Pages

Sunday, February 16, 2014

පාලිත පෙරෙරාගේ කන්කළු ක්‍රිකට් විස්තර විචාරය - මාටින් ක්‍රෝ, ජෙෆ් ක්‍රෝ සහ ඩිකී බර්ඩ් පක්‍ෂීන් තිදෙනා ක්‍රීඩාංගණය මැද සිටිනවා!

ලොව කොතැනක වුවද ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම දක්‌වන ජය පරාජය අද මෙරට ප්‍රේක්‍ෂකයන්ට සජීවීව රූපවාහිනී තිරයේ නැරඹීමට හැකිය. ඔවුන් කරන අතපසු වීම් හෝ දුවද්දී දැවී යාමක්‌ වුවද පුනරූපණවලින් තීරණය කිරීමේ හැකියාව අද ප්‍රේක්‍ෂකයන් සතුය. ඒ තාක්‍ෂණය එන්න එන්නම දියුණු වෙමින් පවතින නිසාය. තාක්‍ෂණය නොමැති කාලයක ක්‍රිකට්‌ තරගයක්‌ සජීවීව ප්‍රේක්‍ෂකයන්ට විස්‌තර කරදීමට කට හඬ ලේ රහ වනතුරු කෑ මොර දුන් අපේ රටේ මුල්ම ක්‍රිකට්‌ විස්‌තර විචාරයේ මුලසුන හෙබවූ, රටක්‌ හඳුනන ඒ ප්‍රතාපවත් කටහඬ මෙවර 'අපි නොදන්න ක්‍රිකට්‌' හි ප්‍රධාන චරිතය වේ. ඔහු පාලිත පෙරේරාය.

ඉංග්‍රීසීන්ගෙන් උපත ලද ක්‍රිකට්‌ ක්‍රීඩාවට ඉංග්‍රීසි ශබ්ද කෝෂයෙන්ම සියලු දේ හැඳින් වූ යුගයක ශ්‍රී ලංකා ක්‍රිකට්‌ රසිකයන් වෙනුවෙන් සජීවී තරගයක්‌ මවා පෑමටත් එය සිංහල ශබ්ද කෝෂය අනුව ප්‍රෙAක්‍ෂකයන්ට මුදා හැරීමට සමත් වූ පාලිත පෙරේරාගේ අපි නොදන්න ඈත අතීතයක්‌ තිබේ. කොළඹ ආනන්ද විදුහලෙන් ක්‍රිකට්‌ ක්‍රීඩා කළ ඔහු රන් හැන්දෙන් කිරි බී ක්‍රිකට්‌ ගැසූ සුපිරි පැලැන්තියත් සමග එකල ක්‍රිකට්‌ ක්‍රීඩාවේ නිරත විය. වර්තමානයේද බොහෝ වාර්තා අන්තර්ජාලයෙන් ප්‍රේක්‍ෂකයන්ට මුදා හරින අවස්‌ථාවක පාලිත පෙරේරා සතු අවුරුදු 51 ක ක්‍රිකට්‌ මතකය සුන්දරව අදත් ප්‍රේක්‍ෂකයන්ට පැවසීමට තරම් ඔහුගේ මතකය නැවුම්ය.

ඒ නිසාම ආසාමන්‍ය දක්‍ෂතා වලින් පිරිපුන් කටහඬක්‌ සහිතව මෙරට ප්‍රේක්‍ෂකයන්ට ක්‍රිකට්‌ 'උණ' කා වැද්දූ පාලිත පෙරේරාට පසුගියදා සිදුවූ අපූරු සිදුවීමක්‌ සමග ඔහුගේ 'අපි නොදන්න ක්‍රිකට්‌' ඉතිහාසය මෙසේ අප සමග දොඩමළු විය.

"මම පසුගිය දවසක බසයෙන් නාරාහේන්පිට යන කොට එතන හිටපු මනුෂ්‍යයෙක්‌ මගෙන් ඇහුවා ඔයා පාලිත පෙරේරා නේද කියලා. මම ඔව් කිව්වා. ඒ පාර ඒ මනුෂ්‍යයා මගෙන් ඇහුවා ඇයි දැන් රේඩියෝ එකේවත් ටීවී එකේවත් වැඩිය පේන්නෙ නැත්තෙ ඇයි කියල. මම කිව්වා මට මේ රටේ තියෙන රේඩියෝ චැනල් 52 න් එකක්‌වත් නැහැ. මටම කියල පත්තරයක්‌ නැහැ. මටම කියල ටීවී චැනලයක්‌ නැහැ. ඒකයි මම පේන්න නැත්තෙ කියලා. ඒ පාර ඒ මනුෂ්‍යයා ඇහුවා ඇයි දැන් ඔය තරුණ ළමයි ටිකක්‌ ඉන්නෙ කියලා. මම කිව්වා ඔව් අපි වගේ වයසට ගිය කඳ බඩ තියෙන අය දාල දැන් ක්‍රිකට්‌ මාර්කට්‌ කරන්න බැහැනෙ කියලා මම බසයෙන් බැහැල ගියා." 


එදා සනත් ජයසූරිය ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩකයකු ලෙස වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කණ්‌ඩායමේ නායකත්වයට පත්විය. කොළඹින් පිට මාතර ප්‍රදේශයෙන් ශ්‍රී ලංකා යොවුන් කණ්‌ඩායමේ නායකත්වයට පත් මේ සනත් ජයසූරියගේ සම්මුඛ සාකච්ඡාවක්‌ සඳහා පාලිත පෙරේරා එදා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට ගියේය. ඒ යන විට හුරු බුහුටියට ටයි එක දමාගෙන බිත්තියක ගෑවි ගෑවී සිටි කොලු ගැටයා ළඟට ගිය පාලිත පෙරේරා ඔහුගේ ටයි පටිය නිසියාකාරව හැඩ දමමින් මෙසේ පැවසීය. "පුතා ඔයා අනාගතයේ ශ්‍රී ලංකා නායකත්වය දරන්න තරම් දක්‍ෂ වෙන්න ඕන. කොළඹින් පිට ඉදන් ඔයා ඇවිල්ල තියෙන්නෙ ලොකු ගමනක්‌." යනුවෙනි. ඒ ජයසූරිය පසුකාලීනව ලොව ක්‍රිකට්‌ වලින් මාස්‌ටර් බ්ලාස්‌ටර් විය.

වර්තමාන කණ්‌ඩායමේ අජන්ත මෙන්ඩිස්‌ ශ්‍රී ලංකා ජාතික කණ්‌ඩායමට ක්‍රීඩා කිරීමට පෙර ඔහු යවන අසාමාන්‍ය පන්දුවට ඇහැ ගැටුන පාලිත පෙරේරා මොහු යවන්නේ අසාමාන්‍ය පන්දුවක්‌. මේක හරියට පන්දුව විදිනවාක්‌ මෙනි යෑයි පැවසීය." ක්‍රිකට්‌ කෙරෙහි එවැනි ඉවක්‌ ඔහුට තිබිණි.

මගේ මතකයට අනුව එදා අපි ක්‍රිකට්‌ තරගයක්‌ රූපවාහිනියෙන් නරඹන විට එහි හඬ නවත්වා පාලිත පෙරේරාගේ කට හඬ ගුවන් විදුලියෙන් අසා තරගයේ උපරිම ආශ්වාදය වින්දෙමු. ඒ තරමට ඔහුගේ ක්‍රිකට්‌ විචාරය අපේ හදවතට දොaංකාර විය. ළං විය. එහෙත් අද තාක්‍ෂණය දියුණු වුවද තවත් පාලිත පෙරේරලා බිහි නොවනු ඇත. එදා ඔවුන් ක්‍රිකට්‌ වෙනුවෙන් කළ යුද්ධය අද කිසිවකුටත් කළ නොහැක. අද ක්‍රිකට්‌ යනු මුදල් උල්පතකි. ගණු දෙනු ඩොලර් මිලියන ගණනි. එහෙත් පාලිත පෙරේරා තවමත් බසයෙන් සිය වැඩ රාජකාරිවලට පිටත්ව යයි. ඒ ඔහු ක්‍රිකට්‌ වෙනුවෙන් මුදල් පසු පස හඹා නොගොස්‌ සිය ශ්‍රමය සහ දහඩිය කැප කරමින් අදත් ක්‍රිකට්‌ වෙනුවෙන් වැඩි කාලයක්‌ ගෙවා දමන හෙයිනි. අවුරුදු 51 ක්‌ පුරා ක්‍රිකට්‌ වෙනුවෙන් උපරිමය වැය කළ මොහුට අදටත් ඔහුගේම කියා ලැප්පොට්‌ පරිගණකයක්‌වත් නොමැත. එහෙත් ඔහු අදත් සුපුරුදු පරිදි ක්‍රිකට්‌ විස්‌තර විචාරයේ යෙදෙයි. සිය ක්‍රිකට්‌ දිවියේ කිසිදු දිනක රූපවාහිනිය බලා විස්‌තර විචාරය නොකළ මේ අපූරු මිනිසාගේ ඈත අතීතය ඔහුගේ වදන් වලට අනුව මෙසේ සටහන් කරමි.

"මම කොළඹ නාලන්ද විදුහලට ගියේ. ඒ කාලෙ හැම ළමයකුටම ක්‍රිකට්‌ ක්‍රීඩකයකු වෙන්න සිහිනයක්‌ තිබුණා. ඒ කාලෙ තිබුණෙ ඕල් සිලෝන් කණ්‌ඩායම. ස්‌ටැන්ලි ජයසිංහ තමයි අපේ කාල සීමාවේ මුලින්ම ඕල් සිලෝන් (සමස්‌ත ලංකා) ගැහුවෙ. ඒ කාලෙ පාසල් ක්‍රිකට්‌ වලට හිටපු පතාක යෝධයකු තමයි ස්‌ටැන්ලි ජයසිංහ.

ඒ කාලෙ එංගලන්තයෙ ඉඳන් ක්‍රිකට්‌ බඩු ලංකාවට ගේනවා. කොළඹ චැතන් වීදියේ ක්‍රීඩා භාණ්‌ඩ අළෙවි කරන කඩ දෙකක්‌ තිබුණා. ඒවායින් තමයි අපි ක්‍රිකට්‌ බැට්‌ බෝල අර ගත්තෙ. පස්‌සෙ පකිස්‌තාන් සහ ඉන්දියන් බෝල ලාබෙට ආවා. ඒව තමයි අපි පුහුණුවීම්වලට ගත්තෙ. අපිට සියලු ක්‍රිකට්‌ උපකරණ පාසලෙන් ලබා දුන්නා. අපිට කියල ගත්තෙ සපත්තු විතරයි. යනුවෙන් සිය ක්‍රිකට්‌ පිවිසුමේ ආරම්භය පාලිත පෙරේරා අප සමග පැවසීය.

"ඒ කාලයේ එංගලන්තයෙන් ආපු බැට්‌ පිතිවල එංගලන්ත නම් ගිය ක්‍රිකට්‌ ක්‍රීඩකයන් වන ඩෙනිස්‌ කොන්ටන්, ලෙන් හටන් සහ පීටර් මේන් වැනි අයගෙ අත්සන පිත්තෙ මුහුණත පැත්තෙ මිට ලගට වෙන්න අච්චුවක කොටල තිබුණා. ශ්‍රී ලංකාවෙ ස්‌ටැන්ලි ජයසිංහගෙ අත්සනත් ඔය පිතිවල තිබුණා.

ඉස්‌සෙල්ල එස්‌.එස්‌.සී ක්‍රීඩාංගණය තිබුණෙ නෙළුම් පොකුණ ළඟ. සෞන්දර්ය විශ්ව විද්‍යාලය පැත්තෙ තමයි ෆeවිලියන් එක තිබ්බෙ. සී.අයි. ගුණසේකර, එස්‌.ඩී. සිරිසේන, බෙන් නවරත්න ඒ කාලෙ ඕල් සිලෝන් ගහපු අය ගොඩක්‌ එස්‌.එස්‌.සී කණ්‌ඩායමට ගැහුවා. මේ පසුබිම මත තමයි කාල් උබේසේකර වැලන්ටයින් උබේසේකර, ඈස්‌ලි ද සිල්වා, ඩබ්ලිව්. ජයසූරිය, අමරසිරි ගුණසේන, මහවත්ත ප්‍රේමරත්න යන අය ඒ කාලෙ හොඳට ක්‍රිකට්‌ සෙල්ලම් කරනවා. මේ අයගෙ පින්තූර පත්තරවල නිතරම වගේ පළවෙනවා. අපි ඒව කපල අපේ පොත්වල අලව ගන්නවා. ඒ අය එදා අපේ වීරයෝ. ඒ තරමට මම ඒ කාලෙත් ක්‍රිකට්‌ එක්‌ක ජීවත් වුණා.

මම වයස අවුරුදු 12 න් පහළ කණ්‌ඩායමේ පුහුණුවීම්වලට ගිහිල්ලා කණ්‌ඩායමට තේරුණා. මම පස්‌වැනි පන්තියේ හිටියේ. ඒ වයසේ නායකත්වය දැරුවේ ගාමිණී ජයවික්‍රම පෙරේරා. රාජකීය විදුහල් කණ්‌ඩායමත් එක්‌ක තමයි අපි ක්‍රීඩා කළේ. ආපහු 7 පන්තියට යන කොට වයස අවුරුදු 17 න් පහළ කණ්‌ඩායමටත් ක්‍රීඩා කළා. අපි පුහුණුවීම් ගියාම ඉස්‌සෙලම නායකයා ස්‌ලිප් බෝඩ් කැචස්‌ දෙනවා. ලීයෙන් හදපු ඔරුවක්‌ වගේ එකකට පන්දුවෙන් ගහනවා. පන්දු වදින තැන අනුව ඕන තැනකට යන්න පුළුවන්.

නාලන්ද පිටියේ සේවකයෙක්‌ හිටියා ජෝෂප් කියල. එයාගෙන් අපි පරණ බෝල ශත 5ට ගන්නවා. කුන්දිරා ගහේ පොල් අත්තක ඒක එල්ලලා බැට්‌ එකක්‌ හදා ගෙන ගහනවා. ඔට්‌ටපාලු අරගෙන ගල්කැටයකට ඔතල ලෙදර් පන්දුවක්‌ වගේ ගෙදර පිටි පස්‌සෙ බිත්තියට ගහල අල්ලනවා. හැමදාම බිත්තියෙ මඩ පාරවල් තියෙන හින්ද අම්මගෙන් හරි අයියගෙන් හරි ගුටි කනවා. 

ජෝශප්ට පස්‌සෙ ආවා ඔමාර් ඩීන් කියල ග්‍රවුන්ඩ් බෝයි කෙනෙක්‌. එයාට සරම කැහැ පොට ගහල හොදට බෝල් කරන්න පුළුවන්. ලින්සිට්‌ ඔයිල් (ලින් කියන ගහේ ඇට වලින් ගන්න තෙල්) බැට්‌ එකේ ගහල පන්දුවෙන් තලලා එයා බැට්‌ හොඳට පදම් කරනවා. දැන් ඒක කරන්නෙ ලී මිටියෙන්. මේ ඩීන්ට හොඳ බැට්‌ සීසන් කිරීමේ හැකියාව තිබුණා. බැට්‌ කැඩුණාම එයා බයින් කරලත් දෙනවා. 

පස්‌සෙ ඔමාර් ඩීන් බ්ලූම්ෆSල්ඩ් ග්‍රවුන්ඩ් බෝයි වෙලා ගියා. ඒ කාලෙ ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පුහුණුකරු ලෙස පැමිණි ගාෆsල්ඩ් සෝබර්ස්‌ගෙ විකට්‌ එක ගලවල දාන්න ඕමාර් කියන ග්‍රවුන්ඩ් බෝයි බෝල් කළා. 

අපි යන කාලෙ නාලන්දයට ක්‍රිකට්‌ ගහන්න ආවෙ රත්තරන් හැන්දෙන් කිරි බීපු කට්‌ටිය. අපි සාමාන්‍ය පන්තියෙ දරුවෝ. ඒ කාලෙ මහින්ද රාජපක්‌ෂ මහත්තයත් නාලන්දෙ බෝඩිමේ හිටියා. හුඟාක්‌ අය බෝඩිමේ නැවතිල හිටියා. මම කලාව පැත්තෙන් යන හින්ද කිව්වෙ කලාකාරයා කියලා. කලා සංගමයේ සහ සාහිත්‍ය සංගම්වල සභාපති වෙලාත් හිටියෙ මම.

අපි ඒ කාලෙ ක්‍රිකට්‌ පුහුණුවීම් කරල කන්න බොන්න ගෙදරින් දෙන ශත පනහෙන් ශත 15 ක්‌ වියදම් කරනවා. ඒ කාලෙ ප්ලේන්ටියක්‌ ශත පහයි. පරිප්පුත් එක්‌ක තෝසෙ දෙකක්‌ ශත 10 යි. කැම්බල් පාර්ක්‌ පිට්‌ටනියට උඩින් තිබුණ කඩයෙන් කාල තමයි ගෙදර ගියේ. 

මට මතකයි ඒ කාලෙ සරත් සිල්වා කියල අලංකාර වමත් පිතිකරුවෙක්‌ හිටියා. ඔහු පාසල් ක්‍රිකට්‌ ක්‍රීඩකයෙක්‌ හැටියට ලකුණු අතර හිටපු නිසා ලංකාවේ සංචාරය කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම සමග තරගයට ඕල් සිලෝන් කණ්‌ඩායමේ ආරම්භ පිතිකරු ලෙස තෝර ගත්තා. මම ඒ තරගය විස්‌තර විචාරය කරන්න ගියා වනාතමුල්ල ඕවල් ක්‍රීඩාංගණයට. එක්‌ අන්තයක්‌ නම් කළා ටෙනිස්‌ කෝඩ් අන්තය කියලා. අනිත් අන්තය ලකුණු පුවරුව අන්තය කියල කිව්වා. සරත් සිල්වා ටෙනිස්‌ කෝඩ් අන්තයේ බැට්‌ කළා. ඒ කාලෙ හිටපු ලෝකයේ වේගවත්ම පන්දු යවන්නකු වූ වෙස්‌ලි හෝල්ඩ් තමයි ලකුණු පුවරු අන්තයෙන් පන්දු යවන්න පටන් ගත්තෙ. ඔහු හතරේ සීමාව අසලම ඉඳන් තමයි දුවන්න පටන් ගන්නෙ. පළමු පන්දුව විස්‌තර විචාරය කරන අපි දැක්‌කෙත් නැහැ. දෙවැනි පන්දුව කඩුලු රකින්නාගෙ අතට යනව දැක්‌කා. ඒ තරමට ඔහුගේ පන්දුව වේගවත්. ඒ ඕවරයේ අන්තිම බෝලයට සරත් සිල්වාගෙ විකට්‌ එක ගලවාගෙන ගියා. පස්‌සෙ සරත් සිල්වා ඇවිල්ලා කිව්වා මම බෝලය එනව දැක්‌කෙත් නැහැ කියල. එතනින් එයාගෙ ක්‍රීඩා ජීවිතයම ඉවර වුණා.

පළමු ටෙස්‌ට්‌ තරගයේදී සජීවී විස්‌තර විචාරය වෙනුවෙන් පාලිත පෙරේරාට දවසකට රුපියල් 540 ක්‌ ලැබිණි. ඒ අතීතයේදී ඔහු එක්‌ අවස්‌ථාවක සජීවී විස්‌තර විචාරය යෙදන විටෙක ක්‍රීඩාංගණය මැද පක්‍ෂීන් තිදෙනක්‌ ඉන්නා බවට අපූරු කියමනක්‌ පැවසීය.

"නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයක්‌ තිබුණා එස්‌.එස්‌.සී. ක්‍රීඩාංගණයේ. මම විස්‌තර විචාරයට ගියා. මම විස්‌තර විචාරයට ගියාම දුම්මල වරම ගත්තා වගේ පන්දුවත් එක්‌කම තමයි ඉන්නෙ. 'මේ පිට්‌ටනියෙ තණතිල්ල මත පක්‍ෂීන් තුන්දෙනෙක්‌ ඉන්නවා. දෙන්නෙක්‌ ක්‍රීඩා කරනවා. එක්‌කෙනෙක්‌ හිටගෙන බලාගෙන ඉන්නවා. එක්‌කෙනෙක්‌ මාටින් ක්‍රෝ, එයා මාටින් කපුටා. අනිත් එක්‌කෙනා ජෙෆ් ක්‍රෝ. එයා ජෙෆ් කපුටා. විනිසුරු ඩිකී බර්ඩ්. එයා ඩිකී කුරුල්ලා. යනුවෙන් විස්‌තර කළේය. එය අසා සිටි සෙසු විස්‌තර විචාරකයන් බඩ අල්ලගෙන පිටි පස්‌සට වෙලා හූ කියල කෑ ගහල හිනා වුණා.

පාලිත පෙරේරාගේ තවත් රස වෑහෙන කතා ලබන සතියේදී දැන ගනිමු. 

අසේල විතාන 
http://www.divaina.com/2014/02/16/sports01.html

0 comments: