Pages

Saturday, February 8, 2014

ඩෙංගු වෛරසයේ II වන කාණ්‌ඩය හිස ඔසවයි???

මෑත දශකයේදී පැතිර යන්නට පටන් ගත් දරුණුතම වෛරස්‌ රෝගය බවට ඩෙංගු පත්ව ඇත. ඊඩිපස්‌ ඊජිප්ටයිස්‌ සහ ඊඩිපස්‌ ඇල්බොපික්‌ටස්‌ නමැති මදුරු වර්ග දෙක මගින් ඩෙංගු රෝගය මනුෂ්‍යයන්ට වැළඳේ.

ඊඩිපස්‌ ඊජිප්ටයිස්‌ මදුරුවන් බහුලවම ජීවත් වන්නේ ග්‍රාමීය ප්‍රදේශවලය. ඇල්බොපික්‌ටස්‌ බහුලවම ජීවත් වන්නේ නාගරික ප්‍රදේශවලය. මෙම වර්ග දෙකෙන්ම මතුවන්නේ ඩෙංගු රෝගයයි.

ඩෙංගු වෛරසය කාණ්‌ඩ 04 ක්‌ ඇත. ශ්‍රී ලංකාවේ මෙතෙක්‌ හඳුනාගත්තේ වෛරස කාණ්‌ඩ 01 කට අදාළ රෝගීන් ය.

වෛරස සඳහා බාහිරින් ප්‍රතිකාර නැති අතර ශරීරය තුළින් ඊට එරෙහිව මතුවන ප්‍රතිශක්‌තිය අනුව වෛරසය මර්දනය වීම නොවීම සිදුවේ. ඒ නිසා ඩෙංගු රෝගයට ද බාහිරින් කිසිදු ප්‍රතිකාරයක්‌ නොමැත. ඇතැම් දෙනා ගස්‌ලබු කොළ ඉස්‌ම ඩෙංගු රෝගයට ප්‍රතිකාර ලෙස ලබා දෙති. නමුත් ඉන් ශරීරයට ලැබෙන ප්‍රතිශක්‌තිය ගැන තවම විද්‍යාත්මකව ඔප්පු වී නැත.

ඩෙංගු රෝගයේදී සිදුවන්නේ රුධිරයේ ඇති රතු සෛල විනාශ වී යැමයි. මෙම රතු සෛල ප්‍රමාණය ඉතා ශීඝ්‍ර ලෙස පහළ ගිය විට සිරුරේ ඇති සියුම් නාළ පුපුරා ගොස්‌ රෝගියා මරණයට පත්වේ.

ඩෙංගු රෝගය මතු වූ මුල් කාලයේ නිසි ලෙස රෝගය හඳුනා නොගත් නිසා රෝගීන් විශාල ලෙස මරණයට පත් වන්නට විය. නමුත් රෝගය පිළිබඳව වෛද්‍යවරු නිසි අවබෝධය ලබා ගත් පසු අවශ්‍ය ප්‍රතිකාර ක්‍රම හඳුනාගත්හ. ප්‍රධාන වශයෙන් ම අවශ්‍ය වන්නේ රෝගියාට විවේකය ලබා දීම සහ විජලනයෙන් වළක්‌වා ගැනීමයි. ඒ අනුව දැනට වසර කිහිපයක සිට ඩෙංගු රෝගයෙන් මියයන ප්‍රමාණය වළක්‌වා ගන්නට වෛද්‍යවරුනට හැකි විය.

නමුත් මෑතක සිට යළිත් වරක්‌ ඩෙංගු රෝගය හිස ඔසවන්නට පටන් ගෙන ඇති බව වාර්තා වන රෝගීන්ගේ සංඛ්‍යාව අනුව සැක පහළ වී ඇත.

ඩෙංගු වෛරස ආසාදනය පාලනය සඳහා නිසි ප්‍රතිකාර ක්‍රම හඳුනාගෙන තිබේ නම් යළි ඩෙංගු රෝගය හිස ඔසවන්නට පටන් ගෙන ඇත්තේ ඇයි?

මේ සම්බන්ධව වෛද්‍යවරුන් දැනට සැක පහළ කරන්නේ ඩෙංගු වෛරසයේ II වන කාණ්‌ඩය පැතිර යන්නට පටන් ගෙන ඇති දැයි කියා ය. අපගේ සිරුරු දැනට හුරු වී තිබුණේ ඩෙංගු කාණ්‌ඩ අංක I වෛරසයට එරෙහිව ප්‍රතිශක්‌තිය නිපදවීමටය. කාණ්‌ඩ අංක II හිස ඔසවා ඇත්නම් එය තරමක්‌ භයානකය. නමුත් තවම ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගියකුගේ රුධිර පරීක්‍ෂාවකදී ඩෙංගු වෛරස II කාණ්‌ඩයේ රෝගීන් හඳුනාගෙන නැත. ඩෙංගු කාණ්‌ඩ I සහ II යන වර්ග දෙකම දැනට දක්‌නට ඇත්තේ ඉන්දියාවේ ය. ඉන්දියාව අපට සමීප රටක්‌ බැවින් සංක්‍රමණිකයන් මගින් ඩෙංගු කාණ්‌ඩ II  ශ්‍රී ලංකාවට පැතිර ගොස්‌ ඇතිදැයි කියා මතයකුත් ඇත.

පසුගිය මාසය තුළ කොළඹ නගරයෙන් ඩෙංගු රෝගීන් විස්‌සකට අධික පිරිසක්‌ වාර්තා වී තිබිණි. ඉන් මරණ කිහිපයකුත් සිදුවිය.

ඩෙංගු මදුරු මර්දනය ද ඉතා දැඩිව සිදු කරනු ලබයි. එසේ නම් මේ හිස ඔසවන්නේ ඩෙංගු කාණ්‌ඩ II දැයි කියා අපි විමසිලිමත් විය යුතුව ඇත.

ඒ නිසා දින දෙකකට වඩා උණ, හිසරදය, ඇඟපත රුදාව පවතී නම් වහාම රෝහල්ගතව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අප කොයි කවුරුත් අවධානය යොමු කළ යුතුය. එසේ නොවුණහොත් යළිත් ඩෙංගු මරණ හිස එසවිය හැකිය.

වෛද්‍ය උපදෙස්‌ මත මෙම ලිපිය සකසා ඇත.

උපාලි ද සේරම්
http://www.divaina.com/2014/02/09/feature14.html

Pic Source

0 comments: