
මැතිවරණ වේදිකාවේදී ජිනීවා ප්‍රශ්නය ගැන කියමින් දේශප්‍රේමය කුළු ගැන්විය හැකිය. ඒ හරහා ඉදිරි මැතිවරණවලට වාසිදායක තත්ත්වයක් ද ඇති කර ගත හැකිය. එහෙත් මෙහි ඇති ජාත්‍යන්තර අනතුර කුමක්‌ද? එය අපට සුළුවෙන් තකන්නට පුළුවන්ද? ජාත්‍යන්තර වශයෙන් ඇති විය හැකිව තිබෙන අහිතකර තත්ත්වයන්ගේ බලපෑම හරහා වඩාත්ම පීඩාවට පත්වනු ඇත්තේ අපගේ දේශප්‍රේමී ජනතාවම වන බැවින් මෙය අපට සුළුවෙන් තකන්නට පුළුවන්කමක් නැත. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල බලපෑම් හරහා ඉදිරි මානව හිමිකම් සැසිවාරයේදී ද අපට සාධාරණ විනිශ්චයක් ලැබෙනු ඇතැයි සිතිය නොහැකිය. ඒ හරහා ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ඒමට තිබෙන යෝජනාව බලවත් රටවල් විසින් සම්මත කරගතහොත් අපට මුහුණ දීමට සිදු වන තත්ත්වය කුමක්‌ද? අපට ආර්ථික සම්බාධකවලට මුහුණ දීමට සිදු වනු ඇතිද? ඇත්ත වශයෙන්ම ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට රටක් සඳහා ආර්ථික සම්බාධක පැනවීමේ බලයක් නොමැත. ඒ සඳහා බලය ඇත්තේ එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයටය. චීනය සහ රුසියාව වැනි රටවල් නිසා එම ආරක්‍ෂක මණ්‌ඩලය තුළ ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීමට ඇති ඉඩකඩ අවම විය හැකි නමුත් "ආර්ථික සම්බාධක" පිළිබඳ අනතුරක් නැතුවා නොවේ. ඒ කෙසේද? එනම් ආර්ථික සම්බාධක පැනවීමේ අරමුණු ආර්ථික අරමුණුම නොවේ. බොහෝ විට ඒවා දේශපාලන අරමුණුය. දැන් කොටි ත්‍රස්‌තවාදය පරාජය කිරීම නිසා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයේ මුහුණ දීමට සිදුව ඇති ප්‍රශ්නයද දේශපාලන එකකි. එසේ නම් මේ මානව හිමිකම් වෙස් ගෙන පැමිණ ඇති සැබෑ ප්‍රශ්නය කුමක්‌ද? එය අන් කිසිවක් නොව කොටි හිතවාදී, බෙදුම්වාදී බලපෑමය. කොටි ත්‍රස්‌තවාදයේ ජාත්‍යන්තර අඳුරු සෙවණැලි රටට එරෙහිව දිගටම හොල්මන් කරමින් තිබේ. ඒ නිසා එම කොටි හිතවාදී බෙදුම්වාදී බලපෑම්, ඉදිරි ආර්ථික සම්බාධක පැනවීමේ තත්ත්වයකට බොහෝ පෙරාතුව, මේ පැමිණ ඇත්තේ මානව හිමිකම් වෙස්‌ගෙන විය හැකිය. ඒ නිසා එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලය තුළින් ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීමට නොහැකි වූවත්, අපට එරෙහි බලවත් රටවලට තනි තනිව හෝ සාමූහිකව අප වෙත ආර්ථික සම්බාධක පැනවීමට බැරිකමක් නැත. රට හමුවේ ආර්ථික සම්බාධක අනතුරක් ඇතැයි අප කීවේ මේ නිසාය.

යුද ජයග්‍රහණයට, මේ රටේ ජනතාව තම උපරිම ශක්‌තිය හා ආශිර්වාදය ලබා දුන්නේය. ඒ නිසා රටට ආදරය කරන ජනයාට, යුද ජයග්‍රහණය ලබා ගැනිමට රජය ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් කිසිඳු ප්‍රශ්නයක් ද නැත. එහෙත් යුද ජයග්‍රහණයෙන් පසු රජයේ ගමන්මග තුළ ඕනෑ තරම් වැරදි අඩුපාඩු තිබේ. එනම් රජයේ යහපාලනය සම්බන්ධයෙන් ඕනෑ තරම් ප්‍රශ්න තිබේ. මේවා අප විසින් විවේචනයට ද ලක් කර තිබේ. මෙසේ රජයේ වැඩපිළිවෙළ, ගමන්මග හා ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජනතාවට ඕනෑ තරම් ප්‍රශ්න තිබෙන බව ඇත්තය. ඒවා රටේ ඉදිරි ආර්ථික සංවර්ධන ගමනට මෙන්ම, ආණ්‌ඩුවම කියන පරිදි ජනතාවට " සුබ අනාගතයක්" උදා කිරීමටද අහිතකර බලපෑම් ඇති කරයි. එහෙත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ අපට මානව හිමිකම් ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුව ඇත්තේ රජයේ එම යහපාලනය පිළිබඳ ප්‍රශ්න නිසා නොවේ. මෙය අප තේරුම් ගත යුතුය. ඒ නිසා මේ ජිනීවා ප්‍රශ්නයේදී රටට ආදරය කරන සියලු දෙනා එක මිටට සිටිය යුතුය. මන්ද මෙය මහින්ද රාජපක්‍ෂ රජයට එල්ල වී ඇති අභියෝගයක් පමණක් නොව ශ්‍රී ලංකා රාජ්‍යයට එල්ල වී ඇති අභියෝගයක් වන නිසාය. එනම් මෙය අප සැලකිය යුතුව ඇත්තේ රටට සහ ජනතාවට එරෙහි, රටේ ඉදිරි ගමනට එරෙහි, රටේ ආර්ථික සංවර්ධනයට එරෙහි යුද ජයග්‍රහණයට එරෙහි, සහ අපේ ආරක්‍ෂක හමුදාවන්ට එරෙහි අභියෝගයක් ලෙසය. සියලු වාද භේද අතැර ජිනීවා ප්‍රශ්නයේදී අප සියල්ල එකට සිටිය යුත්තේ මේ නිසාය. මේ සමගම අපට රජයට ද කීමට දෙයක් තිබේ. එනම් ඉදිරි සම්බාධක අවධානමට මුහුණ දීමට අවශ්‍ය ශක්‌තිය වර්ධනය කර ගන්නා අතරම, රජයේ යහපාලනය පිළිබඳ ප්‍රශ්නද නිවැරදි කරගත යුතුව ඇති බවයි. යහපත් රාජ්‍ය පාලනයද මෙවැනි ජාත්‍යයන්තර ප්‍රශ්න වලට මුහුණ දීම සඳහා ශක්‌තියක් ලබාදෙන බවට කිසිම සැකයක් නැත. රට තුළ දුර්වල විපක්‍ෂයක් පවතින නිසා, රජයේ පැවැත්මට අභියෝගයක් නැතැයි රජය සිතනවා විය හැකිය. බහුතර ජනතාවද මහින්ද රාජපක්‍ෂ රජයට වඩා මේ අවස්‌ථාවේ වෙනත් හොඳ විකල්පයක් නැති නිසා, රජයට ඡන්දය ප්‍රකාශ කරනවාද විය හැකිය. එහෙත් එය රජයේ සියලු කටයුතු අනුමත කිරීමක් නොවන බව රජය තරයේ සිහි තබා ගත යුතුය. රජයේ ක්‍රියා කලාපය තුළ ඇති වැරදි හා අඩුපාඩු විසින් ජාත්‍යයන්තර අභියෝග ජයගැනීමට ඇති ශක්‌තිය හීන කරමින් රටටත්, ජනතාවටත් අහිතකර බලපෑම් ඇති කිරීමට ඇති ඉඩකඩ අපට බැහැර කළ නොහැකිය. බැහැර කළ නොයුතුය.
ආර්ථික සම්බාධක ගැන කතා කිරීමේදී අපේ විදේශ වෙළෙඳාම සමන්විත වී ඇති ආකාරයද බලවත් රටවලට අප වෙත ආර්ථික සම්බාධක ඇති කිරීමට පහසු වාතාවරණයක් නිර්මාණය කර දී තිබේ. තවමත් අපගේ අපනයන මිලදී ගන්නා ප්‍රධාන රට වන්නේ ඇමෙරිකාවයි. අපගේ අපනයන වැඩියෙන්ම මිලදී ගන්නා දෙවන රට මහා බ්‍රිතාන්‍යයි. 2012 වසරේ දී අපගේ මුළු අපනයනවලින් සියයට 22 ක් මෙන්ම ඇගලුම් අපනයනයන්ගෙන් සියයට 40 ක් පමණ ඇමෙරිකාව විසින් මිලදී ගත්තේය. එසේම මුළු අපනයනවලින් සියයට 11 ක් මහා බ්‍රිතාන්‍යය විසින්ද මිලදී ගෙන තිබේ. යුරෝපා සංගමය විසින් 2012 වසරේදී මුළු අපනයනවලින් මිලදී ගෙන ඇති ප්‍රමාණය සියයට 12 කි. මේ නිසා අපගේ අපනයන වෙළෙඳපොළ (රටවල්) මෙන්ම අපනයනය කරන භාණ්‌ඩ ද විවිධාංගීකරණයට ලක් කිරීම තුළින් මේ අහිතකර තත්ත්වය මග හරවා ගත යුතුවේ. එහිදී අප විසින් නව අපනයන වෙළෙඳපොළ වෙත යොමු වෙමින් නව සහ එකතු කළ අගය වැඩි නිෂ්පාදන අපනයනයටද යොමු විය යුතුව තිබේ. මෙලෙස සුදුසු තවත් ආර්ථික උපායමාර්ග අනුගමනය කරමින් අප වෙත මුහුණ දීමට සිදු විය හැකිව තිබෙන ආර්ථික සම්බාධකවල අහිතකර බලපෑම් අවම කර ගැනීමේ ක්‍රියාමාර්ගවලට අප යොමු විය යුතුය. ඒ නිසා සම්බාධක අනතුර එවැනි "අවස්‌ථාවක්" බවට අප විසින් පෙරළා ගත යුතුව තිබේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
http://www.divaina.com/2014/02/13/feature.html
0 comments:
Post a Comment