Pages

Monday, October 10, 2016

බුදු දහමට ප්‍රමුඛස්ථානය

Image result for buddhism sri lankaඇමති මණ්ඩලය විසින් නව ව්‍යවස්ථාවක් පිලිබඳ මහජන අදහස් ලබා ගැනීමට කමිටුවක් පත් කලේ 2015 වසරේ දීය. දහනව දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුවේ සභාපති ධූරයට පත් කලේ වාමාංශික නීතිඥයෙකු වන ලාල් විජේනායක මහතාය.  එබැවින් එය ලාල් විජේනායක කමිටුව ලෙස ප්‍රසිද්ධ විය.  මෙම කමිටුවේ වාර්තාව 2016 මැයි මාසයේ දී ආණ්ඩුවට භාර දෙනු ලැබිණි.  එහි අරුම පුදුම නිර්දේශ ගණනාවක් අඩංගු විය.  බුදු දහමට ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති ප්‍රමුඛස්ථානය අහිමි කිරීම ද ඒ අතරේ විය.

මේ පිලිබඳ ජනපතිගේ ප්‍රතිචාරය වූයේ එය හුදෙක් මහජන අදහස් ලබා ගත් කමිටුවක් පමණක් බවයි.  නමුත් එය සැබෑවක් නොවේ.  එකී කමිටුව මහජන අදහස් ලබා ගැනීමෙන් නොනැවති සිය නිර්දේශ ද ඉදිරිපත් කර ඇත.  කමිටු සාමාජිකයින් 19 දෙනාගෙන් බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබා දෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නව වන වගන්තිය ඇතුලත් දෙවන පරිච්ඡේදය ඒ ලෙසින්ම පවත්වා ගත යුතු බව පැවසුවේ දෙදෙනෙකු පමණි.  ඒ ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් සහ සරසවි ඇදුරියක වන නාලනි දමයන්ති යන අයයි.

මෙය ආණ්ඩුව අපේක්ෂා කළ ප්‍රතිඵලය විය යුතුය.  ඇමති මණ්ඩලය විසින් මෙම දහනව දෙනා පත් කරන්නේ ඔවුන්ගේ පසුබිම හොඳින් දැන ගෙනයි.  වික්‍රමබාහු කරුණාරත්න මහතා කමිටුවේ සිටියේ නම් ඔහු නව වන වගන්තිය පිලිබඳ ලබා දෙන නිර්දේශය මුළු රටටම අනුමාන කළ හැක.  එමෙන්ම නලින් ද සිල්වා මහතා කමිටුවේ සිටියේ නම් ඔහුගේ නිර්දේශය ද ඒ අයුරින්ම අනුමාන කළ හැක.  මක් නිසා ද යත් ඔවුන්ගේ මතවාද රටම දන්නා බැවිනි.  ඒ අනුව ඇමති මණ්ඩලය පත් කළ කමිටුවේ සාමාජිකයින්ගේ මත වාද ඇමති මණ්ඩලය නොදැන සිටිය නොහැක.

මෙම කමිටුව හරහා ආණ්ඩුව අරමුණ දෙකක් ඉටු කර ගැනීමට වෙර දරා ඇති බව පෙනේ. ඒ මහජනතාව නව වන වගන්තිය වෙනස් කළ යුතුය යන අරමුණක සිටින බව සමාජ ගත කිරීම සහ එවැනි සංශෝධනයක් පිලිබඳ සමාජ ප්‍රතිචාරය මැන බැලීමයි.  ඒ අනුව ව්‍යවස්ථා සංශෝධනයට පෙර විජේනායක කමිටුව පත් කර ඇත්තේ මුට්ටිය දමා බැලීමටයි.

මෙම නිර්දේශයට සංඝ සමාජයෙන් බලවත් විරෝධයක් මතු නොවිණි.  එයින් එඩිය ලැබූ චන්ද්‍රිකා මැතිණිය පැවසුවේ රට අනාගමික කිරීමට විරුද්ධ වන්නේ බෞද්ධ අන්තවාදින් පමණක් බවයි.  ඒ වගේම දෙමළ බෙදුම්වාදින්ට ද මෙම නිහඬතාවයෙන් එඩියක් ලැබිණි.  වෙනදා උතුරේ සිට දෙමළෙන් කියූ තානාපති කාර්යාල වල දී ඉංග්‍රිසියෙන් රහසෙන් මිමිණූ කතා සිංහලෙන් කීම ඇරඹූහ.  දෙමළ සංධානයේ සුමන්දිරන් මහතා සිංහල රූපවාහිනි වැඩසටහන් දෙකක දී ම බුදු දහමට ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති තැන ඉවත් කළ යුතු බවට පැවසීය.

අවසානයේ දී බෞද්ධයින් වෙනුවෙන් නිහඬතාවය බින්ඳේ ලංකාවේ කතෝලිකයින්ගේ මෙන්ම ලෝක කතෝලික ප්‍රජාවගේ ද නායකයෙකු වන මැල්කම් රංජිත් කාදිනල්තුමාය.  ඔහු නව වන වගන්තිය වෙනස් කිරීමට විවෘතවම විරෝධය පල කලා පමණක් නොව එසේ නොකරන බවට සහතිකයක් ජනපතිගෙන් ලබා ගැනීමට ද කටයුතු කලේය.  චන්ද්‍රිකා මැතිණියට අනුව නම් කාදිනල්තුමා බෞද්ධ අන්තවාදියෙකි.  එමෙන්ම නව වන වගන්තිය ව්‍යවස්ථාවට එක් කලේ ලංකාවේ බිහි වුණු ප්‍රමුඛතම මාක්ස්වාදි නායකයෙකි.  ඒ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතාය.  චන්ද්‍රිකා මැතිණියට අනුව ඔහු ද බෞද්ධ අන්තවාදියෙකි.  මාක්ස්වාදි නායකයෙකු එකතු කර කතෝලික නායකයෙකු රැක ගැනීමට සටන් වදින මෙම වගන්තියේ වටිනාකම තේරුම් ගැනීමට නම් අතීතයට යා යුතුය.

ලංකාව සහ බුදු දහම අතර ඇත්තේ සුවිශේෂී සබඳතාවයකි.  මිහිඳු හිමියන්ගේ පැමිණීමේ සිට අද දක්වා අඛණ්ඩව වසර 2,300කට අධික කාලයක් ලංකාවේ බහුතර ජනතාවගේ ආගම බුදු දහමයි. ඉන්දියාවෙන් අතුරුදහන් වූ පිවිතුරු බුදු දහම රැකුණේ ලංකාවේය.  ඉන් පසු ලංකාවෙන් අග්නි දිග ආසියානු රටවලට ව්‍යාප්ත වුණු බැවින් අදටත් රටවල් පහක බහුතර ජනතාව අදහන්නේ ථේරවාදි බුදු දහමයි.  පිවිතුරු බුදු දහමේ මූලස්ථානය බවට ලංකාව පත් වන්නේ අහඹුවකින් නොවේ.

බුදු දහම අතීතයේ පැවැතියේ අතිශයින්ම අහිංසක ආගමක් ලෙසිනි.  එබැවින්ම බෞද්ධ රාජ්‍යයන් ඉතා පහසුවෙන් යටත් කර ගෙන බොදු ශිෂ්ටාචාර වැනසීමට අන්‍යාගමික ආක්‍රමණිකයින්ට හැකි විය.  මේ පිලිබඳ කදිම නිදසුන වන්නේ මගධ රාජ්‍යයේ පැවැති නාලන්දා සරසවියයි.  1193 දී මහමුද් බින් බක්තියාර් කිල්ජි විසින් මගධය ආක්‍රමණය කරන විට නාලන්දාවේ සිසුන්, ගුරුවරුන් සහ පරිපාලකයින් ලෙස දහ දහසකට අධික භික්ෂුන් වහන්සේලා වැඩ සිට ඇත.  උදෑසන දානය වලඳමින් සිටි භික්ෂුන් වහන්සේලා හය සීයක පමණ කිල්ජිගේ හමුදාව කඩු ලෙල දෙමින් කන්ද මුදුනට පැමිණෙනවා දුටහ.  එවිට භික්ෂුන් වහන්සේලා කලේ දානය වැලඳීම නවතා භාවනා යෝගී වීමයි.  ඉතා පහසුවෙන් භික්ෂූන් දස දහසම මරා දැමූ මුස්ලිම් අන්තවාදියෝ නාලන්දාව ගිනි තබා විනාශ කළහ.  නාලන්දාවේ පැවැති දැවැන්ත පුස්තකාලය මාස තුනක් පුරා දැවුණු බව වාර්තා වීමෙන් එහි තිබුණු පොත් ගණන අනුමාන කළ හැක.  නාලන්දාව ගිනි තැබීම සනිටුහන් කලේ ඉන්දියානු බොදු ශිෂ්ටාචාරයේ අවසානය බව ඉතිහාසඥයින්ගේ මතයයි.  එදා භාවනා යෝගි වීම වෙනුවට භික්ෂුන් වහන්සේලා විසින් අත රැඳුනු පාත්‍ර දස දහසෙන් ආක්‍රමණික හය සීයට පහර දුන්නේ නම් බොහෝ විට ඉන්දියාව තවමත් බෞද්ධ රටක් වීමට ඉඩ තිබුණි.

ලංකාවේ තත්වය ද ඉන්දියාවට සමානය.  බෞද්ධයින් අතිශයින්ම අහිංසක ලෙස කටයුතු කළ බැවින් අශ්ව වෙළඳාමේ පැමිණි සේන සහ ගුත්තිකට ද රාජ්‍ය බලය පැහැර ගැනීමට හැකි විය.  නිරතුරුව සතුරු ආක්‍රමණ වලට ගොදුරු විය.  දුටුගැමුණු යුගයේ දී බුදු දහමට නැවුම් අර්ථ කතනයක් ලැබිණි.  සිය ආත්මාරක්ෂාව වෙනුවෙන් සටන් කිරීමට භික්ෂුන් වහන්සේට හැකි අයුරින්ම බෞද්ධයින්ට ද සිය රාජ්‍යයේ ආරක්ෂාව උදෙසා සටන් කළ හැකි බවයි.  ඒ අනුව ආක්‍රමණික එලාරට එරෙහිව යුද වැදුණු සටන් බිමට පිරිත් දෙසමින් ද අනුශාසනා කරමින් ද මහ සඟ රුවන ද වැඩම කළහ. එදා පටන් ලංකාවට ආක්‍රමණයක් ඇති වුණු විට ඊට එරෙහිව පෙරමුණ ගත්තේ සඟ රුවනයි.  සේනා රැස් කලේ ද පුහුණු වීම් කලේ ද ආයුද සැඟ වූයේ ද පන්සලේය. ක්‍රි පූර්ව දෙවන සියවසේ ‍ථේරපුත්තාභය ගේ සිට 1848 අවසන් නිදහස් අරගලයේ කුඩහපොල හිමි දක්වා ම අපට සිටියේ සටන්කාමි භික්ෂූන්ය.

සිංහල බෞද්ධයින් මව්බිම රැක ගැනීමට ආයුද ගත් නමුත් බොදු හික්මීම හේතුවෙන් කිසිම දිනක විදේශීය රටක් අත්පත් කර ගැනීමට වෙර නොදැරූහ.  ලංකාව චෝල මුම්මුඩ අධිරාජ්‍යයට ඈඳෑ ගත් විට ඊට එරෙහිව සටන් කර දකුණු ඉන්දියාවට ගොස් අධිරාජ්‍යය සුණු විසුණු කිරීමට පළමු විජයබා රජු සමත් විය.  නමුත් තමන් දකුණු ඉන්දියාව පරාජය කළ බවට සෙල් ලිපියක ලියා තබා ඔහු නැවත ලංකාවට පැමිණියේය.  ගජබා රජුගේ ඉන්දියානු ආක්‍රමණය ද පැරකුම් රජුගේ බුරුම ආක්‍රමණය ද සිදු වුණේ හුදෙක් සතුරා පැරදවීමට මිස භූමිය හෝ අනෙකුත් සම්පත් කොල්ලා කෑමට නොවේ.

මංකොල්ලයේ නොයෙදෙන නමුත් ආත්මාරක්ෂාවට සටන් කිරීම සිංහල බුද්ධාගමයි.  බුදු දහම උපන් ඉන්දියාවෙන් බුදු දහම අතුරුදහන් වූ විට එහි මූලස්ථානය වුණේ ලංකාවයි.  එබැවින් වතීකානුවට කතෝලික දහම රැකීමට ද සෞදි අරාබියට ඉස්ලාම් දහම රැකීමට ද ඇති වගකීම බුදු දහම වෙනුවෙන් ඇත්තේ ලංකාවටයි.  එමෙන්ම වසර 2,300 අඛණ්ඩව බහුතර ජනතාව එකම ආගමක් ලෝකයේ අන් කිසිම රටක අදහා නැත.  එබැවින් ලංකාව සහ බුදු දහම අතර ඇත්තේ ලොව අන් කිසිම රටකට කිසිම ආගමක් සම්බන්ධයෙන් නොමැති සුවිශේෂී සම්බන්ධයක්ය.

ඉතාලියේ රාජ්‍ය ආගම කතෝලික ආගමයි.  එංගලන්තයේ ඇංග්ලිකානු ක්‍රිස්තියානි ද නෝර්වේ රෙපරමාදු ක්‍රිස්තියානි ද ග්‍රීසියේ ඔර්තොඩොක්ස් ක්‍රිස්තියානි ද රාජ්‍ය ආගම් වේ.  භූතානයේ රාජ්‍ය ආගම වන්නේ බුදු දහමයි.  තුර්කිය, බංගලි දේශය සහ ඉන්දුනීසියාවේ හැර අන් සෑම මුස්ලිම් බහුතර රටකම ඉස්ලාම් රාජ්‍ය ආගම වේ.  ඒ සෑම රටකටම වඩා ලංකාවට සුදුසුකම් ඇතත් ලංකාවේ දී බුදු දහමට හිමි වී ඇත්තේ රාජ්‍ය ආගම නොව ප්‍රමුඛස්ථානය පමණි.  අනාගත සංශෝධනයක දී සිදුවිය යුත්තේ බුදු දහම රාජ්‍ය ආගම කිරීම මිස තිබෙන ප්‍රමුඛස්ථානය ද අහිමි කිරීම නොවේ.

– උදය ප්‍රභාත් ගම්මන්පිල

Pic Source

0 comments: