Pages

Wednesday, December 12, 2012

පෞරාණික බෞද්ධ සිද්ධස්‌ථාන ප්‍රතිසංස්‌කරණය යළි අරඹමු


වසර දහස්‌ ගණනක්‌ පැරණි ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමයේ ප්‍රබල සාක්‌ෂි ලෙස සැලකිය හැකි බෞද්ධ සිද්ධස්‌ථානවල නටබුන් ශ්‍රී ලංකාව පුරාම දැකගත හැකිය. ඒවා පුරාවිද්‍යා ස්‌මාරක මිස බෞද්ධ සිද්ධස්‌ථාන ලෙස නීතිගත වී නොමැත. මෙරට බෞද්ධ උරුමයන් තහවුරු කිරීමට කිසිදු උවමනාවක්‌ නැතිදු මෙන්ම ක්‍රිස්‌තියානිය පතුරුවාලීමට වෙර දැරූ ඉංග්‍රීසින් සකස්‌ කළ අණපනත්වල එසේ සඳහන් වුවද ඒවා අපට අවශ්‍ය පරිදි වෙනස්‌ කර ගත යුතුව ඇත. බුදු දහම ආරක්‌ෂා කර පෝෂණය කළ විශේෂයෙන් ථෙරවාදී බුදු දහමේ මූලස්‌ථානය ලෙස ලෝකය පිළිගන්නා ශ්‍රී ලංකාවෙහි බෞද්ධ උරුමයන් රැකදීමට අවශ්‍ය අණපනත් සකස්‌ නොකිරීම බරපතළ වරදකි. වගකිවයුතු බෞද්ධ නායකත්වය හා පොදු ජනතාව මෙන්ම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් බුද්ධ ශාසනය ආරක්‌ෂාකොට පෝෂණය කිරීමට දිවුරා පොරොන්දු වී සිටින ව්‍යවස්‌ථාදායකය එනම් පාර්ලිමේන්තුවද මෙරට බෞද්ධ උරුමය රැකදීමට පියවර ගත යුතුය.

පෙර රජ දරුවන් මෙරට ජනතාව තුළ සැදැහැ සිත් ඇතිවීමට හා සැදැහැතියන්ගේ පහන් සිත් වැඩිවීමට අදාළව ඉදි කළ සිද්ධස්‌ථාන යළි යළිත් ප්‍රතිසංස්‌කරණය කිරීම ඔවුන්ගේ පිළිවෙත විය. අද රමණීය ලෙස දිස්‌වෙන මහිsයංගනය, රුවන්වැලිසෑය, ථූපාරාමය වැනි දාගැබ් පුරාවිද්‍යා ස්‌මාරක ලෙස තිබුණා නම් ඒවා දැකබලාගෙන සිත් පහන් කර ගැනීමට පිං සිදු කර ගැනීමට හැකිවන්නේ නැත. මහියංගන චෛත්‍යයේ ඉතිහාසය විමසා බලන විට මහින්දාගමනයට ද පෙර ඇරඹූ එය මුලදී පැවැතුණේ ඉතා කුඩාවටයි. හෙළ රජ දරුවන් විසින් වරින් වර එය ප්‍රතිසංස්‌කරණය කිරීමෙන් අද පවතින තත්ත්වයට විශාල වී ඇත. එම පූර්වාදර්ශය අදටත් ක්‍රියාත්මක කළ හැකි මෙන්ම ක්‍රියාත්මක කළ යුතු දෙයකි.

රට පුරා පවතින පුරාවිද්‍යා ස්‌මාරක යෑයි හඳුනාගෙන තහවුරු කර ගෙන තිබෙන බෞද්ධ සිද්ධස්‌ථාන ප්‍රතිසංස්‌කරණයට බාධා වී ඇත්තේ ඉංග්‍රීසීන් විසින් සකස්‌ කළ පුරාවිද්‍යා නීතියයි. ඇතැම් බෞද්ධ නටබුන් එම නීතියට අනුව හෝ හඳුනාගෙන තහවුරු කර නොමැත. එයින් පැහැදිලි වනුයේ මෙරට ඇති අතිශයින්ම වැදගත් නටබුන් පිළිබඳව පුරාවිද්‍යා වගකිවයුත්තන් දක්‌වන නොසැලකිල්ල හා උදාසීනකමයි. එම නීතිය වෙනස්‌කර එම සිද්ධස්‌ථාන යළි ප්‍රතිසංස්‌කරණය කළ යුතුව තිබියදී පවතින ආකාරයෙන් හෝ ආරක්‌ෂා කර ගැනීමට ක්‍රියා නොකිරීම මොනතරම් බරපතළ වරදක්‌ද? නටබුන්ව ගිය වෙහෙර විහාර කුසගින්නේ ඉදිමින් හෝ නැවත ගොඩනැගිය යුතු බව පැවසූයේ කතෝලික පියතුමකු වූ මර්සිලීනු ජයකොඩි පියතුමාය.

"උතුරත් දකුණත් අනෙක්‌ දෙපැත්තත්, වෙහෙරෙන් සුදුවී ඇත නංවා කොත්

යම් විට යම් කොත් සුන් වී ඇත හොත් - යළි නංවනතුරු කන්න එපා බත්" 

එතුමාට වැටහෙන මේ සත්‍යය බටහිරයන්ගේ අණපනත්වලට ගරු කරන බටහිර ගැති මානසිකත්වයක්‌ ඇති එවුන්ට වැටහෙන්නේම නැත.

පැරණි බෞද්ධ සිද්ධස්‌ථාන ප්‍රතිසංස්‌කරණය කරනු තබා ඒවා පවතින ස්‌වරූපයෙන්වත් ආරක්‌ෂා කර තැබීමට ඒ පිළිබඳ වගකිවයුතු යුත්තන්ට උවමනාවක්‌ නැති සේ පෙනේ. විශේෂයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශ පුරා ඇති පැරණි බෞද්ධ සිද්ධස්‌ථාන විනාශ කර දැමීමේ වැඩපිළිවෙළක්‌ අද ක්‍රියාත්මක වෙයි. ඒවා එලෙසින් විනාශ කර දමනුයේ නිදන් හාරා වස්‌තුව ලබා ගැනීමේ අරමුණින් පමණක්‌ නොවේ. මෙම බෞද්ධ නටබුන් විනාශ කර දැමූ විට බෞද්ධ අයිතියක්‌ කියාපෑමට නොහැකිවන තැනට කටයුතු යෙදීමද මෙම වැඩපිළිවෙළේ අරමුණයි. අෂ්රොප් ඇමැතිවරයා දීඝවාපී මහා සෑයේ පරිවාර දාගැබක්‌ ඩෝසර් කර දැමීම පිළිබඳව එදා මහත් ආන්දෝලනයක්‌ ඇතිවිය. පසුගියදා කල්මුණේ ප්‍රදේශයේ මොට්‌ටයාගල අසල පුරාණ නටබුන් විනාශ කිරීම පිළිබඳව සොයා බැලීමට අපි එහි ගියෙමු. මුසල්මානුවන් විසින් සිත් පිත් නැති අය සේ එහි කර තිබූ විනාශය දැක අපේ හදවත් කම්පා වී ගියේය. එම ප්‍රදේශය පුරා ඇති තවත් බොහෝ නටබුන්ද අපට දැකගත හැකිවිය. ඒවා හඳුනාගෙන දැනට ඇති පුරාවිද්‍යා පනත අනුව හෝ පුරාවිද්‍යා ස්‌මාරක ලෙස තහවුරු කර තැබීමට පුරාවිද්‍යා නිලධාරීන් කිසිදු උනන්දුවක්‌ නොදක්‌වන බව කිව යුතුය. ඔවුන් තම නිදහසට කරුණු ලෙස කියන්නේ අවශ්‍ය මුදල් හා පිරිස නොමැතිකමයි. එහෙත් අපට වැටහෙන හේතුව නම් එය නොවේ. ඒ සඳහා ඔවුන්ට උනන්දුවක්‌ නොමැති කමයි. අන්‍යාගමිකයන් බෞද්ධ නටබුන් විනාශ කරද්දී පුරාවිද්‍යා නිලධාරීහු හොරට නිදා සිටිති.

එම පුරාවිද්‍යා නටබුන් පිළිබඳ වැදගත්කම වටහාගත් අයගේ මගපෙන්වීම මත පොලිසිය විසින් මොට්‌ටයාගල අසල විනාශය කළ වැරදිකරුවන් අල්ලා උසාවියට ඉදිරිපත් කරන ලද නමුත් රුපියල් විසිපන්දහසක දඩයක්‌ ගසා වැරදිකරුවන් නිදහස්‌ කර ඇති බව දැනගන්නට ලැබිණි. "නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ යෑයි" කියන්නේ මෙවැනි දේටයි. එම විනාශය සිදු කර වැඩි කලක්‌ යන්නට පෙර තිරුක්‌කෝවිල් ප්‍රදේශයේ තවත් පැරණි දාගැබක්‌ විනාශ කර ඇත. ප්‍රදේශයේ මහා සඟරුවන දැක්‌වූ බරපතළ විරෝධතාව හා පොලිසියද නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම නිසා වැරැදිකරුවන් අල්ලා රක්‌ෂිත බන්ධනාගාරගත කිරීමටත් දාගැබ තුළ තිබී සොයාගත් වටිනා වස්‌තු රාශියක්‌ අත්අඩංගුවට ගැනීමටත් හැකි විය.

බෞද්ධයන් අන්‍යාගමික සිද්ධස්‌ථාන විනාශ කිරීමට නොසිතන්නේ ඔවුන් තුළ නිසඟයෙන්ම ආගමික සහනශීලිත්වය ඇති නිසයි. එහෙත් අන්‍යාගමිකයන් එසේ නොවේ. ඔවුන්ගේ ආගමික ග්‍රන්ථවල දෙවියන්ගේ මුවින්ම සඳහන් වන්නේ අන්‍යාගමික ස්‌ථාන කඩා විනාශ කර දමන ලෙසයි. මොන දෙවියකුගේ වදනක්‌ වුවද එය සදාචාරයට හෝ මනුස්‌ස ධර්මයට එකඟවන්නක්‌ නොවේ. බාමියන් බුද්ධ ප්‍රතිමාවන් විනාශ කළේ ද මෙම ආගමික උන්මත්තකයන් විසිනි. මෙරට පවතින පෞරාණික බෞද්ධ උරුමයන් රැක දීමට අවශ්‍ය පියවර නොගෙන උතුරු හා නැගෙනහිර පළාත්වල අන්ත ජාතිවාදී හා ආගම්වාදින්ට ඒවා විනාශ කරලීමට ඉඩදී බලා සිටීම රාජ්‍ය තන්ත්‍රයටද සුදුසු පිළිවෙතක්‌ නොවේ. උතුරු - නැගෙනහිර සිදුවෙන මෙම විනාශයට ඉඩ දී බලා සිටියහොත් නොබෝ කලකින් ශ්‍රී ලංකාව දෙකඩ තෙකඩ වී යන තැනකට කරුණු යෙදෙනු ඇත. එය එතනින් නොනැවතී ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමයත්, ශ්‍රී ලංකාවත් විනාශ වී යන තැනට මග හැදෙනු ඇත.

මෙම විනාශයන් කරනුයේ අන්‍යාගමිකයන් පමණක්‌ නොව බෞද්ධයන් ද නිදන් ගැනීමේ අරමුණින් මෙවැනි දේ කරතැයි සමහරු කියති. එහිදී ඇත්තක්‌ තිබේ. එවැනි විනාශකාරී දේ කරන අය නාමික බෞද්ධයෝ වෙති. ඔවුන් "බුදු සසුන වනසන කඳ පණුවන්" ලෙස හැඳින්විය හැකිය. එවැනි අයගෙන් සසුන රැක ගැනීමද ඉතා අසීරු දෙයකි. සමහරු නිධන් ගැනීමේ මුවාවෙන් බෞද්ධ උරුමයන් විනාශ කරන අතර තවත් අය බුදු පිළිම හා වෙනත් බෞද්ධ පිළිම දුටුවන් තුළ සැදැහැබැති ඇති නොනවන ලෙස ඒවා විකෘති කර නිර්මාණය කර ඇත. ආකර්ෂණීය මතුපිටක්‌ පෙන්වන ඔවුහු ඉතා සූක්‍ෂම ලෙස සාමාන්‍ය බෞද්ධයන් මෙන්ම බලවතුන් හා ධනවතුන් ද නම්මාගෙන කඳපණු වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරති. බුදු සසුනට සිදුවන මෙම විනාශකාරී ක්‍රියාවන් හඳුනාගෙන ඒවා වළක්‌වා බෞද්ධ උරුමයන් මෙන්ම බුද්ධ ශාසනය ආරක්‌ෂා කර ගැනීමට වහ වහා ක්‍රියා කළ යුතුව ඇත. එය ආගමික උමතුවක්‌ නොව අපටද වටිනා ලොවටද වටිනා උතුම් බුදු සසුන රැකදීමක්‌ම වනු ඇත.

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
දේශප්‍රේමී භික්‌ෂු පෙරමුණේ ලේකම් (දිවයින පුවත්පතින් උපටා ගැනිනි)

2 comments:

Buddhi said...

අපූරු බ්ලොග් එකක්. දිගටම ලියන්න !

දෙනෙත් හරින්න ! said...

බොහොම ස්තුතියි!