Pages

Sunday, February 16, 2014

ලෝකයම විපරීත කළ කාලගුණ අලකලංචිය - ලොකුම නියඟය මාර්තුවේ...

මේ දිනවල දහවල් කාලයේ ගතට දැනෙන උණුසුම උහුලන්නට බැරි තරම්ය. අලුයම් කාලයේදී සිසිල් බවක්‌ පැවතියද ඉර නැගගෙන එත්ම ඒ සීතල මැකී යමින් මුළු පරිසරයම ක්‍රම ක්‍රමයෙන් ගිනියම් වීමට පටන් ගනී. උදෑසන කාලයේ ගතට දැනෙන සිසිලද ශරීරයට කිසියම් වියළි හා පීඩාකාරී බවක්‌ දනවයි. ඉතා වේගයෙන් ගංගාවල ජල මට්‌ටම පහත බසිමින් පවතින අතර මුහුදු ජලය එහි අඩුව පිරවීම සඳහා ගොඩබිම දෙසට ගලා ගෙන එමින් තිබේ. කළුතර, කොළඹ, ගම්පහ දිස්‌ත්‍රික්‌කවල ඇතැම් ප්‍රදේශවල පානීය ජලය මේ වන විට ලුණු රසින් යුක්‌තය. ළිංවල ජල මට්‌ටමද වේගයෙන් පහත බසින අයුරු දැකිය හැකිය. දිවයිනේ ඊසාන දිග කොටස්‌වලට පසුගිය මාසයේදී සැලකිය යුතු වර්ෂාපතනයක්‌ ඇති වුවද සෙසු ප්‍රදේශවලට වර්ෂාව ඉතාම අඩු තත්ත්වයක්‌ ගත වූ වසරේ පටන් දක්‌නට ලැබිණි.

ඊසාන දිග මෝසම ද මෙවර ඇති වූයේ බොහෝ සේ ප්‍රමාදවය. වගා අක්‌කර සිය ගණනක්‌ම ප්‍රමාණවත් තරම් ජලය නොමැතිව විනාශවූ අතර තවත් බොහෝමයක්‌ වී වගාවන් මිය යන්නට පණ අදිමින් සිටියදී එක්‌වරම ඊසාන දිග මෝසම සක්‍රීය විය. මඩකලපුව, පොතුවිල්, මන්නාරම, පුත්තලම, වව්නියාව, වැල්ලවාය, මොණරාගල, යාපනය, මුලතිව්, පුල්මුඩේ, ඇතාවැටුනු වැව, අම්පාර, කිලිනොච්චිය, ත්‍රිකුණාමලය, හම්බන්තොට, ඇඹිලිපිටිය, පොලොන්නරුව, අනුරාධපුරය, හැටන් නුවරඑළිය ඇතුළු ප්‍රදේශ රැසකට ඒ වැස්‌ස ඇද වැටිණි. එම ප්‍රදේශවල ජලාශ රැසක්‌ම දින දෙක තුනක්‌ ඇතුළත පිරී ඉතිරී යන්නට විය. ඒ වන විටත් වව්නියාව, මුලතිව් යන ප්‍රදේශවල පැවතියේ දැඩි නියඟයකි. පානීය ජලය පවා හිඟවෙමින් තිබූ අතර දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලය මගින් සීමා සහිතව ටැංකි මගින් ජලය බෙදාහැරීමද සිදුවෙමින් තිබිණි.

නියඟය නිමා කරමින් ඇතිවූ වර්ෂාව කෙළවර වූයේ ජල ගැලීමකිනි. නිවාස රැසක්‌ ජලයෙන් යටවූ අතර කරල් පැසුනු කුඹුරු අක්‌කර ගණනාවක්‌ ජලයේ ගසාගෙන ගියේ නොසිතූ විරූ අයුරිනි. පරාක්‍රම සමුද්‍රය පිරී ඉතිරී යැම හේතුවෙන් එහි සියලුම වාං දොරටු විවෘත කර ජලය ඉවතට ගලා යැමට ඉඩ සැලස්‌වීමට වාරිමාර්ග බලධාරීන්ට සිදු විය. නිසි ජල කළමනාකරණයක්‌ නොමැතිකමත්, අපේක්‍ෂිත ප්‍රමාණය ඉක්‌මවා දැඩි තීව්‍රතාවකින් යුක්‌තව වර්ෂාව ඇතිවීමත් අසීමිත ජල ප්‍රමාණයක්‌ එකවර ලැබීමත් යන කාරණා හේතුකොට ගෙන අත්‍යවශ්‍ය මොහොතක වුවද ලැබෙන ජලය අනාගතය සඳහා සුරක්‍ෂිත කර ගැනීමට නොහැකි විය. ලෝකය මවිත කළ වාරි තාක්‌ෂණයක්‌ තිබූ ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය එසේය.

අනෙක්‌ කාරණාව නම් දේශගුණික විපර්යාසය හේතුවෙන් වර්ෂාවේ තීව්‍රතාවය ඉහළ ගොස්‌ තිබීමය. ඉතා කෙටි කාලයක්‌ ඇතුළත මහ පොළොවට දරා ගැනීමට නොහැකි තරම් වර්ෂාපතනයක්‌ ඇතිවීම වර්තමානයේ සාමාන්‍යයෙන් දක්‌නට ලැබෙන තත්ත්වය වේ. ලෝකයේ අනෙකුත් රටවලටද පසුගිය දිනවල බලපෑ ආපදා තත්ත්වයන් පිළිබඳ විමසීමේදී ඒ බව පැහැදිලිවේ.

ඇමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකටම හිම කුණාටු ඇතිවූ අතර එය පසුගිය වසරවලට සාපේක්‍ෂව දරුණු විය. එංගලන්තයට බලපෑ අධික සීතලත්, හිම කුණාටු ආදියත් එසේම දැඩි තීව්‍රතාවකින් යුක්‌ත විය. ඉන්දියාවේ උත්තරකාන්ඩි ප්‍රාන්තයටද හිම පතනය බලපෑ අතර සීතලෙන් ඉන්දියාවේ 15 දෙනකු මිය ගොස්‌ තිබිණි. මේ අතර ඔස්‌ටේ්‍රලියාවට දැඩි හිරු රශ්මියක්‌ ඇති විය. මෙල්බන් හා වික්‌ටෝරියා ප්‍රාන්තවල උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 40 ඉක්‌මවා ගොස්‌ තිබිණි. 

මීට දින කිහිපයකට පෙර අවස්‌ථා දෙක තුනකදීම ඇමෙරිකාවේ ප්‍රදේශ රැසකට දරුණු හිම කුණාටුව ඇති වූයේය. එයින් එම ප්‍රදේශවල ජනයාගේ එදිනෙදා කටයුතුවලට මුළුමනින්ම බාධා සිදුවිය. ගුවන් ගමන්, දුම්රිය ගමන් බොහෝමයක්‌ අත්හිටුවන්නට සිදු වූවා සේම දින කිහිපයක්‌ පුරා මහමග තැන තැන පතිත වුණු හිම ඉවත් කිරීම හැර වෙන කිසිදු කාර්යයක්‌ කරන්නට ඔවුන්ට හැකි නොවුණි.

එංගලන්තයේ තත්ත්වයද මීට දෙවැනි නොවිණි. පැයට කිලෝමීටර් 60 ත් 70 ත් අතර වේගයෙන් හමා ගිය දරුණු සුළි කුණාටුවත් සමග එංගලන්තයේ ලන්ඩන් නගරය ඇතුළු ප්‍රදේශ රැසකට මිලිමීටර් 80 ක පමණ වර්ෂාපතනයක්‌ ඇති විය. එයින් ප්‍රධාන නගරවල නිවාස, මහා මාර්ග බොහෝමයක්‌ ජලයෙන් යට විය. ඇතැම් ප්‍රදේශවල ජලය අඩි පහයි අඟල් හතරක්‌ පමණ උසට පිරී තිබූ බව එරට මාධ්‍ය මගින් වාර්තා කෙරිණි. වසර ගණනාවක්‌ එංගලන්තයේ සුපිරි නිවාසවල සුපිරි ජීවිත ගත කළ ධනවතුන්, බලවතුන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහිත කුඩා බඩු මල්ලක්‌ පමණක්‌ සහිතව ජීවිතාරක්‍ෂක බෝට්‌ටු මත නැගී සහන සේවා මධ්‍යස්‌ථාන වෙත යන අයුරු ලෝකයේ බොහෝ රටවල මාධ්‍ය හරහා දැකගත හැකි විය. පවුල් 4000 ක්‌ පමණ ජල ගැලීම් හේතුවෙන් සිය නිවෙස්‌වලින් ඉවත් කිරීමට එංගලන්තයේ ආපදා සහන සේවා නිලධාරීන්ට සිදු විය.

ඉන්දියාවේ තත්ත්වයද මීට දෙවැනි නොවුණි. දැඩි සීතල දරාගත නොහැකිව උත්තරාකාණ්‌ඩි ප්‍රාන්තයේ පුද්ගලයන් 15 කට වැඩි පිරිසක්‌ පසුගිය දිනවල මිය ගොස්‌ තිබිණි. දිල්ලියේ උෂ්ණත්වය ද සෙල්සියස්‌ අංශක 11 පමණ දක්‌වා අඩු වූ බව වාර්තා විය. තවත් බොහෝ රටවල් ගතවූ මාසයක පමණ කාලය ඇතුළත ජල ගැලීම්, සුළි කුණාටු, හිම කුණාටු ආදී ස්‌වාභාවික විපත්වලින් දරුණු ලෙස පීඩාවට පත්ව තිබිණි.

පසුගිය දිනවල ලෝක කාලගුණ විද්‍යාඥයින් පෙන්වා දුන්නේ පැසිපික්‌ සාගරය ආශ්‍රිත රටවලට මාර්තු මාසයෙන් පසුව දැඩි නියඟයකට නැතහොත් එල් නිනෝ තත්ත්වයකට මුහුණ පෑමට සිදුවන බවය. ඊට දකුණු හා නැගෙනහිර ආසියානු රටවල් මුහුණපානු ඇති බවත්, ශ්‍රී ලංකාවද ඊට අයත් බවත් ජාත්‍යන්තර කාලගුණ අනාවැකියේ දැක්‌වේ. අද වන විට මෙම අනාවැකිය සත්‍යයක්‌ විය හැකි බවට පරිසර සාධක නිර්මාණය වෙමින් තිබෙන අයුරු දැකිය හැකිය. පසුගිය දින කිහිපයේදී ශ්‍රී ලංකාවේ කාලගුණය පිළිබඳ විමසීමේදී දක්‌නට ලැබුණේ සෑම ප්‍රදේශයකම වැසි නොමැති තත්ත්වයක්‌ පවතින බවය. එසේම දිවයින වටා මුහුදේ තත්ත්වයද නිස්‌කලංකය. එයින් පැහැදිළි වන්නේ දිවයින ආශ්‍රිතව ගොඩබිමත්, මුහුදේත් සුළං හැමීම අක්‍රීය වී ඇති බවකි. සුළං රටාව යහපත් නම් වැසි ඇතිවීමේ ප්‍රවණතාව වැඩිය. සුළං හමන බවක්‌ නැති අතර වියළි ස්‌වභාවයක්‌ දිගින් දිගටම පැවතිණි. ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යාඥයින් ද පෙන්වා දෙන්නේ ඉදිරි කාලයේදී සැලකිය යුතු වර්ෂාපතනයක්‌ ඇති නොවන බවය.

පැසිපික්‌ සාගරයේ උෂ්ණත්වය මාස පහක පමණ කාලයක්‌ තිස්‌සේ එක දිගටම උණුසුම් වෙමින් එය සෙල්සියස්‌ අංශක දශම පහට වඩා වැඩි තත්ත්වයක පැවතියහොත් එයින් එල්නිනෝ තත්ත්වයක්‌ ඇතිවිය හැකි වෙයි. පසුගිය ජනවාරි මස අගදී ජල ගැලීම් ඇතිවූ ප්‍රදේශවලට ශ්‍රී ලංකාවේ කාලගුණය අනුව නම් ඉදිරි මාස කිහිපයේදී යළිත් සැලකිය යුතු වර්ෂාපතනයක්‌ ඇති නොවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවලට මාර්තු මාසයේදී අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය උදාවීමෙන් පසු වැසි ඇති විය යුතුය. එහෙත් පසුගිය වසරේදීත්, ඊට පෙර වසරේදීත් මාර්තු-අප්‍රේල් වැස්‌ස නිසි පරිදි ශ්‍රී ලංකාවට ලැබී නැත. එය එසේ වූවා යෑයි මෙම වසරේදීද එසේ වේවි යෑයි කිව නොහැකිය.

නමුත් එසේ වන්නටද ඉඩ ඇති බව කාලගුණ විද්‍යාඥයෝ පවසති. වර්ෂ 1998, 1981, 1982 වසරවල ශ්‍රී ලංකාවට එල්නිනෝ තත්ත්වයන් බලපා තිබිණි. මෑත ඉතිහාසයේ දැඩි නියඟයක්‌ ශ්‍රී ලංකාවට ඇතිවී තිබුණේ වර්ෂ 1937 දීය.

ගෝලීය වෙනස්‌වීම් හේතුවෙන් වර්ෂාවේ තීව්‍රතාව ඉහළ ගොස්‌ ඇති අයුරින්ම උණුසුම් බවෙහි තීව්‍රතාව නැතහොත් දැඩි බවද ඉහළ යමින් පවතී. එබැවින් ඉදිරි කාලය ශ්‍රී ලංකාවට දැඩි නියඟයක්‌ උදාවීමට වුවද ඉඩකඩ නැතුවා නොවේ. එළඹීමට නියමිත මහා ස්‌වාභාවික ව්‍යසනයකට මුහුණදීමේ අභියෝගය දැන් අප ඉදිරියේ ඇත.

තුෂාරී කළුබෝවිල 
http://www.divaina.com/2014/02/16/feature05.html

0 comments: