Pages

Sunday, December 11, 2016

ඔවුහු ජනතාවගේ සදාතනික වීරයෝය!

ඌව - වෙල්ලස්‌ස නිදහස්‌ සටන සිදු වී වසර 198කට පසුවත්, ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස්‌ වී වසර 68කට පසුවත්, ලංකාවේ ආණ්‌ඩුකාරයා තවමත් රොබට්‌ බ්‍රවුන්රිග් නොවන බව අප වටහා ගත්තේ පෙරේදා ය. ඒ රොබට්‌ බ්‍රවුන්රිග් විසින් මීට වසර 198කට පෙර ඌව - වෙල්ලස්‌ස නිදහස්‌ සටනට සහභාගි වූ කැප්පෙටිපොළ දිසාව ඇතුළු 19 දෙනකු දේශද්‍රෝහීන් ලෙස නම් කර තිබූ ගැසට්‌ පත්‍රය ශ්‍රී ලංකා රජය විසින් අවලංගු කිරීමත් සමඟ ය. අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතාගේ ඉල්ලීමකට අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (8 දා) මෙම ගැසට්‌ පත්‍රය අවලංගු කර රොබට්‌ බ්‍රවුන්රිග් විසින් දේශද්‍රෝහීන් ලෙස නම් කළ කැප්පෙටිපොළ දිසාව ඇතුළු 19 දෙනා ජාතික වීරයන් ලෙස නම් කළේ ය.

1818 ඌව - වෙල්ලස්‌ස නිදහස්‌ සටන (මෙය ඉතිහාස පොතේ සඳහන් වන්නේ කැරැල්ලක්‌ ලෙසය. එය ද නිවැරැදි කළ යුතුය. මන්ද කැරලි ගසන්නේ රජයකට විරුද්ධවය.) ඇරඹෙන්නේ 1815 වසරේ අත්සන් කරන ලද කන්ද උඩරට ගිවිසුමට එරෙහිව ය. බ්‍රිතාන්‍යයන් විසින් ගිවිසුම ප්‍රකාරව කටයුතු නො කිරීමෙන්, සිංහලයන්ගේ කෝපය පුපුරා ගියේ ඌව වෙල්ලස්‌සේ දී ය. මෙම සටන සංවිධානය කරන ලද්දේ නායක්‌කාර් වංශික විල්බාවේ නොහොත් දොරේ සාමි විසින් වන අතර අවසානයේ සටන මැඬපැවැත්වීම සඳහා ඉංග්‍රීසීන් විසින් වෙල්ලස්‌සට පිටත් කළ කැප්පෙටිපොළ දිසාවේ ද සිංහලයන්ට එක්‌වීම හේතුවෙන් බ්‍රිතාන්‍යයන්ට එරෙහි තුන්වැනි නිදහස්‌ සටන ගලඋඩ සටනක්‌ බවට පත්විය. නමුත් අවසානයේ ඉංග්‍රීසීන් විශාල ජන සංහාරයක්‌ සිදු කරමින්, සිංහලයන්ගේ සහාය ඇතුව සටන මැඬපැවැත්වූ අතර කැප්පෙටිපොළ දිසාව අත්අඩංගුවට ගෙන හිස ගසා දැම්මේ ය.

ඌව - වෙල්ලස්‌ස නිදහස්‌ සටනින් පසු බදුල්ලේ බ්‍රිතාන්‍ය රජයේ සේවකයකු ලෙස කටයුතු කළ හර්බට්‌ වයිට්‌ (Herbert White) 'Journal of uva' සඟරාවට ලියූ දෙයින් ඉංග්‍රීසීන් වෙල්ලස්‌සට කළ විනාශය හොඳින් තේරුම්ගත හැක.

"කැරැල්ලෙන් පසු ඌව ප්‍රදේශයේ ජනගහනය, කෘෂිකාර්මික පරිසරය පිළිබඳව නිශ්චිතව දැන ගත හැකි සාක්‍ෂි නොමැත. නව පාලකයන් මෙම ප්‍රශ්නයට මුහුණ දීමට අසමත්ව ඇත. යුද්ධයෙන් පසු ඉතිරි වූ අයගෙන් 4/5 ක්‌ කුඩා දරුවන්, කාන්තාවන් සහ මහල්ලන් පමණි. මෙම ජන සංහාරය ඉතා භයානක වේ. කෙටියෙන් කියන්නේ නම් මහත් වූ මිනිස්‌ සංහාරයක්‌ සිදුව ඇති අතර ඌව නැවතත් යථා තත්ත්වයට පත් වේ දැයි කිව නො හැක."

ඉංග්‍රීසීන් ඌව-වෙල්ලස්‌ස නිදහස්‌ සටනට එරෙහිව දියත් කළ ජන සංහාරය අද සිදු වූයේ නම් එය පෘථිවියේ සිදු වූ දැවැන්තම ජන සංහාරයක්‌ ලෙස ලෝකය දැනගන්නවා ඇත. අවුරුදු 18 ට වැඩි තරුණයන් අමු අමුවේ ඝාතනය කරමින්, කුඹුරු අක්‌කර ලක්‍ෂ ගණනකට ගිනි තබමින් ඉංග්‍රීසීන් සටන මර්දනය කළේ නින්දිත අයුරිනි. මෙම විනාශයෙන් ඌව - වෙල්ලස්‌සේ වැසියන් රැසකට උන්හිටි තැන් අහිමි වූ අතර, ලංකාවේ සශ්‍රීකම භූමිය විශාලා මහනුවරක්‌ බවට පත් විය.

රටක ස්‌වාධිපත්‍යය වෙනුවෙන් සටන් වැදුණු කිසිවකු දේශෙද්‍රෝහීන් විය නො හැක. ලතින් ඇමරිකානු ඉතිහාසයේ ඔවුන් හඳුන්වන්නේ ජනතාවගේ සදාතනික වීරයන් ලෙස ය. ආර්ජන්ටිනාවේ ෙච් ගුවේරා, කියුබාවේ පිදෙල් කස්‌ත්‍රො, වෙනිසියුලාවේ සිමොන් බොලිවර් එසේ ජනතාවගේ සදාතනික වීරයන් වෙද්දී ඉංග්‍රීසීන්ගේ ම්ලේච්ඡ පාලනයට එරෙහිව සටන් වැදුණු කැප්පෙටිපොළ දිසාව ඇතුළු 19 දෙනකු වසර 198 ක්‌ තිස්‌සේ දේශද්‍රෝහීන් වීම ඓතිහාසික සරදමකි. ප්‍රමාද වී හෝ ශ්‍රී ලංකා ආණ්‌ඩුව ඓතිහාසික වරදක්‌ නිවැරැදි කර තිබේ. එයට අප ප්‍රණාමය පුද කළ යුතුම ය.

http://www.divaina.com/2016/12/10/editor.html

Pic Source

සබැඳි ලිපි -
[

ඔවුහු ජනතාවගේ සදාතනික වීරයෝය!http://denethharinna.blogspot.com/2016/12/blog-post_65.htmlයටත් විජිතයක ස්වදෙශිකයන් ඉදිරියේ පර සුද්දන් භීතියෙන් ඇලලුනු, පාවාදීම් නිසා පැරදුනු, සිංහලේ ප්‍රථම විමුක්ති අරගලයේ මහවිරුවන්ගේ අවසන් සමයhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_4572.htmlරටින් පිටුවහල් කළ ජාතික වීරයන් 28 දෙනකුට උපහාරhttp://denethharinna.blogspot.com/2013/11/28.htmlමහ විරු මොනරවිල කැප්පෙටිපොල 195 වැනි ගුණසමරුව අදhttp://denethharinna.blogspot.com/2013/11/195.htmlතුන් සිංහලයේ ශ්‍රේෂ්ඨත්වය මතුකළ වීර මොණරවිල කැප්පෙටිපොළ මහ නිලමේhttp://denethharinna.blogspot.com/2012/11/blog-post_25.html
]

0 comments: