බුදුරජාණන් වහන්සේ පස්‌වග මහණුන් ගෙන් ආරම්භ කළ සඟ පරපුර වසරක පමණ කාලයක් ගතවීමෙන් පසුව දලුලා වැඩුණු වෘක්‌ෂයක් සේ බබලන්නට විය. මෙසේ ආරම්භ වූ භික්‌ෂු සමාජය පළමුවරට එක්‌රැස් කොට මහා සංඝ සම්මේලනයක් පැවැත්වූයේ අද වැනි නවම් පුර පසළොස්‌වක පොහොය දිනෙකදීය. මෙම ප්‍රථම සංඝ සම්මේලනයේදී භික්‌ෂු සමාජයේ අග්‍රශ්‍රාවක තනතුරු ප්‍රදානය කිරීම සිදුවුණි. ඒ අනුව සැරියුත් - මුගලන් යන මහරහතන් වහන්සේලා දෙනම පිළිවෙළින් දකුණත් සව්, වමත් සව් වශයෙන් අගසව් තනතුරුවලට පත් කෙරිණි. බුදුරදුන් සිදු කළ මෙම පදවි ප්‍රදානය තුළින් සුදුස්‌සාට සුදුසු තැන ලබාදීමේ බෞද්ධ සම්ප්‍රදාය ආරම්භ විය.
තනතුරු ප්‍රදානයෙන් නොනැවතුණු බුදුරදුන් භික්‌ෂු සමාජයේ ඉදිරි පැවැත්ම සඳහා "ඕවාද ප්‍රාතිමෝක්‌ෂය" දේශනා කිරීම සිදු වූයේත් අද වැනි දිනෙකය. එය බුදු සසුනේ පළමුවැනි විනය නීති මාලාව විය. යම් විටෙක භික්‌ෂූන් වහන්සේලා අතර ආසවට්‌ඨානීය ධර්ම හෙවත් ආශ්‍රවයන් ඉපදීමට හේතුවන ධර්ම පහළ වන විට බුදුරදුන් ඒවා දුරැලීමට විනය ශික්‌ෂා පනවන බවත්, ප්‍රාතිමෝක්‌ෂය දේශනා කරන බවත්, පාරාජිකා පාලියේ දැක්‌වේ. පඨමාභි සම්බෝධි යුගයේ හෙවත් බුද්ධත්වයෙන් මුල් විසිවස තුළ ස්‌වයං ශික්‌ෂණය යටතේ හික්‌මුණු භික්‌ෂු පිරිසට විනය ශික්‌ෂා නොමැති බැවින් "සබ්බ පාපස්‌ස අකරණං..." යනාදී ඕවාද ප්‍රාතිමෝක්‌ෂය දේශනා කිරීම සිදුවිය.
නවම් පුර පසළොස්‌වක පොහෝදා සිදුවූ අනුවේදනීය සිදුවීමක් ලෙස බුදුරදුන් ආයු සංස්‌කාරය අත්හැරීම පෙන්වා දිය හැකිය. අසූවැනි වියට එළඹීමට තෙමසකට පෙර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තීරණය කිරීම මෙම ආයු සංස්‌කාරය අත්හැරීම යන්නෙන් කියවෙයි.
මෙම කරුණු පිළිබඳ විමසීමේදී නවම් පුර පසළොස්‌වක පොහොය දිනය ශාසනික හා ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් දිනයක් බව පැහැදිලිය. එබැවින් ලොව සෑම බෞද්ධ විහාරස්‌ථානයකම මෙම පොහොය දිනය අනුස්‌මරණය කරනුයේ ආමිස හා ප්‍රතිපත්ති පූජා පවත්වමිනි.
ඌරුගමුවේ අස්‌සජි හිමි
http://www.divaina.com/2016/02/22/news04.html
Pic Source
0 comments:
Post a Comment