Pages

Sunday, June 17, 2018

කෝසල රාජධානිය සහ සැවැත්නුවර

 ගන්ද කුටිය

අපගේ ශාස්‌තෘ වූ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ 45 වසරක්‌ වූ සම්බුදු දිවියෙන් 25 වසරක්‌ ම වැඩවාසය කළේ සාවත්ථි හෙවත් සැවැත් නුවරයි. එහිදී වස්‌කාල 19ක්‌ අනේපිඬු සිටාණන් කරවූ ඡේතවනාරාමයේ ද, වස්‌කාල 06ක්‌ විශාඛා උපාසිකාව පිදූ පූර්වාරාමය හෙවත් මිගාරමාතු ප්‍රාසාදයේ ද වස්‌ වසා වැඩ වාසය කොට තිබේ. ශ්‍රාවස්‌ථි හෙවත් සැවැත්නුවර බුද්ධකාලීන දඹදිව සොළොස්‌ මහා ජනපදයන් අතරින් ප්‍රබල රාජ්‍යයක්‌ වූ කෝසල ජනපදයේ අගනුවර ය. එහි එකල පාලකයා වූයේ ප්‍රසේනජිත් කොසොල් රජතුමා ය. මෙම කෝසල ජනපදය, මගධ ජනපදයට වයඹින් ද, දකුණින් ගංගා නම් නදිය ද, නැගෙනහිරින් ගන්ඩන් හෙවත් නාරායනී නදිය ද උතුරු දෙසින් හිමාල කඳු වැටිය ද පිහිටන සේ සීමා මායිම් සළකුණු වී තිබිණි. ධර්මපට්‌ඨාන යන අපර නාමයකින් ද හැඳින්වූ සැවැත් නුවර පිහිටියේ කෝසල රාජධානියේ උතුරු පෙදෙසේ ය. සාවත්ථි නම් සෘෂිවරයාගේ වාසස්‌ථානය වූ හෙයින් ශ්‍රාවස්‌ථි නම් වී යෑයි ද ශ්‍රාවගේ පුත් යුවන්නාශ්ගේ මුණුපුරු ශාවස්‌ත විසින් පිහිටුවන ලද හෙයින් ශාවස්‌ති නම් වී යෑයි ද හරිවංශ මහාභාරතාදී ග්‍රන්ථවල සඳහන් වේ. මිනිසුන්ගේ උපභෝගය පරිභෝගය සඳහා අවශ්‍ය සියල්ල මෙහි තිබූ බැවින් සාවත්ථි නම් වී යෑයි අටුවාචාරීන් වහන්සේලා පවසති. මිනිසුන් එක්‌රැස්‌ව කුමක්‌ ඇද්දැයි විමසූ කල්හි සියල්ල ඇත (සබ්බං අත්ථි) යන වදන් පැවසූ හෙයින් සාවත්ථි නම් වී යෑයි මඡ්Cධිම නිකාය අට්‌ඨකතාවේ සඳහන් වේ. 

 ආනන්ද බෝධීය

යොදුන් තුන් සියයක්‌ (කිලෝමීටර් 3000ක්‌ පමණ) විශාල වූ පුරාණ සැවැත් නුවරට අයත් ගම් අසූ දහසකි. ජනගහනය කෝටි අටකි. පවුල් පනස්‌ දහසක්‌ එහි වාසය කළහ. අයෝධ්‍යාවෙන් සැතපුම් පනහක්‌ පමණ උතුරින් රප්ති නදියේ දකුණු ඉවුරෙහි වූ මෙකල සහේත්-මහේත් වශයෙන් හඳුන්වන පෙදෙස පුරාණ සාවත්ථිය ලෙස පුරා විද්‍යාඥයන් තහවුරු කරගෙන ඇත. වර්තමාන ඉන්දියාවේ ගෝණ්‌ඩා හා බහරිච් දිස්‌ත්‍රික්‌ක සීමාවේ පිහිටි සහේත් මහේත් වශයෙන් හඳුනාගෙන ඇති ශ්‍රාවස්‌ථිය පිළිබඳ ඡේතවනාරාම ශිලා ලේඛන කිහිපයකින් ද තහවුරු වී ඇත. වත්මන් සහේත්, මහේත් කොටස්‌ දෙකකින් සංයුක්‌ත ප්‍රදේශ දෙකකි. වඩා විශාල වූ Ñමහේත්' අක්‌කර හාරසියයක්‌ පමණ විශාල වූ ප්‍රධාන නගරය වශයෙන් හඳුනාගෙන ඇත. මෙයට සැතපුම් කාලක්‌ පමණ ඈතින් නිරිත දිගින් පිහිටි අක්‌කර තිස්‌ දෙකක්‌ පමණ වූ සහේත් 

 ඡේතවනාරාමය පිහිටි භූමියයි. වස්‌කාල විසිපහක්‌ භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වැඩසිටීම නිසා පරම පූජ්‍යභාවයට පත්වූ විහාර භූමිය විහාර, ස්‌ථූප, සංඝාරාම ආදියෙන් සමලංකෘතව පැවතුණි. ක්‍රි.ව. හතර වැනි සියවසේ ශ්‍රාවස්‌ථියට පැමිණි පාහියන් තෙරුන් තමන් දුටු ප්‍රතිමා ස්‌ථූප හා සංඝාරාම පිළිබඳව ද හත්වන සියවසේ පැමිණි හියුංසියැං තෙරුන් දුටු නටබුන් වූ විහාරාරාම, ස්‌ථූප, සංඝාරාම පිළිබඳව ද දේශාටන වාර්තාවේ සඳහන් කර ඇත. පුරාවිද්‍යාත්මක කැණීම්වලින් ක්‍රි.පූ. 3 වැනි සියවසට අයත් ස්‌ථූපයකින් බුදුරජාණන් වහන්සේගේ ම යෑයි තහවුරු කරන ලද ධාතූන් වහන්සේලා සොයාගත් අතර ක්‍රි.ව. පළමු වැනි සියවසේ ඉදිකරන ලද බුදුරජාණන් වහන්සේගේ ජීවමාන ප්‍රමාණයේ ප්‍රතිමාවක්‌ ද හමුවී ඇත. තවද ධර්මාශෝක අධිරාජයාගේ සමයේ සිට දොළොස්‌ වැනි සියවස තෙක්‌ කරන ලද ඉදිකිරීම් රාශියක්‌ පුරාවිද්‍යාත්මක කැණීම්වලදී අනාවරණය කරගෙන ඇත.

 සැවැත්නුවර ඡේතවනාරාම පින්බිම

 බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයෙහි ශ්‍රාවස්‌ථිය බුදු සසුනේ කේන්ද්‍රස්‌ථානය වූයේ සුදත්ත හෙවත් අනේපිඬු සිටුතුමා ඡේතවනාරාමය කරවා බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට පූජා කිරීමෙන් අනතුරුවය. මෙම භූමිය කොසොල් රජුගේ පුත්‍රයකු වූ ඡේත නම් කුමාරයකුට අයත්ව තිබූ උද්‍යානයකි. වෙළෙඳාම් කටයුත්තකට රජගහ නුවරට ගිය ගමනකදී සම්බුදු රජුන් සරණ ගොස්‌ සෝතාපන්න බවට පත්වූ අනේපිඬු සිටුතුමා මෙම භූමිය දහඅට කෝටියක්‌ රන් කහවණු අතුරා මිලදී ගන්නා ලදී. අනතුරුව 18 කෝටියක්‌ වැය කොට බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා විහාර, පිරිවෙන්, උපස්‌ථානශාලා, ගිනිහල්ගෙවල්, සක්‌මන් මළු, ළිං පොකුණු, මණ්‌ඩප, වැසිකිළි කැසිකිළි ආදී සියලු අංග සහිතව ආරාමයක්‌ ඉදි කළේය. ඡේත කුමරුගේ ඉල්ලීම පරිදි එය 

 ඡේතවනාරාමය ලෙස නම් කළ අතර විහාර පූජාවේදී ද අනේපිඬු සිටුතුමා 18 කෝටියක්‌ වියදම් කොට මහත් වූ උත්සවශ්‍රීයෙන් ආරාම පූජාව සිදුකළේය.

 බුදුරජාණන් වහන්සේ විසින් බොහෝ සූත්‍ර දේශනාවන් දේශනා කිරීම ද විනය ශික්‌ෂාපද පැනවීම ද සිදුකළේ මෙම ඡේතවනාරාමයේදී ම ය. 

 මඡ්Cධිම නිකායේ සඳහන් සූත්‍ර දේශනා 152න් හැටපහක්‌ ම මෙහිදී කළ සදහම් දේශනාවන් ය. සංයුක්‌ත නිකායේ සහ අංගුත්තර නිකායේ ඇතුළත් දහස්‌ ගණනක්‌ වූ සූත්‍ර දේශනාවන්ගෙන් හතරෙන් තුනක්‌ පමණම 

 ඡේතවනාරාමයේදී කළ දේශනා ය. එමෙන්ම,

 * ප්‍රිය විප්‍රයෝගයෙන් සිහිවිකල්ව සිටි පටාචාරාව සහ කිසාගෝතමිය දහම් අසා සුවපත්ව සසුන් දායාදය ලැබීම.

 * දරුණු මිනීමරුවකුව සිටි අංගුලිමාලයන් දමනය කරවා සසුන් දායාදය ලබාදීම.

 * සුනීත, සෝපාක අසරණ දරුවන් හට සසුන් දායාදය ලබාදීම.

 * චූලපන්ථක තෙරුන් අරහත්වයට පත්වීම.

 * බාහිය දාරුචීරිය අරහත්වයට පත්වීම.

 * සුභා තෙරණියගේ ගැළවුණු ඇස සුවපත් වීම.

 * පූතිගත්තතිස්‌ස තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ සහ ආනන්ද තෙරුන් ගිලන් උපස්‌ථානය කිරීම.

 ආදී සුවිශේෂ ශාසනික සිදුවීම් රාශියක්‌ සිදුවී ඇත්තේ ඡේතවනාරාමය හා සැවැත් නුවර ඇසුරු කරගෙන ය.

 ගන්ධ කුටිය

 බුදුරජාණන් වහන්සේ වැඩවිසූ විහාරය ගන්ධ කුටිය හෙවත් ගඳකිළියයි. අනේපිඬු සිටුතුමා විසින් කුටියේ වහළ මුළුමනින්ම සුදු හඳුන් ලීයෙන් කරවා තිබූ හෙයින් ද, දෙවියන් විසින් නිරතුරු දිව්‍ය සුවඳින් සුවඳවත් කරවූ හෙයින් ද, මෙයට ගන්ධ කුටිය යෑයි ව්‍යවහාර විය. මෙය දේව විමානයක්‌ හා සමානව සුන්දරව තිබුණු බව සංයුක්‌ත නිකාය අට්‌ඨ කථාවේ සඳහන් වේ. එහි බුදුරජාණන් වහන්සේ වැඩසිටි ඇතුල් කුටිය දිග උඩි 8ක්‌ සහ පළල අඩි 7ක්‌ පමණ වන අතර අදට ද එහි පදනම දකින්නට තිබේ. ගන්ධ කුටියට පිටතින් පිළක්‌ වූ අතර එයට මඳක්‌ ඉහළින් දොරටුව පිහිටා තිබුණි. මෙයට නඟිනු පිණිස පඩි පෙළක්‌ තිබුණි. පිළට පහළින් එළිමහන් පිටියක්‌ වූ අතර මෙහි පිළ ගන්ධකුටි පමුඛ වශයෙන් හැඳින්වෙයි. දහවල් දන් වැළඳීමෙන් පසු ශාස්‌තෘන් වහන්සේ භික්‌ෂු සංඝයාට ධර්මය දේශනා කරන්නේ මෙම ස්‌ථානයේ සිටයි. දානයෙන් පසුව බුදුරදුන් මෙම පිළට වැඩිය පසු සියලු භික්‌ෂූහු භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරති. ඉන්පසුව බුදුරජාණන් වහන්සේ ගන්ධකුටියට වැඩම කරන සේක. ගන්ධකුටියේ පිළට පහළින් ඇති කොටසේ ගන්ධකුටි පිරිවෙන නමින් ශාලාවක්‌ විය. මෙබඳු පිරිවෙන් 3ක්‌ ඡේතවනාරාමයේ පිහිටා තිබූ අතර එවා දම්සභා මණ්‌ඩප ලෙස සැළකේ. ගන්ධ කුටිය ඉදිරිපිට බුදුරදුන් පැන් වැළ» ළිඳ පිහිටා තිබුණි. 

 පූර්වාරාමය හෙවත් මිගාරමාතු ප්‍රාසාදය

 සැවැත් නුවර නැගෙනහිර දොරටුවට පිටතින් විශාඛා උපාසිකාව භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය උදෙසා ගොඩනංවන ලද සංඝාරාමය පූර්වාරාමය හෙවත් මිගාර මාතු ප්‍රාසාදය යි. විශාඛා උපාසිකාව, තමන්ගේ මේල පළඳනාව නවකෝටි එක්‌ ලක්‌ෂයකට මිල කොට එම මුදල් යොදවා කරවූ මෙම දෙමහල් සංඝාරාමය කුටි දහසකින් සමන්විත විය. බුදුරජාණන් වහන්සේ අනේපිඬු සිටු මැදුරෙන් දන් වළඳා, නොයෙක්‌ වර පූර්වාරාමයට වැඩ විවේක සුවයෙන් වැඩ සිටියහ. අග්ගඤ්ඤ, අරියපරියේසන, පාසාදකම්පන ආදී සූත්‍ර දේශනා වදාළේ ද ඇතැම් විටෙක කොසොල් රජතුමා සමඟ දහම් පිළිසඳරේ යෙදුණේ ද පූර්වාරාමයේදී ය. බුදුරජාණන් වහන්සේ හය වරක්‌ වස්‌ වසා වැඩසිටි පූර්වාරාමය ද ශාසනික අතින් වැදගත් පුණ්‍ය භූමියකි.

 අන්ධ වනය

 අන්ධ වනය පිහිටියේ සැවැත්නුවර ඡේතවනාරාමයට වයඹ දිගිනි. මෙම වනය කාශ්‍යප බුද්ධ කාලයේ ද මේ නමින් ම හැඳින්විණි. ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයෙහි මෙහි විවේකය කැමති අය උදෙසා කූටාගාර ශාලාවක්‌ තනවා තිබුණි. බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා සමථ විදර්ශනා වැඩීම පිණිස භික්‌ෂු භික්‌ෂුණීහු බොහෝ විට මෙම අන්ධ වනයට වැඩම කළහ. 

 දම්සභා මණ්‌ඩපය

 මෙය තිබෙන්නේ ගන්ධ කුටිය සමීපයේ ම ය. දෙව්රම් වෙහෙරට පැමිණි පිරිසට සහ දෙව්රම් වෙහෙරේ වැඩ විසූ සඟ පිරිසට බුදුරජුන් දහම් දෙසූ ස්‌ථානය මෙය යි. මෙහි උස්‌ පීඨිකාව බුදුරජුන් දම් දෙසුමට වැඩසිටි ස්‌ථානයයි. එA අසල ම ඇති සමචතුරස්‍ර භූමිභාගය පිරිස ධර්ම ශ්‍රවණය කළ භූමියයි.

 සක්‌මන් මළුව

 දෙව්රම් වෙහෙරේදී බුදුරජුන් බොහෝ විට සක්‌මන් කරමින් වැඩසිටි ස්‌ථානය මෙය යි. සම්බුදු සිරිපා පහස ලද මේ භූමියේ පසුකාලීනව කරවූ පූජනීය ඉදිකිරීමක නටබුන් අද එහි දක්‌නට ඇත.

 ආනන්ද බෝධිය

 මෙම බෝධීන් වහන්සේ සැවැත් නුවර ඡේතවනාරාමය ඉදිරිපිට රෝපණය කරවන ලද්දේ භාග්‍යවතුන් වහන්සේ ජීවමාන අවධියේ ම ය. දෙව්රම් වෙහෙරේ වැඩ විසූ භාග්‍යවතුන් වහන්සේ වස්‌ පවාරණය කොට භික්‌ෂු සංඝයා සමඟ චාරිකාවේ වැඩි සේක. ඇතැම් මනුෂ්‍යයෝ බුදුරජුන් බැහැදැකීම පිණිස දුර බැහැර ගෙවාගෙන මල්, සුවඳ ද්‍රව්‍ය හා පිරිකර රැගෙන දිනපතා ම පැමිණෙන්නට වූහ. එහෙත් බුදුරජුන් විහාරයේ නැති බැවින් ඔවුහු මහත් දුකට පත්ව රැගෙන ආ පූජා වස්‌තූන් පිදීමට තැනක්‌ සොයන්නට විය. දෙව්රම් වෙහෙරේ එබඳු තැනක්‌ නොතිබුණු හෙයින් ඔවුන් එම පූජා වස්‌තූන් ගන්ධකුටියේ ඉදිරිපස තබා ගියාහුය.

 මෙය දුටු අනේපිඬු සිටුවරයා ආනන්ද තෙරුන් හට මෙකරුණ සැළ කළේය. එවිට ආනන්දයන් වහන්සේ බුදුරජුන් සමීපයේ මෙය පවසා සිටියේය.

 'ස්‌වාමීනී, තථාගතයන් වහන්සේ නොමැති අවස්‌ථාවක, බුදුරජුන්ට පිදෙනා පූජාවන් පිදීමට සුදුසු චෛත්‍යයෝ තිබෙත්දැ'යි විමසූ විට, භාග්‍යවතුන් වහන්සේ මෙසේ පිළිතුරු වදාළ සේක. 'ආනන්දයෙනි, ශාරීරික, පාරිභෝගික හා උද්දේසික ලෙස චෛත්‍යයෝ තුනකි. ශාරීරික චෛත්‍යය යනු සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු සම්බුද්ධ ශ්‍රී දේහයේ ධාතු නිධන් කරවා කරවන චෛත්‍යයන් ය. ආනන්දයෙනි, පාරිභෝගික චෛත්‍යයක්‌ වන බෝධීන් වහන්සේ, බුදුරජුන් ජීවමාන කල ම පිදීමට සුදුසු ය.'

 මෙය ඇසූ ආනන්දයන් වහන්සේ බුදුරජුන්ගෙන් අවසර ගෙන ගයාවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බීජයක්‌ ගෙන්වා ගැනීමට මොග්ගල්ලාන තෙරුන් පිටත් කර හැරීය. මොග්ගල්ලානයන් වහන්සේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් බීජයක්‌ ගෙන එය කොසොල් මහරජුට භාර දුනි. එය රජු විසින් අනේපිඬු සිටුවරයාට දුන් අතර එතුමා දෙව්රම් වෙහෙර ඉදිරිපිට රෝපණය කළේය. අසිරිමත් බුද්ධානුභාවයෙන් එකෙණෙහි ම අතුපතර විහිදී ගිය මහා බෝධි වෘක්‌ෂයක්‌ බවට පත් විය. භාග්‍යවතුන් වහන්සේ එදින රැය පහන් වන තුරු බෝධිය අසල සමවත් සුවයෙන් වැඩ හිඳ එහි පූජනීයත්වය වැඩි කළ සේක. 

 ආනන්ද ස්‌වාමීන් වහන්සේ මූලික වීමෙන් රෝපණය වූ නිසා මෙය ආනන්ද බෝධිය නම් වී යෑයි කියනු ලැබේ. එමෙන්ම බුදුරජුන් දෙව්රම් වෙහෙර නොසිටි අවස්‌ථාවල සැදැහැවතුන් මේ බෝධීන් වහන්සේ දැක දිවමන් බුදුරජුන් දුටුවා සේ ආනන්දයට පත් වූ බැවින්ද ආනන්ද බෝධිය නම් වී යෑයි කියනු ලැබේ. කෙසේ වුවද අද දක්‌වාම 2500 වසරකට අධික කලක්‌ පමණ පුද සත්කාර ලබමින් මේ පින්බිමේ උතුම් ආනන්ද බෝධීන් වහන්සේ නිරුපද්‍රිතව වැඩ සිටීම ආශ්චර්යයකි.

 ඡේතවන පොකුණ

 වරක්‌ කොසොල් රටට වර්ෂාව නොමැති වී යැම හේතුවෙන් වැව්, පොකුණු ආදිය සිඳී ගොස්‌ රටවාසීන් මහත් දුෂ්කරතාවයකට මුහුණ දුන් අවස්‌ථාවක අප බුදුරජාණන් වහන්සේ සියලු සතුනට අනුකම්පාවෙන් යුතුව වර්ෂාව වැසීමට අධිෂ්ඨාන කළ සේක.

 එහිදී මහා වර්ෂාවක්‌ ඇදහැලී ගිය අතර බුදුරජාණන් වහන්සේත් භික්‌ෂු සංඝයාත් වර්ෂා දියෙන් පිරීගිය මෙම පොකුණේ වර්ෂාවේ ම පැන් පහසු වූහ. මෙහිදී භික්‌ෂූන් විසින් පැන් පහසුවේදී නානකඩය පාවිච්චි කළ යුතු බවට සිල්පදය පැනවීම ද සිදු විය.

 රාජකාරාමය

 පසේනදී කොසොල් රජතුමා විසින් බුද්ධප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා කරවන ලද මෙම සුවිසල් විහාරයේ ඡේතවන විහාර සංකීර්ණය පසෙකින් තිබේ. බුදුරජුන් දහම් දෙසද්දී අන්‍යාගමික තීර්ථකයන්ගේ ආරාම මිනිසුන්ගෙන් හිස්‌ වන්නටත් ලාභ සත්කාර ආදිය පිරිහී යන්නටත් විය. මෙය භූමි ලාභයකියි සිතූ තීර්ථකයෝ පසේනදී කොසොල් රජුට රන් කහවණු ලක්‌ෂයක අල්ලසක්‌ දී සැවැත් නුවරට යාබදව අන්‍යාගමික ආරාමයක්‌ කරවන්නට පටන් ගත්තේය.

 මෙය අනාගතයට මහත් අර්බුදයක්‌ වන බව දුටු භාග්‍යවතුන් වහන්සේ මෙයින් අනවශ්‍ය ගැටුම් හටගන්නා බව රජු හට තේරුම් කරවීය. ඉන්පසු රජු විසින් එම ස්‌ථානයේ ම බුද්ධප්‍රමුඛ මහා සඟරුවන උදෙසා රාජකාරාමය කරවීය.

 සැරියුත් මහරහතන් වහන්සේගේ ස්‌ථූපය

 ගෞතම බුදු සසුනේ අග්‍රශාවක ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ බොහෝ කලක්‌ ඡේතවනාරාමයේ වැඩවාසය කළ සේක. උන්වහන්සේ එA අවස්‌ථාවලදී භික්‌ෂූන් හට දහම් කතාවෙන් අනුග්‍රහ කළ සේක. සාරිපුත්තයන් වහන්සේගේ ධාතූන් වහන්සේලා නිධන් කොට තනවා තිබෙන ස්‌ථූපයක නටබුන් මෙහිදී දැකගත හැක.

 එමෙන්ම සාරිපුත්ත මහරහහන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, සීවලී මහරහතන් වහන්සේ, අංගුලිමාල මහරහතන් වහන්සේ හා රාහුල මහරහතන් වහන්සේ ආදී රහතන් වහන්සේලා වැඩ සිටි කුටි ද නටබුන් අතරේ දැකගත හැකිය.

 අනාථපිණ්‌ඩික සිටු මාළිගය

 ඡේතවනාරාම භූමියේ සිට කිලෝමීටරයක්‌ පමණ දුරින් අනේපිඬු සිටු මාළිගයේ නටබුන් හමුවේ. ගෞතම බුදු සසුනේ අග්‍ර දායකයා වූ අනේපිඬු සිටුවරයාගේ සැබෑ නම සුදත්ත ය. පසුව දහම් ඇසීමෙන් සෝතාපන්න ඵලයට පත් සිටුවරයා බොහෝ ධනය බුදුසසුන වෙනුවෙන් නිර්ලෝභීව අත්හළේය. එහෙයින්ම අනේපිඬු යන නාමය පටබැඳිණි. මෙම සිටු මාළිගයේ දිනපතා භික්‌ෂූන් දෙදහසක්‌ උදෙසා දන් වැටක්‌ පවත්වාගෙන ගිය බව සූත්‍ර දේශනා තුළ සඳහන් වේ.

 අංගුලිමාල චෛත්‍යය

 අනේපිඬු සිටු මාළිගය අසල මෙය පිහිටා ඇත. දරුණු සොරෙක්‌ සහ මිනීමරුවකු වූ අංගුලිමාල සදහම් අසා බුදු සසුනේ පැවිදි උපසම්පදාවට පත්විය. දිනක්‌ පිඬු පිණිස වඩිනා උන්වහන්සේට දරු ප්‍රසූතියකදී දරුගැබ සිරවී වේදනාවෙන් සිටින ස්‌ත්‍රියක්‌ දැක මහත් අනුකම්පාවක්‌ හට ගත්තේය.

 බුදු රජුන්ගේ අවවාද ලැබූ අංගුලිමාල තෙරුන් වහන්සේ Ñනැඟණිය, මම ආර්ය ජාතියෙහි යම් දිනක උපන්නෙම් ද, එදා පටන් දැන දැන කිසිදු ප්‍රාණියෙකුගේ දිවි තොර කර නැත්තෙමි. මේ සත්‍යානුභාවයෙන් ඔබ සුවපත් වේවා... ඔබේ දරුවාගේ ප්‍රසූතිය සුවසේ වේවා...' යි සත්‍ය ක්‍රියා කරනවිට ම අසිරිමත් ලෙස සුවසේ දරු ප්‍රසූතිය සිදුවිය. එම ස්‌ථානයේ ඉදිකරන ලද ස්‌ථූපය අංගුලිමාල චෛත්‍යය ලෙස හඳුන්වයි. අද එහි නටබුන් දක්‌නට ඇත.

 ගණ්‌ඩම්බ චෛත්‍යය

 ඡේතවනාරාමයට කිලෝමීටරයක්‌ පමණ දුරින් ප්‍රධාන මාර්ගය අසල මෙය පිහිටා ඇත. සැවැත්නුවර මහසිටුතුමා විසින් ඉතා උස කණුවක්‌ මත සඳුන් පාත්‍රයක්‌ තබා සෘද්ධිමත් රහතුන් සිටී නම් මෙය අහසින් පැමිණ ගනිත්වා යි අභියෝග කළේය. රහතුන් යෑයි කියාගෙන සිටි අන්‍යාගමික පිරිස කිසිවක්‌ කරකියාගත නොහැකිව සිටියදී පිණ්‌ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ අහසින් වැඩ මහා පෙළහර පා සඳුන් පාත්‍රය ගත් අතර මෙකරුණට ගර්හා කළ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට ලාභ සත්කාර පිණිස ගිහි පිරිසට සෘද්ධි ප්‍රාතිහාර්ය පෑම නොකළ යුතු බවට ශික්‌ෂාපදයක්‌ පැනවූ සේක.

 මෙය ඇසූ අන්‍ය තීර්ථකයෝ 'දැන් ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයන්ගේ තටු සිඳිලා' යෑයි ගරහන්නට වූහ. එකල්හී බුදුරජුන් එයට පිළිතුරු ලෙස යමක මහා පෙළහර සහිතව අසිරිමත් පෙළහර දැක්‌වීමක්‌ සිදුකළ ස්‌ථානය මෙයයි. ගණ්‌ඩ නම් උයන්පල්ලා පූජා කළ අඹ ගෙඩිය වළඳා එහි ඇටය මේ ස්‌ථානයේ රෝපණය කරවූ බුදුරජාණෝ පාත්‍රය සෝදා එ මතට පැන් වත්කළ විගස ම සුවිසල් අඹ ගසක්‌ ඇති විය. එය ගණ්‌ඩම්බ රුකයි. එ මූලයේ පෙළහර පෑ අප බුදුරජාණන් වහන්සේ 7 වෙනි වස එළැඹීමට තව්තිසාවට වැඩම කළ සේක.

 මේ ස්‌ථානයේ පසුකාලීනව ස්‌ථූපයක්‌ ඉදිකරවා තිබේ. එය ධර්මාශෝක රජ දවස කරවූවකි. එනමුත් අද එහි ඇත්තේ විනාශ වී ගිය ස්‌ථූපය තිබූ තැන පස්‌ ගොඩක්‌ පමණි.

 මීට අමතරව සැවැත් නුවරදී නව ඡේතවන විහාරය (ශ්‍රී ලංකාරාමය), දේවදත්තයන් හා චිංචිමානවිකාව පොළොව පැලී නිරයට ගිය ස්‌ථාන දැකබලා ගත හැකිය.

 මෙතරම් ලේඛනගත හා ඉතිහාසගත සාක්‌ෂි තිබියදී, ආනන්ද බෝධිය වැනි ජීවමාන සාධක පවා තිබියදී, සැවැත් නුවර යනු ලංකාවේ රිටිගල යෑයි පවසන අමූලික ආර්යෝපවාද මුසාවාදයට නොරැවටෙත්වා! සැබෑ සම්බුදු පුදබිම් සැදැහැයෙන් වන්දනා මාන කොට පින් රැස්‌කර ගනිත්වා!

 පූජ්‍ය යටිබේරියේ  සෝමඤාණ ස්‌වාමීන් වහන්සේ
 ඡායාරූප - ප්‍රසන්න බ්‍රාහ්මණ 
http://divaina.com/sunday/index.php/visheshanga2/4298-2018-06-14-07-11-8

0 comments: