Pages

Saturday, February 8, 2014

ලෝකයක්‌ වටිනා සම්ප්‍රදායික වී වර්ග වඳකළ කෘෂිකර්ම කුම්භාණ්‌ඩයෝ

මේ වන විට සම්ප්‍රදායික වී වර්ගවල වටිනාකම විවිධ පාර්ශවයන් විසින් වැඩි වැඩියෙන් මතුකරමින් පවතී. සම්ප්‍රදායික වී වර්ගවල ගුණ අතර දියවැඩියාව, හෘදයාබාධ, පිළිකා, වකුගඩු රෝග වැනි නිධන්ගත රෝග වැළැක්‌වීම, රක්‌තහීනතාවය වැළැක්‌වීම, අද සමස්‌ථ සමාජයටම වැළ`දී ඇති ගැස්‌ට්‍රයිටිස්‌ වැළැක්‌වීම, කෘෂි රසායනික කිසිවක්‌ අවශ්‍ය නොවීම, රසායනික පොහොර අවශ්‍ය නොවීම, පරිසරයේ ඇති ආසනික්‌ කැඩ්මියම් ආදී බැර ලෝහ උරා නොගැනීම, ගංවතුර නිය`ගය ආදී දුෂ්කර පාරිසරික සාධකයන්ට මැනවින් ඔරොත්තු දීම ආදිය වෙයි. 

සම්ප්‍රදායික වී වර්ග වල දැනටමත් හ`දුනාගෙන ඇති ඒ තරම් වටිනා ගුණාංග රාශියක්‌ තිබුණද ඒවායින් බොහොමයක්‌ මේ වන විටත් නැත්තටම නැතිකර ව`දකර දමා තිබේ. අප මෙවර ලිපියෙන් උත්සාහ කරන්නේ මෙතරම් වටිනා සම්ප්‍රදායික වී වර්ග නැත්තටම නැතිකරන්නට සහ ව`දකර අපේ රටෙන් අතුගා දමන්නට අපේම රටේ මහජන මුදලින් ඉගෙනගත් අපේම කෘෂිකර්ම නිලධාරීන් කටයුතු කර ඇති ආකාරය හෙළිදරව් කරන්නටය. මෙම කටයුත්ත පහසුවෙන්ම කරන්නට අපට හැකිවන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන්ම කලකට පෙර එළිදක්‌වා ඇති නිර්දේශිත වී ප්‍රභේද පිළිබ`ද පොත් පිංචක්‌ පරිශීලනය කිරීම මගිනි. 

නිර්දේශිත වී වර්ග පිළිබ`ද පොත් පිංචෙන් කෘෂිකර්ම නිලධාරීන් දැඩි අවධාරණයන් සහිතව තද කළු අකුරෙන් කියා සිටින්නේ ''නව වී ප්‍රභේද හැමවිටම ඉදිරියෙන් '' බවයි. මෙය පට්‌ට පල් බොරුවක්‌ බව අද වන විට ඉහ මොළේ ඇති ඕනෑම කෙනෙක්‌ දනී. එහෙත් මෙම පට්‌ට පල් බොරුව අප රටේ ජනතාවගේ විශේෂයෙන් ගොවියන්ගේ සිතට කාවැදීම ස`දහා ඔවුන් දන්නා සියලුම සට කපට උපායන්ද භාවිතා කර ඇත.

ඔවුන් වැඩ පටන් ගන්නේ ''අතීතයේදී අප රටෙහි වගා කරන ලද වී ප්‍රභේද මගින් ලබා ගත හැකි වුයේ බෙහෙවින් අඩු අස්‌වැන්නකි '' කියාය. එතරම් අඩු අස්‌වැන්නක්‌ ලබා අප රටේ ජනතාව අහෝ හාමතෙන් හිටියානම් පැරකුම් රජ දවස සහල් පිට රට යෑව්වේ කෙසේද යන්නට මෙම මහත්වරුන්ට උත්තරයක්‌ නැත. 

සම්ප්‍රදායික වී වර්ග වල අහිතකර ලක්‌ෂණ ලෙස ඔවුන් හුවා දක්‌වන්නේ ගොයම් ගස අධික උසකින් යුතුවීම, වැඩි කොලදාවක්‌ සහිතවීම, පහසුවෙන් ඇදවැටීම සහ රසායනික පොහොර කෙරෙහි ප්‍රතිචාර නොදැක්‌වීම ආදියයි. පැරණි වී ඇසුරෙන් වැඩි දියුණු කළ මුල් ප්‍රභේදවලද එම අහිතකර ලක්‌ෂණ පැවති බව ඔවුන් තවදුරටත් පවසයි. 

ඔවුන් ඊළ`ගට පවසන්නේ නව වැඩි දියුණු කරන ලද වී වර්ග වලින් ඉතා ඉහළ අස්‌වැන්නක්‌ ලබා ගත හැකි වු බවයි. නව වැඩි දියුණු කළ ප්‍රභේදවලින් වැඩි අස්‌වැන්නක්‌ ලබා දීමට හැකි වී තිබෙන්නේ මධ්‍යස්‌ත උසකින් යුතුවීම, සෘජුව පිහිටි කෙටි පත්‍ර තිබීම, ඇද වැටීමට ඔරොත්තුදීම, වැදගත් රෝග සහ කෘමි හානිවලට ඔරොත්තු දීම සහ උසස්‌ පොහොර ප්‍රතිචාරයක්‌ පෙන්නුම් කිරීම වැනි හිතකර ලක්‌ෂණ නිසා බව ඔවුන් පවසා ඇත. 

ඔවුන් පවසා ඇත්තේ එම හේතුවලට අමතරව පැරණි ප්‍රභේදවලින් වැඩි පිදුරු ප්‍රමාණයක්‌ හා අඩු අස්‌වැන්නක්‌ ලැබුණ බවත් නව වැඩි දියුණු කළ ප්‍රභේද මගින් අඩු පිදුරු ප්‍රමාණයක්‌ හා වැඩි අස්‌වැන්නක්‌ ලබා ගත හැකි බවත්ය. එම අදහස ඉතා ආකර්ෂණීය ලෙස ගොවියන්ට ඒත්තු ගැන්වීම ස`දහා චිත්‍ර යොදාගනිමින් ඉතා උස පිදුරු කන්දක්‌ ල`ග වී පොඩ්ඩක්‌ තබාගෙන තමාගේ සෙනෙහෙබර බිරි`ද මියගිය සැමියෙකුටත් වඩා විස්‌සෝපයෙන් නිකටට අත් දෙකත් ගසාගෙන ඉමහත් මානසික අවපීඩනයෙන් පසුවන ගොවියෙක්‌ එදා එනම් සම්ප්‍රදායික වී ස`දහා නිරූපනය කර ඇත. 

නව වැඩිදියුණු කළ වී ස`දහා නිරූපනය කර ඇත්තේ පිදුරු පොඩ්ඩක්‌ උඩ ඇන තියාගෙන වී ගෝනි රාශියක්‌ පසකින් තබාගෙන අත් දෙක ඉහළට ඔසවාගෙන සිනාසෙමින් රටක්‌ රාජ්‍යයක්‌ ලැබුණාටත් වඩා පස්‌වනක්‌ ප්‍රීතියෙන් ප්‍රිනායන ගොවියෙකි. අපේ ගොවියන් තමන්ට බත ලබාදුන් පිදුරුගොඩේ පස්‌ස පැත්ත තියන්නේ නැතිබව වත් මුන්නැහැලාට තේරී නැත. 

මෙම ප්‍රයත්නයන්ගෙන් අපට පැහැදිලිව පෙනී යා යුත්තේ මුසා බස්‌ පවා පවසමින් සම්ප්‍රදායික වී වර්ග සම්බන්ධයෙන් කීප ආකාරයකින්ම ගොවියන් ගොනාට ඇන්දවීමට ඔවුන් කටයුතු කර ඇති බවයි. ඔවුන් ''ගුණාත්මකභාවය'' ''වැඩි දියුණු කිරීම'' ආදියෙන් සලකා ඇත්තේ එකම එක කාරණයකි. එනම් වැඩි අස්‌වැන්නක්‌ ලබාදීමයි. වැඩි අස්‌වැන්නක්‌ ලබාදීම යන කාරණය ඇරුණුකොට අන් සෑම අතින්ම ඊනියා වැඩි දියුණු කළ වී වර්ග පවතින්නේ සම්ප්‍රදායික වී වලට වඩා ගව් ගණනක්‌ පසුපසිනි. මෙම නව ප්‍රභේදවලින් වැඩි අස්‌වැන්නක්‌ ලැබෙන්නේ කෙසේද යන්න සම්ප්‍රදායික වී වගාකර ඒවා අත්හැර දැන් නව ප්‍රභේද වගා කරන වයෝවෘද්ධ ගොවි මහතුන් හො`දින්ම දනිති. කුඹුරු වැඩ පටන් ගැනීමටත් සති 2 කට පෙර සිට අස්‌වැන්න කපාගන්නා තෙක්‌ම දැන් ගොවියන්ට පොහොර මිටියෙන් සහ බෙහෙත් ටැංකියෙන් ගැලවෙන්නට බැරිය. 

මේ පිළිබ`ද ප්‍රවීණයන් පවසන්නේ සම්ප්‍රදායික වී වර්ග වල සහ නව වැඩිදියුණු කළ වී ප්‍රභේද අතර අස්‌වනු පරතරය අක්‌කරයකට වී බුසල් 30 ක්‌ පමණක්‌ බවය. නමුත් මෙම වැඩිපුර බුසල් 30 ලබාගන්නට අප රටක්‌ ජාතියක්‌ ලෙස ගෙවා ඇති වන්දිය අසීමිතය. පොහොර සහ කෘෂිරසායනික ස`දහා අක්‌කරයකට එක්‌ කන්නයකට අවම වශයෙන් රුපියල් 30 000 ක්‌ පමණ වැයවේ. ගොවියන් අතින් එපමණ මුදලක්‌ වියදම් නොවන්නේ රජය පොහොර වලට විශාල සහනාධාරයක්‌ ලබා දෙන නිසාය. නමුත් මෙම සහනාධාරය ගෙවන්නට සිදුවන්නේත් මහජනයාටමය. එනම් වැඩි වී ඇති සෑම වී බුසලකටම රුපියල් 1000 ක්‌ වැයවේ. වැඩිවී ඇතැයි කියන වී අස්‌වැන්නේ සෑම බුසලකටම මෙරට ජනතාවට රුපියල් 1000 ක්‌ ගෙවන්නට සිදුවනවාට අමතරව මේ වන විට වකු ගඩු දෙකත් අහිමි කරගන්නට සිදු වී තිබේ. එය මිල කරන්නේ කෙසේද? අනුරාධපුර වකුගඩු ඒකකයේ වකුගඩු රෝගීන්ගේ රුධිරය පිරිසිදු කිරීම ස`දහා පමණක්‌ රටේ සමස්‌ත සෞඛ්‍ය පිරිවැයෙන් 1% ක්‌ වැය වෙයි. එයින් ආවරණය කරන්නට හැකි වී ඇත්තේද වකුගඩු රෝගීන්ගෙන් සුළු පිරිසක්‌ පමණි.

සම්ප්‍රදායික වී ප්‍රභේද පිළිබ`ද කෘෂිකර්ම නිලධාරීන්ගේ ප්‍රධාන චෝදනාවක්‌ වන්නේ ඒවා රසායනික පොහොර වලට ප්‍රතිචාර දක්‌වන්නේ නැති බවයි. ඇත්ත වශයෙන්ම මෙහිදී බළලා මල්ලෙන් එළියට පනින්නේය. එයින් කියවෙන එක්‌ කාරණයක්‌ වන්නේ සම්ප්‍රදායික වී වගා කරන්නට රසායනික පොහොර අවශ්‍ය නැති බවයි. එනම් සම්ප්‍රදායික වී ප්‍රභේද අවම වශයෙන් රටේ විදේශ විනිමය කෝටි 5000 ක්‌ වසරකට රටට ඉතුරු කර දෙයි. අනෙක්‌ කාරණය වන්නේ ගොවියන් සම්ප්‍රදායික වී වගා කරන තාක්‌ පොහොර සමාගම් වලට වෙළ`දපොළක්‌ ඇති නොවන බවයි. ලෝකයේ රසායනික පොහොර නිපදවන්නේ දැවැන්ත බහුජාතික සමාගම් විසිනි. එසේ නම් මෙම නිලධාරීන් රසායනික පොහොරවලට හො`දින් ප්‍රතිචාර දක්‌වන උසස්‌ ලක්‌ෂණය කියා දියුණු කර ඇත්තේ බහුජාතික සමාගම්වල ලාභයයි. ඔවුන් වැඩි දියුණු කළ එම ඊනියා උසස්‌ ලක්‌ෂණය නිසා අද රටටත් අප රටේ ගොවියාටත් පොහොර උගුලෙන් ගැලවෙන්නට බැරි තත්ත්වයක්‌ ඇතිකර තිබේ.

රසායනික පොහොරත් සමග පැමිණෙන තවත් උවදුරු බොහෝය. කැඩ්මියම් වැනි බැර ලෝහ ජලයටත් සමස්‌ත පරිසරයටත් එකතු වීම ඉන් එකකි. ටි්‍රපල් සුපර් පොස්‌පේට්‌ නැමති පොස්‌පරස්‌ ලබාදෙන රසායනික පොහොරෙහි ඉතා ඉහළ කැඩ්මියම් ප්‍රමාණ වාර්තා වී ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් මීට කළකට පෙර කළ පර්යේෂණයකින් ටි්‍රපල් සුපර් පොස්‌පේට්‌ වල විකිරණශීලී යුරේනියම් පවා ඉතා ඉහළ ප්‍රතිශත වාර්තා වෙන අවස්‌ථා ඇති බව හෙලි කර ඇත. විකිරණශීලී අපද්‍රව්‍ය සහ බැර ලෝහ අප රටවලට බැහැර කිරීම ස`දහා දියුණු රටවල් රසායනික පොහොර මාධ්‍යයක්‌ ලෙස භාවිතාකරන්නේද? යන සැකය මෙහිදී මතුවෙයි. කෘෂිරසායනික සමාගම්ද වන පොහොර සමාගම් රසායනික පොහොරත් සමග ආක්‍ර්‍රමණශීලී වල් පැලෑටි බීජ අප රටට එවන බව කලක සිට එල්ල වී ඇති චෝදනාවකි. එම චෝදනාව කිසිවෙකුටවත් බැහැර කළ නොහැක්‌කේ අපේ රටට ආගන්තුක වල්පැලෑටි රාශියක්‌ දැන් බහුලව පවතින නිසාවෙනි. ගිනි තිබ්බා සේ සමස්‌ත අස්‌වැන්නම අවසාන අවස්‌ථාවේදී විනාශ කර දමන කීඩෑ උවදුර අප රටේ අතීතයේ තිබූ උවදුරක්‌ නොවේ. සමාගම්වලට අවශ්‍ය අවස්‌ථාවලදී කෘමි උවදුරු අප රටට එවීම ස`දහාද රසායනික පොහොර හො`ද මාධ්‍යයකි. 

ඔවුන් සම්ප්‍රදායික වී වලට එරෙහිව නව වැඩිදියුණු කළ ප්‍රභේද ඔසවා තැබීමේදී ඒවා වැදගත් රෝග සහ කෘමි හානි වලට ඔරොත්තු දෙන බව පවසයි. ඒ සමගම ඔවුන් පවසන අනෙක්‌ හො`ද ලක්‌ෂණය වන්නේ රසායනික පොහොරවලට හො`ද ප්‍රතිචාරයක්‌ දැක්‌වීමය. මෙම කථා දෙක කිසිසේත්ම එකිනෙකට නොගැළපෙන පරස්‌පර විරෝධී කථා දෙකකි. රසායනික පොහොරවලට හො`ද ප්‍රතිචාරයක්‌ දැක්‌වීම යනු ගොයම් ගස ඉක්‌මනින් වැඩීමය. ඉක්‌මනින් වැඩෙන විට ගොයම් ගසේ මාංශල ගතිය වැඩිවේ. එවිට අනිවාර්යයෙන්ම රෝග සහ කෘමි උවදුරු වැඩිවෙනවා මිස අඩුවන්නට කිසිම හේතුවක්‌ නැත. ඔවුන් කියන පරිදි නව වැඩි දියුණු කළ ප්‍රභේද රෝග වලට සහ කෘමි උවදුරු වලට හො`දින් ඔරොත්තු දෙනවානම් ශ්‍රී ලංකාව ලෝකයේ වැඩියෙන්ම කාෂිරසායනික භාවිතාකරන රට බවට පත් වන්නේ කෙසේද? 

අධික රසායනික පොහොර ප්‍රමාණයක්‌, අධික කෘෂි රසායනික ප්‍රමාණයක්‌ සහ අධික ජල සැපයුමක්‌ යටතේ වැඩි අස්‌වැන්නක්‌ ලබාදීම හැර වෙනත් කිසිම උසස්‌ ලක්‌ෂණයක්‌ ඊනියා නව වැඩි දියුණු කළ වී ප්‍රභේදවල නැත. 

සම්ප්‍රදායික සහල් වර්ග දියවැඩියාව, කොලෙස්‌ටරෝල් ඉහළයාම, හාදයාබාධ, පිළිකා, ගැස්‌ට්‍රයිටිස්‌, හන්දිප්‍රදාහ ආදී නිදන්ගත රෝග වළක්‌වන අතර ඒවා වැළ`දී ඇති අයට හො`දින් පාලනය කර දෙයි. සම්ප්‍රදායික සහල් වර්ග පෝෂණ විද්‍යාවේ නව මානයන් ලෙස සැලකෙන තන්තු සහ ශාකරසායිකවලින් අතිශයින්ම පොහොසත්ය. සම්ප්‍රදායික වී ව`දකරන්නට කටයුතු කළ සියලුම දෙනාට මතක්‌කර දිය යුත්තේ ඒවා හුදු ආහාර පමණක්‌ නොව, වටිනා ඖෂධ ද වන බවය. අද රටේ ජනතාවට නැති කර ඇති එම ඖෂධීය ගුණ ගන්නට බටහිර ඖෂධ ටොන් ගණනින් ගිලින්නට සිදු වී තිබේ. නව වැඩි දියුණු කළ ප්‍රභේදවල ඇත්තේ ඖෂධීය ගුණ නොව රෝගකාරකභාවයන් ය. 

සම්ප්‍රදායික වී වර්ග වල වරණීය අවශෝෂණය එනම් ඊට අවශ්‍ය දේ පමණක්‌ උරා ගැනීමේ හැකියාව උපරිම වන අතර පරිසරයට මේ වන විටත් එකතු වී තිබෙන ආසනික්‌, කැඩ්මියම් ආදිය ගොයම් ගසට උරා නොගැනීමට ඒ අනුව හැකි වෙයි. නමුත් නව වී ප්‍ර්‍රභේදවල එවැනි හැකියාවක්‌ නැත. සම්ප්‍රදායික වී වර්ග නිය`ගය, ගංවතුර ආදී පීඩාකාරී පරිසර සාධකයන්ටද මැනවින් ඔරොත්තු දෙන අතර නව ප්‍රභේදවල එවැනි හැකියාවක්‌ නැත. කෙතරම් වාරි ක්‍රම ඇතිකළද නව වී වර්ග වලට ජල සැපයීම අද අභියෝගයක්‌ වී ඇත. සම්ප්‍රදායික වී වර්ග බොහොමයක්‌ ගොඩ ගොවිතැනක්‌ ලෙස හේන් වලද වගා කළ බව අප අමතක නොකළ යුතුය. 

අප මෙහිදී උත්සාහ කළේ නිර්දේශිත වී ප්‍රභේද නැමති පොත් පිංච මගින් සම්ප්‍රදායික වී ව`දකරන්නට කෘෂිකර්ම නිලධාරීන් කටයුතු කළ ආකාරය පෙන්වා දීමටයි. ඊට අමතරව ඔවුන්ගේ කටයුතු 1960 දක්‌වා බොහෝ ඈතට දිව යන දීර්ග කථාන්දරයකි. සම්ප්‍රදායික වී අත් හරින්නට බැරි ගොවියන් නොදියුණු මිනිසුන් සේ හංවඩු ගසා ගරහා සමාජයෙන් කොන් කිරීම, රජයෙන් නිර්දේශිත සහනාධාර පවා එම ගොවියන්ට ලබානොදීම, වී අස්‌වැන්නට විරුද්ධ සතුරන් ලෙස සම්ප්‍රදායික ගොවීන්ට චෝදනාකිරීම ආදී දහසක්‌ කෙනෙහිලිකම් සහ දුෂ්ටකම් ඒ අතර ඇත. 2013 යෝජිත බීජ පනතින් එම දුෂ්ටකම්වල සහ කෙනෙහිලිකම් වල කූටප්‍රාප්තිය සනිටුහන් කරමින් සම්ප්‍රදායික ගොවියාත් සම්ප්‍රදායික බීජත් ද`ගගෙයි දැමීම ඔවුන්ගේ වත්මන් අරමුණයි.

වෛද්‍ය පාලිත සමන් ජයකොඩි
http://www.divaina.com/2014/02/09/feature10.html

0 comments: