Pages

Sunday, April 26, 2015

දෙටු ගැමුණුන් නිමැවූ බැව් කියන කතරගම දෙවොලේ බස්නායක තෝරාගැනුම

රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීමේ නිලවරණය අනිද්දා (28) මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.
මේ ලිපිය ඒ නිමිත්තෙනි.

විදේශයන්හි ද පළට ව ගිය, විදේශිකයන්ගේද අප්‍රමාණ වන්දනා මානයට පත් සිරිලක පුදබිම් අතර රුහුණු කතරගම ස්කන්ධ කුමාර දේවාලයට හිමි වනුයේ අද්විතීය ස්ථානයකි. එබඳු බුහුමන් ලබන මෙරට අනෙක් පූජනීය ස්ථානය නම් ශ්‍රීපාද සමනොළ ගිරිහිසයි.

මෙවන් සුවිශේෂත්වයක් ලබන කතරගම දෙවොලෙහි ඉතිහාසය ජනප්‍රවාදයනට අනුව ගැමුණු මහරජ සමය තරම් ඈත අතීතයකට උරුමකම් කියන්නකි.

දීර්ඝ කාලීනව රට වෙළාගෙන සිටින ආක්‍රමණික එළාරගෙන් මවුබිම මුදා ගැනීමේ සටනට සූදානම් වූ ගැමුණු රජු කතරගම දෙවියන් හමු වී තමා රට දැය බේරා ගැනීමට යුදයට යන බව පවසා එය ජය ගැනීමට තමාට උදව් වන ලෙස කඳ කුමර දෙවිඳුන්ගෙන් අයැද සිටියේය. යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් ඉක්බිති දෙවියන් උදෙසා දේවාලයක් ඉදි කරවන බවට පොරොන්දුවක් ද හෙතෙම ඒ සමඟම දුන්නේය.

අප සැම දන්නා පරිදි ගැමුණු මහ රජු යුද්ධය ජය ගත්තේ ය. පොරොන්දුව ඉටු කිරීම් වශයෙන් රුහුණු කතරගම මහ දේවාලය ද ඉදි කැරැවිණි.

දෙවොල නැංවීමෙන් නොනැවැතුණු ගැමුණු මහරජු එහි ක්‍රමවන් කාර්ය සාධනය සඳහා වැඩපිළිවෙළ ද (කතිකාවතක්) සැකසූයේ ඒ සඳහා “හේවා මඬුල්ල” යනුවෙන් හැඳින්වුණු 56 දෙනකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් ද පත් කරවූයේය. ඒ අනුව උදා දිවා රාත්‍රී වශයෙන් දිනපතා තේවා මුර නියම කැරැවුණු අතර මේ කටයුතු සඳහා කපුවෝ ද, දෙවොල කාර්ය මණ්ඩලය හා ආලත්ති අම්මාවරු ද පත් කරනු ලැබූහ. වාර්ෂික මංගල්‍යයන් වශයෙන් ඇසළ මහා පෙරහර ද පැනවිණ.

මේ සියල්ල මෙහෙයවන වගකිවයුතු නිලදරුවා ලෙස බස්නායක ධුරයක් ද ස්ථාපනය කරනු ලැබීය. එහෙයින් පත් කැරැවුණු ප්‍රථම බස්නායක නිලමේවරයා ගැමුණු මහරජුගේ බෑනා කෙනකු බව පැවසේ. මෑත යුගයේ මේ ගෞරවනීය ථානාන්තරය උරුම ව පැවැතියේ මාගම වලව්වන්ත පරපුරට බව පැරණිතම ලේඛනයන්ගෙන් හෙළි වෙයි. ඒ අනුව ක්‍රි. ව. 160 දී කිරිගත්පොත්ත බණ්ඩාරනායක මුදියන්සේ රාළහාමි බස්නායක නිලමේ ධුරයට පත් වී තිබේ. (කතරගම පුද සිරිත්, ආචාර්ය අලුත්වැව සෝරත හිමි)

එතුවක් පටන් දීර්ඝ කාලීන පාරම්පරික උරුමයක් ලෙස සැලැකුණු මෙම ධුරයට පත් වීමේ සම්ප්‍රදාය 1931 වර්ෂයේ විහාර හා දේවාලගම් පනත යටතේ මහා භාරකාර දෙපාර්තමේන්තුවට පැවරිණි. එතැන් පටන් ඡන්ද ක්‍රමයක් මඟින් කතරගම දේවාලය සඳහා ද බස්නායක නිලමේවරයකු පත් කරගැනීම ඇරැඹිණි. මේ අනුව බස්නායක නිලමේවරයකුගේ ධුර කාලය වසර 10ක් වූ අතර, පසුව එය වසර 05 දක්වා අඩු කැරිණි. වසර 05 සඳහා තේරී පත් වූ ප්‍රථම බස්නායක නිලමේවරයා වශයෙන් සඳහන් වන්නේ ජයවර්ධන අත්තනායක මහතාය.

ඉනික්බිති ධර්මදාස බංඩා මහතා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙස තේරී පත් වූ අතර, ඔහුගේ ධුර කාලයේ දී බස්නායක නිලමේ තනතුරට පුද්ගලයකු තෝරා ගැනීමේ ක්‍රියා පටිපාටියෙහි සුවිශේෂ වෙනසක් සිදු විය.

ඒ 1989 වර්ෂයයි. කතරගම ඇසළ මහ පෙරහර වීදි සංචාරය කරමින් තිබිණි. කිරිවෙහෙර රාජමහා විහාරය අභිමුඛව පෙරහර වෙහෙර වීදියට පිවිසුණා පමණි.

කිසිවකුත් නොසිතූ පරිදි පිපිරුම් හඬ කිහිපයක් නැඟි ගියේ අවට වාතලය දෙදරවා හරිමිනි. කිසියම් පිරිසක් විසින් පෙරහරට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කරනු ලැබ ඇති වග අනාවරණය විය. මේ ප්‍රහාරයෙන් පෙරහරේ ලේකම් මහතා සහ ආලත්ති අම්මලා ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් එම ස්ථානයේම මරුමුවට පත්වූ අතර, බස්නායක නිලමේ ධර්මදාස බණ්ඩා මහතා බරපතළ තුවාල ලැබ ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටරයක් මඟින් අගනුවරට ගෙන එනු ලැබිණි.

මේ සිද්ධිය කෙරෙහි අවධානය යොමු කළ එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විහාර හා දේවාලගම් පනතට සංශෝධනයක් ගෙන එමින් දේශපාලනඥයන් හට ශ්‍රී ලංකාවේ සියලු විහාර හා දේවාලයන්හි ‍බස්නායක ධුරයන්ට පත් වීම වළක්වා ලූයේය.

මේ අනුව එවකට රුහුණු කතරගම දේවාලයේ බස්නායක ධුරය දැරූ කෘෂිකර්ම අමාත්‍ය ධර්මදාස බංඩා, හා මහනුවර ශ්‍රී දළදා මාලිගයේ දියවඩන නිලමේ ධුරය දැරූ අධ්‍යාපන අමාත්‍ය නිශ්ශංක විජේරත්න මහත්වරුන් ඇතුළුව දේශපාලනඥයන් 7 දෙනකුගේ බස්නායක ධුරයන් අහිමි විණ.

ධර්මදාස බංඩා මහතාගෙන් අනතුරුව ගුණපාල හේරත් මහතාත්, ඉනික්බිති යසසිරි කස්තුරිආරච්චි, ප්‍රදීප් නිලංග දෑල, හා ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුත් පිළිවෙළින් කතරගම බස්නායක නිලමේ ධුරයට තේරී පත් වූහ.

බස්නායක නිලමේවරයකු පත් කැරගැනීම සඳහා 17 දෙනකුගේ ඡන්දය විමසා බලනු ලැබේ.

මීට මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල එකොළහේ ප්‍රාදේශීය ලේකම්වරු 11 දෙනා හා කතරගම කිරිවෙහෙර රාජමහා විහාරය, කතරගම ශ්‍රී අභිනවාරාමය, සෙල්ලකතරගම මහාසේන රජමහා විහාරය, වැඩසිටිකන්ද කතරගම දේවාලය හා කොටබෙරව කුඩා කතරගම දේවාලය යන පූජ්‍ය ස්ථානවල නායක ධුර 06 ඇතුළත් වෙති. බස්නායක නිලමේවරයකුගේ ධුර කාලය අවසාන වූ විට වැඩබලන බස්නායක නිලමේවරයකු පත්කරනු ලබන අතර, බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් පුවත්පත් දැන්වීමක් පළ කර, මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් බස්නායක නිලවරණය පවත්වනු ලැබේ.

මෙනයින් රුහුණු කතරගම මහා දේවාලය සඳහා නව බස්නායක නිලමේවරයකු තෝරා ගැනීමේ නිලවරණයක් යළිත් එළැඹ තිබේ. ඒ අනුව අනිද්දා (28 දින) මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය සමුළු ශාලාවේදී කතරගම මහ දෙවොලේ අභිනව බස්නායක නිලමේවරයා තෝරා පත්කර ගැනෙනු ඇත.

ඊ.එච්. සෝමපාල - කතරගම විශේෂ
http://www.lankadaily.com/latestnews/item/6468-28

Pic Source

0 comments: