Pages

Monday, February 24, 2014

බුදු දහම උතුර නැගෙනහිර දෙමළ ජනතාව අතරින් ගිලිහී යැමේ ඓතිහාසික ප්‍රමාදයේ ප්‍රතිඵලය වූයේ බෙදුම්වාදයයි.

බෞද්ධ ධර්ම ප්‍රචාරක ක්‍රමවේදයේ ප්‍රතිසංශෝධනයක්‌ උදෙසා ඉදිරි දැක්‌මක්‌

වසර 2603 ක්‌ අඛණ්‌ඩව ශාස්‌ත්‍රීය ව හා සාර්ථක ව බෞද්ධ ධර්ම ප්‍රචාරක ක්‍රමවේදය පැවැති බව පෙන්වා දීමට අමුතුවෙන් වෙහෙස විය යුතු නැත. මම තෙරුවන් සරණ ගිය බෞද්ධයකු යෑයි යමෙකු කියන්නේ ද හෝ ගිහි පැවිදි හෝ ස්‌ත්‍රී පුරුෂ කවරකු හෝ වේවා පෞද්ගලික පරමාර්ථය සියලු දුක්‌ නසා නිර්වාණාවබෝධය ලැබීමයි. සංස්‌ථාමය ලෙස සලකන විට පුද්ගලික පරමාර්ථය ද රැක ගනිමින් අදාළ සංස්‌ථාමය සංරක්‍ෂණය, ප්‍රවෘත්තිය හා ස්‌ථාවරත්වය පිළිබඳ කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙයි. ඒ අනුව සිවු පිරිසේ සංස්‌ථාමය වගකීම් ඒ ඒ පිරිසට සුවිශේෂී වූ අනන්‍යතාවන්ගෙන් යුක්‌ත වෙයි. ඒ අනුව භික්‍ෂුවගේ සංස්‌ථමය පරමාර්ථය 'පෙර නොඇසූ විරූ' තථාගත ධර්මය සංරක්‍ෂණය කර ගැනීමයි. ස්‌ථාවර කිරීමයි. ඒ සඳහා වන ක්‍රමවේදය ධර්ම ප්‍රචාරය නම් වෙයි.

ධර්ම ප්‍රචාර කාර්යයෙහි ලා ශ්‍රී ලාංකික භික්‍ෂුව ලොව අත්‍යදාර ආදර්ශයයි. ශ්‍රී ලංකාවට වැඩම කළ අසහාය ධර්මදූතවරයාණ වන අනුබුදු මහා මහින්ද මහ රහතන් වහන්සේ දකුණු ඉන්දියාවේ කාංචිපුරම් හි ධර්ම ප්‍රචාරය කළ බවත්, ඉන්දු විහාරය ගොඩ නැංවූ බවත් අශෝක රජු එහි ස්‌තූපය ගොඩනැංවූ බවත්, චීන දේශාටක හියුං ත්සාං තුමා පෙන්වා දෙයි. ශ්‍රී ලාංකික ප්‍රථම භික්‍ෂූන් වහන්සේ වන අරිට්‌ඨ මහ රහතන් වහන්සේ දකුණු ඉන්දියාවේ ධර්ම ප්‍රචාරයේ යෙදුණු අතර උන්වහන්සේ වැඩ විසූ 'අරිට්‌ඨපුත්ති' ගල් ගුහාව ප්‍රකට ස්‌ථානයක්‌ වෙයි. අපේ අටුවා කරණයේ යෙදුණු ආචාර්ය බුද්ධදත්ත, බදරතිත්ථ ධම්මපාල වැනි අටුවාචාරීන් වහන්සේ ඇතුළු දකුණු ඉන්දීය ස්‌වාමින් වහන්සේ ථෙරවාදී බුදු දහම සංරක්‍ෂණය කරමින්, බුදු දහමේ ජාත්‍යන්තර ප්‍රචාරයට කළ සේවය උදාරය. මේ තත්ත්වය තුළ දකුණු ඉන්දියාවේ කාංචිපුරය කුඩා අනුරාධපුරයක්‌ වූ අතර ඒ නිසා ප්‍රශස්‌ත දෙමළ බෞද්ධ සාහිත්‍යයක්‌ ද ගොඩ නැඟිණි.

දහසක්‌ හේතු සාධක දැක්‌විය හැකි ඓතිහාසික ප්‍රමාදයන් නිසා ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා බුදු දහමින් ඈත් වූහ. ජෛන, හින්දු සහ ආජීවක සම්ප්‍රදායන් සමඟ ඉන්දියාවට ආවේණික වූ දාර්ශනික ලෝකයේ මතවාදී හැලහැප්පීම් තිබුණත්, ඒ සියල්ලන් රුදුරු ආගමික ත්‍රස්‌තවාදය හෝ හිංසාව හෝ සපුරා පිළිකෙව් කළ බැවින් සුහදව සම සංස්‌කෘතික පරිසරයක විසූ බැවින් බොහෝ කලක්‌ දකුණු ඉන්දියාවේ බුදු දහම රැකිණි. ථෙරවාදය මතු නොව මහායානය, තන්ත්‍රයානය වැනි සම්ප්‍රදාය ද දකුණු ඉන්දියාවේ දියුණුව පැවතිණි. ශ්‍රී ලාංකික දෙමළ ජනතාව බුදු දහම අත්නොහැරියේ නම් සමස්‌ත දකුණු ඉන්දියාවේ කෙසේ වුවත් වර්තමාන තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන ආගම බවට බුද්ධාගම පත් වන්නට ඉඩ තිබිණි. අම්බෙක්‌කාර්තුමා වැනි බෞද්ධ නායකයන් සිය ගණනක්‌ බිහි වීමට ඉඩ තිබිණි.

ශ්‍රී ලංකාව තුළ ඉන්දීය සංස්‌කෘතියේ ද ආභාසය ලබා හික්‌මුණු සිංහල සහ දෙමළ ජන වර්ග අතරින් දෙමළ ජනවර්ගය වේගයෙන් බුදු දහම අතහැර දමන ලද්දේ ඔවුන් තුළ ඇතිවූ වැරදි ආකල්පය නිසයි. සිංහල භික්‍ෂුව ඉතා සාර්ථකව, නිර්භයව, ජාතික මමත්මය හා සංවර්ධනය ද සකසමින් ලංකාවේ දකුණේ කළ ධර්ම ප්‍රචාරය සමඟ බුද්ධාගම යනු සිංහලයාගේ ම උරුමයක්‌ යෑයි ලංකාවේ උතුර නැගෙනහිර දෙමළ ජනතාව වරදවා වටහා ගත්හ. භාෂාව දෙමළ වුවත් සංස්‌කෘතිය අතින් ඉස්‌ලාම්වරුන් හා හින්දුන් අතර සංස්‌කෘතික පරතරය ඉන්දියාවේ මෙන්ම ලංකාවේද පැවතුනි.

ශ්‍රී ලංකාවේ ධර්ම ප්‍රචාරයේ හැඩතලය 19 සහ 20 වැනි සියවස්‌ වලදී වඩාත් වෙනස්‌ පරිසරයක්‌ ගත්තේය. ලංකාවට බටහිර ජාතීන් පැමිණීම සමඟ ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයන් මෙන්ම හින්දු දෙමළ ජනතාව ද නොසිතූ විරූ දේශපාලන හා සංස්‌කෘතික පීඩාවන්ට පත් වූහ. දෙවර්ගයම බටහිර විරෝධී සටන් කළත් සිංහල වර්ගයාගේ බටහිර විරෝධී ස්‌වභාවය වඩා තීව්‍ර එකක්‌ විය. 19 සහ 20 සියවස්‌වල බිහිවූ පහතරට බෞද්ධ ධර්ම ප්‍රචාරකයෝ කිතුනු දහම ඉගෙන ගනිමින්, මුද්‍රණාල සකස්‌ කරමින්, ගැඹුරු දාර්ශනික පදනමකින් ද, ආර්ථික ශක්‌තියකින් ද, යුක්‌තව සටනට අවතීර්ණ වූහ. කිතුනු සංස්‌කෘතියෙන් තම සිංහල සංස්‌කෘතිය බේරා ගනිමින් බුදු දහම ප්‍රචාරයට පහත රට පැවිදි ගිහි පිරිස්‌ කළ බුද්ධිමය සටනින් ඔවුහු ජයග්‍රහණය කළහ. කිතුනු ව්‍යාප්තියෙන් ස්‌ව ජාතිය බේරා ගැනීමේ අවශ්‍යතා නිසාම ස්‌ව මිත්‍ර උතුර නැගෙනහිර දෙමළ ජනතාව අතර ධර්ම ප්‍රචාරය කිරීම අමතක වන තරමට දකුණේ ධර්ම ප්‍රචාරය ඒක පාක්‍ෂික විය. අධිරාජ්‍යවාදීන්ගෙන් ශ්‍රී ලංකාව නිදහස්‌ කර ගැනීම සඳහා දක්‍ෂිණාංශික හෝ වේවා වාමාංශික හෝ වේවා සටන් වල තිබූ දේශීය ප්‍රමිතිය මේ ධර්ම ප්‍රචාරයේ දී සිදු නොවීම බලවත් ප්‍රමාදයක්‌ ලෙස පෙනේ.

18 වැනි සියවසේ සිට ක්‍රමයෙන් ශාස්‌ත්‍රීය වෙමින් පාලි සංස්‌කෘත භාෂා ප්‍රවීණත්වය ලැබූ භික්‍ෂුව 20 වැනි සියවසේදී ඉංග්‍රීසි අධ්‍යාපනයට යොමු විය. ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ පණ්‌ඩිත උපාධියට දෙමළ භාෂාව සහ සාහිත්‍යය විෂයයක්‌ වුව ද ඒ මගින් රාජකීය පාණ්‌ඩිත්වයට නොගිය ඒ උගත්තු බටහිර අධ්‍යයන මූලධර්ම යටතේ සැකසුණු, වඩාත් ශාස්‌ත්‍රීය වූ අධ්‍යයන රටා තුළ හික්‌මවෙමින් ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කළහ. එබැවින් යුරෝපය ඇතුළු බටහිරට සිය ධර්ම ප්‍රචාරය මධ්‍යගත කළහ. එම ධර්ම ප්‍රචාරය කිසි දින අවතක්‌සේරු නොකළ යුතු වේ. ඉන් ඇතිවූ ප්‍රබුද්ධත්වය මහත්ය. බුදු දහම යනු ම්ලේච්ඡයන්ගේ ගෝත්‍රික ආගමක්‌ ලෙස හැඳින්වූ සමාජයක රීස්‌ ඩේවිඩ්ස්‌, ගයිගර්, ශ්‍රීමත් ආර්නෝල්ඩ් වැනි උගතුන් බිහි කිරීමට මෙම ධර්ම ප්‍රචාරය හේතු සාධක විය. එහෙත් අපේම ගමේ අපේම මිනිසාට හෙවත් දෙමළ මිනිසාට බුදු හාමුදුරුවෝ සිංහලයෙක්‌ නොවේය යන දැනුම වත් දීමට දකුණේ ධර්ම ප්‍රචාරණය අසමත් ස්‌වභාවයට පත් විය.

අනගාරික ධර්මපාල තුමා ඉන්දීය ධර්ම දූත සේවය ආරම්භ කළ අතර ඉන් දකුණු ඉන්දියාවට ද බුදු දහම ව්‍යාප්ත විය. තවත් ශ්‍රී ලාංකික ස්‌වාමින් වහන්සේ කිහිප නමක්‌ මේ ධර්ම ප්‍රචාරය කළහ. ඒ නිසා අද ද දකුණු ඉන්දියාවේ බුදු දහම යම් ප්‍රමාණයකට පවතී. ඒත් ඇයි දකුණු ඉන්දියාව ලංකාවේ කහ සිවුරට මෙතරම් විරුද්ධ? ඊට ප්‍රධාන හේතුව ලංකාවේ දෙමළ ජනතාව අතර ධර්ම ප්‍රචාරය සඳහා වූ සංවිධිත, දීර්ඝකාලීන, ධර්ම ප්‍රචාරක සේවයක්‌ නොවීමයි. දෙමළ ජනතාව බහුලව වසන උතුර නැගෙනහිර ප්‍රදේශවල පන්සල් තිබිණි. නාගදීපය. යාපන නාග විහාරය. නැගෙනහිර මුහුදු මහා විහාරය, වැනි විහාරස්‌ථානවල ස්‌වාමින් වහන්සේ මහත් කැපවීමෙන් කටයුතු කළහ. එහෙත් දකුණේ ඕනෑම පන්සලක පෝය දවසක දක්‌නට ලැබෙන උෙද්‍යාගය උතුරේ ඕනෑම පන්සලක දක්‌නට ලැබුණාද? වතුකරයේ තත්ත්වය මීටත් වඩා ශෝකජනකය.

බුදු දහම උතුර නැගෙනහිර දෙමළ ජනතාව අතරින් ගිලිහී යැමේ ඓතිහාසික ප්‍රමාදයේ ප්‍රතිඵලය වූයේ බෙදුම්වාදයයි. එය අශාස්‌ත්‍රීය ත්‍රස්‌තවාදය දක්‌වා වර්ධනය වූ බැවින් සිංහල දෙමළ ලාංකිකයෝ ලක්‍ෂ ගණනක්‌ අවාසනාවන්ත ලෙස ව්‍යසනයට පත්වූහ. නැසී ගියහ. සිදු වූ සංස්‌කෘතික සමාජීය සහ ආර්ථික හානිය අනන්තය. අප්‍රමාණය. භාෂා විෂයාතික්‍රාන්තය.

2013 ලංකා සී නිවුස්‌ නොවැම්බර් 08 දින අන්තර් ජාලයේ 'මුරගල' දෙමළ බෞද්ධ සංගමයේ ඒ. රවි කුමාර් මහතාගේ සම්මුඛ සාකච්ඡාවක්‌ පළ වී තිබිණි. එතුමා 2013 උතුරු පළාත් සභා මැතිවරණයට ටී. එන්. ඒ. සංවිධානය ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශයට එරෙහිව අධිකරණ ක්‍රියාදාමයකට ගිය ජාතික සමඟි සන්ධාන එකමුතුව සමඟ එක්‌ව සිටි යාපන දෙමළ බෞද්ධ සංගමයේ සභාපතිවරයායි. හෙතෙම දෙමළ බසින් බුදුදහම උගන්වන දහම් පාසල් ගුරුවරයෙකි. එතුමාගේ ප්‍රකාශනය වර්තමාන ධර්ම ප්‍රචාරණයේ ස්‌වරූපය සංවිධානය කර ගැනීමට ඒකාන්ත වශයෙන් අපට දායක වේවි.

එතුමා කියන ලෙස,

01. තිස්‌ අවුරුදු යුද්ධයෙන් උතුර නැගෙනහිර දෙමළ ජනයාගේ සියලු දේපළ විනාශ වුණා. හින්දු භක්‌තිකයන් ක්‍රිස්‌තියානීන් බවට මාරු වීම නිසා අපේ සංස්‌කෘතික හර පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වුණා. හින්දුන් බෞද්ධයන් වුණා නම් මේ සංස්‌කෘතික හානිය වන්නේ නැහැ.

02. අපි බෙදුම්වාදයට විරුද්ධයි. අපේ රට අතහැරල අපි බටහිර රටවලට පදිංචියට යන්නේ නැහැ. යුද්ධ කාලේ ජීවිතය බේරගන්න ඉන්දියාව, නේපාලය, මැලේසියාව වැනි රටවලට ගියා. එහෙදී බුදු දහම ඉගෙන ගත්තා. අපේ ගැටලු විස¹ ගන්න පුළුවන් බුදු දහම තුළින් පමණයි.

03. සිංහල කතා කරන හාමුදුරුවරු ඉංග්‍රීසි ජර්මන් ප්‍රංශ භාෂා ඉගෙන ගෙන සුද්දන් බෞද්ධයන් කරන්න උත්සාහ කරනවා. නමුත් දෙමළ මිනිහව බෞද්ධ කරන්න උත්සාහ කරන්නේ නැහැ. වඩා වටින්නේ ඇමෙරිකාවේ සුද්දව බෞද්ධ කරන එක ද අපේ රටේ දෙමළ මිනිහව බෞද්ධ කරන එකද?

04. දෙමළ මිනිස්‌සු හිතන්නේ සිංහලයෝ දෙමළ ජාතියට විරුද්ධයි, ඒ නිසා බෞද්ධයෝ දෙමළුනට විරුද්ධයි කියල. ඒත් ඇත්ත තත්ත්වය, සිංහල මනසේ එහෙම දෙයක්‌ නැහැ. පන්සලේ හින්දු දෙවිවරු වැඩ ඉන්නවා. අපි යාපනයේ නාග විහාරයට ගියාම ශිව විෂ්ණු දෙවිවරුන්ටත් පුද පූජා තියලයි එන්නේ. ඒත් බහුතර දෙමළ ජනතාවට තාම මෙය වැටහී නැහැ.

05. දීර්ඝ කාලීන කුමන්ත්‍රණයක්‌ ලෙසයි, දෙමළ ජනතාව මේ වැරදි අදහසට පත් වෙලා ඉන්නේ. බුදු හාමුදුරුවෝ මුලින්ම වැඩියේ නාගදීපයට. ශ්‍රී මහා බෝධිය ගෙනාවේ දඹකොළ පටුනට. දන්ත ධාතූන් වහන්සේ වැඩම වූයේ ලංකා පටුනට. තපස්‌සු භල්ලුක තැනූ මුල්ම ස්‌තූපය නැගෙනහිර ගිරිහඬු සෑය.

06. අධිරාජ්‍යවාදීන් සුඩානය කඩල දකුණු සුඩානය කියල සම්පූර්ණ ක්‍රිස්‌තියානි රාජ්‍යයක්‌ ගොඩනැගුවා වගේ ක්‍රිස්‌තියානි රාජ්‍යයක්‌ ගොඩනගන්නයි ඊළාම් කුමන්ත්‍රණය කරන්නේ.

වඩාත් විස්‌තර ලෙස කරුණු කියන රවි කුමාර් මහතා කියනවා, යාපනය දෙමළ බෞද්ධ සංගමයේ දෙමළ කියන කොටසත් ළඟදීම අයින් කරනවා කියල එතුමා කියන්නේ බෞද්ධයෝ බෞද්ධයෝයි, සිංහල, දෙමළ කියල වෙන් වන්නේ නැහැ කියලයි. සිංහලෙන් කතාකරන ස්‌වාමින් වහන්සේලා දෙමළ ඉගෙනගෙන දෙමළ බසින් අපට දහම දෙන්න කියලා.

නැවත යුද්ධයක්‌ ඇති නොවීමට නම් මෙම සැදැහැවත් බෞද්ධයාගේ දර්ශනය අප අධ්‍යයනය කළ යුතු වෙයි. පුරවැසි බව ලැබුවත් කිසිදා දේශීයත්වයක්‌ නොලබන බටහිර රටවල ආගන්තුක ව ධර්ම ප්‍රචාරය කරනවාට වඩා දේශීය දෙමළ ජන සමාජයේ ධර්ම ප්‍රචාරය කිරීම වඩා යෝග්‍ය නොවන්නේද?

'ඒහි පස්‌සික'

වාද්දුව ශ්‍රී ලංකාරාමාධිපති, පූජ්‍ය වාද්දුවේ ධම්මවංශ හිමි
http://www.divaina.com/2014/02/22/feature01.html

Pic Source

0 comments: