Pages

Saturday, December 6, 2014

වඳින්ට යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි!

සිරිපා වන්දනා සමය උදුවප් පුන් පෝය දිනයෙන් ඇරඹේ. උදුවප් පෝය දිනයෙන් ඇරඹෙන සිරිපා වන්දනා සමය පුරා මාස හයක්‌ ඉදිරි වෙසක්‌ පෝය දින දක්‌වා පැවැත්වෙයි. මෙම වන්දනා සමය තුළ දහස්‌ ගණනක්‌ බැතිමත්හු සිරිපා වන්දනා කරති.

මේ සිරිපා සමය තුළ බොහෝ බැතිමතුන්ගේ මුවග කියවෙන නාමයක්‌ වෙයි. ඒ "සුමන සමන් දෙවි" නාමයයි. සුමන සමන් දෙවියෝ සිරීපාදයට අධිපති, සිරිපා අඩවියේ භාරකරුවාය. එබැවින් සිරිපා වන්දනයට සමන් දෙවි ආශිර්වාදය, කරුණාව ලබා ගැනීම ඈත අතීතයේ සිටම ගැමියන්ගේ සිරිතය.

"කරුණාවයි - කරුණාවයි
සමන් දෙවිඳු - කරුණාවයි

කියමින් සිරිපා කන්ද තරණය කරන පිරිස්‌, සමන් දෙවියන්ට පුද පූජා පවත්වමින් රැකවරණය ප්‍රාර්ථතා කරති.

සිරිපා වන්දනා සමය ඇරඹෙන්නේ ද පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරයේ තැන්පත් කර ඇති සඳුන් ලීයෙන් කළ සමන් දේව රූපය ශ්‍රී පාදස්‌ථානයේ උඩමළුව දක්‌වා වැඩම කරවීමෙනි.

සමන් දෙවියන් ලංකාවේ සතර දිශාව භාර දෙවිවරු හතර දෙනාගෙන් එක්‌ අයෙකි. සමහර ප්‍රදේශ අනුව සතර වරම් දෙවිවරුන්ගේ නාමයන් වෙනස්‌ වුවද ප්‍රධාන වශයෙන් පිළිගනු ලබනුයේ විෂ්ණු, සමන්, කතරගම හා විභීෂණ දෙවියන් සතර වරම් දෙවියන් ලෙසය. ඒ ඒ ප්‍රදේශ මෙම දෙවිවරුන්ගේ නිජබිම් ලෙස සලකා බෙදා වෙන් කර ඇත. ඒ අනුව දෙවිනුවර විෂ්ණු දෙවියන්ට ද කැලණිය විභීෂණ දෙවියන්ටද කතරගම කඳසුරිඳු දෙවියන්ට ද සබරගමුව සමන් දෙවියන්ට ද අයත්ය. මේ අතරින් සිරිපා වන්දනා සමයේ දී වැඩි වශයෙන් ජනතාවගේ ගෞරවයට පාත්‍ර වන මතු බුදුවන දෙවි කෙනෙකුන් වශයෙන් බෞද්ධ ජනතාව විශ්වාස කරනු ලබන "සමන් දෙවියන්" පිළිබඳව අපූර්ව ජනශ්‍රැති රාශියකි.

සමන් දෙවියන් පිළිබඳ පවත්නා එක්‌ ජනප්‍රවාදයක්‌ බුදුන්ගේ ප්‍රථම ලංකා ගමනය හා බැඳී පවතී. එම අවස්‌ථාවේ මහියංගණයේදී බුදුන්ගෙන් බණ ඇසීමට සබරගමුවේ සමන්තකූඨ වාසී " සමන්" නමැත්තෙකු පැමිණ ඇත. බුදුන්ගෙන් බණ අසා සෝවාන් ඵලයට පත් වූ ඔහු බුදුරජුන්ගෙන් පූජාව සඳහා යමක්‌ ඉල්ලා ඇත. මෙහිදී බුදුරජාණන් වහන්සේ කේශ ධාතු මිටක්‌ ඔහුට ලබා දී ඇති අතර මහියංගණ චෛත්‍යය කරවා ඇත්තේ එම කේශ ධාතු නිධන් කර බවද සැළකේ. පසුව තම ගම් ප්‍රදේශය වෙත ගිය " සමන්" දේවත්වයෙහිලා සැලකිණි. සමන්තකූඨ වාසී සමන් යන අර්ථයෙන් "සුමන සමන්" වූ බව ප්‍රවාදිතය.

තවත් ජනප්‍රවාදයකට අනුව "සමන්" දෙවියන් "රාම" රජුගේ සහෝදර " ලක්‍ෂමණ" ලෙස සැලකේ. රාම රාවණා " කතාව හා සම්බන්ධව රාම රජුගේ වීරත්වය නිසා රාම සොහොයුරු " ලක්‍ෂමණ" ද වීරත්වය නිසාම දේවත්වයෙහිලා සලකන ලද බව පෙනේ.

තවත් ජනප්‍රවාදයකට අනුව සමන් දෙවියන් සබරගමුවේ වැදි පරපුරෙන් පැවත එන්නෙකි. විජය කුවේණියට ලැබුණු දරු දෙදෙනා ආරක්‍ෂාව සඳහා පලායනුයේ සබරගමුවට ය. එම දෙදෙනාගෙන් පැවත එන වැදි පරපුරෙහි අයෙකි. "සමන්" නමැත්තා. කෙසේ වුවත් තෙවැනි වර බුදුරජුන් ලංකාවට වැඩම කළ අවස්‌ථාවේ " සමන් දෙවියන්" තම වාසභූමිය වූ සමන්තකූඨයෙහි " ශ්‍රී පතුල" පිහිටුවන ලෙස බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියේය. බුදුන් මේ අවස්‌ථාවේදී මෙවන් දුෂ්කර ස්‌ථානයකට බොදු ජනතාව ගමන් කරන්නේ කෙසේදැයි විමසා සිටියහ. මේ බැව් ජනකවියා ඉදිරිපත් කරනුයේ මෙසේය.

"සමන් දෙවිඳුගෙන් මුනිඳු අසන්නේ
නරන් තොපේ හිමෙ කෙලෙසද එන්නේ
ගණන් නොමැත යක්‌ සෙන් වැඩ ඉන්නේ
මෙවන් මෙපව්වට කොහොමද එන්නේ

මෙහිදී සමන් දෙවියන් ප්‍රකාශ කරන ලද්දේ තමුන් සියලු බැතිමතුන්ගේ ආරක්‍ෂාව සඳහා ඇප - කැප වන බවයි.

සමන් දෙවිඳු වැඩ සිට පවසන්නේ
මලින් බඹරු රොන් ගන්න ලෙසින්නේ
නරන් මෙමන් වන්දා බස්‌සන්නේ
මෙමන් එගැන ඇප වෙලයි සිටින්නේ"

මෙම ආයාචනයෙන් පසු " ශ්‍රී පතුල" සමන්තකූඨයේ පිහිටුවන ලදී. අනතුරුව සමන් දෙවියන් පිළිබඳවත්, ශ්‍රී පාදස්‌ථානය පිළිබඳවත් බෞද්ධ ජනතාවගේ විශේෂ අවධානය යොමු වූ අතර සිරිපා වන්දනය හා පුද පූජා ආරම්භ වන ලදී.

සමන් දෙවියන්ගේ වාහනය සුදු ඇතෙකු බව ගැමි විශ්වාසයයි. බුදු සසුනේ ආරක්‍ෂාව භාරව සිටින දෙවියන් ලෙස සලකන සමන් දෙවියන් සුදු ඇතා පිට ගමන් කරමින් මුනි සිරි පතුල වන්දනය කරන බව පැවසෙනවා.

"සුද්ද ලෙසින් නිති ගත බබළන්නේ
සුද්ද ඇතා පිට වද වැඩ ඉන්නේ
බුද්ද සාසනේ දියුණු කරන්නේ
සුද්ද සමන් දෙවියෝය වඩින්නේ"

කෙසේ වුවත් සමන් දෙවියන් පිළිබඳව ඇති පිළිගත් මතය වනුයේ දේශීය සම්භවයක්‌ සහිත බෞද්ධ දෙවියෙකු යන්නය.

ශ්‍රී පාදස්‌ථානයේ ආරක්‍ෂාව භාර වීමෙන් පසු බෞද්ධ ජනතාව අතර වඩාත් ප්‍රකට හා ජනප්‍රියතාවයට පත් වූ " සමන් දෙවියන්" උදෙසා පූජ්‍යස්‌ථාන ආරම්භ කෙරිණි. රත්නපුර සමන් දේවාලය, මහියංගණ සමන් දේවාලය, දැරණියගල සමන් දේවාලය මේ අතර වෙයි. රත්නපුර මහ සමන් දේවාලය මේ අතර ප්‍රධානය. රත්නපුර මහ සමන් දේවාලය ආරම්භ කිරීම සම්බන්ධව ද ඇත්තේ අපූර්ව ජනප්‍රවාදයකි. ඒ අනුව එක්‌තරා ඇමැති කෙනෙක්‌ මැණික්‌ ගැරීමට පැමිණ සමන් දෙවියන්ට බාරයක්‌ වී ඇත. "මැණික්‌ නැළියක්‌" හමුවුවහොත් දෙවියන් උදෙසා දේවාලයක්‌ සාදා දෙන බවටය. ඒ ඇමැතිවරයා "පතිරාජදේව නමැත්තෙකි" මේ ඇමැතිවරයාට මැණික්‌ නැළියක්‌ නොව "මැණික්‌ නැළි" දෙකක්‌ම ලැබුණි. ඉන් සතුටට පත්ව සමන් දේවාලය ඉදි කළ බව පැවැසේ.

මේ සෑම දේවාලයකම ඇසළ මස පෙරහැර පවත්වනු ලබනවා. මේ අතර ජනකවියා රත්නපුර මහ සමන් දේවාලය ලංකාවටම තිලකයක්‌ ලෙස දකී.

" කන්ද උඩින් බසින කලට පෙනේය උළු මාළිගාව
රෑදහවල් අඳුර නැතිව රන්කොත් බබළන සුබාව
දුම්බරකින් සෙනඟ ඇවිත් රුවට කෙරුව මාළිගාව
ලංකාවට තිලකයි මේ සබරගමුවෙ මාළිගාව

සමන් දෙවියන් හා බැඳුණු බොහෝ ජනප්‍රවාද ශ්‍රීපාදය හා සම්බන්ධය. සමනල වන්දනය හා බැඳුණු ජනකාව්‍යයන්හි සමන් දෙවියන් පිළිබඳ වර්ණිතය. "තුන් සරණය" පුරාණ හිමගත වර්ණනාව, සමනල හෑල්ල" ආදී නිර්මාණවල සමන් දෙවි "ඇදහීම් සම්බන්ධව විස්‌තර කරයි.

බුදුරජුන්ට වූ පොරොන්දුව පරිදි ශ්‍රී පතුල වැඳ පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් ආරක්‍ෂා කිරීම සමන් දෙවිඳු විසින් සිදු කරනු ලබන බව ගැමි විශ්වාසය ය.

"ගොසින් වඳිමු සිරිපා මුනිඳුන්ගේ
සමන් දෙවිඳු වද භාරව ඉන්නේ
සමන් දෙවිඳු මත්තට බුදුවන්නේ
පත්මෙ වඳින්නට පිහිට ලැබෙන්නේ


"සීත ගඟුලෙ ජල නාද ඇහෙනවා
සුදු මල් අරගෙන වඳින්න යනවා
සාදු සාදු අර මළුව පෙනෙනවා
සමන් දෙවිඳුනේ අපි වන්දනවා"

සමන් දෙවිඳුන්ට ඇති ගෞරව භක්‌තිය නිසා සිරිපා මළුවට සැදෑ සිතින් ගමන් කරන ගැමියා 

"අපේ බුදුන් අපි වැන්දා
සුමන දෙවිඳු පිහිට වුණා" 

යනුවෙන් කියනුයේ සැබෑම වූ බොදු බැතියෙනි. තමාගේ ස්‌ව ශක්‌තියෙන් පමණක්‌ මෙම කඳු ශිඛරය තරණය කළා නොව දෙවි පිහිටද එයට එක්‌ වූ බව පවසමිනි. පුරා සය මසක්‌ මුනිසිරි පතුල වන්දනය සඳහා ජනතාව ගමන් කරනුයේ ද එම විශ්වාසය පෙරදැරිවමය.

චන්දන සමරවික්‍රම
http://www.divaina.com/2014/12/07/feature13.html

0 comments: