Pages

Saturday, July 28, 2018

රණවිරු දඩයමේ අවසන් කුරුමානම

වර්තමාන යහපාලන ආණ්ඩුව බලයට පැමිණි දින සිට යුද්ධය ජයගත් රණවිරුන්ව අසාධාරණ අයුරින් සිරගත කරමින්ද මියගිය ත්‍රස්තයන්ගේ පවුල්වලට රණවිරුවන්ගේ පෞද්ගලික මුදලින් වන්දි ගෙවීමට සැලැස්වීමෙන්ද කටයුතු කරන ආකාරය අපි දුටිමු. කර්නල් ෂම්මි කුමාරරත්න මාස 14ක් රිමාන්ඩ් භාරයේ සිටි අතර (ඔහු සහ බුද්ධි අංශයේ තවත් හමුදා නිලධාරීන් 11ක්) ඔවුන් ඇපපිට නිදහස්වීද මාස 14ක් පමණ වන නමුත් තවම ඔවුන්ට විරුද්ධව නඩු පවරා නැත්තේ අවශ්‍ය සාක්‍ෂි නොමැති නිසාය. එසේ නම් මොවුන්ව වසරකට අධික කාලයක් සිරගතව රඳවා සිටියේ ප්‍රමාණවත් සාක්‍ෂි නොමැතිව නොවේද? අදටත් හමුදා බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි මේජර් ජෙනරාල්වරයාද රිමාන්ඩ් සිරගතව සිටී. ත්‍රස්තවාදීන්ට එරෙහිව කළ යුද්ධයේ අතිමහත් වැදගත් කාර්යභාරයක් කළ මෙවැනි නිලධාරීන්ට මෙසේ සැලකීම හේතුවෙන් සතුටට පත් වන්නේ කවුද? සියලුම කොටි හිතවාදීන් සහ බෙදුම්වාදීන්ය. එසේ නම් දරුණු ගණයේ කොටි ත්‍රස්තයන් හිරෙන් නිදහස් කරමින්, කොටි ත්‍රස්තයන් විනාශ කිරීමට දායක වූ හමුදා නිලධාරීන් සාධාරණ සාක්‍ෂි පවා නොමැතිව සිරගෙට යවමින් වර්තමාන යහපාලකයන් කරන්නේ යුද්ධ කළ රණවිරුවන් දුර්මුඛ කරමින් ඔවුන්ව පාවාදීම නොවේද?

එම පාවාදීමේ කූටප්‍රාප්තිය වනුයේ පසුගිය දිනෙක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ‘අපරාධ සම්බන්ධ අනේ‍යාන්‍ය සහයෝගිතා පනතයි’. එම පනත පාර්ලිමේන්තුවේ සම්මත වූ පසු රණවිරුවන් දඩයම් කිරීමේ ක්‍රියාදාමය/ ක්‍රියාවලිය සම්පූර්ණ වනු ඇත. එසේ සම්පූර්ණ වන ක්‍රියාවලිය ඉතා කෙටියෙන් ජනතාව ඉදිරියේ තැබීම අපේ යුතුකමක් සේ සලකමු.
බටහිර රටවල් සහ දෙමළ බෙදුම්වාදී ඩයස්පෝරාව තෘප්තිමත් කිරීම සඳහා වර්තමාන රජය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් නිකුත් කරන ලද අපේ හමුදා සම්බන්ධ අතිශය සාවද්‍ය යුද අපරාධ චෝදනා සහිත වාර්තාව අගය කරමින් පිළිගෙන අපට එරෙහිව ඇමෙරිකාව විසින් ඉදිරිපත් කරන ලද 30/1 යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්විණ.

මානව හිමිකම් කවුන්සලය මඟින් අනුමත කරන යෝජනා නිදේශ ක්‍රියාත්මක කිරීමට කිසිම රටක් බැඳී නොමැති නමුත් අපට 30/1 යෝජනාවේ තිබෙන සියලුම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අනිවාර්යයෙන් සිදුව ඇත්තේ අප එයට එකඟවී සම අනුග්‍රාහකත්වය දක්වා ඇති නිසාය. එම නිර්දේශ අනුව ගන්නා ක්‍රියාමාර්ගයන්ගෙන් රණවිරුවා බොරු සාක්‍ෂි ගොතා ජාත්‍යන්තර අපරාධ අධිකරණය තෙක් ගෙන යෑමට මාර්ගය විවෘත කර ඇත්තේ මෙසේය.

පළමුවෙන්ම ආරම්භ වන්නේ අතුරුදන් කිරීමේ කාර්යාල පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමෙනි. එම පනතට එරෙහිව දැඩි විවේචන තිබූ නිසා එය සම්මත කළේ පාර්ලිමේන්තුවේ ඡන්දයක්ද නොතබා ප්‍රජාතන්ත්‍ර විරෝධීවය. එසේ එම පනත සම්මත වූ විගස එයට සුබ පැතුවේ වෙන කවුරුත් නොව ගෝලීය ද්‍රවිඩ සංසදයයි.
ඊට පසුව ඊට ප්‍රශංසා කළේ කොටි හිතවාදී ඇමෙරිකානු තානාපති අතුල් කෙශාප්ය. එයින්ම මෙම පනත රණවිරුවාට හිතකරද අහිතකරද යන්න අපට හොඳින් තේරුම් ගත හැකිවේ.

මෙම අතුරුදන් කාර්යාලීය පනත පාර්ලිමේන්තුවේ එකී අයුරින් සමමත වූ පසු පසුගිය සැප්තැම්බරයේ ජිනීවා සැසිවාරයේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් තර්ජනාත්මක ස්වරයෙන් කියා සිටියේ, පනත සම්මත කළාට කාර්යාලය ස්ථාපිත කර නැති බවයි. අපේ රජය ඊට පසුවදාම කාර්යාලය ආරම්භ කළේය. ඉන්පසු මේ වසරේ මාර්තු මස සෙයිද් හුසේන් තර්ජනය කළේ කාර්යාලය විවෘත කළාට කාර්ය මණ්ඩලය පත් කර නැති බවයි. රජය ඊට පසුවදාම කාර්ය මණ්ඩලයක් පත් කළේය. එසේ නම් මෙම අතුරුදන් කාර්යාලය කටයුතු කරන්නේ කාගේ වුවමනාවටදැයි කාටවුවත් තේරුම් යනු ඇත.

මෙම අතුරුදන් කාර්යාලය කාර්යාලයක් නොව අර්ධ අධිකරණයකි. එහි සාක්‍ෂි කැඳවන්න, වරෙන්තු නිකුත් කිරීමට සහ නඩු ඇසීමට පවා පුළුවනි. එම කාර්ය මණ්ඩලයට ඕනෑම අවස්ථාවක, ඕනෑම වේලාවක ඕනෑම හමුදා කඳවුරකට, පොලිසියකට, බන්ධනාගාරයකට ගොස් ඕනෑම රහස්‍ය වාර්තාවක් වුවද ලබාගත හැකිය. එයට බාධා කරන්නන්ට හෝ සහාය නොදෙන්නන්ට අභියාචනාධිකරණයට අපහාස කළා සේ සලකා දඬුවම්ද කළ හැකිය. මෙම කාර්යාලයට රටේ සාක්‍ෂි ආඥ පනතට පටහැණි සාක්‍ෂි පවා පිළිගත හැකි අතර වීඩියෝ තාක්‍ෂණයෙන් ලබාදෙන සාක්‍ෂිද පිළිගත හැකිය. එවිට ඕනෑම කෙනකුට ඕනෑම රටක සිට තමාට අවශ්‍ය කරන පුද්ගලයාට විරුද්ධව බොරු සාක්‍ෂි දීමට පුළුවනි. නමුත් මෙම කාර්යාලයට දඬුවම් කිරීමේ බලය නැත. දඬුවම් දිය හැකි ප්‍රතිපාදන තිබේ නම් සාක්‍ෂි ආඥා පනත අදාළ කරගත යුතුවේ. එවිට බොරු සාක්‍ෂි ගොනු කළ නොහැකිය. ඒ නිසා බොරු සාක්‍ෂි ගොනු කිරීමට එක් පනතකුත් එනම් මෙම පනත ගෙන ආ අතර දඬුවම් පැමිණ වීමට තවත් පනතක් ගෙන එන ලදී. ඒ පනත වනුයේ 30/1හි තවත් එක් නිර්දේශයක් වන බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනතයි.

උක්ත පනතට විරුද්ධවද ජනතා උද්ඝෝෂණයක්/ විරෝධතාවක් තිබූ අතර එය පාර්ලිමේන්තුවේ අනුමත කළේ දිගන ඇතිවූ කලබලකාරී තත්ත්වය මත හදිසි නීතියද දමා රටේ කලබලයක් තිබූ අවස්ථාවේ ජනතාවට නොදන්වාය. මෙම ප්‍රඥප්තිය ලෝකයේ රටවල් 53ක් අනුමත කොට පාර්ශ්වකරුවන් වී තිබේ. දැන් අතුරුදන් කාර්යාලය මඟින් රණවිරුවෙක්ට විරුද්ධව ‘බොරු’ යුද අපරාධ/ අතුරුදන් චෝදනා සම්බන්ධ සාක්‍ෂි ගොනුකොට ලිපි ගොනුවක් සූදානම් කර ඇති අවස්ථාවක එකී රණවිරුවා පෙර සඳහන් කළ රටවල් 53න් එකකට ගියහොත් ඒ රටේ ‘යුද අපරාධ පිළිබඳ සැක කරන පුද්ගලයකු තම රටේ සිටින නිසා’ ඒ රටට එම අදාළ රණවිරුවා අත්අඩංගුවට ගත හැකිවේ. එසේ අත්අඩංගුවට ගත් රණවිරුවාට එරෙහිව ඒ රටට ක්‍රියාමාර්ග 3ක් ගත හැකිවේ. එනම්,

(අ). ඒ රටේ එම රණවිරුවාට විරුද්ධව නඩු අහන්න පුළුවන.

(ආ). ඒ රට වෙනත් රටක් සමඟ යම් අදාළ ගිවිසුමක් අස්සන් කර ඇත්නම් ඒ රටට එම රණවිරුවා පිටුවහල් කරන්න පුළුවන.

(ඇ). ඒ රට රෝම ප්‍රඥප්තියට අස්සන් කර ඇත්නම් එම රණවිරුවාව ජාත්‍යන්තර යුද අධිකරණයට ඉදිරිපත් කරන්න පුළුවන.

මෙසේ යම් කෙනකුට විරුද්ධව යුද අපරාධ/අතුරුදන් සාක්‍ෂි අඩංගු වාර්තා තිබේ නම් මෙම ප්‍රඥප්තියට අස්සන් කළ රටවල් 53න් ඕනෑම රටක් එම රණවිරුවාව ඉල්ලා සිටියහොත් එවන් කෙනෙක්ව එම අදාළ රටට පිටුවහල් කිරීමටද රජය බැඳී සිටී.

දැන් රණවිරුවා දංගෙඩියට යැවීම නමැති මිනී පෙට්ටියේ අන්තිම ඇණය වනුයේ මා පෙර සඳහන් කළ අපරාධ පිළිබඳ අනේ‍යාන්‍ය සහයෝගිතා පනතයි. වර්ෂ 2002දී අනුමත කර ඇති මෙම පනතට සංශෝධන ගණනාවක් එකතු කරමිනුයි පනත ඉදිරිපත් කර ඇත්තේ. මුල් පනතට අනුව අපරාධ සම්බන්ධ විස්තර, තොරතුරු, සාක්‍ෂිකරුවන් යනාදිය සම්බන්ධ තොරතුරු පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් සහ ලංකාව සමඟ අදාළ ගිවිසුමක් අස්සන් කර ඇති රටවල් සමඟ හුවමාරු කරගත හැකිය. ඊට අතුරුදන් වීම් යනාදිය ඇතුළත්ව නොතිබිණි. නමුත් මෙම නව පනතට අනුව ඉහත රටවලට අමතරව ලංකාව යම්කිසි අදාළ ජාත්‍යන්තර ප්‍රඥාප්තියක් අස්සන් කොට නැත්නම් එම ප්‍රඥප්තියට අස්සන් කළ අන් සියලුම රටවල්ද අයත් වේ. එපමණක් නොව ලෝකයේ යම්කිසි අපරාධ සම්බන්ධ ජාත්‍යන්තර සංවිධානයක් වේද ඒ සංවිධානද අයත් වේ. ඒ අනුව බලන විට ජාත්‍යන්තර යුද අධිකරණයටද අපේ රණවිරුවකු සම්බන්ධ තොරතුරු, සාක්‍ෂි, වාර්තා යනාදිය සෘජුව ඉල්ලිය හැකිය.

මෙහි මධ්‍යම බලධාරියා වනුයේ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාය. සංශෝධිත පනතට අනුව සියලුම විදේශීය රටවල් සහ අදාළ සංවිධාන අපරාධ සම්බන්ධයෙන් වන සියලුම තොරතුරු වාර්තා මධ්‍යම බලධාරියාගෙන් ඉල්ලා ලබා ගත හැකිවේ. තවද මෙම පනත යටතේ විදේශීය රටකින් එවන ලිඛිත සාක්‍ෂි අපේ අධිකරණයේ පිළිගත හැකි සාක්‍ෂි බවට පත්වන අතර විදේශ රටක සිට වීඩියෝ තාක්‍ෂණය මඟින් ලබාදෙන සාක්‍ෂිද පිළිගනී. එසේම එම මධ්‍යම බලධාරියාට තමා වෙනුවෙන් කටයුතු කිරීමට නිසි බලධාරියකු ද (ජේ‍යෂ්ඨ සහකාර ලේකම් ධුරයට පහළ නොවූ) පත් කළ හැකිය. ඕනෑම රටකින් මෙම නිසි බලධාරියාගෙන් විද්‍යුත් තැපෑලෙන් තොරතුරු ඉල්ලූවිට මධ්‍යම බලධාරියාට ‘පිටපතක්’ යවා වහාම එම තොරතුරු අදාළ රටට ලබාදීමට ඔහු බැඳී සිටී. මේ ක්‍රියාවලියට සම්බන්ධ සියලුම නිලධාරීන් මෙහි ‘රහස්‍ය භාවය’ රැකිය යුතු අතර එය කඩකොට වරදකරුවන තැනැත්තා ඉහළ උසාවියෙන් රුපියල් මිලියන 5ක උපරිම දඩයකට ලක්වේ. ‘තොරතුරු දැනගැනීමේ අයිතිය’ යන නීතිය එබැවින් මෙහි කටයුතුවලට අදාළ වන්නේ නැත.

මේ අනුව බලන කල ජාත්‍යන්තර ප්‍රඥප්තීන් අස්සන් කළ සියලුම රටවලට අතුරුදන් වීම් සම්බන්ධ චෝදනා ලැබ සිටින (පෙර කියූ පරිදි බොහෝ විට සාවද්‍ය සාක්‍ෂි මත) සියලුම පුද්ගලයන් සම්බන්ධව ‘අධිකරණ’ බලය ලැබේ. එවන් ඕනෑම රටකට එවන් චූදිත රණවිරුවකුව තම රටට පිටුවහල් කරගෙන අත්අඩංගුවට ගෙන නඩු අසා දඬුවම්ද කළ හැකිය.එම රට ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජිකයකු නම් එසේ තම රටට පිටුවහල් කරගත් හෝ තම රටේදී අත්අඩංගුවට ගත් අපේ රණවිරුවා තමාගේ රටේ පුරවැසියකු මෙන් සලකා ඔහුව ජාත්‍යන්තර යුද අධිකරණයට භාරදිය හැකිය. එසේ නම් අතුරුදන් කාර්යාලයෙන් බොරු සාක්‍ෂි ගොනු කොට දඬුවම් කිරීම සඳහා බලහත්කාරයෙන් අතුරුදන් වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත සම්මත කොට එයට වඩාත්ම පහසුකම් සහ එහි පරිචය ප්‍රසාරණය කිරීම සඳහා මෙම අපරාධ සම්බන්ධ අනේ‍යාන්‍ය සහයෝගිතා පනත ගෙනැවිත් තිබේ.ත්‍රස්තවාදීන් සමඟ දිවි පරදුවට තබා සටන් කරමින් සමස්ත ජනතාවටම ජීවත් වීමේ නිදහස ලබාදුන් රණවිරුවා වර්තමාන රජය ජාත්‍යන්තරය ඉදිරියේ ඉතාම නින්දිත ලෙස පාවාදී ඇත්තේ එසේය.

මේ අනුව බලන කල අප රට තුළ ස්ථාපිත කිරීමට යෝජනා වූ සහ ජනතා විරෝධයට ලක්වූ ‘දෙමුහුන් අධිකරණය’ එනම් විදේශීය විනිසුරුකරුවන්ගෙන් සමන්විත අධිකරණයක, අවශ්‍යතාවක් පැනනොනඟී. බෙදුම්වාදීන් දැන් ඒ සම්බන්ධයෙන් නිහඬව සිටින්නේද එබැවිනි. මන්ද එවන් (බොරු) චෝදනාවකට ලක්වූ රණවිරුවෙක්ව මේ පනත මඟින් විදේශීය අධිකරණ බලයට යටත් කොට ඇති නිසාය. රණවිරුවකුට පිටරටකට නඩු ඇසීම සඳහා පිටුවහල් කළ හැකි නීති තිබේ නම් මෙරට දෙමුහුන් අධිකරණයක් ස්ථාපිත කරන්නේ කුමකටද?

දේශහිතෛෂී කණ්ඩායමක් මෙම අවසාන පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කළ අතර එයට පෙනී සිටියේ කවදත් දේශයට ආදරය කරන මෙවන් නඩුවලට නොමිලයේ පෙනී සිටින මනෝහර ද සිල්වා ජනාධිපති නීතිඥතුමාය. ඉතා දක්‍ෂ ලෙස මෙම පනතේ තිබෙන ‘රණවිරුවා පාවාදීමේ’ කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කළ පසු ශේ‍ර්ෂ්ඨාධිකරණය විසින් තීරණය කරනු ලැබ ඇත්තේ එහි සඳහන් සමහර වගන්ති රටේ ව්‍යවස්ථාවට පටහැණි බවයි. කථානායකතුමා එය කෙසේ ක්‍රියාත්මක කරන්නේදැයි අපි බලා සිටිමු.

රණවිරුවා සහ රට පාවා දෙන සියලු අණපනත්වලට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නේ මහජනතාවයි. ඒ ඔවුන් රණවිරුවන්ට කෘතවේදී නිසාය. කෘතවේදීත්වය පළමුවෙන්ම ලොවට පෙන්වා දුන්නේ තිලෝගුරු බුදුපියාණන් වහන්සේය. කෘතවේදීත්වය නොදන්නා පාලකයන් වෙත්නම් ඒ අයට ස්වභාවධර්මයා විසින් දඬුවම් ලබාදෙනු ඇත.

රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
http://www.colombotoday.com/sarath-weerasekara-2018-7-22/

0 comments: