Pages

Thursday, February 6, 2014

යුද අපරාධ හා සැඟවුණු ඇමරිකානු කුමන්ත්‍රණය

ශ්‍රී ලංකාව මානව හිමිකම් උගුලේ සිර කිරීමේ සටන ඇමරිකාව විසින් අරඹා ඇත. එයට බ්‍රිතාන්‍යය, කැනඩාව හා නෝර්වේ යන රටවල පූර්ණ සහාය ලැබී ඇත. ශ්‍රී ලංකාව මානව හිමිකම් උගුලක සිරකර දැමීමට ඇමරිකාව උත්සාහ කරන්නේ කවර අරමුණින්ද යන්න හොඳින් සොයා බැලිය යුතුය. යුද අපරාධ සෙවීමට ජාත්‍යන්තර පරීක්‍ෂණය සිදුකළහොත් එය 2009 මැයි 19 වැනිදා උදා වූ සාමය දෙදරා යන තත්ත්වයක්‌ උදාකරන බව අමුතුවෙන් කිව යුතු නැත. වර්තමානයේ සිංහල ප්‍රජාව මෙන්ම දෙමළ ප්‍රජාවද අෙන්‍යාන්‍ය අවබෝධයෙන් යුතුව සාමයෙන් ජීවත්වන බව රහසක්‌ නොවේ. හිටපු ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු සී. වී. විග්නේෂ්වරන් මහතාට ඉන්දියාවේද ආශිර්වාදය ඇතිව උතුරේ මහ ඇමැති වීමට හැකිවූයේ ප්‍රභාකරන් පරාජය කර රට එක්‌සේසත් කළ නිසාය. ප්‍රභාකරන් ජීවත්ව සිටියා නම් උතුරේ පළාත් සභා මැතිවරණයක්‌ කිසි කලක පවත්වන්නට හැකි වන්නේ නැත. විග්නේස්‌වරන් මහතා දෙමළ මහ ඇමැති වීමට උත්සාහ කරන බව ප්‍රභාකරන් දැන සිටියා නම් කින්සි පාරේදී නීලන් තිරුචෙල්වම් ඝාතනය කළ ආකාරයටම විග්නේෂ්වරන් මහතා වෙතද මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු එවන බව අනිවාර්යය. අද මරාගෙන මැරෙන බෝම්බකරුවන් නැත. කළු කොටි සාමාජිකයන්ද පුනරුත්ථාපනය කර නැවත ආපසු නිවෙස්‌ බලා යවා ඇත. එහෙත් ඇමරිකාව මේ සාමය උදාවීම ගැන සතුටු වන බවක්‌ නොපෙනේ. ඔවුන්ට අවශ්‍ය රාජපක්‍ෂ රෙජීමය එළවීමටද? නැත්නම් ලිබියාවේ හා සිරියාවේ උදා වී ඇති කැරලිකාරී තත්ත්වයක්‌ මෙහි ඇති කිරීමද?

ඇමරිකාවේ සංචාරයක නිරතවන ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා නිවැරදි ලෙස ප්‍රකාශ කර තිබුණේ ජාත්‍යන්තරය විසින් යුද අපරාධ සෙවීමට පරීක්‍ෂණයක්‌ ආරම්භ කළහොත් එය ජාතීන් අතර සුහදතාවය විනාශ කිරීමේ වැඩපිළිවෙළක්‌ වනු ඇති බවයි. ශ්‍රී ලංකා රජය දෙමළ, සිංහල, සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් වසර 5 ක කාලයක්‌ ඉල්ලා සිටියද එය ලබාදීමට බටහිර ප්‍රජාව කැමති නැත. 2012 මාර්තු 7 වැනිදා ඇමරිකාව ජීනීවා මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක්‌ ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳ ඡන්ද විමසීම මාර්තු 22 වැනිදා පැවැත්විණි. එහිදී මෙම යෝජනාවට පක්‍ෂව රටවල් 24 ක්‌ ඡන්දය ලබාදුන් අතර 15 ක්‌ විරුද්ධවද රටවල් අටක්‌ ඡන්දය දීමෙන් වැළකී සිටියහ. ඉකුත් දෙසැම්බර් මාසයේදී බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශ කළේ යුද්ධය අවසන් කාලයේදී සිදුවූ අපරාධ ගැන පරීක්‍ෂණයක්‌ ඉල්ලා තමන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක්‌ ඉදිරිපත් කරන බවයි. ඒ අනුව ඔබාමා මෙන්ම කැමරන්ද ශ්‍රී ලංකා රාජ්‍යය ගිලටීනය වෙත දක්‌කාගෙන යන බව රහසක්‌ නොවේ. ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා දේශනායි බිස්‌වාලේ තෙදින නිල සංචාරයක්‌ සඳහා ඉකුත් සිකුරාදා දිවයිනට පැමිණීමට නියමිතව සිටියේය. ඉන්දීය සම්භවයක්‌ ඇති මේ නිලධාරිනියද පැමිණෙන්නේ ජීනීවාහි ලංකාවට එරෙහි යෝජනාවට තවත් කරුණු එකතු කිරීමට බව රහසක්‌ නොවේ. ජනවාරි මස මුල් සතියේ ශ්‍රී ලංකාවට පැමිණි යුද අපරාධ පිළිබඳ ඇමරිකානු තානාපති ස්‌ටීවන් ඡේ. රැප් දින පහක්‌ මෙරට ගත කර නැවත ආපසු යාමට පෙර මාධ්‍ය අමතමින් ප්‍රකාශ කර සිටියේ යුද අපරාධ සියෑසින් දුටුවන් හමු වූ බවයි.

ස්‌ටීවන් රැප් උතුරේ කළ සංචාරයේදී සින්නතුරෙයි සසිකරන් නොහොත් එලිලන්ගේ බිරිඳ පළාත් සභා මන්ත්‍රී ආනන්දි සසිකරන් හමුවිය. එම හමුවීමට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති මිෂෙල් ඡේ. සිසාන්ද සහභාගි විය. ඇමරිකාව යුද අපරාධ චෝදනා නගන්නට කරුණු සොයා ගත්තේ ආනන්දි මහත්මියගෙන්ද? ඇයගෙන් කරුණු ලබාගෙන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යෝජනා ඉදිරිපත් කිරීම එතරම් සදාචාර සම්පන්නද? එලිලන් යනු කොටි සංවිධානයේ ප්‍රබල නායකයෙකි. කොටි සංවිධානය කළ සෑම අපරාධයකටම ඔහුද සමූහ වශයෙන් වගකිව යුතුයි. එසේනම් ස්‌ටීවන් රැප්, හොරාගේ අම්මාගෙන් පේන අසා ඇති බව නම් පැහැදිලිය. යුධ අපරාධ සියෑසින් දුටුවන් හමු වූ බව ස්‌ටීවන් රැප් පවසන්නේ ආනන්දිගේ හමුවීමෙන් පසුවද? ආනන්දි යුධ අපරාධ සියෑසින් දැක ඇති බවට කිසිම සඳහනක්‌ නැත. ඇය අනිවාර්යයෙන් සිය සැමියා විසින් කරන ලද යුධ අපරාධ සියෑසින් දැක හෝ අසා දැනගෙන ඇත. එහෙත් ඇමරිකාව නම් ප්‍රභාකරන් කළ යුධ අපරාධ ගැන කිසිවක්‌ පවසන්නේ නැත. එලිලන් කළ යුද අපරාධවලට ආනන්දිද වගකිව යුතුය. එහෙත් ඇමරිකානු තානාපතිවරු පැමිණිලිකරු සිටියදී විත්තිකාරයා ළඟට ගොස්‌ සාක්‍ෂි විමසන බව පෙනේ.

ශ්‍රී ලංකාව මානව හිමිකම් උගුලේ සිරකරන්නට මෙරට ඇමරිකානු තානාපතිනිය මිෂෙල් ඡේ. සිසාන්ද විශාල කාර්ය භාරයක්‌ කරන බව පෙනේ. ආනන්දිව තෝරා ගන්නා ලද්දේ ද ඇය විසින් බවට සැක නැත. 2008-2010 කාලයේ ලෙබනනයේ තානාපති ලෙස කටයුතු කළ ඇය කෙලින්ම එරට දේශපාලනයට ඇඟිලි ගැසූ බව විකිලික්‌ස්‌ වෙබ් අඩවියෙන් පවා හෙළිකර තිබිණි. ලෙබනනයේ ආණ්‌ඩුව වෙනස්‌ කරන්නට අභ්‍යන්තර දේශපාලනයට ඇඟිලි ගැසූ මිෂෙල් එරට තානාපති ලෙස නොව ආණ්‌ඩුකාරයකු ලෙස කටයුතු කළ බව ලෙබනන් මාධ්‍ය මගින්ද ප්‍රකාශ කර තිබිණි. එදා ලෙබනනයේ කළ මෙහෙයුම ඇය කොළඹට පැමිණ දියත් කරන්නේද යන සැකය අපට මතුවන්නේ මේ තානාපතිනියගේ ක්‍රියා කලාපය තුළිනි. ඇයට ලංකාවට එරෙහිව කුමන්ත්‍රණ කිරීමට අවශ්‍යතාවක්‌ නොවන්නේ නම් කිසිම විටක එලිලන්ගේ බිරිය හමුවන්නේ නැත. නමුත් ශ්‍රී ලංකාව ජිනීවා මානව හිමිකම් උගුලේ සිර කරන්නට ඇමරිකාව සාක්‍ෂි ලබා ගන්නේ දෙමළ ඩයස්‌පෝරාවෙන් වීම කනගාටුදායකය. ලෙබනනයේදී ඇමරිකානු තාරකාව වූ ඇය කොළඹදී ද තාරකාව වීමට උත්සාහ කරන බව පෙනේ. වියානා සම්මුතියද උල්ලංඝනය කරමින් මේ තානාපතිනිය ලංකා දේශපාලනයට ඇඟිලි ගැසීම කෙසේවත් අනුමත කළ නොහැකිය. එදා ජොතින්ද්‍රනාත් ඩික්‌සිත් තානාපතිවරයා ඡේ. ආර්. ජයවර්ධන ආණ්‌ඩුව පාලනය කළ ආකාරයට, ඒ ඇඟිලි ගැසීම් කළ ආකාරයට මේ ඇමරිකානු තානාපතිනියද ලංකා දේශපාලනය කැළඹීමට උත්සාහ ගන්නා බව පෙනේ. මේ ඇමරිකානු කුමන්ත්‍රණය හොඳින් අවබෝධ කරගත යුතුය. යුද අපරාධ නාමයෙන් ලංකාව මෙහෙයවීමට ඇමරිකාවට ඉඩදිය යුතු නැත.

චතුර පමුණුව
http://www.divaina.com/2014/02/02/forign.html

වෛද්‍යවරු අතරත් කොමිස්‌ කාක්‌කෝ... බාල බෙහෙත් සෙල්ලමේ අලුත් ඉනිම මෙන්න!

* වෛද්‍යවරු අතරත් කොමිස්‌ කාක්‌කෝ
* හොර කම්පැනි වලටත් ටෙන්ඩර් පාස්‌වෙයි

තම ජීවිත කාලයටම අසනීපයක්‌ ඇති නොවී බෙහෙත් ටිකක්‌ නොගත් අයෙක්‌ ඇත්නම් ඔහු හෝ ඇය ඉතා වාසනාවන්තය. එවැනි පුද්ගලයින් හමුවන්නේ ඉතා කලාතුරකිනි.

වර්තමානයේ පුද්ගලයන් ලෙඩවන අවස්‌ථා ගණන වැඩිද? එසේත් නැතිනම් මතුවන ලෙඩ රෝග ගණන වැඩි දැයි කියා සිතාගත නොහැකිය.

ඉස්‌සර අප දරුණු රෝග ලෙස අසා තිබුණේ මැලේරියාව, උණසන්නිපාතය, කොළරාව වැනි රෝගය. නමුත් දැන් ඩෙංගු, හෘදයාබාද, ඒඩ්ස්‌, වැනි රෝග දරුණු රෝග බවට පත්ව ඇත. ඒවාට ගොදුරුවන ප්‍රමාණයද ඉහළ ගොස්‌ තිබේ. එනිසා මවුකුසින් බිහිවූ දා සිට මිය යන මොහොත දක්‌වා බෙහෙත් පෙත්තට අපව හුරුකර ඇත. එම හුරුව නිසා දැන් නගරයක්‌ නගරයක්‌ පාසා ගමක්‌ ගමක්‌ පාසා සිල්ලර කඩ මෙන් ඖෂධ අලෙවි සල්ද විවෘතව ඇත. මෙම ඖෂධ අලෙවි සල්හි ඇති ඖෂධ වර්ග දකින විට මේ තරම් ඖෂධ නිපදවනවා දැයි කියා සිතා ගැනීමටත් නොහැකිය. ඇතැම් ඖෂධ හුරු බුහුටිය. තවත් ඖෂධ සීනි බෝල, ටොෆි වගේ රසවත්ය. ඇතැම් අවස්‌ථාවලදී මෙම ඖෂධ දකින විට ලෙඩක්‌ නැතත් ආසාවටම බීලා බලන්නට සිතෙන වාර අනන්තය. ලෙඩක්‌ නැතිව බෙහෙත් බොන එකත් ලෙඩක්‌ වියහැකි නිසා මතුවන ආසාව යටපත් කරගන්නෙමු.

සමහර ඖෂධ මතුපිටින් ලස්‌සන වුණාට මිල ගණන් අධිකය. තවත් ඖෂධවල ගුණය අඩුය. මේ අතර එකම බෙහෙත මිල ගණන් රැසක්‌ යටතේ අලෙවි වේ.

පැරසිටමෝල් පෙත්තක්‌ ශත 90 සිට රුපියල් 50.00 පමණ දක්‌වා වූ මිල ගණන් යටතේ අලෙවි වේ. වෙළෙඳ නාමය, නිෂ්පාදිත රට අඩංගු ඖෂධ මාත්‍රාව ආදිය මත මෙලෙස මිල ගණන් ඉහළ යයි.

ලෝකයේ ඇති ලාභදායීම ව්‍යාපාර අතර ඉහළින්ම සිටින්නේ ඖෂධ ව්‍යාපාරයයි. එනිසා ඖෂධ මාෆියාවක්‌ද ක්‍රියාත්මක වේ. එනම් අඩු මිලට බාල ඖෂධ වෙළෙඳ පොළට නිකුත් කිරීමය. බොහෝවිට මෙම මාෆියාව සිදුවන්නේ ආනයනික ඖෂධ සම්බන්ධවය. දේශීයව නිපදවන ඖෂධ සඳහා මෙම බාල ඖෂධ මාෆියාව ක්‍රියාත්මක වන්නේ ඉතා අවම මට්‌ටමිනි. මන්දයත් එම නිෂ්පාදන සමාගම ශ්‍රී ලංකාව තුළ පිහිටා ඇති නිසා ඔවුන් අතින් යම් වරදක්‌ වුවහොත් වහාම නීතිය ක්‍රියාත්මක කළ හැකිය. ඇතැම් ආනයනික ඖෂධ මෙලෙස බාල තත්ත්වයේ පැවතියත් එම සමාගම්වලට එරෙහිව කටයුතු කළ නොහැකිය. එම සමාගම් ලියාපදිංචිය සඳහන් කර ඇති ලිපිනයේ නැත. මේ අතර එවැනි බහු ජාතික සමාගම් විසින් ඖෂධ සැපයුම් කරුවනට සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ අදාළ නිලධාරීනට ලබාදෙන වරප්‍රසාද නිසා බාල ඖෂධ මාෆියාවට එරෙහිව කටයුතු කළ නොහැකිය.

දේශීය වශයෙන් බටහිර ඖෂධ නිපදවන සමාගම් 09 ක්‌ පමණ අප රටෙහි ඇත. එම සමාගම් මගින් දේශීය වශයෙන් අවශ්‍ය කරන ඖෂධ ඉල්ලුමින් හරි අඩක්‌ පමණ සපුරාලනු ලබයි. ප්‍රතිජීවක, පැරසිටමෝල්, සිරප් වර්ග වැනි බහුලව භාවිතාවන ඖෂධ වර්ගද දේශීය වශයෙන් නිපදවීම ආරම්භ කර තිබේ.

නමුත් මෙම දේශීය ඖෂධ නිෂ්පාදන සමාගම්වලට හිස ඔසවන්නට නොදෙන මාෆියාවක්‌ ක්‍රියාත්මකව ඇත. ඒ සඳහා ඖෂධ ආනයනය කරන ඇතැම් සමාගම් පමණක්‌ නොව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ සැපයුම් අංශයේ නිලධාරින්ද ඊට එක්‌ව සිටිති. එනිසා ඇතැම් ඖෂධ සමාගම් වෙත 2015 වසර දක්‌වා ඖෂධ ආනයනය කිරීමේ අවසර පත් ලබාදී ඇත. සාමාන්‍යයෙන් ෙමැනි අවසර ලබාදෙන්නේ වසරින් වසරය. එම ඖෂධවල ඉල්ලුම අනුව එය තීරණය කරනු ලබයි. නමුත් එම ප්‍රතිපත්ති උල්ලංඝනය කරමින් එකවර වසර කිහිපයක්‌ සඳහා ඖෂධ ආනයන අනුමැතිය ලබාදෙන්නේ කුමන පදනම මත පිහිටාදැයි විමසා බැලිය යුතුය.

මේ අතර ඇතැම් ඖෂධ නියෝජිතයන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ඖෂධයම ගෙන්වන්නේ නැත. උසස්‌ ප්‍රමිතියේ ඖෂධ ඉදිරිපත් කර බාල ඖෂධ ආනයනය කර වෙළෙඳ පොළට නිකුත් කරනු ලබයි.

ලබන ඇතැම් සමාගම් ටෙන්ඩර් අනුමැතිය සඳහා නිසි ප්‍රමිතියෙන් යුත් ඖෂධ සාම්පල ඉදිරිපත් කර ඖෂධ සැපයුම සඳහා අනුමැතිය ලැබුණු පසු බාල තත්ත්වයේ ඖෂධ සපනු ලබයි.

එහිදී බාල තත්ත්වයේ ඖෂධ සපයන ඖෂධ සැපයුම්කරුවන් ටෙන්ඩර් සඳහා ඉදිරිපත් කරන්නේ ඉතා අඩු මිල ගණනකි. එවැනි මිලකට නිසි ප්‍රමිතියෙන් යුතු ඖෂධ නිපදවන සමාගම්වලට හෝ ආනයනය කරන ඖෂධ නියෝජිතයන්ට ඖෂධ සැපයිය නොහැකිය. නමුත් ටෙන්ඩර් පටිපාටියේදී අඩු ම මිල ගණන් ඉදිරිපත් කර ඇති සමාගම් හෝ ඖෂධ සැපයුම් නියෝජිතයන් කෙරෙහි ප්‍රමුඛත්වයක්‌ ලබා දෙන නිසා මෙලෙස බාල ඖෂධ ගෙන්වන පුද්ගලයන්ට තම ජාවාරම සිදුකර ගෙන යා හැකිය. මෙම ජාවාරම අදාළ ඖෂධ සමාගම්වලට තනිව සිදු කළ නොහැකිය. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහයෝගය ලබා දෙන නිලධාරීහු ද සිටිති. ඔවුනට බාල ඖෂධ ගෙන්වන සමාගම්වලින් රුපියල් කෝටි ගණනින් සංතෝෂම් මුදල් ලැබේ. මෙවැනි කටයුතු වළකාලන්නට නම් ටෙන්ඩර් අනුමැතිය ලැබුණු සෑම ඖෂධයක්‌ම මිලදී ගන්නා විට අහඹු ලෙස ඖෂධ ඇසුරුමක්‌ තෝරාගෙන එය පරීක්‍ෂා කර බැලීමේ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කළ හැකිය. ඒ සඳහා වූ යෝජනා ඉදිරිපත් වී ඇතත් එය ක්‍රියාත්මක කිරීමට මෙම ජාවාරම්කරුවෝ ඉඩ නොදෙති.

මෙම බාල ඖෂධ රෝගීනට අලෙවි කිරීම සඳහා ඇතැම් වෛද්‍යවරු ද ඖෂධ සමාගම්වලට සහයෝගය ලබා දෙති. බාල ඖෂධ රෝගීනට නිර්දේශ කරන වෛද්‍යවරුනට ඖෂධ සමාගම්වලින් යාන වාහන, විදේශ සංචාර හිමි වේ.

රෝගියකුගෙන් ගසා කනවා යනු හෙණ ගහන අපරාධයකි. විශේෂයෙන් ම බාල ඖෂධ රෝගීන්ට ලබා දීම යනු හෙණ හතම ගහන අපරාධයකි.

වෙනත් භාණ්‌ඩ මෙන් නොව ඖෂධ මිලදී ගැනීම රෝගියකුට තනිව තීරණය කළ නොහැකිය. ඒ සඳහා අතරමැදියකු හෙවත් වෛද්‍යවරයකුගේ අනුමැතිය ලැබිය යුතු ය. එනිසා වෛද්‍යවරයා නිර්දේශ කරන ඖෂධය රෝගියා මිල දී ගනු විනා එහි මිල හෝ ගුණ දොස්‌ සොයන්නේ නැත. ඒ සියල්ල තීරණය කරන්නේ වෛද්‍යවරයා ය. එබැවින් බාල ඖෂධ වෙළෙඳපොළට නිකුත් වීම සහ රෝගීනට මිල දී ගැනීමට ඉඩ නොදීමේ ප්‍රධාන වගකීම ඇත්තේ සෞඛ්‍ය ඇමැතිවරයා සතුව නොව අප දෙවිවරුන් ලෙස සලකන වෛද්‍යවරු අතය.

ඖෂධයක්‌ රෝහල් සඳහා මිල දී ගැනීම තීරණය කරන්නේත් ඒවා රෝගීන්ට භාවිතය සඳහා නිර්දේශ කරන්නේත් වෛද්‍යවරයා ය. ඔහුගේ අවංක බව මත බාල ඖෂධ අලෙවි මාෆියාවේ දිග පළල සීමා කළ හැකිය.

උපාලි ද සේරම්
http://www.divaina.com/2014/02/02/feature21.html

Pic Source

රස හොය හොය වස විස කන අයගේ දැනගැනිම පිණිසය

* ප්‍රමිතිකරණය ගැන සහතිකයක්‌  නැත
* රට කූට වෙළදුන්ගේ තිප්පලක්‌

මිලදී ගැනීම පිණිස වෙළෙඳපොළේ ඇති රසවත් ආහාර සමග මුසුවී ඇති වස විස (වස විස බව නොදැන) අනුභව කිරීම තුළින් රටක්‌ ලෙස අප මේ වනවිට ද මාරාන්තික රෝග රැසක හිමිකරුවන් බවට පත්ව ඇත. දිනෙන් දින ඉහළ යන මෙම ව්‍යසනය කෙනෙකුගේ ඉපදීමත් මරණයත් අතර ඇති ජීවත් විය යුතු කාල පරාසය විවිධ රෝගාබාධ සහිතව ගෙවා දැමීමටත් , වේලාසනම මරණය කරා ළංවීමටත් මූලික වී ඇති කාරණයක්‌ බව හඳුනාගත් සත්‍යයක්‌ බවට පත්ව ඇත.

මෙයට පිළියමක්‌ ලෙස මහජන සෞඛ්‍ය ආරක්‍ෂා කිරීමටත් විශේෂයෙන් රටේ අනාගත දරු පරපුරේ හෙට දවස සුරක්‍ෂිත කිරීමත් අරමුණු කොට රජය විසින් අංක 1844/49 දරන අති විශේෂ ගැසට්‌ නිවේදනයක්‌ නිකුත් කරමින් ආනයනික භාණ්‌ඩ 23 ක්‌ සඳහා ශ්‍රී ලාංකික ප්‍රමිතීන් හඳුන්වාදීමට තීරණය කොට ඇත. එම භාණ්‌ඩ අතරට සෘජුවම මිනිස්‌ පරිභෝජනයට ගැනෙන භාණ්‌ඩ වර්ග 19 ක්‌ ද ඇතුළත්ය.

අනුමැතිය සඳහා ඉදිරිපත් කොට ඇති මෙම අති විශේෂ ගැසට්‌ පත්‍රය මගින් රටේ සෞඛ්‍ය සුරක්‍ෂිතතාවය ආරක්‍ෂා කිරීම සඳහා රජය සෘජුවම මැදහත් වන අතර ඒ තුළින් අපේක්‍ෂිත ඉලක්‌කය වී ඇත්තේ පරිභෝජනය සඳහා වඩාත්ම සුදුසු දේ ජනතාවට තෝරා බේරා ගැනීම පහසු කිරීමත් අනවශ්‍ය දෑ රට තුළට ආනයනය කිරීමෙන් වැළකී සිටීමත්ය. රජය විසින් ජනතා සුභ සෙත සලසා ගෙන ඇති මේ තීරණයට අනුව අදාළ භාණ්‌ඩ සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතීන් නියම කරනු ලබන අතර එය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ බලතලවලට යටත්ව සිදු කිරීමට නියමිතය.

මේ සම්බන්ධව 'දිවයින ඉරිදා සංග්‍රහය' විසින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ලලිත් සේනවීර මහතාගෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් ඒ මහතා කියා සිටියේ රජය විසින් ගැනීමට නියමිත මෙම තීරණය මගින් ආහාර සඳහා වඩාත්ම යහපත් දේ ජනතාවට තෝරා බේරා දීමක්‌ මේ මගින් සිදු කළ හැකි බවත් එය රටේ යහපත පිණිස ඉවහල් වන බවත්ය. නාස්‌තිය අවම වීමත්, පරිභෝජනය උපරිම ආකාරයෙන් සිදුවීමත් ඇතුළු ප්‍රමිතිකරණය යටතේ සිදුවන අනෙකුත් ක්‍රියාවලිය තුළින් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය සහ රටේ ආර්ථිකය සුරක්‍ෂිත හා ශක්‌තිමත් වන බවත් ප්‍රකාශ කළ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, නිසි ක්‍රමවේදයක්‌ යටතේ විද්‍යාත්මක පරීක්‍ෂණ පදනම් කොට ශ්‍රී ලංකා ප්‍රමිතීන්ට අනුකූලව භාණ්‌ඩයක්‌ හෝ සේවාවක්‌ සැපයීම මගින් ගුණාත්මක භාණ්‌ඩයක්‌ වෙළෙඳපොළට නිකුත් කළ හැකි බවත් ඒ තුළින් සමාජ සුභ සිද්ධිය ඇති කළ හැකි බවත් ය.

ඒ මහතාගේ අදහස්‌වලට අනුව සමාජ ප්‍රගමනය උදෙසා ප්‍රමිතිකරණය අත්‍යාවශ්‍ය සාධකයක්‌ බවට පත් ව ඇත. ප්‍රමිතිකරණයට යටත්ව ආනයනය කරනු ලබන ඕනෑම භාණ්‌ඩයක්‌ රටට අත්පත් කර දෙන්නේ යහපත් ප්‍රතිඵලය. රටක්‌ යහපත් දිශානතියක්‌ වෙත රැගෙන යැමේ පැහැර නොහැරිය හැකි වගකීම පාලකයන් සතුව ඇති බැවින් භාණ්‌ඩ මෙරටට ආනයනය කිරීමේදී ප්‍රමිතිකරණයට යටත් කොට ඇති භාණ්‌ඩ හා සේවා ලැයිස්‌තුවට තවත් භාණ්‌ඩ හා සේවා 23 ක්‌ එකතු කිරීමට ගෙන ඇති තීරණය රටට හිතකරය. විශේෂයෙන් රටේ ළමා පරපුර කිසිදු වග විභාගයකින් තොරව විවිධ රසායනික ද්‍රව්‍ය අඩංගු ආහාර භාවිතයට ගැනීමත් ඒ තුළින් සමස්‌ත සමාජයේම සුභසිද්ධිය අඩාල වීමත් පිළිබඳව රජය විසින් සිතා බලා ගෙන ඇති මෙම තීරණය කාලෝචිතය.

පසුගිය වකවානුව තුළ පරිභෝජනයට නුසුදුසු සීනි කිලෝ ග්‍රෑම් ලක්‍ෂයක්‌ මෝදරින් මතුවන්නේත්, කොම්පඤ්ඤවීදියේ කළ වැටලීමකදී කහ කුඩු, මිරිස්‌ කුඩු, ආහාරයට නුසුදුසු සෝස්‌ තොගයක්‌ හමුවන්නේත් එවැනිම තවත් වැටලීම් රාශියක්‌ තුළින් හෙළිදරව් වෙමින් පවතින්නේත් නිසි ප්‍රමිතියකින් තොරව ඕනෑම කුණු ගොඩක්‌ ගොඩබෑමේ "කසළ ගොඩක්‌" බවට ලංකාව පත්වෙමින් තිබෙන නිසාය.

තිබෙන අණපනත්වලට අමතරව නව අණපනත් යටතේ මෙරටට ආනයනය කරනු ලබන භාණ්‌ඩ රේගු නිෂ්කාශනයට පෙර එයට අදාළ ලියකියවිලි සහ එක්‌ එක්‌ තොගයන්හි සාම්පල රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සහ ප්‍රමිති ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත ඉදිරිපත් කළ යුතු අතර එය වෙළෙඳපොළ වෙත නිකුත් කළ හැකි වන්නේ ශ්‍රී ලංකා ප්‍රමිතීන්වලට අනුකූළ තත්ත්වයක්‌ තුළ පමණය. එසේ නොවන කුමන හෝ භාණ්‌ඩයක්‌ ආනයනකරුවා විසින් විකිණීම, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම, භාවිතය හෝ බෙදා හැරීම් කළ නොහැකිය.

මෙලෙස ආනයනය කරනු ලබන භාණ්‌ඩ ශ්‍රී ලංකා ප්‍රමිතීන්හට අනුකූළ නොවන්නේ නම් ලංකාවට අදාළ ප්‍රමිතීන් සඳහා නැවත සැකසීම නැතහොත් භාණ්‌ඩ ගෙන්වනු ලැබූ රට වෙත නැවත පිටත් කොට හැරීමට බලය අදාළ ආයතන වෙත පැවරීමේ වගකීම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත පැවරී ඇත. එමගින් රටට අහිතකර දේ ඉවත් කිරීමත් හිතකර දේ පමණක්‌ ළංකර ගැනීමත් සිදුවනු ඇත.

විදේශයන්හි සිට මෙරටට ආනයනය කරනු ලබන භාණ්‌ඩ හා සේවාවන් 103 ක්‌ සඳහා මේ වනවිට ද ශ්‍රී ලංකා ප්‍රමිතීන් නියම කර ඇති අතර එයට අලුතින් එකතු වන ප්‍රමිතිකරණයට නියමිත භාණ්‌ඩ සමග ගත් කල එය 123 ක්‌ ලෙස ඉහළ යන්නේය. මෙයින් වැඩි කොටසක්‌ අයත් වන්නේ අප විසින් සෘජුව හෝ වක්‍රව පරිභෝජනය පිණිස යොදා ගන්නා භාණ්‌ඩ වර්ගයන් ලෙසය.

මිනිස්‌ ශරීරයට අහිතකර විවිධ රසායනික සංඝටක අඩංගු දෑ ආනයනය කිරීම වැළැක්‌වීම පිණිස රජය විසින් දැඩි කොන්දේසි පනවමින් නීතිය තදින් ක්‍රියාත්මක කළ ද ගමේ සිල්ලර කඩයේ සිට නගරයේ සුපිරි වෙළෙඳසල් දක්‌වා ප්‍රමිතියෙන් තොර විවිධ දේ රිංගන අතර ඒ සිදුවීම් පිටුපස විවිධ ජාවාරම් සිදුවන අයුරු ද දැක ගත හැක.

රටක හෙට දවස නිරෝගී සම්පන්න වීම තුළ ශක්‌තිමත් ප්‍රමිතියක්‌ ලෙස නැඟී සිටීමට අවශ්‍ය කායික හා මානසික ශක්‌තීන් නැවත සමාජය වෙත ජනනය වනු ඇත. මේ සියලු කාරණා ගත් කල සියල්ල අයහපත් අයුරින් සිදුවීමට පෙර ඒ සඳහා අවශ්‍ය විසඳුම් සෙවීම පිණිස රජය විසින් ගෙන ඇති මෙවැනි දැඩි තීරණ නිවැරැදිව ක්‍රියාවේ යෙදවීම බලධාරීන්ගේ වගකීම වන්නේය.

නව ශ්‍රී ලංකා ප්‍රමිතීන් හඳුන්වාදීමට නියමිත භාණ්‌ඩ ආහාර වර්ග සහ භාණ්‌ඩ 

1. සෝයා සෝස්‌ 2. පලතුරු යුෂ සහ නෙක්‌ටා 3. වේµර්ස්‌ 4. අයිස්‌පලම් හා අධි ශීත පාන 5. කිරි සහිත මේද තැවරුම් 6. චුයින්ගම්, බබල්ගම් 7. කාබනිකෘත රස කළ පැණි බීම රස කළ හෝ නොකළ කාබනිකෘත වතුර හෝ සෝඩා වතුර රස කළ කැෙµaන් සහිත බීම. 8. කෑමට සුදුසු ලුණු (කැට) 9. කෑමට සුදුසු ලුණු (කුඩු) 10. කහ කුඩු 11. ටොµs 12. ලොසින්ජර් 13. තදින් උණු කළ සීනි යෙදූ රස කැවිලි 14. ජෙලටීන් පදනම් වූ රස කැවිලි නිෂ්පාදන

15. පෙක්‌ටීන් පදනම් වූ රසකැවිලි

16. ටින් කළ අන්නාසි 17. ටින් කළ අඹ

18. සුදුසීනි සහ අයිසින් සීනි 19. රතු පරිප්පු 20. පාට කිරීමට ගන්නා ක්‍රෙයෝන්ස්‌ සහ පැස්‌ටල් පාට කූරු 21. පෙදරේරු සිමෙන්ති 22. රෙදි සේදීමට ගන්නා කෘත්‍රිම ක්‍ෂාලක කුඩු 23. රෙදි සේදීමට ගන්නා සබන් කුඩු, පෙති සහ පලතුරු.

රුවන් ජයවර්ධන
http://www.divaina.com/2014/02/02/feature14.html

මන්නාරමේ රදගුරුට වුවමනා මේ රට දෙකඩ කිරීමද?

ඉතිහාසයේ කිසිදා නොවු විරූ මතභේදාත්මක සංවාදයක්‌ ශ්‍රී ලංකා කතෝලික සභා සාමාජිකයන් අතර ඇති වී තිබේ.

මෙරට කතෝලික සභාවේ පාලක පිරිස වු රදගුරු මණ්‌ඩලයේ ඒකත්වය හා සාමුහිකත්වය දෙදරා යාම ගැනය.

මූලිකවම, මන්නාරමේ රායප්පු ජෝශප් රදගුරුවරයාගේ දේශපාලන ක්‍රියාකාරකම් නිසාය. පළමුව ඔහුගෙන් ඇරඹුණු ඒ ව්‍යසනයට දැන් දැන් අනෙකුත් ද්‍රවිඩ රදගුරුවරු ද සෘජුව දායක වෙමින් සිටිති.

ධූරයට පත් වු දා සිටම මන්නාරමේ රදගුරු රායප්පු ජෝශප් ක්‍රියා කරන්නේ එල්ටීටීඊයට පක්‍ෂවය. එල්ටීටීඊ අපරාධකාරයන් ඔහු හැඳින් වූයේ අපේ ළමයින් ලෙසය.

රජයේ හමුදා සිය එල්ටීටීඊ ළමයින් පරාජය කර, උතුර ත්‍රස්‌තවාදයෙන් මුදවා ගැනීම, වරදක්‌ බව පවසන මන්නාරම රදගුරුවරයා, ඒ පිළිබඳ ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ ඉල්ලා සිටී. ඒ හමුදාවේ වරදකරුවන්ට දඬුවම් පමුණුවන්නට ය. හමුදාපති, ආරක්‍ෂක ලේකම් හා ජනපති ලෝක යුද අධිකරණයක්‌ ඉදිරියට ගෙන යන්නටය. එහෙත් මෙරට කතෝලික සභානායක, කොළඹ අගරදගුරු, මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසන්නේ, ලංකාවට එරෙහිව පවත්වන කුමන හෝ ජාත්‍යන්තර පරීක්‍ෂණයකට තමන් විරුද්ධ බවය. එසේම, එවැනි පරීක්‍ෂණයකට ඇති ඉඩකඩ ඇහිරිය යුතු බවය. (රාවය -2013.12.15)

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසන්නේ, ද්‍ර.ජා. සංධානය අපේ රට තුළ දීම එකමුතුව සාකච්ඡා කර, උතුරේ ගැටලුව විසඳා ගත යුතු බවය. රායප්පු ජෝශප් රදගුරු රජය හා ද්‍ර. ජා. සංධාන එකමුතු සාකච්ඡාවකට ඉඩ නොදේ. ඔහු පවසන්නේ බටහිර ක්‍රිස්‌තියානි රටවල සහාය ලබා උතුරේ ඊලාමය පිහිටුවීමට ද්‍ර. ජා. සංධානය විමුක්‌ති ව්‍යාපාරයක්‌ සේ ක්‍රියා කළ යුතු බවය.

සති දෙකකට පමණ පෙර, මේ රටට පැමිණ ගිය, ඇමරිකානු නඩු අධ්‍යක්‍ෂ රැප්ට, රදගුරු රායප්පු ජෝශප් මහරු (ගල් පැලෙන) බොරු දෙකක්‌ පවසා තිබුණි.

ශ්‍රී ලංකා හමුදාව තම ළමයින් මර්දනය කිරීමට රසායනික අවි භාවිතා කළ බවය. ශ්‍රී ලංකා හමුදාව උතුරේ රෝහල්වලට බෝම්බ හෙළුE බවය. (දිවයින 2014.01.10) තමා එසේ නොපැවසූ බවට මන්නාරම රදගුරු තවමත් ප්‍රකාශයක්‌ කර නැත. මැල්කම් කාදිනල් රංජිත් හිමි, සිය මාධ්‍ය ප්‍රකාශක ජෝශප් බෙනඩික්‌ පියනම මගින්, වහා රටට දන්වා සිටියේ, මන්නාරම් රදගුරු ගේ එකී බොරු ප්‍රකාශවලට තමන් එකඟ නැති බවය. ඒවා මෙරට කතෝලික සභාවේ මත නොවන බවත්ය.

රසායනික අවි හා රෝහල් බෝම්බ පිළිබඳ උතුරු රදගුරු ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව හමුදා මාධ්‍ය ප්‍රකාශකද ඒ සමගම පවසා සිටියේය. රදගුරු රායප්පු ජෝශප් මෙන්aම මන්නාරමේ කතෝලික පූජකවරුන්ද ගත වු නත්තල් සමයේ මහවිරු දිනය සමරා තිබුණි, මන්නාරමේ කොටි නායක කතෝලිකයෙකුගේ නමින් අන්තර් සමාජයීය පාපන්දු තරගයක්‌ පවත්වන මුවාවෙනි.

මන්නාරමේ කතෝලික පූජකවරු මියගිය කොටි නායකයන්ගේ ඡායාරූප රැගත් පෙළපාලියක්‌ ද පවත්වා තිබුණහ.

රටක කතෝලික සභාවක ප්‍රධාන ලක්‍ෂණ, කොළඹ හිටපු අගදරගුරු, විශ්‍රාමික ඔස්‌වල්ඩ් ගෝමිස්‌ හිමි සිය මහෝපදේශය" ග්‍රන්ථයේ සඳහන් කරයි. කිතු දහමේ, ලෞකික පරිපාලන ව්‍යහය, කතෝලික සභාව, නමින් හැඳින්වේ. එහි කුල, ගෝත්‍ර, භාෂා භේද නැත. එය හිමි එහි සියලුම සාමාජිකයනට ය. සාමාජික සියල්ලන් එහි සම අයිතිකරුවන්ය. 

කිතු හිමි, සිය දර්ශනයෙන් අපේක්‍ෂා කළේ, සියල්ලන් දෙවිවරු සේ සහෝදරත්වයෙන් ක්‍රියාත්මක, දේව රාජ්‍යයක්‌ ලෝකයේ බිහිකරන්නටය. ප්‍රසාද ස්‌තාපනය නම් වු සක්‍රමේන්තුව ලබා ගත් අයට පමණක්‌ කතෝලික සභා සාමාජිකත්වය හිමිය. ඒ සාමාජිකයනට දේව දරුකම හිමි වේ. එහි සාමාජික දේව දරුවන් (ගිහි, පැවිදි, පූජක, රදගු=රු කාදිනල්, පාප්) කිසිවෙකු, සංවිධානයේ කුමන තරාතිරමක සිටියත්, අනෙකෙකුට වඩා උසස්‌ හෝ පහත් නොවේ. ඔවුන් සියල්ලන් දෙවියන් වහන්සේ ඉදිරියේ එක සමානය. ඔවුනතර ඇත්තේ සම සමාජයකි.

කතෝලික සභා සාමාජික දේව දරුවන්, ඉවසිලිවන්තය. කරුණාවන්තය. ප්‍රේමනීයය. අනෙකුකට ඊර්ෂ්‍යා නො කරන්නේය. තමන් පාරට්‌ටු කර නොගන්නේය. උඩඟු නොවන්නේය. තම සහෝදරයනට එරෙහි නොවන්නේය.

ඔවුහු, සාධාරණය, සංසුන්ය. දේව බලයෙන් ශක්‌තිමත් ය. ඔවුහු කළ යුතු නොකළ යුතු දේ දනිති. යුක්‌තිය හා අයුක්‌තිය හඳුනති. දේව බලය සතු නිසා නොසැලෙති.

රටක කතෝලික සභා පදනම උසුලන ප්‍රධාන ආධාරක කුලුනු හතරකි. ඒකත්වය, ශුද්ධත්වය, සාධාරණත්වය හා අපෝස්‌තලීකත්වයයි. ලොව බොහෝ දෙනාගේ පිළිගැනීම අනුව කතෝලික සමාජයේ බලගතුම ආධාරක කුලුන, සාමාජික සියල්ලන් අතර පවතින ඒකත්වයය.

සාමාජික සියල්ලන් ක්‍රිස්‌තු දැක්‌ම පිළිගෙන, විශ්වාස කර, එකම පිළිවෙත්වලට සහභාගි වෙමින්, ඒක නායකත්වයක්‌ යටතේ එක්‌සත්ව, එක්‌ සංගයක්‌ව ක්‍රියා කිරීම, කතෝලික සභාවේ ඒ ඒකත්ව ලක්‍ෂණය ය. රටේ අර්බුදය හමුවේ දැන් දැන් ශ්‍රී ලංකා කතෝලික සභාවේ ලෞකික ඒකත්වය බිඳී යමින් තිබේ. රටේ අර්බුදය සභා අර්බුදයක්‌ බවට ද පත් වෙමින් තිබේ.

මන්නාරමේ රදගුරුවරයාට මුලින් වුවමනා වී තිබුණේ රටට පෙර කතෝලික සභාව භාෂා මාධ්‍ය අනුව දෙකට බෙදා ගන්නටය. ඉන් පසු ඒ සාධකය ද නිමිති කරගෙන රට දෙකඩ කර ගන්නටය. මෙරට ද්‍රවිඩ රදගුරුවරු (යාපනය, මන්නාරම, - මඩකලපු, ත්‍රිමලය) දැන් වර්ෂ ගණනාවක සිට කොළඹින් බිඳුණු අගරදගුරු පදවියක්‌ යාපනයට ඉල්ලන්නේය. මේ කුඩා රටට අවශ්‍ය එක්‌ අගරදගුරු පදවියක්‌ පමණක්‌ බව වතිකානු කතෝලික නායක මතයයි.

මැල්කම් කාදිනල් රංජිත් හිමි හා වතිකානු අතර පවතින දැඩි පරිපාලන සබඳතා නිසා ඒ වෑයම අද යටගොස්‌ ය.

මේ වන විට ජර්මනියට වී අනාගත ද්‍රවිඩ ඊලමට අරමුදල් එකතු කරන, යාපනයේ හිටපු පූජක එස්‌. ෙ-. එම්මානුවෙල් විසිවසරකට පමණ පෙර, රාත්‍රියක අම්පිටිය ජාතික දෙව්සත්හලට පිවිස, එහි සිංහල පූජක සිසුන් හා එකට පුහුණු වු ද්‍රවිඩ පූජකාපේක්‍ෂකයන් යාපනයට කැන්දන් ගියේය. එහි වෙනම ද්‍රවිඩ දෙව් සත්හලක්‌ පිහිටු වූයේය. ඊට පෙර මෙරට පැවතියේ එක්‌ ජාතික දෙව්සත්හලක්‌ පමණි. (මහනුවර - අම්පිටියේ)

මේ වන විට රායප්පු ජෝශප් රදගුරු නායකත්වය ගෙන සිටින්නේ පළමුව කතෝලික සභාව නොව රට දෙකට බෙදා ගන්නටය.

ජිනීවා මානව හිමිකම් සමුළුවේ දී යුරෝපා ක්‍රිස්‌තියානි රටවල් අපේ රටට එරෙහි වන තැනට කටයුතු සම්පාදනය කරන්නට මන්නාරම රදගුරුවරයාද දැන් ක්‍රියා කරමින් සිටින්නේ ඒ හෙයිනි. උතුරු අවුලට විසඳුම් සොයන, සර්ව පක්‌ෂික පාර්ලිමේන්තු කමිටුවට ද්‍ර.ජා. සංධානය නොයවන්නටත්, රජය සමග සංහිඳියා සාකච්ඡාවලට සූදානම් ආනන්ද සංගිරී වැනි ද්‍රවිඩ නායකයන් ද්‍ර. ජා. සංධානයෙන් ඉවත් කරවන්නටත් රායප්පු ජෝශප් රදගුරුවරයා හීන් නූලෙන් ක්‍රියා කරමින් සිටින්නේ ඒ හෙයිනි.

ඉඩම් හා පොලිස්‌ බලතල සහිතව, උතුරු නැගෙනහිර දෙපළාත් එක්‌කර වෙන් කර නොදෙන්නේ නම්, රජය හා සාකච්ඡාවලට නොයන ලෙස රායප්පු ජෝශප් රදගුරු ප්‍රමුඛ උතුරේ ආගමික නායකයන් ද්‍ර. ජා. සංධානයට බලකර සිටී. (රාවය 2011.12.25)

" මා කිසිදාක වෙනම රටක්‌ සඳහා පෙනී සිට නැතැයි" රායප්පු ජෝශප් රදගුරු "ඥානාර්ථ ප්‍රදීප" කර්තෘ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියනමට වරක්‌ පවසා තිබුණි. (2007.01.04) සර්ව පක්‍ෂික කමිටු ප්‍රායෝගික නැතැයි එහි පවසන රායප්පු ජෝශප් රදගුරු එල්ටීටීඊ සංවිධානය යුදමය ලෙස දුර්වල කළ යුතුය යන්න තමා නොපිළිගන්නා බවද එහි දී පවසා තිබුණි.

ඉහත ෙ-දයේ මුල් සඳහන හා රායප්පු ජෝශප් රදගුරුගේ අද ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම පටහැනිය. අද මන්නාරම රදගුරු ඉල්ලන්නේ උතුරට ස්‌වයං පාලනයකි. කතෝලික සභාව එම ඉල්ලීමට සපුරාම විරුද්ධය. 

උතුරු නැගෙනහිරට එක්‌සත් ජාතීන්ගේ සාම හමුදාවක්‌ ඉල්ලා සිටි රායප්පු ජෝශප් රදගුරු (2006.06.17 තිනකුරල්) ද්‍රවිඩ ජනතාවට හිරිහැර නොකරන්නැයි මහින්ද රාජපක්‍ෂට දන්වන ලෙස, හිටපු 16 බෙනඩික්‌ පාප්වරයාගෙන් (වීරකේසරී - 2006.06.19) ඉල්ලා සිටියේය.

මහින්ද රාජපක්‍ෂ ජනපති ද්‍රවිඩ ජනතාවට හිරිහැර කළේ කොතැන කවදාද?

ප්‍රභාකරන් සිංහල ජනතාවට කළ මහාපරාධ රායප්පු ජෝශප් රදගුරු අදත් නොදකී.

මුස්‌ලිම් ජනතාව පැය විසිහතරක්‌ තුළ, උතුරෙන් පලවා හරිද්දී, සිංහල ගම්මාන විනාශ කරද්දී, සිංහල ගැබිනියන්ගේ උදර පවා පෙති ගසද්දී, කැබිතිගොල්ලෑවේ හා අරන්තලා සිද්ධියේදී සිංහල ජනතාවට හිරිහැර නොකරන්නැයි, රායප්පු ජෝශප් රදගුරු, ප්‍රභාකරන්ගෙන් ඉල්ලා සිටියේ නැත. පාප්තුමාට ඒ වංහුං දන්වා යෑවුවේද නැත.

තිස්‌ වසරක්‌ තිස්‌සේ උතුරේ ත්‍රස්‌තවාදීන් මැඬලීම සඳහා රජයේ හමුදා ක්‍රියාකරද්දී, ශ්‍රී ලංකා කතෝලික සභා ක්‍රියාකාරකම්, රටට පෙනුණේ ද්‍රවිඩ ජනතාවට අනුකම්පා දක්‌වන ආකාරයෙනි. ඒ සමයේ සමහර සිංහල කතෝලික පූජකවරු පැවසූවේ ප්‍රභාකරන්ට සමාව දිය යුතු බවය.

ඇණ ගැසුම් කා, කුරුස ගසේ එල්ලී සිටියදී, තමාට එරෙහිව ක්‍රියා කළ වුනට සමාව දෙන ලෙස කිතු හිමි පැවසු බව ඇත්තය. එහෙත් ඒ හිමි එසේ පැවසූවේ තමාට එරෙහිව ඔවුන් ක්‍රියා කළේ නොදැන බව හොඳාකාරවම දැනගෙනය. ප්‍රභාකරන්, අරන්තලාවේ භික්‌ෂූන් ඝාතනය කළේ, කැබිතිගොල්ලෑවේ පාසල් සිසු බස්‌ රිය පුපුරුවා හැරියේ කන්කසන්තුරේ සිමෙන්ති කම්හල හා මහ බැංකුව ගිනි ලෑවේ නොදැනද? දැන දැන හා වුවමනාවෙන් අපරාධ කරන්නන්ට සමාව දෙන ලෙස කිතු හිමි කිසිදා පවසා නැත. එහිමි පවසන්නේ අපරාධකරුවන්ගේ බෙල්ලේ ඇඹරුම් ගලක්‌ එල්ලා මුහුදේ ගැඹුරුම තැනට හෙළන ලෙසය. යළි කිසිදා ජීවතුන් අතරට පැමිණීමට නොහැකි වන ලෙසය.

උතුරු පළාත් සභා මැතිවරණයට පෙර ද්‍රවිඩ දේශපාලකයන් අතර පවතින මතභේද තුනී කළේත්, විග්නේශ්වරන් විනිසුරු උතුරු දේශපාලනයට කැඳවන්නට ක්‍රියා කළේත් රායප්පු ජෝශප් රදගුරු ප්‍රමුඛ යාපනයේ අන්තර් ආගමික සංවිධානයයි. කතෝලික, ක්‍රිස්‌තියානි, මෙතෝදිස්‌ත, ඉන්දීය ක්‍රිස්‌තියානි හා හින්දු ආගමික නායකයෝ එහි වෙති.

ඒ බව 2013.09.29 ඥානාර්ථ ප්‍රදීපයට රායප්පු ජෝශප් රදගුරු හෙළිකර තිබුණි.

සිය අරමුණ වූ ප්‍රභාකරන්ගේ දේශපාලන ඉලක්‌කය දිනා ගැනීම සඳහා රායප්පු ජෝශප් රදගුරු අද ක්‍රියා කරන්නේ වෛරයෙනි. කෝපයෙනි. අසල්වැසියාට ප්‍රේම කිරීමේ දේව ධර්මයට එරෙහිවය.

කොතැන වුවත් ඔබ කවුරු වුවත් ඔබ මගේ සහෝදරයාය යන ක්‍රිස්‌තු දැක්‌ම ඔහු අනුගමනය නොකරයි. එහෙත් ඔහු තවමත් ක්‍රිස්‌තු ශ්‍රාවකයෙකු ලෙස ලෝගුධාරීව පෙනී සිටී.

රායප්පු ජෝශප් රදගුරු 2012 දී පැවසූවේ ද්‍ර. ජා. සංධානය උතුරු පළාත් සභා මැතිවරණයට තරග නොකළ යුතු බවය. එසේ තරග කළහොත් 13 සංශෝධනයෙන් ඔබ්බට ගොස්‌ දෙමළ නිජ බිම දිනා ගත නොහැකි වෙන බවය.

එහෙත් 2013 ඔහු කළේ කුමක්‌ද?

හමුදාව සාමාන්‍ය ද්‍රවිඩ ජනතාවට දැක්‌වූ ගැඹුරු ප්‍රේමයේ කිතුනුකම රායප්පු ජෝශප් රදගුරුට වැටහී නැත.

ප්‍රභාකරන් විසින් කොටුකරගෙන සිටි ද්‍රවිඩ ජනතාව වැළ නොකැඩී හමුදා බිම් කොටසට ආ අවස්‌ථාව, හමුදා භටයන් ඔවුන් උස්‌සා වැළඳ ගෙන දරුවන් ඇකයට ගෙන සිය වතුර ටික හා බත් ටික දුන් හැටි, කුඩා දරුවන් ජලයෙන් බේරා ගත් හැටි, මහලු මවුපියන් මෙ තෙරට පිවිසුවා ගත් හැටි, ගැබිනි මවුවරුන් බදා වැළඳ ප්‍රවේශමෙන් ඔසොවා ගෙනැවිත් ප්‍රතිකාර කළ හැටි ඔවුන් ඉතාම වැඩි පිරිස බෞද්ධාගමික සෙබළ සෙබළියෝය.

මගේ මතය නම් ඒ හමුදා සෙබළ සෙබළියන් ද දේව දරුවන් බවය. සාමාන්‍ය අහිංසක ද්‍රවිඩ යන්ගේ ගැලවුම්කාරයන් වුයේ ඔවුහුය.

රායප්පු ජෝශප් රදගුරුගේ අද උත්සාහ දරන්නේ හමුදාවේ ඒ ගැලවුම්කාර දේව දරුවන් දඟගෙයි ලන්නටය. තම ජනතාවට ආරක්‍ෂාව ලබා දී ගලවා ගත් වරදටය.

රායප්පු ජෝශප් රදගුරු ඒ ක්‍රියාකලාපයට තමන් එකහෙළාම එකඟ නැතැයි මැල්කම් කාදිනල් රංජිත් හිමි, දැනටමත් රටට ප්‍රකාශ කර තිබීම කතෝලික ජනතාවගේ ප්‍රසාදයටත් බෞද්ධ ජනතාවගේ අස්‌වැසිල්ලටත් හේතු වී තිබේ.

ජන. 20-26 සති අග, අරලියගහ මැදුරට ගිය මැල්කම් කාදිනල් රංජිත් හිමිට ඒ පිළිබඳව මහින්ද රාජපක්‍ෂ ජනපති විසින් ස්‌තූති කරන්නට ඇතිවා නිසැකය.

අප පෙන්වා දෙන කාරණයේදී මැල්කම් කාදිනල් රංජිත් හිමි එබඳු ස්‌ථාවරයක සිටියත්, රජයේ හමුදා, උතුරේ ජනතාව, ප්‍රභාකරන්ගේ දෲඩ හස්‌තයෙන් මුදවා ගැනීම ප්‍රභාකරන්ගේ මානව අයිතීන් උල්ලංඝනයකැයි ලෝකයට ප්‍රකාශ කරන පුජකවරු හා ගිහියොත් සිටිති.

ඉන්දියාවට පවා අකීකරුව, තම උන්මාද ඊලම බිහිකර ගන්නට වළි කෑ ලේ පිපාසිත රුදුරු ප්‍රභාකරන්ගේ සාතන් චරිතයට සුදුහුණු තවරන සමහර කතෝලික පුජකයනට හා ගිහියන්ට මැල්කම් කාදිනල් රංජිත් හිමි දුබලයෙකි. රායප්පු ජෝශප් රදගුරු ක්‍රිස්‌තු පුනරාවතාරයකි.

රායප්පු ජෝශප් රදගුරු ප්‍රමුඛ උතුරේ ආගමික නායක අවධානයට යොමු විය යුතු ජාතික කාරණා කීපයක්‌ ඇති බව අපේ වැටහීමය.

රටේ බහුතර සිංහල බෞද්ධ ජනතාවගේ සිත් දිනා නොගෙන උතුරු ඉල්ලීම් දිනාගත හැකිද?

රටේ මහ ආණ්‌ඩුවේ පාලනයෙන් තොර තවත් කුඩා ආණ්‌ඩුවක්‌ දකුණු ඉන්දියාවට සමීපව පිහිටුවීමට ඉන්දීය මහ ආණ්‌ඩුව ඉඩ දෙනු ඇත්ද?

ප්‍රචණ්‌ඩත්වයෙන් රටේ මහ ආණ්‌ඩුව පලවා හැරීමට මේ රට, ජ. වි. පෙ. ටවත් ඉඩ දුන්නේ නැත.

රජය ඒකීය ආණ්‌ඩු ක්‍රමයක්‌ යටතේ සිය ප්‍රදේශවල යම් යම් සංවර්ධන බලතල, ද්‍රවිඩ ජනතාව අතට දෙනවාට මෙරට සිංහල බෞද්ධ හා සිංහල කතෝලික ජනතාව විරුද්ධ නැත.

එහෙත් රට දෙකඩ කරනවාට ඔවුන් විරුද්ධය.

කිතු හිමි සිදුවීම් ඉදිරියේ අහක බලාගෙන සිටි තැනැත්තෙකු නොවේ. නිහඬව හඬනගන්නන් නිහඬ කළ තැනැත්තෙකු ද නොවේ.

කිතුහිමි හරහා ලෝකයට බිහි වු සමාජ සංස්‌කෘතික දැක්‌මක්‌ තිබේ.

එය ඉඳුරාම අසාධාරණයට විරුද්ධය

අයුක්‌තියට එරෙහිය

බොරු සාක්‌ෂි දීමට හා 

ඝාතනයට සපුරාම එරෙහිය, සපුරාම එරෙහිය

එය පක්‍ෂපාත සත්‍යයටම ය, සත්‍යයටමය. 

ඒ සංස්‌කෘතිය පැවති යුත්තේ, කතෝලික දෙව්මැඳුරු - වත්පිළිවෙත් සුරුවම් - මංගල්ල - පෙරහැරවල නොවේ. සභා සාමාජික ජීවිතවලය.

සතුරාට පවා ප්‍රේම කරන, උදාරත්වයට ජීවිතයෙන් සාක්‍ෂි දරන කිතුනුවන් මෙරටට ඕනෑ කරැති බව මැල්කම් කාදිනල් රංජිත් හිමි 2010.01.17 ඥානාර්ථ ප්‍රදීපයෙන් රටට හෙළි කර තිබුණි.

මට ප්‍රශ්නයක්‌ තිබේ.

රායප්පු ජෝශප් රදගුරු, කාදිනල් හිමි අපේක්‍ෂා කරන මට්‌ටමේ කිතුනුවෙක්‌ද? අපූරුව හෙතෙම...... ගිහියෙක්‌ද පූජකවරයෙකු ද නොව...... රදගුරුවරයෙකු වීමය.

උතුරු පළාත් සභා මැතිවරණ අන්තිම සතියේ රායප්පු ජෝශප් රදගුරු සිය වසමේ පූජකවරුන්ගේ දේශනා මගින් ද්‍ර. ජා. සංධානයට ඡන්දය දෙන ලෙස මන්නාරම් වාසීන්ගෙන් ඉල්ලා සිටි බව, ධීවර නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න හෙළි කළේය. ( 7 වෙනි පැය 2013.12.13 ස්‌වාධීන රූපවාහිනිය)

වී. ආනන්දසංගරී මහතා 2013.11.03 දිවයින ඉරිදා සංග්‍රහයට රායප්පු ජෝශප් රදගුරු හඳුන්වා දී තිබුණේ කොටි බිෂොප් ලෙසය.

සිරිල් එඬේරමුල්ල
http://www.divaina.com/2014/02/02/feature13.html

වැලි මැස්සීගෙන් බෝ වන අලුත් භයානක වසංගත රෝගයක්‌...!

ලොව පුරා ජනතාව මිලියන ගණනාවකට වැළඳී ඇති භයානක වසංගතයක්‌ මේ වන විට අපේ රටේ විවිධ ප්‍රදේශවල ව්‍යාප්ත වෙමින් පවතී. මුල් කාලීනව සුව කළ හැකි මට්‌ටමේ පැවතුණද පසුකාලීනව අසාධ්‍ය තත්ත්වයන්ට පත්වීමෙන් මරණය පවා සිදුවීමට හැකි බව වෛද්‍ය අංශ පැවසීම මෙම වසංගතයේ ඇති භයානක තත්ත්වයයි.

තවමත් අප රට තුළ මෙවැනි රෝගීන් සුළු වශයෙන් වාර්තාවීමද, හරියාකාරව රෝගය හඳුනා ගැනීමේ අපහසුවද භයානක මට්‌ටමට නොපැමිණීමද යන කරුණු නිසා රෝගය ගැන විශේෂ අවධානයක්‌ නැත. එහෙත් ලෝක සෞඛ්‍ය වෛද්‍ය අංශවල අවධානය දැන් කෙමෙන් කෙමෙන් මෙම වසංගතය කෙරෙහි යොමුවෙමින් පවතී.

වෛද්‍ය සොයා ගැනීම්වල අනුව මෙම රෝගය පතුරුවා හැරීමට මුල් වන්නේ කුඩා සත්වයෙකි. ඝර්ම කලාපීය රටවල, වැලි කාන්තාරවල මේ සත්වයා වෙසෙයි. ඝර්ම කලාපීය රටක්‌ වන අප දිවයිනේද වියළි පෙදෙස්‌වල වැලි අතරේ මේ සත්වයා වෙසෙයි. නමින් ඌ වැලි මැස්‌සාය. (SAND FLY) වැලි මැස්‌සාගේ ගැහැණු සතා වැලි මැස්‌සිය, මිනිසාගේ සිරුරේ සම විද රුධිරය උරා බොන අවස්‌ථාවේදී, මැස්‌සිගේ සිරුරේ සිටින පරපෝෂිත කොටස්‌ මිනිසාගේ රුධිරයට මුසුවෙයි. එම පරපෝෂිතයන් මුල් අවස්‌ථාවේදී සිරුරේ සම ආසාදනය කරමින් සම මත ඇතැම් විට අඟල් කිහිපයක්‌ දිගැති පළලැති හා තරමක්‌ ගැඹුරැති තුවාල ඇති කරයි. රත් පැහැති ගැටිත්තක්‌ ඇතිව අවතල ගැඹුරු තුවාලයෙන් පසු අවස්‌ථාවේදී සැරව ගැලීමට පටන් ගනී. මෙම තුවාල ඇති අවස්‌ථාවක නිරෝගී වැලි මැස්‌සියක රුධිරය උරා බීමෙන් වැලි මැස්‌සිය රෝග වාහකයෙක්‌ බවට පත්වෙයි. (රෝග වාහිකාවක්‌) මෙසේ දිගින් දිගටම රෝගය පැතිරීමේ අවදානම දැඩි වෙයි.

"ලීස්‌මනයිසිස්‌ (LEISHMANIASIS) නමින් හැඳින්වෙන මෙම රෝගය පරපෝෂිත ආසාදනයකින් පැතිරෙන රෝගයක්‌ ලෙස ලොව පුරා අද අප රටේ වෛද්‍යවරුද හඳුනාගෙන සිටිති. පොදුවේ බොහෝ රටවල මෙම රෝගයේ කියුටේනියස්‌ ලිස්‌මනයිසිස්‌ තත්ත්වය (CUTANEOUS LEISHMANIASIS) පවතී.

එකී රෝගී තත්ත්වයට ලොවපුරා මිනිසුන් ගැහැණුන් අලුත් රෝගීන් වශයෙන් වසරකට මිලියන 1 ක්‌ 2 ක්‌ අතරේ පිරිසක්‌ ගොදුරු වන බව ඇසීම ඔබ තිගස්‌සවන්නට පුලුවන. සැබවින්ම භයානක තත්ත්වය එයද නොවේ.

මෙම කියුටේනියස්‌ ලිස්‌මනයිසිස්‌ රෝගී තත්ත්වයට ප්‍රතිකාර කර නොගැනීමෙන් රෝගය නිසි ලෙස හඳුනා නොගැනීමෙන් සැළකිල්ලක්‌ නොදැක්‌වීමෙන් දිගුකල් පැවැතීමෙන් සිරුරේ මතුපිට තුවාල වල සිටි පරපෝෂිතයන් පිළිලයක්‌ මෙන් සිරුර අභ්‍යන්තරයට කඩා වදින්නට පටන් ගනී. මෙම අවස්‌ථාව (VISCERAL LEISHMANIASIS) වයිසරල් ලිස්‌මනයිසිස්‌ නමින් හැඳින්වේ. පරපෝෂිතයන් සිරුර අභ්‍යන්තර ඉන්ද්‍රියයන් හානි කරමින් විශේෂයෙන් ප්ලිහාව, අක්‌මාව ආසාදනය කිරීම නිසා ඒවා ඉදිමී දුබල තත්ත්වයට පත්වෙයි. මෙම අවස්‌ථාව මරණීය මට්‌ටමේ වන නිසා වෛද්‍යවරුන්ට රෝගියාගේ දිවි ගලවා ගැනීම සඳහා බරපතල සටනක්‌ කිරීමට සිදුවෙයි. අවසන් ජය පරපෝෂිතයනටය.

මෙකී අවගමනක තත්ත්වය කරා එනම් වයිසරල් ලීස්‌මනයිසිස්‌ තත්ත්වයට ලොව පුරා සෑම වසරකම ලක්‍ෂ පහක ජනතාව එක්‌වෙමින් පවතින බව සංඛ්‍යා ලේඛන කරුණු පෙන්වයි. දැන් ඔබ තිගැස්‌සෙන්නේ කවර අවස්‌ථාවටද? ඔබට තව දුරටත් මෙහි භයානකත්වය පෙන්වාදීමට අප සූදානම්ය.

විවිධ ප්‍රදේශ වලින් ද මේ රෝගය ගැන තොරතුරු ලැබී තිබේ. මේ වන විට ආණමඩුවේ මහඋස්‌වැව ප්‍රදේශයෙන් මෙවැනි රෝගීන් පස්‌දෙනකු (05) සොයා හඳුනාගෙන ඇති බව ආණමඩුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී ඩී. ඩබ්. එන්. එන්. කුමාරි මහත්මිය අප සමග පැවසුවාය. පුත්තලම දිස්‌ත්‍රික්‌ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයාද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයාද මේ රෝගය හා ව්‍යාප්තිය මැඬලීමටත් රෝගීන්ට ප්‍රතිකාර කිරීමටත් අවධානය යොමු කොට සිටිති. එකම පවුලේ පස්‌දෙනකුට රෝගය වැළඳී ඇත. රෝග තත්ත්වය අනුව ඔවුන්ගේ සිරුර පුරා තැන් තැන් වල මෙම තුවාල දක්‌නට ඇත. මැස්‌සිය සපා කෑමෙන්ද, ඇතැම් විට මිනිසුන්ගෙන්ද බෝවිය හැකි බැවින් මෙම තුවාල කඩිනමින් සුවපත් කර ගැනීම අත්‍යවශ්‍ය වෙයි.


මේ පිළිබඳව වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් හිටපු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි හා පශ්චාද් වෛද්‍ය උපාධි පුහුණුධාරි වෛද්‍ය ඩේමියන්ද සිල්වා මහතා පවසන්නේ මෙකී රෝගී තත්ත්වය සිරිලකට අලුත් රෝගයක්‌ බවයි. කෙසේ නමුත් මෙම තුවාල සඳහා ප්‍රතිකාර ඇති බවත් මුල්ම අවස්‌ථාවලදී මේවා සුවපත් කළ හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පවසයි. ගැමියන් සමේ ඇතිවන සුළු තුවාල ගැන වැඩි සැළකිල්ලක්‌ දක්‌වන්නේ නෑ. සමහරුන් සිතන්නේ කුෂ්ඨයක්‌ දදයක්‌ හෝ කඩුවේගන් වැනි දෙයක්‌ බවයි. ඇත්තටම මෙය සම මතුපිට ඇති පිළිලයක්‌. පිළිකාවක්‌ වගේ. ඕනෑකමක්‌ දක්‌වා ඉක්‌මණින් සුවපත් කර නොගත හොත් සිරුරැති ඇතුළට කා වදිනවා. එවිට තරමක්‌ සුවපත් කිරීම අසීරුයි. මුඛය මුහුණ ආශ්‍රිතවද මෙම තුවාල ඇති වනවා. සුව වූ පසුව කලු පැහැ කැළල් ලෙස දිස්‌වෙනවා ඔහු කීය.

"අප රටට ආධුනික මේ රෝගය කෙලෙසද මේ රට තැනින් තැන පැතිරෙන්නේ...? යයි අප ඇසූ පැනයට වෛද්‍ය ඩේමියන් මහතා මෙසේ පිළිතුරු දුන්නේය.

ඔව්, අප රට වෛද්‍යවරු මේ නව රෝගී ව්‍යාප්තිය කෙරෙහි දැඩි විමසිල්ලෙන් විමර්ශනශීලිව සිටිමින් අදාළ සියලු මර්දන තත්ත්වයක්‌ සිදු කරනවා.

ඉන්දියාව, බංග්ලාදේශ්, නේපාලය, සුඩානය, බ්‍රසීලය හා මැද පෙරදිග මෙම රෝගය තිබෙනවා. අප රටේ උදවිය රැකියා සඳහාද වන්දනා චාරිකා සඳහාද වෙනත් කටයුතු සඳහා මෙම රටවලට යනවා. එහිදී රෝගය ඇති වෙනවා. අප රටට පැමිණි පසු අප රටේ වැලි අතර සිටින වැලි මැස්‌සා (මැස්‌සිය) සපා කෑමෙන් හා එම මැස්‌සිය තව අයකුගේ ලේ උරා බීමේදී මෙම පරපෝෂිතයන් හුවමාරු වී රෝගය ව්‍යාප්ත වනවා. තුවාල හටගත් අය කඩිනමින් තුවාල සුවපත් කර ගැනීමෙන් මෙම රෝග ව්‍යාප්තිය නතර කිරීමට හැකියි.

දැනට අප රටේ මුන්දලම හා දකුණ ප්‍රදේශයේ ස්‌ථාන කීපයකින්ද රෝග ආසාදිතයන් දෙසීයකට ආසන්න පිරිසක්‌ හඳුනාගෙන තිබෙනවා. තවත් සිටීමටත් පුලුවන්. මේ රෝගය එකවර හඳුනාගන්නේ නැහැ. සිතන්නේ සමේ සාමාන්‍ය ආසාදනයක්‌ කියලයි. නමුත් දිනෙන් දින තුවාලය වැඩි දියුණු වන විට රෝගියා වෛද්‍යවරුන් සොයා පැමිණෙනවා. සමහරුන් එසේ කරන්නේත් නැහැ. සුව කළ නොහැකි මට්‌ටමට පැමිණි පසු මරණීය තත්ත්වයක්‌ ඇති විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදී තිබෙනවා.

අප රටට තවමත් ආගන්තුක වූ මේ නව රෝගය පිළිබඳව සෞඛ්‍ය බලධාරීන්ගේ නිලධාරීන්ගේ අවධානය මෙන්ම මැඬලීම් ක්‍රියාවලින්ද අත්‍යා වශ්‍ය වෙයි. මන්ද රෝග වාහකයා වන වැලි මැස්‌සන් අප රටේ වියළි පෙදෙස්‌වල වැලි අතරේ වාසය කිරීමත් දිනෙන් දින මෙම රෝග බහුලව පවත්නා ඉන්දියාව, බංගලිදේශය, නේපාලය, මැද පෙරදිග රටවලට ගොස්‌ ආසාදිත වන පුද්ගලයන් නිරතුරුවම පැමිණෙන නිසාත්ය.

නියපොත්තෙන් කැඩිය යුතු දේ පොරවෙන් කපා දැමීමට බලා නොසිට මෙම රෝගය මුල සිටම මැඬලීමට ඊට ඇවැසි උපදෙස්‌ ජනතාවට ලබාදීමට සෞඛ්‍ය අංශ උත්සුවක විය යුතුයි. හීන් සීරුවේ පැමිණ සෙමින් සෙමින් සිරුරේ ලැග්ගී අවසන සිරුරු ඉන්ද්‍රියයන් අඩපණ කොට මිනිසුන් සදහටම සතපවන මේ නව වසංගත රෝගයත් ඉක්‌මනින් අප ජනතාවගෙන් ඉවත් කළ යුතු වෙයි. නැතිනම් දැනටමත් අප ජනතාව බෝවන බෝනොවන රෝග පීඩාදියෙන් හෙම්බත් වී සිටියදී මෙයත් "කොරේ පිටට මරේ" වනු ඇත.

ටෙරන්ස්‌ වනිගසිංහ
http://www.divaina.com/2014/02/02/feature11.html

ගැස්‌ට්‍රයිටිස්‌ නොසාදන අපේ ආහාර

නූතනත්වයට ගොදුරු වූ සමාජයේ වැරදි ආහාර රටාවන් නිසා සෑම දෙනාම පෙළන රෝගයක්‌ වන්නේ ගැස්‌ට්‍රයිටිස්‌ය. මෙම රෝගය කොතරම් බහුලදැයි කිවහොත් එම රෝගයෙන් නොපෙළීම අඩුවක්‌ සේ දකින අයද සමාජයේ සිටිති. "මට ගෑස්‌" "මට ගැස්‌ටි්‍රක්‌" මෙම රෝගය වැරදියට වහරන්නෝද සමාජයේ බහුලව වෙසෙති. 

ගැස්‌ට්‍රයිටිස්‌ රෝගයේදී සිදුවන්නේ ආමාශයේ ඇතුළත ආස්‌තරණය ( Gastric Mucosa ) ප්‍රදාහමය තත්ත්වයකට භාජන වීමයි. මෙය ආමාශයට ශ්‍රාවය වන හයිඩ්‍රොක්‌ලෝරික්‌ අම්ලයේ සැර වැඩිවීමෙන්ද ආමාශය එයින් ආරක්‌ෂා කරන ශ්ලේෂ්මල ශ්‍රාවයන්ගේ දුර්වලවීමෙන්ද ඇතැම්විට ඒ දෙකෙන්මද සිදු විය හැකිය. එමෙන්ම ආහාර පාන වල ඇති මිරිස්‌ වැනි බාහිර සැර කාරකයක්‌ ( Irritant ) මගින්ද සිදු විය හැකිය. 

ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය මාරාන්තික නොවූවත් එය රෝගියා ඉමහත් කායික මානසික අපහසුතාවකට සහ වි`දවීමකට භාජන කරන රෝගයකි.

මෙහි රෝග ලක්‌ෂණ වන්නේ බඩේ දැවිල්ල, බඩ පුරවා දැමීම, ආහාර අරුචිය, බඩේ කැක්‌කුම, පපුව දාගෙන උගුරට ඒම, ඔක්‌කාරය ආදියයි. මෙම අපහසුතාවන් නිසා ඇතැම්විට අප්‍රාණික ගතිය ක්‌ලාන්තය කැරකිල්ල ආදී රෝග ලක්‌ෂණද ඇතිවිය හැකිය. ගැස්‌ට්‍රයිටිස්‌ රෝගීන් මස්‌පිඬු වේදනාවෙන් සහ අතේ පයේ රුදාවලින් පෙළෙන අවස්‌ථාද හමුවිම සුලබය. ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය ඇතිකිරීමට සහ උත්සන්න කිරීමට මනසද තීරණාත්මක ලෙස බලපායි.

ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය ස`දහා ඖෂධ කාණ්‌ඩ කිහිපයක්‌ භාවිත කළද ඒවායින් ප්‍රශස්‌ත ප්‍රතිඵල ලබාගැනීමට නම් නිසි ආහාර පිළිවෙත් පිළිපැදීම අනිවාර්යයෙන්ම සිදු විය යුතුය. ගැස්‌ට්‍රයිටිස්‌ කුමන හේතුවක්‌ මූලික කොටගෙන හටගත්තද එයට ප්‍රතිකාර කිරීමේදී නිසි ආහාර පිළිවෙත්වලට අනුගත නොවුවහොත් යහපත් ප්‍රතිඵල නොලැබේ. 

අද බොහෝ දෙනා තමන්ගේ ප්‍රධාන ආහාර බවට පත්කරගෙන ඇති පාන්පිටි කෑම, කිරිපිටි, ක්‌ෂණික කෘත්‍රිම ආහාර පාන, තෙල් අධික කෑම සහ මිරිස්‌ අධික කෑම ගැස්‌ට්‍රයිටිස්‌ ඇතිකිරීමේ සහ උත්සන්න කිරීමේ ප්‍රධාන වගඋත්තරකරුවන්ය. සුදුකිරි ගැස්‌ට්‍රයිටිස්‌ වලට හො`ද යෑයි කියා ගැස්‌ට්‍රයිටිස්‌ රෝගීන් වැඩි වැඩියෙන් කිරිපිටි බී තවත් ලෙඩරෝග සාදාගත්තද කිරි බී ගැස්‌ට්‍රයිටිස්‌ හො`දකරගත් කෙනෙක්‌ නම් අපට හමුවන්නේ නැත.

රෝල්ස්‌ වැනි ගැඹුරු තෙලෙන් බැදි, මිරිස්‌ ගම්මිරිස්‌ද අධික ලෙස යෙදූ පාන්පිටි කෑම ආහාරයට ගතහොත් ගැස්‌ට්‍රයිටිස්‌ ඇතිවීම සහ වැඩිවීම නියතය. නමුත් "මට ගෑස්‌, මට ගෑස්‌" කියමින් නිතර මැසිsවිලි නඟන්නන්ගේ ප්‍රධාන ආහාර වී ඇත්තේද එවැනි කෑම වර්ගයන්ය. 

අවදි වූ විගස කිරිපිටි දියකර බොන, උදේ ආහාරය ලෙස පාන් කන, කෙටි ආහාර ලෙස රෝල්ස්‌ කට්‌ලට්‌ වැනි දේවල්ම කන, පැණි බීම බොන දවසේ ඉතුරු හරියද කිරිපිටි පාන්පිටි ආහාර සහ කෘත්‍රිම ආහාරවලින් ගෙවා දමන අයට ගැස්‌ට්‍රයිටිස්‌ ඇතිවීම ගැන පුදුම විය යුතු නැත. පුදුම විය යුත්තේ එවන් විෂම ආහාර රටාවකට ගොදුරු වී තිබෙද්දීත් ගැස්‌ට්‍රයිටිස්‌ ඇති නොවූ වොත්ය. 

ප්‍රධාන ආහාරය ලෙස තුන් වේලටම බත් ආහාරයට ගැනීම ගැස්‌ට්‍රයිටිස්‌ වළක්‌වා ගැනීමට ඇති හො`දම ක්‍රමයයි උදේට හීල් බත් ආහාරයට ගැනීම ගැස්‌ට්‍රයිටිස්‌ වලට විශේෂයෙන්ම ගුණදායකය. බත් ආහාරයට ගැනීමේදීද තෙල් අධික, මිරිස්‌ අධික දේවල් සමග ආහාරයට නොගැනීමට ප්‍රවේශම් විය යුතුය. අධික ලෙස මිරිස්‌ යෙදූ පොල් සම්බෝල, මස්‌ හොදි ආදියද මිරිස්‌ යෙදූ බැදුම් ආදියද ගැස්‌ට්‍රයිටිස්‌ රෝගීන් බත් සමග නොගත යුතු ආහාර වෙයි. 

ප්‍රධාන ආහාර වේල්වලට අමතරට කෙටිකෑම ලෙස ගැස්‌ට්‍රයිටිස්‌ රෝගීන්ටද ප්‍රශ්නයකින් තොරව භාවිත කළ හැකි ඉතාම ගුණදායක ආහාර රාශියක්‌ අපට ඇත. පොදුවේ සළකතොත් හාල්පිටි, කුරහන්පිටිවලින් සාදාගන්නා හුමාලයෙන් තම්බාගන්නා ආහාර ගැස්‌ට්‍රයිටිස්‌ වලට ගුණදායකය. හැලප, වණ්‌ඩුආප්ප, වැලිතලප, ගොටුපිට්‌ටු, ලැවරිය කුරහන් පිට්‌ටු ආදිය ඒවාට නිදසුන්ය. හාල්පිටිවලින් සාදාගන්නා තාච්චියේ පුච්චාගන්නා, වැඩිපුර පිපුම් කාරක නොයදූ පැණිආප්ප සුදුආප්ප ආදියද ගැස්‌ට්‍රයිටිස්‌ වලට ගුණදායකය. හාල්පිටි සහ උ`එ`දු පිටි මිශ්‍රකිරීමෙන් සකසා ගන්නා තෝසෙ ද එවැනිම මිශ්‍රණයකින් සකසා ගන්නා ඉට්‌ලිද ගැස්‌ට්‍රයිටිස්‌ රෝගීන්ට සුදුසුය. 


හැලප, පැණිආප්ප, වණ්‌ඩුආප්ප, වැලිතලප, ගොටුපිට්‌ටු, ලැවරිය ආදියේ ඇති පැණි රසයෙන් ලබාදෙන මෘදු ගුණය ගැස්‌ට්‍රයිටිස්‌ රෝගීන්ට හිතකරය. එහෙත් බර වැඩි ගැස්‌ට්‍රයිටිස්‌ රෝගීන්ට සහ දියවැඩියාවෙන් පෙළෙන ගැස්‌ට්‍රයිටිස්‌ රෝගීන්ට පැණිරස අධික වශයෙන් භාවිතකිරීම සුදුසු නැත. සුදු සීනි වෙනුවට එම ආහාරවලට පැණිරස ලබාදීම ස`දහා කිතුල්පැණි, පොල්පැණි, මී පැණි, බඹර පැණි, ආදිය වඩා හිතකරය. 

ගැස්‌ට්‍රයිටිස්‌ රෝගයෙන් පෙළෙන බර වැඩි සහ තරබාරු අයට බර අඩුකර ගැනීමට ආහාර පාලනයක්‌ කරන්නට යෝජනා කළ විගසම ඔවුන් අපෙන් විමසන්නේ "ඩොක්‌ටර් කෑම අඩු කළහම ගැස්‌ට්‍රයිටිස්‌ වැඩි වෙන්නේ නැද්ද" කියාය. නමුත් බර අඩු කර ගැනීමට අප යෝජනා කරන ආහාර වැඩපිළිවෙළ පිළිපදින අයට ගැස්‌ට්‍රයිටිsස්‌ සුව වීමක්‌ මිස වැඩි වීමක්‌ නම් වන්නේ නැති බව පෙන්වා දිය යුතුමය.

අප බර අඩු කර ගැනීම ස`දහා යෝජනා කරන්නේ තෙල් සහ මේදය අවම තන්තු අධික ජලයද වැඩිපුර පානය කරන ක්‌ෂණික කෘත්‍රිම ආහාරවලින්ද තොර ආහාර පාන රටාවකි. එය ගැස්‌ට්‍රයිටිස්‌ රෝගීන්ටද එලෙසම අදාළ වන අතර ඔවුන් අමතරව කළ යුත්තේ මිරිස්‌ ගම්මිරිස්‌ ආදී සැරකාරක භාවිතය අවම කිරීම පමණි. එසේම එවන් ආහාර රටාවක්‌ තුළින් ක්‍රමානුකූලව බර අඩු කර ගැනීමේදී බර අඩුවීම නිසාද ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය සුව වේ. 

ගැස්‌ට්‍රයිටිස්‌ සුවකරගන්නට යෑයි කියා නිතර නිතර වැඩි වැඩියෙන් ආහාර ගන්නා තරබාරු සහ බර වැඩි අයට සිදු වන්නේ ගැස්‌ට්‍රයිටිස්‌ සුව කරගන්නට නොව උත්සන්න කරගන්නටය. එයට හේතුව එසේ ආහාර ගැනීම තුළ ශරීරයේ එකතුවන කැලරි ප්‍රමාණයෙන් ඔවුන් තවදුරටත් තරබාරු තත්ත්වයට පත් වීමයි. තරබාරු බව වැඩි වීම යනු අනිවාර්යයෙන්ම ගැස්‌ට්‍රයිටිස්‌ද වැඩි වීමයි. එපමණක්‌ නොව දියවැඩියාව ඇතුළු තවත් භයානක ලෙඩරෝග රාශියකට පාර කපා ගැනීමයි. 

වෛද්‍ය පාලිත සමන් ජයකොඩි
http://www.divaina.com/2014/02/02/feature10.html

නිදහස්‌ කෞතුකාගාරයක ස්‌ථාන ගත කළයුතු වීර කැප්පෙටිපොළ හිස්‌කබල

අප මාතෘ භූමිය වසර 443 ක්‌ පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ජාතීන්ගේ යටත් විජිතයක්‌ව පැවැති වකවානුව තුළ නිදහස උදාකර ලීමට වෙරදුන් දේශප්‍රේමීන් රැසක්‌ සිටිති. ඒ අතුරින් මොනරවිල කැප්පෙටිපොළ නිළමේ ජනතාව ඉදිරියේ ජාතික වීරයකු බවට පත්විය. එපමණක්‌ම නොව හෘද සාක්‍ෂියට අනුව මරණය ඉදිරියේ නොසැලී සැදැහැවත් බෞද්ධයකු ලෙසට උපේක්‍ෂාවෙන් යුතුව ශාන්තව හේ මරණය පිළි ගත්තේය. එලෙස මොනරවිල කැප්පෙටිපොළ ජාතික වීරයකු ලෙසට පත් වූයේ අදින් වසර 196 කට පෙරාතුවය. එනම් 1818 නොවැම්බර් 26 වන දින කන්ද උඩරට බෝගම්බර වදකාගාරයේදී වදකයා ඉදිරියේ තම බෙල්ල දංගෙඩිය මත තබා මාරයාට අභියෝග කළ දාය. මේ විරුවා එක්‌ වරක්‌ මරු පරදවා, දෙවනුව අභීත ලෙස මරණයට පත්විය. එක පහරින් බෙල්ල ගසා දැමීමට නොහැකි වු කල්හි උණු ලේ ධාරාවක්‌ පපු පෙදෙසින් ගලා යද්දී මෙම වීරයා වදකයා දෙසට තම දෙනෙත් හෙළා " බල බෙල්ලේ මෙතැනට ගසවයි" කියා තම දඹරැඟිල්ල දිගු කොට කඩු පහර එල්ල කළ යුතු නියම ස්‌ථානය පෙන්වීය. එසේ මරණයට පත් වූයේද මෙවැනි ප්‍රකාශයක්‌ කරමිනි.

"අන්‍ය ජාතියකට යටත්ව, නිවටව නියාලුව ජීවත්වීමට වඩා ජාතික නිදහස උදෙසා ඔවුන් සමග යුද වැද අන්තිමේදී නොවහල් මිනිසෙකු කඩුවට ගෙලදී ජාතිය වෙනුවෙන් තම ජීවිතය පූජා කරන්නට ලැබීම මට මහත් සතුටකි." යන්නය.

එසේ මරණයට පත් වීමට හේතු සාධක වූයේ 1815 මාර්තු 02 වන දින උඩරට ගිවිසුම (ඉංගී්‍රසි - සිංහල) අත්සන් කිරීම නිසා ඇති වූ තත්ත්වයන්හි බලපෑ කරුණුය. සිංහල රදළවරු එම ගිවිසුමට අත්සන් කළේ ඉංග්‍රීසින්ට රට පාවා දෙන්නට නොව සිංහල ජාතියත්, බුද්ධ ශාසනයත් ද්‍රවිඩ ත්‍රස්‌තවාදයෙන් බේරා ගැනීමටය. මෙහිදී කැප්පෙටිපොළ නිළමේතුමා උඩරට ගිවිසුමට අත්සන් තබා ඇත්තේ සිංහල භාෂාවෙනි. ඉංග්‍රීසින් විසින් ගිවිසුමට පටහැනිව ක්‍රියා කිරීම නිසා වෙල්ලස්‌සේ වැසියෝ රජයට විරුද්ධව නැගී සිටියහ. භික්‌ෂූන් වහන්සේලාගේ අනුශාසනා මත දොරේසාමි නම් ව්‍යාජ නමකින් පෙනී සිටි අයෙකු රජතුමා වශයෙන් ඔවුහු සම්මත කර ගත්හ.

මෙම පුවතින් තැතිගත් ඌව උප දිසාපති ලෙස සේවය කළ විල්සන් 1817 සැප්තැම්බර් 10 වන දින හ-ජි මුහන්දිරම් ඇතුළු භට කණ්‌ඩායමක්‌ වෙල්ලස්‌ස බලා පිටත් කර යෑවීය. කැරළි කරුවන් විසින් ඔවුන් මරා දැමීම නිසා විල්සන් සේනාවක්‌ රැගෙන වෙල්ලස්‌ස බලා පිටත්ව ගියේය. කැරැළිකරුවන්ගේ ඊ පහරකින් ඔහු මරු මුවට පත් විය. මෙයින් ප්‍රකෝපයට පත් කන්ද උඩරට භාරව සිටි මැක්‌ඩොනල්ඩ් ඌව වැසියන්ගේ ගොවිතැන් විනාශ කරන්නටත් ගම්මාන ගිනි තබන්නටත් නියෝග කළේය. එහෙත් මැක්‌ඩොනල්ඩ්ගේ නියෝගවලින් වැඩක්‌ නොවූ අතර කැප්පෙටිපොළ ඌවේ දිසාපති ලෙස පත්කොට ආයුධ සන්නද්ධව වෙල්ලස්‌ස බලා පිටත් කර යෑවීය.

නොසිතූ දෙයක්‌ම සිදුවේය යන්න සනාථ කිරීමට මෙන් ඉංගී්‍රසි ජාතින්ගේ ම්ලේච්ඡ ක්‍රියා ගැන කළකිරුණු කැප්පෙටිපොළ දිසාව සිංහලයින්ගේ පැත්ත ගත්තේය. එසේම දළදා වහන්සේ රහසිගත ලෙස මහනුවරින් පිටකර එය කැරැළිකරුවන්ට හිමි වීමෙන් පසු හඟුරන්කෙත රජ මාළිගා භූමියේදී පැවැත්වූ දළදා ප්‍රදර්ශනයේදී රැස්‌ව සිටි දහස්‌ සංඛ්‍යාත ජනතාව අමතා ජාතිවාත්සල්‍යය දනවන වේගවත් කතාවක්‌ කැප්පෙටිපොළ නිළමේ පැවැත් වු අතර විශාල ජනකායකගේ සහය ලැබී ඇත. මෙයින් සිංහලයින්ගේ නිදහස්‌ සටනට එතුමා ලබාදුන් අසහාය නායකත්වය මනාව පිළිබිඹු වේ. එතුමා සටනට එක්‌ වූ වහාම මුළු ඌව පෙදෙසම ඉංග්‍රීසින්ට විරුද්ධව එක හඬින් නැගී සිටියහ. මෙහි ප්‍රතිඵලයක්‌ වශයෙන් 1818 පෙබරවාරි 21 වන විට මුළු කන්ද උඩරට පුරාම "මාර්ෂල් ලෝ" MANSHAL LAW) නම් වූ යුද්ධ නීතිය පනවනු ලැබීය.

ජාතික අනුරාගයෙනුත් කිතිකැවුණ හදවතක්‌ ඇතිව සිටි කැප්පෙටිපොළ දිසාව රාජ ද්‍රෝහියකු බවට පත් වුයේ මේ ආකාරයෙනි.

ඉංග්‍රීසි රජයට විරුද්ධව කැරැළි ගැසීමත්, කැරැළිගැසීමට පෙළඹ වීමත් නිසා කැප්පෙටිපොළ සිර භාරයට ගැනීමට රොබට්‌ බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරයා විසින් 1818 මාර්තු 13 වන දින රාජාඥාවක්‌ නිකුත් කරන ලදී. 

ඒ අනුව 1818 ඔක්‌තෝම්බර 25 වෙනිදා අළුයම 4.00 ට පමණ ලෙප්ටිනන්ට්‌ ඕනිල් විසින් මෙහෙයවන ලද 30 දෙනෙකුගෙන් යුත් ඉංග්‍රිසි භට කණ්‌ඩායමක්‌ පුලියම්කුලම් සිට නුවර කලාවියේ පරවනගම බලා පිටත්ව ගොස්‌ සිටි කැප්පෙටිපොළ නිළමේ අත්අඩංගුවට ගත්තේය. ඒ මුස්‌ලිම් ජාතිකයකුගේ ඔත්තුවක්‌ මතය. තෙදිනක්‌ ගත වෙද්දී අනිත් නායකයා වූ මඩුගල්ලේ ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නා ලදී.

එයින් පසු ආරක්‍ෂක රැකවරණය මත 1818 නොවැම්බර් 04 වන දින මහනුවරට පිරිස ගෙන එනු ලැබීය. නිත්‍යානුකූලව පිහිටුවනු ලැබූ මහා රජාණන්ගේ ආණ්‌ඩුව පෙරළීමේ අදහසින් යුද්ධ ඇති කිරීමේ චෝදනාව උඩ කැප්පෙටිපොළ නිළමේ තුමන්ට එරෙහිව නොවැම්බර් 13 වෙනිදා යුද්ධාධිකරණයේ සභාපති ලෙස කටයුතු කළ ලෙෂටිනන්ට්‌ ආර්. කෙලී විසින් මරණීය දණ්‌ඩයට නියම කරනු ලැබීය. 1818 නොවැම්බර් 26 වන දින බෝගම්බර වැව සමීපයේ වදකාගාරයේදී හිස ගසා දැමීමටත් වැඩි දුරටත් එහිදී නියම කෙරිණි. කැප්පෙටිපොළ නිළමේ කඩුවට ගෙල පෑවේ ලෝක ඉතිහාසයේ සඳහන් වීර පුරුෂයන් කිහිප දෙනෙකු සිය අවසාන මොහොතේ දී පෑ විශ්මය ජනක ආත්ම ශක්‌තියක්‌ විදහා පාමිනි. ඒ නිසාම අසාමාන්‍ය ගුණ සමුදායකින් යුත් මේ ජනනායකයාගේ හිස්‌ කබල ජොන් මාර්ෂල් වෛද්‍යවරයා විසින් එංගලන්තයට ගෙන ගොස්‌ එඩින්බරෝහි කාපාලවස්‌තු පර්යේෂණාගාරයේ තැන්පත් කරන ලදී. එහිදී මේ හිස්‌කබල විද්‍යාඥයන්ගේ විශේෂ පර්යේෂණයකට භාජනය කරන ලදී. එහි පර්යේෂණ වාර්තාවේ මෙසේ සඳහන්ව ඇත.

"මේ හිස්‌ කබල වනාහි උස්‌ව නැගී ගිය හීන් මුදුන සහිත දික්‌ හිසක්‌ ඇති පුද්ගලයෙකු සතු වූවකි. පැත්තක සිට බලන කල ප්‍රකටව නෙරා ගිය කාපාල පාර්ශව සහිත මෙහි හැඩහුරු පඤ්ව කෝණාකාරවේ. මේ නෙරා ගිය පාර්ශයන්හි සිට හිස්‌ කබලේ පැති තද බෑවුම් සහිත බවක්‌ගනී. හිස්‌කබලින් පෙනෙන ගණ්‌ඩයේ වර්ධනය ගැන සලකන කල්හි බැසගත හැකි නිගමනය නම් සැලකිය යුතු තරම් දැඩි ශ්‍රීවයක්‌ තිබුණ බවයි.

පරිමාණුකූලව සලකන කල්හි උස්‌ව ඇස්‌ කෙවෙණි සහිත මුහුණ දිගටිය. හකු හඹ ඉදිරියට නෙරා ආ ලෙසක්‌ දක්‌වයි. නාසා ඇටවල් ආකාරය අනුව ජීවත්වන්නහුගේ නාසය කෙටිවද පැතැලිවද තිබුණ බව අනුමාන කළ හැකිය.

ලන්ඩන් නුවර සත්ත්ව විද්‍යා සංගමයේ හිල්තුමාගේ වාර්තාවක්‌ අනුව කාපාලයෙහි මුල මනුෂ්‍යාන්ත යයි සාමාන්‍යයෙන් සැලකිය හැකි ලක්‍ෂණ ඇත්තේය. බොහෝ වැඩි අවස්‌ථාවලදී මිනිස්‌ හිස්‌ කබලවලින් දැක්‌වෙන මුල මනුෂ්‍යන්ත ලක්‍ෂණ ස්‌ථීර නිගමනයක්‌ බැසගත නොහැකි වන හෙයින් "මුල මනුෂ්‍යාන්ත ලක්‍ෂණ ලොකු ප්‍රමාණයක්‌" උඩරට සිංහලයන් යෑයි මෙහිදී අවධාරණය කළ හැක්‌කේය. උඩරට සිංහලයන් අතර අසමාන්‍ය නොවන අංශයක්‌ වන වැදි ලේ සෑහෙන ප්‍රමාණයක්‌ හිස්‌කබල හිමියා සතුව පැවැතියේය. යන දොස්‌තර හිල්ගේ ප්‍රකාශය සඳහා හේතු සාධක කරගත් මේ කරුණ සමහරවිට යුක්‌ති සහගත විය හැකිය" යන්නය.

මේ ඓතිහාසික හිස්‌ කබල හිමි තැනැත්තා ලෝකයේ අතිශයින් විරල " රණ ශූරයකු" බව හිල් වෛද්‍යවරයා මෙසේ අනාවරණය කරන ලද්දේය. මේ ඓතිහාසික හිස්‌ කබල ග්ලෝස්‌ටර් ආදිපාදවරයා විසින් 1948 දී ලංකාවට ආපසු බාර දෙන ලදුව 1954 නොවැම්බර් 26 වන දින මහනුවර මහා මළුවේ විශේෂ ස්‌මාරකයක තැන්පත් කරන ලද්දේය. කෑගල්ල 66 වැනි නිදහස්‌ උළෙල සැමරීමේදී අදිටන් කළ යුතු දෙයක්‌ ඇත. ඒ අදින් වසර 60 කට පෙරාතුව මහනුවර මහා මළුවේ ස්‌මාරකයක තැන්පත් කර ඇති ජාතික වීරවරයකුගේ එකම ජීවමාන වස්‌තුව මොනරවිල කැප්පෙටිපොළ හිස්‌ කබල වේ.

ශ්‍රී ලාංකික සියලු ජනතාව ජාතික දර්ශනයක්‌ පිළිබඳව යොමුව ඇති මොහොතක තම රට, ජාතිය ආගම හා නිදහස වෙනුවෙන් අභීතව සටන් කර දිවිපිදූ වීර කැප්පෙටිපොළ රණවිරුවාගේ හිස්‌ කබල විරාභිවාදනය දන්නා සිංහලයන් විසින් සිංහල වීර නාමාවලියේ අග්‍රගණ්‍ය ස්‌ථානයක තබා ප්‍රතාස්‌මරණය කළ යුතුව ඇත. ඒ සඳහා කළ යුතු වන්නේ මහනුවර මහ මළුවේ ස්‌මාරකයෙන් හිස්‌ කබල ඉවතට ගෙන සංරක්‍ෂණය කර කොළඹ නිදහස්‌ අනුස්‌මරණ කෞතුකාගාරයේ තැන්පත් කර මහජනතාවට ප්‍රදර්ශනය සඳහා ඉඩ සැලසීමයි. එවිට එය ජාතික වීරවරයන්ගේ නියම නිදහස්‌ අනුස්‌මරණ කෞතුකාගාරය බවට පත් වනු නියතය. එය කළ හැක්‌කේ රාජ්‍යත්වයේ විශේෂ නියෝගයක්‌ මත පමණි.

http://www.divaina.com/2014/02/02/feature06.html

සබැඳි ලිපි -
[
යටත් විජිතයක ස්වදෙශිකයන් ඉදිරියේ පර සුද්දන් භීතියෙන් ඇලලුනු, පාවාදීම් නිසා පැරදුනු, සිංහලේ ප්‍රථම විමුක්ති අරගලයේ මහවිරුවන්ගේ අවසන් සමයhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_4572.htmlරටින් පිටුවහල් කළ ජාතික වීරයන් 28 දෙනකුට උපහාරhttp://denethharinna.blogspot.com/2013/11/28.htmlමහ විරු මොනරවිල කැප්පෙටිපොල 195 වැනි ගුණසමරුව අදhttp://denethharinna.blogspot.com/2013/11/195.htmlතුන් සිංහලයේ ශ්‍රේෂ්ඨත්වය මතුකළ වීර මොණරවිල කැප්පෙටිපොළ මහ නිලමේhttp://denethharinna.blogspot.com/2012/11/blog-post_25.html
]

පුරාණ රජ සිරිතට අනුව අදත් පුද ලබන දළදා හාමුදුරුවෝ...

සිංහල බෞද්ධයෝ තවමත් ජීවමාන බුදුහු දකිති. ඒ ජයසිරි මහා හාමුදුරුවන් අභියසදී හා ශ්‍රී දළදා වහන්සේ අභියසදීය. දළදා වහන්සේ දිවමන් බුදුන්කොට සැලකීම සිංහලය අනුදත් මහා සංස්‌කෘතික සම්ප්‍රදායකි. සියලු කල්හි සිරිලක රජවරු තමා දෙවැනිකොට දළදා වහන්සේ පිදුවාහුය. සිංහලයේ රාජ්‍යත්වයේ සංකේතය වුයේ දළදා හිමියෝය. එබැවින්ම දළදාව ලංකාවට වැඩම කළ පස්‌වන සියවසේ සිටම උන්වහන්සේට පුද සත්කාර පැවැත්වීමේ සම්ප්‍රදායක්‌ ගොඩ නැගුණේය. ඒ තේවාව අදටත් පවතින්නේය.

දළදා වහන්සේව පුදනු ලබන තේවාව නැතහොත් මුළුතැන් පූජාව තුන් ආකාරයකින් වෙයි. අලුයම් මුළුතැන් පූජාව දහවල් මුළු තැන් පූජාව සහ සවස ගිලන්පස පූජාව ලෙසටය. එහෙත් එය ඉතිහාසයේ රාජ පූජාව සහ බුද්ධ පූජාව ලෙස දෙයාකාරයකින් තිබී ඇත. 

දළදා පුවත අනුව ලක්‌දිවට වැඩම වීමට ප්‍රථම ශත වර්ෂ දහයක්‌ දළදා වහන්සේ හෙවත් දකුණු අකු ධාතූන් වැඩ සිටියේ ඉන්දියාවේ කාලිංඝ දේශයේය. එහිදී දළදා වහන්සේ වෙනුවෙන් කරන ලද පුද පූජා පිළිබ`දව සාධක නැත. එනිසා පූජා විධි ඇතුළත් තොරතුරු සටහන්ව නැති අතරම දළදා පූජාව විෂයෙහි එවකට ඉන්දියානු සම්ප්‍රදායක්‌ පැවති බවටද සාක්‌ෂි නැත. 

එහෙත් ඉන්දියානු සම්ප්‍රදායට අනුව රාජෝත්තමයෙකුට රජ මාලිගාවකදී සේවා සැපයීම නැතහොත් රජුට ආවතේව කිරීම තේවාව ලෙස හ`දුන්වා ඇත.

තේවාව අති උත්කර්ෂවත් අතිශය පිරිසිදුවත් අතිශය සුව`දවත් අතිශය ප්‍රණිතවත් සිදු කරන්නක්‌ බවද ඓතිහාසික ලිපි ලේඛන සනාථ කරයි. තේවෛයි යන දමිළ වචනය සෙ වා යන සංස්‌කෘත භාෂාවෙන් බි`දී ආවක්‌ බවද එහි මුඛ්‍ය අරුත සේවා සැපයීම ලෙසද සඳහන් වේ. තේවෛයි හෙළ බසට අනුගතව (තේවා රි සේවා) තේවාව ලෙස ජන වහරට එකතු වී තිබේ. 

දාඨාවංශයේ සදහන් පරිදි කාලිංඝ රජුන් සිය පෞද්ගලික ධන වස්‌තුවක්‌ සේ දළදාව ආරක්‌ෂා කලද සිංහලයේ රජුන් දළදාව ආරක්‌ෂා කළේ රාජ්‍යත්වය රට ධර්මය ආරක්‌ෂා කිරීම දෙවැනි කොට සලකාය. රජු එකල දළදාව බුදුන් සේ සලකා ඊට තමන්ට හිමි පුද සත්කාර ඊටත් වැඩි ප්‍රාභාවත් සහ උසස්‌ බවකින් ඉටු කළේය. එහෙයින් බුදු මැඳුරක ආවතේවයන්ට වැඩි ගාම්භීර බුද්ධාලම්භන හැ`ගීම් ජනිත කරවන සෙයක්‌ සිරි දළදා මැඳුරෙහි තේවාවෙන් දිස්‌ විය. 

ඒ හැරුණු කොට අමුතු මුළු තැන් පූජාව හෙවත් හීල් දානය දවල් දානය හා ගිලන්පස පූජාව නම් රාජභෝජන සංග්‍රහයම බව දාඨා වංශයේ සදහන් වේ. ඒ අනුව හීල් දානය හෙවත් අලුයම් තේවාව ස`දහා දැහැටි කූරු ස`දුන්පැන් තුවා අටපිරිකර බුමුතුරුණු සහිතව බත් පාත්‍රා තුනක්‌ පැන් පාත්‍රා එකක්‌ ව්‍යංජන සහ පලතුරු ද පූජා කෙරේ.

දහවල් දානය හෙවත් ඉර මුදුන් තේවාව ස`දහා හාල් සේරු දහසයක්‌ සහිතව බත් පාත්‍රා හතක්‌ නිලි හොද්ද සහිතව ව්‍යංජන තිස්‌ දෙකක්‌ පනස්‌ පස්‌ කැවිලි සහිතව පළතුරු අතුරුපස සහ පැන් පාත්‍රාවක්‌, වෑවර හෝ තැඹිලි පාත්‍රාවක්‌ පූජා කෙරේ.

නිලි හොද්ද යනු පොල් කිරි සමග රතු ලූණු උම්බලකඩ අමු මිරිස්‌ කරපිංචා කොල කපා දිය ලුණු සමග එක්‌ කර ගැනීමයි. මෙය රත් නොකරන්නේ කාය ශක්‌තිය වැඩීමට ඉවහල් වන සංඝටක මෙම සංයෝගයේ ඇති බැවිනි. නිලි සිරුරේ නිල පෝෂණය කිරීම සේ ස`දහන්ය. වත්මන නිලි හොද්ද පූජා කිරීමෙන් නිරෝගි සම්පත ලැබේය යන්න විශ්වාස කෙරේ.

දළදා පූජාවේ හවස ගිලන් පූජාව රජුන්ගේ සවස පැන් පූජාව ලෙස දැක්‌වේ. එහෙයින් ගිලන්පස ස`දහා එළගිතෙල් බෝතල් කාලක්‌ , මී පැණි බෝතල් කාලක්‌, සීනි රාත්තල් තුනකුත් කාලක්‌, සූකිරි රාත්තල් 2ක්‌, හකුරු මුල් 01ක්‌, මුද්දරප්පලම් රාත්තල් කාලක්‌ , ඉ`ගුරු දෝසි රාත්තල් භාගයක්‌ , පැණි දොඩම් 06 , අඹ 06, අන්නාසි 01, අමු ඉ`ගුරු රාත්තල් භාගයක්‌, උක්‌ පැණි බෝතල් කාලක්‌, යන්තම් උණු කළ ඇල් තෙලිඡ්ජ බෝතල් කාලක්‌ ලෙස පූජා කර ඇත. වත්මනද මෙපරිද්දෙන් පූජා පවත්වනු ඇතිය යන්න විශ්වාස කෙරේ. 

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කල තේවාව උදෙසා පිරිවර කොටස්‌ දෙකක්‌ ඉ`ද ඇත. එය තේවා කට්‌ටලය ලෙස හැඳින්වේ. ඊට දිය වඩන නිළමේ, කාරිය කරන කෝරාළ, මුලගිනා, ගබඩාකරු, අගු රාළ, ගෙපල් රාළ, කත්ති රාළ, හක්‌ගෙඩි අප්පු, මුළුතැන් රාළ, මුළුතැන් මුරකරු, නැකැත් මෙහොට්‌ටාල ආදී තේවා පිරිවර සේනාවක්‌ වේ. ඔවුහු රාජ අණ පරිදි සිය සේවා සපයන්නේ බැති සිතිනි.

මුලගිනා යනු රාජකීය මුළුතැන්ගෙයිහි ප්‍රධානියාය. ආහාර පාන සැපයීම සැකසීම ඇතුළු සියල්ල නිසි පරිදි ඉටු වේද යන්න වගකීම ඔහු සතුය. මුළුතැන් රාළ මුළුතැන්ගෙයි ආහාර සැකසීමේ, මැන බැලීම ආදී දේ පිළිබ`ද වගකීම දරයි. පෙර කළ රාජ මාළිගයෙන් ඔහුට වැටුප් ලැබෙන්නේ හාල් සේරු දහසයක්‌ ලෙසිනි. මුළුතැන් පූජාවට මසකට සහල් හම්බා හැත්තෑ නවයකි. මාලිගාවේ ගබඩා නැළි දහසක්‌ හම්බා එකකි. හම්බා එකක්‌ යනු අයෙකුට වරකට ගෙන යා හැකි වී හෝ හාල් බර ප්‍රමාණයයි. ඊට ගම් දහයක පිරිවර සූදානම්ව සිටියහ. කළුගමුව, රදාගොඩ, පීළිගල්ල, අලපලාවල, අලදෙණිය, කිතුල්පේ ,මුංවතුගොඩ, අංගොඩ, ඒද`ඩුවාව, පිටිගොඩ, රජුට හම්බා ගෙන ගිය පිරිවර විසු ගම්ය.

මුළුතැන්ගෙයි කලමණා පිළිබ`ද ආරක්‌ෂාව දැරූයේ ගබඩාකරුය. එවකට ඊට සහායට මුරකරුවන් හය දෙනෙක්‌ සිටියහ. වත්මනේ එක්‌ අයෙකි.

මුළුතැන් රාළගේ ආහාර පිසීමෙන් පසුව අගු රාළගේ සේවය ඇරඹේ. රජුට ඉතා විශ්වාසවන්ත අයෙකු වන අගු රාළ සිංහළ පැයකට කලින් (පැය භාගයකට) පිසූ අහරවල රස බලයි. තවත් සිංහළ පැයකට පසුව ආහාර පිණිස රජුට ආරාධනා කරයි. එහෙත් දළදා පූජාවේදී අගු රාළගේ වගකීමක්‌ නැත. එහෙත් පෙර කළ මෙන් තේවා කට්‌ටලයේ සියලු නිළදරයෝ මුඛවාඩම් බැ`ද සුදු පිරුවට හැ`ද දොඩමළු නොවී ආහාර පිස පිළිගැන්විය යුතුය. නමුත් වත්මන දළදා මාලිගාවේ එපරිද්දෙන්ම කටයුතු කරනු ඇත්ද? පෙර කළ රජුන් පිරිවර පිටත සිටුවා දළදා ගෙට වැද බිම ඇමද අත් සෝදා රන් මලින් පුද අරහාදී බුදු ගුණ ගයා මුළු තැන් පුජාව හිස්‌ මුදුනේ තබා ගෙනවුත් පුජා කළ බව වාර්තා වේ. රජුට ස්‌තුති ගීතිකා රචනා කර ගැයූ කවිකාර මඩුව පසු කාලීනව බුදුගුණ ගයමින් හේවිසි හ`ඩ නගමින් තේවාව අවසන් වන තෙක්‌ ශබ්ද පුජා කළ බව ඉතිහාසයේ සදහන් වේ. එකල ඒ ස`දහාද කටයුතු කළ සියල්ලෝ මුඛවාඩම් බැඳ සිටි බව ස`දහන්ය. බුදු පුදට බ`දුන් ගෙන යන කල උඩු වියන්, සේසත් සහිතව පූජාව ගෙන ගිය අතර කිසිවෙකුත් දනක්‌ හෝ නොනමා නැගී සිට ගෞරවයෙන් සිට ඇත. 

මුළු තැන් පූජාව ස`දහා කැකුළු හාල් සේරු පහක්‌, තම්බපු හාල් සේරු 32ක්‌ ව්‍යංජන 32ක්‌ ස`දහා එළවළු, පොල් ගෙඩි 15 ක්‌, පොල් තෙල් සේරු 02ක්‌, පැණි බෝතල් 03 ක්‌, ලුණු සේරු භාගයක්‌ කහ රාත්තල් කාලක්‌, රතු ළුණු රාත්තල් 01ක්‌, සුදු ළුණු රාත්තල් කාලක්‌, උම්බලකඩ රාත්තල් 01ක්‌, කොත්තමල්ලි රාත්තල් කාලක්‌, සුදුදුරු රාත්තල් කාලක්‌, මහදුරු රාත්තල් කාලක්‌, උළුහාල් රාත්තල් කාලක්‌, අබ රාත්තල් 1/8ක්‌, ගම්මිරිස්‌ රාත්තල් 1/8ක්‌, සව් හාල් රාත්තල් කාලක්‌, කෙසෙල් කොල ඉරු 05ක්‌, දර හොණ්‌ඩර 02ක්‌, කුරු`දු පොතු, දෙහි, කරපිංචා, රම්පේ, සියඹලා, ගොරක ද පිසීමට තෙවරක්‌ පෙරන ලද පැන් ද ඇඹුල් හෝ ආනමාළු කෙසෙල් ගෙඩි 10ක්‌ද සපයා තිබිය යුතුය. ඉතිහාසයේ හාස්‍යය මුසු වූ තැන් විමසීමේදී මෙම වට්‌ටෝරුව නිසි පරිදි සැපයිය නොහැකිව ඉංග්‍රීසීන් සිය බලය සහිත කාලයේදීම දළදා භාරකාරත්වය සිංහළ වරිගයාට පැවරූ බව දැක්‌වේ. ඒ අනුව දළදා පුරෝගාමිත්වය අස්‌ගිරි මල්වතු උභය විහාර සංඝයා වෙතත් දියවඩන නිළමේ වෙතත් භාර වී ඇත.

රජුගේ සේවාවට සමාන්තර ලෙස දළදා තේවාව ඇරඹි මුත් වරින් වර කලින් කල ඊට විවිධ පුද පූජා ක්‍රම ඇතුළත්ව තිබේ. දානය පිළිබ`දව විමසීමේදී දළදා පුදට ලූනු ගෙඩියක්‌ වුවද සුද්ද කිරීම මහානුභාව සම්පන්න පිංකමක්‌ බව කියවේ. වත්මන මුළු තැන් පූජාව ස`දහා කැපවී සිටින්නේ මුළු තැන් රාළලා දෙදෙනෙක්‌ හෝ තිදෙනෙකි. මුලගිනා තනතුරක්‌ දැන් නැත. එහෙත් වරු තුනම දළදා තේවාව ඉහළින්ම පැවැත්වේ. එය හොඳ හැටි දැක ගැනීමට ඉඩ කඩක්‌ නැත.

උපේක්ෂා
http://www.divaina.com/2014/02/02/feature04.html

48 නිදහස ගැන එදා පත්තර කී කතාව

ස්වදේශීය රාජ්‍ය පාලකයන් 185 දෙනකු විසින් පුරා වසර 2271 ක්‌ රාජ්‍යත්වය ඉසිළු සිංහල ද්වීපය වර්ෂ 1815 ක්‌වූ මාර්තු මස 02 වැනි දින සෙංකඩගල නුවර මඟුල් මඩුවේදී අත්සන් තබන ලද උඩරට ගිවිසුම මගින් බ්‍රිතාන්‍යයන්ට පවරා දෙන ලදී.

ඉන් පසු වසර 133 ක්‌ පුරා මෙරට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිතයක්‌ව පැවත නැවත නිදහස ලැබෙන්නේ වර්ෂ 1948 වූ පෙබරවාරි මස 04 වැනි දිනය.

එම ඓතිහාසික දින මව්බිමට උස්‌ නිදහසක අලුත් රැස්‌ කෙඳි වැටීම නිමිත්තෙන් රටම උත්සවශ්‍රීයෙන් ඇලලීගිය බවත් එම අසිරිමත් මොහොත එළැඹි තැන් සිට දින ගණනාවක්‌ මුළුල්ලේ රටම මංගල සිරියෙන් බැබලෙන්නට වූ බවත් ඉතිහාසයේ සටහන්ව ඇත. මේ සාක්‍ෂි සහිත ඉතිහාසයේ නැවත දිගහැරීම ඒ අතීත අභිනන්දනය උදෙසාය.

අද මෙන් දියුණු සන්නිවේදන පහසුකම් නොතිබූ 1940 දශකය අප ලැබූ නිදහස පිළිබඳ "ශුභ ආරංචිය" ජනතාව වෙත රැගෙන යැමට ගුවන් විදුලියට හා පුවත්පත්වලට පමණක්‌ සීමා විය. එකල ගුවන් විදුලිය සිළුමිණ, දිනමිණ, ලංකාදීප, සිලෝන්, ඔබ්සවර්¨ ඇතුළු තවත් පුවත්පත් කීපයක්‌ ඒ සඳහා විශාල ඉඩක්‌ වෙන්කළ අතර ජනතාවගේද නිදහස පිළිබඳ උනන්දුව වැඩි විය.

එම අසිරිමත් දින වාර්තා කරමින් දිනමිණ පුවත්පත තම ප්‍රධාන සිරස්‌තලය ලෙස අද පටන් ලක්‌ වැසියෝ ලෝකයේ නිදහස්‌ ජාතීන්ට සමානයි" යනුවෙන් යොදා තිබූ අතර පත්‍රයේ වම්පස ඉහළ සිංහ ධජයක සේයාරුවක්‌ද මුද්‍රණය කර තිබිණි.

එහිම උප ශීර්ෂ යටතේ පුවත් පළකරමින් "ප්‍රීතිමත් මොහොතේදී යටත් විජිත භාර මහලේකම්තුමා එවූ ශුභ ප්‍රාර්ථනාත්මක සංදේශය යනුවෙන් සටහන්කොට තිබූ අතර එහිදී යටත්විජිත භාර මහලේකම් තැන්පත් ආතර් ක්‍රිව් ජෝන්ස්‌ මහතා සඳහන් කොට ඇත්තේ මෙසේය.

අද උදැසන 7.30 ට යෙදෙන සුබ මොහොතින් කොළඹ රජවාසලේදී නායක විනිශ්චයකාරතුමා ඉදිරියේ සර් හෙන්රි මුවර්තුමා ලංකාවේ අග්‍රාණ්‌ඩුකාරවරයා ලෙස දිවුරුම් දීමෙන් මේ පිළිබඳ උත්සව කටයුතු ආරම්භ වන්නේය. මේ සිද්ධිය නිමිත්තෙන් වෙඩිමුර තැබීමක්‌ පවත්වනවා ඇත.

මුල් පිටුවේ ඡායාරූප ලෙස එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි මහාමාන්‍ය ඩී. එස්‌. සේනානායක, අග්‍රාණ්‌ඩුකාරතුමා වන සර් හෙන්රි මුවර්ස්‌, යටත් විජිතභාර මහ ලේකම් ක්‍රිව් ජෝන්ස්‌ගේ උඩුකය සහිත රූප යොදාගෙන තිබූ අතර බෙංගාලයේ හිටපු ආණ්‌ඩුකාරයෙකු වූ සර් පෙඩ්රික්‌ බරෝස්‌ මහතා විසින් එවූ සුබපැතුම් පණිවිඩයක්‌ද දිනමිණ පුවත්පතේ විය.

නිදහසට පෙර එනම් 47 දෙසැම්බර් 11 වැනි දින අප රටට නිදහස ප්‍රදානය කිරීමට බ්‍රිතාන්‍ය ගත් තීරණය "ලංකා ස්‌වාධීන පනත" පිළිබඳව එම පුවත්පත විසින්ම රට වැසියන් දැනුවත් කොට තිබූ අතර එය වාර්තා කොට තිබුණේ මේ ආකාරයටය.

දෙසැම්බර් 10 වැනිදා ලන්ඩනයේදීය

බ්‍රිතාන්‍යය පොදු රාජ්‍ය මණ්‌ඩලය තුළ ලංකාව ස්‌වාධීන ජාතියක්‌ බවට පත් කරන ලංකා ස්‌වාධීනතා පනත සාමි මන්ත්‍රී මණ්‌ඩලය විසින් අද සම්මත කරන ලදී. පසුව මේ පනත නීතිය කරන මහ රජාණන් වහන්සේගේ අනුමැතිය සවස්‌ භාගයේදී ලැබුණේය.

ලංකා ස්‌වාධීනතා පනත අන්තිමවරට තුන්වන වර කියවීමේ යෝජනාව හිටපු යටත් විජිත භාර ඇමැතිවරයා සහ අද්මිරාල්තී සභාවේ පළමු ස්‌වාමිවරයා වන හෝල් වයිකවුන්ට්‌තුමා විසින් චාරිත්‍රානුකූලව ඉදිරිපත් කරනු ලැබීය.

සාකච්ඡාවකින් හා ඡන්ද විමසීමකින් තොරව යෝජනාව සම්මත විය (රොයිටර්)

රොයිටර් පුවත් සේවය පවා උපුටා ගනිමින් මෙරට පුවත්පත් නිදහසේ උදානය පිළිබඳ ජනතාව දැනුවත් කර ඇති අතර එකල පුවත්පතක මිල වූයේ ශත 05 කි. ඉස්‌තරම් රේඩියෝවක්‌ වන ඉග්විකටා රේඩියෝවක්‌ රුපියල් 380/- ක්‌ වූ අතර එකල බොහෝ නිවෙස්‌වල ගුවන් විදුලි යන්ත්‍ර තිබී නැත.

ශ්‍රී ලංකාව නිදහස ලබන අවධියවන විට තොරතුරු දැනගැනීමේ ප්‍රධානම මාධ්‍ය ලෙස පුවත්පතට ප්‍රමුඛ තැනක්‌ හිමිව තිබී ඇත. නිදහස ලැබීමේ ප්‍රීතිය පිළිබඳ උත්සවය, පෙබරවාරි 04 වැනිදා පටන් පැවැත්වීමට නියමිත වැඩසටහන්, ආදිපාදවරයාගේ පැමිණීම, පිළිගැනීම ආදිය සියලු තතු විත්ති රටට සන්නිවේදනය කර ඇත්තේ පුවත්පත් මාර්ගයෙන්ය.

නිදහස ලබන දින ආණ්‌ඩුවේ සම්පූර්ණ නිවාඩු දිනයක්‌ බවත් එදින මුළු ලංකාවම උත්සවශ්‍රීයෙන් ඒකාලෝකවන බවත් එවකට ස්‌වදේශීය කටයුතු භාර ඇමැති කාර්යාලයේ ස්‌ථීර ලේකම් වී. කුමාරස්‌වාමි මහතා විසින් ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ මගින් රටට දැන්වූ ආකාරයත් පුවත්පත් මගින් රටට වාර්තා වාර්තා කොට තිබූ අතර පෙබරවාරි මස 04 වැනි දින ලංකාවේ සෑම පාසලකම ශිෂ්‍යයන් අතර ක්‍රීඩා උත්සව පැවැත්වීමද ඔවුන්ට ආහාරපානාදියෙන් සංග්‍ර කිරීම, අලංකාර අන්දමින් සැරසිලි කරවීමද සෑම පළාතකම ආණ්‌ඩුවේ ඒජන්තවරුන්ට නියම කොට ඇත.

එමෙන්ම ග්ලෝස්‌ටර් ආදිපාදවරයාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 10 වැනිදා පෙරවරු 10.30 ට ටොරින්ටන් චතුරස්‍රයේ ගොඩනඟන අලංකාර මන්දිරයේදී අදිපාදතුමා විසින් නිදහස්‌ පාර්ලිමේන්තුව විවෘත කරනු ලැබේ. යනුවෙන්ද එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කොට ඇත.

මේ පිළිබඳ සිලෝන් ඔබ්සවර් පුවත්පත මගින්ද විශාල ප්‍රචාරයක්‌ ලබාදී ඇති අතර මල්වතු අස්‌ගිරි මහහිමිපාණන් වහන්සේ විසින් නිකුත් කොට තිබූ ප්‍රකාශයන්ද ඊට ඇතුළත්ව ඇත.

1948 පෙබරවාරි 04 වැනි දින නිකුත්වූ සෑම පුවත්පතක්‌ විසින්ම නිදහස පිළිබඳ තොරතුරු රටට සන්නිවේදනය කර තිබූ අතර ඊට පසුදින එනම් පෙබරවාරි 05 වැනි බ්‍රහස්‌පතින්දා සියලු ඉංග්‍රීසි සිංහල පුවත්පත්වල මුල් පිටුව හැඩවී තිබුණේද අග්‍රාණ්‌ඩුකාර වරයාගේ දිවුරුම්දීමේ ඡායාරූපයක්‌ද සමගිනි.

එය දිනමිණ පුවත්පත මගින් වාර්තා කර තිබුණේ නිදහස්‌ ලංකාවේ පළමුවන අග්‍රාණ්‌ඩුකාර තුමා දිවුරුම් දීම යනුවෙන්ය. ඡායාරූපයක්‌ද සහිතව එම පුවත වාර්තාකර තිබෙන දිනමිණ එම පුවත අවසන් කර තිබුණේ.

මෙම උත්සවය සඳහා ගතවූයේ මිනිට්‌ටු දහයක්‌ පමණි. එයින් ඉක්‌බිති අග්‍රාණ්‌ඩුකාර තුමා හා පැමිණ සිටි පිරිස රජ වාසල අමුත්තන් පිළිගැනීමේ ශාලාවට ගොස්‌ පවත්වන ලද ප්‍රිය සම්භාෂණයේදී එතුමාණන් අග්‍රාමාත්‍යවරයාටද, කැබිනට්‌ මණ්‌ඩලයට හා ශ්‍රී ලංකාවටත් ශුභ ප්‍රාර්ථනා කරන ලදී යනුවෙනි.

අප ලද නිදහස පිළිබඳ ලන්ඩන් ටයිම්ස්‌ පත්‍රයේ පුවතක්‌ පළව තිබූ අතර නිදහස නිසා ජාතිභේද දුරුවෙයි යනුවෙන් එය නම් කොට තිබිණි. පෙරවාරි 05 වැනිදා බ්‍රහස්‌පතින්දා දිනමිණ පළ කර තිබූ එම පුවතත් සමඟ මුල් පිටුවේ පළවූ තවත් වැදගත්ම ලිපියක්‌ වූයේ කොළඹ නගරයම එකම මඟුල්ගෙයක්‌ වැනි වීම. දසදෙසින් නාදකරමින් ඇරඹුන නිදහස්‌ උත්සවය නමිනි. නිදහස්‌ දින කොළඹ සහ ඒ අවට පැවති වටපිටාව පිළිබඳ දීර්ඝ විස්‌තරද සහිතව පළවූ පුවත් අතර පහත සඳහන් කරුණු විශේෂත්වයක්‌ ගෙන තිබිණි.

වසර 133 කට පසුව උදාවූ නිදහස සමරනු වස්‌ රටේ දසදෙස සියලු සිද්ධස්‌ථාන ඇතුළු ආගමික ස්‌ථාන ශබ්ද පූජා පවත්වමින් මියගොස්‌ ඇති සහ දැනට ජීවත්වන සියලු නායකයන්ව සිහිපත් කොට ඇත.

රජයේ මෙන්ම පෞද්ගලික ගොඩනැඟිලි තුළ ජාතික ධජ ඔසවමින් පාර්ලිමේන්තු මන්දිරය තුළද ප්‍රථම වරට ඉංග්‍රීසි කොඩිය සමග සිංහ කොඩිය ඔසවනු දක්‌නට ලැබී ඇත. යනුවෙන් සඳහන් විය.

තවද කොළඹ වරාය, ජැටිය, රේගු ගොඩනැඟිල්ල කොටුව දුම්රියපළ ආදිය විදුලි බුබුළින් අලංකාර වී ඇත. ඉන්දීය සහ යුරෝපීය වෙළඳ සමාගම්වලට අයත් ගොඩනැඟිලි පවා සිංහ ධජවලින් සරසා ඇත.

පුවත්පත් වාර්තා මගින් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ නිදහස සමරනු පිණිස රටපුරා සෑම ගමක්‌ නගරයක්‌ පාසා විවිධ උත්සව සංවිධානය කරමින් ජනතාව ඊට සහභාගි වූ අයුරුය. මේ සඳහා වැදි ජනතාවද එක්‌ව සිටි අයුරු ඡායාරූපද සහිතව පළවී තිබුණ අතර අග්‍රාණ්‌ඩුකාරවරයා දිවුරුම් දුන් අවස්‌ථාවේ කැලණිය රජමහා විහාරස්‌ථානයේ සිදුකළ පිරිත් දේශනය ගුවන් විදුලිය මගින් රටපුරා විකාශනය කොට ඇත.

පෙබරවාරි 05 වැනි දින රොයිටර් වාර්තා උපුටා දක්‌වමින් මෙරට පුවත්පත් වාර්තා කරන්නේ රටට නිදහස උදාවීම නිමිත්තෙන් බැංකොක්‌ නුවර වාසය කරන ශ්‍රී ලාංකිකයන් එරටද උත්සවයක්‌ පවත්වමින් භික්‍ෂූන් වහන්සේ උදෙසා දානමය පිංකමක්‌ද සිදු කොට ඇති බවය.

නිදහස නිමිත්තෙන් දෙහිවල ජාතික සත්ව උද්‍යානය නොමිලේ නරඹන්නට ජනතාවට අවස්‌ථාව හිමිව ඇති අතර එදින දහවල් 11.00 පමණ වනවිටත් අටදහසක්‌ පමණ පිරිසක්‌ ඒ සඳහා සහභාගි වී ඇත.

ලංකාදීප පුවත්පත මගින්ද නිදහස්‌ දින විවිධ අවස්‌ථා ඡායාරූපද සහිතව රට වැසියාගේ දැක බලා ගැනීම පිණිස ඉදිරිපත් කොට තිබිණි. රට පුරා පැවති විවිධ උත්සව අවස්‌ථාවන්ද ඊට ඇතුළත් විය. එහි ප්‍රධාන සිරස්‌තලයන් යටතේ පළව තිබුණේ උත්සව කටයුතු වෙනුවෙන් රජය රුපියල් ලක්‍ෂ 13 ක්‌ වෙන් කර ඇති බවය.

පෙබරවාරි මස අටවන ඉරුදින ප. ව. 4.05 ට ග්ලෝස්‌ටර් ආදිපාදතුමා ඇතුළු පිරිස කටුනායක ගුවන් තොටුපළෙන් බැස විශේෂයෙන් සකසන ලද රෝල්ස්‌ රොයිස්‌ රථයකින් ජනතාවගේ පිළිගැනීම මැද රජ වාසල කරා පැමිණීම ගාලු මුවදොර පිටියේ ඒ නිමිත්තෙන් ආචාර වෙඩිමුර 21 ක්‌ පවත්වා උත්තමාචාර සිදු කිරීම විශේෂාංග ලිපියක්‌ ලෙස සකසා ලංකාදීපයේ පළකොට ඇත.

නිදහස්‌ අසිරිය විඳීම පිණිස එකල වෙළෙඳපොළ තුළ විවිධ භාණ්‌ඩ හා සේවා රැසක්‌ තිබූ අතර කෝකිල නාදේ නමින් ගීත 250 ක්‌ හා පිංතූර 50 ක්‌ අඩංගු ග්‍රැමෙෆෝන් ගී තැටියක්‌ අලෙවිය පිණිස තිබී ඇති අතර එය අලෙවි කොට ඇත්තේ රුපියල් 50 ක්‌ වැනි මිලකටය. විවිධ ප්‍රමානයේ ජාතික ධජ මුද්‍රණය කොට අලෙවිය පිණිස වෙළෙඳපොළේ තබා තිබූ අතර අඩි 1 1/2 ක්‌ උස අඩි 3 ක්‌ දිග ජාතික ධජයක්‌ අලෙවිකොට ඇත්තේ රුපියල් අටක්‌ වැනි මිලකටය.

1948.02.10 වැනි දින එළැඹි සුබ මොහොතින් ස්‌වාධීන ශ්‍රී ලංකාවේ පළමුවන පාර්ලිමේන්තුව විවෘත කිරීම ගුවන් විදුලිය මගින් රට පුරා විකාශනය කර ඇති අතර එය 11 වැනි දින සියලු පුවත්පත් මගින් රටට හෙළිකර තිබිණි. "දිනමිණ" පුවත්පත එය සඳහන් කර තිබුණේ මෙපරිද්දෙනි.

පුරාතන නිදහස්‌ ලංකාවේ රාජකීය ශ්‍රී විභූතිය ගෙනහැර දක්‌වන චාරිත්‍ර විදීන්ගෙන් යුක්‌තව ග්ලොස්‌ටර්හි ආදිපාදතුමා විසින් ඊයේ ශ්‍රී ලංකාවේ පළමුවැනි ඩොමිනියන් පාර්ලිමේන්තුව විවෘත කරන ලදී.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් සම්මත කර මහරාජාණන් වහන්සේ විසින් අනුමත කරන ලද ශ්‍රී ලංකාවේ නිදහස්‌ පනත අනුව තෝරා ගන්නා ලද දිනය වූ 1948 පෙබරවාරි 04 වැනි දින මහරජාණන් වහන්සේ විසින් ලංකා ද්වීපයෙහි පාලනය සහ ආණ්‌ඩුවත් මෙරට ජනතාවට පවරා දෙන ලදී. ටොරින්ටන් චතුරස්‍රයේ තනන ලද විශේෂ මංගලෝත්සව ශාලාවේ ආදිපාදතුමන් විසින් ඊයේ විවෘත කරන ලද්දේ ඒ ස්‌වාධීන ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ පළමුවන සභා වාරයයි.

ආදිපාද තුමා විසින් පාර්ලිමේන්තුව විවෘත කරනවා බැලීමට අති විශාල ජනකායක්‌ රැස්‌වී සිටියහ. අමුත්තන් සඳහා පිළියෙල කර තිබූ ආසන සියල්ලම පිරී තිබුනේය. ඇතුළට යැමට අවසර නොමැති විශාල ජනකායක්‌ පිට පාරවල්වල රැස්‌කකා සිටියහ.

ලංකාවට නිදහස ලැබීම නිමිත්තෙන් පවත්වන උත්සව කටයුතුවල අග්‍රස්‌ථානය ගන්නාවූ. පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයට සහභාගිවීම සඳහා ලෝකයේ ජාතීන් 27 ක නියෝජිතයන් පැමිණ සිටියහ.

මේ උත්සවයේ සංවිධායකයන් විසින් ප්‍රවෘත්තිපත්‍ර නියෝජිතයන් සඳහා යොදා තිබුණ පහසුකම් කිසිසේත්ම ප්‍රමාණවත් නොවීය. ඒ නිසා මේ උත්සවයේ තොරතුරු නිසි ලෙස මහජනයාට දැන ගැනීමට හැකිවන ලෙස කරුණු වාර්තා කිරීමට පත්‍ර නියෝජිතයන්ට මහත් ආයාසයක්‌ දරන්නට සිදුවූ බව සඳහන් කළ යුතුවේ.

මෙලෙස නිදහස උදානය එකල පැවැති මාධ්‍ය මගින් රටට හෙළිකළ අතර මෙම අවස්‌ථාවේදී අග්‍රාමාත්‍ය ඩී. ඇස්‌. සේනානායක මහතා විසින් වසර 133 කට පසුව ජාතික කොඩිය ගුවනට ඔසවන අයුරු දස දහස්‌ ගණන් දැසින් දැක ඇති අතර එදින ජාතික ගීය ලෙස ගායනා කර ඇති පී. බී. ඉලංගසිංහ සූරීන් හා ලයනල් එදිරිසිංහ ශූරීන් එක්‌ව නිර්මාණය කළ මුල්ම ජාතික ගීය වන ශ්‍රී ලංකා මාතා - පාලා යස මහිම" ගීතය වන අතර පසුව 1951 වර්ෂයේදී එය වෙනස්‌ කොට ආනන්ද සමරකෝන් සූරීන් තැනූ වර්තමාන ජාතික ගීය තෝරාගෙන ඇත.

මෙම කාලය පුරා රටේ දැඩි විනයක්‌ ආරක්‍ෂා කිරීම වෙනුවෙන් එවකට පොලිස්‌ ඉන්ස්‌පැක්‌ටර් ජනරාල්ව සිටි රිචඩ් අළුවිහාරේ මහතා විසින් විශේෂ ආරක්‍ෂක ක්‍රියා පටිපාටියක්‌ අනුගමනය කර ඇත.

බ්‍රිතාන්‍යයන් විසින් ඉතාමත් සාමකාමී අයුරින් රටට නිදහස ප්‍රදානය කිරීමත් ඉතාමත් නිහතමානීව එය ලබා ගැනීමත් 1948 පෙබරවාරි මස 04 වැනි දින සිදුවුවද පුරා වසර 443 ක්‌ ජාතීන් තුනකට යටත්ව අප විසින් පසුකළ යුගයක්‌ද විය. මොනරවිල කැප්පෙට්‌ටිපොල, මද්දුම බණ්‌ඩාර වැනි අභීත විරුවන් දිවි කුසුම දැයේ පුදසුන වන මිලින කරමින්ද වාරියපොල සුමංගල හිමි වැනි යතිවරුන් ඉංග්‍රීසීන්ට එරෙහිව නැඟී සිටිමින්ද තවත් දැ හිතකාමී දහස්‌ සංඛ්‍යාත මුතුන් මිත්තන්ද සංග්‍රාමයට වැද අත්පත්කර ගන්නට වෙර දැරූ නිදසක්‌ද විය.

වැටීම් නැවතීම් මත මෙතෙක්‌ ආ මග ශ්‍රී ලාංකිකයන් වූ අපට ඇත්ත නිදහස මේ වන විටද අර්ථ ගැන්වී නැතත් හිමිවූ නිදහස සුරැකීම පිණිස සෑම වර්ෂයකම පෙබරවාරි මස 04 වන දින අභිමානය පෙරදැරිව උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි. 

රුවන් ජයවර්ධන
http://www.divaina.com/2014/02/02/feature01.html

දේශපාලකයන් රටට පෙන්වන නිදහස මායාවක්‌! - ත්‍රිකුණාමලේ ආනන්ද මහා නාහිමි

තව දින දෙකකින් අපේ රටේ 66 වැනි ජාතික නිදහස්‌ සමරුව එළඹෙයි. වසර 66 ක්‌ යනු සුළු පටු කාලයක්‌ නොවේ. මේ වසර 66 පුරාම ජාතික නිදහස්‌ සමරු උළෙලේදී නිදහස්‌ පණිවුඩ, නිදහස උදාන මෙරට ජනතාවට නොඅඩුව අසන්නට ලැබිණ. එහෙත් ඉන් පිළිබිඹු වන්නේ මෙරට ජනතාව අත්විඳින නිදහසේ සැබෑ අරුතද? අද මෙරට ජනතා සවනත රැව් දෙන්නේ සැබෑ නිදහසක කාහල නාදය ද?

මේ පිළිබඳ බම්බලපිටිය සිරි වජිරාරාමාධිපති රාජකීය පණ්‌ඩිත අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ අභිනව මහානායක ධුරන්දර අති පූජ්‍ය ත්‍රිකුණාමලේ ආනන්ද ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ සමග "දිවයින ඉරිදා සංග්‍රහය" පැවැත්වූ සාකච්ඡාවයි මේ.

අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ අභිනව මහානායක ධුරයට පත් අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද ස්‌වාමින්ද්‍රයන් වහන්සේ මෙරට ලාබාලතම මහානායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේ ද වෙති. බහුශ්‍රැත, සිල්වත්, ආදර්ශවත් සහ මධ්‍යස්‌ථ බවින් යුතු උන්වහන්සේ මහානායක ධුරයට පත්ව පැවැත්වූ මුල්ම පුවත්පත් සාකච්ඡාව ද මෙයයි.

රටකට ජාතික දේශපාලනික හා ආර්ථික අතින් තව රටකට අත නොපා ජීවත් විය හැකි නම් ඒ රට නිදහස්‌ රටක්‌ ලෙසයි හැඳින්වෙන්නෙ. නමුත් අපේ රට අද මේ කරුණු තුනෙන්ම විශාල පසුබෑමකට ලක්‌වෙලා නේද අපේ හාමුදුරුවනේ.

අපි දැන් නිදහස්‌ ස්‌වාධීන, ස්‌වෛරී රටක්‌ කියන වචන පාවිච්චි කළ පමණින් නිදහස අර්ථවත් වෙන්නෙ නෑ. එය වචනාර්ථයට පමණක්‌ සීමා නොවූ සමස්‌ථාර්ථයෙන්ම ජනතාවට දැනෙන දෙයක්‌ විය යුතුයි. නිදහස ලබා ගැනීමෙන් පසු අපේ රට මුහුණ දුන් බරපතළ අර්බුද ගණනාවක්‌ තිබුණා. තිස්‌වසරක්‌ පුරා පැවති ත්‍රස්‌තවාදී යුද්ධය ඉන් ප්‍රධානතම එකක්‌. එබඳු බැරෑරුම් අවධීන් ගත කිරීම නිසා රට තුළ යම් යම් පසුගාමී තත්ත්වයන් ඇති වුණා වන්නට පුළුවන්. ජාතික, දේශපාලනික හා ආර්ථික යන කරුණු දෙස බලන විට රටක පරිපූර්ණ නිදහසක්‌ සඳහා මේ කරුණු තුනම වැදගත්. ඉන් නිදහසක සුවය ආශ්වාදනය කිරීමට රටක ආර්ථිකය ඉතාමත් වැදගත් සාධකයක්‌.

නමුත් අද අපි වැඩිපුරම ගනුදෙනු කරන්නෙ බහුජාතික සමාගම් සමග. මේ නිසා අද අපේ රටේ නිදහසට නොයෙක්‌ බාධා තහංචි පැනවිලා තිබෙනව. අද පාලන තන්ත්‍රය තුළ සිටින ආර්ථික උපදේශකවරු ආර්ථික නිදහස රටට අහිමි කරන පිරිසක්‌ බවට පත්වෙලා ඉන්නව. අපේ රටට ගැළපෙන ආර්ථික වැඩපිළිවෙළක්‌ පිළිබඳ අවබෝධයක්‌ ඇති පිරිසක්‌ මේ ක්‍ෂේත්‍ර තුළ සිටිනවා නම් ආර්ථික නිදහස සාක්‌ෂාත් කර ගැනීම අපහසු නැහැ.

නමුත් නිදහසින් වසර 66 ක්‌ ගත වන මේ මොහොතේ අපේ රටේ උපදින හැම දරුවෙක්‌ම පිටරටවලට රුපියල් ලක්‍ෂ ගණනින් ණයයි. උපදින දරුවන් පවා මේ තරම් ණයකාරයන් වුණේ කොහොමද?

රට සංවර්ධනය කරන්නට ණය මුදලක්‌ ගැනීම නොකළ යුතු දෙයක්‌ ලෙස අපට හඳුන්වන්න බෑ. නමුත් ඒ ලැබෙන මුදල රටේ අනාගත පරම්පරාවන් මත පැටවෙන බරක්‌ නොවන ආකාරයට කටයුතු කිරීම අවශ්‍යයි. ලබාගන්නා ණය මුදල අපේක්‍ෂිත සංවර්ධන කාර්යයට යෙදවුවහොත් ඉන් ලැබෙන ප්‍රතිලාභ මත ක්‍රමයෙන් එම ණය මුදල ගෙවා අවසන් කළ හැකියි. නමුත් අපේ රටේ බොහෝ විට සිදුවන්නේ එම ණය මුදලින් අපේක්‍ෂිත සංවර්ධන කාර්යය සිදුකිරීමට වඩා නොයෙක්‌ වෙනත් නිෂ්ප්‍රයෝජන කටයුතු සඳහා එය වැය කිරීමයි. මේ නිසා අපේ රටේ නූපන් පරම්පරාවන් පවා අද විදේශයන්ට ණයකරුවන් බවට පත් වී හමාරයි. වර්තමානයේ බොහෝ දෙනෙක්‌ තුළ දේශීයත්වය, අපේකම තුරන් වී යාමයි මෙයට හේතුව. දේශීයත්වය, ජාතිකානුරාගය අපේකම අද වචනවලට පමණක්‌ සීමා වූ හැඟීමක්‌ පමණක්‌ වෙලා. අද රටේ වැඩිදෙනා තුළ රජ කරන්නේ ආත්මාර්ථකාමීත්වයයි. වැඩි දෙනා ක්‍රියාත්මක වෙන්නෙ මම පමණයි, මට පමණයි කියන හැඟීමෙන්. මෙය අපේ රට අද පත්වෙලා තියෙන මහා අවාසනාවන්ත තත්ත්වයක්‌.

රටක නිදහස මූර්තිමත් කෙරෙන ප්‍රධාන ධාරාවන් අතර දේශපාලනයත් සුවිශේෂී කාරණයක්‌. නමුත් අපේ රටේ දේශපාලනය දූෂිත ව්‍යාපාරයක්‌ බවට පත් වී තිබෙනව. දේශපාලකයා සමාජයට දූෂණය හා භීෂණය පතුරුවන වාහකයෙක්‌ ලෙස බොහෝ විට පෙනී සිටිනව. මේ තුළින් රටේ සැබෑ නිදහසට අද එල්ල වී ඇති තර්ජනය ඔබ වහන්සේ දකින්නෙ කොහොමද?

අද ඇතැම් දේශපාලකයන් රටේ සංවර්ධනය දකින්නෙ සමාජ විරෝධී නොයෙක්‌ ආයෝජනයන් සමගයි. අපේ රට කෘෂිකාර්මික රටක්‌. කෘෂිකාර්මික රටාව තුළ කර්මාන්ත දියුණු කිරීම හානියක්‌ නෙමෙයි. නමුත් දේශපාලන රැකවරණ ලබාගන්නා රටේ ඇතැම් පිරිස්‌ අද සමාජ විරෝධී විවිධ කර්මාන්ත හා ව්‍යාපාර වෙත වැඩි වශයෙන් යොමු වෙමින් තිබෙනව. අද ඇතැම් දේශපාලකයොත් මේ සමාජ විරෝධී කටයුතුවලට සම්බන්ධ වී සිටින්නේ ඒ හරහා ඔවුන්ට ලැබෙන විවිධ ප්‍රතිලාභ නිසයි. මෙය ආර්ථික සමාජ හා දේශපාලනික වශයෙන් රටේ විශාල පිරිහීමකට තුඩුදෙන කාරණයක්‌.

අද මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය හා මත් කුඩු ව්‍යාපාරය රට පුරා හිස ඔසවමින් සිටින බව පෙනෙන්නට තිබෙනව. කැසිනෝ ව්‍යාපාරය තුළ පංච දුෂ්චරිතයම තිබෙනව. මේවා රට තුළ ව්‍යාප්ත වීම රටේ ආර්ථික වර්ධනයට කිසිසේත්ම හේතුවෙන්නෙ නෑ. මේවාට සම්බන්ධ වෙන්නෙ රටේ ඉහළ සමාජයේ පුද්ගලයන්. කැසිනෝ ව්‍යාප්ත වීම නාගරික සමාජය එහෙම් පිටින්ම අන්දමන්ද වීමට හේතුවක්‌. මේවා ඔස්‌සේ රටේ ආර්ථික සංවර්ධනයක්‌ ගැන කතා කරන්නටත් ඇතැම් දේශපාලකයන් උත්සාහ ගන්නා බව පෙනෙනවා. මත්පැන්, මත්ද්‍රව්‍ය, කැසිනෝ වැනි ව්‍යාපාර රටත් සමාජයත් පරිහානියට පත්වන හේතු ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. උන්වහන්සේ ප්‍රතික්‍ෂේප කළ මේ පරිහානියේ දොරටු සංවර්ධනයේ නාමයෙන් විවෘත කිරීම කිසිසේත් අනුමත කරන්නට බෑ. ඒ මුවාවෙන් දේශපාලකයන් පෙන්වන සංවර්ධනය හෝ නිදහස සැබෑවක්‌ නෙමෙයි මුළාවක්‌.

මේ කාරණය අප සඳහන් කරන්නේ කාටවත් ද්වේෂ සහගතව නොවෙයි. උපනූපන් සියලුදෙනා අද මහා ණය බරකට වැටී තියෙන්නෙ. අපේ රටට නිදහස ලැබීමෙන් පසු දීර්ඝ කාලයක්‌ තිස්‌සේ පවත්වාගෙන ආ මේ ක්‍රමය නිසයි. මේ වැරදි න්‍යාය, වැරදි මාර්ග, වැරදි ආයෝජන නිවැරැදි කර නොගතහොත් මේ රට විශාල ප්‍රපාතයකට ගමන් කිරීම වළක්‌වන්න බෑ. මේ ක්‍රමවේදය කඩිනමින් වෙනස්‌ විය යුතු යෑයි අප කියන්නේ දේශපාලන වශයෙන් කිසිවෙකුට මඩ ගැසීමට නොවෙයි.

මත්පැන්වලින් කැසිනෝවලින් රටට විශාල ආදායමක්‌ ලැබෙන බව සමහරුන්ට සංඛ්‍යා ලේඛනත් සමග රටට පෙන්වන්න පුළුවන්. නමුත් මේ දේවල් නිසා මුළු රටම පත්වෙන පරිහානිය ඉතා විශාලයි. ඉන් සමාජයටම සිදු වන විනාශය මිල කළ නොහැකියි. එම නිසා මෙබඳු දේ හරහා හුවා දක්‌වන සංවර්ධනයත් ඒ ඔස්‌සේ ජනතාවට ලබා ගත හැකි යෑයි පෙන්වන නිදහසේ ආස්‌වාදයත්a මිථ්‍යාවක්‌ මායාවක්‌.

මීට වසර 66 කට පෙර අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස්‌ කරගත් අපේ රට අද අධිරාජ්‍යවාදීන්ගේ ණය උගුලකට හසු වී තිබෙනවා. මේ උගුලෙන් මිදෙන්නෙ කොහොමද? නිදහස එහි සැබෑ අරුතින් මේ රටේ ජනතාවට අත්විඳිය හැක්‌කේ එවිට නොවේද?

1948 දී අපේ රට නිදහස ලැබුවා යෑයි කිව්වත් ඇත්ත වශයෙන්ම අපි ඒ ලැබුවේ එක්‌තරා ආකාරයක නාමික නිදහසක්‌. පරගැති භාවයෙන් අපේ සිත නිදහස්‌ වෙලා නෑ. අදටත් අපේ චින්තනය අනුන්ට යටත් වූ එකක්‌. අපිට අදීන සම්ප්‍රදායයන් මහා රාශියක්‌ තියෙනව. වටිනා චින්තනයක්‌ තියෙනව. අපේ කමට ගැලපෙන පර්යේෂණ විධි තිබෙනව. නමුත් අපි කරපින්නාගෙන ඉන්නෙ පිටරටකින් එන චින්තනයක්‌, සම්ප්‍රදායක්‌. ඒවා අපට ගැලපෙන හෝ වඩා හොඳ දේවල් නම් එහි වරදක්‌ නෑ. එහෙත් මේ වැළඳගන්නා බොහෝ දේ අපට නොගැලපෙන අපට හානිකර දේවල්.

සිත නිදහස්‌ කරගන්නෙ නැතිව නිදහස ගැන නන්දෙඩවීම නිරර්ථක දෙයක්‌ බව කුමාරතුංගයන්ගේ විරිත් වැකියේ මේ විදිහට සඳහන් කර තිබෙනවා.

සිත නිදහස්‌ බවට නොපමුණුවා පළමු කොට

නිදහසට සිය රට ලමුයි යෙති දදහු ඇතියෙන් කට

මෝඩයෝ කට තියෙන පලියට අපි නිදහස්‌ යෑයි කියනව. නමුත් සිත නිදහස්‌ කරගන්නෙ නැතිව කට තියෙන පලියට අපි නිදහස්‌ කියල කයිවාරු ගැසීමෙන් කාටවත් ලක්‌ නැති බවයි, මේ කව් දෙපදයෙන් කියන්නේ. අද අපේ රටේ නිදහස ගැන කතා කරන බොහෝ දෙනකුගෙ තත්ත්වයත් මේක තමයි.

සැබෑ නිදහසක්‌ අපේ රටට අත් කරගන්න නම් සිත මේ වහල් භාවයෙන් නිදහස්‌ කරගන්නට ඕනෑ. අද බොහෝ දෙනකුගේ ජීවිත දිහා බලන කොට ඒ අය හැමදේකින්ම වහල්ලු වෙලා. සංස්‌කෘතික, අධ්‍යාපනික සෞඛ්‍ය වැනි හැම ක්‍ෂේත්‍රයකින්ම වහල්ලු වෙලා. අපේ නොවහල් බව අත්දැකිය හැකි ක්‍ෂේත්‍රය කුමක්‌ද? අපි අද මේ වර්ණනා කරන නිදහස මායාවක්‌ වන්නේ ඒ නිසයි. මේ වහල් මානසිකත්වයෙන් නොමිදී කිසිදිනක සැබෑ නිදහසක්‌ අත් විඳින්නට බෑ. 

සාකච්ඡා කළේ පාලිත සේනානායක, ඡායාරූප - ධර්මසේන වැලිපිටිය
http://www.divaina.com/2014/02/02/politics01.html