Pages

Monday, August 27, 2012

මිෂනාරි පුහු මත නිරුවත් කල පානදුරාවාදයට වසර 139

ශ්‍රී ලංකාව තුල බෞද්ධ පුනරුදයේ තීරණාත්මක සංධිස්ථානයක් ලෙස සැලකෙන පානදුරාවාදය සිදු කර වසර 139ක් සපිරේ.1873 අගෝස්තු 26,28 දෙදින තුළ පානදුරේ ගල්කන්දේ විහාරස්ථානය අසල දී පැවති මෙම සුප්‍රසිද්ධ විවාදයේදී දීර්ඝ කාලයක් තිස්සේ යටත්විජිත ආණ්ඩු විසින් බලහත්කාරයෙන් සහ නොයෙක් උපක්‍රම මගින් ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කරමින් ඒයට බාධාවක් ලෙස සැලකූ මෙරට මුල් බැසගෙන තිබූ බුදු දහමේ හර පද්ධතීන්ට නොයෙක් කෙනෙහිළිකම් කරමින් තිබූ කාලයක ඒවාට සෘජුව පිළිතුරු දීම සඳහා මුහුණට මුහුණලා විවාදයක් පවත්වා තිබේ.

පෘතුගීසී සහ ලන්දේසි පාලනය සමයේ සිදු වූ මෙරට ක්‍රිස්තියානි ආගම ව්‍යප්ත කිරීමේ ක්‍රියාදාමය සහ ඒ සමගම මෙරට බෞද්ධ පදනම දුර්වල කිරීම අඛණ්‌ඩව පවත්වාගෙන යැමට ඉංග්‍රීසීහුද ක්‍රියා කළහ. මේ මිෂනාරීන් බුදුදහමට විරුද්ධව විවිධ කෙනෙහෙලිකම් සිදු කල අතර බෞද්ධ විරෝධී ප්‍රචාරක කටයුතු ඒ අතරින් කැපී පෙනිණි. ප්‍රසිද්ධ ස්‌ථානවල සංවිධානාත්මක ලෙස බෞද්ධ ආගම විවේචනය කරමින් එයට නිගාවන පරිදි ඇලවු පත්‍රිකා මෙන්ම ක්‍රිස්තියානි සංගම් හරහා නිකුත්කල ප්‍රකාශන මගින්ද ඉංග්‍රීසීහු බෞද්ධ විරෝධී ප්‍රචාරණ කටයුතු ක්‍රියාත්මක කළහ. මෙම අකටයුතුකම් හේතුවෙන් මෙරට බෞද්ධයන් නොයෙකුත් අපහසුතාවලට ලක්වූ අතර ඒවාට මුහුණදිය නොහැකිව බොහෝ භික්ෂූන් වහන්සේලා සිවුරු හැර ගිය බව ඉතිහාසයේ දැක්වේ.

මෙම සියලු අපවාදයන්ට පිළිතුරු දීමේ අරමුණින් මේ සම්බන්ධව වාද පහක් පවත්වා ඇති අතර ‘පංච මහා වාද’ ලෙස ප්‍රසිද්දියට පත්වූයේ එයයි. ඒවා නම් ‘වරාගොඩ වාදය’ , ‘බද්දේගම වාදය’ , ‘උදන්විට වාදය’ , ‘ගම්පල වාදය’ සහ ‘පානදුරා වාදයයි’.

සැබෑ සත්‍ය ආගම වන්නේ බුදුදහමද නැතිනම් ක්‍රිස්තියානි ධර්මයද යන්න මෙම විවාදයේ මුඛ්‍ය අරමුණ විය. එහි ප්‍රධානම වාදය පානදුරා වාදයයි .මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් බෞද්ධ පාර්ශවය වෙනුවෙනුත් දාවිත් ද සිල්වා පාදිලි තුමන් ක්‍රිස්තියානි පාර්ශවය වෙනුවෙනුත් සහභාගී විය. මෙම වාදයේදී මොහොට්‌ටිවත්තේ ගුණානන්ද හිමියන් ප්‍රමුඛ බෞද්ධ පාර්ශ්වය විසින් රෙපරමාදු ක්‍රිස්තියානි තර්කවල පවුරු පදනම් විනාශකර දැමීය. 19 වැනි සියවසේ අවසානය වන විට මෙරටින් තුරන් වන තත්ත්වයට දුර්වලව තිබූ බෞද්ධ බලය යළි සවිලබා නැගීසිටිනුයේ මෙම පානදුරාවාදයත් සමගිනි. බෞද්ධ හර පද්ධතීන්ට සසුන තුලිනුත් ඉන් පිටතිනුත් නොයෙක් බලපෑම් එල්ලවී ඇති අද දවසේ බලහත්කාරයෙන් සහ කූට උපක්‍රමවලින් තොරවූ සාමකාමී ආගමික සහජීවනයකට දැනුවත්ව නිවරදිව මග කියන තවත් පානදුරාවාදයක අවශ්‍යතාවය ඉස්මතු වී පෙනේ.

- යටියන ප්‍රදීප් කුමාර
http://lankacnews.com/sinhala/main-news/76982/

0 comments: