Pages

Thursday, February 13, 2014

ඡන්ද වැඩවලට ජාතික ධජය තහනම්! පක්‍ෂ නායකයන්, දේශපාලන ප්‍රභූන්ගේ ඡායාරූප හෝ ආගමික ශාස්‌තෲවරුන්ගේ සිතුවම්ද තහනමට නියමිතයි


බස්‌නාහිර හා දකුණු පළාත් මැතිවරණ අපේක්‍ෂකයන්ට හෝ පක්‍ෂවලට සිය ප්‍රවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකා ජාතික ධජය හෝ එහි ඡායාරූප පෝස්‌ටර්වල හෝ බැනර්වල හෝ දැන්වීම් පුවරුවල ප්‍රදර්ශනය තහනම් කරමින් මැතිවරණ කොමසාරිස්‌වරයා විසින් නීතියක්‌ පනවා ඇත.

එමෙන්ම අවසරලත් මැතිවරණ කාර්යාල සැරසීමට හෝ ජාතික ධජය භාවිත කළ නොහැකි බවද දන්වමින් මැතිවරණ කොමසාරිස්‌වරයා විසින් නීතිමය රාමුවක්‌ ඉදිරිපත් කර තිබේ.

අපේක්‍ෂකයන් සිය ප්‍රචාරක කටයුතු සිදුකරද්දී පක්‍ෂ නායකයන් හා දේශපාලන ප්‍රභූන්ගේ ඡායාරූප හෝ ආගමික ශාස්‌තෲවරුන්ගේ සිතුවම් යොදාගැනීම තහනම් කෙරෙන නීතිමය රාමුවක්‌ මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා විසින් ඉදිරිපත් කර ඇත.

අදාළ අපේක්‍ෂකයන්ට මනාප අංක නිකුත් කළ පසුව මැතිවරණ කොමසාරිස්‌වරයා විසින් මෙම නීතිමය රාමුව ඉදිරිපත් කර ඇත. එය මැතිවරණය පැවැත්වෙන දිස්‌ත්‍රික්‌ක හයේ සහකාර මැතිවරණ කොමසාරිස්‌වරුන් මගින් සෑම අපේක්‍ෂකයකුටම, දේශපාලන පක්‍ෂවලට මෙන්ම කණ්‌ඩායම් නායකයන්ටද ලබාදී ඇත.

මෙම නීතිමය රාමුවට අනුව ආගමික සිද්ධස්‌ථාන, රජයේ කාර්යාල සහ පාසල්, දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීම තහනම්ය. ඒවායේ පවත්වන උත්සවද මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා යොදා ගැනීම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමකි.

ආගමික ශාස්‌තෘවරුන්ගේ සිතුවම්, දර්ශන හෝ ඡායාරූප මෙන්ම ආගමික සංකේත, දේවරූප යනාදියද පැවිදි අය පෙනී සිටින ඡායාරූපද මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදාගත නොහැක. එමෙන්ම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාතික ධජය හෝ එහි ඡායාරූප, පක්‍ෂ හෝ කණ්‌ඩායම් අපේක්‍ෂකයන්ගේ ප්‍රවර්ධනය වෙනුවෙන් කිසිදු පෝස්‌ටරයක හෝ බැනරයක හෝ දැන්වීම් පුවරුවක ප්‍රදර්ශනය කළ නොහැක. අවසරලත් මැතිවරණ කාර්යාල සැරසීමට හෝ ජාතික ධජය භාවිත කළ නොහැක.

එමෙන්ම දේශපාලන අයිතිවාසිකම් අහිමි රජයේ නිලධාරීන්, රජයේ මාණ්‌ඩලික නිලධාරීන්, අධිකරණ හෝ ආරක්‍ෂක නිලධාරීන් සමඟ පෙනී සිටින ඡායාරූප හෝ එවැනි නිලධාරීන්ගේ ඡායාරූප පක්‍ෂ හෝ කණ්‌ඩායම් අපේක්‍ෂකයන්ගේ ප්‍රචාරණ කටයුතු සඳහා භාවිත කළ නොහැක.

අජිත් අලහකෝන්

0 comments: