Pages

Friday, August 17, 2012

ත්‍රිකුණාමලයේ අවනඩුව

http://www.divaina.com/2012/08/17/editor.html

(රබර් දර න්‍යායය)

ත්‍රිකුණාමලයේ අවනඩුවක්‌ තිබේ. මේ අවනඩුව වූ කලී සිංහලයන්ට අයත් ඉඩම් දෙමළ ජනයා විසින් අල්ලා ගනු ලැබීමය. කිසියම් ජාතියක්‌ තවත් ජාතියකගේ ඉඩම් අත්පත් කර ගන්නේ නම්, එතැන ඇත්තේ ජාතිවාදී පදනමකි. ත්‍රිකුණාමලයේ නාගරික ප්‍රදේශ සියල්ලම පාහේ සිංහල ප්‍රජාවගෙන් පිරී පැවැතිණ. යුද්ධය පැවැති අරවුරුදු කිහිපය තුළ ද මේ තත්ත්වයේ ස්‌වල්ප වෙනසක්‌වත් සිදු වූයේ නැත. එහෙත් යුද්ධයෙන් පසු සිංහලයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමට පටන්ගෙන ඇත්නම් එයට හේතුව නැඟෙනහිර පළාතේ පරිපාලනයේ විශාල අවුලක්‌ තිබීම ය.

ඉඩම් යනු මොනවාද? මැරෙන විට අප විසින් කර තබාගෙන යන දෙයක්‌ ද? නැත. එහෙත් ඉන්නා තුරු ජීවත්වීම සඳහා ඉඩම් අවශ්‍ය ය. භූමිය සමඟ මනුෂ්‍යයාට විශාල සම්බන්ධයක්‌ තිබේ. මිනිසුන් තමන් උපන් බිමට මාතෘ භූමිය යෑයි කියන්නේ ඒ සම්බන්ධය නිසා ය. තමන් සතු ඉඩමේ අඟල් හයක්‌ අල්ලපු ඉඩමේ අයිතිකාරයා විසින් අල්ලා ගනු ලැබූ කල්හි මිනිසුන් මිනී මරා ගන්නට යන්නේ ඒ නිසා ය.

නැඟෙනහිර පළාතේ සිංහලයන් සතු ඉඩම්වලට දෙමළ ජනයා අයිතිවාසිකම් කියන්නේ බ්‍රිතාන්‍යය පාලන යුගයේදී ලබා දුන් බලපත්‍රයක්‌ මත බව ද එම බලපත්‍රය එම ඉඩම්වල දර කපා ගැනීම සඳහා නිකුත් කරන ලද්දක්‌ බව ද දැන ගන්නට තිබේ. මේ රටට පැමිණි යටත්විජිතවාදීහු විවිධ කාරණා සඳහා බලපත්‍ර විකුණු යුගයක්‌ විය. ලංකාවේ පැවැති මුහුදුබඩ පෘතුගීසි ප්‍රදේශවල ප්‍රධානියා විවිධ නම්බු නාම ධනපතින්ට විකුණා මුදල් උපයා ගත්තේය. මේ නිසා එකල මුහුදුබඩ සිටි හරක්‌ හොරු ද මුදලිවරු බවට පත් වූහ. සිංහල දේශප්‍රේමීන් ගැන පෘතුගීසීන්ට ඔත්තු දුන් එකා වාසලමුදලි විය. වාසල යනු ගේට්‌ටුවයි. නිල ඇඳුමක්‌ ඇඳගෙන ගේට්‌ටුවක්‌ ළඟ හිටගෙන සිටීම පෘතුගාලයේ රැකියාවකි. මේ රැකියාව ශ්‍රී ලංකාවේදී මුදලට විකුණන තනතුරක්‌ බවට පත් කිරීමට පෘතුගීසීන්ට හැකි වූ අතර ඒ අනුව ගේට්‌ටු නැති මුදලිවරු සිය ගණන් බිහි වූහ. දර කැඩීමට බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙමළ ජනයාට ඉඩම් දීම ද එවැනි කතාවකි. ඉංග්‍රීසි පාලකයා මේ රට කුඩා ඒකකවලට කඩා පාලනය කළහ. දෙමළ ජනයාට දර අවශ්‍ය වූ විට සිංහලයන්ට අයත් ඉඩම්වලින් දර කඩා ගැනීමට බලය දෙන බලපත්‍ර ක්‍රමයක්‌ බ්‍රිතාන්‍ය පාලකයෝ ඇති කළහ. මේ බලපත්‍ර සඳහා මුදල් ගෙවිය යුතු විය. "සිංහලයන්ට අයත් ඉඩම්වල දර කැඩීම සඳහා බලපත්‍ර ලබාදීම" යන කාරණය තුළම සිංහලයන්ගේ ඉඩම් අයිතිය තහවුරු වෙයි. එයින් වසර සිය ගණනක්‌ ගතවී ඇති මෙකල ඒ බලපත්‍රය දෙමළ ජනයා විසින් පාවිච්චි කරනු ලබන්නේ එම ඉඩම් ඔවුන් විසින් භුක්‌ති විඳින ලද බවට තහවුරු කරන ලියෑවිල්ලක්‌ හැටියටය. දෙමළ ජනයා ඒ ඉඩම් භුක්‌ති විඳි බව ඇත්ත. එහෙත් ඒ පදිංචි වීමෙන් නොව දර කැඩීමට ය. ඉඩමක භුක්‌තිය තහවුරු වන්නේ පදිංචි වීමෙනි. සිංහල මිනිසුන්ට ලංකාවේ භුක්‌තිය තහවුරු වී ඇත්තේ වසර දහස්‌ ගණනක්‌ පුරා මේ භූමියේ පදිංචිව සිටීම නිසා ය. දෙමළ, මුස්‌ලිම්, බර්ගර් මැලේ, ජනයාට ද තමන් පදිංචි ප්‍රදේශවලදී මේ අයිතිය ඇත. ඉඩමක දර කැපූ විට එම ඉඩම එකී දර කපන්නන්ට අයත් වන්නේ නම් ලංකාවේ රබර් දර පාවිච්චි කරන සියලු දෙනාට එම රබර් ගස්‌ තිබූ ඉඩම් අයිති ය. තේ බොන සියලු දෙනාට තේ වතු අයිති ය.

ත්‍රිකුණාමලයේ ඉඩම් ප්‍රශ්නය පිටුපස දෙමළ දේශපාලනනඥයකු සිටින බව දැන ගන්නට තිබේ. දේශපාලනඥයකු පිටුපසින් නැති අවකල් ක්‍රියාවක්‌ සොය ගත හැක්‌කේ කලාතුරකිනි. කප්පම්, පැහැර ගැනීම්, කුඩු, ගංජා, හරක්‌ හොරකම් යන සියල්ලම පසුපස දේශපාලනඥයෝ සිටිති. මේ දේශපාලනඥයන් දුටු තැන එළව එළවා පහර දීම සිවිල් ජනයා සතු යුතුකම වුවද, එය නීතිය ඉක්‌මවන කාරණයක්‌ නිසා එසේ නොකරන ලෙස ඉල්ලමු. ඒ අතර ත්‍රිකුණාමලයේ ඉඩම් සිද්ධිය සම්බන්ධයෙන් සුදුසු පියවර වහාම ගන්නා ලෙස රජයෙන් ඉල්ලමු.

-දිවයින කතුවැකිය 2012/08/17-

සබැඳි ලිපි - මිහිඳු පුරය සිංහලයන්ට අහිමි කිරීමේ කතාවේ ඇතුල් පැත්ත
http://denethharinna.blogspot.com/2012/08/blog-post_19.html

0 comments: