Pages

Sunday, February 26, 2017

ඉන්දීය විදේශ ලේකම්ගේ වැදගත් පණිවුඩය!

දෙමළ සන්ධානය සැමවිටම කටයුතු කරන්නේ දිල්ලියේ උපදෙස්‌ අනුව බව රහසක්‌ නොවේ. 2007 පෙර නම් ඔවුන්ට කොටි දේශපාලන අංශ නායක තමිල් සෙල්වම්ගේ දේශනවලටද කන්දෙන්නට සිදුවිය. නමුත් ගුවන් ප්‍රහාරයෙන් කොටි දේශපාලන අංශ නායකයා එලොව ගිය විට කිළිනොච්චි දේශපාලන සාකච්ඡා අවසන් විය. 2009 මැයි මාසයෙන් පසුව කොටි බලපෑමෙන් තොරව ආර්. සම්බන්ධන් මහතා ඇතුළු කණ්‌ඩායමට නව දේශපාලන කටයුතු කිරීමට හැකි වුවද ඉන්දීය බලපෑමෙන් නම් මිදීමට නොහැකි වී ඇත.

ලංකාවට පැමිණෙන සෑම ඉන්දීය දේශපාලකයන් මෙන්ම රාජත්‍රාන්තිකයන්ද දෙමළ සන්ධානය මුණගැසී නොගියේ නම් එය ඉතා කලාතුරකිනි. දිල්ලියේ බ්‍රාහ්මණවංශික විදේශ සේවා නිලධාරීන් කොළඹ ආණ්‌ඩුව පාලනය කිරීම සඳහා යොදා ගන්නා එක්‌ බලවේගයක්‌ වන්නේ දෙමළ ජාතික සන්ධානයය. 80 දශකයේ මුල් භාගයේදී දෙමළ සන්නද්ධ කණ්‌ඩායම්වලට ඉන්දීය අගමැතිනී ඉන්දිරා ගාන්ධිගේ උපදෙස්‌ මත ආයුධ පුහුණුව හා ආධාර ලබා දුන්නද අවසානයේ ඒ බිහිකළ සර්පයාම රජිව් ගාන්ධි බිලිගන්නා තෙක්‌ ඉන්දියාවට ප්‍රඥාව පහ වූයේ නැත. 

2013 උතුර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට යෝජනා කෙරුණු විට මහ ඇමැති අපේක්‍ෂකයා විය යුත්තේ කවුරුද යන්න පිළිබඳව දෙමළ සන්ධානයේ මත ගැටුමක්‌ විය. සමහරු මාවෙයි සේනාධිරාජා යෝජනා කළ අතර තවත් පිරිසක්‌ කොළඹ කේම්බ්‍රිඡ් පෙදෙසේ වෙසෙන හිටපු ශ්‍රෝෂ්ඨාධිකරණ විනිසුරු සී. වී. විග්නේෂ්වරන් යෝජනා කර සිටියහ. නමුත් අවසාන තීරකයා වූයේ කවුද? ඉන්දීය ආණ්‌ඩුවක්‌ එවක ඉන්දීය ජාතික ආරක්‌ෂක උපදේශකගේ ලංකා ගමනින් පසුව දෙමළ සන්ධානය නිවේදනය කර සිටියේ නව මහ ඇමැති අපේක්‌ෂකයා වන්නි විශ්‍රාමලත් ශ්‍රෝෂ්ඨාධිකරණ විනිසුරු විග්නේෂ්වරන් බවයි. පුරා වසර 65 ක්‌ දකුණේ සිංහලයන් සමඟ ගතකළ විග්නේෂ්වරන් උතුරු මහ ඇමැති ධුරයට පත්වීමෙන් පසු උග්‍ර දෙමළ ජාතිවාදියකු විය. ඔහු වර්තමානයේ කටයුතු කරන්නේ දෙමළ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතාගේ උපදෙස්‌ පරිදි නොව කොටි හිතවාදී දෙමළ ඩයස්‌ පෝරාවේ උපදෙස්‌ අනුව බව රහසක්‌ නොවේ. විග්නේෂ්වරන්ගේ මෙම ක්‍රියාකලාපය ගැන ඉන්දියාව පසුවන්නේ සතුටින් නම් නොවේ. තමන්ගේ තේරීම පරා වළල්ලක්‌ වී ඇති බව ඉන්දීය විදේශ සේවා නිලධාරීහු අවබෝධ කරගෙන සිටිති.

දින දෙකක සංචාරයක්‌ සඳහා ලංකාවට පැමිණි ඉන්දීය විදේශ ලේකම් එස්‌. එස්‌. ෂන්කර් මහතා මෙරට ජනපති අගමැතිට අමතරව සුපුරුදු පරිදි දෙමළ සන්ධාන මන්ත්‍රී කණ්‌ඩායමද හමුවිය. විපක්‌ෂ නායක ආර්. සම්බන්ධන් ප්‍රධාන මන්ත්‍රී පිරිසක්‌ මේ හමුවට සහභාගිවූ අතර එහිදී ඉන්දීය විදේශ ලේකම්වරයා ඉතා වැදගත් උපදෙසක්‌ ලබාදී තිබිණි. එය කවරක්‌ද? උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමේ ඉල්ලීම අත්හරින ලෙස දෙමළ සන්ධානයට දැනුම් දීමයි.

මෙය ඉතා වැදගත් කරුණකි. 87 දී දෙමළ ඊළාම්වාදීන් සතුටු කිරීමට ඔවුනට වරදානයක්‌ ලෙස උතුරු නැගෙනහිර එක්‌ කිරීමට එවක ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ලංකා ආණ්‌ඩුවට බලකල බව රහසක්‌ නොවේ. මේ සියල්ල සිදුවූයේ 1987 ජුලි 29 වැනිදා අත්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුම නිසාය. එයින් වසර 30 කට පසුව ඉන්දියාවට තමන් කළ ඓතිහාසික වැරැද්ද ගැන වැටහීමක්‌ ලැබී ඇත්ද? 1988 දී උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන ලද අතර එහි අගනුවර ලෙස ප්‍රකාශයට පත් කරන ලද්දේ ත්‍රිකුණාමලයයි. 2006 දී ශ්‍රෝෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවක්‌ මත 2007 ජනවාරි 01 වැනිදා සිට උතුරු නැගෙනහිර පළාත් වෙන් කරන ලදී.

වර්තමාන යථාර්ථය ගැන ඉන්දියාව අවබෝධ කර ගෙන ඇති සෙයකි. නැගෙනහිර පළාතේ මහ ඇමැතිවරයාද මුස්‌ලිම් ජාතිකයෙක්‌ හෙයින් මේ පළාත් දෙක ඒකාබද්ධ කිරීම ප්‍රයෝගික නොවන යථාර්ථයක්‌ බවට පත්වී ඇති බව දිල්ලියට හැඟී ගොස්‌ ඇත මෙම පණිවුඩය දෙමළ සන්ධානයට ලබාදුන්නේ ප්‍රථම වරටය. මෙය කොටි හිතවාදී ඊළාම්වාදීන් බලාපොරොත්තු වූ තත්ත්වයක්‌ නම් නොවේ.

උතුරු පළාත් මහ ඇමැති විග්නේෂ්වරන් ඝාතනයේ මෙන්ම මඩකලපුවේදීත් "දෙමළුනි නැගිටිව්" නොහොත් එළුඟ තමිල් වැඩසටහන් පවත්වමින් ප්‍රකාශ කර සිටියේ කවරක්‌ද? උතුරු නැගෙනහිර ඒකාබද්ධකර ෆෙඩරල් විසඳුමක්‌ තමන්ට අවශ්‍ය බව නොවේද? නමුත් දැන් දෙමළ සන්ධානයේ දිල්ලි න්‍යායාචාර්යවරුන් උතුරු නැගෙනහිර එක්‌ කිරීම සුදුසු නොවන බව ප්‍රකාශ කරති. ඉන්දීය විදේශ ලේකම්වරයා චීනයට යැමට පෙර කොළඹට පැමිණ ලබාදුන් වැදගත්ම පණිවුඩය එයයි.

උතුරු නැගෙනහිර එක්‌ කිරීමට එරෙහිව ඉන්දීය ස්‌ථාවරය ගැන උතුරු මහ ඇමැතිවරයා කවරක්‌ ප්‍රකාශ කරයිද යන්න අපට පැහැදිලි නැත. නමුත් ඉන්දියාව මේ ස්‌ථාවරය ගෙන ඇත්තේ උතුරු මහ ඇමැතිවරයාගේ ජාතිවාදී ව්‍යාපාරයටත් යම් පිළිතුරක්‌ ලබා දීමට විය හැකිය. දෙමළ සන්ධානයේ පාර්ශ්ව දෙකක්‌ බිහිව ඇති බව පැහැදිලි කරුණකි. ඒ සම්බන්ධන් පාර්ශ්වය හා විග්නේෂ්වරන් පාර්ශ්වයයි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය වඩා උනන්දුවන්නේ සම්බන්ධන් විපක්‌ෂ නායකවරයාගේ පාර්ශ්වය පිළිබඳව මිස ඩයස්‌පෝරාව වෙනුවෙන් ඩෙඟා නටන විග්නේෂ්වරන්ලා ගැන නම් නොවේ.

චතුර පමුණුව
http://www.divaina.com/2017/02/26/forign.html

0 comments: