Pages

Sunday, August 19, 2012

මිහිඳු පුරය සිංහලයන්ට අහිමි කිරීමේ කතාවේ ඇතුල් පැත්ත

http://www.divaina.com/2012/08/19/feature17.html

ත්‍රිකුණාමලයේ ආන්දන්කුලම නොසන්සුන්ය. බෙහෙවින්ම නොසන්සුන්ය. අප මේ ලියන මොහොත වනවිට ගමේ මිනිස්‌සු මහ මගට බැස සිටිති. ඒ දශක හතරකට ආසන්න කාලයක්‌ තිස්‌සේ තමන් ජීවත්වූ ගම්බිම් වලින් පලවාහරින්ට පෙර තමන්ගේ අවනඩුව රටට කීම සඳහාය. ඒ කතාව ගැන රටට කියන්නට පෙර මේ පසුබිම් කතාව කියා තැබුම රිසි යෑයි සිතේ.

යුද්ධය නිමාවූ බව සැබෑය. එහෙත් ත්‍රිකුණාමලයේ මිනිස්‌සු තවම ජීවත්වන්නේ යුද්ධය සමගය. තවමත් ත්‍රිකුණාමලයෙන් හමන්නේ වාර්ගික ම්ලේච්ඡත්වයේ පිළිකුල් සහගත පුළුටු ගඳය. ආගමික ගෝත්‍රිකත්වයේ අපුල දනවන දැකුම්ය. ආන්දන්කුලමේ මේ වෙමින් පවතින සිද්ධිය ඒ අසෝබන යථාර්ථයේ එක්‌තරා ආකාරයක හෙළිදරව්වකි.

සුළු ජාතියක්‌ වීම මහා වේදනාවකි. ඒ වේදනාව මේ රටේ දෙමළ මිනිස්‌සු යම් ප්‍රමාණයක්‌ අත්විඳිති. ඒ මානසික වේදනාව වටහාගන්නට අවශ්‍ය සිංහලයෙක්‌ සිටීනම් ඔහුට ඒ අත්දැකීම රට තුළදීම ලබාගත හැකි පහසුම ස්‌ථානය වන්නේ ත්‍රිකුණාමලයයි.

ත්‍රිකුණාමලයේ සමස්‌ථ ජනගහණයෙන් සියයට තිහකට ආසන්න ප්‍රමාණයක්‌ සිංහල මිනිස්‌සු ජීවත්වෙති. එහෙත් ප්‍රදේශයේ අති බහුතරයක්‌ පරිපාලන කටයුතු සිදුවෙමින් තිබෙන්නේ ජාතිවාදයේ සුව නොවන තුවාල සහිත ද්‍රවිඩ පරිපාලන නිලධාරීන් අතිනි. මේ මිනිසුන් මෙහෙයවනුයේ මීට දශක හතරකට පෙර ත්‍රිකුණාමලයේ ද්‍රවිඩ හින්දු නගර සභාවේ පනත් සම්මත කරගෙන ගෝකන්න පුරාණ විහාරය සහිත ත්‍රිකු=ණාමලය කොටුව හින්දු ශුද්ධභූමියක්‌ කරන්නට උත්සාහ කළ, නැගෙනහිර බෞද්ධ උරුමයේ ජීවමාන සංකේත වූ ඓතිහාසික බෝධි වෘක්‌ෂ කපා දැමීමෙන් හින්දු ආගම බැබලවීමට හැකි යෑයි සිතූ, ඒ කාලකණ්‌ණිකමට දායකත්වය දීම නිසා ප්‍රකට සම්සෝනි කොමිසම වෙතත් යොමුකළ, දෘෂ්ඨී හීන ද්‍රවිඩ දේශපාලකයින් විසිනි. දැන් මරණයේ දොරකඩ හිඳිනා වියපත් මහල්ලන් වුවද තවමත් සිය ජරපත් ජාතිවාදී දේශපාලන ගොහොරුවේ කරවටක්‌ ගිලී හිඳිනා මේ මිනිසුන් දකුණේ දේශපාලකයින් සේම තම දේශපාලනය ස්‌ථාවර කරගන්නේ ජාතිවාදය වැපීරීමෙන් උපයාගන්නා ඡන්ද අස්‌වැන්නෙනි. එබැවින් ඔවුන්ගේ අනුදැනුම සහිතව ත්‍රිකුණාමලය ප්‍රදේශය ප්‍රමුඛ වූ නැගෙනහිර පළාතේ සිදුවන නැවත පදිංචිකිරීම්, ඉඩම් රබර් දීම්, නිවාස ව්‍යාපෘති, කෘෂිකාර්මික ව්‍යාපෘති පමණක්‌ නොව, සිංහල මුස්‌ලිම් අසරණ මිනිසුන් සතු ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගැනීම් සිද්දවන්නේ ස්‌වකීය ජාතිවාදී ව්‍යාපෘති තහවුරු කිරීමේ පදනම මතය. මේ නින්දාසහගත ව්‍යාපෘති උතුරේ ද්‍රවිඩ ගම්මා ඇසුරෙහි බලහත්කාරයෙන් හමදා ගම්මාන ගොඩනගන්නා සේම පිළිකුල් සහගතය. ආන්දන්කුළමේ නිර්මාණය වී ඇති ප්‍රශ්නය තෝරාගැනීමට මේ පසුබිම වටහා ගැනීමට ඇවැසිය.

ඉඩම් ආරවුල

ගැටලුව නිර්මාණය වී තිබුණේ ත්‍රිකුණාමලය ආන්දන්කුලම මිහි`දුපුර පාසල් මාවතේ දශක ගණනාවක්‌ ජීවත්වෙමින් සිටි සිංහල ජනපදිකයින් පිරිසකගේ ඉඩම් වල අයිතිය කියමින් ද්‍රවිඩ ජාතිකයින් දෙදෙනෙක්‌ ත්‍රිකුණාමල උසාවියේ නඩුවක්‌ දැමීම හේතුවෙනි. නඩුව දැමූ එක්‌ පුද්ගලයෙක්‌ බම්බලපිටියේ පදිංචිකරුවෙකි. ශිවසේකරන් නමැති මේ පුද්ගලයා නඩු දමා ඇත්තේ ආන්දන්කුලම මිහි`දුපුර පාසල් මාවතේ පදිංචි සුනිල් ශාන්ත නමැති අයගේ ඉඩමටය. ආර්. සිරිදරන් නමැති අනෙක්‌ තැනැත්තා පදිංචිව සිටින වග කියනා නො. 9/1 පාසල් මාවත, ත්‍රිකුණාමලය ලිපිනයේය. සිරිදරන් ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌ උසාවියේ නඩු දමා තිබුණේ මිහි`දුපුර ඒ ඥානවතී නමැත්තියට එරෙහිවය. නඩුමගට බට දෙපළ ඉල්ලා තිබුණේ මේ ඉඩම් වල පදිංචි පුද්ගලයින් ඉවත්කර සිය අයිතිය තහවුරු කරදෙන ලෙස හා මෙතෙක්‌ ඔවුන් වි`දි භුක්‌තිය වෙනුවෙන් වන්දි මුදලක්‌ ලබාදෙන ලෙසය.

පැමිණිලිකරුවන්ගෙන් කෙනෙක්‌ වූ සිරිදරන්ට අනුව මේ ඉඩමේ ඉතිහාසය 1897.2.3 දින තෙක්‌ දිවෙයි. එතැන් සිට පරම්පරා හතරක අයිතිය තහවුරු වී ඇති බවත් වර්ෂ 1964 දී මෙම ඉඩම බෙදා වෙන්කරන ලද බවත්, එම ඉඩමේ අයිතිකරු වර්ෂ 1988.10.15 දින තමන්ට විකිණූ බවත් අධිකරණය මගින් දන්වා තිබිණි. මේ ගම්වාසී මුල් පදිංචිකරුවෝ තවත් ජීවත්වෙමින් සිටිති. ඔවුනට අනුව ඔවුන් 1960 දශකයේ අගභාගයේදී පදිංචිවන්නේ මිනිස්‌ පුළුටක්‌ නැති රජයේ හද්ද කැලෑවක්‌ සුද්දපවිත්‍ර කරගනිමිනි. එදා සිට මේ දක්‌වා කිසිවෙක්‌ මේ ඉඩම් ස`දහා අයිතිවාසිකම් කීමට ඉදිරිපත්වී නොතිබිණි. සියවසකට එපිටින් ඇති ඉඩම් අයිතියක්‌ කරලියට නංවමින් එක්‌වරම මේ පැමිණිලිකරුවන්ගේ ආගමනයෙන් මේ මිනිස්‌සු කම්පනයට පත්වී සිටිති.

මෙම ජනපදය පිහිටන්නේ ආන්දන්කුලම 245 ඒ ග්‍රාමසේවා වසමේ අනුරාධපුර පාර, චම්පා මාවත හා ආනන්දගම ඓතිහාසික ආනන්දතිස්‌ස රජමහා විහාරයට මායිම් වූ සීමාවේය. ඉඩමේ ප්‍රමාණය අක්‌කර 33.34 කි. එම ඉඩම තුළ සිංහල පවුල් එකසිය හතළිස්‌ හතරක්‌, මුස්‌ලිම් පවුල් හතක්‌ හා ද්‍රවිඩ පවුල් තුනක්‌ පදිංචිව සිටියහ. මේ සිංහල පවුල් පදිංචි වී සිටියේ මීට වසර හතළිහකට පෙර සිටය. ස්‌ථිර නිවාස තනාගනිමින්, නලජල හා විදුලිය පහසුකම් සිහිතව, කෘෂිකාර්මික පදනමක්‌ මත ඉඩම් සංවර්ධනය කරගනිමින් ඔවුහු මේ කාලය පුරාම ගැටලුවකින් තොරව ජීවත්වූහ.

ත්‍රිකුණාමලයේ බොහෝ මිනිසුන් පදිංචි වී සිටින්නේ රජයේ ඉඩම් වලය. ඔවුන් බොහෝ දෙනෙක්‌ බලපත්‍රලාභීන්ය. මිහි`දුපුර සිංහල ගමේ කතාව පිළිබ`ද ලේඛනගත තොරතුරු ලැබෙන්නේ හැටේ දශකයේ මුල් භාගයේ සිටය. වර්ෂ 1965 දී මෙම ප්‍රදේශය පාසල් පෝෂිත ප්‍රදේශයක්‌ සේ නම් කෙරිණි. එවකට සිටි අධ්‍යාපන ඇමැතිවරයා අයි. එම්. ආර්, එම්. ඊරියගොල්ලය. ඔහු විසින් මේ ගැමියන් වෙනුවෙන් වර්ෂ 1966.01.07 දින සිංහල පාසලක්‌ විවෘත කෙරිණි. පාසල අදටත් සජීවීය. මේ පාසල ආරම්භක අවධියේ ආන්දන්කුලම ප්‍රදේශයේ ආගමික පූජ්‍යස්‌ථාන ලෙස පැවතියේ මිහි`දුපුර ශ්‍රී මහින්දාරාම විහාරයත් ආනන්දගම ඓතිහාසික තිස්‌ස රජමහා විහාරයත් පමණක්‌ බව ඉතිහාසය දත් ගැමියෝ බලධාරීන්ට ලිතව දන්වා සිටියහ. ඔවුන්ට අනුව අනෙක්‌ සියලු පෙදෙසෙහි වගවලසුන් සහිත මහා වනාන්තරයක්‌ පැතිරී තිබිණි.

ඉඩම් ගැටලුව මෑතකදී මතුවූ හැටි

යුද්ධය පැවති කාලයේ ගමේ එක්‌ මායිමක්‌ වූ තිස්‌ස පුරාණ විහාරය වටකළ කොටි ත්‍රස්‌තවාදීහු එහි වැඩ විසූ නායක හාමුදුරුවන් වහන්සේ වෙඩි තබා මරා දමා පන්සලට ද ගිනි තබා අලුකර දැමූහ. යුද්ධය තීරණාත්මකව ඇවිලී යනවිට මිහි`දුපුර, විල්ගම, කින්නියා, මිහි`දුපුර, සෙල්වනාගපුර හා නිලාවේලි යන පෙදෙස්‌වල සිංහල මිනිස්‌සු සිය ගම්බිම් හැරදා තාවකාලිකව එක්‌රොක්‌ වූහ. ගම් හැරදා යැමත් නැවත පදිංචි වීමත් නිරන්තරයෙන් සිදුවිණි. මිනිස්‌සු ගතකළේ සංචාරක ජීවිතයකි.

අසූව දශකයේ මුල් භාගයේදී එල්.ටී.ටී.ඊ පිස්‌තෝල කල්ලිය ත්‍රිකුණාමලය ඉඩම් කොමසාරිස්‌වරයා වෙඩි තබා මරාදමන ලදී. පසුව ඔවුන් ඉඩම් කච්ෙච්රියට ගිනි තබා වැනසුවේය. උසාවියට ගිනි තබා නඩු ලිපිගොනු සහමුලින්ම විනාශ කළේය. මිහි`දුපුර ඉඩම් වලට සේම ත්‍රිකුණාමලයේ බොහෝ ඉඩම් වලට ඇති අයිතිය පිළිබ`ද තහවුරු කිරීමේ ලේඛන ඉන් අනතුරුව ශේෂ නොවිණි. ඒ අතර එල්.ටී.ටී.ඊ හිතවාදීන්ට හා මිය ගිය කොටි කාඩරයින්ගේ පවුල්වලට හොර ඔප්පු මගින් ඉඩම් රහසිගතව හිමිකරදීමේ ව්‍යාපෘතියක්‌ මේ ජාතිවාදී දේශපාලනය විසින් යුද්ධය පැවති වකවානුවේ සිට ක්‍රියාත්මක කළ බව ආරක්‌ෂක බුද්ධි අංශ වාර්තා කළේය. මිහි`දුපුර ඉඩම් පිළිබ`දව අලුත් වටයකින් ප්‍රශ්න එළඹෙන්නේ මෙවැනි වටපිටාවකය.

කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හැසිරීම

ගමේ මිනිස්‌සු බොහෝ කාලයක සිට ත්‍රිකුණාමලය කච්ෙච්රියට හා කඩවත්සතර ප්‍රාදේශීය සභාවට වරිපනම් බදු ගෙවූහ. ගමේ තැන තැන වූ ඉඩම් කට්‌ටි කීපයකට ස්‌වර්ණභූමි ඔප්පුද තිබිණි. ගැටලුව තීරණාත්මකව මතුවූයේ කඩවත්සතර ප්‍රාදේශීය සභාවේ බලය ද්‍රවිඩ ජාතික සන්ධානයට හිමිවීමෙන් පසුය. මෑතක සිට මේ ඉඩම් ස`දහා වරිපනම් බදු ගෙවීමට ගිය ගැමියන්ව ප්‍රාදේශීය සභාව විසින් පලවාහැර තිබිණි. එසේ පලවාහැර තිබුණේ මෙම ඉඩම් ද්‍රවිඩ ජාතිකයින්ට අයත් පුද්ගලික ඉඩම් බව පවසමිනි. ආසන්නම උදාහරණය වසර ගණනක්‌ වරිපනම් ගෙවමින් සිටි පාසල් මාවතේ නො. 47 පදිංචිව සිටි එස්‌. අයි. කුලතුංග නමැත්තාගේ කතාවය. ඔහු වරිපනම් ගෙවන්නට යනවිට ඔහුගේ නම ඉවත්වී තිබිණි. ඔහු ජීවත් වූ ඉඩමට අයිතිය දක්‌වමින් වරිපනම් ගෙවා තිබුණේ එන්. සිගදීන් නමැත්තෙකි. ඉඩම් අයිතිය දක්‌වමින් සිරිදරන් හා ශිවසේකරන් යන පුද්ගලයින් දෙදෙනෙක්‌ නඩු මගට යන්නේ ඉන් අනතුරුවය. නඩුවේ අරමුණ මේ පුද්ගලයින් ඉවත්කර ඉඩම් පැමිණිලිකරුවන් වෙත ලබා ගැනීමය.



මේ අර්බුදයේ යථා තත්ත්වය පිළිබ`දව ගම්මු පළාතේ අමාත්‍යවරයා හරහා ජනාධිපතිවරයාද දැනුවත් කළේ ඉන් පසුවය. අනතුරුව පළාත් ඉඩම් කොමසාරිස්‌වරයා විසින් මේ පිළිබ`දව වහාම පූර්ණ වාර්තාවක්‌ එවන ලෙස ත්‍රිකුණාමලය නගර හා කඩවත් ප්‍රාදේශීය ලේකම්වරයා වෙත දන්වා සිටියේය. ඔහු ඒ වාර්තාව නිසි ලෙස එවීම පැහැරහැර තිsබිණි. ප්‍රාදේශීය ලේකම්වරයා විසින් සියලුම බලධාරීන්ට ලිතව දන්වා තිබුණේත් මේ ගම්වැසියන් පුද්ගලික ඉඩමක දීර්ඝ කාලයක්‌ පදිංචිවී සිටින බවය.

ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය වෙත යන්නේත් ප්‍රාදේශීය ලේකම්වරයාගේ මෙම ප්‍රකාශයමය. මේ ගැන වැඩිදුර කරුණු නොවිමසන ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් අශෝක පීරිස්‌ පුද්ගලික ඉඩමක්‌ එහි අනවසරයෙන් පදිංචිවී සිටින අයට ලබාදීම ස`දහා අත්පත් කර ගැනීමට අමාත්‍යාංශයට මැදිහත් විය නොහැකි බව දන්වා ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ලේකම්ට ලිතව දැන්වූයේය. ගම්මු තම අවනඩුව කියා ඊට ඇහුම්කන් නොදෙන්නේනම් උපවාස කරන්නට පාරට බහින්නේ මේ ලිපියත් සමගිනි.

ආන්දන්කුලම මිහි`දුපුර මිනිස්‌සුන්ගේ අනාගත ඉරණම තවම පැහැදිලි නැත. කෙසේ විසෙ`දනු ඇත්දැයි වැටහෙන්නේත් නැත. වාර්ගික යුද්ධ නිර්මාණය වන්නේ මෙවැනි සිදුවීම් මුල්කර ගනිමින් බව ඉතිහාසය අපට කියාදෙයි. එබැවින් මේ කතාව ලියා තබන්නේ හුදු සිදුවීමක්‌ වාර්තා කිරීමට නොවේ.

මේ එළිදකින්නේ පරම්පරා ගණනක්‌ නිදහසේ ජීවත්වන මිනිසුන් අහිකුණ්‌ඨිකයින් කර උන්හිටි තැන්වලින් පලවා හැරීමට කටයුතු කළහැකි සමාජයක තිරිසන්කමය. උතුරේ කිලිනොච්චියේත්, නැගෙනහිර මන්නාරමේත් කින්යාවේ හෝ කාත්තන්කුඩියේත් ඇසී නොඇසී යන්නේ මේ ආකාරයේ කතාය.

වටහාගතයුතු බොහෝදේ අප අභියස තිබේ. දැන් මෙසේ එළිවන්නේ හිත් තුළ සැ`ගව ඇති වාර්ගික ගෝත්‍රිකත්වයේ කුයිල උපදවන ලේ ග`දය. නැගෙනහිර පළාතේ මේ ගෝත්‍රිකයින් විසින් උත්කර්ෂයට නංවන්නට වලිකන පන්සල්වලිනුත්, කෝවිල්වලිනුත්, පල්ලිවලිනුත් ගලාගෙන එන්නේත් වෛරී වාර්ගිකත්වයේ අපුලය. එසේ නොවන්නේ නම් ත්‍රිකුණාමලයේ හන්දියක්‌ හන්දියක්‌ ගානේ කෝවිල් හැදෙන්නේ නැත. කුණු ග`ද ගහන ත්‍රිකුණාමලය මාළු වෙළෝදසල අභියස බුදු පිළිම ඉදිවන්නේ නැත. කන්නියාවේ උණුවතුර ළිං අසල කාන්තාවන් ඇ`දුම් මාරු කරණු තැනට මුහුණලා බුදු පිළිම පිහිටුවීමෙන් අනතුරුව ඉතිහාසයත් විකෘති කර හි`ගා කන්නේ නැත. ඒ බිමේම පල්ලි හෝ කෝවිල් ඉදිවන්නේ නැත.

අප වටහා නොගත්තද යුද්ධය ඉපදෙන්නේත් එය නඩත්තුවන්නේත් හදවත් තුළය. ආයුධයක්‌ පත්තුවීමෙන් හෝ මිනියක්‌ මැරීමෙන් ප්‍රකට වන්නේ ඒ කාලකණ්‌ණිකම ප්‍රකාශයට පත්වන එක්‌තරා අකාරයක්‌ පමණය. තුවක්‌කුවක්‌ පත්තු වූ මොහොතේ සිට එළිදකිනා යුද්ධයට දේශපාලන හැඩගැන්වීම් සහිත පිළිතුරු තිබේ. අවශ්‍යනම් යුද්ධයෙන්ද උත්තර බැඳිය හැකිය. එහෙත් ඉන් පසු යුද්ධය නිමා වූ බවට අපට සහතික විය හැකිදැයි අප දන්නේ නැත. යුද්ධකොට හෝ වෙනයම් ආකාරයක යටපත් කිරීමකින් ලබාගන්නා උත්තරය සාමයම බවට අපට වගවන්නට පුළුවන්කමක්‌ නැත. යුද්ධයට හෝ සාමයට ඉන් එපිටින් වන විශාල තෝරාගැනීම් ප්‍රමාණයක්‌ තිබෙන බැවිනි. ඒ තෝරාගැනීම් ස`දහා යැමටත්, ඒවා නඩත්තු කර පවත්වා ගැනීමටත් සම්බන්දන්ලාටත් සුමන්දිරන්ලාටත් අවශ්‍යය. බදියුදීන්ලාටත් හකීම්ලාටත් අවශ්‍යය. ගම්මංපිලලාටත් චම්පිකලාටත් අවශ්‍යය.

සාමය හා සහජීවනය සහිත සමෘද්ධිමත් රටක්‌ පිළිබ`ද අප සිහින දකින්නේ මේ උභතෝකෝටික විකෘතිය තුළය.

ජානක ලියනආරච්චි - සමන් මල්ලවආරච්චි

සබැඳි ලිපි - ත්‍රිකුණාමලයේ අවනඩුව
http://denethharinna.blogspot.com/2012/08/blog-post_17.html

0 comments: