Pages

Sunday, February 16, 2014

ජාතිවාදී වයිකෝ, නරේන්ද්‍ර මෝඩි සරණ යයි!

16 වැනි ඉන්දීය මහ මැතිවරණය ආරම්භවීමට තව ඇත්තේ සති නමයක පමණ කාලයකි. මෙය අප්‍රේල් - මැයි මාසවලදී පැවැත්වීමට නියමිතය. ජුනි 01 වැනිදා ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍යයේ අගමැතිවරයා දිවුරුම් දෙනු ඇත. මිලියන 1250 ක ජනතාවක්‌ එනම් ලෝක ජනගහණයෙන් හයෙන් එකක්‌ පාලනය කරනු ලබන්නේ බලවත් තැනැත්තා වන්නේ භාරතීය ජනතා පක්‍ෂයේ නරේන්ද්‍ර මෝඩිද? නැත්නම් රාහුල් ගාන්ධිද? නරේන්ද්‍ර මෝඩි ගැන මීට පෙරත් අප සාකච්ඡා කර ඇත්තෙමු. යළිත් වරක්‌ නරේන්ද්‍ර මෝඩි ගැන අවධානය යොමු කරන්නට සිත්වූයේ ඔහු පසුගිය 08 වැනිදා චෙන්නායි නුවරදී ශ්‍රී ලංකා විරෝධී, ප්‍රභාකරන් හිතවාදී එම්. ඩී. එම්. කේ. පක්‍ෂ නායක වයිකෝ හමු වී සාකච්ඡා කළ නිසාය.

මරුමලාචි ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්‍ෂයේ නායක වයිකෝ චෙන්නායි නුවර හෝටලයකදී, රතු පැහැති අලංකාර සළුවක්‌ පළඳවා මහත් හරසරින් භාරතීය ජනතා පක්‍ෂ අගමැති අපේක්‍ෂකයාව පිළිගත්තේය. සිනාහමුසු මුහුණින් යුතු වයිකෝ, නරේන්ද්‍ර මෝඩිව වැළඳගෙන සිටින ඡායාරූප ඉන්දීය පුවත්පත්වල පළ විය. මේ සාකච්ඡාවෙන් අනතුරුව වයිකෝ ප්‍රකාශ කර සිටියේ 2014 මහ මැතිවරණයේදී තමන් භාරතීය ජනතා පක්‍ෂය හා සන්ධානගත වන බවයි. එමෙන්ම ඉදිරි ලෝක්‌ සභා මැතිවරණයේ දී භාරතීය ජනතා පක්‍ෂය තනිවම ආසන 250 - 272 ක්‌ අතර ලබා ගන්නා බවත් වයිකෝ පවසා ඇත. නරේන්ද්‍ර මෝඩි සමඟ පැවැති සාකච්ඡාවේදී වයිකෝ වැඩි අවධානය යොමුකර ඇත්තේ ලංකාවේ දෙමළ ජනයාගේ ප්‍රශ්න පිළිබඳවය. ඉදිරියේදී පිහිටුවනු ලබන භාරතීය ජනතා පක්‍ෂ රජයක්‌ යටතේ ශ්‍රී ලංකාවට යුද ආධාර ලබාදිය යුතු නැති බව ප්‍රකාශ කර ඇති වයිකෝ හිටපු අගමැති අතල් බිහාරි වඡ්පායිගේ රජය යටතේ ලංකාවට යුද ආධාර ලබා නොදුන් ආකාරයත් සිහිකර ඇති බව හින්දු පුවත්පත වාර්තා කර තිබිණි. භාරතීය ජනතා පක්‍ෂ ආණ්‌ඩුව බිඳ වැටීමෙන් පසු බලයට පත් කොංග්‍රස්‌ ආණ්‌ඩුව ලංකාවට යුද ආධාර ලබාදුන් බව මෙහිදී එම්. ඩී. එම්. කේ. නායකයා ප්‍රකාශ කර තිබේ.

වයිකෝ සමඟ පැවැති සාකච්ඡාවෙන් පසු චෙන්නායි නුවරට මදක්‌ ඈතින් පිහිටි වන්ඩලූර් ප්‍රදේශයේ මහජන රැළියකට සහභාගි වූ නරේන්ද්‍ර මෝඩි කොංග්‍රස්‌ මුදල් ඇමැති පී. චිදම්බර් දැඩි ලෙස විවේචනය කර ඇත. තමිල්නාඩුවෙන් බිහිවූ ප්‍රමුඛතම කොංග්‍රස්‌ නායකයා වන්නේ බ්‍රාහ්මණවංශික පලනිඅප්පන් චිදම්බරම් ය. භාරතීය ජනතා පක්‍ෂය තමිල්නාඩුවේ පැවැත්වූ දෙවැනි රැළිය මෙය වේ. මීට පෙර පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී තිරුචිරාපල්ලි හිදී නරේන්ද්‍ර මෝඩි රැළියකට සහභාගි විය. කවරක්‌ නමුත් භාරතීය ජනතා පක්‍ෂයට තමිල්නාඩුවේ විශේෂ ඡන්ද පදනමක්‌ නැත. 2011 පැවැති ප්‍රාන්ත මැතිවරණයේදී භාරතීය ජනතා පක්‍ෂයට ලැබුණේ 2% ක ඡන්ද ප්‍රතිශතයක්‌ පමණි. එහෙත් මෙවර ඒ තත්ත්වය වෙනස්‌වනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වන්නේ ඉන්දියාව පුරා හමායන "නරේන්ද්‍ර මෝඩි" රැල්ල නිසාය. තමිල්නාඩු මහ ඇමැතිනිය එනම් 66 හැවිරිදි ජයලලිතා කොංග්‍රස්‌ පක්‍ෂය සමඟ හෝ භාරතීය ජනතා පක්‍ෂය සමඟ සන්ධානගත නොවී වෙනම තුන්වැනි බලවේගයක්‌ ලෙස කරලියට එන බව ප්‍රකාශ කර ඇත. එනිසා ඇය ඉන්දීය කොමියුනිස්‌ට්‌ පක්‍ෂය සමඟ සන්ධානගත වී ඇත.

ජයලලිතා වෙනම සන්ධානයක්‌ ගොඩනැගීමට උත්සාහ කරන අතරතුර දී වයිකෝ හා නරේන්ද්‍ර මෝඩි සමඟ එක්‌ව දීග කෑමට උත්සාහ කිරීම ගැන අප විශේෂ අවධානයක්‌ යොමු කළ යුතුය. මන්ද වයිකෝ යනු උග්‍ර සිංහල විරෝධියෙක්‌ වන නිසාය. වයිකෝ භාරතීය ජනතා පක්‍ෂය සමඟ සන්ධානගත වන්නේ කොංග්‍රස්‌ ආණ්‌ඩුව යටතේ ශ්‍රී ලංකාවෙන් නිසි ලෙස පලිගැනීමට නොහැකි වූ නිසාය. ජනපති මහින්ද රාජපක්‍ෂ ඉන්දියාවට ගිය සෑමවිටම ඔහුට එරෙහිව පෙළපාලි ගිය වයිකෝ ඒ සෑම අවස්‌ථාවකදීම පොලිස්‌ අත්අඩංගුවට පවා පත් විය. 2012 වසරේ සැප්තැම්බර් මාසයේදී ජනාධිපතිවරයා සාංචි විශ්වවිද්‍යාලයට මුල්ගල් තැබීම සඳහා මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයට ගිය විට චෙන්නායි සිට ආධාරකරුවන් 700 ක්‌ සමඟ එම ප්‍රාන්තයට ඇතුළුවීමට මේ කොටි හිතවාදි දේශපාලකයා උත්සාහ කළේය. මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ චින්ද්වරාහිදී මොහු ඇතුළු ආධාරකරුවන් අත්අඩංගුවට පත් විය. මහින්ද රාජපක්‍ෂ යුද අපරාධකරුවෙක්‌ බවත් ඔහුව හේග් නුවර යුද අපරාධ අධිකරණය හමුවට පැමිණවිය යුතුයෑයි කියන වයිකෝ සමඟ භාරතීය ජනතා පක්‍ෂය සන්ධානගත වීම ගැන අප වඩාත් කල්පනාකාරී විය යුතුය. වයිකෝට ඉන්දීය විදේශ ප්‍රතිපත්තිය වෙනස්‌ කළ නොහැකිවුවත් ඉදිරියේ බිහිවන භාරතීය ජනතා පක්‍ෂ ආණ්‌ඩුවේ පාර්ශ්වකරුවකු ලෙස දිල්ලි පාලනයට යම් පීඩනයක්‌ එල්ල කළ හැකි වනු ඇත.

වයිකෝ භාරතීය ජනතා පක්‍ෂයට සහයදීමට එකඟවීමත් සමඟම පට්‌ටලී මක්‌කල් කච්චි පක්‍ෂය එනම් රාමදාස්‌ගේ දෙමළ ජාතිවාදී පක්‍ෂයද නරේන්ද්‍ර මෝඩිගේ සහයට පැමිණ ඇත. මොවුන්ද සැමවිටම ශ්‍රී ලංකා විරෝධි කොටි හිතවාදී ප්‍රතිපත්තියක්‌ අනුගමනය කළ පක්‍ෂයකි. තමිල්නාඩුවේ උතුරු ප්‍රදේශයේ වෙසෙන වන්නියාර් ජන කොටසේ ඡන්ද පදනමට වැඩිම බලපෑමක්‌ කළ හැකි පක්‍ෂය වන්නේ රාමදාස්‌ගේ පී. එම්. කේ. පක්‍ෂයයි.

නරේන්ද්‍ර මෝඩි ඉන්දියාවේ ජාතිකවාදී නායකයෙකි. හින්දු ජාතිකවාදය නිසා එරට මධ්‍යම පංතිය ඔහු වටා රොක්‌වන බව රහසක්‌ නොවේ. සුභාෂ් චන්ද්‍ර බොසේ යනු ඉන්දීය නිදහස්‌ සටනේ පුරෝගාමි චරිතයක්‌ වන අතරම ජාතිකවාදී නායකයෙකි. නමුත් ඔහුට ඉන්දීය අගමැතිවීමට අවස්‌ථාව ලැබුණේ නැහැ. එතුමා 1945 දී මරණයට පත් විය. එදා චන්ද්‍ර බොසේට අගමැතිවීමට නොහැකිවීමේ අඩුපාඩුව නරේන්ද්‍ර මෝඩි අගමැතිවීම තුළින් සපිරෙන බව සමහර විචාරකයෝ පවසති. අප නරේන්ද්‍ර මෝඩි අගමැතිවනවාට කිසිම විරුද්ධත්වයක්‌ නැහැ. ඔහු ශ්‍රී ලංකාවට සැලකිය යුත්තේ කෙසේද? ඉන්දීය ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටම අධිරාජ්‍යයා එනම් චක්‍රවර්ති අශෝක අපට සැලකූ ආකාරයටය. එනම් කරුණාභරිතවය. නරේන්ද්‍ර මෝඩිට ලංකාව දෙස කරුණාභරිතව බලන්නට ඉඩ නොදෙන්නේ තමිල්නාඩුවේ වෙසෙන වයිකෝ ඇතුළු දෙමළ ජාතිවාදි නඩය විසිනි. ඒ නඩයට භාරතීය ජනතා පක්‍ෂය සෙළවිය හැකිද යන්න ප්‍රශ්නයකි.

2002 දී ගුජරාටයේ ඇති වූ හින්දු මුස්‌ලිම් කෝළහලය නිසා 2005 දී ගුජරාටයේ මහ ඇමැති වශයෙන් ඇමරිකාවේ සංචාරයක නිරතවීමට නරේන්ද්‍ර මෝඩිට අවස්‌ථාව නොලැබුණේ වීසා නොලැබීම නිසාය. එදා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෝඩි දෙස බැලුවේ යක්‍ෂයකු ලෙසය, නමුත් දැන් ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්‌ වී ඇත. ඉන්දියාවේ ඇමරිකානු මහ කොමසාරිස්‌ හැන්සි පවෙල් ඉකුත් සතියේදී භාරතීය ජනතා පක්‍ෂ අගමැති අපේක්‍ෂකයා හමුවීමට සූදානම් බව එරට මාධ්‍ය වාර්තා කර තිබිණි. ඉදිරි මහ මැතිවරණය ගැනත් භාරතීය ජනතා පක්‍ෂයේ දේශපාලන දර්ශනය ගැනත් සාකච්ඡා කිරීමට තමන් උනන්දුවන බව ඇමරිකානු තානාපති පවෙල් ප්‍රකාශ කර ඇත. ඒ අනුව ඇමරිකාවද ඉන්දීය ආණ්‌ඩු වෙනසක්‌ සිදුවන බව දැන් සිටම අවබෝධ කරගෙන ඇති බව පැහැදිළිය.

ජුනි 01 වැනිදාට තව මාස කිහිපයක්‌ තිබේ. එහෙත් ඉන්දීය දේශපාලනය මෙන්ම තමිල්නාඩු ජාතිවාදී දේශපාලකයන්ගේ සන්ධානගතවීම් ගැන අප අවබෝධයෙන් සිටිය යුතුය. "මනුෂ්‍යයා කාලයෙහි ස්‌වාමියාද වහලාද" වන බවට කියමනක්‌ ඇති නිසා අපත් කාලයට ඉඩදී බලා සිටීම වඩාත් නුවණට හුරුය.

චතුර පමුණුව
http://www.divaina.com/2014/02/16/forign.html

0 comments: