ය යූ.පී.කේ. ඈපා
හරිත කමිටු සභාපති
ප්‍රධාන ලෙස ආහාර එතීමට, ආහාර සහ නොයෙකුත් දෑ ගෙන යැම සඳහා පොලිතින් කවර හා උර භාවිත කෙරෙනවා. මෙහි අවාසනාවන්ත පැතිකඩ වන්නේ දැනට අප වැඩි වශයෙන් භාවිත කරන පොලිතින් සහ ප්ලාස්‌ටික් වර්ග බොහොමයක් ස්‌වාභාවිකව දිරාපත් වීමට ලක් නොවීමයි. මෙම දිරාපත් නොවන කසළ සාමාන්‍යයෙන් ස්‌වාභාවිකව දිරාපත් වීමට අවශ්‍ය තත්ත්වයට පත්වීමට අවුරුදු 400 ක් පමණ ගත වෙනවා.
පොලිතින් භාවිතය නතර කිරීමට පෙර සිදු කළ අධ්‍යයනයේ දී විශ්වවිද්‍යාලයේ පමණක් දිනකට දිරාපත් නොවන අපද්‍රව්‍ය 100 නට පමණ එකතු වෙනවා. එහිදී මාසයක් දී දිරාපත් නොවන පොලිතින් 3000 නට පමණ ද්‍රව්‍ය පරිසරයට මුදාහැරීම සිදු වෙනවා. මේ නිසා පොලිතින් භාවිතය නුදුරේ දී විශ්වවිද්‍යාලයට පමණක් නොව සමස්‌ත රටට ම පාරිසරික ගැටලු මෙන් ම සෞඛ්‍ය ගැටලු රාශියකට ම හේතු විය හැකි පෙන්වාදිය හැකියි.
පොලිතින් භාවිතයෙන් ඇතිවිය හැකි පාරිසරික සහ සෞඛ්‍ය ගැටලු මොනවාද?
පොලිතින් සහ ප්ලාස්‌ටික් නිෂ්පාදනය කර ඇත්තේ වයිනයිල් ක්‌ලෝරයිඩ්, ඩයොක්‌සින්, බෙන්සීන්, බිස්‌ෆිනොල්, ෙµdaමැල්ඩිහයිඩ් සහ නොයෙකුත් රසායන ද්‍රව්‍යවල එකතුවෙන්. මේවායින් බොහෝමයක් නොනැසී පවතින කාබනික දූෂණ කාරක (Persistent
Organic pollutants- Pops) ලෙස හඳුනාගෙන තිබෙනවා. මීට අමතරව බිස්‌ෆිනොල් A වැනි රසායන ද්‍රව්‍ය දැනට ඇමෙරිකානු පරිසර ආරක්‌ෂණ කාර්යාංශය මගින් පිළිකාකාරක, ස්‌නායු නාශක සහ හෝමෝන නාශක රසායන ද්‍රව්‍ය ලෙස හඳුනාගෙන තිබෙනවා.
එබැවින් මෙම රසායන ද්‍රව්‍ය ප්‍රමාණවත් කාලයක් නාසය, මුඛය සහ චර්මය හරහා නිරාවරණය වූ විට විවිධ රෝගවලට මුහුණ දීමට සිදු වෙයි. මේ අතර පිළිකා, හෝමෝන අක්‍රමිකතා, වඳභාවය සහ ස්‌නායු දුර්වලතා ඇති වීමේ අවදානම පවතිනවා.
පොලිතින් දහනයට ලක් වූ විට වායු දූෂණය සිදු වීම වන අතරම මෙමගින් කාබන් මොනොක්‌සයිඩ් වැනි ඉතාමත් විෂ සහිත වායු නිදහස් වීමෙන් ශ්වසන ආබාධ ඇති වීම වැළැක්‌විය නොහැකියි. ස්‌වාභාවික ලෙස දීර්ඝ කාලයක් තිස්‌සේ හිරු එළිය මගින් පොලිතින් සහ ප්ලාස්‌ටික් වියෝජනයට ලක්‌වුවත් එමගින් ප්ලාස්‌ටික් ධූලි වායුගෝලයට එකතු වීම මගින්ද ශ්වසන ආබාධ ඇති විය හැකියි.
එසේම දිරාපත් නොවන කසළ එක්‌රැස් වීම සිදු විම හේතුවෙන් පස දුෂණයට ලක් වීම සහ පස නිසරු වීම සිදුවෙනවා. ප්ලාස්‌ටික් සහ පොලිතින් පසට එකතු වූ පසු එමගින් විවිධ විෂ රසායනික ද්‍රව්‍ය නිකුත් කරනවා. මෙම විෂ රසායනික ද්‍රව්‍ය අපගේ භූගත ජල මූලාශ්‍රවලට එකතු වීමෙන් අප පානයට ගන්නා ජලය විෂ සහිත වීමෙන් විවිධ ආමාශගත රෝග, වකුගඩු රෝග වැනි නොයෙකුත් රෝග ඇති වෙනවා.
ප්ලාස්‌ටික් වර්ග දිරාපත් වීමේ ශීඝ්‍රතාව වැඩි කරන ක්‌ෂුද්‍ර ජීවින් පසෙහි ජීවත් වෙනවා. නමුත් ප්ලාස්‌ටික් දිරාපත් වීමේ ක්‍රියාවලියේ දී උත්පාදනය කරන මීතේන් වායුව මගින් ගෝලීය උණුසුම් වීමේ ශීඝ්‍රතාව ද ඉහළ දැමීමට වක්‍රාකාරව බලපා තිබෙනවා.
එසේම අප බැහැර කරන බොහොමයක් ප්ලාස්‌ටික් සහ පොලිතින් පහසුවෙන් ජල මූලාශ්‍රවල තැන්පත් වෙනවා. ඒවා මගින් බිස්‌ෆිනොල් A, පොලිස්‌ටිරින් වැනි විෂ රසායනික ද්‍රව්‍ය ජලයට එකතු වීමෙන්, ආහාර මගින් නැවත අපගේ ශරීරයට ඇතුළු වීමේ අවදානම තිබෙනවා. එසේම එමගින් ජලජ ජීවීන්ට සිදුවන්නේ විශාල හානියක්. එපමණක් නොව දිරාපත් නොවන පොලිතින් කසළ එක්‌රැස් වීමෙන් විවිධ සතුන් ඉවතලන පොලිතින් ආහාරයට ගැනීම හේතුවෙන් ජෛව විවිධත්වයට හානි පැමිණීම සිදුවෙනවා.
කැලණිය විශ්වවිද්‍යාලය මගින් පොලිතින් භාවිතය අවම කිරීමට ගෙන ඇති පියවර මොනවාද?
පාරිසරික පැවැත්මේ ස්‌ථිරභාවය තහවුරු කිරීම උදෙසා විශ්වවිද්‍යාල භූමියෙන් පොලිතින් සහ ප්ලාස්‌ටික් භාවිතය අවම කිරීමට ගත් එක් පියවරක්. එය අපට පමණක් නොව මතු පරම්පරාවෙත් පැවැත්ම තහවුරු කිරීම හේතු වෙනවා. ඒ වෙනුවෙන් විශ්වවිද්‍යාලය මගින් සිදුකරන සියලු අධ්‍යයන කටයුතුවල දී, මිල දී ගැනීම්වල දී මෙන් ම ඉදිකිරීම් කටයුතු වල දී පරිසර හිතකාමී අයුරින් ක්‍රියාකිරීමට සැලසුම් සකස් කර තිබෙනවා.
එහිදී පොලිතින් භාවිතය සම්පුර්ණයෙන් විශ්වවිද්‍යාලයෙන් ඉවත් කිරීමට තීරණය කෙරුණා. ඒ වෙනුවෙන් උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්‌ඩාර මහතා විසින් 2016 සැප්තැම්බර් මස 01 දින සිට විශේෂ චක්‍රලේඛයක් මගින් විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පොලිතින් භාවිතය තහනම් කර තිබෙනවා. ඒ අනුව විශ්වවිද්‍යාලයට පොලිතින් මිලදී ගැනීම, රැගෙන ඒම, භාවිතය නොකළ යුතු වෙනවා. නව දහසක් (9000) පමණ වන විද්‍යාර්ථින්, ආචාර්යවරුන් හා අනෙකුත් අනධ්‍යයන පිරිස් මෙය මනා අබෝධයෙන් යුතුව පිළිපැදීමට කටයුතු කරනවා. මෙම පියවර ගැනීමට ප්‍රථමව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම්, ආචාර්ය සංගම් හා සේවක සංගම් සමග සාකච්ඡා කරමින් එකඟතා ඇති කරගනු ලැබුවා.
ආහාර ඇසුරුම් කිරීම සම්බන්ධයෙන් පොලිතින් හැර වෙනත් පරිසර හිතකාමී ආදේශක භාවිතය පිළිබද මෙහිදී අවධානය යොමු වුණා. එහිදී විශ්වවිද්‍යාලයේ ආපන ශාලා දොළහක් (12) පමණ තිබෙනවා. සතියකට මෙහි ආහාර ඇසුරුම් කිරීම සඳහා පොලිතීන් පනස්‌දහස (50000) ඉක්‌මවා භාවිත කරනවා. මෙහිදී මේ වෙනුවට ආහාර ඇසුරුම් කිරීම සඳහා කඩදාසි භාවිතය යොමු වී තිබෙනවා. එසේම ආපනශාලාවලින් ආහාර ගැනීමේදී ඒ සඳහා මළ නොබැඳෙන වානේ පිගන් හඳුන්වා දීම සිදු කළා. එසේම ආපන ශාලාවෙන් ආහාර බැහැරව ගෙන යාමේදී ඒ සඳහා කෑම පෙට්‌ටියක් භාවිත කිරීමේ එකගතා ඇති කර ගනු ලැබුවා.
මීට අමතරව විශ්වවිද්‍යාලයේ දිරාපත් නොවන ද්‍රව්‍ය භාවිතය අවම කිරීමට ගෙන ඇති පියවර මොනවාද?
මෙහිදී විශ්වවිද්‍යාලයේ පවත්වන උත්සව හා සම්මන්ත්‍රණ සඳහා ප්ලාස්‌ටික් වතුර බෝතල් ගෙන ඒම සම්පූර්ණයෙන් ම නතර කර තිබෙනවා. බෝතල් කළ ජලය මිල දී ගන්නවාට වඩා පානය කිරීමට අවශ්‍ය පිරිසිදු කළ ජල පෙරහනු යන්ත්‍ර සෑම පීඨයක ම සවි කර තිබෙනවා. මීට අමතරව ඉවතලන විද්යුත් අපද්‍රව්‍ය ඒකරාශී කරගැනීමේ වැඩපිළිවෙලක් ද විශ්වවිද්‍යාලයේ ක්‍රියාත්මක වෙනවා.
ඉදිරියේදී අප බලාපොරොත්තු වන්නේ අපද්‍රව්‍ය ලෙස ඉවතලන ද්‍රව්‍ය හැකිතාක් අවම මට්‌ටමකට ගෙන ඒමයි. මේ වන විට බෝතල් කළ ජලය මිලදී භාවිතය නතර කළ නිසා පානීය ජල බෝතල සඳහා වන වියදම බොහෝ අඩු වී තිබෙනවා. එසේ ම, කසලවල ප්ලාස්‌ටික් ප්‍රමාණය ඉතා අවම මට්‌ටමක පවතිනවා.
දිරාපත් නොවන ද්‍රව්‍ය භාවිතයට යොමුවීම අවම කරගැනීමෙන් විශ්වවිද්‍යාලය අත්කරගත් ප්‍රතිලාභ මොනවාද?
පොලිතින් භාවිතය අවම කර තිබෙන නිසා කසල ලෙස ඒකරාශී වන පොලිතින් ප්‍රමාණය අවම වී තිබෙනවා. මේ වන විට විශ්වවිද්‍යාල පරිශ්‍රයේ මාසයක් ඇතුළත අපද්‍රව්‍ය ලෙස ඒකරාශී වන ලක්‌ෂ දෙකක පමණ පොලිතින් ප්‍රමාණයක් අවම වී තිබෙනවා. එසේම දැනට කසල ලෙස ඉවතලන කඩදාසි, ආපන ශාලාවල මුළුතැන්ගෙයි දිරාපත් වන ද්‍රව්‍ය හා ගස්‌වල කොළ වර්ග යි. මේ සියල්ල ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ක්‍රමවත් වැඩපිළිවෙළක් විශ්වවිද්‍යාලය සතු වෙනවා.
මේ වන විට ක්‍රියාත්මක දිරාපත් වන ද්‍රව්‍ය වලින් නිෂ්පාදිත කොම්පොස්‌ට් පොහොර විශ්වවිද්‍යාලයේ සියලු උද්‍යාන කටයුතු සඳහා භාවිත කිරීමේ හැකියාව උදා වී තිබෙනවා. කිසි විටෙක් ඒ සඳහා අවශ්‍ය පොහොර මිලදී ගන්නේ නෑ. මීට අමතරව වගා සඳහා අවශ්‍ය කොම්පෝස්‌ට් අලවි කිරීමට විශ්වවිද්‍යාලයට හැකියාව ලැබී තිබෙනවා. ඒ අනුව කිලෝ ග්‍රෑම් පහක (05) කොම්පෝස්‌ට් බෑගයක් රුපියල් අසූ පහක් (85) වැනි මිලකට ලබා ගත හැකියි. මෙම පොහොර ඇසුරුම් කිරීම සඳහා කිසි විටෙකත් පොලිතින් උර භාවිත කරන්නේ නැහැ. ඒ වෙනුවට ඉවතලන රෙදි වලින් නිර්මාණය කළ බෑග් එකක් භාවිත කර තිබෙනවා. එය නැවත පොහොර රැගෙන යාමේ දී භාවිත කිරීමේදී බෑගයේ මිල අඩු කර පොහොරවලට මිල දී පොහොර ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා.
මෙම කොම්පෝස්‌ට් නිෂ්පාදනය ශීඝ්‍ර කරගැනීමට ජපානයේ 'ටකකූරා' ක්‍රමවේදය භාවිත කරනවා. එයින් පෙරහනයක් මගින් පොහොර හලා, පස්‌වල ඇති ජල ප්‍රතිශතය අවම කර අතිශය කුඩා කොටස් වශයෙන් පොහොර සකස් කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. ඉන් මෙරට ජනතාවට වියදම් කරන මුදලට වඩා උසස් තත්ත්වයේ පොහොර ලබා ගැනීමට හැකියාව පවතින අතරම විශ්වවිද්‍යාලයට අමතර ආදායමක් රැස් කිරීමට අවස්‌ථාව ලැබී තිබෙනවා. එසේම කසල වෙන් වෙන් වශයෙන් බැහැර කිරීම නිසා විශ්වවිද්‍යාල භූමියේ පවිත්‍රතා කටයුතු කාර්යක්‌ෂමව සිදු කිරීමේ හැකියාව උදා වී තිබෙනවා.
පරිසර හිතකාමී වැඩපිළිවළ සඳහා පවතින අභියෝග හා ඊට අනුගමනය කළ හැකි පියවර මොනවාද?
විශ්වවිද්‍යාලයට බැහැරින් පැමිණෙන පිරිස් ගෙන එන දිරාපත් නොවන අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කිරීම අප සතු මීළඟ අභියෝග යයි. එය අවම කිරීමට අප සතු යෝජනා කිහිපයක් තිබෙනවා.
මේ වෙනුවෙන් භාවිත කළ හැකි විකල්ප ක්‍රම රැසක් අප හඳුන්වා දී තිබෙනවා. එහිදී උදෑසන සහ දිවා ආහාරය නිවසින් සකසා ගෙන එන්නේනම් ඒ සඳහා කෑම පෙට්‌ටියක් භාවිත කිරීම පිළිබඳ අවධානය යොමු කිරීම එක් පියවරක්. නමුත් මෙම කෑම පෙට්‌ටිය නැවත ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ප්ලාස්‌ටික් වලින් නිමවා තිබීම වැදගත් වෙනවා. මේ සඳහා වෙළෙඳ පොළේ නියම ප්‍රමිතීන් අනුව සාදා නිම කර ඇති ප්ලාස්‌ටික් පෙට්‌ටි පමණක් භාවිත කිරීම වඩා යෝග්‍ය යි. දිවා ආහාරය ඇසුරුම් කිරීමට පොලිතින් කවර භාවිත කිරීම අත්‍යවශ්‍ය වේ නම් ඒ සඳහා අලුතින් නිෂ්පාදනය කර ඇති ඉක්‌මනින් දිරාපත් වන පොලිතින් පමණක් භාවිත කිරීමට යොමුවුවහොත් වැඩි ඝනකමකින් නිෂ්පාදනය කර ඇති නැවත භාවිත කළ හැකි පොලිතින් පමණක් භාවිත කිරීම වැදගත් වෙනවා.
විශ්වවිද්‍යාල ආපන ශාලාවේ සිට ඔබේ කාර්යාලයට ඔබ ආහාරය රැගෙන යන්නේ නම් ඒ සඳහා පොලිතින් කවර භාවිත නොකිරීමත් ඒ සඳහා විකල්ප ක්‍රමවේද භාවිත කිරීම කළ හැකියි. මේ සඳහා ඔබට දිගු කලක් භාවිත කළ හැකි රෙදි බෑගයක් යොදාගත හැකියි. මීට අමතරව ඔබට ඉවතලන කඩදාසි මගින් නිමවූ ඝනකම කවර භාවිත කළ හැකියි. විශ්වවිද්‍යාල පරිශ්‍රයේ රැඳී සිටින අවස්‌ථාවලදී ඔබගේ සුළු ආම්පන්න රැගෙන යැමට පොලිතින් කවර භාවිත නොකර ඒ සඳහා විකල්ප ක්‍රම භාවිත කළ හැකියි. රෙදි බෑග්, ගෝනි බෑග් වැනි නිර්මාණාත්මක නිමැවුම් භාවිත කළ හැකියි. ඒවා මගින් පරිසරයට ආරක්‌ෂාවක් ලබා දෙනවා මෙන්ම ඔබ අනෙක් සියලු දෙනාට ආදර්ශයක්. ඔබ පොලිතින් සහ ප්ලාස්‌ටික් විශ්වවිද්‍යාලය තුළට රැගෙන එන්නේනම් එය විශ්වවිද්‍යාල භූමිය තුළ බැහැර නොකිරීම වැදගත් වෙනවා. ඔබ රැගෙන එන වතුර බෝතලය වීදුරු වලින් නිමවා ඇත්නම් වඩාත් යෝග්‍ය වෙනවා. නැතිනම් මේ සඳහා ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ප්ලාස්‌ටික් වලින් නිමවා ඇති නැවත භාවිතයට ගත හැකි ආරක්‌ෂිත වතුර බෝතල් පමණක් භාවිත කළ හැකියි.
මේ වන විට විශ්වවිද්‍යාලයේ රැස්‌වන දිරාපත් නොවන අපද්‍රව්‍ය ඒකරාශී වීම අවම කර ගැනීමේ කාර්යයට විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්‌ඩලය, විද්‍යාර්ථින් හා අනධ්‍යයන සේවක මහත්වරුන් ඉතාමත් අවබෝධයෙන් සහයෝගය පළකර තිබෙනවා. මේ සියලු දෙනා අවබෝධයෙන් පරිසර හිතකාමී චර්යා පවත්වාගැනීමට ගන්නා උත්සාහය අගය කළ යුතුයි. පරිසරයේ පවත්නා සමතුලිතභාවය ආරක්‌ෂා කරගනිමින් පරිසර හිතකාමී වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට මූලික පියවර ගැනීම ඉතා අපහසු කාර්යයක් වන්නේ, කාර්යබහුල ජීවන රටාවක හුරුවීම නිසා සියල්ල පහසුවෙන් සිදු කිරීමයි. නමුත් අපේ පහසුව සඳහා භාවිත කරන දිරාපත් නොවන ද්‍රව්‍ය මගින් පාරිසරික හා සෞඛ්‍ය ගැටලු රැසකට මූලාරම්භය විය හැකියි. එයින් ලොව ගලවා ගැනීමට පළමුව කළ යුත්තේ අප එක් එක් අයෙකු වශයෙන් නිවැරදි පරිසර හිතකාමී චර්යා ලෙස අනුගමනය කිරීමයි. අද විශ්වවිද්‍යාලයක් වශයෙන් තබන පරිසර හිතකාමී පිළිවෙත පිළිබඳ පණිවිඩය අපේ විද්‍යාර්ථින් හෙට රටේ සියලු ජනතාව වෙත ගෙන යනු ඇතැයි අප විශ්වාස කරනවා.
සංවාද සටහන - අමාලි උත්පලා නන්දසිරි, ජනසන්නිවේදන අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය
http://www.divaina.com/2016/10/18/feature02.html
1930 ගණන්වලදී කළුගඟට දකුණු දෙසින් පිහිටි භූමියේ ගාලු පාරට නැගෙනහිර දෙසින් පිහිටි බිමෙහි දිසාපති නිල නිවාසය හා කළුතර කච්චේරිය ඇතුළු රජයේ ආයතන පිහිටා තිබුණ අතර ගාලු පාරට බටහිර දෙසින් ඇති පහළ මළුව වශයෙන් හැඳින්වෙන ස්‌ථානයේ අනාරක්‍ෂිතව පැවැති බෝධියට ප්‍රදේශවාසීන් විසින් පුද පූජා පවත්වා ඇත. මෙම ස්‌ථානයේ වටිනාකම හඳුනාගත් සිරිල් ද සොයිසා මහතා මෙහි මල් ආසනයක් ඉදිකරවීමෙන් පසුව මෙම භූමියේ සංවර්ධන කටයුතු ආරම්භ වී ඇත. එම සංවර්ධන කටයුතු ඉටු කිරීමේදී එවකට දිසාපති බංගලාවේ පදිංචිව සිටි සුදු ජාතික දිසාපතිවරයාගෙන් ද විටින් විට බාධා එල්ල වී ඇත. එහෙත් නීතිඥයකු වූ සිරිල් ද සොයිසා මහතා ඒ සියල්ල මැඩපවත්වා ගනිමින් කළුතර බෝධිය අද පවත්නා තත්ත්වයට පත් කරලීමට ඉමහත් වෙහෙසක් දරා ඇත.
මෙම ස්‌ථානයේ පාලනය ගෙන යැම සඳහා "කළුතර බෝධි භාරකාර මණ්‌ඩලය" පිහිටුවීම එතුමා විසින් ගන්නා ලද ඉතාම දූරදර්ශි පියවරකි. මෙම භාරය පිහිටුවා ලියාපදිංචි කිරීමෙන් ඒ සඳහා නිත්‍යානුකූල භාවයක් ලබාදී ඇති අතර, පාලන කටයුතු ගෙන යැම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග එහි මැනවින් සඳහන් කර ඇති බැවින් මෙම ස්‌ථානයේ පාලනය ඉතාමත් විනිවිදභාවයකින් යුතුව කර ගෙන යැම ට අවස්‌ථාව සැලසී ඇත. එවකට මෙරට තුළ කීර්තිනාමයන් දැරූ රට පිළිගත් විද්වතුන් 8 දෙනකු සාමාජිකයන් ලෙස පත් කරමින් බෝධි භාරකාර මණ්‌ඩලය ස්‌ථාපනය කොට ඇත. මේ ස්‌ථානයේ සංවර්ධන කටයුතු සඳහා එතුමාගේ පෞද්ගලික ධනය විශාල වශයෙන් වැය කර ඇති අතර, බැතිමත් ජනතාවටද සහභාගි විය හැකි වන පරිදි "පිංකැට" මගින් පුණ්‍යාධාර ලබා ගැනීමට කටයුතු කරන ලදී. මෙම පූජනීය ස්‌ථානය ක්‍රම ක්‍රමයෙන් දියුණුවට පත්වන විට යාබද පිහිටි කළුතර නගර සභා කාර්යාලය පිහිටි ඉඩම ද මේ සඳහා ලබා ගැනීමට කටයුතු කරන ලදී. ඒ සඳහා දැනට ද කළුතර නගර සභාව පවත්වාගෙන යන ගොඩනැඟිල්ල, නගර සභාවට ඉදිකරදී එම ඉඩමද නිදහස් කරගෙන සංවර්ධනය කර ඇත.
වසර 2300 ක් පමණ පැරණි අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ, දෙතිස් පලරුහ බෝධීන් වහන්සේ නමක් බව විශ්වාස කරන ප්‍රධාන පාරට නැගෙනහිර දෙසින් කඳු ගැටය මත පිහිටා ඇති බෝධීන් වහන්සේ සහිත භූමිය නිදහස් කර ගැනීම සඳහා එම ඉඩමේ තිබුණ කළුතර දිසාපති මැදුර හා කච්ෙච්රිය වෙනුවට සිරිල් ද සොයිසා මහතාට අයත් පෞද්ගලික නිවසක් සහ නාගොඩ ප්‍රදේශයේ පිහිටි ඉඩමක් ලබාදී ඇති අතර, එහි කළුතර කච්ෙච්රිය සඳහා අදාළ ගොඩනැඟිලි ඉදිකර දීමෙන් පසුව 1970 වර්ෂයේදී එම ඉඩම නිදහස් කරගෙන ඇත. දැනට එම භූමියේ ඉදිකර ඇති දර්ශනීය වටදාගෙය සහිත චෛත්‍ය කළුතර නගරයටම අලංකාරයක් වන අතර, කළුතර හඳුන්වනු ලබන ප්‍රධාන සංකේතය බවටද පත්ව ඇත. එසේම කළුතර බෝධි භාරකාර මණ්‌ඩලය විසින් බුද්ධ ශාසනයේ චිරස්‌ථිතිය සඳහා අදටත් ඉදිරියටත් ඉටු කරවනු ලබන සේවාව අගය කළ යුත්තේ එතුමාට පුණ්‍යානුමෝදනා කරවමිනි.
කතරගම ඓතිහාසික කිරිවෙහෙර ප්‍රතිසංස්‌කරණ කටයුතු අඩපණ වී ඇනහිට තිබූ අවස්‌ථාවේ එතුමා කිරිවෙහෙර ප්‍රතිසංස්‌කරණ සමිතියේ සභාපතිත්වය භාරගෙන පෞද්ගලිකව එම කටයුතු මෙහෙයවමින් එම කාර්ය නිම කරවා ඇත. 1960 සිට 1978 දක්‌වා කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති වශයෙන් පුරා අවුරුදු 19 තිස්‌සේ කටයුතු කළ කාලය තුළ කොළඹ කොටුවේ තරුණ බෞද්ධ සමිති ගොඩනැඟිලි සංකීර්ණය හා බොරැල්ලේ තරුණ බෞද්ධ සමිතියේ ප්‍රධාන කාර්යාල ගොඩනැඟිලි සංකීර්ණය ඉදිකරවීමටද කටයුතු කර ඇත.
අළුත්ගම කන්දෙ විහාරය, පානදුර පිංවත්ත සද්ධර්මාකර පිරිවෙන, බම්බලපිටිය වජිරාරාමය, හුණුපිටිය ගංගාරමය, බෙල්ලන්විල රජමහා විහාරය, කුප්පියාවත්ත ජයශේඛරාරාමය වැනි විහාරස්‌ථාන රාශියක සංවර්ධන කටයුතු සඳහා ආධාර ලබාදී ඇත. ලන්ඩන් බෞද්ධ විහාරය සහ සැවැත්නුවර ආනන්ද බෝධියේ ප්‍රතිසංස්‌කරණ කටයුතු සඳහා ද එතුමා මැදිහත්වී ඇත.
එතුමා ආරම්භ කළ "ස්‌වර්ණපාලි බස් සමාගම" විසින් එවකට කොළඹ සිට ගාල්ල දක්‌වා මගී බස් රථ සේවාවක් සපයන ලදී. පසුව මෙය "සවුත් වෙස්‌ටන් බස් සමාගම" බවට පරිවර්තනය විය. මෙම බස් රථ සමාගම ද අති විශාල රැකියා අවස්‌ථා ප්‍රමාණයක් ජනිත කර තිබිණි. 1957 බස් ජන සතු කළ අවස්‌ථාවේදී, සියලුම බස් රථ අලුත්වැඩියා කර ගෙවුණු ටයර් වෙනුවට අලුත් ටයර් යොදා රජයට භාරදෙන ලෙස, ඒ වනවිට මෙම බස් රථ සමාගමේ සභාපතිවරයාව සිටි තම සහෝදර ටී. ටී. ද සොයිසා මහතාට එතුමා විසින් උපදෙස් දී තිබුණ බව එවකට ප්‍රසිද්ධ කරුණක් විය.
මීට අමතරව සිය ගම් ප්‍රදේශය වන බලපිටියේදී ගම්වාසීන් 1500 කට පමණ රැකියා ලබාදෙමින් අත් යන්ත්‍ර පේෂකර්ම කම්හලක් ඔහු ආරම්භ කළේය. දිනකට පැය 16 ක් වැඩ කළ ඔහු තම සේවකයන්ගෙන් ද පැය 08 ක කාර්යක්‍ෂම හා අවංක සේවයක් බලාපොරොත්තු විය.
එතුමන්ගේ සේවාවන් අතර තවත් අමතක කළ නොහැකි කාර්යයක් වන්නේ එතුමන් විසින් කළුතරට දායාද කර ඇති කළුතර විද්‍යාලය සහ කළුතර බාලිකා විද්‍යාලය වශයෙන් හැඳින්වෙන බාලක හා බාලිකා විදුහල් දෙක කළුතර නගරයේ ප්‍රධානම සහ ජනප්‍රියතම පාසල් දෙක වශයෙන් පිළිගැනේ. මේ පාසල්වල උගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අද දිවයිනේ විවිධ ක්‍ෂේත්‍රවල විශිෂ්ට සේවාවන්හි නිරතවී ඇති අතර, මෙම විදුහල්වලදී දැනටත් නිරතුරුවම සිරිල් සොයිසා මහතා කෘතගුණ පූර්වකව අනුස්‌මරණය කරති.
ඉහත සඳහන් සියලු සමාජමය හා ව්‍යාපාරික කාර්යයන් ඔහු විසින් ඉටු කරන ලද්දේ වුවද ඔහු වෘත්තියෙන් නීතිඥයකු විය. දක්‍ෂ අපරාධ නීතිඥයකු වශයෙන් කළුතර ප්‍රදේශය තුළ කැපී පෙණුන ඔහු වසර 09 ක් ලංකා නීතිඥ සංගමයේ සභාපති වශයෙන් ද නොමැකෙන මෙහෙයක් ඉටු කර ඇත. කොළඹ උසාවි සංකීර්ණයේ නීතිඥ සංගම් ගොඩනැඟිල්ල ඉදිකරන ලද්දේ ද එතුමා නීතිඥ සංගමයේ සභාපති වශයෙන් කළ වකවානුවේදීය.
මෙතුමා ක්‍රියාකාරී දේශපාලනයේ නියෑලුන අයෙකු නොවුවද ඔහුගේ හැකියාවන් හා සමාජ පිළිගැනීම පිළිබඳව සලකා එවකට පිහිටුවා තිබූ උත්තර මන්ත්‍රී මණ්‌ඩලය ලෙසින් හැඳින් වුණ සෙනෙට් සභාවේ සාමාජිකයකු ලෙස එතුමා පත් කරන ලදී. (සෙනෙට් සභාව පිහිටුවා තිබුණේ මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට කැමැත්තක් නොදැක්‌වෙන එහෙත් දේශයට, ජාතියට සේවයක් කළ හැකි සමාජය පිළිගත් දක්‍ෂ අයවලුන්ගේ නියෝජනයක් රාජ්‍ය පාලනය සඳහා ලබාදීමේ අරමුණෙනි.) පසුව එතුමා සෙනෙට් සභාවේ සභාපතිවරයා වශයෙන් ද තෝරාගනු ලැබීය.
එතුමා විසින් මේ දේශය වෙනුවෙන් ඉටු කළ සේවාව පිළිබඳව මෙවැනි කෙටි ලිපියකින් කියා නිම කළ නොහැකි හෙයින් මෙහි සඳහන් කරන ලද්දේ ඉතාම කෙටි විස්‌තරයක් පමණි. මෙතුමා ඉන්දියාවේ උපත ලද්දේ නම් අද එතුමා දේවත්වයෙන් සලකා ගරු බුහුමන් ලැබීමට සුදුස්‌සෙකු වනු ඇත. ශ්‍රී ලංකාවට දෙවියකු බඳු වූ මේ මානව හිතවාදියා 1978 ජනවාරි මස 02 වැනි දින අභාවප්‍රාප්ත වුවද එතුමන් විසින් ආරම්භ කළ සද්ක්‍රියාවන් රැසක් තවමත් මෙරට තුළ ඉතා කාර්යක්‍ෂමව එතුමාගේ බලාපොරොත්තු ඉටු කරමින් සාර්ථකව පවත්වාගෙන යනු දක්‌නට ලැබීම සතුටට කරුණකි. 20 වන සියවසේදී ශ්‍රී ලංකාවට අමරණීය සේවයක් ලබා දුන් මේ ජාතික වීරවරයාට ගෞරවය පුද කරමින් එතුමාට ඉතා ඉක්‌මනින්ම ධර්මාවබෝධය ලැබේවා'යි ප්‍රාර්ථනය කරමි.
කරු ජයසූරිය, කථානායක - ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
http://www.divaina.com/2016/10/16/feature43.html
සබැඳි ලිපි -
[
අසිරිමත් මගක ගිය ශ්‍රීමත් සිරිල් ද සොයිසාhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_9224.html
ශ්‍රීමත් සිරිල් ද සොයියා ගැන වැඩි දෙනා නොදත් කතාවක්http://denethharinna.blogspot.com/2015/10/blog-post_50.html
මහ මෙහෙවරක නියමුවා වූ සැබෑ බෞද්ධ නායකයා - ශ්‍රීමත් සිරිල් ද සොයිසාhttp://denethharinna.blogspot.com/2014/10/blog-post_23.htmlඅසිරිමත් මගක ගිය ශ්‍රීමත් සිරිල් ද සොයිසාhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_9224.html
]
අද වනවිට රට පුරාම උදෑසනට සහ සවසට තම ශරීර සුවතාවය සඳහා ඇවිදින පිරිස දැකගත හැකිය.
එසේ වී ඇත්තේ අද බොහෝ දෙනා යතුරු පැදි, මෝටර් රථ ආදිය භාවිතය බහුලව සිදුකිරීමත් එක බස් නැවතුමක් වුව පයින් ගමන් කිරීමට පුරුදුව නොසිටීමත්, ක්‍ෂණිකව සැකසූ ආහාර පාන ගැනීමට හුරුව සිටීමත් නිසා තරබාරුවට පත්ව සිටීම, අධි රුධිර පීඩනයට ලක්‌ව සිටීම හා දියවැඩියාව රෝගයට ගොදුරුව සිටීම නිසාය. ශරීර සුවතාවය සඳහා ඇවිදීමත් දැන් විලාසිතාවක් වී ඇත. ඇතැම් දෙනා ශරීර සුවතාවය සඳහා ඇවිදින්නට යන්නේ උත්සව අවස්‌ථාවකට සහභාගි වන ලෙසිනි. මාල වළළු වලින් සැරසී කොණ්‌ඩා විලාසිතා වලින් යුක්‌තව ඇවිදීමට යන ඇතැම් දෙනා පවසන්නේ මුළු දවසම ගෙදරට කොටුවී සිටින නමුත් එළියට බහින්නේ ශරීර සුවතාවය සඳහා බැවින් එවැනි අවස්‌ථාවකදී හෝ හැඩවැඩවී සිටිය යුතු බවය.
තවත් සමහරු ඇවිදින්නේ අධික සීනි සාන්ද්‍රණයෙන් යුත් බීම වර්ග වල රස බලමිනි.
මෙය ශරීර සුවතාවය සඳහා ඇවිදීමට සුදුසු බීමක්‌දැයි අපි ඒ ගැන විමසා බලමු. ඇවිදීම යනු අපට නොමිලයේ ලබා ගත හැකි ව්‍යායාමයකි. ඒ සඳහා ශරීර සුවතා මධ්‍යස්‌ථානයකට යා යුතු නැහැ. නිරෝගී පා යුගලක් ඇති අයෙකුට පෘථිවියේ වට ප්‍රමාණය මෙන් දෙගුණයක දුරක් ඇවිදිය හැකිය. වයස අවුරුදු සියයක් දක්‌වා වුව හොඳින් ඇවිදිය හැකිය. දිනකට අවම වශයෙන් කිලෝමීටර් 3 1/2 ක උපරිම වශයෙන් කිලෝමීටර් 40 ක්‌ද ඇවිදිමේ හැකියාව අප දෙපා සතුව තිබේ.
ඇවිදීමට ගැලපෙන පාවහන්
අපට දිනපතා නිරෝගීව ඇවිදීමට හැකියාව උදාකර ගැනීමට නම් ඇවිදීම නිසා දෙපාවලට සිදුවිය හැකි අනතුරු අවම කරගත යුතුය.
ඒ සඳහා නම්‍යශීලී ක්‍රීඩා සපත්තු දෙකක් භාවිතා කල යුතුය. එම සපත්තුවේ අඩිය අඟල් 1/2 ක් හෝ අඟලක් පමණ තිබිය යුතුය. සෙරප්පු, අඩි උස සපත්තු, අඩිය ඉතා තුනී ක්‍රීඩා සපත්තු සහ දෙපාවලට සිරවන ලෙස සැකසුනු පාවහන් ඇවිදීම සඳහා සුදුසු නැත. ඉන් සිදුවන්නේ ඇවිදීම නිසා දණහිස්‌වලට අධික පීඩනයක් ඇතිවීම නිසා දණහිස් ආබාධ ඇතිවීමය.
ඇඳුම්, පැළඳුම්
ඇවිදීම සඳහා යොමුවීමේදී කපු යට ඇඳුම් භාවිතා කළ යුතුය. කාන්තාවන් තම තන පට සඳහා ක්‍රීඩා තනපට (Sචදරඑ ඊර්) භාවිතා කිරීමට යොමු විය යුතුය. ඇවිදීම සඳහා ඇඳුම් තෝරා ගැනීමේදී සුදු පැහැති ඇඳුම් භාවිතය වඩාත් සුදුසුය. ඉන් හිරුඑළිය පරාවර්තනය කිරීම නිසා ශරීරයට අනවශ්‍ය උණුසුමක් ඇති නොවේ.
ඇවිදීමේදී දෙපා පළදින මේස්, ලුණු වතුර හෝ උණු වතුර හෝ විෂබීජ නාශකයක් යෙදූ පිරිසිදු ජලයෙන් දිනපතා සෝදා හොඳින් වියළා ගතයුතුය.
එසේ නොවුණහොත් දෙපාවල ඇඟිලි කරු නිතර බැක්‌ටීරියා දිලීර වර්ග මගින් ආසාදනය විය හැකිය.
රූපලාවන්‍ය ආලේප
ඇවිදීමේදී ශරීරය උණුසුම් වී දහදිය ගලන නිසා රූපලාවන්‍ය ආලේප වර්ග ආලේප කර ගැනීම සුදුසු නැත. අවශ්‍ය නම් හිරු එළියෙන් සම ආරක්‌ෂාවීම සඳහා ක්‍රීම් වර්ගයක් සම මත ආලේප කර ගත හැකිය.
ආහාර පාන ගැනීම
ආහාර පාන ගැනීම ඇවිදීම ආරම්භ කිරීමට පැය 1 1/2 කට පෙර ආහාර පාන ගත යුතුය. ඇවිදීමේ යෙදී අවසන් වූ පසු ආහාර ගත යුත්තේ පැයක් පමණ ගතවූ විටය.
ඇවිදීමේදී ශරීරයේ උෂ්ණත්වය ඉහළ ගොස් ඇති නිසා ඇවිදීම අවසන් කළ වහාම ආහාර ගතහොත් ශරීර උෂ්ණත්වය තවත් වැඩිවී හෘදයාබාධ ඇතිවීමට පවා හේතුවේ. ඇවිදීමෙන් පසු පළතුරු යුෂ පානයක් ගත හැකිය. එයත් කැලරි 50 ට අඩු පානයක් විය යුතුය. ඇවිදීමේ ව්‍යායාමයේ යෙදෙන අතර තුර තේ හෝ කෝපි පානය මධ්‍යසාර දුම්වැටි පානය අහිතකරය. ඉන් ශරීරය උත්තේජනය වී ශරීර ක්‍රියාකාරිත්වය ඉහළ යා හැකිය. එවිට රුධිර නාල පුපුරා යැම වැනි භයානක අනතුරුවලට ලක්‌විය හැකිය.
ශරීරය පිරිසිදු කර ගැනීම
ඇවිදීමේ ව්‍යායාම සිදුකිරීමෙන් පසු ස්‌නානය හෝ ඇඟපත සෝදා ගැනීම කළ යුත්තේ පැය භාගයක් පමණ ගිය පසුය. එවිට ශරීරයේ පැවැති අධික ක්‍රියාකාරිත්වය සාමාන්‍ය තත්ත්වයට පත්වේ. ව්‍යායාම කිරීමෙන් පසු ශරීරය පිරිසිදු කර ගැනීම සඳහා භාවිතා කළ යුත්තේ සාමාන්‍ය ඇල් ජලයයි. උණු ජලය හෝ ශීතල ජලය ඒ සඳහා භාවිතා නොකළ යුතුය.
ඇවිදීමේ ව්‍යායාමයේ යෙදීමට පෙර
තම ශරීර බර අඩුකර ගැනීමට, අධිරුධිර පීඩනය පාලනය කර ගැනීමට වැනි කරුණු මූලික කරගෙන ඇවිදිනවිට වෛද්‍යවරයකු වෙත ගොස් තම රුධිර පීඩනය හදවතේ ගැස්‌ම පරීක්‍ෂා කරගත යුතුය.
උපදෙස් : එංගලන්තයේ රාජකීය ක්‍රීඩා වෛද්‍ය විද්‍යායතනයේ මානව චාලක විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය අසංග විජයරත්න, සකස් කළේ - උපාලි ද සේරම්
http://www.divaina.com/2016/10/16/feature39.html
වැඩිම යුද අපරාධ චෝදනා පොලිසියටයි. පොලිස් නිලධාරිනියන්ටත් ලිංගික අපචාර චෝදනා!
ජිනීවා මානව හිමිකම් කවුන්සලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවේ ඇති ඇතැම් යෝජනා මේ වන විට ක්‍රියාත්මක කිරීම ආරම්භ වී තිබෙනවා. යුද්ධය හා සම්බන්ධ නැති බොහෝ දේ මේ යෝජනා මාලාව හරහා ක්‍රියාත්මක වෙමින් පවතින බව මානව හිමිකම් හා සංවර්ධනය පිළිබඳ නීතිවේදී සංවිධානයේ විධායක අධ්‍යක්‌ෂ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි. දිවයින ඉරිදා සංග්‍රහය ඒ මහතා සමග පැවැත්වූ සාකච්ඡාවකි මේ.
ජිනීවා යෝජනා ක්‍රියාත්මක වීම දැන් ආරම්භ වී තිබෙනවා. අතුරුදන්වූවන් පිළිබඳ පිහිටුවූ කාර්යාලය මෙන්ම ත්‍රස්‌තවාදී මර්දන පනත අහෝසි කිරීම ක්‍රියාත්මක වූ එවැනි යෝජනා දෙකක්. මේවා ක්‍රියාත්මක වීම රටේ ජාතික ආරක්‌ෂාවට තර්ජනයක් බව ඇතැමුන් දරන මතයක්?
අපේ රටේ සාමාන්‍ය මහ ජනතාව හිතාගෙන ඉන්නේ මේ යෝජනා ක්‍රියාත්මක වීම බලපාන්නේ යුද්ධයේ අවසන් සමයේ ක්‍රියාන්විතයේ සිටි යුද හමුදා සාමාජිකයන්ට හා හමුදා ප්‍රධානීන්ට බවයි. එය සම්පූර්ණයෙන්ම වැරදි අදහසක්. යුද්ධය හා සම්බන්ධ නැති බොහෝ දේ මේ යෝජනා මාලාව තුළ තිබෙනවා. ඒවා දැන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.
යුද්ධය හා සම්බන්ධ නැති, රටේ ආරක්‌ෂාවට බලපාන මේ යෝජනා මාලාවේ ඇති කරුණු මොනවාද?
මේ යෝජනා මාලාව ඇමරිකාව ඇතුළු බටහිර රටවල අවශ්‍යතාව මත සැකසුනු එකක්. එහි අරමුණ පවතින ආණ්‌ඩුවට බලපෑම් කිරීම. මේ යෝජනා මාලාව ක්‍රියාත්මක නොකළොත් දඬුවම් විඳීමට සිදුවන බව ඔවුන්ගේ ප්‍රකාශවලින් පැහැදිලියි. බටහිර රටවල තිබෙන දේශපාලන උවමනාවන් අපේ රට තුළ ඉටුකර ගැනීමට මේ යෝජනා මාලාව ඔවුන් පාවිච්චි කරනවා. මේ හැම රටකම සිටින දෙමළ ඩයස්‌පෝරාවත් ඊට හවුල් වී සිටිනවා. මේ හැම රටකම පාහේ ශ්‍රී ලංකාවෙන් ගිය ද්‍රවිඩ ජාතිකයන් විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් වැඩිදෙනා යමක් කමක් කළ හැකි උගත් පිරිසක්. විවිධාකාරයෙන් ඔවුන්ට මුදල් ලැබෙනවා. මේ හැකියාවන් තුළින් ඔවුන් මේ බටහිර රටවලට ශ්‍රී ලංකාව ගැන විවිධ බලපෑම් කරනවා. එය සංවිධානාත්මකව කරන වැඩක්. මේ බලපෑමට අද යම් ආකාරයකට අපේ රටේ පාලන තන්ත්‍රය උඩුයටිකුරු කිරීමේ හැකියාවක් ලැබී තිබෙනවා.
අපේ රටේ පාලන තන්ත්‍රයට ඔවුන් මේවන විට සිදුකර ඇති බලපෑම් මොනවද?
උතුරේ හමුදා කඳවුරු ඉවත් කළ යුතු බවට කරන බලපෑම, මහ බැංකුව පිපිරවීම සහ නොයෙක් පළාත්වල බෝම්බ සවිකර බස් රථ පුපුරවා හැරීම වැනි මහා මිනිස් ඝාතන සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ත්‍රස්‌තවාදීන් නිදහස් කළ යුතු බවට කරන බලපෑම වැනි දේ පමණක් නොවෙයි, අධිකරණය මගින් ත්‍රස්‌තවාදීන්ට ලබාදුන් දඬුවම් සම්බන්ධයෙනුත් යළි සලකා බලන ලෙස කරන ඉල්ලීම් පවා තිබෙනවා. ජනාධිපතිතුමාට බෝම්බ ගැසූ තැනැත්තා අධිකරණයෙන් දඬුවම් ලැබූ අයෙක්. ඔහු නිදහස් කළා.
රජයේ වාර්තාවලට අනුව පමණක් නොව ඔවුන්ගේ වාර්තාවලට අනුවත් දැන් අත්අඩංගුවේ පසුවන්නේ 250 ක් තරම් සැකකරුවන් පිරිසක්. ඔවුන් බරපතළ අපරාධ සඳහා සෘජුවම සම්බන්ධ අය. මේ අයත් නිදහස් කරන්න කියලයි ඉල්ලන්නෙ. මේ අය නිදහස් කිරීම පමණක් නෙමෙයි ත්‍රස්‌තවාදී ක්‍රියා සිදුකළ බවට ඔප්පු වී අධිකරණයේදී වරදකරුවන් වූ අයටත් ලබා දී ඇති දඬුවම් ගැන යළි සලකා බලන ලෙසත් ඉල්ලීම් කරනවා. මේවා රටේ පාලන තන්ත්‍රයට කරන බරපතළ බලපෑම්.
ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ යෝජනා තුළින් රටේ ජාතික ආරක්‌ෂාවට බරපතළ තර්ජනයක් එල්ලවන බව ඇතමුන් ප්‍රකාශ කරනවා. එවැනි යෝජනා මොනවද? ඒවා ජාතික ආරක්‌ෂාවට තර්ජනයක් වන්නේ කොහොමද?
ලෝකයේ වෙනත් රටවල් ත්‍රස්‌තවාදය මර්දනය කිරීම සඳහා පනවා ඇති අණපනත් දෙස බලන විට අපේ රටේ ත්‍රස්‌තවාදී මර්දන පනත බොහොම ලිහිල් එකක්. මේ යෝජනා මාලාව තුළ එයත් අහෝසි කරන්නැයි කර ඇති යෝජනාව දැන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මේ පනත අහෝසි කළ විට රටේ ජාතික ආරක්‌ෂාව දුර්වල වෙනවා. දැන් නැවතත් රටේ ප්‍රදේශ ගණනාවකින් බෝම්බ සෑදීමට ගන්නා ටී.එන්.ටී. සහ සී 4 වැනි අධිබලැති පුපුරන ද්‍රව්‍ය හසුවී තිබෙනවා. මේ පනත ඉවත් කළවිට මේවා සම්බන්ධව සිදුකරන පරීක්‌ෂණ අඩාල වෙනවා. ත්‍රස්‌තවාදයට අනුබල දෙන්නන් අත්අඩංගුවේ රඳවා පරීක්‌ෂණ සිදුකිරීමට නොහැකි වෙනවා. මේ පනත ඉවත් කිරීම නිසා සාමාන්‍ය අපරාධ නීතිය යටතේ සැකකරුවකුට ලැබෙන වරප්‍රසාද ත්‍රස්‌තවාදී සැකකරුවන්ටත් ලැබෙනවා. එය ජාතික ආරක්‌ෂාවට තර්ජනයක්.
මහජන ආරක්‌ෂක පනතත් ඉවත් කළ යුතු බව මේ යෝජනාවලියේ ඇති තවත් යෝජනාවක්. රට හදිසි අවස්‌ථාවකට මුහුණ දුන් විටක හමුදාව කැඳවීමේ හැකියාව තිබෙන්නේ මහජන ආරක්‌ෂක පනතට අනුවයි. 1947 මහා වැඩවර්ජනයක් දියත් වූ අවස්‌ථාවේ මෙම පනත සම්මත කර ගැනීමෙන් පසුවයි අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යැමට හැකිවුණේ. මේ පනත නීතියක් ලෙස පැනවූයේ ඉන් පසුවයි. දැන් මහජන ආරක්‌ෂක පනත තිබෙන්නේ 1978 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ කොටසක් වශයෙනුයි. යම් හෙයකින් නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක් සම්පාදනය කරන විට එය මෙම ඉල්ලීම මත හෝ එය ඉවත් කළ හොත් හදිසි අවස්‌ථාවකදී හමුදාව කැඳවාගත නොහැකිව රට අරාජික තත්ත්වයකට පත්වෙන්න පුළුවන්.
එසේම අද රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කැප වූ හමුදා සාමාජිකයන් සිරගතවීමේ අවදානමකට මුහුණ පා සිටිනවා. මෙය රට වෙනුවෙන් හමුදාවේ කැපවීම අධෛර්යය කිරීමක්. ජීවිත පරිත්‍යාගයෙන් අපේ රට රැකගත් හමුදා සාමාජිකයන්ට අද බටහිර රටවල ආරක්‌ෂාව වෙනුවෙන් කැපවීමට සිදුවෙලා. මුහුදු මාර්ග ආරක්‌ෂා කිරීමට අපේ නාවික හමුදාව යෙදවීමේ සූදානමක් තිබෙනවා. ඇමරිකාව ඇතුළු බටහිර රටවලට ඉන්දියානු සාගරය සුරක්‌ෂිත කලාපයක් බවට පත්කිරීම එහි අරමුණයි. ඇමරිකානු විදේශ ආරක්‌ෂක බලඇණිවලට සහය වීමට අපේ ගුවන් හමුදාව යොදවාගැනීමටත් සැලසුමක් තිබෙනවා. පසුගියදා ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීමත් මේ හා සම්බන්ධයි. එක්‌සත් ජාතීන්ගේ හමුදා වෙනත් රටවල සිදුකරන කලබගෑනිවලදී ඇතිවන ගැටුම් පාලනය කිරීමට අපේ හමුදා යොදවා ගැනීමටත් සැලසුමක් තිබෙනවා. ඒ අනුව අපේ රට ආරක්‌ෂා කරනවාට වඩා අද අපේ හමුදාවන්ට වෙනත් රාජකාරී පැවරෙමින් තිබෙන බව පෙනෙනවා.
බලහත්කාරයෙන් අතුරුදන් වූවන් පිළිබඳ පනතට අත්සන් තැබීම මේ යෝජනාමාලාවේ තවත් යෝජනාවක්. එයින් කියෑවෙන්නේ ආරක්‌ෂක හමුදා සාමාජිකයකු යම් පුද්ගලයකු අත්අඩංගුවට ගත් පසු ඔහු අතුරුදන් වූ බවට එම පුද්ගලයාගේ ඥාතියකු හෝ වෙනත් පුද්ගලයකු පැමිණිල්ලක් කළ හොත් එය ඇත්තක් වුවත් නැතත් එම හමුදා සාමාජිකයා අත්අඩංගුවට ගැනීමේ බලය එම පනතට අත්සන් කර ඇති සියලූම රටවලට හැකියාවක් ලැබෙන බවයි. අපේ රට 2015 දෙසැම්බර් මස එම පනතට අත්සන් කළා. මෙම වසරේ මැයි 16 දා එය සහතික කළා. ඊට සතියකට පසු අපේ රටේ අතුරුදන් වූවන් පිළිබද සොයාබැලීමේ කාර්යාලයක් පිහිටුවීම සඳහා පනතක් ඉදිරිපත් වුණා.
මෙයත් සමගම සිංහරාසා නඩු තීන්දුව ඉවත් කළ යුතු බවට දැන් යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. සිංහරාසා නඩු තීන්දුවෙන් ප්‍රකාශ වූයේ ලංකාවේ නීතියක් පනවන්නේ නැතිව ජාත්‍යන්තර ආඥා පනත් අත්සන් කිරීම වලංගු නොවන බවයි. අපේ රටේ උසාවිය උපරිමාධිකරණය මිස මානව හිමිකම් කොමිසම නෙමෙයි. මේ ජිනීවා යෝජනාවලියෙන් කියන්නේ සිංහරාසා නඩු තීන්දුව ඉවත් කරන්න කියලයි. පසුගියදා අගමැතිතුමා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් එම නඩුතීන්දුව අවලංගු කරන ලෙස ප්‍රකාශයක් කරන්නැයි කථානායකවරයාට දැන්වුවා. ඒක කළොත් ඕනම ත්‍රස්‌තවාදියකුට මේ රටේ අධිකරණයකින් දෙන දඬුවමක් ජිනීවා ගොස් වෙනස් කරගන්න පුළුවන් වෙනවා. අපේ අධිකරණ බලය එතැනට යනවා. මේ යෝජනාවලියේ ඇති මෙවැනි කරුණු පිළිබඳ අපේ රටේ සාමාන්‍ය ජනතාව දන්නේ නෑ.
අපේ රටේ ආරක්‌ෂක හමුදා විශාල වශයෙන් යුද අපරාධ සිදුකර ඇති බවට මෙම වාර්තාවේ සඳහන් වෙනවා. එම චෝදනා සාක්‌ෂි මත පදනම් වූ චෝදනාද?
අපේ රටේ ආරක්‌ෂක හමුදා සිදුකළා යෑයි කියන මනුෂ්‍ය ඝාතන හා යුද අපරාධ පිළිබඳව මෙම වාර්තාවෙන් චෝදනා කර ඇතත් ඒ සඳහා පිළිගත හැකි කිසිදු සාක්‌ෂියක් නෑ. යම්කිසි අපරාධයක් සිදුකළ ආරක්‌ෂක අංශ සාමාජිකයා හෝ එම කණ්‌ඩායමට පමණක් නොව ඔවුන්ගේ ප්‍රධානියා පවා ඊට වගකිවයුතු බවත් එවැනි දේ යළි සිදුනොවන ලෙස බරපතළ දඬුවම් ඔවුන්ට ලබාදිය යුතු බව මෙම වාර්තාවෙන් යෝජනා කොට තිබෙනවා. මේ අනුව ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ටත් වඩා මෙයින් චෝදනා එල්ල වී ඇත්තේ පොලිසියටයි. හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන් මෙන්ම නිලධාරිනියනුත් සැකකරුවන්ට සහ සැකකාරියන්ට ලිංගික අඩන්තේට්‌ටම් කළ බවට චෝදනා නගා තිබෙනවා. පොලිස් නිලධාරිනියක් ආරක්‌ෂක පියවරක් ලෙස කාන්තාවකගේ සිරුර පරීක්‌ෂා කිරීමත් ලිංගික අතවරයක් ලෙස මෙම වාර්තාව හඳුන්වා තිබෙනවා.
මෙම අතවර සහ වධහිංසා සිදුවූවායෑයි මේ වාර්තාවේ සඳහන් කඳවුරු සහ රැඳවුම් ස්‌ථානවලට රතුකුරුස සාමාජිකයින් හා වෙනත් සංවිධානවල නිලධාරින් ගොස් තිබුණා. නමුත් අත්අඩංගුවට ගෙන සිටි කිසිවෙක් මෙබඳු වධහිංසා හෝ අතවර පිළිබඳ ඔවුන්ට පැමිණිලි කර නෑ. දෙමළ ජාතික සන්ධානයේ කිසිදු මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේදී හෝ සැකකරුවන්ට සිදුවන මෙබඳු හිරිහැර ගැන පවසා නෑ. එමනිසා ජිනීවාවලට ගොස් දැන් කවුරුන් හෝ නගන මේ චෝදනාවල සත්‍යයක් ඇතැයි සිතන්නට බෑ. ආරක්‌ෂක අංශවලට මෙබඳු චෝදනා නගමින් ඒවාට එරෙහිව පියවර ගන්නැයි මේ යෝජනා කරන්නේ ආරක්‌ෂක අංශ සාමාජිකයන් දුර්වල කොට රට අවුල් කරන්නයි.
සාකච්ඡා කළේ පාලිත සේනානායක
http://www.divaina.com/2016/10/16/feature29.html
Pic
Source
පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස් කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්.
පංචඋපාදානස්‌කන්ධය කෙරෙහි ඡන්දරාගය දුරුකිරීමේ මාර්ගය වන, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිංවත් ඔබ ගමන් කරලා, මූලිකව ඔබ පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දකින පිංවතා, උතුම් සෝවාන්ඵල අවබෝධය සාක්‍ෂාත් කොටගෙන පංචඋපාදානස්‌කන්ධය කෙරෙහි තමන් ඇතිකොටගෙන තිබූ සක්‌කාය දිට්‌ඨිය හෙවත් මමත්වයේ දැඩිභාවය නිරෝධය කොට දමනවා. මේ සක්‌කායදිට්‌ඨිය හෙවත් මමත්වයේ දැඩිභාවය කියන වචනයේ අර්ථය සත්ත්වයාට මොනතරම් දුක් දෙනවාද කියන කාරණය මතුකොට පෙන්වන්න බුදුරජාණන්වහන්සේ මෙහෙම උපමාවක් දේශනාකොට තිබෙනවා.
'යම් පුද්ගලයෙක් ඔබට කිවහොත් දිනකට කස පහරවල් තුන්සියය බැගින් අවුරුදු තුන්සියයක් ගෙවීගිය තැන මම ඔබට උතුම් සෝවාන්ඵල අවබෝධය ලබාදෙනවාය කියලා, ඔබ ඒ තියුණු වූද, කටුක වූද, වේදනාකාරීවූද, අමිහිරිවූද දුක වසර තුන්සියයක් විඳලා උතුම් සෝවාන්ඵල අවබෝධය ලබාගන්නට කැමතිවෙන්න'ය කියලා. ඉහත උපමාවෙන් පිංවත් ඔබට වැටහෙනවා ඇති, සක්‌කාය දිට්‌ඨිය කියන අර්ථය පිංවත් ඔබට සංසාරයක් පුරාවට මොනතරම් අමිහිරි දුක් කන්දරාවක් උරුමකොටදී ඇතිද කියන කාරණය.
තවදුරටත් ඔබ සක්‌කායදිට්‌ඨියට බැඳුණොත්, අනාගත භවගමනේදී තව කොතෙක් කටුක දුක් විඳවන්නට සිදුවේද කියන කාරණය පිංවත් ඔබ නුවණින් දකින්න. වසර තුන්සියයක් දිනපතා කසපහර තුන්සියයක් බැගින් පහරකන මනුෂ්‍යයෙකුගේ තියුණු දුක, වේදනාව, අඳෝනාව, මරණය, ඉපැදීම නුවණින් දකිමින් සක්‌කාය දිට්‌ඨිය, මමත්වයේ දැඩිභාවය කියන අර්ථය කෙරෙහි කළ කිරීම ඇතිකරගන්න.
වරක් බමුණෙක් බුදුරජාණන්වහන්සේගෙන් විමසනවා, භාග්‍යවතුන් වහන්ස උතුම් සෝවාන්ඵලයට පත්වීමට නම්, කුමක්‌ද කළ යුතු කියලා. ඒ අවස්‌ථාවේදී බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා 'තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව, ආර්යකාන්ත ශීලය සහ පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දකින පිංවතා, උතුම් සෝවාන්ඵලයට පත්වෙනවා' ය කියලා. දෙවැනුව, බමුණා විමසනවා 'යම් පිංවතෙක්, උතුම් සෝවාන්ඵල අවබෝධය ලැබුවාට පසුව කුමක්‌ද කළයුත්තේ?' කියලා. එවිට බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා 'යමෙක් සෝවාන්ඵලයට පත්වුණාට පස්‌සේ, ඔහු තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව ගැන හෝ ඔහුගේ ආර්යකාන්ත ශීලය ගැන ඔහුට ප්‍රශ්නයක් නැහැ. එම ධර්මයන් පරිපූර්ණයි. ඔහු දැන් කළයුත්තේ තමන් අනිත්‍ය වශයෙන් දැක්‌කාවූ පංචඋපාදානස්‌කන්ධය නැවත නැවත අනිත්‍ය වශයෙන්ම දකිමින් ජීවත්වීමය' කියලා. ඔහු පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය නැවත නැවත දකිමින් සිටින විට, එම පිංවතා උතුම් සකෘදාගාමී ඵලයට පත්වෙනවා. සකෘදාගාමී ඵලයට පත්වුණ පිංවතාත් නැවත නැවත පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත්වෙනකොට ඔහු උතුම් අනාගාමී ඵලයට පත්වෙනවා. අනාගාමීඵලයට පත්වූ පිංවතා නැවත නැවතත් පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය නුවණින් දකිමින් සිටිනවිට එම පිංවතා උතුම් අරිහත්ඵල අවබෝධයට පත්වෙනවා. උතුම් අරිහත්ඵල අවබෝධය ලැබූ රහතන්වහන්සේ තමන් අවබෝධකොට ගත්තාවූ පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය විවේකීව නැවත නැවත ආවර්ජනය කරමින් සිටිනවාය කියලා.
බුදුරජාණන්වහන්සේ දේශනා කරන ඉහත ධර්මයෙන් පිංවත් ඔබට වැටහෙනවා සෝවාන් ඵලයට පත්වෙන පිංවතා පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දකිනවා උතුම් අරිහත්භාවයට පත්වෙන රහතන්වහන්සේ මුලින්ම තමන් අනිත්‍යවශයෙන් දැක්‌ක පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය උතුම් ඥානදර්ශන තුළින් අවබෝධකොටගෙන පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. උතුම් අරිහත්ඵල අවබෝධයේදී පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය අවබෝධකොටගෙන සම්මා විමුක්‌තිය සාක්‍ෂාත්කොටගන්නවා. උතුම් සෝවාන්ඵලයේදී පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. උතුම් අරිහත්ඵල අවබෝධයේදී පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය අවබෝධකොට ගන්නවා.
පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය නොදකින පිංවතා, නිරතුරුවම රූපය මමය කියලා ගන්නවා. වේදනාව, සංඥාව, චේතනාව, විඤ්ඤාණය මමය කියලා ගන්නවා. මගේ ආත්මය කියලා ගන්නවා. නොවෙනස් වන රූපයක්, නොවෙනස් වන වේදනාවක් තිබෙනවාය කියලා ගන්නවා. සැප දුක් විඳිනා ආත්මයක් තිබෙනවාය, එම ආත්මය තුළ මම සිටිනවාය කියලා දකිනවා. මේ සක්‌කායදිට්‌ඨියේ දැක්‌ම නිසාම, උපදින අයෝනිසෝමනසිකාරය පිංවතුන්ට නැති ආශ්‍රවයන් ඇතිකොටදෙනවා, ඇතිආශ්‍රවයන් වර්ධනයකොට දෙනවාය කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා.
චිත්තානුපස්‌සනාව - 9, ඉදිරිපත් කිරීම - ඉන්ද්‍රජිත් සුබසිංහ, indrajith.media@gmail.com
http://www.divaina.com/2016/10/16/feature05.html