Pages

Tuesday, September 18, 2012

පුංචි ශ්‍රී ලංකාව වටා ලෝක බෞද්ධ බලවේගයක්‌ ගොඩනැගූ ධර්මපාලතුමා

ඌව වෙල්ලස්‌ස හා මාතලේ ජාතික නිදහස්‌ සටන් වලින් පරාජය වී සිටි ජාතිය ආගමික, සංස්‌කෘතික පුනර්ජීවනය මගින් පුබුදු කළ හික්‌කඩුවේ ශ්‍රී සුමංගල හිමි, රත්මලානේ ධම්මාලෝක හිමි හා වාදීභසිංහ මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ හඬ ලංකාව පුරා පැතිරවූ අසහාය ජාතික වීරයා අනාගාරික ධර්මපාලතුමා බව මුළු රටම දන්නා සත්‍යයකි. එසේ වුවත් පුංචි ශ්‍රී ලංකාව වටා ලෝක බලවේගයක්‌ ගොඩනැගූ වීරයා ධර්මපාලතුමන් බව දන්නේ සුළු පිරිසකි. එක්‌දහස්‌ අටසිය අනූතුන්වැනි වසරේ (1893) ඇමෙරිකාවේ චිකාගෝ නුවර පැවැත්වුණු ලෝක දෘෂ්ටි සම්මේලනයේ දී ජාත්‍යන්තර බෞද්ධ ප්‍රජාව නියෝජනය කළ අනගාරික ධර්මපාලතුමා විසිනම වැනි වියේදී ධර්මකාමී ලෝක බුද්ධිමතුන් අතර අසහාය වීරයකු ලෙස පිළිගැනුණු බව ඒ පිළිබඳ එදවස පළවූ ඇමෙරිකානු පුවත්පත්, සඟරාවල සටහන් වී ඇත. චිකාගෝ දෘෂ්ටි සම්මේලනයේ මුලසුන ඉසිලූ මහාචාර්ය බැරෝස්‌ ප්‍රකාශකර ඇත්තේ ධර්මපාලතුමාගේ විමුක්‌තිකාමී දේශන විලාශය බටහිර ජනතාවට පෙනුණේ කසාවතින් සැරසුණු ක්‍රිස්‌තුස්‌වහන්සේගේ ප්‍රතිරූපයක්‌ ලෙසින් බවයි.

චිකාගෝ දෘෂ්ටි සම්මේලනයේ බොදු හඬ පතුරා ලෝක ධර්ම චාරිකාවක්‌ ආරම්භ කළ ධර්මපාලතුමා හොනලුලු දූපතේ දී පිළිගත් මේරි පෝස්‌ටර් මැතිනිය එතුමාගේ අග්‍රදායිකාව වූවාය. ලන්ඩන් බෞද්ධ විහාරය ඇරඹීමේ මූලික සැලසුම් සැකසූ ධර්මපාලතුමා ප්‍රංශය, ජර්මනිය හරහා යමින් ආසියාවේ චීන, ජපන්, කොරියා, තායි, බුරුම ආදී එකල බෞද්ධ වූ රටවල ජනතාවන් පුබුදුවමින් දේශන කළහ. ධර්මපාලතුමා චීනයේ ශැංහයි නගරයට පැමිණි අවස්‌ථාවේ එතුමන්ට සවන් දෙන්නට එක්‌වූ පිරිස විසිපන් දහසකට වැඩිවී යෑයි වාර්තා වී ඇත. එය පුදුමයට හේතුවක්‌ නොවෙන්නේ ඒ වනවිට චීනයේ කොමියුනිස්‌ට්‌ විප්ලවය තබා කොමියුනිස්‌ට්‌ පක්‍ෂය පවා ආරම්භ වී නොතිබුණු හෙයිනි. 1921 දී චීන කොමියුනිස්‌ට්‌ පක්‍ෂය ආරම්භ වන්නට දසක දෙකකට කලින් බහුතර ජනතාව බෞද්ධ වූ චීනයේ හොංකොං නගරයේදී පවා ධර්මපාලතුමන්ගේ දේශන අසන්නට දසදහස්‌ ගණන් සෙනඟ රැස්‌වී ඇත.

කොරියාවේ සිඕල් නගරයේදීත් ජපානයේ ටෝකියෝ නගරයේදීත් ධර්මපාලතුමාගේ දේශන අසන්නට බෞද්ධ ප්‍රජාව රැස්‌වී ඇත්තේ දහදහස්‌ ගණනිනි. ධර්මපාලතුමන් නැගූ හඬ ආසියාව පුබුදු කළ අධිරාජ්‍ය විරෝධී හඬක්‌ බවට පත්විය. තායිලන්තය හා බුරුමය වැනි අතිමහත් බහුතර ජනතාව බෞද්ධවූ රටවලදී ධර්මපාලතුමන් පැවැත්වූ දේශනාවන් ඒ රටවල බෞද්ධයන් ඉන්දියාවේ ඓතිහාසික බෞද්ධ මධ්‍යස්‌ථාන හින්දු ආධිපත්‍යයෙන් බේරාගැනීමේ හඬක්‌ බවට පත්විය. ශ්‍රී ලංකාවේදී සිංහලයනි, නැගිටිව්· බුද්ධගයාව බේරාගනිව්· යනුවෙන් ධර්මපාලතුමන් යොදාගත් උද්යෝග පාඨය සිංහලයින් ලෝක බෞද්ධ ජනතාවගේ නායකත්වය කරා ඔසවා තැබීමේ උපායික සැලැස්‌මක අංගයක්‌ වූ බව නිසැකය. බුද්ධගයා හා කුසිනාරා ආදී ඓතිහාසික බෞද්ධ මධ්‍යස්‌ථාන හින්දු ආධිපත්‍යයෙන් බේරාගැනීම සඳහා සිංහලයින් අවධිකරමින් ධර්මපාලතුමා ගෙනගිය ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයේ ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකාවේ බෞද්ධයන් ලෝක බෞද්ධ ප්‍රජාවගේ පුරෝගාමී බලවේගය බවට පත්වීමයි.

ශ්‍රී ලංකාව පුරා සංචාරය කරමින් ජාතිය අවදි කිරීම සඳහා ධර්මපාලතුමන් විසින් දියත් කරන ලද ක්‍රියාමාර්ගය නිසා ලංකාවේදී එතුමන් අත්අඩංගුවට ගන්නට පසුබටවූ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීහු ඒ ශ්‍රේෂ්ඨ අධිරාජ්‍ය විරෝධී වීරයා බෙංගාලයේ දී අත්අඩංගුවට ගත්හ. බෙංගාලයේ නිවාස අඩස්‌සියේ සිටියදී පවා ලියුම් ලියමින් ලෝක බෞද්ධ ප්‍රජාව පුබුදුවා ගනිමින් කල්කටා විශ්වවිද්‍යාල භූමිය තුළ ධර්මරාජික විහාරය කරවන්නට තරම් ධර්මපාලතුමා සුවිශේෂ හැකියාවන්ගෙන් යුතු වීරයකු වීම විශ්මයජනකය.

පැවිදි බිමට පත් ධර්මපාලතුමන් ලංකාවට නිදහස ලැබෙන්නට අවුරුදු දාහතරකට පෙර සිරිදේවමිත්ත හිමියන් ලෙසින් ඉන්දියාවේදී අපවත් වුවද ධර්මපාලතුමන් විසින් ලෝක බෞද්ධ නායකත්වයට ඔසවා තබන ලද ලක්‌වැසි බෞද්ධයන්ට ඉන්දියාවේ මෙන් මහා ජනතා උද්ඝෝෂණ වලින් තොරව නිදහස දිනාගන්නටත් පනස්‌හයේදී තවත් ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයක්‌ ලබා කටුනායක හා ත්‍රිකුණාමල අධිරාජ්‍යවාදී ගුවන් හා නාවුක කඳවුරු ඉවත්කර ගන්නටත් හැකිවිය. ත්‍රිකුණාමලේ හා කටුනායක අධිරාජ්‍යවාදී කඳවුරු ඉවත්කර ගන්නට තරම් බෞද්ධ බලවේගය ශක්‌තිමත් වූයේ ලංකාව ලෝක බෞද්ධ නායකත්වයට ගෙනඑන්නට සමත්වූ ධර්මපාලතුමාගේ ක්‍රියාමාර්ගය නිසාය. ඉන්දියන් සාගරයේ මර්මස්‌ථානයක පිහිටි ලංකාවේ අධිරාජ්‍යවාදී බ්‍රිතාන්‍ය කඳවුරු සාමකාමී ලෙසම ඉවත්කර ගන්නට ධර්මපාලතුමන් විසින් ලෝක බෞද්ධ නායකත්වයට ඔසවා තබන ලද ලංකාවට හැකිවුවද විප්ලවවාදී කියුබාවට තම භූමියේ කොටසක පවත්වාගෙන යන අධිරාජ්‍යවාදී "ගුවන්තනාමෝබේ" කඳවුර ඉවත්කරගත නොහැකි විය. ක්‍රිස්‌තියානි ආර්ජන්ටිනාවට ක්‍රිස්‌තියානි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් සාමයෙන් පෝක්‌ලන්තය මුදාගත නොහැකි විය.

ලෝක බෞද්ධ සම්මේලනයේ පළමුවැනි සභාපතිධුරයට මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා පත්වූයේ ධර්මපාලතුමන් විසින් ඉටුකරන ලද ඓතිහාසික මෙහෙවරෙහි ප්‍රතිඵලයක්‌ වශයෙන් බව නිසැකය. චිකාගෝ දෘෂ්ටි සම්මේලනයේ දී ධර්මපාලතුමන්ගේ දේශනයට සවන් දුන් එම සභාවේ මුලසුනේ සිටි මහාචාර්ය බැරෝස්‌ ධර්මපාලතුමන්ගේ විමුක්‌තිකාමී විලාශය අගය කළේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අයත් කුඩා යටත් විජිත රටක මෙවන් වීරයකු බිහිවී සිටින දකින්නට ලැබීම ලෝදනන් සිත් පුබුදුවන්නක්‌ බව කියමිනි. ලොව පුරාවූ කෝටි සංඛ්‍යාත ධර්මකාමී යුක්‌තිගරුක ජනකොටස්‌වල අනුබලය ලක්‌වැසි ජනතාවට ලැබීමේ ප්‍රතිඵලය වූයේ, ඉන්දියාවේ මෙන් මහා උද්ඝෝෂණ වලින් තොරවම ජාතික නිදහස සඳහාවූ ප්‍රබල පියවරයන් තැබීමට ශ්‍රී ලාංකිකයන්ට හැකිවීමයි. බ්‍රිතාන්‍ය කඳවුරු ඉවත්කරන ලද්දේ පෙඩරල් පක්‍ෂයේ විරෝධය මධ්‍යයේය. අනගාරික ධර්මපාලතුමන්ගේ ප්‍රයත්නයේ පලනෙළා ගන්නට බණ්‌ඩාරනායක මහතාට හැකිවූයේ, මහසඟරුවන මුල්කරගත් පංචමහා බලවේග පිළිවෙත නිසා බව රහසක්‌ නොවේ.

පෙරදිගට සීමාවූ බුදුදහම ලෝක ව්‍යාප්ත දහමක්‌ බවට පත්කරන්නට ධර්මපාලතුමන් දැරූ ප්‍රයත්නය නිසාම අතීතයේ ආසියාවේ ධර්ම භාණ්‌ඩාගාරය වූ ශ්‍රී ලංකාව සමස්‌ත ලෝකයේ ධර්මද්වීපය බවට පත්වූ බව නිසැකය. අශෝක අධිරාජ්‍යයා බුදුදහම ආසියාව පුරා පතුරුවන්නට දැරූ ප්‍රයත්නය ලෝක මට්‌ටමට ගෙන ජාත්‍යන්තර බෞද්ධ වීරයා වූයේ ධර්මපාලතුමන්ය. මලලසේකර මහතාට ලෝක බෞද්ධ සම්මේලනයේ පළමුවැනි සභාපති ධුරයට පවත්වන්නට හැකිවූයේත් බණ්‌ඩාරනායක මැතිනියට නොබැඳි ජාතීන්ගේ නායකත්වයට පත්වන්නට හැකිවූයේත් අනාගාරික ධර්මපාලතුමන් විසින් ඉටුකරන ලද පුරෝගාමී මෙහෙවර නිසාය. අනගාරික ධර්මපාලතුමන් විසින් ඉටුකරන ලද ලෝක සේවාව බල අරගලයේ ගිනිදැල්වලට හා නව යටත් විජිතවාදී සොබා සම්පත් කොල්ලයට මුහුණපා සිටින ආසියා, අප්‍රිකා, ලතින් අමෙරිකා ජනතාවට සෙතක්‌ ශාන්තියක්‌ වී තිබේ. ධර්මපාලතුමන් ගෙනගිය ජාත්‍යන්තර ව්‍යාපාරය සියලු ජාත්‍යන්තරවාද ඉක්‌මවන විශ්වාන්තර වාදයක්‌ බවට පත්කළ යුතු තීරණාත්මක අවදියකට ලෝක ප්‍රජාවත් ජීවලෝකයත් මුහුණපා සිටින බව තේරුම් ගන්නා සැමට ධර්මපාලතුමන් ඉදිරිමග පෙන්වන පහන් ටැඹක්‌ වේ.

අනගාරික ධර්මසේකරතුමා

මූලාශ්‍රය - http://www.divaina.com/2012/09/16/feature09.html

ධර්මපාලතුමා පිළිබඳව බොහෝ වැදගත් තොරතුරු සඳහා පිවිසෙන්න, http://anagarikadharmapala.blogspot.com/

0 comments: