Pages

Wednesday, July 25, 2012

මන්නාරම් පිටිවැල්ලේ, නීතිය අමු හෙළුවැල්ලේ

නියං සමයේ දාහයත් සමග උණුසුම් වී තිබෙන මන්නාරම හදිසියේම ගිනි ගත්තේය. කරවල වේළීමට පදමට අව්ව වැටී ඇති මන්නාරමේ උණුසුම් ගැටුමට දේශපාලනයෙන් අත් උදව් සැපයීමත් සමගම ඇතමෙකු රෝහලේය. තවත් අය බන්ධනාගාරයේය.

මන්නාරමේ හදිසියේම හටගත් ගැටුමට පෙරාතුව මන්නාරමේ මෙවැනි ගැටුමක්‌ නිර්මාණය වීමට හේතුව හා ඒ හා බැඳුණු පසුබිම මඳක්‌ විමසා බැලීම ඉතා වැදගත් වන්නේ මන්නාරමේ මේ ගැටුම් කිසිදිනක සාමකාමීව නොවිසඳෙන හෙයිනි.

මන්නාරමේ විඩත්තල්තිව් පළාතේ ධීවරයන්ට සිය රැකියාව 2002 දී අහිමි වූයේ විඩත්තල්තිව් ප්‍රදේශය පුරා ක්‍රියාත්මක වූ අලුත් ආරක්‍ෂක වැඩ පිළිවෙළක්‌ නිසාවෙනි. එම පළාතේ සිටි ධීවරයෝ සිය ආම්පන්නද පොදි බැඳගෙන මන්නාරමේම උප්පුකුලම් ප්‍රදේශයේ පිහිටි කෝඳුරුපිටිය ගම්මානයට පැමිණියහ. කෝඳුරුපිටිය ගම්මානයද ධීවර ගම්මානයක්‌ වුවත් එහි බහුතරය වූයේ මුස්‌ලිම් ධීවරයෝය. විපතට පත්ව විඩත්තල්තිව් පළාතේ සිට මන්නාරමේ කෝඳුරුපිටිය ධීවර ගම්මානයට පැමිණි ආගන්තුක ධීවරයන්ට මුස්‌ලිම් ධීවරයෝ වාඩිලාගෙන මසුන් මැරීමට ඉඩ ප්‍රස්‌ථාව ලබා දුන්නේය. නමුත් එය හුදෙක්‌ම මානුෂීයභාවය මත පදනම් වූවක්‌ නොව අල්ලනු ලබන මාළු ප්‍රමාණයෙන් සියයට ගණනක කොමිස්‌ මාළු ප්‍රමාණයක්‌ කෝඳුරුපිටියේ මුස්‌ලිම් ධීවරයන්ට ලබාදීමේ පදනම මතය.

කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යත්ම විඩත්තල්තිව් ධීවරයන්ගේ ආර්ථිකය කෝඳුරුපිටිය ගම්මානයේදී පෙරට වඩා ශක්‌තිමත් විණි. ඔවුන් මන්නාරමේ පිහිටි ධීවර සමිතිවලද සාමාජිකත්වය ලබාගෙන ධීවර කටයුතුවල නිරත වෙද්දී සියලුම ධීවරයන් සමාන බව ධීවර සමිති තීරණය කිරීමත් සමගම ධීවර සමිතිවලට හැර වෙනත් පිරිස්‌වලට කොමිස්‌ වශයෙන් මාළු සැපයීම අනවශ්‍ය බව ධීවර නීති රීතිවලට අනුව සම්මත විණි. කෝඳුරුපිටියේ මුස්‌ලිම් ධීවරයන්ට කොමිස්‌ මාළු නොලැබීමත් සමගම ඔවුහු විඩත්තල්තිව් සිට පැමිණි ධීවරයෝ පිටමං කිරීමට මුල්ම වෙඩිල්ල තැබූහ.

අසරණ වූ ධීවරයෝ ධීවර සමිතිවල පිහිට පැතීය. ධීවර සමිති සියල්ලම ඒකාබද්ධව මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් හිමිපාණන් සමග සමීප සම්බන්ධකමක්‌ ඇති නිසා විඩත්තල්තිව් ධීවරයෝ රදගුරු හිමිපාණෝ ද හමු වූහ. මන්නාරම දියඹෙන් මුහුදු යන සියලු ධීවරයෝ එක්‌ විධානයකින් නතර කිරීමට හැකි අදිසි බලයක්‌ හිමිකරගෙන සිටින රායප්පු ජෝෂප් හිමිපාණෝද මේ ධීවරයන්ට පිහිට විය. ඉතා සමගියෙන් ප්‍රශ්න ඇති කොට නොගෙන සිය වෘත්තියේ නියෑළෙන ලෙස උපදෙස්‌ ලබාදුන් රදගුරු හිමිපාණෝ මන්නාරමේ පරිපාලන හා ආරක්‍ෂක බලධාරීන් සමගද සාකච්ඡා කොට විඩත්තල්තිව් ධීවරයන්ට සහනයක්‌ උදාකොට දුන්හ. මුස්‌ලිම් ධීවරයෝද එදා එම තීරණය පිළිගෙන ගම්මානයක සිට ඉතා සාමකාමීව ධීවර කටයුතුවල නිරත වූහ.

කර්මාන්ත සංවර්ධන අමාත්‍ය රිෂාර්ඩ් බදුර්දීන් මහතා පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශයක්‌ හේතුවෙන් මන්නාරම රදගුරු හිමිපාණන් හා අමාත්‍යවරයා අතර දැඩි විරසක භාවයක්‌ ගොඩනැගුණි. ඒ මීට මාස දෙකකට පමණ ඉහතදීය. දඹුල්ලේ මුස්‌ලිම් පල්ලිය ඉවත් කිරීමට බෞද්ධ භික්‍ෂුන් වහන්සේ කෙනෙක්‌ ඉදිරිපත් වන ආකාරයටම මන්නාරමේ මුස්‌ලිම් ජනතාවට එරෙහිව රදගුරු හිමිපාණෝ ක්‍රියාකරන්නේ යෑයි රිෂාර්ඩ් බදුර්දීන් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී මෙන්ම තැන් තැන් වලද කියන්නට වූයේය.

මේ ආරංචිය මන්නාරමට පැමිණි සැණින් මන්නාරමේ ධීවරයෝද කිතුණු සංවිධානවලට අයත් පිරිස්‌ද මන්නාරමේ පෙළපාලි යමින් මීට මාස දෙකකට පමණ ඉහතදී රිෂාර්ඩ් බදුර්දීන් අමාත්‍යවරයාගේ රිස්‌ස ඇරියේය. අමාත්‍යවරයාද මන්නාරමේ අයෙකු නිසා ඔහු මීට උරණ වී දේශපාලන වශයෙන් යම් යම් ක්‍රියාමාර්ගවලට අවතීර්ණ විණි. එදා පෙළපාලි යමින් රිෂාර්ඩ් බදුර්දීන් අමාත්‍යවරයාට එරෙහි වූ මුස්‌ලිම් මාධ්‍යවේදියෙකුට අමාත්‍යවරයාගේ ආධාරකරුවන් එදිනම පහරදුන් බවට පොලිසියේ පැමිණිල්ලක්‌ තිබේ.

රිෂාර්ඩ් බදුර්දීන් අමාත්‍යවරයාට පක්‍ෂපාතී වූ පිරිස්‌ ඔහුට එරෙහිව ක්‍රියා කළ පිරිස්‌ වලට දඬුවම් දෙද්දී විඩත්තල්තිව් සිට පැමිණි අප කලින් සඳහන් කළ ධීවර පිරිසද තවත් මාතෘකාවක්‌ බවට පත්විණි. ඔවුනට එරෙහිව සටන් ඇරඹුණේද රිෂාර්ඩ් බදුර්දීන් අමාත්‍යවරයාගේ දේශපාලනයෙන් ඊට සම්මාදම් ලැබුණේද එම ධීවරයෝ එවූ මන්නාරම රදගුරු හිමිපාණන්ට සහාය දැක්‌වීම පිණිස පෙළපාලි යැම නිසාවෙනි.

සෑම පැත්තකින්ම අසරණ වූ ධීවරයෝ අවසානයේදී අධිකරණයේ පිහිට පැතීය. අධිකරණය තීන්දු කළේ මාස තුනක කාලයක්‌ විඩත්තල්තිව් ධීවරයන්ට තවදුරටත් එහි රැඳී සිටීමට අවසර ලබාදිය යුතු අතර එම කාලය තුළ මේ ධීවරයන්ට මසුන් මැරීම සඳහා වෙනම ස්‌ථානයක්‌ සකස්‌ කොට දිය යුතු බවය. අධිකරණ නියෝගය අනුව අලුතින් තැනක්‌ සපායදීමේ වගකීම මන්නාරම දිසාපතිවරයාට, ප්‍රාදේශීය ලේකම්වරයාට හා පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශවලට පවරා දී තිබුණි.

අධිකරණ නියෝගයට එරෙහිව වූ කෝඳුරුපිටියේ මුස්‌ලිම් ධීවරයෝ මේ පිළිබඳව 13 වැනි සිකුරාදා මුස්‌ලිම් පල්ලියේ පැවැති යාඥ මෙහෙයෙන් පසුව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළහ. එහි ප්‍රතිඵලය වූයේ හදිසියේම කෝඳුරුපිටිය ගම්මානයට කඩා පැන විඩත්තල්තිව් ධීවරයන්ගේ ධීවර නිවාස කඩාදමා බෝට්‌ටු දැල් ආදී වූ ධීවර ආම්පන්නවලට අලාභ හානි සිදු කිරීමය. මේ පිළිබඳව නීතිය ක්‍රියාත්මක වූ අවස්‌ථාවේදී ප්‍රචණ්‌ඩ ලෙස හැසුරුණු ධීවරයන් 16 දෙනකු (මුස්‌ලිම්) අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයෙන් පොලිසියට නියෝග ලැබිණි.

මෙම අධිකරණ නියෝගය පිළිබඳව කරුණු දැනගත් මන්නාරමේ ධීවරයෝ 18 වැනිදා මන්නාරම අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ. උද්ඝෝෂණකරුවෝ ඉල්ලා සිටියේ අධිකරණ නියෝගය ඉවත්කොට මුස්‌ලිම් ධීවරයන් 16 දෙනා අත්අඩංගුවට ගැනීම වළක්‌වන ලෙසයි. මෙදින මන්නාරමට ගිය රිෂාර්ඩ් බදුර්දීන් අමාත්‍යවරයා මන්නාරම දිසා විනිසුරු අන්තෝනිපිල්ලේ ජූඩ්සන් මහතාට දුරකතනයෙන් කතා කොට අධිකරණ නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා තිබේ. එසේ නොකළහොත් මන්නාරම ගිනිගන්නා තත්ත්වය වැළැක්‌විය නොහැකි බවටද අමාත්‍යවරයා දිසා විනිසුරුවරයාට අනතුරු අඟවා තිබේ.

මන්නාරම දිසා විනිසුරු අන්තෝනි පිල්ලේ ජූඩ්සන් මහතා අධිකරණ නියෝගය වෙනස්‌ කළේ නැත. තමන්ට එල්ල වූ තර්ජනය ගැන විනිසුරුවරයා ඉහළට කරුණු ඉදිරිපත් කොට සිදුවන්නට යන්නේ කුමක්‌දැයි බලා සිටියේය. උද්ඝෝෂණකරුවෝ සිය උද්ඝෝෂණය උදැසනම ආරම්භ කළත් ඊට කිසිවකුගෙන් හෝ බාධාවක්‌ හෝ ප්‍රතිචාරයක්‌ නොලැබීම නිසා ඔවුනට අව්වේ කරවීමට සිදුවීම හැර වෙනත් දෙයක්‌ සිදුනොවිණි. රිෂාර්ඩ් බදුර්දීන් අමාත්‍යවරයාගේ උදව්කරුවන් උද්ඝෝෂණකරුවන් අතරට පැමිණීමත් සමගම උද්ඝෝෂණය තීව්‍ර වූයේ අමාත්‍යවරයාගේ හයිය නිසාවෙනි. මේ අවස්‌ථාවේදී කරුණු පැහැදිළි කිරීමට දිසා විනිසුරුවරයා උද්ඝෝෂණකරුවන් හමුවීමට පොලිස්‌ ආරක්‍ෂාව මැද පැමිණීමට උත්සාහ කළත් උද්ඝෝෂණකරුවෝ ඊට ඉඩ නුදුන්හ. විනිසුරුවරයාගේ නම කියමින් එතුමාට අපහාස වන අන්දමට කෑකෝ ගැසූ උද්ඝෝෂණකරුවෝ අධිකරණය දෙසට පාරේ තිබූ ගල්කැබලි විසි කළහ. ඉන් තවමත් විවෘත නොවූ මන්නාරම මහාධිකරණ ශාලාවේ වීදුරු ජනෙල් කැඩී බිඳී ගියේය. පහර දෙන ගල් කැබලි පොලිස්‌ නිලධාරීන්ටද වැදුණි. කඳුලු ගෑස්‌ ගසමින් පිරිස විසුරුවා හැරීමට පොලිසිය උත්සාහ කළ අවස්‌ථාවේදී මන්නාරම එකම යුද පිටියක්‌ බවට පත්විණි.

මන්නාරම පොලිස්‌ අධිකාරී ලක්‌සිරි විඡේසේන, මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක තුෂාර දලුවත්ත. සහායට ගොස්‌ සිටි වවුනියාව මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක එරික්‌ පෙරේරා යන ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරින් සමග තවත් කනිෂ්ඨ පොලිස්‌ නිලධාරීන් තුන්දෙනකු මේ ප්‍රහාරවලින් තුවාල ලබා සිටියහ. උද්ඝෝෂණකරුවෝ 12 දෙනකු තුවාල ලැබුවද ඔවුන් අත්අඩංගුවට පත්වේයෑයි යන බියෙන් රෝහල්ගත නොවී වෙනත් ස්‌ථානවලින් ප්‍රතිකාර ලබාගෙන තිබේ.

මේ සිද්ධීන්වලින් පසුව මන්නාරම අධිකරණයේ තවමත් විවෘත නොවූ මහාධිකරණ ගොඩනැඟිල්ලේ වීදුරු ජනෙල් කැඩීයැමට අමතරව නඩු බඩු ගබඩාව තුළ ගින්නක්‌ද ඇවිළී ගොස්‌ තිබේ. මන්නාරම අධිකරණය ගිනි ගනිද්දී යළිත් වරක්‌ මන්නාරම දිසාවිනිසුරු අන්තෝනිපිල්ලේ ජූඩ්සන් මහතාට දුරකතනයෙන් ඇමතූ රිෂාර්ඩ් බදුර්දීන් අමාත්‍යවරයා තමන් මුලින් කී දේ සත්‍ය නොවේද..? මන්නාරම ගිනි අළුලුණේ නැද්දැයි...· විමසා තිබේ.

මේ සිද්ධීන් මාලාව මුල්කරගෙන මන්නාරම, වවුනියාව, කිළිනොච්චිය හා මුලතිව් යන දිස්‌ත්‍රික්‌කවල සියලු අධිකරණවල නීතිඥවරු හා කාර්ය මණ්‌ඩලය අධිකරණවලින් ඉවත් වී උද්ඝෝෂණ හා වැඩවර්ජන ක්‍රියාදාමයකට අවතීර්ණ වී සිටිති. ලබන 23 වැනිදා දක්‌වා අඛණ්‌ඩව පවත්වාගෙන යන මෙම උද්ඝෝෂණ හා වැඩවර්ජන ක්‍රියාදාමය තුළින් අධිකරණ නිලධාරීන් හා නීතිඥවරුන් ඉල්ලා සිටින්නේ අධිකරණ ක්‍ෂේත්‍රයට දේශපාලනයෙන් සිදුවන මෙම බලපෑම් වහාම නතර කරන ලෙසය. මන්නාරම දිසාවිනිසුරුවරයාට බලපෑම් කළ පිරිස ද අධිකරණයට අලාභහානි කළ පිරිස ද වහාම අත්අඩංගුවට ගන්නා මෙන් ද ඔවුහු ඉල්ලා සිටිති.

මන්නාරමෙන් ආරම්භ වුණු ගැටුම දිසා අධිකරණ ක්‍ෂේත්‍රය තුළ මුළු උතුරටම පැමිණ තිබේ. රිෂාර්ඩ් බදුර්දීන් අමාත්‍යවරයාගේ නම හංවඩු ගසමින් ඔහු කළ ක්‍රියාවන් උද්දීපනය කරමින් නීතිඥවරු මහමඟ පෙළපාලි යති. පළාත් දේශපාලනය හා පළාත් දේශපාලනඥයන් පළාත සංවර්ධනය කිරීම වෙනුවට තමන්ට අවශ්‍ය නොමැති කාර්යන්වල නියෑළීම නිසා ඉතා පහසුවෙන් විස¹ගැනීමට හැකි ප්‍රශ්න කෙසේවත් විස¹ගැනීමට නොහැකි අවුල් ජාලා බවට පත්ව තිබේ.

දිනසේන රතුගමගේ
http://www.divaina.com/2012/07/22/feature16.html

0 comments: