Pages

Friday, October 24, 2014

මහානායක හිමි පදවියෙන් පුද ලද ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමි

මහා පඬිවරයකු, විචිත්‍ර ධර්ම කථිකයකු සුපේෂල ශික්‍ෂාකාමී බුද්ධපුත්‍රයෙක්‌ මෙන්ම දෙස්‌ විදෙස්‌ රටවලට බුදු දහම ප්‍රචලිත කරන විනයගරුක හිමිනමක්‌ වූ ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමියෝ කෝට්‌ටේ කල්‍යාණි සාමගී්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහනායක පදවියට පත්වූහ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

අප ධම්මාලංකාර මහා නාහිමිපාණෝ, මෙම මහානායක පදවියෙන් පිදුම් ලබන දොළොස්‌වැන්නාය. මල්වතු පාර්ශ්වයට අයත් කෝට්‌ටේ සාමගී්‍ර ධර්ම සංඝ සභාව, බ්‍රිතාන්‍ය පාලන සමයේදී, වර්ෂ 1855 දී අරඹන ලදී. එම කාලවකවානුව තුළදී, උපසම්පදා කර්ම සිදු කිරීම සඳහා දිවයිනේ සිටින භික්‍ෂූන් වහන්සේලාට, මහනුවර බලා යන අති දුෂ්කර ගමනක්‌ මෙන්ම අභියෝගයක්‌ ද වූ බැවින් කෝට්‌ටේ සාමගී්‍ර ධර්ම මහා සංඝ සභාව, කෝට්‌ටේ රජමහා විහාරය කේන්ද්‍ර කොට ගෙන පිහිටුවා ගන්නා ලදී.

ශ්‍රී ලංකාවේ ග්‍රාම නාම බොහෝදුරට ජාත්‍යන්තර තලයේද ප්‍රසිද්ධත්වයට පත්වන එකී ග්‍රාමයන් සමග බැඳී ඇති මහා තෙරුන් වහන්සේලාගේ නාම සමගය. නිදසුනක්‌ වශයෙන් ආචාර්ය රාහුල - වල්පොළ - ආචාර්ය වාචිස්‌සර, කොටගම, මහාචාර්ය විමලරතන, බෙල්ලන්විල, කළුකොඳයාව, ප්‍රඥශේඛර, අඹන්වැල්ල පඤ්ඤාශේඛර, මාවිත්තර ශ්‍රී රේවත, වත්තල සීලරතන ආදී වශයෙනි.

කළුතර දිස්‌ත්‍රික්‌කයේ ඉත්තෑපාන ග්‍රාමය අප දැන හැඳින ගත්තේ ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහානාහිමිපාණන්ගෙනි. නොබෝදා, අසූවන වියට පත්වුණ, ධම්මාලංකාර මහානාහිමියෝ උපත ලැබුවේ ද 1934 ඔක්‌තෝබර් 14 වනදාය. ඉතාමත් ඉහළ සම්භාවනීය පවුලකින් පැවැත එන ධම්මාලංකාර නාහිමිගේ මවුපියන්වීමේ භාග්‍යය අත්කර ගත්තේ ගලතර දොන්ඡේමිස්‌ අප්පුහාමි සහ මීගහපොලගේ දොන ලයිසහාමි ය. ඔවුනට පුතුන් 5 දෙනෙක්‌ හා දියණිවරුන් 4 කි. පවුලේ බාලම දරුවා වූයේ ගලතරගේ දොන් පේරේස්‌ ය. 

කුඩා කළ පටන් ම නායකත්වයේ ලක්‍ෂණ පෙන්නුම් කළ මෙම දරුවාට තිබුණේ ඉතා ප්‍රසන්න, ප්‍රතාපවත් පෞරුෂයකි. හේ, අධ්‍යාපනය ලැබුවේ ඉත්තෑපාන මහා විදුහලෙනි. කුඩා කල පටන්ම මොහු ගමේ පන්සල සමග ඉතා කිට්‌ටු සබඳතාවක්‌ පවත්වන ලදී. දහම් පාසලේ අධ්‍යාපනය ලැබුවේය. සංසාරගත පුරුද්දක්‌ නිසාදො මෙම දරුවා කුඩා කල පටන්ම සසුනට ඇතුළත් වන්නට කැමැත්තක්‌ දැක්‌වීය. එහෙත් මෑණියන් එයට මුලින් කැමැත්තක්‌ නොදැක්‌වූවාය. කෙසේ වුවද, මොහු තමාගේ ජීවිත අපේක්‍ෂාව මොහු ඉටුකරගන්නේ 1950 වසරේදීය. ජී.ඩී. පේරෙස්‌ නම් වූ මොහු පැවිදි බිමට පත්වූයේ ඉත්තෑපාන ධම්මාලංකාර නමිනි. කලල්ගොඩ ධම්මසිරි සහ තලවතුගොඩ ධම්මාලෝක නාහිමිවරුන් ඉත්තෑපාන නාහිමිගේ ආචාර්යවරයෝ වූහ.

ඉත්තෑපාන ධම්මාලංකාර හිමියන් මුලින්ම පිරිවෙන් අධ්‍යාපනය ලැබුවේ විද්‍යාලංකාරයෙනි. කිරිවත්තුඩුවේ ප්‍රඥසාර, බඹරැන්දේ සිරිසීවලී, කොටහේනේ පඤ්ඤකිත්ති, යක්‌කඩුවේ ප්‍රඥරාම වැනි මහා පඬිවරුන්ගේ සෙවණේ ධම්මාලංකාර හිමියෝ අධ්‍යාපනය ලැබූහ. පසුව, කොළඹ විෙද්‍යාදය පිරිවෙනට ඇතුළත්ව වැඩිදුර අධ්‍යාපනය ලැබූහ.

ඉත්තෑපාන ධම්මාලංකාර හිමියෝ, කොල්ලුපිටියේ වාළුකාරාමයේ සිට විෙද්‍යාදය පිරිවෙන් අධ්‍යාපනය ලැබූහ. එම වකවානුව තුළ දී, වාළුකාරාමයේ නායක හිමියෝ වූයේ මාවිත්තර ශ්‍රී රේවත නාහිමිපාණෝය. ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියෝ ශාස්‌ත්‍රවේදී, ශාස්‌ත්‍රශූරී, ආචාර්ය, උපාධි දිනාගත් අතර, විචිත්‍ර ධර්ම කථිකයෙක්‌ ලෙස ද ප්‍රසිද්ධ වූහ. කෝට්‌ටේ කල්‍යාණි සාමගී්‍ර ධර්ම සංඝ සභාවේ ඉතාමත් සම්භාවනීය පදවි හෙබවූ ධම්මාලංකාර නාහිමිපාණෝ, දැනට රුක්‌මල්ගම විහාරස්‌ථානයේ වැඩවසන අතර, ඇමරිකා එක්‌සත් ජනපදයේ කැලිෆෝනියාවේ ද ලොස්‌ ඇන්ජලීස්‌ සන් වැලි (Sun Valley, Los Angeles, California, USA) බෞද්ධ විහාරය ඇරඹීමෙන්, එක්‌සත් ජනපදයේද බුදුදහම ප්‍රචාරය කිරීමේ මහා කාර්යභාරයක ද නිරත වී සිටිති.

ඉත්තෑපානේ ධම්මාලංකාර මහානාහිමියෝ අතින් ලියෑවුණු ධර්ම ග්‍රන්ථ හා ශාස්‌ත්‍රීය ලිපි රැසකි. මෙයට අමතරව, ධම්මාලංකාර මහා නාහිමියන් අතින් රචිත "බුදු බව පතන බලංගොඩ ආනන්ද මෛත්‍රය" පැවිදි පඬි මිණිපහන්"සහ මර්සිලිනු ජයකොඩි පියතුමා පිළිබඳ ලියූ "මල් පැලේ උපන් පන්සලේ පියතුමා" හේ ප්‍රබුද්ධ, බහුශ්‍රැත දැනුම ලොවට පසක්‌ කරන සාහිත්‍ය කෘතීන්ය.

කෝට්‌ටේ සාමගී්‍ර ධර්ම මහා සංඝ සභාවේ නව මහානායක ඉත්තෑපානේ ධම්මාලංකාර හිමිපාණෝ සසුන'ඹරේ දිලෙන මහා පහන් තරුවකි.

මහානාහිමි සඳුණි, ඔබවහන්සේගේ දෙපා නමැද නමස්‌කාර කරමි. 

ප්‍රේමසර ඈපාසිංහ
http://www.divaina.com/2014/10/23/news23.html

0 comments: