Pages

Sunday, February 16, 2014

අමානුශික නවක වදය බිළිගත් පේරාදෙණි සරසවි බිමේ නිශාන්තය

"මෙම අපරාධය සිදුකර ඇත්තේ නූගත්, බුද්ධි මට්‌ටමින් පහත් තලයක සිටින අය නොවේ. පළමු ශ්‍රේණියේ සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ දක්‌වාම මහජනයාගේ මුදලින් අධ්‍යාපනය ලබා තවදුරටත් මහජන මුදලින් අධ්‍යාපනය ලබන උගත් බුද්ධිමත් යෑයි සලකනු ලබන, ඉහළ සමාජ ස්‌ථරයකට ඔසවා තබන ලද පුද්ගලයන් පිරිසක්‌ බව අනාවරණය වෙයි.

මෙම අපරාධය ඉතා අශිෂ්ට, පහත් මානසිකත්වයකින් තම ශාරීරික අවශ්‍යතාවන් ඉටු කර ගැනීම සඳහා සිදුකර ඇති අතර මෙලෙස කිසියම් පුද්ගලයකුට ශාරීරික හා මානසික වධ හිංසා පැමිණවීම මහජන මුදලින් නිදහස්‌ අධ්‍යාපනය ලබන සමාජයට වැදගත් පුරවැසියන් ලෙස බිහිවිය යුතු අයගෙන් සිදු නොවිය යුතු දෙයකි. මහජන මුදලින් නිදහස්‌ අධ්‍යාපනය ලබා සමාජයට බිහිවන මෙවැනි අපරාධකරුවන්ට දඬුවම් ලබා දීමේ ක්‍රියාවලිය ලිහිල් ලෙස සැලකිය නොහැකිය. මෙවැනි අධම ක්‍රියා සිදුවීම වැළැක්‌විය යුතුය. නවක වදය ලබා දීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල තුළ දරන මතය වන ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් නවක සිසුන් හඳුනා ගැනීම හා ඔවුන් අතර සුහදතාව ඇති කර ගැනීම සඳහා සිදු කරන්නේ යෑයි කියා ගත්තද ඉන් ශාරීරික හා මානසික වධ හිංසා ඇති වන අතර ඉන් සිසුන් තුළ සුහදතාවක්‌ ඇති නොවේ. අවසන් ප්‍රතිඵලය වන්නේ නවක වදයෙන් සමාජයට උගත් බුද්ධිමතුන් බිහිවීම නොව සමාජයට බරක්‌ වන මානසික රෝගීන් බිහිවීමය".

ඉහතින් උපුටා ගන්නා ලද්දේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී අතිශය අමානුෂික ලෙස නවක වදයට බඳුන් වූ ශිෂ්‍යයකු විසින් ගොනු කරන ලද නඩුවක වාර්තාවක කොටසකි. නඩුව ගොනු කර තිබුණේ 2011 වසරේ එම විශ්වවිද්‍යාලයේ ශාස්‌ත්‍ර පීඨයට ඇතුළු වූ ශිෂ්‍යයෙකි.

ඔහු අත්විඳි අමානුෂික නවක වද සිද්ධිය නඩු වාර්තාවේ සඳහන් වන්නේ මෙලෙසිනි.

"2011 වසරේ ඔක්‌තෝබර් මස 19 වැනිදා දෙවැනි වසර සිසුන් 20 ක්‌ පමණ රාත්‍රි 7.30 ට පමණ අපරාධ වින්දිත සිසුවා රාත්‍රි ආහාර ගනිමින් සිටි ආපන ශාලාවට පැමිණ පෞද්ගලික තොරතුරු ලබාගෙන තිබේ. ඊට පසු දින සවස 4.30 ට පමණ දෙවැනි වසර සිසුන් ඔහු නිදාගෙන සිටින විට නැගිට්‌ටුවා ආපන ශාලාව වෙත ගෙන ගොස්‌ ඔහුට පහර දී නවක වදය ලබා දී ඇත. ඉන් දින දෙකකට පසු එනම් 23 වැනිදා දෙවැනි වසර සිසුන් ඔහුට වෙනත් අයගේ කෑම පාර්සල් එකට අනා එම අනන ලද කෑම බලහත්කාරයෙන් අනුභව කිරීමට සලසා ඇත. පසු අවස්‌ථාවකදී දෙවැනි හා තුන්වැනි වසර සිසුන් ඔහු කාමරයකට ගෙන ගොස්‌ ඔහුගේ මුහුණට, පපුවට, පාදවලට හා අත්වලට පහර දී තිබේ. එහි ප්‍රතිඵලයක්‌ ලෙස ඔහුගේ හෘදයේ ඇති වේදනාවක්‌ නිසා පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇත. සිදුවූ කිසිවක්‌ වෛද්‍යවරුන්ට නොදන්වන ලෙස ජ්‍යෙෂ්ඨ සිසුන් ඔහුට දන්වා තිබේ.

ඉන් පසුව විශ්වවිද්‍යාලයේ පාලු ගොඩනැඟිල්ලකට ඔහු ගෙනගොස්‌ නිර්වස්‌ත්‍ර කර ලිංගික අපයෝජනයක්‌ සිදුකර තිබේ. එම සිද්ධියෙන් පසුවත් ඔහු රෝහල් ගත කර ඇත.

මෙලෙස අමානුෂික අන්දමින් ශාරීරික හා මානසික වධ හිංසාවන්ට ලක්‌කළ ජ්‍යෙෂ්ඨ සිසුන් ඔහු හඳුනාගෙන ඇත්තේ විශ්වවිද්‍යාල බලධාරීන් විසින් පෙන්වන ලද ඡායාරූපවලිනි. පරීක්‍ෂණ කටයුතු ආරම්භ වී ඇත්තේ එලෙස හඳුනා ගැනීමෙන් අනතුරුවය. සිද්ධිය පිළිබඳව ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට යැමේදී පොලිස්‌ නිලධාරීන් බලවත් අපහසුතාවට හා අසීරුතාවට පත්ව තිබේ. පොලිසිය ප්‍රකාශ ලබා ගැනීමට උත්සාහ කරන විට ශිෂ්‍යයා මානසික කම්පනයකට ලක්‌ව ඇත.

අධිකරණ වෛද්‍යවරයා විසින් සඳහන් කරන ලද ආකාරයට ඔහුගේ ශරීරයේ හා ගුද මාර්ගයේ තුවාල සිදු වී තිබේ. එම තුවාල අනුව අධිකරණ වෛද්‍යවරයාගේ නිගමනය වී ඇත්තේ බරපතල කායික ක්‍රියාවන් ලබා දී ඇති බවත් ගුද මාර්ගයේ ඇතුළත ලිංගික අපයෝජනයන් සිදු වී ඇති බවත්ය".

උපුටා ගැනීම අවසන්.

මෙම නඩුව විභාග වූයේ ජී. ජී. චරිත ලක්‌මාල්, ඡේ. ඒ. රුචිර මධුශංඛ හා පී. යුෂාන් සඳරුවන් යන එම විශ්වවිද්‍යාලයේ ශාස්‌ත්‍ර පීඨ සිසුන් තිදෙනාටය. නඩුව ගොනු කළ ශිෂ්‍යයාට ලිංගික අපයෝජනයන් සිදුකළ බව ඔවුහු අධිකරණය ඉදිරියේ පිළිගත්හ. නඩුව අවසන් වූයේ පසුගිය දෙසැම්බර් මාසයේ දීය. රුපියල් ලක්‍ෂ අටක වන්දියක්‌ නවක වදයට ලක්‌වූ ශිෂ්‍යයාට ගෙවන ලෙස මෙම සිසුන් තිදෙනාට නියෝග කළ අධිකරණය වසර පහක උපරිමයකට යටත්ව බරපතළ වැඩ සහිත සිර දඬුවම් අත්හිටුවූවේය.

නවක වදයට ලක්‌වූ ශිෂ්‍යයා මේ වන විට වෙනත් විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබමින් සිටියි.

අතිශයින් අමානුෂික සිත් පාරවන මෙම නවකවද සිද්ධිය සටහන් කිරීම සිදු වූයේ පසුගිය දින කිහිපයේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමිය කැළඹූ අඟුණකොළපැලැස්‌සේ ඩී. කේ. නිශාන්ත නම් ශිෂ්‍යයාගේ අකල් මරණයේ ශෝකාන්තයට පෙරවදනක්‌ ලෙසිනි. නිශාන්තගේ සියදිවි නසා ගැනීමත් ඉහතින් සඳහන් කරන ලද තිරශ්චීන නවක වද සිද්ධියත් අතර සහසම්බන්ධය කුමක්‌දැයි යමෙකුට සිතෙන්නට පුළුවන. ඉතාමත් පැහැදිලිය. රටම කැළඹූ ඒ සිදුවීම් ද්විත්වය අතර සම්බන්ධයක්‌ තිබේ. 

තමන්ට සිදුවූ අමානුෂික ශාරීරික හා මානසික වධ වේදනා හමුවේ අධිකරණය ඉදිරියට ගිය ශිෂ්‍යයා සහ විශ්වවිද්‍යාල භූමියේ ගසක එල්ලී මියගිය ශිෂ්‍යයා නේවාසිකාගාරයේ සිට ඇත්තේ එකම කාමරයේය. මෙම දෙදෙනාම ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ වධ බන්ධනයන්ට ගොදුරු වී තිබේ. 

ඒ පසුගිය 10 වැනිදාය. එදින පේරාදෙණි සරසවි බිමට සුවිශේෂී විය. ශාස්‌ත්‍ර පීඨයට නවක සිසු සිසුවියන් පා තැබුවේ එදිනය. සිනහමුසු මුහුණින් ශාස්‌ත්‍ර පීඨයේ නවක සිසු සිසුවියන් ලෙස ලියාපදිංචි වීමට පැමිණ සිටියේ දෙමව්පියන්ද සමගිනි. ඒ උදේ වරුවේය. කාලය ක්‍රමයෙන් ගෙවී යමින් තිබිණි. සවස තුනට පමණ පැතිර ගිය පුවතින් නවක සිසු සිසුවියන් පමණක්‌ නොව ජ්‍යෙෂ්ඨයෝද තුෂ්ණිම්භූත වූහ. උදේ වරුවේ පිපුණු සිනාමල් පරව ගියේ ක්‍ෂණයකිනි. මාකස්‌ ප්‍රනාන්දු පිරිමි නේවාසිකාගාරයට මීටර් සියයක්‌ පමණ දුරින් ශාස්‌ත්‍ර පීඨයේ සිටි ශිෂ්‍යයකුගේ මළසිරුරක්‌ ගසක එල්ලෙමින් තිබෙන්නේය යන්න එම පුවතය. ශාස්‌ත්‍ර පීඨයට නවක සිසුන් පැමිණි දිනම එහි සිටි ශිෂ්‍යයකුගේ මළසිරුරක්‌ ගසක එල්ලෙමින් තිබීමේ සිද්ධියෙන් නවකයෝ තැතිගත්හ. කුමන හැඟීමකින් ඔවුන්ගේ දෙමව්පියන්ගේ සිත් තැවෙන්නට ඇද්ද...? මාකස්‌ ප්‍රනාන්දු ශාලාවට නුදුරින් සරසවිය පෙනෙන මානයේ තංගුස්‌ ලණුවකින් ගෙල වැලලා ගෙන එල්ලෙමින් තිබූ මළසිරුර නවක වධයට එරෙහිව අධිකරණයට ගිය ශිෂ්‍යයා සමග එකම කාමරයේ සිටි ශිෂ්‍ය දික්‌ඕවිට කංකානම්ගේ නිශාන්තගේ ය. නිශාන්ත ද විශ්වවිද්‍යාලයේ ශාස්‌ත්‍ර පීඨයට ඇතුළත් වන්නේ 2011 වසරේ ඔක්‌තෝබර් මාසයේදීය. සරසවි බිමේ මාසයකට නොවැඩි කාලයක්‌ ගත කිරීමට ඔහුට ඉඩ හසර නොලැබිණි. අමානුෂික නවක වධයේ ගොදුරක්‌ ලෙසින් සරසවි බිමෙන් ක්‍රමයෙන් දුරස්‌ වීමට නිශාන්තට සිදු විය. ඉවසා දරාගත නොහැකි නවක වධය නිසා නිශාන්ත සරසවි මව් තුරුල්ලෙන් ආයාසයෙන් ඉවත් වී 

රැකියාවක නියෑලීමට තීරණය කළේය. ඒ බියගම ප්‍රදේශයේ ඔහුගේ බාප්පා කෙනකු යටතේය. දෙමව්පියන්ගේද සහෝදරයකුගේ හා සහෝදරියකගේ ද ආදරය ලබමින් සිටි නිශාන්ත ගත් මේ තීරණය ඔවුන්ගේ නොසතුටට හේතු වුවද නිශාන්තට කළ හැකි අන් යමක්‌ නොවීය. සරසවි බිම යක්‍ෂයන්ගෙන් ගැවසී ගත්කල, කළ හැකි අන් යමක්‌ නැතැයි ඔහුට සිතෙන්නට ඇත. සරසවි අධ්‍යාපනය ශෝකාන්තයක්‌ පරිද්දෙන් අතරමඟ නතර කළද සරසවි බිමට පය තැබීම මුළුමනින්ම නතර කිරීමට නිශාන්තට නොහැකි විය. ඒ ඔහුගේ පෙම්වතිය නිසාය. ඇයද ඔහු සමගම ශාස්‌ත්‍ර පීඨයට ඇතුළු වූ ශිෂ්‍යාවකි. ඇය හමුවීමට නිශාන්ත වරින් වර විශ්වවිද්‍යාලයට පැමිණියේය. අතීත සිදුවීම්හි ආවර්ජනය සිත පාරවන්නේ වූ නමුදු පෙම්වතිය සමග ප්‍රේමයෙන් මුසපත් වීමෙන් ඒ සියල්ල කෙටි වේලාවකට හෝ අමතක වන බව ඔහුට දැනෙන්නට ඇත. පසුගිය මස 27 වැනිදා ද ඔහු විශ්වවිද්‍යාලයට පැමිණ ඇය හමුවී තිබේ. එදින සවස නිශාන්ත සිය මිත්‍රයකුගේ ජංගම දුරකථනයට කතා කර තමන් මාකස්‌ ප්‍රනාන්දු ශාලාව අසල කැලයේ සිටින බව දන්වා ඇතැයි විශ්වවිද්‍යාල ආරංචි මාර්ග සඳහන් කළේය. 

ඉන් දිනකට පසු එනම් 28 වැනිදා නිශාන්තගේ දෙමව්පියන් විශ්වවිද්‍යාලයට පැමිණ තිබේ. දෙමව්පියෝ ප්‍රධාන ආරක්‍ෂක නිලධාරී සූරියබණ්‌ඩාර මහතා හමුවී සිය දරුවා අතුරුදන්ව ඇතැයි දැනුම්දී ඇත. ප්‍රධාන ආරක්‍ෂක නිලධාරියා දෙමව්පියන්ගේ දැනුම්දීම සම්බන්ධයෙන් පීඨාධිපතිවරයා හෝ උප කුලපතිවරයා හෝ වෙනත් ඉහළ අංශයක්‌ හෝ දැනුවත් කිරීමකින් තොරව නිශාන්ත සෙවීම ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසකට පවරා තිබේ. ඔවුන් මාකස්‌ ප්‍රනාන්දු ශාලාව පිටුපස කැලයට ගොස්‌ ඇත්තේ දෙමව්පියන්ද සමගය. තමන් සොයන ශිෂ්‍යයා කවුරුන්ද යන වග නොදැන සිටි දෙමවුපියන්ගෙන් තොරතුරු විමසා ඇත. තමන් සොයන්නේ නවකවධය නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතහැර ගිය ඩී. කේ. නිශාන්ත යෑයි දැනගත් මොහොතේම ඔවුහු ආපිට හැරුණාහ. ඒ... නිකම්ම නොවේ. දෙමවුපියන්ට ද දොෂාරෝපණය කරමිනි. දෙමවුපියන්ට ද දොෂාරෝපණය කරමින් නිශාන්ත සෙවීම පසෙකලන්නට ඔවුන්ට හේතුවක්‌ තිබිණි. එනම් නවකවධයට එරෙහිව අධිකරණය ඉදිරියේ විභාග වූ නඩුවේ ප්‍රධාන සාක්‍ෂිකරුවකු ලෙස නිශාන්ත ඉදිරිපත් වීමය. එම නඩුවේ වැරදිකරුවන් වූයේ අටවාගෙන සිටි මහා ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරීන්ය. ප්‍රධාන ආරක්‍ෂක නිලධාරියා දෙමවුපියන් සමග නිශාන්ත සෙවීමට කැලයට පිටත් කර හැර ඇත්තේ මහා ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් විය යුතුය. දෙමවුපියන්ට දෙස්‌ දෙවොල් තබමින් ඔවුන් ආපිට හැරුණේ ඒ නිසා යෑයි සිතිය හැකිය. කෙසේ වුවද අසරණ වූ දෙමවුපියන් ද නිශාන්ත සෙවීම නතර කර ආපසු හැරී ඇත්තේ නොදන්නා පරිසරයක කළහැකි දෙයක්‌ නොමැති නිසාය. ඉන්පසුව දෙමවුපියන් සිය දරුවාගේ අතුරුදන්වීම පිළිබඳව පේරාදෙණිය පොලිසියට ද පැමිණිලි කර ඇත. නිශාන්ත නිවසින් පිට වී තිබුණේ ජනවාරි මස 26 වැනිදාය. 27 වැනිදා සරසවියට පැමිණි නිශාන්තගේ මළ සිරුර ගසක එල්ලෙමින් තිබියදී හමුවන්නේ පසුගිය 10 වැනිදාය. එනම් විශ්වවිද්‍යාලයට පැමිණි දිනට සති දෙකකට පසුවය. දින කිහිපයක්‌ම මළ සිරුර එල්ලී තිබෙන්නට ඇති බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ග කියා සිටියේය. නිගමනය වූ ආකාරයට නිශාන්ත සිය දිවි හානිකරගෙනය.

ඊට හේතුව කුමක්‌ද....? කාහටත් නැගෙන ප්‍රශ්නයකි.

අමානුෂික නවකවධය නිසා සිය දිවි නසාගත්තේ නම් දෙවසරක්‌ ඒ සඳහා ගත කළ යුතුද?

විශ්වවිද්‍යාල අධ්‍යාපනය අත්හැර දැමූ දා පටන් ඔහු සම්බන්ධයෙන් අංශු මාත්‍රයක සොයාබැලීමක්‌ කරන්නට පරිපාලන අංශ කටයුතු කර නැත. නවකවධ සිද්ධියෙන් පසු ඔහු රෝහල්ගතව සිටියදී පවා නිශාන්ත ගැන සොයා බැලීමට ඉදිරිපත් වූ කෙනෙක්‌ නැති බව ද ඉහත ආරංචි මාර්ග කීවේය. ප්‍රධාන සාක්‍ෂිකරුවා ලෙස ඉදිරිපත් වූ නඩුවේ තීන්දුවෙන් පසුව ඔහු යළි විශ්වවිද්‍යාලයට පැමිණ තිබේ. එහිදී ඔහු දුටුවේ අදහාගත නොහැකි සිදුවීම්ය. අමානුෂික ලෙස නවකවධය දී අධිකරණය ඉදිරියේ වැරදිකරුවන් වූවන් මහත් ඉහළින් පිළිගෙන වැළඳ ගන්නා ඊනියා මහා ශිෂ්‍ය සංගමයක "අපූරුව" ඔහු දුටුවේය. ශිෂ්‍ය අයිතීන් වෙනුවෙන් පෙනී ඉන්නේ යෑයි මොරදෙන මහා ශිෂ්‍ය සංගමයක්‌ විසින් වැරදිකරුවන් වැළඳගනු ලැබීම නිශාන්ත දුටුවේය. අධිකරණය ඉදිරියේ වැරදිකරුවන් වූවන්ගේ දඩ මුදල් ගෙවීම සඳහා අහිංසක සිසුසිසුවියන්ගේ මහපොළ ශිෂ්‍යාධාර මුදල් බලහත්කාරයෙන් ලබාගන්නා අයුරු ද ඔහු දුටුවේය. අධිකරණය ඉදිරියේ වැරදිකරුවන් වූ අධමයන් තිදෙනා සම්බන්ධයෙන් කිසිදු දඬුවමක්‌ පරිපාලන අංශ වෙතින් නොලැබෙන බව ඔහු දුටුවේය. දඬුවමක්‌ තබා අවම වශයෙන් පරීක්‍ෂණයක්‌ හෝ පැවැත්වීමට පේරාදෙණිය පරිපාලන අංශවලට අවශ්‍යතාවක්‌ නැතැයි ඔහුට හැඟෙන්නට ඇත. ඒ හැඟීම සාධාරණය. දෙසැම්බර් මස දුන් නඩු තීන්දුවෙන් පසු පසුගිය 10 වැනිදා දක්‌වාම පරිපාලන අංශ නිහඬ නිද්‍රශීලී පිළිවෙතක ගැලී සිටියේය. මේ සියල්ල දකිමින් තවදුරටත් ජීවත්වීම හරසුන් දෙයකැයි නිශාන්තට සිතුණා විය හැකිය.

හන්තාන කඳු මුදුන්හි තුරුලතාතරින් සිය පෙම්වතිය සමග ඔබ මොබ සැරි සැරූ නමුත් ඒ කිසිවකින් නිශාන්තගේ හදේ වූ තුවාලය සුව නොවන්නට ඇත. තවදුරටත් ම්ලේච්ඡයන්ගේ උසුළු විසුළුවල ගොදුරක්‌ වීමේ අවශ්‍යතාවක්‌ ඔහුට නොතිබෙන්නට ඇත.

අපරිමිත ප්‍රාර්ථනා සඟවාගෙන සරසවි බිමට පා තැබූ ඔහු හිස්‌ අතින්ම ජීවිතය හැර දමා ගොසිනි. ඒ හැරයැම තුළ ඇත්තේ වැරදිකරුවන් දොතින් වැළඳගන්නා සහ වැරදිකරුවන්ට දඬුවම් නොකරන වටපිටාවක වූ මානසික කම්පනය යෑයි හැඟේ.

* නිලන්ත මදුරාවල
http://www.divaina.com/2014/02/16/feature11.html

0 comments: