Pages

Monday, October 10, 2016

ඉන්දියාව සතුටු කිරීමට පකිස්‌තානයේ කන මිරිකීම

Image result for india pakistan2000 වසර ලංකා හමුදාවන්ට සතුටුදායක වසරක්‌ වූයේ නැත. එම වසරේ අප්‍රේල් 22 වැනිදා අලිමංකඩ කඳවුර කොටි සංවිධානය අතට පත්වීම එතෙක්‌ මෙතෙක්‌ ශ්‍රී ලංකා හමුදාව ලැබූ බරපතළ පරාජයක්‌ විය. මෙහිදී එවක රජයේ ප්‍රධානීන්ට මෙන්ම හමුදාවට ද බලවත් ප්‍රහාරක ආයුධවල හිඟතාවක්‌ තිබෙන බව අවබෝධ විය. කොටි සංවිධානය යාපනය අල්ලා ගැනීම සඳහා මෙහෙයුම් කරද්දී හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඉන්දියාවේ සහාය පැතුවද ඇයට ලැබුණු පිළිතුර වූයේ කුමක්‌ද? යාපනයේ සිටින හමුදා භටයන් හතළිස්‌ දහසක්‌ දකුණට ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය නෞකා සැපයීමට හැකි බව පමණකි. ප්‍රහාරක අවි සැපයීම දිල්ලිය තරයේ ප්‍රතික්‍ෂේප කළේය. මේ අවස්‌ථාවේදී හිටපු ජනාධිපති කුමාරතුංග මහත්මිය පකිස්‌තාන හමුදා පාලක ෆර්වේස්‌ මුෂාරෆ් අමතා තමන්ට මල්ටි බැරල් අවි ලබා දෙන ලෙස ඉල්ලා සිටියාය. එහිදී ජනාධිපති මුෂාරෆ් පැය 24 ක්‌ ඇතුළත මේ බලගතු ප්‍රහාරක අවි සපයන බවට පොරොන්දු වූයේය. 2000 වසරේ මැයි 19 වැනිදා යාපනයේ පලාලි හන්දිය නම් ස්‌ථානයේ සිට ප්‍රථම වරට පාකිස්‌තානයෙන් සැපයූ මල්ටි බැරල් අවි ක්‍රියාත්මක විය. මේ ප්‍රහාර පුනරීන් වෙත එල්ල වීමත් සමඟ ත්‍රස්‌තවාදීහු අන්දමන්ද විය. එයින් පසු චෙක්‌ රාජ්‍යයෙන් ද බලගතු මල්ටි බැරල් ප්‍රහාරක අවි සැපයූ අතර කොටින්ගේ යාපනය අල්ලා ගැනීමේ මෙහෙයුම එයින්ම නතර විය. පකිස්‌තානය අපේ දුකටත්, සැපටත් එක සේ සිටි මිත්‍ර රාජ්‍යයකි. ශ්‍රී ලංකා හමුදාවට පකිස්‌තානයෙන් ලැබුණු සහාය කොටි සංවිධානය සැම විටම භීතියට පත් කළේය. එම නිසාම කොටි හිතවාදී මාධ්‍ය පකිස්‌තානයට විරුද්ධ පුවත් පළකරමින් කොළඹ නගරය ඉන්දීය විරෝධී මෙහෙයුම්වල ප්‍රධාන මධ්‍යස්‌ථානයක්‌ බව නිරන්තරව ප්‍රකාශ කළහ. පකිස්‌තාන ගුවන් හමුදාව මෙරට ගුවන් හමුදාවට බංකර් බස්‌ටර් බෝම්බ ලබා දෙනු ලැබූ විට ඉන්දීය රෝ ඔත්තු සේවාව කලබල වූ බව අප අමතක කළ යුතු නැත.

නොවැම්බර් 9 හා 10 දෙදින පුරා පකිස්‌තානයේ ඉස්‌ලාමාබාද් නුවර පැවැත්වෙන සාක්‌ සමුළුවට සහභාගි වීමට සුදුසු තත්ත්වයක්‌ නිර්මාණය වී නැති බව කොළඹ විදේශ අමාත්‍යාංශය මගින් ප්‍රකාශ කිරීමත් සමඟය. ලංකාවේ මෙම ස්‌ථාවරය දිල්ලි නුවර විදේශ අමාත්‍යාංශයේ බ්‍රාහ්මණ වංශිකයන්ගේ බලවත් සතුටට හේතු විය. එහෙත් මේ හරහා ලංකාව සිය පකිස්‌තාන මිතුරා අතරමං කර ඇතැයි අපට සිතේ. සැප්තැම්බර් 18 වැනිදා කාශ්මීරයේ යුරී හි පිහිටි ඉන්දීය හමුදා කඳවුරට එල්ල වූ ප්‍රහාරයෙන් සෙබළු 19 ක්‌ මියයැම ගැන නවදිල්ලි රජය බලවත් කෝපයට පත් විය. මේ නිසා මෝදි ආණ්‌ඩුව ප්‍රකාශ කර සිටියේ තමන් ඉස්‌ලාමාබාද් සාක්‌ සමුළුව වර්ජනය කරන බවයි. ඒ අනුව යමින් ඇෆ්ගනිස්‌ථානය ද බංගලාදේශය ද සාක්‌ සමුළුව වර්ජනය කිරීමට තීරණය කළේය. වෙනදා ඉන්දියාව හා පාකිස්‌තානය අතර ප්‍රශ්න ඇති වූ විට මැදහත් ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරන කොළඹ ආණ්‌ඩුව මෙවර ඉන්දියාවේ පැත්ත ගැනීම කනගාටුදායකය. ත්‍රස්‌තවාදයට එරෙහි වීම අනිවාර්යය. ඒ ගැන තර්කයක්‌ නැත. දකුණු ආසියාවේ කවර රටක්‌ හෝ ත්‍රස්‌තවාදයට යම් සහායක්‌ සපයන්නේ නම්, එයට එරෙහි විය යුතුය. වසර තිහක්‌ තිස්‌සේ කොටි ත්‍රස්‌තවාදයෙන් බැට කද්දී එය මර්දනය කිරීම සඳහා නොපැකිළව අපට සහාය දුන් පකිස්‌තාන මිත්‍රයා අතරමං කිරීමට යහ පාලන ආණ්‌ඩුව තීරණය කළේ මන්ද? 2015 ජනවාරි 08 වැනිදා යහපාලන ආණ්‌ඩුව ඇති කිරීමට මූලික වූයේ රෝ ඔත්තු සේවය ද?

2005 සිට 2015 දක්‌වාම මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව පවත්වාගෙන ගිය චීන හා පකිස්‌තාන හිතවාදිත්වයට එරෙහිව යා යුතු යෑයි යහපාලන ආණ්‌ඩුවේ ප්‍රතිපත්ති තීරකයින් සිතා සිටීද? කෙසේ වෙතත් යහපාලන ආණ්‌ඩුව අගමැති මෝදි සතුටු කිරීමට පකිස්‌තානයේ කන මිරිකා ඇති බව නම් පැහැදිලිය. ජාත්‍යන්තර වශයෙන් පාකිස්‌තානය හුදෙකලා කිරීමට ඉන්දියාවට බරපතළ වුවමනාවක්‌ ඇති බව ප්‍රකටය. ඉන්දීය විදේශ අමාත්‍ය ශුෂ්මා ස්‌වරාඡ් මහත්මිය එක්‌සත් ජාතීන්ගේ මහ සමුළුවේදීත් අවධාරණය කළේ මෙම ස්‌ථාවරයයි. නමුත් නොබැඳි රටක්‌ වන ශ්‍රී ලංකාව පකිස්‌තානය හුදෙකලා කිරීමේ ඉන්දීය වුවමනාවට කිසිසේත් සහාය දිය යුතු නැත.

චතුර පමුණුව
http://www.divaina.com/2016/10/09/forign.html

Pic Source

0 comments: