Pages

Friday, January 23, 2015

එකොළොස්‌ දෙනකුගෙන් යුත් දූෂණ විරෝධී කමිටුවක්‌

ඉකුත් සමයේ සිදු වී ඇතැයි කියන මහ පරිමාණ දූෂණ සොයා බැලීම සඳහා දූෂණ විරෝධී කමිටුවක්‌ පිහිටුවීමට ඇමැති මණ්‌ඩලය තීරණයකර ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් මෙම කමිටුවට මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, රාවුෆ් හකීම් යන ඇමැතිවරුන්ද දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන්, ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක, එම්. ඒ. සුමන්දිරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක සරත් ෆොන්සේකා, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, නීතිඥ ඡේ. සී. වැලිඅමුණ හා මලික්‌ සමරවික්‍රම යන මහත්වරු සෙසු සාමාජිකයෝ ලෙස කටයුතු කරති.

මෙම කමිටුවේ උපදෙස්‌ පරිදි ක්‍රියාත්මක වන ක්‍ෂණික ප්‍රතිචාර කමිටුවක්‌ද පත්කර ඇත. ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා එහි සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන අතර රාජ්‍ය නිලධාරීන්, පොලිස්‌ නිලධාරීන්, නීතිඥවරුන්, මූල්‍ය හා විගණන විශේෂඥයන් සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊට අයත්ය.

දූෂණ මර්දනය සඳහා දැනට පවතින නීතිමය රාමුව පිළිබඳවත් පවත්නා ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන අවස්‌ථා සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති අතර ඒ සඳහා විශේෂ පනතක්‌ හඳුන්වා දීමටද අවධානය යොමුකර ඇත.

එමෙන්ම මේ යටතේ කෙටි කාලීන ක්‍රියාමාර්ග ලෙස ජනාධිපතිවරණය සමයේ බෙදා හැරීමට ගෙනවිත් ගබඩාකර තිබූ භාණ්‌ඩ පිළිබඳව සොයා බලා හෙළිදරව් කිරීමත්, ඉඩම් හා නිශ්චල දේපළ දූෂිත ලෙස අත්පත්කර ගැනීම පිළිබඳව සොයා බැලීමත්, සේවක අර්ථ සාධක අරමුදල, කොටස්‌ වෙළෙඳ පොළ වංචා හා දූෂණ පිළිබඳව සොයා බලා හෙළිදරව් කිරීම, මහ පරිමාණ දූෂණයන්ට වගකිව යුතු ජාවාරම්කරුවන් ලෙස සැක කෙරෙන පුද්ගලයන්ගේ වත්කම් හා බැරකම් පිළිබඳව සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමත් සිදු කිරීමට තීරණය කර ඇත.

එමෙන්ම වංචනික ලෙස ශ්‍රී ලංකාවෙන් පිට කරන ලද මුදල් පිළිබඳව සොයා බලා, ඒවා අත්පත් කර ගැනීම හා වැරදිකරුවන්ට දඬුවම් කිරීම, වඩා ශක්‌තිමත් අල්ලස්‌ හා දූෂණ කොමිසමක්‌ හඳුන්වාදීම, ජාතික ප්‍රසම්පාදන කොමිසමක්‌ පත්කර එමගින් සියලු ව්‍යාපෘතිවලට අනුමැතිය ලබා දීම, ජාතික විගණන පනත ඉදිරිපත් කිරීම හා ශ්‍රී ලංකාවේ අත්සන් තබා ඇති දූෂණ විරෝධී ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීම දීර්ඝ කාලීනව සිදු කිරීමටත් ඇමැති මණ්‌ඩලය එකඟ වී තිබේ.

මූල්‍ය ක්‍ෂේත්‍රයේ සිදුවන අක්‍රමිකතා පරීක්‍ෂා කර බැලීමට සුවිශේෂී දක්‍ෂකම් ඇති කණ්‌ඩායම්වල දායකත්වය ලබා ගැනීමත් ඒ සඳහා ඉන්දියාවේ මහ බැංකුව යටතේ ක්‍රියාත්මක මූල්‍ය බුද්ධි අංශයේ විශේෂඥ සහාය මෙන්ම ලෝක බැංකුව ඇතුළු මූල්‍ය ආයතනවල සහාය ලබා ගැනීමටත් තීරණය කර ඇත.

හෙළිදරව් නොකළ වත්කම්වල මූලාශ්‍ර හෙළිදරව් කිරීම අනිවාර්ය කිරීම සඳහා පුළුල් ප්‍රතිපාදන සහිත පනතක්‌ කඩිනමින් හඳුන්වාදීමට හා දැනට පවතින ආයතන වෙනුවට පුළුල් බලතල සහිත ආයතනයක්‌ පිහිටුවීමට පනත් කෙටුම්පත් සකස්‌ කිරීමට ඇමැති කමිටුවක්‌ද පත්කර ඇත.

රනිල් ධර්මසේන
http://www.divaina.com/2015/01/23/news34.html


Pic Source

0 comments: