Pages

Wednesday, February 12, 2014

චුණ්‌ඩිකුලමේ කුලුළු අභය බිමේදී සොබාදහමේ අසිරිය වින්දෙමි

හැට හය වැනි නිදහස්‌ දිනය සැමරුණු පසුගිය පෙබරවාරි 4 වැනිදා අප සිටියේ මෙරට ප්‍රකට (කුරුලු) අභයභූමියක්‌ වන චුණ්‌ඩිකුලම් කළපුව අසබඩය. වසර තිහකට ආසන්න කාලයක්‌ යුද්ධයේ දරුණු ව්‍යසනයකට හා තුවක්‌කු බලයට යටත්ව තිබූ මෙම අභ්‍යභූමිය දැන් මනු සතුන්ටද, වනසතුන්ටද සැබෑම අභයභූමියක්‌ බවට පත්ව තිබේ. යාපනය අර්ධද්වීයත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගොඩබිමත් වෙන්කරන අලිමංකඩ ප්‍රදේශයේ යාපනය කළපුව නැගෙනහිරින් මුහුද සිපගන්නේ මේ චුණ්‌ඩිකුලම් කළපුවෙනි.

නොහොත් එම කළපුවේ මෝයකට පිහිටා ඇත්තේ චුණ්‌ඩිකුලම් ප්‍රදේශයේය. මෙම මෝය කටෙන් එගොඩව ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගොඩබිමට මුහුදු තීරය දිගේ පැමිණියහොත් අපට පිළිවෙලින් හමුවන්නේ චලෙයි, පුදුමාතලන්, වලෙයිමඩම්, මුල්ලිවයික්‌කාල්, වෙල්ලමුල්ලිවයිකාල්, මුලතිව් ප්‍රදේශයයි. සිව්වැනි ඊලාම් යුද්ධයේ අවසන් සටන සිදුවූ මෙම ප්‍රදේශය එකල යුද සොහොනක්‌ ලෙස පැවතියේය. එහෙත්, අද එසේ නොවේ. මෙම සියලු ප්‍රදේශ සංවර්ධනයේ ඉහළම ඵල ලබමින් පවතින අතර නිදහස එහි ජනයා මෙන්ම ගහකොළ සතා සිව්පාවාද ඉහළින්ම භුක්‌ති විඳී.

චුණ්‌ඩිකුලම් කළපුවෙන් උතුරට ඇත්තේ වෙත්තිලයිකර්නි, මුල්ලියාන්, නගර්කෝවිල්, අම්පන්, වැල්වැටිතුරේ වැනි යාපනය අර්ධද්වීපයේ ප්‍රදේශය. ධීවර ජනයා බහුතරයක්‌ වෙසෙන මෙම ප්‍රදේශය මේ දිනවල නම් දැඩි හිරුරැස්‌ පතිත වන පුලිනතලාවෙන් සමන්විත කටුක, කර්කෂ පරිසරයක්‌ ලෙස හැඳින්වීමේ වරදක්‌ නැත. කෙසේ හෝ මෙම කටුක බව මැඩගනිමින් "නිදහස" නම් උතුම් සැපත තුරුලුකරගනිමින් අද මෙම ප්‍රදේශවල ජනයා යුද්ධයේ බියකරු අතීතය අමතක කර එදිනෙදා වේල සරිකරලන්නට දරන වෙහෙස අප ඉතා හොඳින් පසක්‌ කර ගතිමු. ඒ සඳහා ඔවුන්ගේ එකම ගැලවුම්කරුවා ලෙස ශ්‍රී ලංකා යුද හමුදාව තවදුරටත් දක්‌වන සහාය, උපකාරයද කිසිවිටෙකත් අමතක කළ හැකි නොවේ.

2013 - 2014 මහකන්නය නිමාවී මාසයක්‌ දෙකක්‌ පමණ ගෙවී ගියද, චුණ්‌ඩිකුලම්වලට තවමත් වසන්තය පැමිණ නැත්තේ මෙවර හරිහැටි වර්ෂාවක්‌ එහි නොලැබීමය. එනිසාම චුණ්‌ඩිකුලම කළපුව මෙන්ම වැවද මෙවර පිරී නොගියේය. ඇත්තේ අඩු ජල ප්‍රමාණයකි. එනිසාම වෙනදා තරම් කුරුල්ලන්ගේ පැමිණීමක්‌ මෙහි අද දක්‌නට නැත. එහෙත්, ශ්‍රී ලංකාවේ පැරණිතම අභය භූමියක්‌ වන චුණ්‌ඩිකුලමට සංචාරකයන්ගේ පැමිණීමේ ප්‍රවණතාවයද ඉහළ ගොස්‌ ඇත. මේ නිසාම අද එහි රාජ්‍ය ආයතනවල සංරක්‍ෂණ මධ්‍යස්‌ථාන, හෝටල්, සංචාරක නිවහන් ඉදිවෙමින් පවතී. ඒ අතරින් ප්‍රධාන වන්නේ මෙම බිමේ සැබෑ රාජ්‍ය හිමිකරුවා වන වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අගනා සංචාරක නිවහනක්‌ එහි ඉදිවීමය. එය දැන් විවෘතව පවතී. එසේම, චුණ්‌ඩිකුලමේ මෙතෙක්‌ සැබෑම භාරකරුවා බවට පත්ව සිටින්නේ ශ්‍රී ලංකා යුද හමුදාවය. ආරක්‍ෂාව මෙන්ම සියලු කටයුතු සම්බන්ධීකරණ සිදුවන්නේ ඔවුන් හරහාය. යුද හමුදාවද මෙහි සංචාරක හෝටලයක්‌ පවත්වාගෙන යෑයි. එය "නේචර්" පාර්ක්‌" නමින් නම් කොට ඇත. චුණ්‌ඩිකුලමට ගිය අපි ලැගුම් ගත්තේද මෙම අවන්හලේය.

චුණ්‌ඩිකුලම අතීතයේදී පටන් කුරුලු අභයභූමියක්‌ ලෙස පිළිගැනේ. එය ප්‍රකාශයට පත්කර ඇත්තේ 1938 පෙබරවාරි මස 25 වැනිදාය. ඒ මෙරට නිදහස ලබන්නටත් ප්‍රථම බ්‍රිතාන්‍ය පාලනය පවතින වකවානුවේදීය. ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික උද්‍යාන දෙක වන යාල සහ විල්පත්තුව ගැසට්‌ මගින් ප්‍රකාශයට පත්කළ දිනයේදීම මෙම අභයභූමියද ප්‍රකාශයට පත් කිරීමෙන් අතීතයේ සිට ඊට තිබූ සැලකිල්ල කොතෙක්‌ද යන්න පැහැදිළි වේ. මෙහි ප්‍රමාණය හෙක්‌ටයාර් 11,149 කි. මෙම අභයභූමිය අද කුරුල්ලන් ගැවසෙන කදිම අභයභූමියක්‌ බවට පත්ව ඇත. මන්දයත් ශ්‍රී ලංකාවට උතුරු දෙසින් ඉන්දියාව හරහා අප රටට ඇතුල්වන දහස්‌ සංඛ්‍යාත සංචාරක කුරුල්ලන්ගේ ප්‍රථම නවාතැන බවට පත්වන්නේ මෙම කළපුව නිසාය.

කෙසේ හෝ චුණ්‌ඩිකුලමේ ගතකළ කෙටි කාලයෙන් පසු අපට ඒ ආශ්‍රිත ධීවර ජනයා වෙසෙන මුල්ලියාන්, වෙත්තිලයිකර්නි ප්‍රදේශවල කෙටි සංචාරයක යෙදෙන්නට අවස්‌ථාව උදාවිය. තල්ගසින් බහුල, එහෙත් රත්වූ පුලිනතලා අතර කටුක ජීවිතයක්‌ ගෙවන මෙම ප්‍රදේශයේ (ධීවර) ජනයාගේ වත්මන් ජීවන තොරතුරු මෙන්ම, සුබසාධන කටයුතුද, ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල වත්මන් තත්ත්වයද අපට අත්දැකගන්නට ලැබුණේ යුද හමුදාවේ නිලධාරීන් අපට දැක්‌වූ කාරුණික අනුග්‍රහය හා මගපෙන්වීම නිසාය. එපමණක්‌ නොව, වෙත්තිලයිකර්නි දෙමළ විදුහලේ පැවැති නිදහස්‌ දින සමරු උළෙලට සහභාගිවීමේ අවස්‌ථාවක්‌ද එදා අපට එහිදී හිමිවිය. ඒ ආරාධිතයින් ලෙසය.

අපගේ කණ්‌ඩායමට පරිසරවේදියකු, ප්‍රවීන වනජීවී ඡායාරූප ශිල්පියකු හා ජාත්‍යන්තර සංචාරක මගපෙන්වන්නකු ලෙස කටයුතු කරන අයිවෝ වැන්කි යුලන්බර්ග්, දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජයන්ත විඡේසිංහ, වනජීවී ඡායාරූප ශිල්පී කීර්ති අමරසේකර සහ මාධ්‍යවේදී ගාමිණී බණ්‌ඩාර මැණික්‌දිවෙල නන්දන යන අය අයත් වූහ. චුණ්‌ඩිකුලමේ නවාතැන් ගැනීමත්, සංචාරය සංවිධානය කිරීමත් සිදුකරන ලද්දේ අයිවෝ වැන්කියුලන්බර්ග් මහතා විසිනි. ඒ පසුගිය වසරේ ඔහු යාපනය නාගදීප රජමහාවිහාරයේ සිට කතරගම දේවාලය දක්‌වා පාගමනින්ම ගවේශණයේ යෙදෙන අතරවාරයේදී චුණ්‌ඩිකුලමටත් ගොස්‌ එහි එක්‌ රැයක්‌ නවාතැන් ගෙන තිබූ නිසාය. එහිදී ඔහුගේ ධන පරිත්‍යාගයෙන් ප්‍රදේශයේ දිළිඳු දරුවන්ට පොත්පත් පාසල් උපකරණ ප්‍රදානයක්‌ කරන්නට ඔහු යුද හමුදාවේ නිලධාරීන්ට පොරොන්දුවක්‌ දී පැමිණ තිබිණි.

මෙවර අප එහි ගියේ එම කටයුත්තද ඉටුකර චුණ්‌ඩිකුලම නම් සුන්දර 

පාරිසරික නිකේතයේ රැයක්‌ ගත කර එහි පහස විඳීමත් අරමුණු කරගෙනය.

වෙත්තිලයිකර්නි රෝමානු කතෝලික විද්‍යාලයත්, වෙත්තිලයිකර්නි පරමේස්‌වරම් විද්‍යාලත් යන යුද්ධයට ගොදුරුවූ විදුහල්වල දරුවන්ට මෙහිදී නිදහස්‌ දිනයදා තයාග ප්‍රදානය සිදුකෙරුණු අතර, එය යුද හමුදාව මගින් අපූරුවට සංවිධානය කර තිබිණි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ 55 වැනි සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් අජිත් කාරියකරවන මහතාගේ උපදේශකත්වයෙන් 553 බලසේනාධිපති කර්නල් විජිත් සුබසිංහ, 19 වැනි ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් රජීව් ප්‍රනාන්දු යන නිලධාරීන් සැලසුම්කර තිබූ වෙත්තිලයිකර්නි නිදහස්‌ දින සැමරුමට සහභාගිවූ අපි හෝරා කිහිපයක්‌ එහි දරු දැරියන් සමඟ ගතකළ ඒ අපූරු කාලය චුණ්‌ඩිකුලම් කළපුවේ සුන්දරත්වයටත් වඩා අපට සියුම් සතුටක්‌ ගෙන දුන්නේය. යුද්ධයේ අළු - දූවිලි මතින් අධ්‍යාපනය හඹා යන දේශයේ දූ දරුවන්ගේ අනාගතය ගොඩනගන්නට අපගේ ආරක්‍ෂක හමුදා දක්‌වන කැපකිරීම මෙහිදී අපට ඉතා හොඳින් පසක්‌ විණි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා බවට පත්වූයේ අපගේ කණ්‌ඩායමේ අයිවෝ වැන්කියුලන්බර්ග් මහතා සමග බ්‍රිගේඩියර් අජිත් කාරියකරවන මහත්වරුන්ය. එම අරාධිතයින් සමඟ සභාව ඇමතූ විදුහල්පති ටී. කිරුබනාදන් මහතා ප්‍රකාශ කර සිටියේ අද උතුරේ ජනතාව නිදහසේ ප්‍රතිලාභ විඳින බවත්, ප්‍රදේශයේ පාරිසරික, සමාජයීය දියුණුව ජනතාවගේ බලාපොරොත්තුව වන බවයි.

චාම් එහෙත්, අභිමානවත් උත්සවයක්‌ බවට පත්වූ මෙම වෙත්තිලයිකර්නි 66 වැනි නිදහස්‌ දින උළෙල අවසානයේදී ගැයූ ජාතික ගීතය මුමුණා කියන්නට කුඩා දමිළ දරුවන්ද උත්සාහ දරනු මම බලා සිටියෙමි.

මෙම චාරිකාවේදීම අප පෙරදින මැදවච්චිය - කැබිතිගොල්ලෑව පාරේ මායිම් ගම්මානයක්‌ව තිබූ යුද්ධයේ ශාපයට ගොදුරුවූ ගම්මානවල පෙර පාසල් උත්සවයකටද මැදවච්චිය - මන්නාරම් පාරේ තම්මැන්නාකුලම නම් එදා යුද්ධයට ගොදුරුවූ ගම්මානයේ වකුගඩු ආබාධය පිළිබඳ නිරීක්‍ෂණය කර එම ජනතාවට සහනයක්‌ සලසන්නටද හැකි ක්‍රමවේද සොයා බලන්නටද ගියේය. සිංහලද දමිළද යන ජනකොටස්‌ දෙකේම යුද්ධයේ බියකරු අඳුරු කතාන්දර අසා සිටි අපට යුද්ධය ජාතිවාදී නොවන බවටත් එය හුදෙක්‌ අවස්‌ථාවාදී ක්‍රියාවලියක්‌ බවටත් පසක්‌ කර ගැනීමට හැකිවිය. යුද්ධයට සිංහල, දෙමළ, මුස්‌ලිම් යන සැවොම ගොදුරු වූහ. එපමණක්‌ නොව චුණ්‌ඩිකුලම වැනි පරිසර නිකේතනද ඊට ගොදුරු විය. ඒ අනුව බලන කල යුද්ධයේ උවමනාව කාටද යන්න හරිහැටි පැහැදිලි නැත. කෙසේ හෝ අද නිදහසේ කාහල නාදය රැව් පිළිරැව් දෙනු ඇසේ. රටේ කොතැනත් බියකින් සැකයකින් තොරව ඇවිද යා හැකිය. හෙට දිනයේ අවශ්‍ය වන්නේ එම නිදහසත් ජාතීන් අරත සුහදතාවය වර්ධනය සඳහා වැඩසටහන් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවත්ය. එවිට අපට එකම වේදිකාවක සිට මේ සිරිලක්‌ මාතාවගේ අසිරිය අත්විඳිය හැකිය.

ජගත් කණහැරආරච්චි, ජයන්ත විඡේසිංහ | ඡායාරූප - කීර්ති අමරසේකර
http://www.divaina.com/2014/02/11/feature04.html

0 comments: