Pages

Thursday, February 6, 2014

48 නිදහස ගැන එදා පත්තර කී කතාව

ස්වදේශීය රාජ්‍ය පාලකයන් 185 දෙනකු විසින් පුරා වසර 2271 ක්‌ රාජ්‍යත්වය ඉසිළු සිංහල ද්වීපය වර්ෂ 1815 ක්‌වූ මාර්තු මස 02 වැනි දින සෙංකඩගල නුවර මඟුල් මඩුවේදී අත්සන් තබන ලද උඩරට ගිවිසුම මගින් බ්‍රිතාන්‍යයන්ට පවරා දෙන ලදී.

ඉන් පසු වසර 133 ක්‌ පුරා මෙරට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිතයක්‌ව පැවත නැවත නිදහස ලැබෙන්නේ වර්ෂ 1948 වූ පෙබරවාරි මස 04 වැනි දිනය.

එම ඓතිහාසික දින මව්බිමට උස්‌ නිදහසක අලුත් රැස්‌ කෙඳි වැටීම නිමිත්තෙන් රටම උත්සවශ්‍රීයෙන් ඇලලීගිය බවත් එම අසිරිමත් මොහොත එළැඹි තැන් සිට දින ගණනාවක්‌ මුළුල්ලේ රටම මංගල සිරියෙන් බැබලෙන්නට වූ බවත් ඉතිහාසයේ සටහන්ව ඇත. මේ සාක්‍ෂි සහිත ඉතිහාසයේ නැවත දිගහැරීම ඒ අතීත අභිනන්දනය උදෙසාය.

අද මෙන් දියුණු සන්නිවේදන පහසුකම් නොතිබූ 1940 දශකය අප ලැබූ නිදහස පිළිබඳ "ශුභ ආරංචිය" ජනතාව වෙත රැගෙන යැමට ගුවන් විදුලියට හා පුවත්පත්වලට පමණක්‌ සීමා විය. එකල ගුවන් විදුලිය සිළුමිණ, දිනමිණ, ලංකාදීප, සිලෝන්, ඔබ්සවර්¨ ඇතුළු තවත් පුවත්පත් කීපයක්‌ ඒ සඳහා විශාල ඉඩක්‌ වෙන්කළ අතර ජනතාවගේද නිදහස පිළිබඳ උනන්දුව වැඩි විය.

එම අසිරිමත් දින වාර්තා කරමින් දිනමිණ පුවත්පත තම ප්‍රධාන සිරස්‌තලය ලෙස අද පටන් ලක්‌ වැසියෝ ලෝකයේ නිදහස්‌ ජාතීන්ට සමානයි" යනුවෙන් යොදා තිබූ අතර පත්‍රයේ වම්පස ඉහළ සිංහ ධජයක සේයාරුවක්‌ද මුද්‍රණය කර තිබිණි.

එහිම උප ශීර්ෂ යටතේ පුවත් පළකරමින් "ප්‍රීතිමත් මොහොතේදී යටත් විජිත භාර මහලේකම්තුමා එවූ ශුභ ප්‍රාර්ථනාත්මක සංදේශය යනුවෙන් සටහන්කොට තිබූ අතර එහිදී යටත්විජිත භාර මහලේකම් තැන්පත් ආතර් ක්‍රිව් ජෝන්ස්‌ මහතා සඳහන් කොට ඇත්තේ මෙසේය.

අද උදැසන 7.30 ට යෙදෙන සුබ මොහොතින් කොළඹ රජවාසලේදී නායක විනිශ්චයකාරතුමා ඉදිරියේ සර් හෙන්රි මුවර්තුමා ලංකාවේ අග්‍රාණ්‌ඩුකාරවරයා ලෙස දිවුරුම් දීමෙන් මේ පිළිබඳ උත්සව කටයුතු ආරම්භ වන්නේය. මේ සිද්ධිය නිමිත්තෙන් වෙඩිමුර තැබීමක්‌ පවත්වනවා ඇත.

මුල් පිටුවේ ඡායාරූප ලෙස එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි මහාමාන්‍ය ඩී. එස්‌. සේනානායක, අග්‍රාණ්‌ඩුකාරතුමා වන සර් හෙන්රි මුවර්ස්‌, යටත් විජිතභාර මහ ලේකම් ක්‍රිව් ජෝන්ස්‌ගේ උඩුකය සහිත රූප යොදාගෙන තිබූ අතර බෙංගාලයේ හිටපු ආණ්‌ඩුකාරයෙකු වූ සර් පෙඩ්රික්‌ බරෝස්‌ මහතා විසින් එවූ සුබපැතුම් පණිවිඩයක්‌ද දිනමිණ පුවත්පතේ විය.

නිදහසට පෙර එනම් 47 දෙසැම්බර් 11 වැනි දින අප රටට නිදහස ප්‍රදානය කිරීමට බ්‍රිතාන්‍ය ගත් තීරණය "ලංකා ස්‌වාධීන පනත" පිළිබඳව එම පුවත්පත විසින්ම රට වැසියන් දැනුවත් කොට තිබූ අතර එය වාර්තා කොට තිබුණේ මේ ආකාරයටය.

දෙසැම්බර් 10 වැනිදා ලන්ඩනයේදීය

බ්‍රිතාන්‍යය පොදු රාජ්‍ය මණ්‌ඩලය තුළ ලංකාව ස්‌වාධීන ජාතියක්‌ බවට පත් කරන ලංකා ස්‌වාධීනතා පනත සාමි මන්ත්‍රී මණ්‌ඩලය විසින් අද සම්මත කරන ලදී. පසුව මේ පනත නීතිය කරන මහ රජාණන් වහන්සේගේ අනුමැතිය සවස්‌ භාගයේදී ලැබුණේය.

ලංකා ස්‌වාධීනතා පනත අන්තිමවරට තුන්වන වර කියවීමේ යෝජනාව හිටපු යටත් විජිත භාර ඇමැතිවරයා සහ අද්මිරාල්තී සභාවේ පළමු ස්‌වාමිවරයා වන හෝල් වයිකවුන්ට්‌තුමා විසින් චාරිත්‍රානුකූලව ඉදිරිපත් කරනු ලැබීය.

සාකච්ඡාවකින් හා ඡන්ද විමසීමකින් තොරව යෝජනාව සම්මත විය (රොයිටර්)

රොයිටර් පුවත් සේවය පවා උපුටා ගනිමින් මෙරට පුවත්පත් නිදහසේ උදානය පිළිබඳ ජනතාව දැනුවත් කර ඇති අතර එකල පුවත්පතක මිල වූයේ ශත 05 කි. ඉස්‌තරම් රේඩියෝවක්‌ වන ඉග්විකටා රේඩියෝවක්‌ රුපියල් 380/- ක්‌ වූ අතර එකල බොහෝ නිවෙස්‌වල ගුවන් විදුලි යන්ත්‍ර තිබී නැත.

ශ්‍රී ලංකාව නිදහස ලබන අවධියවන විට තොරතුරු දැනගැනීමේ ප්‍රධානම මාධ්‍ය ලෙස පුවත්පතට ප්‍රමුඛ තැනක්‌ හිමිව තිබී ඇත. නිදහස ලැබීමේ ප්‍රීතිය පිළිබඳ උත්සවය, පෙබරවාරි 04 වැනිදා පටන් පැවැත්වීමට නියමිත වැඩසටහන්, ආදිපාදවරයාගේ පැමිණීම, පිළිගැනීම ආදිය සියලු තතු විත්ති රටට සන්නිවේදනය කර ඇත්තේ පුවත්පත් මාර්ගයෙන්ය.

නිදහස ලබන දින ආණ්‌ඩුවේ සම්පූර්ණ නිවාඩු දිනයක්‌ බවත් එදින මුළු ලංකාවම උත්සවශ්‍රීයෙන් ඒකාලෝකවන බවත් එවකට ස්‌වදේශීය කටයුතු භාර ඇමැති කාර්යාලයේ ස්‌ථීර ලේකම් වී. කුමාරස්‌වාමි මහතා විසින් ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ මගින් රටට දැන්වූ ආකාරයත් පුවත්පත් මගින් රටට වාර්තා වාර්තා කොට තිබූ අතර පෙබරවාරි මස 04 වැනි දින ලංකාවේ සෑම පාසලකම ශිෂ්‍යයන් අතර ක්‍රීඩා උත්සව පැවැත්වීමද ඔවුන්ට ආහාරපානාදියෙන් සංග්‍ර කිරීම, අලංකාර අන්දමින් සැරසිලි කරවීමද සෑම පළාතකම ආණ්‌ඩුවේ ඒජන්තවරුන්ට නියම කොට ඇත.

එමෙන්ම ග්ලෝස්‌ටර් ආදිපාදවරයාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 10 වැනිදා පෙරවරු 10.30 ට ටොරින්ටන් චතුරස්‍රයේ ගොඩනඟන අලංකාර මන්දිරයේදී අදිපාදතුමා විසින් නිදහස්‌ පාර්ලිමේන්තුව විවෘත කරනු ලැබේ. යනුවෙන්ද එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කොට ඇත.

මේ පිළිබඳ සිලෝන් ඔබ්සවර් පුවත්පත මගින්ද විශාල ප්‍රචාරයක්‌ ලබාදී ඇති අතර මල්වතු අස්‌ගිරි මහහිමිපාණන් වහන්සේ විසින් නිකුත් කොට තිබූ ප්‍රකාශයන්ද ඊට ඇතුළත්ව ඇත.

1948 පෙබරවාරි 04 වැනි දින නිකුත්වූ සෑම පුවත්පතක්‌ විසින්ම නිදහස පිළිබඳ තොරතුරු රටට සන්නිවේදනය කර තිබූ අතර ඊට පසුදින එනම් පෙබරවාරි 05 වැනි බ්‍රහස්‌පතින්දා සියලු ඉංග්‍රීසි සිංහල පුවත්පත්වල මුල් පිටුව හැඩවී තිබුණේද අග්‍රාණ්‌ඩුකාර වරයාගේ දිවුරුම්දීමේ ඡායාරූපයක්‌ද සමගිනි.

එය දිනමිණ පුවත්පත මගින් වාර්තා කර තිබුණේ නිදහස්‌ ලංකාවේ පළමුවන අග්‍රාණ්‌ඩුකාර තුමා දිවුරුම් දීම යනුවෙන්ය. ඡායාරූපයක්‌ද සහිතව එම පුවත වාර්තාකර තිබෙන දිනමිණ එම පුවත අවසන් කර තිබුණේ.

මෙම උත්සවය සඳහා ගතවූයේ මිනිට්‌ටු දහයක්‌ පමණි. එයින් ඉක්‌බිති අග්‍රාණ්‌ඩුකාර තුමා හා පැමිණ සිටි පිරිස රජ වාසල අමුත්තන් පිළිගැනීමේ ශාලාවට ගොස්‌ පවත්වන ලද ප්‍රිය සම්භාෂණයේදී එතුමාණන් අග්‍රාමාත්‍යවරයාටද, කැබිනට්‌ මණ්‌ඩලයට හා ශ්‍රී ලංකාවටත් ශුභ ප්‍රාර්ථනා කරන ලදී යනුවෙනි.

අප ලද නිදහස පිළිබඳ ලන්ඩන් ටයිම්ස්‌ පත්‍රයේ පුවතක්‌ පළව තිබූ අතර නිදහස නිසා ජාතිභේද දුරුවෙයි යනුවෙන් එය නම් කොට තිබිණි. පෙරවාරි 05 වැනිදා බ්‍රහස්‌පතින්දා දිනමිණ පළ කර තිබූ එම පුවතත් සමඟ මුල් පිටුවේ පළවූ තවත් වැදගත්ම ලිපියක්‌ වූයේ කොළඹ නගරයම එකම මඟුල්ගෙයක්‌ වැනි වීම. දසදෙසින් නාදකරමින් ඇරඹුන නිදහස්‌ උත්සවය නමිනි. නිදහස්‌ දින කොළඹ සහ ඒ අවට පැවති වටපිටාව පිළිබඳ දීර්ඝ විස්‌තරද සහිතව පළවූ පුවත් අතර පහත සඳහන් කරුණු විශේෂත්වයක්‌ ගෙන තිබිණි.

වසර 133 කට පසුව උදාවූ නිදහස සමරනු වස්‌ රටේ දසදෙස සියලු සිද්ධස්‌ථාන ඇතුළු ආගමික ස්‌ථාන ශබ්ද පූජා පවත්වමින් මියගොස්‌ ඇති සහ දැනට ජීවත්වන සියලු නායකයන්ව සිහිපත් කොට ඇත.

රජයේ මෙන්ම පෞද්ගලික ගොඩනැඟිලි තුළ ජාතික ධජ ඔසවමින් පාර්ලිමේන්තු මන්දිරය තුළද ප්‍රථම වරට ඉංග්‍රීසි කොඩිය සමග සිංහ කොඩිය ඔසවනු දක්‌නට ලැබී ඇත. යනුවෙන් සඳහන් විය.

තවද කොළඹ වරාය, ජැටිය, රේගු ගොඩනැඟිල්ල කොටුව දුම්රියපළ ආදිය විදුලි බුබුළින් අලංකාර වී ඇත. ඉන්දීය සහ යුරෝපීය වෙළඳ සමාගම්වලට අයත් ගොඩනැඟිලි පවා සිංහ ධජවලින් සරසා ඇත.

පුවත්පත් වාර්තා මගින් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ නිදහස සමරනු පිණිස රටපුරා සෑම ගමක්‌ නගරයක්‌ පාසා විවිධ උත්සව සංවිධානය කරමින් ජනතාව ඊට සහභාගි වූ අයුරුය. මේ සඳහා වැදි ජනතාවද එක්‌ව සිටි අයුරු ඡායාරූපද සහිතව පළවී තිබුණ අතර අග්‍රාණ්‌ඩුකාරවරයා දිවුරුම් දුන් අවස්‌ථාවේ කැලණිය රජමහා විහාරස්‌ථානයේ සිදුකළ පිරිත් දේශනය ගුවන් විදුලිය මගින් රටපුරා විකාශනය කොට ඇත.

පෙබරවාරි 05 වැනි දින රොයිටර් වාර්තා උපුටා දක්‌වමින් මෙරට පුවත්පත් වාර්තා කරන්නේ රටට නිදහස උදාවීම නිමිත්තෙන් බැංකොක්‌ නුවර වාසය කරන ශ්‍රී ලාංකිකයන් එරටද උත්සවයක්‌ පවත්වමින් භික්‍ෂූන් වහන්සේ උදෙසා දානමය පිංකමක්‌ද සිදු කොට ඇති බවය.

නිදහස නිමිත්තෙන් දෙහිවල ජාතික සත්ව උද්‍යානය නොමිලේ නරඹන්නට ජනතාවට අවස්‌ථාව හිමිව ඇති අතර එදින දහවල් 11.00 පමණ වනවිටත් අටදහසක්‌ පමණ පිරිසක්‌ ඒ සඳහා සහභාගි වී ඇත.

ලංකාදීප පුවත්පත මගින්ද නිදහස්‌ දින විවිධ අවස්‌ථා ඡායාරූපද සහිතව රට වැසියාගේ දැක බලා ගැනීම පිණිස ඉදිරිපත් කොට තිබිණි. රට පුරා පැවති විවිධ උත්සව අවස්‌ථාවන්ද ඊට ඇතුළත් විය. එහි ප්‍රධාන සිරස්‌තලයන් යටතේ පළව තිබුණේ උත්සව කටයුතු වෙනුවෙන් රජය රුපියල් ලක්‍ෂ 13 ක්‌ වෙන් කර ඇති බවය.

පෙබරවාරි මස අටවන ඉරුදින ප. ව. 4.05 ට ග්ලෝස්‌ටර් ආදිපාදතුමා ඇතුළු පිරිස කටුනායක ගුවන් තොටුපළෙන් බැස විශේෂයෙන් සකසන ලද රෝල්ස්‌ රොයිස්‌ රථයකින් ජනතාවගේ පිළිගැනීම මැද රජ වාසල කරා පැමිණීම ගාලු මුවදොර පිටියේ ඒ නිමිත්තෙන් ආචාර වෙඩිමුර 21 ක්‌ පවත්වා උත්තමාචාර සිදු කිරීම විශේෂාංග ලිපියක්‌ ලෙස සකසා ලංකාදීපයේ පළකොට ඇත.

නිදහස්‌ අසිරිය විඳීම පිණිස එකල වෙළෙඳපොළ තුළ විවිධ භාණ්‌ඩ හා සේවා රැසක්‌ තිබූ අතර කෝකිල නාදේ නමින් ගීත 250 ක්‌ හා පිංතූර 50 ක්‌ අඩංගු ග්‍රැමෙෆෝන් ගී තැටියක්‌ අලෙවිය පිණිස තිබී ඇති අතර එය අලෙවි කොට ඇත්තේ රුපියල් 50 ක්‌ වැනි මිලකටය. විවිධ ප්‍රමානයේ ජාතික ධජ මුද්‍රණය කොට අලෙවිය පිණිස වෙළෙඳපොළේ තබා තිබූ අතර අඩි 1 1/2 ක්‌ උස අඩි 3 ක්‌ දිග ජාතික ධජයක්‌ අලෙවිකොට ඇත්තේ රුපියල් අටක්‌ වැනි මිලකටය.

1948.02.10 වැනි දින එළැඹි සුබ මොහොතින් ස්‌වාධීන ශ්‍රී ලංකාවේ පළමුවන පාර්ලිමේන්තුව විවෘත කිරීම ගුවන් විදුලිය මගින් රට පුරා විකාශනය කර ඇති අතර එය 11 වැනි දින සියලු පුවත්පත් මගින් රටට හෙළිකර තිබිණි. "දිනමිණ" පුවත්පත එය සඳහන් කර තිබුණේ මෙපරිද්දෙනි.

පුරාතන නිදහස්‌ ලංකාවේ රාජකීය ශ්‍රී විභූතිය ගෙනහැර දක්‌වන චාරිත්‍ර විදීන්ගෙන් යුක්‌තව ග්ලොස්‌ටර්හි ආදිපාදතුමා විසින් ඊයේ ශ්‍රී ලංකාවේ පළමුවැනි ඩොමිනියන් පාර්ලිමේන්තුව විවෘත කරන ලදී.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් සම්මත කර මහරාජාණන් වහන්සේ විසින් අනුමත කරන ලද ශ්‍රී ලංකාවේ නිදහස්‌ පනත අනුව තෝරා ගන්නා ලද දිනය වූ 1948 පෙබරවාරි 04 වැනි දින මහරජාණන් වහන්සේ විසින් ලංකා ද්වීපයෙහි පාලනය සහ ආණ්‌ඩුවත් මෙරට ජනතාවට පවරා දෙන ලදී. ටොරින්ටන් චතුරස්‍රයේ තනන ලද විශේෂ මංගලෝත්සව ශාලාවේ ආදිපාදතුමන් විසින් ඊයේ විවෘත කරන ලද්දේ ඒ ස්‌වාධීන ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ පළමුවන සභා වාරයයි.

ආදිපාද තුමා විසින් පාර්ලිමේන්තුව විවෘත කරනවා බැලීමට අති විශාල ජනකායක්‌ රැස්‌වී සිටියහ. අමුත්තන් සඳහා පිළියෙල කර තිබූ ආසන සියල්ලම පිරී තිබුනේය. ඇතුළට යැමට අවසර නොමැති විශාල ජනකායක්‌ පිට පාරවල්වල රැස්‌කකා සිටියහ.

ලංකාවට නිදහස ලැබීම නිමිත්තෙන් පවත්වන උත්සව කටයුතුවල අග්‍රස්‌ථානය ගන්නාවූ. පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයට සහභාගිවීම සඳහා ලෝකයේ ජාතීන් 27 ක නියෝජිතයන් පැමිණ සිටියහ.

මේ උත්සවයේ සංවිධායකයන් විසින් ප්‍රවෘත්තිපත්‍ර නියෝජිතයන් සඳහා යොදා තිබුණ පහසුකම් කිසිසේත්ම ප්‍රමාණවත් නොවීය. ඒ නිසා මේ උත්සවයේ තොරතුරු නිසි ලෙස මහජනයාට දැන ගැනීමට හැකිවන ලෙස කරුණු වාර්තා කිරීමට පත්‍ර නියෝජිතයන්ට මහත් ආයාසයක්‌ දරන්නට සිදුවූ බව සඳහන් කළ යුතුවේ.

මෙලෙස නිදහස උදානය එකල පැවැති මාධ්‍ය මගින් රටට හෙළිකළ අතර මෙම අවස්‌ථාවේදී අග්‍රාමාත්‍ය ඩී. ඇස්‌. සේනානායක මහතා විසින් වසර 133 කට පසුව ජාතික කොඩිය ගුවනට ඔසවන අයුරු දස දහස්‌ ගණන් දැසින් දැක ඇති අතර එදින ජාතික ගීය ලෙස ගායනා කර ඇති පී. බී. ඉලංගසිංහ සූරීන් හා ලයනල් එදිරිසිංහ ශූරීන් එක්‌ව නිර්මාණය කළ මුල්ම ජාතික ගීය වන ශ්‍රී ලංකා මාතා - පාලා යස මහිම" ගීතය වන අතර පසුව 1951 වර්ෂයේදී එය වෙනස්‌ කොට ආනන්ද සමරකෝන් සූරීන් තැනූ වර්තමාන ජාතික ගීය තෝරාගෙන ඇත.

මෙම කාලය පුරා රටේ දැඩි විනයක්‌ ආරක්‍ෂා කිරීම වෙනුවෙන් එවකට පොලිස්‌ ඉන්ස්‌පැක්‌ටර් ජනරාල්ව සිටි රිචඩ් අළුවිහාරේ මහතා විසින් විශේෂ ආරක්‍ෂක ක්‍රියා පටිපාටියක්‌ අනුගමනය කර ඇත.

බ්‍රිතාන්‍යයන් විසින් ඉතාමත් සාමකාමී අයුරින් රටට නිදහස ප්‍රදානය කිරීමත් ඉතාමත් නිහතමානීව එය ලබා ගැනීමත් 1948 පෙබරවාරි මස 04 වැනි දින සිදුවුවද පුරා වසර 443 ක්‌ ජාතීන් තුනකට යටත්ව අප විසින් පසුකළ යුගයක්‌ද විය. මොනරවිල කැප්පෙට්‌ටිපොල, මද්දුම බණ්‌ඩාර වැනි අභීත විරුවන් දිවි කුසුම දැයේ පුදසුන වන මිලින කරමින්ද වාරියපොල සුමංගල හිමි වැනි යතිවරුන් ඉංග්‍රීසීන්ට එරෙහිව නැඟී සිටිමින්ද තවත් දැ හිතකාමී දහස්‌ සංඛ්‍යාත මුතුන් මිත්තන්ද සංග්‍රාමයට වැද අත්පත්කර ගන්නට වෙර දැරූ නිදසක්‌ද විය.

වැටීම් නැවතීම් මත මෙතෙක්‌ ආ මග ශ්‍රී ලාංකිකයන් වූ අපට ඇත්ත නිදහස මේ වන විටද අර්ථ ගැන්වී නැතත් හිමිවූ නිදහස සුරැකීම පිණිස සෑම වර්ෂයකම පෙබරවාරි මස 04 වන දින අභිමානය පෙරදැරිව උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි. 

රුවන් ජයවර්ධන
http://www.divaina.com/2014/02/02/feature01.html

0 comments: