Pages

Thursday, October 19, 2017

රට අනතුරේ ඇති තැන සඟ අණ නිකුත් වේ! නව ව්‍යවස්‌ථාවක්‌ එපා - මල්වතු අස්‌ගිරි සංඝ සභා කියයි...

අලුත් ව්‍යවස්‌ථාවක්‌ හෝ සංශෝධන අවශ්‍ය නොවන බවත්, ව්‍යවස්‌ථා සංශෝධන ක්‍රියාවලිය වහා නතර කළ යුතු බවත් අස්‌ගිරි මල්වතු උභය පාර්ශ්වීය කාරක සංඝ සභාව අවධාරණය කර සිටී. 

පැරණි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව රටට හොඳ බවත්, ජනාධිපති බලතල එපරිද්දෙන්ම තැබිය යුතු බවත්, කොට්‌ඨාස ක්‍රමය පමණක්‌ හඳුන්වා දෙමින් ඒ ඔස්‌සේ ඉදිරියේදී රටට මන්ත්‍රීවරු ගෙන ආ යුතු බවත් මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලබුද්ධි නාහිමියෝ ඊයේ (18 දා) ප්‍රකාශ කළහ.

ශ්‍රී දළදා මාලිගාවේ රන් ආයුධ මණ්‌ඩපයේදී ඊයේ (18 දා) රැස්‌ වූ මල්වතු අස්‌ගිරි උභය මහ විහාරීය මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ දෙනමගේ උපදෙස්‌ මත අනුනාහිමිවරු ප්‍රමුඛ විංසත්වර්ගික කාරක සංඝ සභික හිමිවරු යෝජිත ව්‍යවස්‌ථාව සම්බන්ධව සාකච්ඡා කරනු ලැබූයේ ව්‍යවස්‌ථා කටයුතු සම්බන්ධ දැනුම ඇති විද්වතුන් පිරිසක්‌ සමඟය. මෙම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස්‌ ප්‍රකාශ කරමින් අනුනායක හිමියෝ එසේ පැවසූහ.

මේ නව ව්‍යවස්‌ථාව එක එක පළාත්වලට බලය ලබා දීම සඳහා කළ උපක්‍රමයක්‌ බවත් පාර්ලිමේන්තුවටත් නැති බලයක්‌ ප්‍රාදේශීයව බෙදා දීම හරහා රටට දැඩි හානියක්‌ සිදුවන බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

එදා ඡේ. ආර්. කළ දෙයින් අද රට හිඟන තත්ත්වයට පත් වී ඇත්තේ, පළාත් සභා නියෝජිතයන්ට නිරපරාදේ මහා ධනස්‌කන්ධයක්‌ ලබාදීම නිසා බව ද අනුනාහිමියෝ පැවසූහ.

නව ව්‍යවස්‌ථාව රටට අනවශය ඇයිද යන්න පිළිබඳව ශ්‍රී ලංකාවේ සමස්‌ත සංඝරත්නය දැනුවත් කොට එක්‌සත්ව එකමුතුව එක හඬක්‌ නඟමින් බලවත් විරෝධයක්‌ ඇති කළ යුතු යෑයි ද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

මෙම අවස්‌ථාවේ අදහස්‌ දැක්‌වූ අස්‌ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ යෝජිත ව්‍යවස්‌ථාව තුළින් රටේ ඒකීය භාවයටත්, ජාතික සමගියටත් බාධා ඇතිවන බවත් පැවසූහ.

දැනටමත් රට බෙදීමකට ලක්‌ව ඇති බව කී උන්වහන්සේ ජාතීන් අතර බෙදීමක්‌ ඇතිවීමෙන් රට පරිහානියට පත්වන බව ද මේ සම්බන්ධව ඉදිරියේදී ප්‍රදේශීය මහා සංඝරත්නය සමඟ සාකච්ඡා කිරීමට අපේක්‍ෂා කරන බව ද කීහ.

මේ අවස්‌ථාවේ නව ව්‍යවස්‌ථාවක්‌ සකස්‌ කර අර්බුද ඇති කර ගැනීමට වඩා වැදගත් වන්නේ සියලු දෙනා එක්‌ව රට සංවර්ධනය කිරීම බව ද උන්වහන්සේ පැවසූහ.

http://divaina.com/daily/index.php/puwath-2/1367-2017-10-19-02-03-09

0 comments: