Pages

Saturday, July 28, 2018

TNA කියන්නේ බොරු. ප්‍රශ්න ඇත්තේ සුළු ජාතියට නොව මහ ජාතියටයි – වෛද්‍ය රාමසුන්දරම්

ශ්‍රී ලංකා හමුදාව විසින් සිදුකරන සේවාවන් කිසිවක් උතුරේ දේශපාලකයන් සිදු නොකරන බව අරුනලු ජනතා පෙරමුණේ නායක වෛද්‍ය ක්‍රිෂාන් රාමසුන්දරම් මහතා Colombo Today වෙත විශේෂ සාකච්චාවක් ලබා දෙමින් සඳහන් කර සිටියා.

උතුරේ ජනතාවගේ ජලය, රැකියා ලබාදීම ආදී යටිතල පහසුකම් සැපයීම ඇතුළු දේශපාලන නායකයන් විසින් සිදුකල යුතු සියලු දේ හමුදාව විසින් ලබා දෙන බවත්, පොදු ජනතාව හමුදාව වටා එකතුවීම හේතුවෙන් සිංහල නායකයන් උතුරේ බිහිවෙතැයි ප්‍රදේශයේ දේශපාලකයන්ට බයක් තිබෙන බවත් සඳහන් කර සිටි ඒ මහතා තමන් ද්‍රවිඩ නායකයකු ලෙස ශ්‍රී ලංකා හමුදාවට මේ සිදුකරන සේවය පිළිබඳව ස්තූතිය පලකරන බවත් සඳහන් කර සිටියා.

නැවත පදිංචි කිරීම් සිදු කිරීම සඳහා ප්‍රදේශයෙන් හමුදාව යා යුතු බවට උතුරේ දේශපාලකයන් චෝදනා කරන නමුත් හමුදාව උතුරෙන් යැවුවොත් උතුරත් ඉවර වෙන බව රාමසුන්දරම් මහතා ප්‍රකාශ කර සිටියා. මුලික මිනිස් අවශ්‍යතා නොමැතිනම් ඕනිම ජන කොටසකට ප්‍රශ්න ඇති වන බවත් උතුරේ දේශපාලකයන් ත්‍රස්තයන් බවත් එම ප්‍රදේශයේ ජනතාව හමුදාවට දෙවියන්ට සේ සලකන බවත් අවධාරණය කර සිටියා.

සම්බන්දන් ඇතුළු දේශපාලකයන්ට ඇවිල්ලා කොළඹ ඉඩම් ගන්න පුලුවන්නම්, සිංහල ජනතාවටද ඒ අයිතිය උතුරේ තිබිය යුතු බව සඳහන් කර සිටි වෛද්‍ය ක්‍රිෂාන් රාමසුන්දරම් මහතා කිලිනොච්චියේ පන්සල් හදන්න එම ප්‍රදේශයේ දේශපාලකයන් ඉඩ ලබා නොදුන්නද දකුණේ ඕනෑම තැනක කෝවිල් හදන්න සිංහලයෝ ඉඩ ලබා දෙන බවත් ඒ සඳහා උදව් කරන බවත් සඳහන් කර සිටියා.


උතුරු නැගෙනහිර අද වෙන තුරු සිංහල මන්ත්‍රීවරයෙකු බිහිවී නොමැති බවත් ලංකාවේ හැමතැනම දෙමල මන්ත්‍රීවරු බිහිවී ඇති බවත් යාපනයේ විශ්වවිද්‍යාලයෙන් අද වෙනතුරු සිංහල වෛද්‍යවරයෙක් බිහිවී නැති බවත් යාපනයෙන් ඇවිල්ලා අනෙක් විශ්වවිද්‍යාලවල ඉගනනගෙන වෛද්‍යවරු වූ දෙමල ජාතිකයන් ඔනෑතරම් සිටින බවත් ඒ මහතා සඳහන් කර සිටියා. ලංකාවේ ඉහලම ව්‍යාපාරිකයන් 10 දෙනාගෙන් 9 දෙනෙකු දෙමල ජාතිකයන් බවත්, දකුණේ දේශපාලකයන් ඔවුන්ව උතුරට පන්නා නොදමන බව ප්‍රකාශ කල ඒ මහතා සුළු ජාතියට ප්‍රශ්න ඇති බව දෙමල ජාතික සන්ධානය පැවසුවද ප්‍රශ්න ඇත්තේ මහ ජාතියට බව ප්‍රකාශ කර සිටියා.

මහබැංකුවේ අධිපති වී සිටියේත් සිටින්නේත් ද්‍රවිඩ ජාතිකයන් බවත්, විපක්ෂ නායක තනතුර පවා දෙමල ජාතියට හිමිවී ඇති බවත් නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපති ඇතුළු ඉහල තනතුරුවල ද්‍රවිඩයන් සිටින බවත්, උතුරේ දේශපාලකයන් ජාතිවාදය කතා කිරීම සාධාරණ නොවන බවත් රාමසුන්දරම් මහතා සඳහන් කර සිටියා. මෙම තත්වය ජනතාව තේරුම් ගෙන ඇති බැවින් TNA එකට ඉදිරි මැතිවරණවලදී ජනතාව පිළිතුරු දෙනු ඇති බවත් ප්‍රකාශ කර සිටියා.

Colombo Today

0 comments: