"එකක් කඩතොළු මකා ගන්නට ගොසිsන් මට වුණු කාරියා දෙකක් කඩතොළු හදා දුන්නයි ඉඳුරුවේ ආචාරියා"
දැන් ධාතුසේන නිම්නයට අත්වී ඇත්තේ ද මේ ඉරණමය. මහවැලි එච්. කලාපයේ කුඹුරු අක්‌කර 80000 ක් පමණ යල මහ දෙකන්නට පමණක් නොව තව මැද කන්නකුත් ගොවිතැන් කිරීම සඳහා රුපියල් කෝටි 16000 ක් ලෝකයට ණයවී මහවැලි දියවර මහවැලි එච්. කලාපීය කුඹුරු යායට ගෙන එනු ලැබිණි. මහවැලි වතුර කඳක් එද්දී හෙළ රජදරුවන් විසින් ඉදිකර තිබූ යාය වැව් කුමටදැයි කියා වැව් 127 ක් බිමට සමතලා කර දමනු ලැබීය. කලාවැවේ සිට තිසාවැවට දියවර ගෙන යැම සඳහා ක්‍රි.ව. 459 වැන්නේදී අනුරපුර අගනුවර රජ පැමිණි ධාතුසේන රජතුමා විසින් ඉදිකරන ලද රාජකීය යෝධ ඇළේ දිය ගමන පමා වැඩි යෑයි කියා යෝධ ඇළ දෙබෑවී නටබුන්වී යන පරිදි ජයගඟ ඉදිකරනු ලැබීය. මේ නිසා යෝධ ඇළ අභාවයට ගියේය. වැව් ටික නැතිවී ගියේය. වැව් ගම්මාන නැතිවී ගියේය. අද මහවැලි එච්. කලාපයට මහවැලි දියවර පිරිමහින තරමට නැතිව වී වගාවට හැදූ මහවැලි එච් කලාපය වී පුරයක් වෙනුවට කෙසෙල් පුරයක් බවට පත් වී ඇත. පාන් වෙනුවට කේක් කාපල්ලා යයි කීවාක් මෙන් අද මහවැලි එච්. කලාපයේ ගොවීන්ට බත් වෙනුවට කෙසෙල් හෝ සෝයා කෑමට සිදුව ඇත.
* අටුව කඩා පුටුව හැදීම
වැවක් බැඳ වැහි ජලය එක්‌රැස් කොට භූ තලය ජලයෙන් පුරවා අවට පරිසරය කොළ පාටට හරවා මුඩු බිම් සරුසාර ගොවි බිම් බවට පත්කොට හෙළ රජදරුවන් විසින් රජරට බත් රටක් බවට පත් කරනු ලැබීය.
මෙම වැව් ගම්මාන සංස්‌කෘතිය මෑත යුගයේ පාලකයන්ට හැඩ මදිවී මහවැලි එච්. කලාපය තුළ පැවති වැව් ටික බිමට සමතලා කොට යෝධ ඇළ ද නටබුන් කර දමා ඇළවල් දිගේ දියවර ගලා යන වාරි සම්ප්‍රදායක් ඇතිකරනු ලැබීය. වරින්වර මේ ඇළවල් දිගේ මහවැලි ජලය ගලාවිත් ජලය ඒම නැවතුණ විට ඇළවල් සිඳී යයි. මහවැලියේ වතුර නැතිදාට, කලාවැවේ වතුර නැතිවී යයි. කලාවැවේ වතුර නැතිදාට මහවැලි එච්. කලාපයේ අක්‌කර 80000 ක තරම් වූ වෙල්යාය වේළී ගොස් පුරන් වැදී යයි. අද ඒ වින්නැහිය මහවැලි එච්. කලාපයට සිදුවී තිබේ. සුද්දාගේ කතාබහ ඇඳුම් පැළඳුම්, සංස්‌කෘතිය වැළඳ ගත්තාට කුඹුරේ වී ගොවිතැනට ඔහුගේ ඇළවල් දිගේ දියවර ගලා යන සංස්‌කෘතිය නුවර කලාවියට නොගැලපෙන බව දැන්වත් පාලකයන් තේරුම්ගත යුතුය.
* වී මෙටි්‍රක් ටොන් 160,000 ක් නොලැබී යැම
2016 යල කන්න පටන් ගත්තේ මැයි මාසයේදීය. මැයි මාසයේ වැටුණු මහ වැසි තුනකින් මහවැලි එච්. කලාපයට දියවර සපයන කලාවැව පිරී ඉතිරී ගොස් තුන්වරක්‌ම වාන් දැම්මේය. ඒ අන්දමට කලාවැව දියවරෙන් පිරී තිබියදී වුවත් පසුගිය යල කන්නයේ දින 10 කට වරක් පමණක් මහවැලි ඇළවල් දිගේ වතුර එවීමෙන් වී ගොවිතැන අනියම් ලෙස අඩාල කර දැම්මේය. වී අතිරික්‌තයක් ඇතැයි කියා වී ගොවිතැන ගොවීන්ට නොකියා අඩාල කර දැමීම මහවැලියේ කුමන්ත්‍රණය විය. මේ නිසා ගොවීන්ට වී වගා කිරීමට නොහැකි විය. ඒ හේතුවෙන් එම කන්නයේ ලැබිය හැකිව තිබූ වී මෙටි්‍රක් ටොන් 160,000 ක් ජාතික වී නිෂ්පාදනයට අහිමි වූවා පමණක් නොව මහවැලි එච්. කලාපයේ ගොවි පවුල් 35,000 කට බත් කටක් කෑමට නැතිව කඩේ හාල් සහ පාන් රොඩු ගිලින්නට සිදුවිය. කලාවැවේ වතුර පිරී තිබියදී මහවැලි බලධාරීන් වී ගොවිතැනට වතුර නොදීම නිසා යල කන්න පාළු විය.
* ශාපය ඵලදීම
වැව් බැඳි රට පාලනය කරන්නේ වර්තමාන දේශපාලකයන් වුවත් ඔවුන්ටත් ජනතාවටත් නොපෙනෙන බලවේගයක් රජරට තුළ පැළපදියම් වී ඇත. අනුරාධපුර දිසාවට වැව් 3472 ක් බැඳ දී වැව් බැඳි රට බතින් බුලතින් පුරවා සශ්‍රීක කළ හෙළ රජදරුවන් වැව් බැඳි රටට අරක්‌ගෙන සිටී. කලාවැවේ වතුර තිබියදීත් වී වගාවට වතුර නොදීමේ ශාපය රට කරවන්නන්ට දැනෙන්නට මෙවර මහ කන්නයේ පුරුදු වැහි රටාව මුළුමනින්ම අකාමකා දැමීමට වැව් භාර දෙවිවරු කටයුතු කර ඇත. පෙරදා මහ කන්නයේදී වැව් පිරී ඉතිරී ගොස් සමහර වැව්වල කඩවල පවා හැදුණු නමුත් මෙදා වැහි කඳුළක් නැත. වැහි පිරිත් කීවත් දෙවිවරු කනකට ගෙන නැත. අතීතයේ කවරදාකවත් සිදු නොවූ පරිදි මහ කන්නයේ වැස්‌ස නැතිවී ගියේය. වැව් වේළී ගියේය. කුඹුරු පුරන් වී ගියේය. දෙනෝදාහක් ගොවි ජනතාව හුන් බතට පත්විය. සේන රජුගේ අවපාලනය නිසා අතීතයේ එක් යුගයක මුළු රටටම දැනෙන්නට "බැමිණිටියා සාය" කඩාවැදුණි. එවන් සාගතයක් යළි නොඒවායි දෙවියන් යදින රටට බත දුන් ගොවියෝ අද පිටරට හාලේ බත පිටරට පිටිවල පාන් රොඩු ගිලිමින් කල දවස ගෙවති.
* යහ වැඩක දැලි ගෑම
ගොවීන් තුළ පවත්නා රසායනික පොහොර ඇබ්බැහිය ක්‍රමයෙන් තුනී කර දැමීම සඳහා අඩු මිලට පොහොර දෙනවා වෙනුවට අක්‌කරයට කන්නකට රුපියල් පන්දහස බැගින් මුදලින් පොහොර සහනාධාරයක් ලබාදී විවෘත වෙළෙඳපොළේ රසායනික පොහොර මිල වැඩි කළේය. වකුගඩු, පිළිකා වැනි බෝ නොවන රෝගවලින් ජනතාව බේරා ගැනීම සඳහා රජය විසින් ගනු ලැබූ මේ ප්‍රතිපත්තිය ප්‍රශංසනීයයි. නමුත් මේ දුරදක්‌නා වැඩපිළිවෙළේ දැලි තැවරී යන පරිද්දෙන් මෙවර වගා නොකරන ලද පුරන් බැස ඇති කුඹුරුවලටත් රජයේ පොහොර සහනාධාරය ලැබී ඇත. බොහෝ ගොවීන් බිත්තර වී ඇටයක්‌වත් කුඹුරට දමා නැත. නමුත් පොහොර සඳහා අක්‌කරයට රුපියල් 5000 බැගින් අක්‌කර 2 1/2 කට මහවැලි එච්. කලාපීය බොහෝ ගොවීන්ට රුපියල් 12500 ක සහනාධාර මුදල් ලැබී ඇත. මෙය ගොවීන් වංචාවට බොරුවට හොරකමට පුරුදු කිරීමකි. පොහොර සහනාධාරය දිය යුත්තේ වගා කළ ගොවීන්ටය. වගා නොකළ පුරං කුඹුරුවලටත් සහනාධාර මුදල් දීම ගොවීන් වංචාවට පෙළඹවීමකි. හැම තුලානකම කෘ.ප.නි. වරුන්, සංවර්ධන නිලධාරීන්, ග්‍රාමනිලධාරීන් ආදී වශයෙන් රජයේ වැටුප් ලබන රොත්තක් සිටිති. මේ අය මඟින් වගාවන් පරීක්‍ෂා කර බලා වගා කළ දේට පමණක් රජයේ සහනාධාරය දුන්නේනම් ගොවීන් වංචාවට පෙළඹෙන්නේ නැත. සොයා නොබලා ගොවීන්ට බෙදාදුන් මේ මුදල් අඩු වශයෙන්
"නියං සහනාධාර" ලෙසවත් නම් කොට බෙදා දුන්නේ නම් රාජ්‍ය මුදල් වංචාව මෙහිදී සිදු නොවේ.
* වැව් ටික ගිල දැමූ ජපන්ජබර ශාකය
ආත්ම අභිමානයෙන් ජීවත් වූ වැව් බැඳි රටේ ගොවි ජනතාවගේ ආර්ථික කොන්ද බිඳ දමන්නට ආර්ථිකයේ උල්පත වූ වැව් පද්ධතිය විනාශ කර දමන්නට "බ්‍රවුන්රීග්" නම් වූ සුදු පාලකයා විසින් වැව් බැඳි රටේ වැව්වලට ජපන් ජබර ශාකය ලස්‌සන මල් වර්ගයක් ලෙස මූනිච්ඡාවට හඳුන්වාදෙමින් බෝකරනු ලැබීය. ජපන්ජබර ශාකය වැව්වල මාරයෙකි. ඒවා මඟින් වැව් ගොඩකරමින් වැවේ පැවැත්මට රුකුලක් වූ නෙළුම්, මානෙල්, ඕලු වැනි පළල් පත්‍ර සහිත දේශජ ජලජ ශාක විනාශ කර දමනු ලැබීය. වැව් බැඳි රටේ හිරුරැස් දැඩිය. වැවක් පවතින්නේ ගහ කොළ නැති විවෘත පරිසරයකය. මේ නිසා නිතර දෙවේලේ දැඩි හිරුරැස් වැවට පාත් වීමෙන් වැවේ ජල වාෂ්පීකරණය සිදුවී ඉක්‌මනින් වෑ දිය සිඳී යයි. මේ තත්ත්වය පාලනය කිරීම සඳහා හෙළ රජදරුවන් විසින් දිය මතුපිට පළල් කොළ ර¹ පවතින නෙළුම්, මානෙල්, ඕලු වැනි දේශජ ජලජ ශාක වැව්වලට බෝකරනු ලැබීය. විදේශීය ජපන් ජබර ශාකය වැව ආක්‍රමණය කරමින් වැවේ පැවති දේශජ ජලජ පැළෑටි මුළුමනින්ම වඳකර දමනු ලැබීය. අද වැව් බැඳි රටේ දහසක් වැව්වල නෙළුම්, මානෙල්, ඕලු දකින්නට නැත. ජාතික පුෂ්පයක් වූ මානෙල් මල ද අද විරලය. වාපි ශිල්පයේ පියා බඳු අනුරපුර අභයවැවට ද අද වන විට ජපන් ජබර ශාකය රිංගා ඇත. නිදහස ලැබී වසර 68 ක් ගෙවී යන තුරුත් රජරට දේශපාලකයන්ට රජරට ආත්මය වූ වැව්වල පවතින ජපන් ජබර ශාකය වඳකොට දේශජ ජලජ ශාක වූ නෙළුම්, මානෙල් ආදිය යළි වැව්ගත කරන්නට තවමත් හැකි වී නැත.
* නියං සහනාධාර හඬ
රජය දේශපාලන වශයෙන් අවුල් ජාලයක පැටලී සිටියදී එසේම හැඳි මිටෙන් පවා බදු අයකරන්නට තරම් ආර්ථික අගාධයක වැටී සිටියදී දැන් දැන් වැව් බැඳි රටේ ගොවියාගෙන් නියං සහනාධාර හඬ මතුවන්නට පටන්ගෙන ඇත. බොහෝ අය කියන්නාක් මෙන් මෙය ද රජය විසින් ඉල්ලං කෑමකි. පසුගිය යල් කන්නයේ වී වගාවට වතුර තිබියදී වතුර නොදී වී වගාව අඩාල කිරීමේ හේතුවෙන් සියල්ල කණපිටට පෙරළී ගොවිතැන් පාළුවී හුන්බතට පත්වන්නට මුලපුරමින් සිටින මේ අවස්‌ථාවේ ගොවීන් නියං සහනාධාර ඉල්ලීම ගැන පුදුම වන්නට දෙයක් නැත. "කොරේ පිටට මරේ" කීවාක් මෙන් ආර්ථික අහේනිකම් මැද වුවත් වැව් බැඳි රටෙන් මතුවන බඩගිනි හඬට රජයට කන් දෙන්නට සිsදුවනු ඇත.
වී කිලෝව රුපියල් 50 යි හාල් කිලෝව රුපියල් 100 යි
මේ වන විට විවෘත වෙළෙඳපොළේ වී කිලෝවක සාමාන්‍ය මිල රුපියල් 50 කි. හාල් කිලෝවක් හදන්නට වී කිලෝ 1 1/2 ක් අවශ්‍යයි. ඒ අනුව වීවල වියදම පමණක් රුපියල් 75 ක් වේ. නිෂ්පාදන, ප්‍රවාහන, අතින් අතට මාරු, ලාභ ආදිය මීට එකතු වූ විට හාල් කිලෝවක මිල රුපියල් 100 ක් වීම නොවැළැක්‌විය හැකිය. මේ තත්ත්වය පාලනය කරන්නට රජයට ඇති එකම විකල්පය පිටරටට දිව දික් කිරීමය.
වී සහලින් ස්‌වයංපෝෂිතව පැවැති රටක් අමනයන්ගේ අදූරදර්ශී වැඩ නිසා යළිත් වරක් බත්වේලට පිටරටවලට දිව දික්‌කරන්නට සිදුවී තිබේ. වී අතිරික්‌තයක් ඇති යයි කියමින් වී අස්‌වනුවලින් කොටසක් මත්පැන් නිෂ්පාදනයට ද තවත් කොටසක් සත්ව ආහාරවලට ද විකුණන ලද බව පසුගිය දිනවල වාර්තා විය. දැන් වී සහල් නැතිව පිටරට හිඟමනේ යයි. මෙවැනි අමනයන් ගත් තීරණ තීන්දු නිසා අද ජනතාව බඩගින්දරට පත්වෙමින් ඇත. මඩුවලිගයෙන් තැලිය යුත්තේ මෙවැනි තීරණ තීන්දු ගත් අමනයන්ටය.
* බලාගෙනයි බඩඉරිඟු
මේ දිනවල අනුරාධපුරයට යනෙන පාරවල් දැලේ බඩඉරිඟු කරල් ගොඩගසාගෙන එවෙලේම තම්බමින් පාරිභෝගිකයන්ට අලෙවි කිරීමේ පුංචි වෙළෙ¹ම් පටන්ගෙන ඇත. යථාර්ථය දන්නා අය එළවළු මිලදී ගැනීමේදී උනන්දු වන්නේ පළුදු වූ අඩුපාඩු සහිත එළවළු - පලා ආදිය මිලදී ගැනීමටය. එසේම ඇටවලින් අඩුවක් නැතිව කරල පිරී ඇති බඩඉරිඟු කරල් පිටුපස විෂකාරක කෘෂි රසායන සැඟවී ඇති බව බඩ ඉරිඟු හදන දන්නා ගොවියෝ දනිති. බඩඉරිඟු ගස පැළෑටිය කාලේ පටන්ම පැණි රසින් යුක්‌ත නිසා ඉතාම ඉක්‌මනින් විවිධ කෘමීන් වහ වැටේ. මෙවැනි කෘමීන් වඳකරන්නට විෂ අධික කෘෂි රසායන බඩඉරිඟු කරලට පවා යොදන ගොවියෝ සිටිති. කිරි බඩඉරිඟු කරල් රසවත්ය. මේ රසත් සමඟ වකුගඩු - පිළිකා රෝග මතුකරන වස විෂත් බඩඉරිඟු කිරි කරල් හරහා දිවෙන් - කටෙන් බඩට ගිලාබහින බව තේරුම් ගැනීම නුවණට හුරුය.
* එප්පාවල - රත්න බී. ඒකනායක
http://www.divaina.com/2017/01/30/feature02.html
Pic Source
0 comments:
Post a Comment