Pages

Monday, October 10, 2016

සාරසංඛ කල්ප ලක්‍ෂයක්‌ පෙරුම් පිරීමේ අවසන් පරමාර්ථය මෙය නොවේද? මහ රහතුන් වැඩි මග ඔස්‌සේ...

පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස්‌ කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌. 

කුසිනාරා නුවර බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පෑ මොහොතේ මල්ල රජ දරුවන් මොනතරම් හඬා වැටුනාද... සාරිපුත්ත මහරහතන්වහන්සේ පිරිනිවන් පෑවාය කියලා දැනගත්ත මොහොතේ ආනන්ද ස්‌වාමීන්වහන්සේ බුදුරජාණන් වහන්සේට පවසනවා 'භාග්‍යවතුන් වහන්ස, සාරිපුත්ත මහරහතන් වහන්සේ නමැති උතුම් කළ්‍යාණ මිත්‍රයා පිරිනිවන්පෑවාය කියන කාරණය ඇසූ මට දිශාවක්‌ නොපෙනී ගියා. මට මොකුත්ම සිතාගන්න බැරිව ගියා. මාව අප්‍රානික වෙලා ගියා කියලා. ඇයි ආනන්ද ස්‌වාමීන්වහන්සේට ඉහත අපහසුතාවයන් ඇතිවුණේ. ඒ වන විට උන්වහන්සේ කළ්‍යාණමිත්‍ර ආශ්‍රය අනිත්‍යයි කියලා ප්‍රත්‍යක්‍ෂවුණු තත්ත්වයක සිටියේ නැහැ. ඒ නිසාම දුකට පත්වුණා.

පිංවත් ඔබ, කළ්‍යාණමිත්‍ර ආශ්‍රය ඇතිකොට ගනිමින්, කළ්‍යාණමිත්‍ර ආශ්‍රයේ අනිත්‍යභාවය දකින්න. සද්ධර්මය ශ්‍රවණය කරමින්, එම ධර්මදානමය පිංකම්වල අනිත්‍යභාවය දකින්න. නුවනින් මෙනෙහි කරමින්, එම මෙනෙහි කරන සිතිවිලිවල අනිත්‍යභාවය දකින්න. ආර්ය අශ්ඨාංගික මාර්ගය තුළ ගමන් කරමින්, සතර සතිපට්‌ඨාන ධර්මයන් වඩමින්, සප්ත බොඡ්Cධංග මතුකොටගනිමින්, මේ සෑම ධර්මතාවයකම අනිත්‍යභාවය නුවනින් දකින්න. සතිය තුළ සිටිමින්, සතියේ අනිත්‍යභාවය දකින්න. ප්‍රීතිය පස්‌සද්ධිය තුළ සිටිමින්, ප්‍රීතිය පස්‌සද්ධියේ අනිත්‍යභාවයම දකින්න. රූපය ඇසුරින් හේතුඵලයක්‌ නිසා සකස්‌වෙන ධර්මතාවයන්ට බැඳෙන්නේ නැහැ. ඒවා නිත්‍ය, ස්‌ථිර වශයෙන් දකින්නේ නැහැ. එම ඵලයන් මමත්වයේ දැඩිභාවයෙන් ගන්නේ නැහැ. පංච උපාදනස්‌කන්ධ මාරයා, මාරයා ලෙසින්ම දකිනවා. පංච උපාදානස්‌කන්ධ මාරයා තුළින්ම, පංච උපාදානස්‌කන්ධ මාරයාගෙන් මිදීමේ දිශාව මතුකොටගන්නවා. කළ්‍යාණ මිත්‍ර ඇසුරේ පටන්, තමන්තුළ සකස්‌වෙන සෑම ධර්මයක්‌ම නිත්‍ය වශයෙන්, සුබ වශයෙන්, ආත්මය වශයෙන් දැකීම පංච උපාදානස්‌කන්ධ මාරයාව පෝෂණය කිරීමක්‌ වෙනවා.

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, පංච උපාදානස්‌කන්ධ ධර්මයන්, අවබෝධ නොකිරීමෙන් සත්ත්වයා අවුල්වූ නූල් පන්දුවක්‌ සේ ව්‍යාකූළය කියලා. සැබෑ සැපයෙන් පහවූ නරක ගති ඇති විසිරුණු සිත් ඇතිව සසර භවගමන දික්‌කොට ගන්නවාය කියලා. පංචඋපාදනස්‌කන්ධ ධර්මථාවයන් කෙරෙහි සත්ත්වයාගේ තෘෂ්ණාව වැඩෙනකොට, තෘෂ්ණාව හේතුවෙන් උපාදානය සකස්‌වෙනවා. උපාදානය නිසා භවය සකස්‌වෙනවා. භවය නිසා ජාති, ජරා, ව්‍යාධි, මරණ දුක උරුමවෙනවාය කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. 

මහත් රුකක්‌ තිබෙනවා. එහි යටට බසිනා මුදුන් මුලත්, සතර අතට ගමන්ගත් මුල් වේද, ඒ සියලුම මුල් පසේ ඕජාව උඩට ගෙනයනවා. ඒම හා රුක, ඒ ආහාර ඇතිසේ, ආහාර කෙරෙහි තෘෂ්ණාවෙන් උපාදානයන් ඇතිසේ අතිදීර්ඝ කාලයක්‌ පවතිනවා වගේ, සත්ත්වයා, ඇසට, කනට, නාසයට, දිවට, ශරීරයට, මනසට අරමුණුවන රූපයන් කෙරෙහි ඇතිකොටගන්නා වූ ඡන්ද රාගය නිසාම, භවගමනේ දීර්ඝ කාලයක්‌ ගමන් කරනවාය කියලා බුදුරජාණන්හන්සේ දේශනා කරනවා. 

වරක්‌ සාරිපුත්ත මහරහතන් වහන්සේ තම ශිෂ්‍ය ස්‌වාමීන්වහන්සේලාගෙන් විමසනවා, අන්‍ය තීර්ථකයින් ඔබලාගෙන් ප්‍රශ්න කළොත්, ඔබලාගේ ශාස්‌තෘන්වහන්සේ මොනවිදිහේ ධර්මයක්‌ද දේශනා කරන්නේ කියලා ඔබලා මෙහෙමයි පිළිතුරු දෙන්න ඕනේ කියලා.

'මාගේ ශාස්‌තෘන්වහන්සේ වන බුදුරජාණන්වහන්සේ ඡන්ද රාගය දුරුකිරීම ගැනයි දේශනා කරන්නේ' කියලා පිළිතුරු දෙන්න.

'කුමන ඡන්ද රාගය දුරුකිරීමටද? රූපය කෙරෙහි, වේදනාව, සංඥාව, සංස්‌කාර, විඤ්ඤාණය කෙරෙහි ඡන්දරාගය දුරුකිරීම ගැනයි බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ' කියලා.

'එවිට එම අන්‍ය තීර්ථකයන් ඔබෙන් ඇසුවහොත්, කුමන් ආදීනවයන් දැකලද රූප, වේදනා, සංඥා, සංස්‌කාර, විඤ්ඤාණ වෙනස්‌වී යනකොට, විකෘතිවී යනකොට දුකට පත්වෙනවා. සත්ත්වයා විඳින ඉහත ආදීනවයන් දැකලයි බුදුරජාණන්වහන්සේ රූප, වේදනා, සංඥා, සංස්‌කාර, විඤ්ඤාණ ධර්මතාවයන් කෙරෙහි ඡන්දරාගය දුරුකිරීම දේශනා කරන්නේ' කියලා සාරිපුත්ත මහරහතන්වහන්සේ දේශනා කරනවා.

දැන් පිංවත් ඔබට වැටහෙනවා, ලොව්තුරා බුදුරජාණන්වහන්සේනමක්‌, සාරසංඛ කල්ප ලක්‍ෂ ගණනාවක්‌ දස පාරමී ධර්මයන් පූර්ණකොට, උතුම් සම්මා සම්බෝධිය සාක්‍ෂාත්කොටගැනීමේ අවසාන පරමාර්ථය වෙන්නේ ලෝක සත්ත්වයාට පංච උපාදනස්‌කන්ධය කෙරෙහි ඇති ඡන්ද රාගය දුරුකිරීමේ මාර්ගය මතුකොටදීමටය කියන කාරණය.

ඉදිරිපත් කිරීම - ඉන්ද්‍රජිත් සුබසිංහ, indrajith.media@gmail.com
http://www.divaina.com/2016/10/09/feature08.html

0 comments: