Pages

Tuesday, November 6, 2012

මනුෂ්‍ය ඝාතන දිරි ගැන්වීම සහ සාධාරණීකරණය - ඉස්ලාමිකයෙකුගේ ලිපියකට පිලිතුරක්

ආගම් පිලිබඳ වාදයන් කිසි විටකත් අවසන් වන්නක් නොවේ . ආගම් පිලිබඳ වාද විවාදයන් එක් ආගමක් තදින් වැලඳගත් ආගමේ කොතනක හෝ සටහන් වූ පමණින් ඕනැම ටොම් පචයක්  හිස් මුදුනින් පිලිගන්නා  පුද්ගලයින් අතර සිදුවන විට එක් මතයකට පැමිණ වාදයක් අවසන් වීමේ හැකියාවක්ද පවතින්නේද නැත . මැවුම් වාදය පිලිගන්නා වුන්  කිසි විටකත් මැවුම් කරු මැව්වේ මොකාදැයි නොඅසන්නා සේම හින්දුන්ට පියඹන වඳුරන් ඇතුලු සිය දේව සභාව තාර්කිකවන අතර බෞද්ධ "ආගමිකයින්ට" ජාතක කථා වලටද තාර්කික පැහැදිලි කිරීම් දිය හැක .

තත්වය එසේ තිබියදීත් ඉස්ලාම් අන්තවාදීන් අතින් වෙඩි පහරට ලක්වුනු පකිස්ථාන දැරිය පිලිබඳ රාජ් සහෝදරයා විසින් ලියවුනු ලිපියේ මතුවූ සංවාදයක් මඳක් ඉදිරියට රැගෙන යැමේ අවස්ථාවක් පැමිණ ඇත . මෙය කිසිදු ආගමික දෘශ්ටිකය සිට නොව නිර්-ආගමිකව , මානූශීය  කෝණයෙන් සංවාදයට ලක් කල හැක්කක් බවද සඳහන් කල යුතුය .

ලොව පවතින ත්‍රස්තවාදී සංවිධාන අතුරින් සාතිශය බහුතරයක් මුස්ලිම්   ජාතිකයන් ඉස්ලාම් ධර්මයේ නාමයෙන් පවත්වාගෙන  යන්නන් වන බව පහත විකි පිඩියා ලිපියේ අන්තර්ගත තොරතුරු හරහා වටහා ගත හැක ,

http://en.wikipedia.org/wiki/List_of_designated_terrorist_organizations

එමෙන්ම නබි වරයාට අපහාස කෙරෙනවා යැයි කියවෙන චිත්‍රපටය පිලිබඳ මුස්ලිම් වරුන් දැක්වූ ප්‍රතිචාරය අති බිහුසුණු හා විනාශ කාරීය වන අතර එය ආගමික ශාස්තෘවරයෙක් පාදක කරගත් ආන්දෝලනාත්මක එකම හෝ ප්‍රථම විඩියෝ නොවන පසුබිමක මින් පෙර ලෝකයා නොදුටු තරම් ප්‍රචණ්ඩ ප්‍රතිචාරයක් වීමද සුවිශේෂීය . මෙම කාරණාට් මුස්ලිම් ජාතිකයින් බහුතරය වන බොහෝ රටවල සිදුවන්නා වූ ප්‍රචණ්ඩ ක්‍රියාත් සැලකිල්ලට ගත් විට මුස්ලිම් වරුන් ගේ ප්‍රචණ්ඩත්වය ඔවුනගේ ආගමික පසුබිම හා අතර ඇති සම්බන්ධයක් පිලිබඳ සැක පල කිරීම තාර්කිකය . එහිදී පහත සඳහන් කුරාන් පාඨය වඩාත්ම ආන්දෝලනයකට තුඩු දුන් එකක්  ලෙස සැලකීමේ වරදක් නොමැත

"තහනම් මාසයන් ඉක්ම ගිය පසු (නුඹලා සමඟ යුද වැදී සිටින) ආදේශකයින්ව දුටු තැන කපා දමවු. ඔවුන්ව සිරභාරයට ගනිවු. ඔවුන්ව වටලවු. ඔවුන් සැඟවෙන සෑම තැනකම ඔවුන් වෙනුවෙන් සැඟ වී සිටිවු. ඔවුන් (ඔවුන්ගේ අපරාධයන්ගෙන් ද ප්‍රතික්ෂේපයෙන් ද) පසුතැවිලි වී වැළකී (විශ්වාස කර) සලාතය ද පිළිපැද සකාත් ගෙවුවහොත් ඔවුන්ව ඔවුන්ගේ මාර්ගයෙහි අතහරිනු. සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලි හා අති කරුණාභරිතය"

අන් කිසිදු දහමක  දක්නට නොලැබෙන , ශිෂ්ටාචාරි කිසිදු මනුෂ්‍යයෙකු හෝ සමාජයක් විසින් අනුමත නොකරන මනුෂ්‍ය ඝාතනයන් ඉහත වාක්‍ය හරහා අනුමත කර ඇති බැව් ඉතා පැහැදිලිව දැක ගන්නට ඇත . මේ වාක්‍යයේ අන්තර්ගතය පිලිබඳ නොයෙකුත් සාධාරණය කිරීම් ඉස්ලාම් ආගමිකයින් විසින් සිදු කරනා අතර ශ්‍රි ලංකාවේ පැවැති ඊලාම් යුද්ධයද සම්බන්ධ කරගමින් විස්තරාත්මක විග්‍රහයක් අන්වර් මනතුංග බ්ලොග් අඩවියේ පලකර ඇත . එහිදී ඉහත වාක්‍යය සාධාරණී කරනය කිරිමේ ලා ඔවුන් විසින් ගෙන එනු ලබන තර්කයන් පිලිබඳ විමසුමක යෙදීම මේ  කලින් කී සංවාදයේ දිගුවක් ලෙසින්  ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි .
--------------------------------------------------------------------------------------------------

ලියුම් කරුගේ මූලික පදනම වන්නේ ශ්‍රි ලංකාවේ පැවැති සිවුවෙනි ඊලාම් යුද්ධය හා අදාල වාක්‍යයේ පසුබිම් කථාව එකිනෙක සංසන්ධනය කිරීමය , නමුත් මෙහිදී මතුවන මූලික විරෝධතාවයන් දෙකක් ඇත

01) කුමන ආකාරයේ යුද්ධයක් කුමන හේතුවක් මත හෝ සාධාරණී කරණය කල නොහැක . යුද්ධයකදී මිය යන සියලු දෙනා මනුෂ්‍යයින් වන අතර , එක් පිරිසක් විසින් තව පිරිසක් ඝාතනය කිරීම ලෝකයේ කුමන තැනක කුමන හේතුවක් අරඹයා සිදු කලත් මිනිස් ජාතිය වශයෙන් අභිමානයට පත්විය හැකි හෝ අනුමත කල හැකි කාරණයක් නොවේ

02) යුද්ධයන් ඇතිවීම දේශපාලනිකය , ප්‍රභාකරන්ගේ සටන දේශපාලනික එකක් වන්නා සේම , ජනපතිවරයා ආරක්ෂක ලේකම් වරයා සහ හමුදාපතිවරුන්ගේ ප්‍රතිචාරයද දේශපාලනිකය . මොවුන් ඉතා සාමාන්‍ය මිනිසුන් වන අතර ,  සර්ව බලධාරින් කෙනෙකුගේ නියෝජිතයින් හෝ මිනිසුන් සමුහයක් තමන්ගේ අනුගාමිකයින් කොට ගෙන අලුතින් දහමක් හඳුන්වාදෙන්නන්ද නොවේ

මීලඟට ලියුම් කරු යුද සමය තුල රට තුල පැවැති තත්වය පිලිබඳ විග්‍රහයක නිරත වේ,  ඉන් ඇතැම් කාරණා යුද්ධයක් තීරණය වූ පසුබිමක පොදු ලක්ෂනයන් වන අතර යුධ සමයේ මෙරට සිදුවූ ඇතැම් සිදුවීම් භාහිර සමාජය විසින් ප්‍රශ්න කරමින් සිටිනා බැව්ද අමතක නොකල යුතුය .

 මින් පසු  නබි වරයාට අනෙන් මිනිසුන්ගෙන් සිදුවූ නා නා ප්‍රකාර හිරි හැර පිලිබඳ විග්‍රහයක යෙදෙනා අතර ඉහත කී වාක්‍ය කුරානයට එකතු වීම පිලිබඳ මෙසේ පවසයි

//එලෙසින්ම ඉස්ලාම් ආගමේ විධායකය වූ අල්ලාහ්තාලා මුස්ලිම්වරුන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වූ අල් කුරාණය මගින් ඉස්ලාම් ආගම විනාශ කරන්නට සේනා සංවිධානය වුවන්ට එරෙහිව අල් කුරාන් වාක්‍ය පහළ කොට මුහම්මද් නබි තුමාණන් සහ එතුමන්ගේ අනුගාමිකයන් බල ගැන්වීය. ඉස්ලාම් ආගමට එරෙහි වුවන් අල්ලාහ්ට සමානයන් තබන්නවුන් ලෙසින් නම් කරනු ලැබීය.//

මෙහිදී පැන නගිනා මූලික ප්‍රශ්නයක් ඇත .

"ඉස්ලාම් ආගමිකයින්ට අනුව මිනිසා ඇතුලු සමස්ථ  විශ්වයම අල්ලාහ් ගේ නිමැවුම්ය , එසේ නම් අල්ලාහ් ගේ දහම ප්‍රචාරය  කරවමින් සිටි නබි වරයාට දරුණු ලෙස හිංසා  පමණුවන්නේද අල්ලාහ් ගේ නිර්මාණයන් විසිනි. තමන්ගේ නිමැවුම් දෙකක් මෙලෙසින් ගැටෙන්නට ඉඩ හැර අල්ලාහ් විසින් බලා සිටින්නේ ඇයි ? "

"එලෙසින් ඇතිවුනු ගැටුම වලකා ලන්නට අල්ලාහ් සතුවූ හොඳම විසඳුම, මිනිස් ඝාතනයන්ට අනුබල දීමද ? ගැටුම සමථයකට පත් කරන්නට ඔහුට මැදිහත් වීමට නොහැකි වූයේ ඇයි ?


මින් ඉදිරියටද ලියුම් කරු ගෙන යන්නේ ශ්‍රි ලංකාවේ පැවැති යුද්ධය සමඟින් ඉහත වාක්‍ය සංසන්දනය කිරීමය . නමුත්  සිවුවන ඊලාම් යුද්ධයට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ ජනපති වරයාත් , නබි වරයා හෝ අදාල වාක්‍යය කුරානයට ඇතුල් කල අල්ලාහ් ත් යනු එකම  බලතල සහිත එකම ප්‍රමාණයේ ගෞරවක් ලබනා පුද්ගලයින් දැයි යන මූලික  තර්කය මත අදාල පැහැදිලි කිරීම් පිලිබඳ වැඩි දුර කථා කිරීමෙන් පලක් නොමැත .

කුරානයේ 9:6 වාක්‍යය ඉස්මතු කරමින් ලේඛකයා මෙලෙසින් පවසා ඇත

(නබිවරය!) සමානයන් තබා අදහනවුන්ගේ කවුරුන් හෝ ඔබගෙන් ආරක්ෂාව පැතුවහොත් අල්ලාහ්ගේ ආයාවන් ඔහු සවන් දෙන තුරු ඔහුට ආරක්ෂාව දෙනු. (ඔහු එය සවන් දී විශ්වාස නොකළහොත්) ඔහුව, ඔහුට  ආරක්ෂාව දෙන (වෙනත්) ස්ථානයකට යවනු මැනව! මන්දයත් ඇත්තෙන්ම ඔවුන් නුවණ නැති ජනතාවක් වශයෙන් සිටින්නෝය. (අල් කුරාණය 9: 6)


දැන් ඔබට වැටහෙනවා ඇත. සමානයන් තබා අදහන්නවුන්ගෙනුත් ඉස්ලාමයට එරෙහිව යුද වැදුනු අයට පමණක් අල් කුරාණයේ 9: 5 වාක්‍ය අදාල වන බව. මේ සඳහාත් උදාහරණ දක්වන්නම්. සියළු ත්‍රස්තවාදීන් දෙමළ වුවත්  සියළු දෙමළ ජාතිකයන් ත්‍රස්තවාදීන් නොවේ. බුද්ධිමත්ව සංසන්දනය කරන්න

මෙහිදි ලෙඛකයා විසින් වරහන් තුල යොදා ඇති අර්ථ ගැන්වුම සහ පහත දැක්වෙන ඉංග්‍රිසි පරිවර්ථනය අතර ඉතා පැහැදිලි වෙනසක් තිබෙන බව නිරික්ෂණය කල හැක .

And if any one of the polytheists seeks your protection, then grant him protection so that he may hear the words of Allah . ->Then deliver him to his place of safety. That is because they are a people who do not know.

 මොහොතට ඔහුගේ අර්ථ ගැන්වීම නිවැරදියැයි උපකල්පනය කරමු

ඔහුගේම අර්ථ දැක්වීම් අනුව 9:5 වාක්‍ය අවසන් වන්නේ
 //ඔවුන් (ඔවුන්ගේ අපරාධයන්ගෙන් ද ප්‍රතික්ෂේපයෙන් ද) පසුතැවිලි වී වැළකී (විශ්වාස කර) සලාතය ද පිළිපැද සකාත් ගෙවුවහොත් ඔවුන්ව ඔවුන්ගේ මාර්ගයෙහි අතහරිනු//

ලෙසිනි , එනම් යුධ වැදි සිටින්නන් ඉස්ලාම් දහම විශ්වාසයට ගන්නේ නම් ඔවුන්ව නිදහස් කරන ලෙසිනි , 9:6 ට ඔහු දෙන විග්‍රහයන්ට අනුව එම යුධ වැදී සිටින්නෙක් , ඉස්ලාමිකයින්ගෙන් ආරක්ෂාව ඉල්ලා සිටිය හොත් පලමුව් ඔහුට ඉස්ලාම් වැලඳ ගැනීමට අවකාශය ලැබේ , එයට අකමැති නම් ඔහුව ඔහු කැමති දෙයක් ඇදහීමට කියා නිදහස් කිරිමේ හැකියාවද ඇත . මේ  අර්ථ දැක්වීම් දෙක තුල පරස්පරතාවයක් දකින්නට ඇත . යුධ වැදී සිටින්නන් පිලිබඳ  තීරණයක් ගැනීමට ඉස්ලාමිකයින්ට අවකාශයක් ලැබෙන්නේ ඔවුන් යටත් කරගත් අවස්ථාවකදී පමණය . මෙය සමස්ථ කණ්ඩායමම හෝ එක් පුද්ගලයෙක් යටත් කරගත් අවස්ථාවක් විය හැක . පලවෙනි වාක්‍යයට අනුව යටත් වන්නාට ඇත්තේ විකල්ප එකක් පමණි , නමුත් දෙවැන්න අනුව ඔහුට විකල්පයන් දෙකක් ඇත .

මෙය පහත ආකාරයෙන්ද විස්තර කල හැක , එනම් පලමු වැන්න අදාල වන්නේ පහරදී යටත් කරගත් අයට ය , දෙවැන්න කැමැත්තෙන් බාර වන්නන් හටය . එවිට වාක්‍ය  දෙකේ තේරුම් වලට තාර්කික පැහැදිලි කිරීමක් ඇත , නමුත්  අල්ලා විසින් අවස්ථා දෙකකදී දේයාකාරයකින් කටයුතු කිරීමට කියන්නේ මන්ද යැයි පැහැදිලි නැත . පලමු වාක්‍යයේ සඳහන් පරිද්දෙන් අල්ලාහ් කාරුණික්  සහ සමාව දෙන්නෙක් නම්  කැමැත්තෙන් යටත් වන පිරිසට ලබා දෙන සහනයම යුද්ධයෙන් යටත් කරගන්නා අයට නොදී සිටින්නේ ඇයි ?

 කෙසේ වුවත් අදාල වාක්‍යයන් හි ඉංග්‍රිසි විවරණයන්ට අනුව එසේ කිසිදු ප්‍රතිවිරෝධයක් නොමැති බවත් , ඉතිරි වන එකම විකල්පය ඉස්ලාමයට පැමිණීම බව නිරීක්ෂනය කල හැක

අනෙක් අතින් ලේඛකයා විසින් දෙන අර්ථ ගැන්වීම් අනුව මෙය ඊලාම් යුද්ධය සම්බන්ධ කිරිමේද තාර්කික ගැටලුවක් ඇත . ඊලාම් යුද්ධයේදී යටත් වන සටන් කරුවන්ට තමන්ගේ මතවාදයන් ඉවත් කරගැනීමේ අවශ්‍යතාවයක් නොමැත . ඔහු තම ඊලම් මතවාදය අත්හැරියත් නැතත්, කැමැත්තෙන් යටත් වුවත්  අතඩංගුවට ගත්තත් ජාත්‍යන්තර නිතින්ට අනුකුලව ඔවුන් වෙනුවෙන් ගන්නා මූලික ක්‍රියාමාර්ගයන් එක සමානය (ශ්‍රි ලංකාවට චෝදනා එල්ල වී ඇත්තේ එසේ නොකලාය යන පදනම මත සිටය ) , ජාත්‍යන්තර යුධ නිතීන්ට අනුව යුධ සිරකරුවන්ගේ ආගම, ජාතිය , භාෂාව  වෙනස් කිරීමේ කිසිදු හැකියාවක් අතඩංගුවට  ගන්නා පාර්ශවයට නොමැත.

අවසන් වශයෙන් ලියුම් කරු
//එක් අවස්ථාවක් පාදක කරගෙන පහළ වූ අල් කුරාන් වාක්‍යයක් දෙස අන්තවාදීව අවධානය යොමු කරමින් සමාජය නොමග යැවූ ඒ තීරශ්චීන වාදීන්ගේ ප්‍රෝඩාව දැන්වත් අවබෝධ කරගන්න. අල් කුරාණය යනු එක් කාල සීමාවකට පමණක් පහළ වූ ආගමක් නොවේ. එය සියළු කාලයන් ආවරණය කරයි.// 

යනුවෙන් සටහනක් එක් කර ඇත . මේ තුලද පෙර පරිදිම ප්‍රතිවිරුද්ධාර්ථයන් ගැබ්ව ඇත . ඔහු පලමුවෙන් පවසනා පරිදි අදාල වැකිය එක් සිදුවීමක් අරඹයා පැන නැගුනකි , එනම් වර්ථමානයට අදාල වන්නේ නැත , නමුත් ඔහුම  ඊලඟට පවසන්නේ කුරානය සර්ව කාලීන බවයි. මින් නිවැරදි කුමක්ද ?  අදාල සිදුවීම කෙරේ පමණක් සැල්කීමෙදී 9:5 නම් වගන්තියේ බරපතල හානියක් අප දකින්නේ නැත  මන්ද සමකාලීනව පමණක් නොව ඉන්පසු සියවස් කිහිපයක් දක්වාම මිනිස් වර්ගයන් අතර ගැටුම් ඉතා  අශ්ශීල ස්වාභාවයක් ගත් නිසාවෙනි .නමුත් රජවරුන්, අධිරාජ්‍යන් හා ඇතැම් පූජක වරුන් විසින් කෙරුණු අනෙකුත් යුධ ගැටුම් ආගමක සමාරම්භකයෙකු විසින් , ඔවුන් විසින් අදහනු ලබන දෙවියන්ගෙ නාමයෙන් සිදු කලායැයි පවසන්නේ නම් ඔවුන් කොතෙක් දුරට පූජාවට සුදුසු වන්නේදැයි සිතා බැලිය යුතුය .

අනෙක් අතින් කුරානය සර්ව කාලින නම් එහි අන්තර්ගත 9:5  වර්ථමානයටත් අදාලය , මානව අයිතිවාසි කම් සහ හිමිකම් ඉතා පැහැදිලිව නිර්වචනය වී ඇති වර්ථමානයට  සාපේක්ෂව ඉහත වාක්‍යය යනු නියත වශයෙන්ම මනුෂ්‍යත්වයට නිගාවක් ලෙස සැලකිය හැක . ඒය සාධාරණී කරණය කරන්නට යොදා ගන්නා 9:6ද සිටින්නේ වර්ථමාන මානව හිමිකම් රාමුවට සැහෙන පිටුපසිනි . එනම් වර්ථමාන  මිනිස් සමාජයට නොගැලපෙන චර්යාවන් ඉස්ලාමය විසින් දිරි ගන්වනවා යන්න තහවුරු කරන්නකි .  කුරානය සර්ව කාලීන යැයි කියමින් එහි ඇති ඇතැම් වාක්‍ය පමනක් අතීතයට භාර දීමට හැකියාව්ක් නොමැතිබව අදාල තර්කය ගොඩ නගන්නන් විසින් වටහා ගත යුතුය . වඩාත්ම බරපතල ප්‍රශ්නය  වන්නේ කුරානයේ සර්ව කාලීන බාවයත් සමඟ "ඉස්ලාමයට එරෙහි යුධ වදින්නා" යන්න ඕනැම ආකාරයකට විග්‍රහ කර ගත හැකි වීමය .  (ඉස්ලාම් ආගමට එරෙහි  බලවේග යැයි කියමින් කුඩා දරුවන් පවා බිල්ලට ගන්නේ එවැනි බරපතල අර්ථ දැක්වීමක සිටිනා කණ්ඩායම් ය )

මෙහිදී අදාල ලේඛකයා විසින් ඉදිරිපත් කර ඇති අතීත කථාව අභියෝගයට ලක් කර නොමැති අතර , ඉස්ලාමය අනෙකුත් ආගමිකයින් කෙරේ ප්‍රචණ්ඩත්වය මුදා හරින්නාවු බවට සාධක වන පහත ආකාරයේ කුරාන් වැකිද සැලකිල්ලට භාජනය කර නැත .
3.151 //We will cast terror into the hearts of those who disbelieve for what they have associated with Allah of which He had not sent down [any] authority. And their refuge will be the Fire, and wretched is the residence of the wrongdoers.//

ලියුම් කරු එක් තැනක

//මගේ ශ්‍රී ලංකාව දෙකඩ කරන්නට සේනා සංවිධානය වෙද්දී සාමයේ මාවත යයි කියමින් ඔබත් මමත් බලාගෙන සිටියාද? එසේ බලා සිටියා නම් ඔබත් මමත් නිවටයෝ නේද? එසේ නම් සාමකාමිව ප්‍රචාරය කළ ආගමට එරෙහිව සේනා සංවිධානය වෙද්දී ඒ ශාස්තෘන් කළ යුත්තේ බලාගෙන සිටීමද?//

යනුවෙන් සටහන් කර ඇත . ප්‍රචණ්ඩත්වය සිය ආගම තුලින්ම හදවත තුලට කිඳ බැසගත් පුද්ගලයෙකුට ප්‍රචණ්ඩත්වයෙන් තොරව විසඳුම් සෙවීමේ මගක් නොපෙනුනා විය හැක නමුත් තමන්ට එරෙහිව නැගුණු බලවේග වෙනුවෙන් අනෙකුත් ආගමික ශාස්තෘවරුන් කල කී දෑ මෙන්ම , මහත්මා ගාන්ධි තුමන් සහ මාටින් ලුතර් කිං වැනි ජන නායකයින් අවිහිංසාවාදය තුලින් ඉතා ප්‍රභල ජන අරගල දිගු කාලීන ජයග්‍රහණයන් වෙනුවෙන් මෙහෙය වූ ආකාරය විමසා බලා අවිහිංසාව යනු නිවට කම නොවනා බව වටහා ගන්නේම යහපත් බැව්ද අවධාරණය කල යුතුය

0 comments: