Pages

Monday, February 24, 2014

පාලිතගෙ බස් හරඹින් ඔප වූ ක්‍රිකට් හරඹ - දැන් මෙන්න ලුහුට්‌ටන් අතරින් පන්දුව ලුහුටලා හතරේ සීමාවට යනවා..

ක්‍රිකට්‌ පන්දුවත් පිත්තත් අතර සෙල්ලම් කරමින් කවුරු ජය පරාජය භුක්‌ති වින්දද ඒ සෙල්ලම මෙරට සුවහසක්‌ අසන්නන්ගේ දෙසවන් පුරා රැව් පිළිරැව් දෙමින්, තරගයක්‌ නොබලන අයට තරගයක සජීව දසුන් චිත්ත රූපයක්‌ මෙන් මවා පාමින් විස්‌තර විචාරය කිරීම විටෙක බෙල්ල ගසා යා හැකි බරපතළ කර්තව්‍යකි. ඒ කර්තව්‍ය ඉටු කළ සමාරම්භක කටහඬක පළමු පිවිසුම 'අපි නොදන්න ක්‍රිකට්‌' ඔස්‌සේ ඉකුත් සතියේදී පළ කළෙමු. හේ පාලිත පෙරේරාය. ඔහු එදා ලද ඒ රසවත් අත්දැකීම් හි තවත් කොටසක්‌ මෙවරද 'අපි නොදන්න ක්‍රිකට්‌' හි ප්‍රධාන තේමාව විය.

1960 දශකයේ මැද භාගය වන විට ඉංග්‍රීසි ක්‍රිකට්‌ විස්‌තර ප්‍රචාරයන් අභිබවා සිංහල විස්‌තර ප්‍රචාරයන් රට තුළ ප්‍රචලිත වී තිබුණි. එකල සිංහල විස්‌තර විචාරකයන්ට කුඩම්මාගේ සැලකිල්ලට ලක්‌ව තිබුණ යුගයකි. 1963 ප්‍රථම සජීව ක්‍රිකට්‌ විස්‌තර විචාරය ගෙන ඒම සඳහා වහලක්‌ නොමැති අඩි හතරහමාරක්‌ පහක්‌ පමණ උසැති කුඩා වේදිකාවකට පාලිත ගොඩ විය. එහි එක්‌ අයකුටද අත පය දිග හැරීමට තරම් අපහසුය. එහෙත් ඉංග්‍රීසි විස්‌තර විචාරය සඳහා ඇලුමිනියම් අට්‌ටාලයක්‌ සකස්‌ කර තිබූ අතර එහි පහසුවෙන් දෙදෙනකුට අසුන්ගත හැකි විය. අව්වෙන් බේරීම සඳහා වහල හා වටේට කැන්වස්‌ රෙදි අතුරා තිබුණි. පසුව ඉංග්‍රීසි විචාරයට වඩා සිංහල විචාරය ඉස්‌මතු වද්දී 1968 වන විට ඇලුමිනියම් අට්‌ටාලය සිංහල නිවේදනයට ලැබුණි. 

'එදා සිංහල විස්‌තර ප්‍රචාරයන්වලට තදින් පහර දෙන්න ඉංග්‍රීසි පුවත්පත් වල තීරු ලිපි සහ වෙනත් ලිපි මගින් පටන් ගෙන තිබුණා. එකල 'ඩේලි මිරර්' පුවත්පතට තීරු ලිපියක්‌ ලියූ මාණ්‌ඩලික ලිපිකරුවකු අපව උපහාසයට ලක්‌ කර තිබුණේ... "මේ මිනිස්‌සු මේ දොඩවන මනස්‌ගාත මොනවාද? තව ටික කලක්‌ යන්න පෙර මේ අය කියාවි Short leg ට 'කොට කකුල' කියලා. Silly point ට 'මෝඩ තැන' කියල. No Ball එකට 'බෝලෙ නෑ' කියලා යනුවෙනි. මෙම සිදුවීම 'පාලිත පෙරේරා සමග සජීව ලෙසින්...' නම් කෘතියෙහිද සඳහන්ය. එම කෘතියේ සඳහන් තවත් අපූරු සිදුවීමක්‌ පාලිත අප සමග මෙසේ විස්‌තර කර සිටියේය. 

'ජ්‍යෙෂ්ඨ සිවිල් නිලධාරියකු වූ වින්සන්ට්‌ පණ්‌ඩිත මහතා ගුවන් විදුලියේ අධ්‍යක්‍ෂ ජනරාල්ව සිටි සමයෙක, සිංහල ක්‍රිකට්‌ විස්‌තර ප්‍රකාශයේදී එතෙක්‌ මා භාවිතා කළ වචන සහ යෙදුම් වෙනුවට රාජ්‍ය භාෂා දෙපාර්තුමේන්තුවෙන් සපයන ලද පාරිභාෂික වචන ලැයිස්‌තුවක්‌ භාවිතා කරන ලෙස මට එවා තිබුණා. ආනන්ද - නාලන්දා තරගයේදී මට ඒ වචන භාවිතා කරමින් විස්‌තර විචාරය කරන්න නියම වී තිබුණා. ඕවල් ක්‍රීඩාංගණයේ වටේට සවි කර තිබූ ලවුඩ්ස්‌පීකරවලට අප කරන සජීව ගුවන් විදුලි විකාශය ප්‍රේක්‍ෂකයන්ටත් ඇහෙනවා. එහිදී ස්‌ලිප්ස්‌ ක්‍රීඩකයන් සඳහා තිබුණ පදය වූයේ 'ලුහුට්‌ටා' ය. කඩුලු රකින්නාට 'වැට රකින්නා' ලෙසය. මම දැන් කියනවා 'පළමුවැනි ලුහුට්‌ටා, දෙවැනි ලුහුට්‌ටා, තුන්වැනි ලුහුට්‌ටා.. දැන් මෙන්න ලුහුට්‌ටන් අතරින් පන්දුව ලුහුටලා හතරේ සීමාවට යනවා.." ටික වේලාවක්‌ යන විට එඩ්මන්ඩ් තිලකරත්න කියල මහත්තයෙක්‌ මගේ පිටට තට්‌ටු කරල කිව්වා 'පාලිත මොනවද ඔය කියවන්නෙ... අර අහන්න... අන්න පැවිලියන් එකේ ඉන්න මිනිස්‌සු එක දිගට හූ කියනව ඕක අහල.." කියල. පසුව ප්‍රධාන කාර්යාලයේ උපදෙස්‌ ලැබුණ ගමන් මම වහාම මගේ සුපුරුදු භාෂාව පාවිච්චි කරමින් විස්‌තර විචාරයේ යෙදුණා. පාරිභාෂිත වචන භාවිතය එතැනින්ම ඉවරයි.

මට මතකයි 1986 දී කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේ තිබුණ ශ්‍රී ලංකාව සහ පකිස්‌තානය අතර තරගයක අපූරු සිදුවීමක්‌. මම ටකරන් අට්‌ටාලයට වෙලා විස්‌තර විචාරය ගෙන එන ගමන් තණතිල්ල මැද ෂිලි පොයින්ට්‌ හි පන්දු රකින අර්ජුන රණතුංග සහ පිතිකරු ජාවෙඩ් මියෑන්ඩාඩ් අතර පොඩි රණ්‌ඩුවක්‌. ඕක දුරදිග ගිහිල්ල ටික වෙලාවක්‌ තරගය නතර කළා. රණ්‌ඩුව මොකක්‌ද කියල අපිට තේරෙන්නෙ නැහැ. ඒත් අපි විස්‌තර විචාරය කරගෙන යනවා. මේ දෙන්න ගහගන්නත් යන තරමට රණ්‌ඩුව දුර දිග ගිහිල්ල වගේ පේනවා. තරගය ටික වේලාවකින් පසුව ආරම්භ කරපු ගමන් රවී රත්නායකගෙ පන්දුවකට මියෑන්ඩාඩ් දැවී ගියා. 

අවුට්‌ වෙලා පැවිලියන් එකට එන මියෑන්ඩාඩ්ට සී.සී.සී. ක්‍රීඩාංගණයේ බෝගහ යට තරගය බලපු ප්‍රේක්‍ෂකයෙක්‌ ගලකින් දමල ගැහුවා. ඒක මියෑන්ඩාඩ්ට වැදුනෙත් නැහැ. මේකෙන් කේන්තිය ගිය මියෑන්ඩාට්‌ බැට්‌ එකත් උස්‌සගෙන ඒ මනුස්‌සය හිටපු පැත්තට දුවගෙන ගියා. එතන තිබුණ පොඩි තාප්පෙනුත් පැනල මියෑන්ඩාඩ් දැන් මිනිහට ගහන්න එලවනවා. එතන ඉන්න මිනිස්‌සු සේරම දුවනවා. ඒ පාර මම දැන් විස්‌තර විචාරය කරනවා. 'පිතිකරුවෙක්‌ට පිත්ත තියෙන්නෙ පන්දුවට ගහන්න මිසක්‌ මිනිස්‌සුන්ට ගහන්න නෙවෙයි. මෙයා චණ්‌ඩියෙක්‌ වගේ මීට ඉස්‌සලත් පර්ත් වලදි ඔය පිත්තම උස්‌සල ඩෙනිස්‌ ලීලිටත් ගහන්න ගියා. එදා විනිසුරුවන් මැදට පැනල තමයි බේරුවෙ.' කියල මම දැන් කියනවා.

මේ සිදුවීමෙන් පස්‌සෙ තරගයේ සිව්වැනි දිනය විවේක දිනය. ඊට පහුවැනිදා තරගය ආරම්භ කරන්න ඉස්‌සෙල්ල රේඩියෝ කට්‌ටියටයි පත්තරවල කට්‌ටියටයි පකිස්‌තාන් ෙඩ්‍රසින් රූම් එකට එන්න කියල පකිස්‌තාන් කළමණාකරු පණිවිඩයක්‌ එවල තිබ්බා. අපි කට්‌ටිය එතනට යන කොට මියෑන්ඩාඩ් වැඳගෙන අපේ ළඟට එනව පූසෙක්‌ වගේ. එයා කියනවා ඒ සිදුවීම තවත් අවුස්‌සන්න එපා අපේ ජනාධිපති මාව නැති කරල දායි කියලා. පස්‌සෙ මම හිමින් සැරේ මියෑන්ඩාඩ්ගෙන් ඇහුවා මොකක්‌ද ඔච්චර කේන්ති යන්න වුණ සිදුවීම කියලා. එයා කිව්වා, 'අර්ජුන රණතුංග මගෙ ඉස්‌සරහ ඉඳගෙන එක එක ඒවා කියනවා. මම බැරිම තැන කිව්වා එයාගෙ බඩ පෙන්නල ඔයා හරියට ගැබ්බර කාන්තාවක්‌ වගේ කියලා. ඊට පස්‌සෙ අර්ජුනට කේන්ති ගිහිල්ල මට කියපු කතාවට මට ඊටත් වඩා කේන්ති ගියා." කියල මියෑන්ඩාඩ් කිව්වා.

මම ඔස්‌ටේ්‍රලියාවෙ ඉන්න කොට ෂේන් වෝන් දැකපු හොඳම ක්‍රීඩකයන් සිය දෙනෙක්‌ ගැන ලියපු පොතක්‌ කියෙව්වා. ඒකෙ අර්ජුන රණතුංග ගැන අපූරු සඳහනක්‌ තිබුණා. ඒ පොතේ 7 වැනි තැන දීල තිබුණෙ මුත්තයියා මුරලිදරන්ට. 19 වැනි තැන තිබුණෙ අරවින්ද ද සිල්වාට. 23 වැනියා කුමාර් සංගක්‌කාර, 41 වැනිය සනත් ජයසූරිය. 75 වැනියා මහේල ජයවර්ධන. 93 වැනියාට සඳහන් කරල තිබුණෙ අර්ජුන රණතුංග ගැන. එයා කියල තිබ්බා "මේ මනුෂ්‍යයා සහ මා අතර තිබෙන විරසක භාවය මුළු ලෝකයම දන්නවා. මෙයාව මගේ 100 ට දාන්න කොහෙත්ම කැමැත්තක්‌ තිබුණෙ නැහැ. ඒත් මෙයා 1996 ලෝක කුසලාන ශ්‍රී ලංකාවට දිනවල දුන්න නිසා 93 වැනියට දානවා. මෙයාට මම කීප වරක්‌ම කියල තියෙනවා බැටලුවෙක්‌ ගිලපු හින්දද ඔච්චර බඩ ගෙඩියක්‌ තියෙන්නෙ කියලා.' යනුවෙන් වෝන්ගේ එම කෘතියේ සඳහන් වෙලා තිබුණා.

මේ වගේ සිදුවීමක්‌ ෂේන් වෝන් ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායමේ උපනායකයා වෙලා ඉන්න කාලෙ එංගලන්තෙ ටයිම්ස්‌ පත්තරයට තීරු ලිපියකිනුත් ලියල තිබුණා. ඒකෙ තිබුණෙ අර්ජුන නැමැත්තා ක්‍රිකට්‌ ක්‍රීඩාවට සිටියෙ නැතිනම් ක්‍රිකට්‌ මීට වඩා හොඳ එකක්‌ වෙන්න තිබුණා කියන අදහසයි. මේක ලියපු එකට ෂේන් වෝන්ට අයි.සී.සී. එකෙන් සහ ඔස්‌ටේ්‍රලියානු ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයෙන් දඩ ගැහුවා.

පාලිත හතරවැනි තට්‌ටුවට ගිය හැටි, පකිස්‌තානයේ පොලිස්‌ කාරයන්ගේ තුට්‌ටුදෙකේ වැඩ සහ බන්දුල වර්ණපුර ප්‍රේක්‍ෂකයන් ලවා පාලිතට හූ කියූ හැටි ඇතුළු තවත් රසවත් කොටසක්‌ ලබන සතියේ...

අසේල විතාන
http://www.divaina.com/2014/02/23/feature06.html

1 comments:

Chandana said...

පාලිත පෙරේරා ගෙ විස්තර විචාර අහගෙන ඉන්න ආසයි.. ග්‍රවුන්ඩ් එක මවනව අපේ ඇස් ඉස්සරහ.