Pages

Tuesday, January 27, 2015

පෙර පාලනයෙන් යහ පාලනයට උගතයුතු පාඩම්

රට දැන් යහ පාලනයකට ප්‍රවේශ වී ඇත. වඩාත් සදාචාරාත්මක අයුරින් නව ක්‍රමවේද ඔස්‌සේ රට පාලනය කරන්නට අරඅදින මොහොතක එය සාර්ථක තලයකට ඇද ගෙන යන්නේ පසුගිය කාල පරිච්ඡේදය දෙස අවලෝකනය කිරීමෙනි.

පසුගිය කාල පරාසයේදී සිදු වූ වැරැදි ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙන ගියොත් යහ පාලනයෙන් කිසිදු ඵලක්‌ නැත. අනන්ත අප්‍රමාණ ලෙස සිදු වු වැරැදි සම්භාරය රට අවරට යැමට හේතු භූත විය.

යහ පාලනයට මූලික වශයෙන් බලපාන්නේ සුදුස්‌සාට සුදුසු තැන දීමය. පෙර පැවැති කාල පරාසයේදී සිදු වූයේ නුසුදුස්‌සාට ප්‍රමුඛත්වය දීමය. ඒ ආදර්ශය යහ පාලනයට ආදේශ කරගත්තොත් කිසිදු ඵලක්‌ ඇති නොවේ.

සුදුස්‌සා කවුරුන්ද, දක්‍ෂයන් කවරෙක්‌ද විෂයේ සුනිපුණයන් කවුරුන්ද යන්න තෝරා බේරාගෙන ඒ ඒ තැන්වලට සුදුස්‌සන් පත් කළ යුතුය. පසුගිය පාලන කාලයේදී සිදු වූයේ නුසුදුස්‌සන් ඉහළට ගෙන යැමය. පාලකයන්ගේ පැවැත්ම උදෙසා ඕනෑම අයකු තමන්ගේ මල්ලට දමා ගැනීම පසුගිය පාලන සමයේ සිදු වූ දෙයකි. මේ හේතුව නිසා බුද්ධිමතුන්, උගතුන්, සුදුස්‌සන් සිටියේ අතිශය කලකිරීමෙනි.

ආත්මාර්ථකාමිත්වය තමයි ඉහළට ගෙන ආවේ. පරාර්ථකාමීත්වය යටපත් වීම මත පාලිතයන් සිටියේ අතිශය දුකෙනි. යහ පාලනයේදී ප්‍රමුඛත්වය දිය යුත්තේ පරාර්ථකාමීත්වයටය. එය සිදු නොවුණොත් යහ පාලනයට අත්වන්නේත් පෙර ඉරණමමය.

රාජ්‍යායතනවලට ප්‍රධානීන් පත්කිරීමේදී සුදුස්‌සන් ඒ සඳහා යොමු කළ යුතුය. ආයතනයේ සේවක යන්ගෙන් උපරිම වශයෙන් ඵල ප්‍රයෝජන ගැනීමේ විඥානයක්‌ ආයතන ප්‍රධානියාට තිබිය යුතුය.

ආඥාදායක පාලන ක්‍රමය දුරලීමට වගබලා ගත යුතුය. ආඥාදායක පාලන ක්‍රමය නිසයි, ඒ අය පිරිහීමට පත් වූයේ. බලය අසීමිත ලෙස පරිහරණය කිරීම මත තමන්ගෙන් සිදු වන්නේ කුමක්‌ද යන්න පාලකයාට හිතා ගන්නට බැරි තත්ත්වයට පත් විය. හිටපු පාලකයාට සිදු වූයේත් එයමය. අප්‍රමාණ බලය තමන් අතට ගෙන රට පාලනය කරන්නට යැම හේතුකොට ගෙන එම පාලකයාට අත් වූ ඉරණම දැන් මනාව පැහැදිලිව පෙනෙන දෙයකි.

විධායක බලය අතට ගත් ඡේ. ආර්. එදා කීවේ ගැහැනියක්‌ පිරිමියකු කිරීමත් පිරිමියකු ගැහැනියක්‌ කිරීම හැර හැම සියල්ලක්‌ම මට කළ හැකි බවය. අවසානයේ සිදු වූයේ කුමක්‌ද සියලුම බලය දමා යන්නට සිදු වීමය.

මෙතනදී ඡේ. ආර්. අතින් හොඳ දෙයක්‌ සිදු විය. එනම් ඇමැතිවරුන් සතු බලය තමන් අතට ගත්තේ නැත. ඇමැතිවරුන්ට නිදහසේ කටයුතු කරන්නට ඉඩ හැරියේය. අවකාශ සලසා දෙන ලදී.

යහ පාලනය යටතේ ඇමැතිවරුන්ට අදීනව තීන්දු තීරණ ගන්නට අවකාශ සලසා දිය යුතුය. ඒවාට ඇඟිලි නොගැසිය යුතුය. ඇමැතිවරයකුට අමාත්‍යාංශයක්‌ භාර දෙනු ලබන්නේ එය නිසියාකාරව කරගෙන යැමටය. ඒ ඒ විෂයයේ සුදුසු අයට පවරන ලද අමාත්‍යාංශවලට විධායක පාලකයා ඇඟිලි ගසන්නට ගියොත් සිදු වන්නේ මහා අවුලකි.

පාලකයා කෙරෙහි බලය සදාකාලිකව රඳා පවතින්නේ නැත. ඒ බලය රැඳී ඇත්තේ කෙටි කාලයකි. බලය ගිලිහී ගිය විට අන්ත අසරණ තත්ත්වයට පත්වන ආකාරය දෙසත් යහ පාලනය නෙත් සිත් යොමු කළ යුතුය.


දක්‌ෂයා - සුදුස්‌සා පාලකයා ළඟට යනතුරු බලා නොසිට, පාලකයා ළඟට ඔහුව ගෙන්වා ගත යුතුය. මෙයයි යහ පාලනයක පාලකයාගේ පිළිවෙත විය යුත්තේ.


කිසියම් අවශ්‍යතාවක්‌ අරභයා පාලකයාට දැන් වූ විට එය කළ හැකිද? නොහැකිද යනුවෙන් පිළිතුරක්‌ එවීම පාලකයාගේ යුතුකම විය යුතුය. එවිටයි යහ පාලකයා තවදුරටත් ජනතාවට සමීපවන්නේ.

කළ යුත්තේ කුමක්‌ද? නොකළ යුත්තේ කුමක්‌ද? යන්න ගැනද අවධානයෙන් සිටිය යුතුය.

කළ යුත්තට ප්‍රමුඛත්වය දිය යුතුය. එසේ නොමැතිව නොකළ යුත්තට ප්‍රමුඛත්වය දිය යුතු නැත. මේ ආකල්පය කෙරෙහිද යහ පාලනය අවධානය යොමු කළ මනාය.

යහ පාලනයේදී අධිකරණයේ ස්‌වාධීනත්වය රැඳිය යුතුය. අධිකාරි බලයෙන්, ආඥාදායක බලයෙන් නීතිය අයාලේ යන්නට දෙන්නත් එපා. අධිකරණයට තීන්දු දෙන්නේ ආඥාදායකත්වයෙන් නම් එම අධිකරණයෙන් ඵලක්‌ නොමැත. අධිකරණයේ ස්‌වාධීනත්වය රැකීමටද වගබලා ගත යුතුය. එසේ නොවුණොත් එතැන රැඳී ඇත්තේ අවනීතියකි.

නාස්‌තියෙන්ද රට බේරා ගැනීමට වග බලා ගත යුතුය. පසුගිය කාලයේදී බොහෝ සෙයින් රටේ නාස්‌තියක්‌ ඇති විය. තවදුරටත් නාස්‌තියක්‌ ඇති නොවන්නටද වගබලා ගත යුතුය.

පාලකයන් හැදෙන්නටත් පාලිතයන් තැලෙන්නටත් යන ක්‍රමයෙන්ද යහ පාලනය වෙන් විය යුතුය. මෙතනදී නිමිත්ත විය යුත්තේ පාලිතයන් හදන්නට වගබලා ගැනීමය. පාලකයන් ආත්ම පරිත්‍යාගයෙන් යුතුව කටයුතු කළ යුතුය. ආර්ථික භූමිකාව ප්‍රශස්‌ත තලයකට ඇදගෙන යා යුතුය.

ඒකාකාරිත්වයෙන් මිදී සමාජය සංකීර්ණ වීමත් සමග ඊට අනුගතව පාලන දෘෂ්ටිය සැකැසිය යුතුය. ගතානුගතික ආර්ථික රටාවල්, ක්‍ෂේත්‍රවල රැඳී සිටියොත් ආර්ථික ප්‍රගතිය කරා යා නොහැකිය. මේ කෙරෙහිද පාලන තන්ත්‍රය වගබලා ගත යුතුය.

කෝප් වාර්තාවෙන් පෙන්වා දුන් පරිදි රාජ්‍යායතන 47 ක්‌ කඩා වැටී ඇත. අදූරදර්ශී පාලනය හේතුකොට ගෙන මේ රාජ්‍යායතන 47 පහළට වැටී ඇති ආකාරය පසුගිය රාජ්‍ය නායකයාට පෙන්වා දෙන ලදී. එහෙත් කෝප් වාර්තාවෙන් පෙන්වා දුන් රාජ්‍යායතන නඟා සිටුවීමට පසුගිය රාජ්‍ය නායකයාට කිසිදු වුවමනාවක්‌ නොවීය. කඩා වැටීම අඛණ්‌ඩවම සිදු විය. මේ තත්ත්වය සමනය කරන්නට යහ පාලනය වග බලා ගත යුතුය. පෙර කීවායේ සුදුස්‌සන් හා දක්‍ෂයන් ඒ රාජ්‍යායතනවලට පත් කළ යුතුය.

රටට අහිතකර දේ ඉවත දැමීමට වග බලා ගැනීමත් හිතකර දේවල් වර්ධනය කරගන්නට පාලන දෘෂ්ටිය යොමු වීමත් යහ පාලනයේ සුවිසාධනීය ලක්‌ෂණයක්‌ විය යුතුය.

ආචාර්ය ආර්. ඇල්. අබේවික්‍රම
http://www.divaina.com/2015/01/24/feature.html

Pic Source

1 comments:

Anonymous said...

උබට එකක් අමතක උනා. යහපාලනය සදහා පලාත්සභා වලට ඉඩම්, පොලිස් බලතල ලබා දිය යුතුයි. ඊට අමතරව පලාත් සභා ප්‍රධාන අමාත්යවරු ශක්තිමත් කිරීම උදෙසා විධායක ජනාධිපතිදූරය අහොසි කරන්නත් ඔනෙ. ඊට පස්සෙ පටිසොතිගාමීව කෙලින්ම යහපාලනය කරා.