Pages

Monday, October 10, 2016

පීනසට හොඳම බෙහෙත ගොටුකොළ සහ රතුලූනු!

වෛද්‍ය දුමින්ද රණවීර - පීනස බෝ නොවෙන රෝගයක්‌ ලෙස වර්ගීකරණය වන තත්ත්වයක්‌. ඒත් කල් ගිහින් පීනස නරක්‌ වුණාම නියුමෝනියාව, ක්‍ෂයරෝගය වැනි භයානක රෝග තත්ත්වයන් ඇති වීමට පුළුවන්. පීනස බෝ නොවුණාට ක්‍ෂය රෝගය බෝ වන බව අප මෙහිදී සිහියේ තබා ගත යුතුයි.

ප්‍රශ්නය - අද පීනස්‌ රෝගීන්ගේ ගණන එන්න එන්නම ඉහළ යමින් පවතිනවා. ශ්වසන පද්ධතියේ රෝග හැදෙන අය ඉතා භයානක ලෙස ගණනින් වැඩි වෙමින් තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා. මෙයට හේතුව මොකක්‌ද?

වෛද්‍ය දුමින්ද රණවීර - ප්‍රධාන හේතුව දුහුවිල්ල වෙන්නත් පුළුවන්. දුහුවිලි තිබෙන්නේ එළිමහනේ විතරක්‌ නොවෙයි. කම්හල් ඇතුළෙත් දුහුවිලි තිබෙනවා. ඇඟලුම් ෆැක්‌ටරි ඇතුළේ නූල් සහ රෙදිවල තිබෙන කුඩා අංශු තිබෙනවා. වැඩ බිම්වල ඕනෑ තරම් දුහුවිලි තිබෙනවා. මේ දුහුවිලි ශරීරගත වුණාම ඒවා අසාත්මික අයට නාසයෙන් දිගින් දිගටම සොටු එන්නට පටන් ගන්නවා. සමහරුන්ට ශීතල සුදුසු නැහැ. සිසිල් බීම, අයිස්‌ක්‍රීම් අසාත්මිකයි. ඒවා පරිහරණය කළ විට පීනස හැදෙනවා.

ප්‍රශ්නය -පීනස්‌ රෝගයට සුදුසු අත් බෙහෙත් තිබෙනවාද? 

වෛද්‍ය දුමින්ද රණවීර - ඔව්. දිගින් දිගටම සාමාන්‍ය මට්‌ටමින් පීනස තිබෙන අය දවසක්‌ හැර දවසක්‌ පහත සඳහන් සරල කසාය පානය කළ විට පීනස පාලනය වෙනවා. ඒ කියන්නේ නිට්‌ටාවටම සනීප නොවුණත් සොටු දියර ගැලීම ඇනහිටිනවා. ගොටුකොළ දඬු මිටක්‌, වළඟසාල් මිටක්‌ සහ රතුලූනු ගෙඩි හතක්‌ පමණ අරගෙන වතුර කෝප්ප 7 ක්‌ දමලා එය එක කෝප්පයට හින්දලා පානයන කළ යුතුයි. මෙය සුදුසු වන්නේ පීනස අලුතෙන්ම හැදුණ අයට විතරයි. රෝගය යම් ප්‍රමාණයකට බරපතළ වූ අයකුට පහත සඳහන් ප්‍රතිකාරය සුදුසුයි.

ගොටුකොළ මිටක්‌, (මේ ගොටුකොළ ගම්වල වැවෙන කුඩා ප්‍රමාණයේ පත්‍ර සහිත සිංහල ගොටුකොළ වීම වැදගත්) රතුලූනු ගෙඩි 7 යි. මේ ද්‍රව්‍ය දෙක කුඩා වංගෙඩියක දමා හොඳින් කොටා රෙදි කැබැල්ලක දමා හොඳින් ඉස්‌ම ටික මිරිකා ගන්න. මේ ඉස්‌ම උදේ හවස පානය කළ හැකි නම් මූලික අවස්‌ථාවේ පවතින පීනස සම්පූර්ණයෙන්ම නවත්වා ගත හැකියි. ගොටුකොළ කියන්නේ පීනසට ඉතාම යෝග්‍ය ඖෂධයක්‌. ගොටුකොළ සම්බෝලයක්‌ (රතුලූනු සහ අමු මිරිස්‌ ලියා දමන ලද) ආහාර වේලට එකතු කරගන්නට හැකිනම් එය පීනස නොවැළඳීමට හේතුවක්‌ වෙනවා. ඉහත සඳහන් ගොටුකොළ රතුලූනු ඉස්‌ම දින 7 ක්‌ නොකඩවා පාලනය කළ විට තමන්ටම වටහා ගන්නට පුළුවන් එහි ඇති ගුණය මොකක්‌ද කියලා.

ගොටුකොළවල ගුණාගුණ - ගොටුකොළවල උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ Centella asiatica යන්නයි. මෙය ඉන්දියානු උප මහාද්වීපය ඇතුළු ආසියාතික රටවලට ආවේණික වූ ශාකයක්‌. ගොටුකොළවලට කිසි විටෙකත් රසායනික පොහොර නොයෙදිය යුතුයි. කුඹුරුවලින් ගලා එන වල් නාශක සහ කෘමි නාශක වැව්වලට ගලා විත් නෙළුම් අලවලට උරා ගන්නවා වගේ ගොටුකොළවලට ඕනෑම රසායනික ද්‍රව්‍යයක්‌ උරා ගන්නවා. ඒ නිසා වාණිජ වැවිල්ලක්‌ ලෙස ගොටුකොළ වවන අය ඒ සඳහා රසායනික පොහොර යොදා නොගත යුතුයි. ගොටුකොළ මැල්ලුමට යහමින් පොල් මිශ්‍ර කිරීම ඉතා සුදුසු බවයි සිංහලයන්ගේ මතය. ඉන්දුනීසියාව ගොටුකොළ ගන්නේ සලාද කොළයක්‌ ලෙසයි. තායිලන්තය සහ වියට්‌නාමය ගොටුකොළ ඉස්‌මවලින් සෞඛ්‍යාරක්‍ෂක පානයක්‌ හදනවා. මැලේසියාවෙත් මෙය සලාද කොළයක්‌. බංගලාදේශය ගොටුකොළ සහ බත් මිශ්‍ර කර ආහාරයට ගන්නවා. ඕනෑම ආහාරයක්‌ ඖෂධයක්‌ බවට පරිවර්තනය කරගත හැකිය යන විශ්වාසය ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල තිබෙනවා. ඒ අනුව ඔවුන් ආහාර රැසකට ගොටුකොළ මිශ්‍ර කර එම ආහාරය ඖෂධයක්‌ බවට පරිවර්තනය කර ගන්නවා. ආසියාතික සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමය තුළ වෙරිකෝස්‌ හෙවත් නහර ගැට ගැසීම, නහරවල කොලෙස්‌ටරෝල් තැන්පත් වීම, සොරයිසිස්‌ වැනි රෝගවලදී ඖෂධයක්‌ ලෙස ගොටුකොළ පාවිච්චි කරනවා. ගොටුකොළ ආයුකාලය වැඩි කර ගැනීම සඳහා යොදාගත හැකි බව චීනයේ පාරම්පරික විශ්වාසයයි. 1677 දී චීනයේදී උපන් ලී- චිං- යූඑන් නමැති ආත්මාරක්‍ෂක සටන්ක්‍රම විශාරදයා ගොටුකොළ තම ආහාර වේලේ ප්‍රධාන ආහාරයක්‌ කරගත් නිසා අවුරුදු 256 ක්‌ ජීවත් වූ බව වාර්තා වෙනවා. 

(නොමිලේ උපදෙස්‌ සඳහා 0372249276, 0773018158 යන අංකවලින් විමසන්න.)

වෛද්‍ය දුමින්ද රණවීර - සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත
http://www.divaina.com/2016/10/09/feature02.html

1 comments:

Anonymous said...

I had my personal experience on Gotukola. My mother prepared Gotukola Kanda for three months when I was small - and the symptoms completely disappeared. Still i am free from Sinus and related diseases.