Pages

Thursday, February 6, 2014

දේශපාලකයන් රටට පෙන්වන නිදහස මායාවක්‌! - ත්‍රිකුණාමලේ ආනන්ද මහා නාහිමි

තව දින දෙකකින් අපේ රටේ 66 වැනි ජාතික නිදහස්‌ සමරුව එළඹෙයි. වසර 66 ක්‌ යනු සුළු පටු කාලයක්‌ නොවේ. මේ වසර 66 පුරාම ජාතික නිදහස්‌ සමරු උළෙලේදී නිදහස්‌ පණිවුඩ, නිදහස උදාන මෙරට ජනතාවට නොඅඩුව අසන්නට ලැබිණ. එහෙත් ඉන් පිළිබිඹු වන්නේ මෙරට ජනතාව අත්විඳින නිදහසේ සැබෑ අරුතද? අද මෙරට ජනතා සවනත රැව් දෙන්නේ සැබෑ නිදහසක කාහල නාදය ද?

මේ පිළිබඳ බම්බලපිටිය සිරි වජිරාරාමාධිපති රාජකීය පණ්‌ඩිත අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ අභිනව මහානායක ධුරන්දර අති පූජ්‍ය ත්‍රිකුණාමලේ ආනන්ද ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ සමග "දිවයින ඉරිදා සංග්‍රහය" පැවැත්වූ සාකච්ඡාවයි මේ.

අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ අභිනව මහානායක ධුරයට පත් අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද ස්‌වාමින්ද්‍රයන් වහන්සේ මෙරට ලාබාලතම මහානායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේ ද වෙති. බහුශ්‍රැත, සිල්වත්, ආදර්ශවත් සහ මධ්‍යස්‌ථ බවින් යුතු උන්වහන්සේ මහානායක ධුරයට පත්ව පැවැත්වූ මුල්ම පුවත්පත් සාකච්ඡාව ද මෙයයි.

රටකට ජාතික දේශපාලනික හා ආර්ථික අතින් තව රටකට අත නොපා ජීවත් විය හැකි නම් ඒ රට නිදහස්‌ රටක්‌ ලෙසයි හැඳින්වෙන්නෙ. නමුත් අපේ රට අද මේ කරුණු තුනෙන්ම විශාල පසුබෑමකට ලක්‌වෙලා නේද අපේ හාමුදුරුවනේ.

අපි දැන් නිදහස්‌ ස්‌වාධීන, ස්‌වෛරී රටක්‌ කියන වචන පාවිච්චි කළ පමණින් නිදහස අර්ථවත් වෙන්නෙ නෑ. එය වචනාර්ථයට පමණක්‌ සීමා නොවූ සමස්‌ථාර්ථයෙන්ම ජනතාවට දැනෙන දෙයක්‌ විය යුතුයි. නිදහස ලබා ගැනීමෙන් පසු අපේ රට මුහුණ දුන් බරපතළ අර්බුද ගණනාවක්‌ තිබුණා. තිස්‌වසරක්‌ පුරා පැවති ත්‍රස්‌තවාදී යුද්ධය ඉන් ප්‍රධානතම එකක්‌. එබඳු බැරෑරුම් අවධීන් ගත කිරීම නිසා රට තුළ යම් යම් පසුගාමී තත්ත්වයන් ඇති වුණා වන්නට පුළුවන්. ජාතික, දේශපාලනික හා ආර්ථික යන කරුණු දෙස බලන විට රටක පරිපූර්ණ නිදහසක්‌ සඳහා මේ කරුණු තුනම වැදගත්. ඉන් නිදහසක සුවය ආශ්වාදනය කිරීමට රටක ආර්ථිකය ඉතාමත් වැදගත් සාධකයක්‌.

නමුත් අද අපි වැඩිපුරම ගනුදෙනු කරන්නෙ බහුජාතික සමාගම් සමග. මේ නිසා අද අපේ රටේ නිදහසට නොයෙක්‌ බාධා තහංචි පැනවිලා තිබෙනව. අද පාලන තන්ත්‍රය තුළ සිටින ආර්ථික උපදේශකවරු ආර්ථික නිදහස රටට අහිමි කරන පිරිසක්‌ බවට පත්වෙලා ඉන්නව. අපේ රටට ගැළපෙන ආර්ථික වැඩපිළිවෙළක්‌ පිළිබඳ අවබෝධයක්‌ ඇති පිරිසක්‌ මේ ක්‍ෂේත්‍ර තුළ සිටිනවා නම් ආර්ථික නිදහස සාක්‌ෂාත් කර ගැනීම අපහසු නැහැ.

නමුත් නිදහසින් වසර 66 ක්‌ ගත වන මේ මොහොතේ අපේ රටේ උපදින හැම දරුවෙක්‌ම පිටරටවලට රුපියල් ලක්‍ෂ ගණනින් ණයයි. උපදින දරුවන් පවා මේ තරම් ණයකාරයන් වුණේ කොහොමද?

රට සංවර්ධනය කරන්නට ණය මුදලක්‌ ගැනීම නොකළ යුතු දෙයක්‌ ලෙස අපට හඳුන්වන්න බෑ. නමුත් ඒ ලැබෙන මුදල රටේ අනාගත පරම්පරාවන් මත පැටවෙන බරක්‌ නොවන ආකාරයට කටයුතු කිරීම අවශ්‍යයි. ලබාගන්නා ණය මුදල අපේක්‍ෂිත සංවර්ධන කාර්යයට යෙදවුවහොත් ඉන් ලැබෙන ප්‍රතිලාභ මත ක්‍රමයෙන් එම ණය මුදල ගෙවා අවසන් කළ හැකියි. නමුත් අපේ රටේ බොහෝ විට සිදුවන්නේ එම ණය මුදලින් අපේක්‍ෂිත සංවර්ධන කාර්යය සිදුකිරීමට වඩා නොයෙක්‌ වෙනත් නිෂ්ප්‍රයෝජන කටයුතු සඳහා එය වැය කිරීමයි. මේ නිසා අපේ රටේ නූපන් පරම්පරාවන් පවා අද විදේශයන්ට ණයකරුවන් බවට පත් වී හමාරයි. වර්තමානයේ බොහෝ දෙනෙක්‌ තුළ දේශීයත්වය, අපේකම තුරන් වී යාමයි මෙයට හේතුව. දේශීයත්වය, ජාතිකානුරාගය අපේකම අද වචනවලට පමණක්‌ සීමා වූ හැඟීමක්‌ පමණක්‌ වෙලා. අද රටේ වැඩිදෙනා තුළ රජ කරන්නේ ආත්මාර්ථකාමීත්වයයි. වැඩි දෙනා ක්‍රියාත්මක වෙන්නෙ මම පමණයි, මට පමණයි කියන හැඟීමෙන්. මෙය අපේ රට අද පත්වෙලා තියෙන මහා අවාසනාවන්ත තත්ත්වයක්‌.

රටක නිදහස මූර්තිමත් කෙරෙන ප්‍රධාන ධාරාවන් අතර දේශපාලනයත් සුවිශේෂී කාරණයක්‌. නමුත් අපේ රටේ දේශපාලනය දූෂිත ව්‍යාපාරයක්‌ බවට පත් වී තිබෙනව. දේශපාලකයා සමාජයට දූෂණය හා භීෂණය පතුරුවන වාහකයෙක්‌ ලෙස බොහෝ විට පෙනී සිටිනව. මේ තුළින් රටේ සැබෑ නිදහසට අද එල්ල වී ඇති තර්ජනය ඔබ වහන්සේ දකින්නෙ කොහොමද?

අද ඇතැම් දේශපාලකයන් රටේ සංවර්ධනය දකින්නෙ සමාජ විරෝධී නොයෙක්‌ ආයෝජනයන් සමගයි. අපේ රට කෘෂිකාර්මික රටක්‌. කෘෂිකාර්මික රටාව තුළ කර්මාන්ත දියුණු කිරීම හානියක්‌ නෙමෙයි. නමුත් දේශපාලන රැකවරණ ලබාගන්නා රටේ ඇතැම් පිරිස්‌ අද සමාජ විරෝධී විවිධ කර්මාන්ත හා ව්‍යාපාර වෙත වැඩි වශයෙන් යොමු වෙමින් තිබෙනව. අද ඇතැම් දේශපාලකයොත් මේ සමාජ විරෝධී කටයුතුවලට සම්බන්ධ වී සිටින්නේ ඒ හරහා ඔවුන්ට ලැබෙන විවිධ ප්‍රතිලාභ නිසයි. මෙය ආර්ථික සමාජ හා දේශපාලනික වශයෙන් රටේ විශාල පිරිහීමකට තුඩුදෙන කාරණයක්‌.

අද මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය හා මත් කුඩු ව්‍යාපාරය රට පුරා හිස ඔසවමින් සිටින බව පෙනෙන්නට තිබෙනව. කැසිනෝ ව්‍යාපාරය තුළ පංච දුෂ්චරිතයම තිබෙනව. මේවා රට තුළ ව්‍යාප්ත වීම රටේ ආර්ථික වර්ධනයට කිසිසේත්ම හේතුවෙන්නෙ නෑ. මේවාට සම්බන්ධ වෙන්නෙ රටේ ඉහළ සමාජයේ පුද්ගලයන්. කැසිනෝ ව්‍යාප්ත වීම නාගරික සමාජය එහෙම් පිටින්ම අන්දමන්ද වීමට හේතුවක්‌. මේවා ඔස්‌සේ රටේ ආර්ථික සංවර්ධනයක්‌ ගැන කතා කරන්නටත් ඇතැම් දේශපාලකයන් උත්සාහ ගන්නා බව පෙනෙනවා. මත්පැන්, මත්ද්‍රව්‍ය, කැසිනෝ වැනි ව්‍යාපාර රටත් සමාජයත් පරිහානියට පත්වන හේතු ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. උන්වහන්සේ ප්‍රතික්‍ෂේප කළ මේ පරිහානියේ දොරටු සංවර්ධනයේ නාමයෙන් විවෘත කිරීම කිසිසේත් අනුමත කරන්නට බෑ. ඒ මුවාවෙන් දේශපාලකයන් පෙන්වන සංවර්ධනය හෝ නිදහස සැබෑවක්‌ නෙමෙයි මුළාවක්‌.

මේ කාරණය අප සඳහන් කරන්නේ කාටවත් ද්වේෂ සහගතව නොවෙයි. උපනූපන් සියලුදෙනා අද මහා ණය බරකට වැටී තියෙන්නෙ. අපේ රටට නිදහස ලැබීමෙන් පසු දීර්ඝ කාලයක්‌ තිස්‌සේ පවත්වාගෙන ආ මේ ක්‍රමය නිසයි. මේ වැරදි න්‍යාය, වැරදි මාර්ග, වැරදි ආයෝජන නිවැරැදි කර නොගතහොත් මේ රට විශාල ප්‍රපාතයකට ගමන් කිරීම වළක්‌වන්න බෑ. මේ ක්‍රමවේදය කඩිනමින් වෙනස්‌ විය යුතු යෑයි අප කියන්නේ දේශපාලන වශයෙන් කිසිවෙකුට මඩ ගැසීමට නොවෙයි.

මත්පැන්වලින් කැසිනෝවලින් රටට විශාල ආදායමක්‌ ලැබෙන බව සමහරුන්ට සංඛ්‍යා ලේඛනත් සමග රටට පෙන්වන්න පුළුවන්. නමුත් මේ දේවල් නිසා මුළු රටම පත්වෙන පරිහානිය ඉතා විශාලයි. ඉන් සමාජයටම සිදු වන විනාශය මිල කළ නොහැකියි. එම නිසා මෙබඳු දේ හරහා හුවා දක්‌වන සංවර්ධනයත් ඒ ඔස්‌සේ ජනතාවට ලබා ගත හැකි යෑයි පෙන්වන නිදහසේ ආස්‌වාදයත්a මිථ්‍යාවක්‌ මායාවක්‌.

මීට වසර 66 කට පෙර අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස්‌ කරගත් අපේ රට අද අධිරාජ්‍යවාදීන්ගේ ණය උගුලකට හසු වී තිබෙනවා. මේ උගුලෙන් මිදෙන්නෙ කොහොමද? නිදහස එහි සැබෑ අරුතින් මේ රටේ ජනතාවට අත්විඳිය හැක්‌කේ එවිට නොවේද?

1948 දී අපේ රට නිදහස ලැබුවා යෑයි කිව්වත් ඇත්ත වශයෙන්ම අපි ඒ ලැබුවේ එක්‌තරා ආකාරයක නාමික නිදහසක්‌. පරගැති භාවයෙන් අපේ සිත නිදහස්‌ වෙලා නෑ. අදටත් අපේ චින්තනය අනුන්ට යටත් වූ එකක්‌. අපිට අදීන සම්ප්‍රදායයන් මහා රාශියක්‌ තියෙනව. වටිනා චින්තනයක්‌ තියෙනව. අපේ කමට ගැලපෙන පර්යේෂණ විධි තිබෙනව. නමුත් අපි කරපින්නාගෙන ඉන්නෙ පිටරටකින් එන චින්තනයක්‌, සම්ප්‍රදායක්‌. ඒවා අපට ගැලපෙන හෝ වඩා හොඳ දේවල් නම් එහි වරදක්‌ නෑ. එහෙත් මේ වැළඳගන්නා බොහෝ දේ අපට නොගැලපෙන අපට හානිකර දේවල්.

සිත නිදහස්‌ කරගන්නෙ නැතිව නිදහස ගැන නන්දෙඩවීම නිරර්ථක දෙයක්‌ බව කුමාරතුංගයන්ගේ විරිත් වැකියේ මේ විදිහට සඳහන් කර තිබෙනවා.

සිත නිදහස්‌ බවට නොපමුණුවා පළමු කොට

නිදහසට සිය රට ලමුයි යෙති දදහු ඇතියෙන් කට

මෝඩයෝ කට තියෙන පලියට අපි නිදහස්‌ යෑයි කියනව. නමුත් සිත නිදහස්‌ කරගන්නෙ නැතිව කට තියෙන පලියට අපි නිදහස්‌ කියල කයිවාරු ගැසීමෙන් කාටවත් ලක්‌ නැති බවයි, මේ කව් දෙපදයෙන් කියන්නේ. අද අපේ රටේ නිදහස ගැන කතා කරන බොහෝ දෙනකුගෙ තත්ත්වයත් මේක තමයි.

සැබෑ නිදහසක්‌ අපේ රටට අත් කරගන්න නම් සිත මේ වහල් භාවයෙන් නිදහස්‌ කරගන්නට ඕනෑ. අද බොහෝ දෙනකුගේ ජීවිත දිහා බලන කොට ඒ අය හැමදේකින්ම වහල්ලු වෙලා. සංස්‌කෘතික, අධ්‍යාපනික සෞඛ්‍ය වැනි හැම ක්‍ෂේත්‍රයකින්ම වහල්ලු වෙලා. අපේ නොවහල් බව අත්දැකිය හැකි ක්‍ෂේත්‍රය කුමක්‌ද? අපි අද මේ වර්ණනා කරන නිදහස මායාවක්‌ වන්නේ ඒ නිසයි. මේ වහල් මානසිකත්වයෙන් නොමිදී කිසිදිනක සැබෑ නිදහසක්‌ අත් විඳින්නට බෑ. 

සාකච්ඡා කළේ පාලිත සේනානායක, ඡායාරූප - ධර්මසේන වැලිපිටිය
http://www.divaina.com/2014/02/02/politics01.html

0 comments: