Pages

Sunday, September 10, 2017

පණ්‌ඩුකාභය රජ කතාවේ නොදන්නා කතාව

පඬුවස්‌දෙව් රජුට දාව භද්දකච්චායනා ශාක්‍ය කුමරිය පුතුන් දහදෙනකු හා එක්‌ දියණියක්‌ ලබයි. පුතුන් දහදෙනාගේ වැඩිමල් කුමරු අභයයි. බාලම දියණිය අතිශය රූමත් විය. දුටු දුටුවන් ඇගේ රූපයෙන් උමතු වූ බැවින් ඇය 'උන්මාද චිත්‍රා' නම් වූවාය. අනාගතය දකින බමුණෝ චිත්‍රාට දරුවෙක්‌ ඉපදුණහොත් ඔහු මයිලණුවන් මරා දමන බව කියති. සහෝදර කුමාරවරුන් ඒ අසා චිත්‍රා මැරීමට සැරසෙති. වැඩිමල් අභය කුමරු ඒ වළක්‌වයි. කිසිවෙකුටත් ළඟාවිය නොහැකි උස්‌ එක්‌ටැම්ගෙයක සේවක රැකවල් මැද චිත්‍රා කුමරිය නවත්වයි. ඒ එක්‌ටැම්ගේ දොර කිසිවෙකුට ඇතුළු විය නොහැකි පරිදි රජුගේ යහන් ගබඩාව අසල විය.

පඬුවස්‌දෙව් රජු කල භද්දකච්චානා කුමරියගේ සහෝදරවරු හයදෙනෙක්‌ ලංකාවට පැමිණ ඔවුන්ගේ නම්වලින් කුඩා නගර පිහිටුවා තැනින් තැන පදිංචි වෙත. ඉන් දීඝ කුමරු පිහිටු වූ නුවර "දීඝායු ගම" නම් විය. මෙම දීඝ කුමරුට "දීඝ ගාමිණී'' නම් පුතෙකු වෙයි. දීඝ ගාමිණී - උන්මාද චිත්‍රා ගැන ඇගේ රූපය ගැන අසා දැකීමට ආශා ඇතිව උපතිස්‌ස ගමට ගොස්‌ රජු බැහැ දකියි. මේ වන විට පඬුවස්‌දෙව් රජු මියගොස්‌ කුමාරවරුන් දහදෙනොගේ වැඩිමලා වූ අභය උපතිස්‌ස නුවර රජකම් කරයි. අභය රජු තරුණ දීඝගාමිණී කුමරුට උප රාජ පදවිය හා රජුට උවටැන් කිරීම පවරයි. රජ මැඳුර අසල මුරකාවල් මැද එක්‌ටැම්ගෙයි සිරකර සිටින උන්මාද චිත්‍රා කුමරිය දීඝගාමිණී කුමරු දකියි. චිත්‍රා කුමරියගේ සිත කුමරු වෙත ඇදී යයි. ඒ කුමරු කුමරියගේ මාමාගේ පුතා බව දාසිය කියයි. දීඝගාමිණී කුමරු කුමරිය සමඟ ප්‍රේමයෙන් වෙලී රාත්‍රි කාලයේ යන්ත්‍රයක ආධාරයෙක්‌ එක්‌ටැම්ගෙයට නැඟ කුමරිය සමඟ කල් ගෙවා අලුයම බැස යයි. දෙදෙනාගේ ආශ්‍රය දැඩි රහසක්‌ වෙයි. කුමරු නිසා චිත්‍රා ගැබිණියක වෙයි. දාසිය දැන් මෙම රහස මව්බිසවට දන්වයි. ඇය එය රජුට දන්වයි. ඉන්පසු කුමාරවරු රජු හා එක්‌ව චිත්‍රා දීඝගාමිණී කුමරුටම පවරා දෙයි. චිත්‍රාට පුතකු ඉපදුණොත් මරා දැමීමට තීරණය කරති. රජ කුමාරවරු චිත්‍රා කුමරියට රැකවල් සැපයූ චිත්‍ර හා කාලවේල යන දාසයන් දෙදෙනා මරා දමති. ඒ දෙදෙනා යක්‍ෂයන් ව ඉපිද චිත්‍රා කුමරියට රැකවල් දෙයි. දරුවා ලැබෙන කාලය වන විට චිත්‍රා කුමරිය අත් උදව්වට තවත් ගැහැනියක්‌ නවත්වා ගනියි. ඇය ද ගැබිනියකි. චිත්‍රා කුමරිය පුතෙකු ලබයි. ගැහැනිය දුවක්‌ ලබයි. චිත්‍රා තම පුතා ගැහැනියට දී ඇගේ දූ කුමරිය ලබා ගනී. කුමරිය තම පුතා මාරු කළේ ආරක්‍ෂාව පිණිසය. චිත්‍රා කුමරිය දුවෙකු ලැබූ බව අසා සහෝදර කුමාරවරු සතුටු වෙති. අලුත උපන් කුමරුගේ ආරක්‍ෂාව පතා ළදරු කුමරු කරඬුවක බහා දාසියක්‌ විසින් දොරමඩලා ගමට ගෙන යයි. රජ කුමාරවරු කැලෑවේ මුව දඩයමට ගොස්‌ සිටියදී කරඬුව ගෙන යන දාසිය දකියි. තොප කවුද? යන්නේ කොහිද? විමසති. දොරමඩලාවට යමි. මගේ දියණියට ගෙන යන කැවුම් මෙහි ඇත. දාසිය කියයි. කරඬුව බිම තැබීමට කුමාරවරු කියති.

යක්‍ෂයන්ව ඉපිද සිටින චිත්‍ර - කාලවේල යක්‍ෂයන් ඌරු වෙස්‌ මවාගෙන කුමාරවරු ඉදිරියේ දිව යැමට වූහ. කුමාරවරු ඌරා ලුහුබැඳ යති. දාසිය දොරමඩලාව ගමට ගොස්‌ ගමේ ප්‍රධානියාට ළදරු පණ්‌ඩුකාභය කුමරු භාර දී කුමරුගේ වියදමට මසුරන් දහසක්‌ දෙයි. එදාම ගම් ප්‍රධානියාගේ බිරිඳ ද දරුවකු ලබයි. ඇය දරුවන් දෙදෙනෙකු ලැබූ බව පවසා පණ්‌ඩුකාභය කුමරු රහසේ දොරමඬලාගම ගම් ප්‍රධානියා ළඟ ඇති දැඩි වෙයි. දැන් කුමරුට වසය හතකි. චිත්‍රා පුතකු ලබා ඔහු රහසේ ඇති දැඩි වන බව කුමරුගේ මාමලා දැන ගනිති. දිනක්‌ ඔවුහු දොරමඩලාගම වට කරති. කුමරු එදා ගමේ දරුවන් සමඟ විලක දිය ක්‍රීඩා කරයි. කුමරුන්ගේ උදව්කරුවෝ විල වට කොට ළමුන් මරා දමති. ජලයට යට වී තිබූ විශාල රුක්‌ සිදුරක කුමරු සැඟ වී දිවි බේරා ගනියි. විල අද්දර තිබූ රෙදිකඩ ගණන් කර සියලු දරුවන් මැරූ බව ඔවුහු කියති. රහසේ වැඩෙන කුමරුට දැන් වයස දොළසකි. දොරමඩලාගම වැඩිදෙනා ගොපල්ලන් ය. එදා මේ ගොපල්ලෝ සතෙකු මරා මස්‌ පුළුස්‌සා ගැනීමට ගින්දර ගෙන ඒමට කුමරු ගමට යවයි. මාමලාගේ උදව්කරුවෝ එදා දෙවැනි වරට ගම වටලති. එක්‌රැස්‌ වී සිටි සියලු ගොපල්ලෝ මැරුම් කති. ගිනි ගෙන ඒමට ගමට ගිය කුමරු බේරෙයි. දැන් කුමරු දහසයවැනි වියට එළඹෙයි. මව කුමරුට මසු දහසක්‌ එවයි. පණ්‌ඩුකාභය කුමරු ශිල්ප ඉගෙනුම හා ආරක්‍ෂාව පිණිස දකුණු දිග, පණ්‌ඩුල නමැති වේදය මනාව දත් බමුණා වෙත යවයි. තම නක්‍ෂත්‍ර දැනුමෙන් කුමරුගේ අනාගතය ඉතා වාසනාවන්ත බව දුටු පණ්‌ඩුල බමුණා කුමරුට ශිල්ප දෙයි. පණ්‌ඩුලගේ පුතා වූ චJද්‍ර කුමරු සමඟ ඉගෙනුම ලබයි. ඉගෙනුම නිමා කළ කුමරුට බමුණා සේනාව රැස්‌කර ගැනීමට මසුරන් ලක්‍ෂයක්‌ හා තම පුත් චJද්‍ර ද භාර දෙයි.

පණ්‌ඩුකාභය කුමරු ප්‍රසිද්ධියේ තම නම හෙළිකොට මාමලාට විරුද්ධව කැරැලි ගැසීම අරඹයි. කසාගල ගමට යන විට හත්සියයක්‌ ඔහුට එක්‌වෙයි. ඉන්පසු ගිරිකඩපව් වෙත යන විට ඔහුගේ සේනාව 1200 වෙයි. ගිරිකඩ ප්‍රදේශය පාලනය කළේ පණ්‌ඩුකාභය කුමරුගේ මාමා වූ ගිරිකණ්‌ඩශිව කුමරුය. එදා කුමරු යන විට කිරියසියයක කුඹුරු යායේ ගොයම් කැපෙයි. තම පියාට හා සේවකයන්ට කෑම රැගෙන ගිරිකණ්‌ඩශිවගේ දුව වූ රූමත් පාලි යානාවක නැඟී පිරිවර සමඟ යයි. කුමරුට ඇය නෑකමින් මාමාගේ දුවය. කුමරු තම පිරිවර ලවා ඇය වටකර තොරතුරු විමසයි. කුමරිය ගෙන යන බත් කුමරුගේ පිරිවරට බෙදා දීමට සැරසෙයි. නුග ගසක්‌ මුලදී පිරිවරට බත් දීමට ඇය නුග කොළ කඩයි. ඇගේ පිනෙන් ඒ නුග කොළ රන්බඳුන් වෙයි. ඇය අත ගැසූ නුග පත් රන් බඳුන් වූ නිසා ඇය 'ස්‌වර්ණපාලි' නම් වෙයි. මුළු පිරිවරට බත් දුන්නත් ඒ අඩු නොවෙයි. පණ්‌ඩුකාභය කුමරු ස්‌වර්ණපාලි කුමරිය රැගෙන පලා යයි. ඇගේ පියා යෑවූ සෙනඟ කුමරු ලුහුබඳියි. ඒ ගැටුම වූ ස්‌ථානය කලහ නගර නම් වෙයි. කුමරු සමඟ සටනට ස්‌වර්ණපාලිගේ සහෝදරවරු පස්‌දෙනෙක්‌ වෙයි. චන්ද්‍ර බමුණා ඔවුන් මරා දමයි. ඒ ලේ වැටුණු බිම ලේවාකඩ නම් වෙයි.

පණ්‌ඩුකාභය කුමරු දොළුගලට ගොස්‌ සේනාව රැස්‌ කරමින් අවුරුදු හතරක්‌ කල් ගෙවයි. කුමරුගේ මාමලා සටනට එති කුමරු සමඟ සටනට ඔවුහු දුම්රග්ගල කඳවුරු බඳති. කුමරු තම මාමලා මහවැලි ගඟෙන් එගොඩට පන්නයි. මේ අතර උපතිස්‌ස නුවර අභය රජු මහවැලි ගඟෙන් එතෙර පාලනය ගෙන යන ලෙස රහසේ කුමරුට දන්වයි. ඒ අසා සහෝදරවරු නවදෙනා වැඩිමල් අභය රජුට දැඩි ලෙස විරුද්ධ වෙති. අභය රජකමෙන් ඉවත් වෙයි. උපතිස්‌ස නුවර අවුරුදු විස්‌සක්‌ රජ කළ අභයට පසු සහෝදරවරු නවදෙනාගෙන් තිස්‌ස රජකමට පත්කර ගනී.

දුම්රක්‌ගල චේතියා යකින්න වෙලඹ වෙස්‌ ගෙන තිබිරියංගනවිලේ ඇවිදියි. කුමරු ඇය ලුහුබඳියි. විල වටා වෙළඹ හත්වටයක්‌ දිව යයි. මහවැලි ගඟෙන් එතෙරව නැවත දුම්රක්‌ගල වටා හත්වටයක්‌ දුවයි. එක දිගට ඇය ලුහුබැඳි කුමරු වෙළඹගේ වල්ගයේ එල්ලෙයි. කුමරු වෙළඹ වෙස්‌ ගත් ෙච්තියා යකින්න මැරීමට කඩුව අදියි. රජකම ලබා දීමට උදව් වන බව කියා ඇය තමාට අභය ඉල්ලයි. වෙළඹ පිට නැඟී දුම්රක්‌ගලට ගොස්‌ අවුරුදු හතරක්‌ පිරිවර රැස්‌ කොට රිටිගල හත් අවුරුද්දක්‌ ද කුමරු කල් ගෙවයි. අභය හා ගිරිකණ්‌ඩශිව හැර ඉතිරි මාමලා අට දෙනා රිටිගල කඳවුරු බඳිති. චේතියා වෙළඹ වෙස්‌ ගත් චේතියායකින්න පිට නැගී කුමරු සේනාව පිරිවරා සටනට එයි. මාමලා එවූ යුද සෙනෙවියා පලා ගොස්‌ සැඟවුණු ස්‌ථානය සේනාපති ගුම්බක නම් වෙයි. මාමලා අටදෙනාම සමඟ ඔවුන්ගේ සේනාව මැරුම් කති. ඔවුන්ගේ සියලු හිස්‌ කපා ගොඩ කරන ලදුව එය ලබුගෙඩි රැසක්‌ විය. ඒ නිසා එය ලබුගම නම් වෙයි. සටනින් දිනූ පණ්‌ඩුකාභය කුමරු තම මුත්තා වූ අනුරාධ වෙත යයි. නිමිතිකරුවන් ලවා සුබ නැකත් ගෙන වාස්‌තු විද්‍යා දත් අය ලවා අනුරාධපුර නගරය පිහිටුවයි. මැරුම් කෑ මාමලාගේ සේසත් පෙන්වා විලකින් සෝදා අභිෂේක ලබයි. ස්‌වර්ණපාලි අගබිසව වෙයි. පණ්‌ඩුලගේ පුත් චන්ද්‍ර කුමරු පුරෝහිත වෙයි. තමාට හිතවත් වූ අභය රජුට රජකම භාරදෙයි. තම ස්‌වර්ණපාලිගේ පියා වූ ගිරිකණ්‌ඩශිවට ගල්කඩ රටම දෙයි. අනුරාධපුර නගරය පිහිටුවා අවුරුදු හැත්තෑවක්‌ රජ කරයි.


වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ එස්‌. කේ. ජයවර්ධන
http://www.divaina.com/2017/09/10/feature11.html

Pic Source

0 comments: