Pages

Wednesday, December 12, 2012

බෞද්ධයාට නිවැරදි මග පෙන්වූ ගංගොඩවිල සෝම හිමි

(ගංගොඩවිල සෝම හිමියන්ගේ 9 වැනි ගුණානුස්‌මරණය නිමිත්තෙනි)

මීට වසර 64 කට පමණ පෙර ලක්‌ මෑණියන්ට පින්වන්ත පුතෙකු බිහිවිය. එනම්, ගංගොඩවිලදී වීරතුංග ආරච්චිලාගේ දොන් ධර්මදාස හා හෙට්‌ටිගේ දොaන චාලට්‌ නෝනාට දාව උපන් සෝමරත්නය. දහමට අනුව ජීවිතයේ ළමාවිය හා යෞවනය ගත කළ මේ අපූරු තරුණයාට ජීවිතයේ අනිත් තරුණයන්ට මෙන් විශාල බලාපොරොත්තු හෝ සිහින මාළිගා නොවීය. එනිසාම තමා ගත කළ අපූරු සැහැල්ලු දිවිය තව තවත් අර්ථවත් කරමින් ධර්මායතනය හා වජිරාරාම පින්බිම තුළ තම ආධ්‍යාත්මික ගුණවගාව පතුරුවමින් අම්පිටියේ රාහුල නාහිමිගේ සහ රටක්‌ වටිනා මඩිහේ පඤ්Æසීහ නාහිමි ඇසුරේ 1974 සැප්තැම්බර් මස 24 දා ගංගොඩවිල සෝම නමින් බුද්ධ පුත්‍රයකු බවට පත්විය.

පොතපතින් පමණක්‌ නොව, ධර්මය ප්‍රායෝගික ලෙස ක්‍රියාවට නඟමින් තම ජීවිතය ගත කළ සෝම හිමියෝ බෞද්ධ භාවනාව පිළිබඳ අධ්‍යයනය කළහ. තම වයසට වඩා දැනුමෙන්, චතුර කථිකත්වයෙන් ධර්මය ශ්‍රාවකයාට ගෙන යැමේ අපූරු හැකියාවක්‌ උන්වහන්සේට තිබිණි. සිංහල, පාලි, සංස්‌කෘත භාෂා ඇතුළුව ත්‍රිපිටකය පිළිබඳ විචාරශීලී දැනුමක්‌ ලබා සිටි සෝම හිමියෝ 1976 වෙසක්‌ මහේ 26 දා උපසම්පදා වූහ.

සෝම හිමි වටා යෞවනත්වය පෙළ ගැසේ

මහරගම ධර්මායතනය තුළ ඇරඹී තිබුණු තරුණ සීල සමාදානයට සෝම හිමිගේ මූලිකත්වය ලැබීමෙන් පසු එය ඉතා ජනප්‍රිය වැඩසටහනක්‌ බවට පත්විය. ධර්මයෙන් ඈත්වී තිබුණු යෞවනත්වය සුන්දර දහම් පදයන් වෙත දෙසවන් යොමුකොට තරුණයන්ගේ හදවතට දහම් ආලෝකය ලබාදෙන්නට උන්වහන්සේ සමත් විය. තරුණ හිමිනමක්‌ ලෙස දිනෙන් දින ප්‍රසිද්ධියට පත්වෙමින් සිටි සෝම හිමියන්ට සාම්ප්‍රදායික විවේචනයන් එල්ල වුවත් අටලෝදහමට අනුව කම්පා වීමෙන් ඵලක්‌ නොමැති බව දැන සිටි නිසා ඒවා කිසිවක්‌ භාර ගත්තේ නැත. දාන, ශීල, භාවනා වැඩසටහන්වලට පමණක්‌ සීමා වී නොසිටි සෝම හිමිගේ දහම් කරුණු හා පොදු පිළිවෙත් නව ආකාරයට තරුණයන්ට පෙන්වා දෙමින් මිථ්‍යා දෘෂ්ටික දෙවියන් යෑදීම වැනි ක්‍රියාවන්වල ඇති නිසරු බව වටහා දෙමින් ධර්මායතනය තුළ ප්‍රඥවන්ත යොවුන් සේනාවක්‌ සංවිධානය කළහ. සමාජයේ කටයුතු කරද්දී තමන්ගේ හිතට ඔරොත්තු නොදෙන විවේචනවලදී සෝම හිමියෝ හුදෙකලා වී තම ආධ්‍යාත්මික ශක්‌තිය ගොඩනඟා ගත්හ.

ඔස්‌ටේ්‍රලියාවේ වැඩි සෝම හිමියෝ 

මවුබිම අමතක නොකරති

ඔස්‌ටේ්‍රලියාවේ මෙල්බර්න් නුවර ,ඊමාdයසිඑ Assදජස්‌එසදබ දෙ ඪසජඑදරස්‌, ආයතනයේ ආරාධනාවකට වැඩි සෝම හිමියෝ එහිදී විශාල ආගමික සේවයක්‌ සිදු කළහ. එහි ප්‍රතිඵලයක්‌ ලෙස zශාක්‍යමුනි සම්බුද්ධ විහාරZ නමින් බෞද්ධ විහාරස්‌ථානයක්‌ ඇරඹුණි. ධර්ම ප්‍රචාරක කටයුතු ජාත්‍යන්තරව සිදු කළත් තමන් උපන් රටට නිතර පැමිණ තම ධර්ම ප්‍රචාරක කටයුතු දිවයිනේ සියලුම ගම් නියම්ගම් සිසාරා සිදු කරන ලදී. තමන් වහන්සේ මවුබිමෙන් ඈත්ව ජීවත්වූ නමුත් මවුබිම දිනෙන් දින අධර්මය කරා යොමු වන නිසා සියලු සම්පත්වලට වඩා තමා උපන් බිම ගැන තිබුණු හැඟීම් ඉස්‌මතු වී නැවතත් මවුබිමට වැඩම කළහ.

බෞද්ධයෝ අන්ධානුකරණයෙන් 

මුදවා ගැනෙති

සියවස්‌ ගණනාවක්‌ම අන්‍යාගමිකයන්ගේ ආක්‍රමණශීලී හා කුරිරු පාලනයට නතුව සිටීමේ හේතුවෙන් බෞද්ධ ප්‍රතිපදාවෙන් බැහැරව දේව වාදයේ ගිලී සිටි සිංහල බෞද්ධයන්ගේ පහත් දීන ගතිවලට තදින් පහරදුන් සෝම හිමියෝ බෞද්ධයාගේ සැබෑ බෞද්ධකම කුමක්‌ද යන්න පැහැදිලි කළහ. බෞද්ධයන් උත්පත්තියෙන් ආගම ඇදහීමේ ඵලක්‌ නැති බව පවසා භක්‌තියට නොව බුද්ධියට තැන දෙන අලුත් විදියට හිතන බෞද්ධ සම්ප්‍රදායක්‌ ඇති කළහ, උන්වහන්සේගේ මනහර දහම් පදවැල් ලක්‌දිව පුරා ප්‍රචලිත වන්නට වැඩි කලක්‌ ගත නොවීය. උන්වහන්සේ පත්තරවලට රූපවාහිනියට නැතිවම බැරි චරිතයක්‌ විය. "අඳුරෙන් එළියට", "නැණ පහන" වැනි සජීවී රූපවාහිනි වැඩසටහන් ධර්ම සාකච්ඡා ඔස්‌සේ මිනිසුන්ගේ එදිනෙදා ප්‍රශ්නව වලට ලබා දෙන ධර්මානුකූල පිළිතුරු මිනිසුන්ගේ හදවතට වඩා සමීප විය. උන්වහන්සේගේ ධර්ම දේශනා කෙතරම් සිත් ගත්තේද යත් විහාරස්‌ථානවල ඉඩ මදි වී විශාල ක්‍රීඩා පිට්‌ටනි වැනි තැන්වල ධර්ම දේශනා පවත්වන්නට විය. අන්ධානුකරණය බිඳවැටෙමින් පැවති නිසා උන්වහන්සේගේ ජීවිතයට නොයෙකුත් තර්ජන එල්ලවෙන්නට පටන් ගත්තේය. කාලීනව ඒවාට මුහුණ දුන් සෝම හාමුදුරුවෝ පැය භාගයක්‌ බණ නෑසූ රටකට පැය තුනක්‌ තරම් කාලයත් බණ අහන්නට පුරුදු පුහුණු කළහ. ක්‍රිකට්‌ හා හින්දි චිත්‍රපට බැලීමට පමණක්‌ රූපවාහිනි වටා එකතු වූ තරුණ පරපුරට බණ ඇසීමට රූපවාහිනි වටා එකතුවන්නට තරම් සෝම හිමිගේ ධර්ම දේශනා සිත්ගන්නා සුලු විය.

සෝම හිමියෝ ජරාජීර්ණ දේශපාලනය ප්‍රතික්‍ෂේප කරති

වසර 2500 කටත් වඩා වැඩි ප්‍රෙෘඪ ඉතිහාසයක්‌ ඇති බෞද්ධ රටකට පත්ව ඇති ඉරණමට පක්‍ෂ දේශපාලනය වගකිවයුතු බව උන්වහන්සේ නොබියව ප්‍රකාශ කළහ. මැති ඇමැතිවරු හා රටේ නායකයන් දුරාචාරය වපුරද්දී ධර්මදේශනා වලින් පමණක්‌ රටක්‌ නොහැදිය හැකි බව පවසා උන්වහන්සේ මේ විනාශකාරි දේශපාලනය නැවැත්විය යුතු බව අවධාරණය කළහ.

දිනෙන් දින මත්වතුර රකුසා ජාතිය වඳ කරන බවත් මුදලට යටවුණු මන්දබුද්ධික පාලකයන් මූලධර්ම වාදයට යටත්ව රට පාවාදෙන බවත් ප්‍රකාශ කළ සෝම හාමුදුරුවෝ සිංහල ජාතිය වඳ වී යැමේ මූලික හේතු මොළයට මෙන්ම හදවතටත් සෘජුව දැනෙන පරිදි පහදා දුන්හ.

සදාචාර ජාතියක්‌ බිහිකිරීමට 

zජනවිජයZ සංවිධානය අරඹයි

සෝම හාමුදුරුවන් මහජනතාවගේ නායකයා බවට පත් විය. උන්වහන්සේ දේශනා කරන යථාර්තය අවබෝධ කරගත මිනිසුන්ගේ එකතුවෙන් දුරාචාරයෙන් මුසපත් වූ දේශය යළි ගොඩනැඟීමේ උදාර අරමුණ ඇතිව "සදාචාරය ජාතියක සෞභාග්‍යය උදාකරයි" යන තේමාව යටතේ "ජනවිජය පදනම" ආරම්භ කරන ලදී. රටපුරා ශාඛා සංවිධාන බිහිවීමත් සමඟ දේශපාලන පක්‍ෂ බියෙන් සලිත වන්නට පටන් ගත්තේය. අනගාරික ධර්මපාලතුමා, මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමිගෙන් නැවතුණු සිංහල ජාතික ව්‍යාපාරයට උන්වහන්සේ නායකත්වය දෙන්නට වූහ. ඒ සඳහා "ජනවිජය පුවත්පත" ද ආරම්භ කෙරිණි. මේ නිසාම පවත්නා රජයන් සෝම හිමිට නොයෙක්‌ උපක්‍රම මගින් පහර දෙන්නට විය. මූලධර්මවාදීන්ට මතවාදීව දැඩි ලෙස දුන් පහර නිසාම ඔවුහු පසුබසින්නට වූහ. ඔවුන්ගේ අවසාන තීරණය වූයේ සිංහලයන්ට නායකත්වය දෙන සෝම හිමියන් ගේ ගමනට බාධා පැමිණවීමයි. මේ ගැන සෝම හාමුදුරුවන් ප්‍රකාශ කළේ බුදුන් වහන්සේද මාර පරාජය කළ බවත් ජාතිය වෙනුවෙන් ශාසනය වෙනුවෙන් ජීවිතය පුදා හෝ රකින බවත්ය.

ජාතිය රැකුමට සෝම හිමියන් තීරණාත්මක අවධියක....

දූෂිත දේශපාලනය තමාට අභියෝගයක්‌ බව දැනගත් සෝම හිමියෝ රටේ මෙතෙක්‌ පැවැති ජාතික ව්‍යාපාරයන් නව මාවතකට ගොනුකරමින් ජාතික සංඝ සම්මේලනය වැනි සංවිධාන සමඟ සහජීවනයෙන් කටයුතු කිරීමට සූදානම් වූහ. රට බේරාගැනීමට අවශ්‍ය නම් ජනාධිපති ධුරයට වුවත් යැමට සූදානම් බව සෝම හිමියන් පවසා භික්‍ෂුන් වහන්සේලාගේ මැදිහත් වීම මත පදනම් වූ නව සදාචාර සම්පන්න දේශපාලනයක්‌ ගැන ඉඟි කළේ ඓතිහාසික නුවර දළදා මාළිගාව ඉදිරියේදීය. "අපි කීප නමක්‌ අපවත් වී හෝ මේ ජාතිය බේරා ගත යුතුයි" යෑයි උන්වහන්සේ එදා පැවැසූහ.

නොසිතූ මොහොතක සෝම හිමියන් 

අපවත් වීම

ඉදිරි වැඩපිළිවෙළක්‌ සකසමින් සිටි මොහොතක සෝම හිමියන්ගේ ගුරුදේව මඩිහේ පඤ්Æසීහ හිමි රෝගීව සිට අපවත් වූහ. මහානායක හිමියන්ගේ අපවත් වීමත් සමඟම සෝම හිමියන්ට හිතවතුන් ලෙස පෙනී සිටි ගිහි පැවිදි පිරිසගේ කටයුතු නිසා මානසික ලෙස කලකිරීමෙන් සිටි මොහොතක තමන් වහන්සේ විසින් සම්පාදනය කරන ලද "බුද්ධ ස්‌ථූප" යන ග්‍රන්ථයේ කරුණුවල ඇති වටිනාකම පිළිබඳ ඇගයීම සඳහා කරන ලද ආරාධනය පිළිගෙන පවතින පීඩාකාරී වාතාවරණයෙන් මිදී රුසියාවට වැඩම කිරීමට තීරණය කළේ සතියක කාල සීමාවකටයි. එනමුදු රුසියාවට වැඩම කළ මොහොතේම අනපේක්‍ෂිත ලෙස රෝගාතුරවූ සෝම හිමි රෝහල් ගත කරනු ලැබූහ. වෛද්‍යවරුන්ගේ උපදෙස්‌ මත ප්‍රතිකාර ලබමින් මාස 3 ක්‌ම රෝහල්ගත වී සිටීමට උන්වහන්සේට සිදු විය. අවාසනාවක මහත, 2003 දෙසැම්බර් 12 දින පෙරවරු 10.00 ට පමණ ලැබුණු දුරකථන පණිවිඩය නිසා මාගේ මුළු සිරුරම අප්‍රාණික වූ සේ දැනිණ.

නොසිතූ මොහොතක, නොසිතූ ආකාරයකට ඈත සීතල රටක සිටි උන්වහන්සේගේ හදිසි අපවත් වීම තුළින් ලක්‌මෑණියන් දැයට බිහිකළ සුජාත පුත්‍රයාගේ අභිමි වීම දරාගත නොහැකිව බෞද්ධ ලෝකයාම කම්පා වෙන්නට විය. ජාතියේ රන් ස්‌වරය නැති සොවින් ලක්‌ මෑණියන්ගේ සියලු දරුවෝ කම්පාවට පත්වූහ. පුරා සතියක්‌ සෝම හිමිගේ දේහය ගෙන්වා ගැනීමට නොහැකි වූ පාලකයන් ප්‍රතික්‍ෂේප කරමින් සෝම හිමි නාමය වෙනුවෙන් සිංහලයා එකතුවන්නට පටන් ගත්හ. කෙසේ හෝ සතියකට පසුව සෝම හිමිගේ දේහය ශ්‍රී ලංකාවට වැඩමවා ගන්නා ලදී. ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවගෙන් සෑම දිනයක්‌ම මහරගම ධර්මායතනය එකම හිස්‌ ගොඩක්‌ බවට පත්විය. සෝම හිමි ජීවත්ව සිටියදී කළ කී දැ මිනිසුන්ගේ හදවතෙහි දොaංකාර දෙන්නට විය. මේ සිංහලයාගේ අවසානය දැයි කල්පනා කළ බුද්ධිමත් සිංහලයා සෝම හිමි දේහය පාමුල සෝම හිමි ප්‍රාර්ථනා කළ ධර්ම රාජ්‍යය කෙසේ හෝ ගොඩනඟන බවට ප්‍රතිඥ දෙන්නට වූහ. 2003 දෙසැම්බර් 24 වැනිදා නිදහස්‌ චතුරශ්‍රයේදී මහත් ආන්දොaලනයන් මැද දහස්‌ ගණනක මහ සඟරුවනද ලක්‍ෂ සංඛ්‍යාත මහජනයා සහ ජාතියේම දුක්‌ සෝ සුසුම් මැද බෞද්ධ රාජ්‍යයක්‌ උදෙසා ජාතිය පෙළගස්‌වමින් මහපොළොවද කම්පා කරමින් උන්වහන්සේ දැයෙන් සමුගත්හ.

අපේ වගකීම

උදාර සංස්‌කෘතියකට හිමිකම් කියූ ශ්‍රේෂ්ඨ මිනිස්‌ සමාජයක්‌ වන zහෙළ බොදුනුවන්Z පරගැති බවේත් දුරාචාරයේත් ආදීනව හේතුවෙන් විනාශ වී යද්දී සත්‍යාවබෝධය ලබාදීම තුළින් ඉන් ගලවාගෙන අප මවුබිම නැවත බෞද්ධ රාජ්‍යයක්‌ බවට පත් කිරීමට දිවි හිමියෙන් කටයුතු කළ අපගේ අති පූජනීය ගංගොඩවිල සෝම සමිඳුන් ඇතිකළ බෞද්ධ පුනර්ජීවනය දුර්වල වී යැමට ඉඩ නොදී එය එලෙසින්ම රැක ගැනීම, අපගේ පරම වගකීම හා යුතුකමද මෙන්ම උන්වහන්සේට කෘතගුණ සැලකීමද වන්නේය.

මෙය ඉටුකිරීම එතරම් පහසු කටයුත්තක්‌ ලෙස අප නොසිතිය යුතුය. ආධ්‍යාත්මික ශක්‌තියට වඩා මූල්‍ය ශක්‌තිය කෙරෙහි විශ්වාසය තබා ඇති ලොව ධනවත් රටවල් සිය පැවැත්ම උදෙසා අප වැනි දැහැමි රටවල් සිය අතකොළු හෝ වෙළෙඳපල බවට පත්කර ගැනීමේ අපේක්‍ෂාවෙන් දුශ්චරිතය සැබෑ දියුණුව බව හුවා දක්‌වමින් උතුම් සාරධර්මවලට නිගරු කරමින් ඈත අතීතයේ කළ කී ආකාරයටම නිරතුරුවම, මිතුරු වෙසින් අපව ග්‍රහණය කිරීම සිදු වෙයි. මෙම තත්ත්වය අවබෝධ කර ගැනීමට හා ඉන් වැළකී සදාචාරවත් සහ ස්‌වයංපෝෂිත ජාතියක්‌ බවට පත්වීමට නම් අප පිරිසිදු ආධ්‍යාත්මික ශක්‌තියක්‌ ඇතිකර ගත යුතුමය. ඒ සඳහා බුදුන් වහන්සේ විසින් අනිවාර්යයෙන්ම අප අනුගමනය කළ යුතු පංචශීල ප්‍රතිපදාව පැහැදිලිවම දක්‌වා ඇත. පන්සිල් සුරකින තැනැත්තා තුළ ජනිත වන අධ්‍යාත්මික ශක්‌තිය අප්‍රමාණය. මේ තුළින් අප මුහුණ දෙන සියලු අභියෝග ජයගත හැකිවාක්‌ මෙන්ම අප මාතෘභූමිය සුරැකීමේ ශක්‌තියද ඒ තුළින් ලැබීම අනිවාර්ය ය, මේ සඳහා උපතින් බෞද්ධ වීම නොව බුදුරදුන් හා ධර්මය පිළිබඳව අවබෝධ සහිතවම බෞද්ධයන් වීමත් අනිවාර්ය ය.

පූජනීය ගංගොඩවිල සෝම හිමියන්ද, දේශය සුරැකීමේ "වැඩපිළිවෙළ" හෙවත් "දර්ශනය" ඉදිරිපත් කිරීමේදී, මුලින්ම අප විසින් අනුගමනය කළ යුතු "සත් පිළිවෙත" යටතේද, මෙය අපූරුවට දක්‌වා ඇත.

පූජනීය ගංගොඩවිල සෝම සමිඳුන්ගේ ලේඛකාධිකාරි වශයෙන් උන්වහන්සේ ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළට සෘජුවම සහාය වන්නට ලැබීම සසරේදී මා කළ මහත් පිංකමක්‌ ලෙස දැනේ. උන්වහන්සේ අවසන් වරට රුසියාවේ දී අසනීපව ලෙඩ ඇඳේ ගත කළ තෙමසක කාලය තුළ ධර්ම ග්‍රන්ථ, කවි සහ ගීත ද කිහිපයක්‌ රචනා කර ඇත. ඒවා දැන් මුද්‍රිත මාධ්‍යයෙන් සහ සීඩී පටවලට නඟා ඇත. එමෙන්ම උන්වහන්සේගේ අවසන් කැමැති පත්‍රයේ සඳහන් ඉල්ලීම් ඉටු කිරීම සඳහා "ගංගොඩවිල සෝම සමිඳු අනුස්‌මරණ පදනම" නමින් සංවිධානයක්‌ පිහිටුවා ඒ යටතේ වයෝවෘද්ධ අසරණයන්ට සරණ වීම සඳහා කෑගල්ලේ පිටගල්දෙණියේ මර්වින් කරුණාරත්න සහ මල්ලිකා කරුණාරත්න යුවළ විසින් පරිත්‍යාග කරන ලද නිවසේ ගරු ගංගොඩවිල සෝම සමිඳු ගුණ සමරු මාපිය සෙවණ ආරම්භ කර ඇත. අංග විකල හා මන්ද බුද්ධික අයට පිහිටවීමටද ආයතනයක්‌ පිහිටුවා ඇත.

උන්වහන්සේගේ අරමුණක්‌ව තිබූ මිථ්‍යා දෘෂ්ටි, මිථ්‍යාවාද හා මිථ්‍යා ප්‍රතිපදා ඛණ්‌ඩනය කොට සම්මා දිට්‌ඨිය තහවුරු කිරීමට නිසි වන අයුරින් ධර්ම විනය පිළිබඳ භික්‍ෂු අධ්‍යාපනය තහවුරු කොට බුදු සසුනේ චිරස්‌ථිතියට හේතු වනු පිණිස වැඩපිළිවෙළක්‌ යෙදීමට ද අරමුණු කරගෙන සිටිමු.

සෝම හිමියන් සිය අන්තිම කැමැති පත්‍රය අවසන් කර ඇති වගන්තිය ද අපට මහා ධර්ම දේශනයක්‌ මය. "එනම් ජීවිතයේ අවසානය කොතැනක සිදුවේ දැයි කාහට කිව හැකිද? සසරින් මිදීම ගැන සිතා අප්‍රමාදව කටයුතු කරන මෙන් සෑම දෙනාගෙන් ඉල්ලා සිටිමි. මීට මෙත් සිතැති ගංගොඩවිල සෝම ස්‌ථවිර".

2012-12-12 දිනට පූජනීය සෝම සමිඳුන් අප අතරින් වෙන්වී වසර 9 ක්‌ ගතවේ. ඒ නිමිත්තෙන් උන්වහන්සේ අනුශාසකත්වය දැරූ ලංකා බැංකුවේ එක්‌සත් බෞද්ධ සංගමය විසින් ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී 2012-12-19 දා පවත්වනු ලබන ධර්මදේශනා පිංකමෙන් සහ උන් වහන්සේ වැඩ විසූ බම්බලපිටිය වජිරාරාමයේදී දෙසැම්බර් 27 වැනිදා උඳුවප් පුන් පෝ දින දවස පුරා පෙහෙවස්‌ සමාදන් වී කරනු ලබන පිංකම්වල හා අනෙකුත් පිංකම්වලින් ජනිත වන්නා වූ කුසල් උන්වහන්සේ ප්‍රාර්ථනය කළ ඒ උතුම් සම්බුද්ධත්වය ලබා ගැනීමට හේතු වාසනා වේවා· යි ඉත සිතින් ප්‍රාර්ථනය කරන්නෙමු.

සරත් ඉඹුලමුරේ
සෝම හිමියන්ගේ ලේඛකාධිකාරි (දිවයින පුවත්පතින් උපටා ගැනිනි)

0 comments: