Pages

Tuesday, February 11, 2014

අහෝ! මැතිවරණ නීතිය

මැතිවරණය යනු ප්‍රජාතන්ත්‍රවාදයේ හරය මෙන්ම නිදහස්‌ මහජන මතය පිළිබිඹු කරන ප්‍රබල හා මුඛ්‍යතම අවස්‌ථාව බව පිළිගනු ලැබේ. එහෙත් ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය තුළ මීට වඩා වෙනස්‌ හා අප්‍රසන්න සිදුවීම් අඩංගු වන බවද අපි දනිමු. මේ රටේ සිටි විශිෂ්ට දේශපාලනඥයකු මෙන්ම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා හා නීතිය පිළිබඳ විශාරදයකු ද වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා වරක්‌ ප්‍රකාශ කළ පරිදි මේ රටේ තිබෙන්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ඇඳුම් ආයිත්තම් පැළඳ ගත් අවුල් ජාලයක්‌ බවට පත්ව තිබෙන ව්‍යවස්‌ථානුකූල පාලන ක්‍රමයකි. එය කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදය නමැති මාවත ඔස්‌සේ මහජනතාව බලය කරා ගෙන යනු ලබන්නක්‌ ද යනු සැක සහිත බවයි. එහෙත් තවමත් අපගේ පාලකයන් විසින් එම ක්‍රමය නඩත්තු කරනු ලබයි.

කෙසේ හෝ වේවා අද අප ඒ අටුවාව ඉදිරිපත් කළේ දැන් රට අබියස තිබෙන බස්‌නාහිර හා දකුණ පළාත් සභා මැතිවරණ පිළිබඳ විමසා බැලීමට උචිත ආරම්භයක්‌ වශයෙනි. මේ දිනවල මැතිවරණ කොමසාරිස්‌වරයා ඔහුගේ බලතල, පොලිසිය නීතිය මෙන්ම දේශපාලන පක්‍ෂවල අනුගාමිකයන්ගේ හා ඇතැම් නායකයන්ගේ ක්‍රියාකාරකම් යනාදිය ගැන ද විවිධ අදහස්‌ පළ වෙමින් ද වාද විවාද සිදුවෙමින්ද තිබේ. ඒ අතර ජනතාව අන්ද මන්ද කරවන දේශපාලන දෙඩවීම් ද නොඅඩුව ඇසෙයි.

බස්‌නාහිර හා දකුණ පළාත් සභාවල බලය අත්පත් කර ගැනීම සඳහා සන්ධානය, එජාපය, ජවිපෙ, ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය, මුස්‌ලිම් කොංග්‍රසය හා තවත් ස්‌වාධීන හා දේශපාලන පක්‍ෂවල පිරිස්‌ ද මැතිවරණ සටනට පිවිසී සිටිති. දේශපාලන අවබෝධය අතින් මෙන්ම උගත්කම හා බහුශ්‍රැතභාවය අතින් ද ඉතා දිළිඳු අයත් ප්‍රධාන පක්‍ෂවල ඡන්ද යන්ත්‍රවල එල්ලී මන්ත්‍රීකමක්‌ ඩැහැගැනීමට සිහින දකිති.

මෙම පළාත් සභා ක්‍රමය පිළිබඳ අපට තිබෙන විවේචනය මොහොතකට අමතක කළත්, මේවාට තේරී පත්වී උදාර මහජන සේවයක්‌ ඉටුකිරීමට තමන්ට අවස්‌ථාවක්‌ ලබාදෙන ලෙසට කරනු ලබන ආයාචනා නම් අප තුළ දනවන්නේ හාස්‍යයක්‌ පමණක්‌ බව කිව යුතුය. ඇත්ත වශයෙන්ම පළාත් සභාවකින් රටට ඉටුවන කාර්ය සාධනය කුමක්‌ ද යන ප්‍රශ්නයට මෙතෙක්‌ කිසිවෙක්‌ පිළිතුරක්‌ ලබාදී තිබෙත්ද?

එබඳු වාතාවරණයක්‌ තුළ මේවායින් රටට, පළාතට වන සේවයට වඩා ඒ සඳහා ඉදිරිපත් වී ජය ලබා ගන්නා අයට නම් යම් යම් ප්‍රතිලාභ හිමිවන බවද කව්රුත් දනිති. එය පසුකාලීනව දේශපාලනය රැකියාව බවට පත් කර ගන්නා අයගෙ 'පෙර පාසලක්‌' හෝ 'පුහුණු ආයතනයක්‌' ද විය හැකිය.

කවර රටක වුවද සමාජ, ආර්ථික, සංස්‌කෘතික ක්‍රියාකාරකම් මෙහෙයවීමේ යතුර බවට පත්වන්නේ ප්‍රබුද්ධ දේශපාලනය හා එහි භාරකාරත්වය බව නිසැකය. එහෙත් අපේ දේශපාලනය තුළ එබඳු සාධනීය ගුණ ඇත්තේ ඉතා අඩුවෙනි. ප්‍රාදේශීය දේශපාලනය නම් අද දුගඳ පිරි නරකාදියක්‌ වැන්න.

විෂමාචාර, බේබදුකම, සල්ලාලකම, දූෂණය, අල්ලස, පොදු ජාතික උරුමයන් වැනසීම යනාදී හැම තැනකදීම අපට දැකගත හැක්‌කේ එබඳු දේශපාලන අමන මැදිහත්වීම්ය. පොලිසිවලට පැන අපරාධකරුවන් රැගෙන යැම, නීතිය අතට ගෙන යකා නැටීම මෙන්ම ගුරුවරුන් දණගැස්‌වීම වැනි කුප්‍රකට ක්‍රියාකාරකම් අපට සිහිපත් වේ.

තතු මෙසේ හෙයින් අද දේශපාලනය යනු 'කාරිය කෙරෙන තුරු කෙරෙන රැවටිල්ලකට' වඩා වැඩි දෙයක්‌ නොවන බව අපට පෙනෙන සත්‍යයයි. එහෙත් අප කිසිවකුට මේ දේශපාලනය මඟහැර යා නොහැකි වී තිබේ. එසේ නම් මෙහිදී අප කළ යුත්තේ කුමක්‌ද? අපගේ ඡන්ද බලය අපේක්‌ෂා කරන අය පිළිබඳ අපට නිසි තක්‌සේරුවක්‌ තිබේද? ඔවුන්ගේ චරිතවත් බව, හැදියාව, බුද්ධිය අවංකභාවය පිළිබඳව හෝ අපි දැනුවත් වී සිටිමුද?

මෙම පළාත් සභා නාමයෝජනා සටන්වලදී බිහිසුණු ගිනි පුලිඟු තාවකාලිකව නිවී ගියත් හෙට අනිද්දා ඒවායින් මොන තරම් ගිනි ජාලා පිටවිය හැකිද? තමන්ගේ එකාට නාම යෝජනා නොලැබීමෙන් උරණ වූ අයෙක්‌ සිය පක්‍ෂයේ නායකත්වයට පහර දෙන්නට තරම් වියරු වෙත් නම් එතැන තිබෙන දේශපාලන විනය කුමක්‌ද? එබඳු දේශපාලන පක්‍ෂවලින් රටට දෙන සංඥව කුමක්‌ද? ඒ වර්ගයේ අපතයන් සමග යන දේශපාලන ගමන මොන තරම් නිස්‌සාර දැයි අමුතුවෙන් කිව යුතු නැත.

මැතිවරණ කොමසාරිස්‌වරයාට මෙන්ම මැතිවරණ නීතියට හා පොලිසියටද ඇතැම් දේශපාලන අනුගාමිකයන් හා ඇතැම් අපේක්‍ෂකයන් විසින් ද කරන ලද අවමානය සුළුපටු නොවීය. ඔව්හු සිත් සේ නීති කැඩූහ. තහංචි බිඳ දැමූහ. පොලිසිය නරඹන්නන් බවට පත් කළ ඒ හැසිරීම් සිදුවූයේ නාමයෝජනා භාරදුන් දිනයේදීම ය. ආරම්භය එසේ නම් අවසානය කෙසේ විය හැකිද?

මේ මුග්ධ දේශපාලන හැසිරීම් මැඬලීම පක්‌ෂ නායකයන්ට හැර නීතියට කළ නොහැකි බව අපගේ අදහසය. දැනටමත් මැතිවරණ කාර්යාල කඩා බිඳ දැමීම් වාර්තා වේ. වාහනවලින් පැමිණ බියක්‌ සැකක්‌ නොමැතිව කෙරෙන එබඳු බලහත්කාර ක්‍රියාකාරකම් මොනතරම් අශෝබනද? හෙට අනිද්දා වන විට මනාප පොරය ද උත්සන්න වී එකම පක්‍ෂය ඇතුළේ කා ගන්නා හැටි ද අපට දැකබලා ගත හැකිය. ත්‍රාසය, භීතිය, ජුගුප්සාව ඇතුළු නව විධි රස සමග අපට ලබාදෙන විකට ජවනිකාද රූප පෙට්‌ටිවලින් දැකබලා ගත හැකි වනු ඇත.

බුද්ධිමත් රටවැසියන් ලෙස, ප්‍රබුද්ධ හා සංවේදී මිනිසුන්, ගැහැනුන් හා තරුණ තරුණියන් ලෙස ද අප හැම කෙනෙක්‌ම විසින් විමසා බැලිය යුතු වැදගත්ම කරුණ වන්නේ ද මේ දේශපාලන ලැයිස්‌තුවල සිටින නිස්‌සන් හා පුස්‌සන් හඳුනාගෙන ඔවුන්ට මනාපය පළ කිරීම පමණි. බස්‌නාහිර හා දකුණු පළාත් සභාවල බලය සන්ධානයට අහිමිව ගියත් එයින් ආණ්‌ඩුව නොවැටෙන්නා සේම ඒ බලය විපක්‍ෂයට ගියත් එයින් ද විශේෂ ප්‍රතිඵලයක්‌ ද නැත. වෙනකක්‌ තබා මැතිවරණ කොමසාරිස්‌වරයාට ආතතිය හැදෙන්නේ වත් නැත. සිදුවන එකම දෙය නම් තරග බිමේ සිටින 3794 න් පළාත් දෙකට 155 ක්‌ තේරී පත්වීම පමණි. අවම වශයෙන් ඔබේ තේරීම පිළිබඳ ඔබටවත් සතුටු විය හැකි නොවේද?

http://www.divaina.com/2014/02/09/editorial.html

Pic Source

0 comments: