Pages

Thursday, July 19, 2012

උපන්බිමේ උරුමය ගොඩනැගූ සිංහලයාට හැම අතින්ම අසාධාරණයක් සිද්ධ වෙන්නෙ ඇයි?

උ.නැ. ඉඩම් අයිතිය සිංහලයන්ගෙන් ගිලිහෙයි!

ප්‍රියදර්ශන ලියනගේ

දෙමළ දේශපාලනඥයන්ගේ බලපෑම මත උතුර හා නැගෙනහිර පළාත්වල ඉඩම් කළමනාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා ඉඩම් කොමසාරිස්‌ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කරනු ලැබූ 2011/04 චක්‍රලේඛය ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කර ඇතැයි ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

2011/04 දරන චක්‍රලේඛය රජය විසින් නිකුත් කරනු ලැබුවේ උතුර හා නැගෙනහිර පළාත් තුළ පිහිටි ඉඩම්වල අයිතිය නීත්‍යනුකූල ලෙස මුල් පදිංචිකරුවන් වෙත ලබාදීම අරමුණුකොට ගෙනයි.

නමුත් 2011/04 දරන චක්‍රලේඛය නිකුත්වීමත් සමග දෙමළ සන්ධානයට අයත් මන්ත්‍රීවරු සහ දෙමළ දේශපාලනඥයන් රජය විසින් දෙමළ ජනතාවගේ ඉඩම් කොල්ලකෑමට සැරසෙන බව පවසමින් එයට විරුද්ධව දෙමළ ජනතාව මහ පාරට බස්‌සමින් දැඩි ලෙස විරෝධය පළ කරන ලදී.

මේ නිසා උතුර හා නැගෙනහිර පළාත්වල ඉඩම් කළමනාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා රජය ආරම්භ කළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නොහැකිව තාවකාලිකව නතර විය.

දැන් රජය 2011/04 දරන චක්‍රලේඛය සම්පූර්ණයෙන්ම හකුලා ගැනීමට සැලසුම් කර තිබේ. මේ නිසා දැඩි ලෙස අසාධාරණයට ලක්‌වන්නේ යුද්ධයට පෙර උතුර සහ නැගෙනහිර පළාත් තුළ පදිංචිව සිටි සිංහල ජනතාවයි.

http://www.divaina.com/2012/07/15/news05.html

****************************************************************

යුද්ධයෙන් අවතැන්ව දකුණට පැමිණි
උතුරු නැගෙනහිර සිංහල වැසියෝ යළි පදිංචිය ඉල්ලති

ගාල්ල අතිරේක - යූ. පී. කුලතිලක

උතුරු නැගෙනහිර ප්‍රදේශවල පුද්ගලික නිවාස තනාගෙන, ව්‍යාපාර හා විවිධ ස්‌වයං රැකියාවල, ධීවර කර්මාන්තය ආදියේ යෙදෙමින් හොඳින් දරු පවුල් සමඟ ජීවත්ව සිටියදී ත්‍රස්‌තවාදී කුරිරු යුද්ධයෙන් අවතැන්වී මුල් නිජ බිම් වූ හා තම ඥතීන් ජීවත්ව සිටින හික්‌කඩුව, දොඩන්දුව, උඩුගල්පිටිය මෝදර, පටුවත, දොඩන්දුගොඩ ආදී ග්‍රාම නිලධාරි වසම්වල දැනට තාවකාලිකව පදිංචි වී සිටින ජනතාවට නැවත ඔවුන් ත්‍රස්‌තවාදී යුද්ධයට පෙර පදිංචි වී සිටි උතුරු නැගෙනහිර ප්‍රදේශවල යළි පදිංචි කරවීමට ක්‍රියා කරන ලෙස ඔවුහු රජයේ බලධාරීන්ගෙන් ඉල්ලීමක්‌ කරති.

දැනට මෙසේ උතුරු නැගෙනහිර මුලින් සිටි ගම්මානවල පදිංචිවීමට අවශ්‍ය පවුල් පිළිබඳ විස්‌තර හික්‌කඩුව ප්‍රාදේශීය ලේකම් වෙත අදාළ පුද්ගලයන් විසින් සපයා දී ඇත.

මෙසේ උතුරු නැගෙනහිර යළි පදිංචිවීමට බලාපොරොත්තු වන දකුණේ සිංහල වැසියන් බොහෝ දෙනකු පවසන්නේ උතුරු නැගෙනහිර ත්‍රස්‌තවාදී කුරිරු යුද්ධය අවසන් වූ පසු අප මුලින් පදිංචිවී සිටි ඉඩම් වලට, නිවාස පිහිටි ස්‌ථානවලට ගොස්‌ සොයා බැලුවා. එම නිවාස සම්පූර්ණයෙන් ත්‍රස්‌තවාදීන් විසින් බෝම්බ හෙළා මේ වන විට විනාශ කරලා. නිවාසවල නටඹුන් පමණයි දක්‌නට ලැබුණේ. බොහෝ නිවාස පිහිටි ඉඩම් දැනට උතු=රු නැගෙනහිර ද්‍රවිඩ ජනයා විසින් අල්ලාගෙන පදිංචි වී සිටිනවා. සමහර ස්‌ථාන දමිළ ව්‍යාපාරිකයන් හා ද්‍රවිඩ පක්‍ෂවලට සම්බන්ධ දේශපාලඥයන්ගේ හිතවතුන් විසින් අප සතු ඉඩම් මහා පරිමාණයෙන් බුල්ඩෝසර් කර නව ව්‍යාපාර හා ගොවි බිම් ආරම්භ කරලා.

එදා ත්‍රස්‌තවාදීන් විසින් ඇතැමුන් බෝම්බ ගසා එළව ගත්තා. සමහර සිංහල පවුල් සම්පූර්ණයෙන් විනාශ කළා. අප ජීවිතය බේරාගෙන ඇඳිවත පමණක්‌ ඉතුරු කරගෙන දරු පවුල් සමඟ ආරක්‍ෂාව පතා සරණාගත කඳවුරුවලට ආවා. ඒ එන විට අප පදිංචි ඉඩම්වල අයිති ඔප්පු ආදී ලියකියවිලි රැගෙන ආවේ නැහැ. ඒවා පදිංචි නිවාසවලට විනාශ වුණා.

ඒ නිසා අද අපට උතුරු නැගෙනහිර පදිංචි ස්‌ථාන හා ඉඩම් පිළිබඳ අයිතිය ප්‍රකාශ කිරීමට කිසිම ලියවිල්ලක්‌ නැහැ. තවද ඒවායේ මුල් ඔප්පු පිටපත් තිබුණ කච්ෙච්රි හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල පවා ගිනි තබා විනාශ කරලා.

මේ තත්ත්වය තේරුම්ගෙන රජයේ බලධාරීන් විසින් දකුණේ සිංහල පවුල් උතුරු නැගෙනහිර ප්‍රදේශවල පදිංචි කිරීමේදී නිසි සැලැස්‌මක්‌ ක්‍රියාත්මක කළ යුතුයි.

තවද දකුණේ සිංහල ජනතාව දකුණේ දමිළ ජනතාවට දක්‌වන කරුණාව හා මිත්‍රශීලීකම, සහයෝගය, උතුරු නැගෙනහිර දැනට සිටින අන්තවාදී ද්‍රවිඩ පිරිස්‌ විසින්, දකුණේ ජනතාවටද ලැබිය යුතුයි.

රජයේ නිලධාරීන්ගෙන්ද දකුණේ සිංහල වැසියන් ගැන නිසි ලෙස සොයා බලා විසඳුම් ලබාදීම අඩුයි.

මේ තත්ත්වය අවබෝධ කරගෙනයි දකුණේ සිංහල අපි උතුරු නැගෙනහිර නැවත මුල් ඉඩම්වල පදිංචිවීමට ඉඩ ලබාදෙන ලෙස රජයේ බලධාරීන්ගෙන් ඉල්ලීමක්‌ කරන්නේ. ඕනෑම දුකක්‌ විඳගෙන උතුරු නැගෙනහිර නැවත පදිංචියට යැමට සූදානම් බව හික්‌කඩුව දොඩන්දුව ආදී ප්‍රදේශවල දැනට තාවකාලිකව පදිංචිව සිටින වැසියෝ පවසති.

http://www.divaina.com/2012/07/18/provin04.html

****************************************************************

මන්නාරම ඊයේ යුද පිටියක්‌
දෙමළ - මුස්‌ලිම් ධීවර ගැටලුව උග්‍ර වෙයි;
ස්‌ථානාධිපති ඇතුළු පොලිසියේ සිව් දෙනකුට තුවාල

හේමන්ත රන්දුණු සහ දිනසේන රතුගමගේ

මන්නාරම මහෙස්‌ත්‍රාත්වරයා ලබාදුන් නියෝගයකට විරෝධය පළ කරමින් නගරයට රැස්‌වූ දහසකට ආසන්න මුස්‌ලිම් ජාතිකයන් පිරිසක්‌ මන්නාරම අධිකරණයට සහ රජයේ දේපළ වලට පහර දෙමින් පොලිස්‌ නිලධාරීන්ට ගල්මුල් ප්‍රහාර එල්ල කිරීම නිසා ඊයේ (17 වැනිදා) දහවල් මන්නාරම නගරය එකම යුද පිටියක්‌ බවට පත්විය.

මන්නාරම මහෙස්‌ත්‍රාත්වරයාට තර්ජනය කරමින් කලහකාරී ලෙස හැසිරුණු මුස්‌ලිම් ජාතික ධීවරයන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළුගෑස්‌ ප්‍රහාර එල්ල කළ අතර පසුව මෙම පිරිස්‌ විසිර ගොස්‌ තිබේ.

කලහකාරීන්ගේ ගල්මුල් ප්‍රහාරවලට ලක්‌වූ මන්නාරම පොලිස්‌ ස්‌ථානාධිපති තුෂාර දළුවත්ත මහතා ඇතුළු පොලිස්‌ නිලධාරීන් සිව් දෙනකු බරපතළ තුවාල ලැබූ අතර මෙම කලබලකාරී තත්ත්වය ඇතිකිරීමට නායකත්වය දුන් පුද්ගලයන් පස්‌දෙනකු පොලිස්‌ අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම සිද්ධියෙන් පසු පොලිස්‌ විශේෂ කාර්ය බළකාය සහ විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ මන්නාරම නගරය වෙත කැඳවා සිටි අතර ඊයේ දහවල් 2.00 පමණ වන විට ඇතිවී තිබූ කලබලකාරී තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කළ බව උතුර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී ද සිල්වා මහතා පැවැසීය.

මන්නාරම උප්පුකුලම විඩිතල්තිව් ප්‍රදේශයේ ධීවර ගම්මානයක දෙමළ ජාතික ධීවරයන් පිරිසක්‌ වාඩි ඉදිකරගෙන ධීවර කටයුතුවල නිරතවෙමින් සිට ඇත.

මෙම ධීවර ගම්මානය මීට වසර 25 කට පමණ උඩදී මුස්‌ලිම් ජාතික ධීවරයන්ට අයත්ව තිබිණි. උතුරේ යුද්ධයත් සමඟම මුස්‌ලිම් ජාතිකයන් මෙම ධීවර ගම්මානය අතහැර ගොස්‌ ඇති අතර පසුව දෙමළ ජාතික ධීවරයන් එල්. ටී. ටී. ඊ. සංවිධානයට කප්පම් මුදල් ලබාදෙමින් මෙම ගම්මානයේ පදිංචි වී සිට ඇත.

යුද්ධය නිමාවීමෙන් පසු මුස්‌ලිම් ජාතිකයන් නැවත මෙම ධීවර ගම්මානය වෙත පැමිණ තම අයිතිවාසිකම් ඉල්ලා පොලිසියට පැමිණිලි කර තිබිණි. එහෙත් දෙමළ ජාතික ධීවරයන්ද මෙම ගම්මානය අතහැර යැම ප්‍රතික්‍ෂේප කර තිබේ.

මෙම ආරවුල සමථයකට පත්කිරීමට පොලිසිය දැඩි උත්සාහයක්‌ ගත්තද එය ව්‍යර්ථ විය.

මේ අතර මීට දින කීපයකට උඩදී මෙම ධීවර ගම්මානයට කඩා වැදුණු මුස්‌ලිම් ජාතිකයන් පිරිසක්‌ එහි තිබූ ධීවර නිවාස රැසකට පහරදී විනාශ කර තිබිණි. මේ සම්බන්ධයෙන් සැකකරුවන් 16 දෙනකුද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

මේ අතර මෙම ධීවර ගම්මානයේ ප්‍රශ්නයට විසඳුමක්‌ ලබාදෙන ලෙස ඉල්ලමින් පොලිසිය මෙම දෙපාර්ශ්වයම මන්නාරම මහෙස්‌ත්‍රාත්වරයා වෙත ඊයේ ඉදිරිපත් කරන ලදී.

එහිදී මන්නාරම මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළේ සති තුනක කාලයක්‌ ඇතුළත දෙමළ ජාතික ධීවරයන්ට වෙනත් ප්‍රදේශයක ඉඩම් ලබාදී ඔවුන් පදිංචි කිරීමට කටයුතු කරන ලෙසයි.

දෙමළ ජාතික ධීවරයන් ඉවත් කිරීමට සති තුනක කාලයක්‌ ලබාදීමට විරෝධය පළ කළ මුස්‌ලිම් ජාතික ධීවරයන් දහසකට ආසන්න පිරිසක්‌ මන්නාරම නගරයට රැස්‌වී කලහකාරී ලෙස හැසිරීමට පටන් ගත්තේ ඉන් පසුවය.

මුස්‌ලිම් ජාතික ධීවරයෝ මන්නාරම අධිකරණයට ගල්මුල් ප්‍රහාර එල්ලකර මහෙස්‌ත්‍රාත්වරයාට ඉතාම අශෝභන ආකාරයට බැණ වදිමින් කලහකාරී ලෙස හැසිරීමට පටන් ගත්හ.

තත්ත්වය පාලනය කිරීමට පොලිසිය දැඩි උත්සාහයක්‌ ගත් අතර පසුව කඳුළුගෑස්‌ ප්‍රහාර එල්ල කර කලහකාරීන් පලවා හැරීමට පොලිසිය පියවර ගත්හ.

http://www.divaina.com/2012/07/19/news02.html

****************************************************************

නමුත්, පෙර පදිංචිව සිටි මුස්ලිමුන්ට ඒ අවස්ථාව උදාවෙලා. ඇයි මේ උපන්බිමේ උරුමය ගොඩනැගූ සිංහලයාට හැම අතින්ම අසාධාරණයක්ම සිද්ධ වෙන්නෙ?

****************************************************************

0 comments: