Pages

Wednesday, February 12, 2014

ජාත්‍යන්තර සියලු සංසදවලදී චීනයේ සහාය ශ්‍රී ලංකාවටයි - චීන විදේශ ඇමැති

දැනට චීනයේ නිල සංචාරයක නිරතව සිටින විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා ඊයේ (11 වැනිදා) පෙරවරුවේ බීජිංහිදී චීන මහජන සමූහාණ්‌ඩුවේ විදේශ කටයුතු ඇමැති වෑන්ග් යී මහතා හමුවී සාකච්ඡා කළේය. පීරිස්‌ මහතා වෑන්ග් යී මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ විශේෂ නියෝජිතයකු ලෙස මෙම සංචාරයේ නියෑලී සිටී.

පසුගිය වසරේ මැයි මාසයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගි වූ රාජ්‍ය සංචාරයේ දී සහ චීන ජනාධිපති සී. ජින්ජින්ග් අතර පැවැති සාකච්ඡාවලදී එකඟතාවට පත් ක්‍රමෝපායික සහයෝගිතා පාර්ශ්වකාරිත්වය සඳහා ශ්‍රී ලංකාව හා චීන මහජන සමූහාණ්‌ඩුව අතර ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ විය. 

දේශපාලන සහයෝගිතාව රාජ්‍ය ආරක්‌ෂාව සහ ආරක්‌ෂාව, ආර්ථික සබඳතා සහ සංස්‌කෘතික කටයුතු යන ප්‍රධාන ක්‌ෂේත්‍ර හතර සම්බන්ධයෙන් විශේෂ සබඳතා ගොඩනැඟීම පිළිබඳව ඇමැතිවරු දෙපළ මෙහිදී අවධානයට ලක්‌ කළහ. මෙම එක්‌ එක්‌ ක්‌ෂේත්‍රය සම්බන්ධයෙන් අවශ්‍ය වූත් ප්‍රායෝගික කටයුතුවල ශීඝ්‍ර ප්‍රගතියක්‌ අත්කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු යෝජිත වැඩපිළිවෙලවල් පිළිබඳව ද ඇමැති දෙපළ මෙහිදී සලකා බැලූහ.

ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය පිළිබඳව සහ ගැටුම් නිම කිරීමෙන් අනතුරුව රජය විසින් ගනු ලැබ ඇති සුවිශේෂී ක්‍රියාමාර්ගයන් පිළිබඳව චීනය පූර්ණ අවබෝධයෙන් පසුවන බැව් චැංග් යී මහතා පවසා සිටි අතර ඇමැති පීරිස්‌ මහතා මේ සම්බන්ධයෙන් අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව සවිස්‌තරාත්මකව කරුණු ඉදිරිපත් කළේය. සියලු ජාත්‍යන්තර සංසදවලදී චීන මහජන සමූහාණ්‌ඩුවේ සහාය නිරතුරුවම ශ්‍රී ලංකාවට හිමිවන බවට චැංග්යි මහතා පීරිස්‌ මහතා වෙත තහවුරු කර සිටියේය. දේශපාලන කටයුතු සම්බන්ධයෙන් දෙරට අතර සමීප සංවාදයක්‌ හා සහයෝගිතාවක්‌ ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය වන යාන්ත්‍රණ පිළිබඳවද ඔවුහු මෙහිදී එකඟතාවකට එළඹුණහ. පසුගිය වසරේ දී සිදුවූ චීනයේ පළමු ආරක්‌ෂක ඇමැති ලියංග් ගුයින්ග්ලි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව සිහිපත් කළ ඇමැති දෙපළ දෙරට අතර රාජ්‍ය ආරක්‌ෂක සහයෝගිතාවයේ පරාසය හා සම්බන්ධයෙන් ඔවුන් සෑහීමකට පත්වන බවද ප්‍රකාශ කර සිටියහ.

පසුගිය වසරේÊඅගෝස්‌තු මාසයේ දී රැස්‌වූ වෙරළ හා සමුද්‍රීය සහයෝගිතාව පිළිබඳ ඒකාබද්ධ කමිටුව මේ සම්බන්ධයෙන් දැනට පවත්නා යාන්ත්‍රණය වේ. එමගින් සමුද්‍රීය ආරක්‍ෂාව කෙරෙහි විශේෂ අවධානයක්‌ යොමු කරමින් සියලු ආකාර වූ රාජ්‍ය ආරක්‌ෂක සහයෝගිතාවන් සඳහා පහසුකම් සලසනු ලබන අතර මෙම පසුබිම හමුවේ වාර්ෂික ක්‍රමෝපායික සංවාදයක්‌ පැවැත්වීම කාලෝචිත බවට අමාත්‍යවරු එකඟ වූහ.

චීන මහජන සමූහාණ්‌ඩුවේ ශ්‍රී ලංකා තානාපති රංජිත් උයන්ගොඩ මහතාද ඇතුළුව නිරන්ජන් වික්‍රමසිංහ සහ තේනුක විදානගමගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් ශෝබනී ගුණසේකර මහත්මියද මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

http://www.divaina.com/2014/02/12/news22.html

Pic Source

0 comments: