Pages

Sunday, January 27, 2013

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්‌ ලෙස පිළිගැනීමේ, කතා කිරීමේ වරදක්‌, අඩුවක්‌, ඇදයක්‌ නොපෙනේ - දිවයින කතුවැකිය


ඔබ සිටින්නේ කොතැනද?

රටේ වර්ධනය වෙමින් තිබෙන ආගමික අන්තවාදී හා මූලධර්මවාදී ක්‍රියාකාරකම් හඳුනාගෙන ඒවා මැඬපැවැත්වීම සඳහා විශේෂ තේරීම් කාරක සභාවක්‌ පත්කිරීමට කටයුතු කරන බවට ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශය අපි බෙහෙවින් අගයමු. ඇමැතිවරයාගේ එම ප්‍රකාශයට තුඩුදුන් විපක්‍ෂයේ මන්ත්‍රීවරයකු වන අනුර කුමාර දිසානායක මහතාගේ අනතුරු හැඟවීම ද සියලුම දේශපාලන ආගමික ජාතික නායක කාරකාදීන්ගේ නොමඳ අවධානයට යොමු විය යුතු බව ද අපි හඟිමු.

දසක තුනකට නොඅඩු වර්ගවාදී හා බෙදුම්වාදී යුද්ධයක අමිහිරි විපාක විඳිමින් හෙම්බත් වූ රටක්‌ ලෙස අප ලද අත්දැකීම් බොහෝය. ප්‍රභාකරන්ගේ දෙමළ ජාතිවාදය ඔස්‌සේ වැඩුණු µeසිස්‌ට්‌වාදී ගින්නට දොස්‌ කියන අප බොහෝ දෙනකුට දකුණේ සිංහල අන්තවාදී ගිනි පුපුරුවල රස්‌නය නොදැනීම ද අභාග්‍යයක්‌ වැන්න. එසේම මේ දෙගිනි මැද මුස්‌ලිම් ජාතිවාදයේ ගිනි පුපුරු ද මතු වෙන බව කිව යුතුය.

කෙසේ හෝ මේ සියලුම භේද වපුරන ලද්දේ ඒ ඒ වර්ගයට අයත් වූ ඇතැම් දේශපාලන හා ඇතැම් ආගමික නායකයන් විසින් බව ද අප සිහිතබා ගත යුතුය. මේ රට සිංහල බෞද්ධ රටක්‌ බව කීම සිංහල ජාතිවාදයක්‌ සේ අපි නොපිළිගනිමු. ඉංගිරිසින් බහුල එංගලන්තය සුද්දාගේ රට ලෙස ද ප්‍රංශ ජාතිකයන් සිටින ප්‍රංශය ප්‍රංශකාරයන්ගේ රට ලෙස ද අරාබිවරුන්ගේ රට අරාබි රටක්‌ ලෙසද පිළිගන්නා අපට ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්‌ ලෙස පිළිගැනීමේ, කතා කිරීමේ වරදක්‌, අඩුවක්‌, ඇදයක්‌ නොපෙනේ. එහෙත් අපි කිසිම විටෙක ඉතිහාසය මුළුල්ලේම අප සමඟ ජීවත්වී සිටින අපගේ දෙමළ හා මුස්‌ලිම් ජාතීන් ද සමඟ උරණ නොවන්නෙමු. ඔවුන්ගේ සංස්‌කෘතික අනන්‍යතාවට මෙන්ම ආගමික නිදහසට ද ගරු කරන්නෙමු.

"මගේ ආගම මට ලබාදුන් ත්‍යාගයක්‌ වන්නා සේම, මගේ දේශය මට උතුම් දේශයක්‌ වන්නා සේම ඒ අයිතිය අන් හැම ජාතියකටම පොදු ශුද්ධ වූ උරුමයක්‌ බව අපි දැඩි සේ සලකන්නෙමු. එහෙත් වරද වන්නේ මේ යථාර්ථය, මේ සත්‍යය මේ අභිමානය අන් ජාතියකට අන් ආගමකට නැතැයි සිතීමය. එනිසා වර්ගවාදය හා ආගම්වාදය නමැති විෂ ධුමාරය රට තුළ තන්හි තන්හි නැගෙන බව ද අපගේ අවබෝධයයි.

අදත් සිංහල බෞද්ධ උරුමයට හානි සිදුවන බව අපි දනිමු. වෙනත් වාර්ගික හැඟීම්වලින් ජනතාව උසිගන්වන්නෝ ද සිටිති. ආගම්වාදී උමතුවෙන් ව්‍යාකූල වූ රෝගී වූ පිරිස්‌ ද සිටිති. මේ අය උතුරෙහි ද, නැගෙනහිරද, දකුණෙහි ද සිsටිති. ඉතින් කෙසේද උතුර, නැගෙනහිර, බටහිර, දකුණ ද එක කොඩියේ සෙවණේ යෑයි අප කියන්නේ?

අද මුස්‌ලිම් මූලධර්මවාදයේ විෂබීජ මේ බිමෙහිද තන්හි තන්හි වපුරා තිබෙන බව නොරහසකි. උතුරේ තවමත් බෙදුම්වාදය හා දෙමළ වර්ගවාදය අවසන්ව නැත. මේවාට පිළිතුරු ලෙස ගොඩනැඟුණු සිංහල, බෞද්ධ වාදය සාධාරණ නැද්දැයි අපෙන් සමහරු විමසති. එහෙත් මේ බෙදීම් විසින් යළිත් අප රැගෙන යනු ලබන්නේ කොතැනටද? කෙබඳු අනතුරකටද?

මුස්‌ලිම් මූලධර්මවාදීන් විසින් විනාශ කරන ලද්දේ ලෝක උරුමයක්‌ වූ ඇµaගනිස්‌තානයේ බාමියන් බුදු පිළිම මිස අන් දෙයක්‌ නොවේ. හින්දුවරු අයෝධ්‍යා මුස්‌ලිම් පල්ලි මෙන්ම තවත් පිරිසක්‌ බංගලාදේශයේ බොදු උරුමයන් ද වනසති. මතු අනාගතයේ බිහිවන මිනිස්‌ වර්ගයාට අප විසින් කරනු ලබන මේ සැහැසිකම්වල තරම අපගේ ලෝක බලවත්හු, ලෝක දේශපාලන නායකයෝ වටහාගෙන සිටිත්ද?

ජාති, වර්ග, ආගම්, කුල වැනි භේද නිසා ඉතිහාසය මුළුල්ලේ ගලා ගිය රුධිර ගංගා අවසන් කිරීමට අපට තවමත් බැරි වී තිබේ. අපගේ දේශපාලන ප්‍රභූන්ට ආගමික හා පූජකවරුන්ට මේ මහා විනාශයේ ප්‍රාථමික ස්‌වරූපය නොපෙනෙන තෙක්‌ අපි උනුන්ට එරෙහිව නැගී සිටිමු. අපට අප තුළ ජීවත් වන යක්‍ෂයා විනාශ කර ගැනීමට නොහැකි වන තෙක්‌ම අපි මේ විනාශයේ ගිලෙමු. සෙසු අය ද ගිල්වමු.

මුග්ධ දේශපාලනඥයෝ තමන්ගේ ඡන්ද ගොඩ ලොකු කර ගැනීමට ජාතිවාදය මතු නොව ආගම්, කුල , ප්‍රදේශවාද පවා අදිමින් සිටිති. කුල පීඩනයෙන් වැසුණු කෝවිල් දොර දෙස බලා හූල්ලමින් සිටි දිළිඳු දෙමළ ජනතාවට වෛරයේ ගිනි අවි ලබාදීම ප්‍රභාකරන්ට පහසු විය. 83 කළු ජූලියේදී "සිංහල ලේ" කකියන බව කියමින් මංකොල්ලකරුවන් වීදි බස්‌සවන්නට සමහරුන්ට හැකිවිය. තව ඕනෑ තරම් උදාහරණ දිය හැකිය. 

මේ සියලු ව්‍යසනවලදී පීඩාවට පත්වූවෝ කවරහුද? සිංහල, දෙමළ, මුස්‌ලිම් ආදී සාමාන්‍ය ජන කොටස්‌ම නොවේද? බෙදුම්වාදී ගැටුම්වලින් පොහොසත් වූවෝ කවරහුද? ඒ කොටස්‌ අතර බටහිර අධිරාජ්‍යවාදීහුද සිටිති. සත්තකින්ම ජාතික, වාර්ගික ගැටුම් යනු ඇතැම් බටහිර බලවතුන්ගේ ද යෑපීම් මාර්ග බව බොහෝ අය නොදනිති. එබඳු ගැටුම් නිර්මාණයට යටින් උදව් දෙන අය ද සිටිති.

මේ ගැටුම් මැවීමට අද ඇතැම් මානව හිමිකම්කාරයෝ ද උඩ ගෙඩි දෙති. බටහිර අධිරාජ්‍යවාදයෝ නග්න වෘකයෝ ද මේ බිමට බැල්ම හෙලාගෙන සිටිති. අප එය තේරුම් ගෙන තිබේද? අද වන විට බටහිරයෝ අපේ රටේ අභ්‍යන්තර කරුණුවලට පවා හොට දමති. අපට බලයෙන් උපදෙස්‌ දීමට තරම් අලඡ්ජි වී සිටිති. වරද අපගේමය.

මේ රට බෙදී තිබෙන තරමට බටහිරයන්ට වාසිය. ඉතිහාසයේ සියලු විනාශයන්ට මුල් වූයේ එබඳු පටු අවස්‌ථාවාදී බෙදීම්ය. ජාතික සමගිය සංහිඳියාව ගැන මතුපිටින් දොඩවන සමහරු රහසේ බෙදන්නේ වෛරයේ හා විනාශයේ විස බව අපි දනිමු. බලය සඳහා ද සමහරුන්ට එබඳු බෙදීම් සරු පල ලබා දී ඇත. තතු මෙසේ හෙයින් අපගේ ජාතික සමගියට එරෙහි වන්නා වූද ආගමික ගැටුම් නිර්මාණය කරන්නා වූද වෙනත් අධිරාජ්‍යවාදී ඇඟිලි ගැසීම්වලට ඉඩ දී ජනතාව විසුරුවන්නා වූද කුමන බලවේගයකට හෝ ඉඩ නොදිය යුතුය.

ජනවර්ග, ආගම් හෝ වෙනත් එබඳු සුවිශේෂ කරුණු මත පදනම් වූ දේශපාලන සිවිල් සංවිධාන හෝ ආගමික සංවිධාන මෙහිදී ඉතා ප්‍රවේශමින් ක්‍රියා කළ යුතුය. ශ්‍රී ලංකාව බහුවාර්ගික, බහු ආගමික, බහුජාතික රටක්‌ය යන බහුභූත මතයට අප එකඟ නොවන නමුත් අපදු එකම රටක්‌ ලෙස එකම ජාතියක්‌ ලෙස සමගිව ජීවත් විය හැකි රටක්‌ නිර්මාණය කිරීම අපි එකහෙලා අවධාරණය කරමු. එකිනෙකාගේ ජාතික ආගමික හා සංස්‌කෘතික අනන්‍යතාවන් ගරු කරමින් එක මවකගේ දරුවන් ලෙස මේ මව්බිම තුළ අප ජීවත්වනු දැකීම නොඉවසන පිරිස්‌ ද සිටිති. එනිසා මතු දවස පත්වන එම විශේෂ තේරීම් කාරක සභාව ඒ යථාර්ථය විජයග්‍රහණය කරවීමට ප්‍රබල හා ශක්‌තිමත් පදනමක්‌ වේවායි ද අපි ප්‍රාර්ථනා කරමු.
http://www.divaina.com/2013/01/27/editorial.html

2 comments:

yasiru said...

හොද ලිපියක් යාළුවා අපේ පැත්තෙත් එන්න http://sinhapedia.blogspot.com/

Anonymous said...

Good one to see - Keep on updating people.