Pages

Thursday, February 6, 2014

පුරාණ රජ සිරිතට අනුව අදත් පුද ලබන දළදා හාමුදුරුවෝ...

සිංහල බෞද්ධයෝ තවමත් ජීවමාන බුදුහු දකිති. ඒ ජයසිරි මහා හාමුදුරුවන් අභියසදී හා ශ්‍රී දළදා වහන්සේ අභියසදීය. දළදා වහන්සේ දිවමන් බුදුන්කොට සැලකීම සිංහලය අනුදත් මහා සංස්‌කෘතික සම්ප්‍රදායකි. සියලු කල්හි සිරිලක රජවරු තමා දෙවැනිකොට දළදා වහන්සේ පිදුවාහුය. සිංහලයේ රාජ්‍යත්වයේ සංකේතය වුයේ දළදා හිමියෝය. එබැවින්ම දළදාව ලංකාවට වැඩම කළ පස්‌වන සියවසේ සිටම උන්වහන්සේට පුද සත්කාර පැවැත්වීමේ සම්ප්‍රදායක්‌ ගොඩ නැගුණේය. ඒ තේවාව අදටත් පවතින්නේය.

දළදා වහන්සේව පුදනු ලබන තේවාව නැතහොත් මුළුතැන් පූජාව තුන් ආකාරයකින් වෙයි. අලුයම් මුළුතැන් පූජාව දහවල් මුළු තැන් පූජාව සහ සවස ගිලන්පස පූජාව ලෙසටය. එහෙත් එය ඉතිහාසයේ රාජ පූජාව සහ බුද්ධ පූජාව ලෙස දෙයාකාරයකින් තිබී ඇත. 

දළදා පුවත අනුව ලක්‌දිවට වැඩම වීමට ප්‍රථම ශත වර්ෂ දහයක්‌ දළදා වහන්සේ හෙවත් දකුණු අකු ධාතූන් වැඩ සිටියේ ඉන්දියාවේ කාලිංඝ දේශයේය. එහිදී දළදා වහන්සේ වෙනුවෙන් කරන ලද පුද පූජා පිළිබ`දව සාධක නැත. එනිසා පූජා විධි ඇතුළත් තොරතුරු සටහන්ව නැති අතරම දළදා පූජාව විෂයෙහි එවකට ඉන්දියානු සම්ප්‍රදායක්‌ පැවති බවටද සාක්‌ෂි නැත. 

එහෙත් ඉන්දියානු සම්ප්‍රදායට අනුව රාජෝත්තමයෙකුට රජ මාලිගාවකදී සේවා සැපයීම නැතහොත් රජුට ආවතේව කිරීම තේවාව ලෙස හ`දුන්වා ඇත.

තේවාව අති උත්කර්ෂවත් අතිශය පිරිසිදුවත් අතිශය සුව`දවත් අතිශය ප්‍රණිතවත් සිදු කරන්නක්‌ බවද ඓතිහාසික ලිපි ලේඛන සනාථ කරයි. තේවෛයි යන දමිළ වචනය සෙ වා යන සංස්‌කෘත භාෂාවෙන් බි`දී ආවක්‌ බවද එහි මුඛ්‍ය අරුත සේවා සැපයීම ලෙසද සඳහන් වේ. තේවෛයි හෙළ බසට අනුගතව (තේවා රි සේවා) තේවාව ලෙස ජන වහරට එකතු වී තිබේ. 

දාඨාවංශයේ සදහන් පරිදි කාලිංඝ රජුන් සිය පෞද්ගලික ධන වස්‌තුවක්‌ සේ දළදාව ආරක්‌ෂා කලද සිංහලයේ රජුන් දළදාව ආරක්‌ෂා කළේ රාජ්‍යත්වය රට ධර්මය ආරක්‌ෂා කිරීම දෙවැනි කොට සලකාය. රජු එකල දළදාව බුදුන් සේ සලකා ඊට තමන්ට හිමි පුද සත්කාර ඊටත් වැඩි ප්‍රාභාවත් සහ උසස්‌ බවකින් ඉටු කළේය. එහෙයින් බුදු මැඳුරක ආවතේවයන්ට වැඩි ගාම්භීර බුද්ධාලම්භන හැ`ගීම් ජනිත කරවන සෙයක්‌ සිරි දළදා මැඳුරෙහි තේවාවෙන් දිස්‌ විය. 

ඒ හැරුණු කොට අමුතු මුළු තැන් පූජාව හෙවත් හීල් දානය දවල් දානය හා ගිලන්පස පූජාව නම් රාජභෝජන සංග්‍රහයම බව දාඨා වංශයේ සදහන් වේ. ඒ අනුව හීල් දානය හෙවත් අලුයම් තේවාව ස`දහා දැහැටි කූරු ස`දුන්පැන් තුවා අටපිරිකර බුමුතුරුණු සහිතව බත් පාත්‍රා තුනක්‌ පැන් පාත්‍රා එකක්‌ ව්‍යංජන සහ පලතුරු ද පූජා කෙරේ.

දහවල් දානය හෙවත් ඉර මුදුන් තේවාව ස`දහා හාල් සේරු දහසයක්‌ සහිතව බත් පාත්‍රා හතක්‌ නිලි හොද්ද සහිතව ව්‍යංජන තිස්‌ දෙකක්‌ පනස්‌ පස්‌ කැවිලි සහිතව පළතුරු අතුරුපස සහ පැන් පාත්‍රාවක්‌, වෑවර හෝ තැඹිලි පාත්‍රාවක්‌ පූජා කෙරේ.

නිලි හොද්ද යනු පොල් කිරි සමග රතු ලූණු උම්බලකඩ අමු මිරිස්‌ කරපිංචා කොල කපා දිය ලුණු සමග එක්‌ කර ගැනීමයි. මෙය රත් නොකරන්නේ කාය ශක්‌තිය වැඩීමට ඉවහල් වන සංඝටක මෙම සංයෝගයේ ඇති බැවිනි. නිලි සිරුරේ නිල පෝෂණය කිරීම සේ ස`දහන්ය. වත්මන නිලි හොද්ද පූජා කිරීමෙන් නිරෝගි සම්පත ලැබේය යන්න විශ්වාස කෙරේ.

දළදා පූජාවේ හවස ගිලන් පූජාව රජුන්ගේ සවස පැන් පූජාව ලෙස දැක්‌වේ. එහෙයින් ගිලන්පස ස`දහා එළගිතෙල් බෝතල් කාලක්‌ , මී පැණි බෝතල් කාලක්‌, සීනි රාත්තල් තුනකුත් කාලක්‌, සූකිරි රාත්තල් 2ක්‌, හකුරු මුල් 01ක්‌, මුද්දරප්පලම් රාත්තල් කාලක්‌ , ඉ`ගුරු දෝසි රාත්තල් භාගයක්‌ , පැණි දොඩම් 06 , අඹ 06, අන්නාසි 01, අමු ඉ`ගුරු රාත්තල් භාගයක්‌, උක්‌ පැණි බෝතල් කාලක්‌, යන්තම් උණු කළ ඇල් තෙලිඡ්ජ බෝතල් කාලක්‌ ලෙස පූජා කර ඇත. වත්මනද මෙපරිද්දෙන් පූජා පවත්වනු ඇතිය යන්න විශ්වාස කෙරේ. 

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කල තේවාව උදෙසා පිරිවර කොටස්‌ දෙකක්‌ ඉ`ද ඇත. එය තේවා කට්‌ටලය ලෙස හැඳින්වේ. ඊට දිය වඩන නිළමේ, කාරිය කරන කෝරාළ, මුලගිනා, ගබඩාකරු, අගු රාළ, ගෙපල් රාළ, කත්ති රාළ, හක්‌ගෙඩි අප්පු, මුළුතැන් රාළ, මුළුතැන් මුරකරු, නැකැත් මෙහොට්‌ටාල ආදී තේවා පිරිවර සේනාවක්‌ වේ. ඔවුහු රාජ අණ පරිදි සිය සේවා සපයන්නේ බැති සිතිනි.

මුලගිනා යනු රාජකීය මුළුතැන්ගෙයිහි ප්‍රධානියාය. ආහාර පාන සැපයීම සැකසීම ඇතුළු සියල්ල නිසි පරිදි ඉටු වේද යන්න වගකීම ඔහු සතුය. මුළුතැන් රාළ මුළුතැන්ගෙයි ආහාර සැකසීමේ, මැන බැලීම ආදී දේ පිළිබ`ද වගකීම දරයි. පෙර කළ රාජ මාළිගයෙන් ඔහුට වැටුප් ලැබෙන්නේ හාල් සේරු දහසයක්‌ ලෙසිනි. මුළුතැන් පූජාවට මසකට සහල් හම්බා හැත්තෑ නවයකි. මාලිගාවේ ගබඩා නැළි දහසක්‌ හම්බා එකකි. හම්බා එකක්‌ යනු අයෙකුට වරකට ගෙන යා හැකි වී හෝ හාල් බර ප්‍රමාණයයි. ඊට ගම් දහයක පිරිවර සූදානම්ව සිටියහ. කළුගමුව, රදාගොඩ, පීළිගල්ල, අලපලාවල, අලදෙණිය, කිතුල්පේ ,මුංවතුගොඩ, අංගොඩ, ඒද`ඩුවාව, පිටිගොඩ, රජුට හම්බා ගෙන ගිය පිරිවර විසු ගම්ය.

මුළුතැන්ගෙයි කලමණා පිළිබ`ද ආරක්‌ෂාව දැරූයේ ගබඩාකරුය. එවකට ඊට සහායට මුරකරුවන් හය දෙනෙක්‌ සිටියහ. වත්මනේ එක්‌ අයෙකි.

මුළුතැන් රාළගේ ආහාර පිසීමෙන් පසුව අගු රාළගේ සේවය ඇරඹේ. රජුට ඉතා විශ්වාසවන්ත අයෙකු වන අගු රාළ සිංහළ පැයකට කලින් (පැය භාගයකට) පිසූ අහරවල රස බලයි. තවත් සිංහළ පැයකට පසුව ආහාර පිණිස රජුට ආරාධනා කරයි. එහෙත් දළදා පූජාවේදී අගු රාළගේ වගකීමක්‌ නැත. එහෙත් පෙර කළ මෙන් තේවා කට්‌ටලයේ සියලු නිළදරයෝ මුඛවාඩම් බැ`ද සුදු පිරුවට හැ`ද දොඩමළු නොවී ආහාර පිස පිළිගැන්විය යුතුය. නමුත් වත්මන දළදා මාලිගාවේ එපරිද්දෙන්ම කටයුතු කරනු ඇත්ද? පෙර කළ රජුන් පිරිවර පිටත සිටුවා දළදා ගෙට වැද බිම ඇමද අත් සෝදා රන් මලින් පුද අරහාදී බුදු ගුණ ගයා මුළු තැන් පුජාව හිස්‌ මුදුනේ තබා ගෙනවුත් පුජා කළ බව වාර්තා වේ. රජුට ස්‌තුති ගීතිකා රචනා කර ගැයූ කවිකාර මඩුව පසු කාලීනව බුදුගුණ ගයමින් හේවිසි හ`ඩ නගමින් තේවාව අවසන් වන තෙක්‌ ශබ්ද පුජා කළ බව ඉතිහාසයේ සදහන් වේ. එකල ඒ ස`දහාද කටයුතු කළ සියල්ලෝ මුඛවාඩම් බැඳ සිටි බව ස`දහන්ය. බුදු පුදට බ`දුන් ගෙන යන කල උඩු වියන්, සේසත් සහිතව පූජාව ගෙන ගිය අතර කිසිවෙකුත් දනක්‌ හෝ නොනමා නැගී සිට ගෞරවයෙන් සිට ඇත. 

මුළු තැන් පූජාව ස`දහා කැකුළු හාල් සේරු පහක්‌, තම්බපු හාල් සේරු 32ක්‌ ව්‍යංජන 32ක්‌ ස`දහා එළවළු, පොල් ගෙඩි 15 ක්‌, පොල් තෙල් සේරු 02ක්‌, පැණි බෝතල් 03 ක්‌, ලුණු සේරු භාගයක්‌ කහ රාත්තල් කාලක්‌, රතු ළුණු රාත්තල් 01ක්‌, සුදු ළුණු රාත්තල් කාලක්‌, උම්බලකඩ රාත්තල් 01ක්‌, කොත්තමල්ලි රාත්තල් කාලක්‌, සුදුදුරු රාත්තල් කාලක්‌, මහදුරු රාත්තල් කාලක්‌, උළුහාල් රාත්තල් කාලක්‌, අබ රාත්තල් 1/8ක්‌, ගම්මිරිස්‌ රාත්තල් 1/8ක්‌, සව් හාල් රාත්තල් කාලක්‌, කෙසෙල් කොල ඉරු 05ක්‌, දර හොණ්‌ඩර 02ක්‌, කුරු`දු පොතු, දෙහි, කරපිංචා, රම්පේ, සියඹලා, ගොරක ද පිසීමට තෙවරක්‌ පෙරන ලද පැන් ද ඇඹුල් හෝ ආනමාළු කෙසෙල් ගෙඩි 10ක්‌ද සපයා තිබිය යුතුය. ඉතිහාසයේ හාස්‍යය මුසු වූ තැන් විමසීමේදී මෙම වට්‌ටෝරුව නිසි පරිදි සැපයිය නොහැකිව ඉංග්‍රීසීන් සිය බලය සහිත කාලයේදීම දළදා භාරකාරත්වය සිංහළ වරිගයාට පැවරූ බව දැක්‌වේ. ඒ අනුව දළදා පුරෝගාමිත්වය අස්‌ගිරි මල්වතු උභය විහාර සංඝයා වෙතත් දියවඩන නිළමේ වෙතත් භාර වී ඇත.

රජුගේ සේවාවට සමාන්තර ලෙස දළදා තේවාව ඇරඹි මුත් වරින් වර කලින් කල ඊට විවිධ පුද පූජා ක්‍රම ඇතුළත්ව තිබේ. දානය පිළිබ`දව විමසීමේදී දළදා පුදට ලූනු ගෙඩියක්‌ වුවද සුද්ද කිරීම මහානුභාව සම්පන්න පිංකමක්‌ බව කියවේ. වත්මන මුළු තැන් පූජාව ස`දහා කැපවී සිටින්නේ මුළු තැන් රාළලා දෙදෙනෙක්‌ හෝ තිදෙනෙකි. මුලගිනා තනතුරක්‌ දැන් නැත. එහෙත් වරු තුනම දළදා තේවාව ඉහළින්ම පැවැත්වේ. එය හොඳ හැටි දැක ගැනීමට ඉඩ කඩක්‌ නැත.

උපේක්ෂා
http://www.divaina.com/2014/02/02/feature04.html

0 comments: