Pages

Sunday, February 16, 2014

තරු හෝටල් වල ඇතුළාන්තය

අහස උසට නැඟි තරු හෝටල් දකින විට එහි ඇති සුර සැප බඳු වූ පහසුකම් ගැන සිහියට නැගේ.

සුර දූතයන් දූතිකාවන් බඳු වූ මිනිසුන් දෙව් විමන්වලට පියනඟනා ලෙසින් සුපිරි යාන වාහනවලින් පැමිණ තරු හෝටල් වෙත ගමන් කරනු දකින ඇතැමුනට අනේ අපට නම් තරු හෝටල් තුළට යැම සිහිනයකැයි කියා සිතේ.

ගමේ ගොඩේ ඇති තේ කඩයත් නගරයේ ඇති ආපන ශාලාවත් කොළඹ නගරයේ ඇති තරු හෝටලුත් අතර ඇති වෙනස ඇළක්‌ දොළක්‌ සහ මහ සාගරයක්‌ බඳුය.

තරු හෝටලයක්‌ යනු ආහාර පාන ගැනීමට සහ නවාතැන් ගැනීමට පහසුකම්වලට අමතරව එහි පැමිණෙන අමුත්තන්ට අවශ්‍ය සියලුම පහසුකම් සපයන තැනකි. බැංකු සේවාවන්, විදෙස්‌ මුදල් ගනුදෙනු පහසුකම්, අවන්හල්, ව්‍යාපාරික කාර්යාල, ක්‍රීඩාගාර, පිහිනුම් තටාක, සාප්පු සංකීර්ණ සම්බාහන මධ්‍යස්‌ථාන, ශාරීරික සුවතා මධ්‍යස්‌ථාන, ඇඳුම් පිsරිසිදු කරන මධ්‍යස්‌ථාන, තානාපති කාර්යාල සම්බන්ධීකරණ මධ්‍යස්‌ථාන, විනෝදාස්‌වාදය සපයන විශේෂාංග ඇතුළු සියලු පහසුකම්වලින් සම්පූර්ණ වූ ස්‌ථානයකි.

ශ්‍රී ලංකාවේ තරු හෝටලයක එක්‌ රාත්‍රියක්‌ සඳහා තනිපුද්ගල කාමරයක්‌ රුපියල් හත්දහසේ සිට (ඇමරිකානු ඩොලර් 69) ලබාගත හැකිය. එම කාමරවල මිල ගණන්, පහසුකම් අනුව වෙනස්‌ වේ. සුපිරි පැලැන්තියේ පුද්ගලයන් සඳහා කාමරයක්‌ නොව විසිත්ත කාමරයක්‌, මුළුතැන් ගෙයක්‌, අවන්හලක්‌ සහ සිව් දෙනකුට නවාතැන් ගත හැකි වායු සමනය කළ කාමර දෙකක්‌ සහිත මහල් අංගනයක්‌ වුව වෙන්කරවා ගත හැකිය. රාජ්‍ය නායකයන්, තානාපති නිලධාරීන්, සුපිරි ව්‍යාපාරිකයන් වැනි අය බොහෝ විට මෙවැනි මහල් අංගන වෙන්කරවා ගනිති.

උදැසන ආහාර වේලක්‌ අඩුම තරමින් රුපියල් දහස ඉක්‌මවයි. දහවල් ආහාරය අප ගනු ලබන කෑම වට්‌ටෝරුව අනුව වෙනස්‌ වේ. එයත් රුපියල් තුන්දහසින් ඉහළටය. සිසිල් බීම බෝතලයක්‌ රුපියල් පන්සියයකට වැඩිය. එනිසා මෙම හෝටල් තරු හෝටල් පමණක්‌ නොව සාමාන්‍ය ජනතාවට තරු පෙනෙන හෝටල්ය.

සාමාන්‍ය ජනතාව එසේ සිතුවත් අද තරු හෝටල්වලටද තරු පෙනෙන්නට පටන්ගෙන ඇත. එසේ වී ඇත්තේ ශ්‍රී ලංකාවේ අලුතින් ඉදිවන තරු හෝටල් සහ පවතින තරු හෝටල් අතර ඇති තරගය නිසාය. දැන් බොහෝවිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයෝ තරු හෝටලයක නවාතැන් ගැනීමට පෙර ඒවායේ මිල ගණන් විමසා බලති. තම ප්‍රතිරූපයට කීර්තියට අනුව ඊට ගැලපෙන තරු හෝටල්වල නවාතැන් ගන්නා පිරිස දැන් අඩුය.

දැන් බොහෝ සංචාරකයෝ තරු හෝටල්වල නවාතැන් ගෙන තෝස කඩෙන් ආහාර ගනිති.

මෙම තත්ත්වය නිසා බොහෝ තරු හෝටල පවත්වාගෙන යන්නේ ඉතා අසීරුවෙනි. හෝටලයේ තත්ත්වය ආරක්‍ෂා කර ගත යුතුය. ඒ සඳහා නඩත්තු කටයුතු කිරීමට අවශ්‍ය මුදල් සොයාගත යුත්තේ නවාතැන් ගන්නා පුද්ගලයන්ගෙන්, ආපන ශාලා සඳහා පැමිණෙන අයගෙන් උත්සව අවස්‌ථා පවත්වන්නන්ගෙන්ය. තරු හෝටලයක පවත්වන මංගල උත්සවයක අය කිරීම් සිදු කරන්නේ ආහාර පිඟානේ මිල ගණන් අනුවය. දැන් බොහෝ දෙනා තරු හෝටලයේ මංගල උත්සව පවත්වන්නේ අඩුම මිල ගණන් සහිත කෑම වට්‌ටෝරු ඇණවුම් කරමිනි.

තරු හෝටල්ද තමා වෙත පැමිණෙන ගනුදෙනුව රැක ගැනීම සඳහා ලබාදිය හැකි උපරිම පහසුකම් සලසයි.

මේ සම්බන්ධව තරු හෝටල්හි උත්සව සංවිධානය කරන අයකු අප සමග අපූරු තොරතුරක්‌ පැවැසීය.

මම කොළඹ තරු හෝටලයක උත්සවයක්‌ සංවිධානය කරන කොට හෝටල් කිහිපයකින් මිල ගණන් කැඳවනවා. එකම ආහාර වට්‌ටෝරුව තරු හෝටල්හි මිල ගණන් කිහිපයක්‌ යටතේ පවතිනවා. මමත් මුලින් හිතුවේ එක සමාන තරු හෝටල්හි ආහාර පාන මිල ගණන් එක සමානයි කියලා. සමහර තරු හෝටල්, පවතින තරගය නිසා වියදම පමණක්‌ පියවා ගනිමින් මිල ගණන් සඳහන් කරනවා. 

තරු හෝටලයක සේවකයකු අප සමග තරු හෝටල්හි වර්තමාන තත්ත්වය ගැන පැවැසුවේ මෙසේය. ඉස්‌සර අපට ගොඩාක්‌ ආදායම තිබුණේ රාත්‍රි සමාජ ශාලාවලින්. ඒවට එන තරුණ තරුණියෝ විදේශිකයෝ මත්පැන්වලට, සූදු ක්‍රීඩාවලට ආහාර පානවලට හොඳින් වියදම් කළා. පසුගිය කාලයේ රාත්‍රි සමාජ ශාලාවල ඇති වූ කලබල නිසා දැන් අපේ තරු හෝටලයේ රාත්‍රි සමාජ ශාලාව වසා දැම්මා. ඒක අපට විශාල පාඩුවක්‌. නමුත් කළමනාකාරීත්වය පැවැසුවේ රාත්‍රි සමාජ ශාලාවල සිදු වන ගැටුම් නිසා හෝටලයේ කීර්ති නාමයට පළුද්දක්‌ වන බවයි.

තරු හෝටලයක කළමනාකරුවකු අපට සිය අත්දැකීම් අනාවරණය කළේය.

මං හිතන්නේ අද ගොඩාක්‌ දෙනෙක්‌ තරු හෝටල්වලට එනවා. ඉස්‌සර තමයි තරු හෝටල්වලට එන්න බියක්‌ දැක්‌වූවේ. හැඳි ගෑරුප්පුවලින් කන්න තියෙන්නේ. ඉංගී්‍රසි භාෂාවෙන් කතා කරන්නේ කියලා ගමේ ගොඩේ අය හිතුවා. ඒක ඇත්ත. හැබැයි අපේ රටේ අය ආවහම අපි කතා කරන්නේ අපේ භාෂාවෙන්. හෝටලයේ වැඩකරන සේවක සේවිකාවන්ගෙන් සියයට අනූනවයක්‌ම ලංකාවේ අය.

හැඳි ගෑරුප්පුවලින් කන්න බැරිනම් අතින් අනාගෙන කන්න පුළුවන්. දැන් සමහර රටවල සංචාරකයෝ එනවා. එයාලා අතින් අනාගෙන කනවා විතරක්‌ නෙවෙයි, බිමත් හලාගෙන කන්නේ. අපට වටින්නේ අප වෙතට එන අමුත්තා. ඔවුනට උපරිම අයුරින් සංග්‍රහ කිරීමයි. අප හෝටලයේ කළමනකාරිත්වයේ අරමුණ.

සමහර මැති ඇමැතිවරු ආරක්‍ෂකයන් පිරිවරාගෙන ඇවිත් මත්පැන් වීදුරු දෙක ගන්න කොට ජම්ම ගති මතු කර ගන්නවා. පිහිනුම් තටාකයට මුත්‍රා කරපු මැති ඇමැතිවරුත් හිටියනේ.

එක පාරක්‌ ඉන්දියාවේ බොලිවුඩ්හි සුපිරි නළුවෙක්‌ ඇවිත් අපගේ හෝටලයේ නවාතැන් ගත්තා. එයා දවස්‌ තුනක්‌ ඉඳලා කෑම බීමත් කාලා පැදුරටත් හොරා ඉන්දියාවට ගියා. අපි ඉතිං එයාගේ ජනප්‍රියත්වය ගැන හිතලා ඒ ගැන ප්‍රසිද්ධ කළේ නැහැ. ඔහු අප හෝටලයේ නවාතැන් ගෙන සිටීම අපට විශාල ගෞරවයක්‌ විදිහට අප සැලකුවා. හැබැයි ඔහු තමුන්ගේ එම ගෞරවය රැක ගත්තේ නැහැ.

ඕනෑම තරු හෝටලයක වටිනාකම වැඩිවන්නේ ආහාරපානවලින්. ඒ නිසා අපි තරු හෝටලයක සුපිරි මුළුතැන්ගෙට ගොඩ වූයෙමු.

මස්‌ වර්ග, මාළු වර්ග, එළවළු, පලතුරු ඉතා පිරිසිදුව ක්‍රමානුකූලව අසුරා ඉවුම් පිහුම් කටයුතු සඳහා සූදානම් කරන අයුරු දැක ගත හැකි විය. මේ මුළුතැන්ගෙය අපේ ඇතැම් සුපිරි ගෙවල්වල විසිත්ත කාමරයක්‌ බඳුය. සියල්ල නවීන තාක්‍ෂණය භාවිත කරමින් සිදු කරයි. අපි ප්‍රධාන සුපවේදී මහතා සමග කතා කළෙමු. අපේ හෝටලයේ කෑම වට්‌ටෝරුව ඉහළම මට්‌ටමින් තියා ගන්න අප නිතරම උත්සාහ කරනවා. හෝටලයේ කීර්තිය ර¹ පවතින්නේ ආහාර පාන මතයි. ඒත් සමහර අමුත්තන්, උත්සව සංවිධායකයන් ඉතා අඩු මිල ගණන්වලට ආහාර පාන ඉල්ලනවා. ඇත්තටම අපට එම ගණන්වලට දෙන්න බැහැ. අපි ආහාර පාන සඳහා යොදන්නේ ඉහළම මට්‌ටමේ කුළු බඩු වර්ග. එක උත්සවයකට හදපු කෑම තව උත්සවයකට දෙන්නේ නැහැ. ඒ සඳහා අලුතින්ම සකස්‌ කරනවා.

පෙට්‌ටි කඩවල වගේ කිරි මාළු දෙවැනි දවසේ මිරිස්‌ මාළු බවට පත් කරලා එයත් අලෙවි වුණේ නැත්නම් බැදපු මාළු ලෙස සකසන්නේ නැහැ. කිරි මාළුනම් කිරි මාළු විතරයි ආහාර ඇණවුම් අනුව පමණයි සකස්‌ කරන්නේ.

සමහර අය උත්සවයට ඇණවුම් කළ ආහාර පාන ඉතිරි වූ විට ගෙදර අරගෙන යන්න ඉල්ලනවා. මම නම් ඊට විරුද්ධයි. එයාලා අරගෙන යන ආකාරය කෙතරම් දුරට සුරක්‍ෂිත දැයි කියා අප දන්නේ නැහැ. නමුත් අන්තිමට පවසන්නේ අහවල් තරු හෝටලයේ කෑම කියලා.

තරු හෝටල්වල තොරතුරු සොයන්න ගොස්‌ අපට හිතුණේ දැන් තරු හෝටල් ගැන කියන විට තරු පෙනෙන්නේ අමුත්තන්ට නොව තරු හෝටල්වලට බවය. කෙසේ හෝ ඉදිරියේදී කොළඹ නගරයේ අලුතින් සුපිරි තරු හෝටල් ඉදිවූ පසු දැනට පවතින බොහෝ තරු හෝටල්වලට ඇත්තටම තරු පෙනෙන බව එම හෝටල් කළමනාකරුවෝ පැවැසූහ. අපි ඒ සඳහා සූදානමක්‌ විදිහට සාමාන්‍ය ජනතාවටත් දරාගත හැකි මට්‌ටමේ විශේෂ මිල ගණන් සකස්‌ කර තිබෙනවා. දැන් අපේ හෝටලයේ තරු ගණන නෙවෙයි හෝටලය පවත්වාගෙන යැමට අවශ්‍ය ආදායම සහ තරු හෝටල් තරගයට මුහුණ දීමටයි අප සූදානම් වන්නේ. තරු හෝටල් කළමනාකරුවෝ අනාගත සැලසුම් අපට හෙළි කළහ.

උපාලි ද සේරම්
http://www.divaina.com/2014/02/16/feature17.html

Pic Source

0 comments: