Pages

Friday, June 15, 2018

බරපතල වැඩ ඇතිව ඥානසාර හිමි මාස 6ක්‌ හිරේ... එක්‌නැලිගොඩ බිරිඳට 50.000ක්‌ වන්දි ගෙවීමටත් නියෝග!

ජනවාරි 25 වැනිදා හෝමාගම උසාවිය තුළදී ප්‍රගීත් එක්‌නැලිගොඩ මහතාගේ බිරිඳට බැණ තර්ජනය කිරීම හා හෝමාගම උසාවියට අපහාස කිරීමේ චෝදනාව මත වරදකරු බවට නිගමනය කළ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බරපතළ වැඩ ඇතිව මාස 6 ක සිරදඬුවම් හා රුපියල් 1500 බැගින් රුපියල් 3000 ක දඩයක්‌ ද එක්‌නැලිගොඩ බිරිඳට රුපියල් 50,000 ක වන්දියක්‌ ගෙවීමට ද හෝමාගම දිසා අධිකරණයේ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් උදේශ් ගුණරත්න මහතා නියෝග කළේය.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධිය මත පොලිස්‌ අපරාධ විමර්ශන කොට්‌ඨාසය මගින් අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගේ නඩුව හෝමාගම දිසා අධිකරණයේ විභාග වෙමින් තිබියදී මෙම සිදුවීම විය.

එදින නඩුව අවසාන වීමත් සමඟ ඥනසාර හිමියන් තමාට තර්ජනය කළ බවට සන්ධ්‍යා එක්‌නැලිගොඩ මහත්මිය විසින් මෙම නඩුව පවරා තිබිණි.

විත්තිකාර හිමියන්ට දඬුවම් නියම කිරීම ඊයේ (14 වැනිදා) සිදුවූ අතර විත්තිය වෙනුවෙන් කරුණු දැක්‌වූ නීතිඥ මංජුල මාකුඹුර මහතා මෙසේ පැවැසීය.

අවුරුදු 30 ක්‌ මේ රටේ යුද්ධයක්‌ තිබුණා. ඒක දැන් හැමෝටම අමතකයි. එදා යුද්ධය තිබුණු කාලේ ඉඳන් මේ විත්තිකාර හාමුදුරුවෝ රට බේරාගන්න බොහෝ දේ කළා. සටන් පෙරමුණට ගියා. ඔවුන්ට ශක්‌තිය දුන්නා. බොදුබල සේනා සංවිධානය කියන්නේ ත්‍රස්‌තවාදී සංවිධානයක්‌ නෙවෙයි. ජනතාවට උදව් කළ ජාතීන් අතර සමගිය ඇති කරන්න ක්‍රියා කළ සංවිධානයක්‌. ජාතිය විපතට පත්වන විට ඊට එරෙහිව හඬ නැඟූ සංවිධානයක්‌. එදා උසාවියේදී සිදුවූ සිදුවීම හිතා මතා කළ දෙයක්‌ නෙවෙයි. බුද්ධි අංශ නිලධාරීන් නැවත රිමාන්ඩ් භාරයට පත්වෙද්දී ඔවුන්ගේ ඇස්‌වල කඳුළු දැකලා උපන් සංවේගයෙන් වූ දෙයක්‌.

ජාතික ආගමික, සමාජයීය මෙහෙවරක්‌ කළ මෙවන් අයකුට දඬුවම් දීම ඉතා විමසිලිමත්ව කළ යුතු දෙයක්‌. කෙනෙක්‌ සිරගත කළ යුතු වන්නේ ඔහු සමාජයට අහිතකර පුද්ගලයෙක්‌ නම්, සමාජයට හිරිහරඞ කරන්නෙක්‌ නම් පමණයි. සිරගත කිරීම හැර වෙනත් දඬුවමක්‌ ලබාදීමට නොහැකි නම් පමණයි.

මේ හාමුදුරුවෝ එහෙම කෙනෙක්‌ නෙවෙයි. මේ වරදට දෙවරක්‌ සමාව ඉල්ලා සිටියා. එක වරක්‌ මහෙස්‌ත්‍රාත්වරයා කැමති වුණේ නෑ. දෙවැනි වර මේ පැමිණිලිකාරිය කැමති වුණේ නෑ. මෙය සමථ මණ්‌ඩලයෙන් විස¹ ගත හැකිව තිබුණ ප්‍රශ්නයක්‌.

රට ජාතිය, ආගම, ශාසනය වෙනුවෙන් කැපවෙන මෙවන් අය කෙරෙහි අවධානය යොමු කළ යුතු වෙනවා. ඒ නිසා අවම දඬුවමක්‌ ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.

මෙහි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා මෙසේ කීය. උසාවියක්‌ තුළදී මේ ප්‍රශ්නය විස¹ ගැනීමට පැමිණි කාන්තාවකට බැණවැදී තර්ජනය කිරීම සුළු වරදක්‌ නොවෙයි. ඒක බරපතළ වරදක්‌. මේක මුළු උසාවියටම නීති පද්ධතියටම කළ නිග්‍රහයක්‌. මේ චූදිතයාට දඬුවම් නොකළොත් අනාගතයේ උසාවිවල වැඩ කරගෙන යන්න බැරිවේවි. නීතිය තියෙන්නේ මිනිස්‌සුන්ගේ විනය හදන්නයි. විනය පිරිහුණ දා සියල්ල විනාශ වෙනවා.

මේ අය කළ වරදට 346 වගන්තිය යටතේ වසර දෙකක සිරදඬුවම් හා දඩයක්‌ පැනවිය හැකියි. 486 වගන්තිය තුළත් ඒ දෙයම කියනවා. මා මේ උසාවියෙන් ඉල්ලා සිටින්නේ අනාගතයේ කවුරු හරි මේ වරද කරන්න ඉන්නවානම් නැවත සිතන්න සිතා කරන්න මොහුට දඬුවම් පමුණුවන ලෙසයි. වින්දිත තැනැත්තියට වන්දි මුදලක්‌ ද ලබාදෙන ලෙසයි. මේ අධිකරණයෙන් මොහුට උපරිම දඬුවම ලබා දෙන්නැයි ඉල්ලා සිටිනවා.

දඬුවම ප්‍රකාශයට පත්කරමින් මහෙස්‌ත්‍රාත්වරයා මෙසේ කියා සිටියේය.

දෙපාර්ශ්වයේම කරුණු සලකා බලමින් නැවත අනාගතයේදීත් මෙවැනි වැරදි සිදුනොකරන්නට චෝදනා ලැබූ කරුණු 2 ටම වැරදිකරු වූයෙන් මාස 6 ක බරපතළ සිරදඬුවම්, වැරදි දෙකටම ලබාදෙන අතර එය එකවර මාස 6 කින් ගෙවී යැමට සිදුවිය යුතුයි. ඊට අමතරව එක්‌ වරදක්‌ සඳහා රුපියල් 1500 බැගින් වැරදි දෙකට රුපියල් 3000 ක්‌ද, වින්දිත තැනැත්තියට රුපියල් 50000 ක වන්දියක්‌ ද ගෙවන ලෙසත් එසේ නොකරන්නේ නම් තවත් මාස 3 ඩී?සිරදඬුවමක්‌ හිමි වන බවත් නියම කරනවා. එසේත් නැත්නම් දඩයක්‌ ලෙස අය කරගන්නා බවත්ය.

නඩු තීන්දුව අවසානයේ විත්තිකූඩුවේ සිටි ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් "මේ අධිකරණයක්‌ද? යුක්‌තිය මේකදැයි" අසද්දී මහෙස්‌ත්‍රාත්වරයා මම තීන්දුව දීලා ඉවරයි. ඒකට ඔබවහන්සේට ඇපැල් කරන්න පුළුවන් ආයෙත් ප්‍රශ්න ඇතිකරන්න එපා යෑයි පැවැසීය.

නඩු තීන්දුව අවස්‌ථාවේ උසාවිය අවට විශේෂ කැරලි මර්දන කණ්‌ඩායම් 2 ක්‌, ජල ප්‍රහාරක වාහන 2 ක්‌ සහ පොලිස්‌ කණ්‌ඩායම් 3 ක්‌ යොදා දැඩි ආරක්‍ෂාව සලසා තිබුණි.

හෝමාගම - ජයසිරි කාරියවසම්, ඔරුවල - සරත් ද සිල්වා
http://divaina.com/daily/index.php/main-news/12952-2018-06-14-10-49-50

සබැඳි ලිපි -
[
උසාවි ගිනි තැබූවන්ට නැවෙන කසාවතට සෘජු වන ලංකාවේ නීතිය..!
http://yukthiyawenuwen.blogspot.com/2018/06/blog-post.html
නීතිය නිරුවත් කළ මන්නාරමේ කැලෑ නීතිය
http://yukthiyawenuwen.blogspot.com/2012/07/blog-post_30.html
මන්නාරම් පිටිවැල්ලේ, නීතිය අමු හෙළුවැල්ලේ
http://yukthiyawenuwen.blogspot.com/2012/07/blog-post_25.html
]

0 comments: